වැල්ල නොපාගා රැල්ල පාගන්න ට්‍රයි කරන පැවිද්දෝ….!!!
Posted on June 18th, 2016

කරුණු දැක්වීම: රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි

 නූතනයේ දොරින් දොර , ගමෙන් ගම, නගරයෙන් නගරය ඉමහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති බව බැලූ බැල්මට පෙනේ. අයෙක් මේ තත්ත්වය හඳුන්වන්නේජනප්‍රිය බුදු දහම නැතහොත් බෞද්ධ රැල්ල යනුවෙනි. මේ ව්‍යහාරය බැහැර නොකරන්නේ එහි සත්‍යතාවක් පවතින බැවිනි. අද භික්ෂූන් වහන්සේලා පමණක් නොව ගිහියෝද බණ දෙසති. භාවනා කරවති. නා නා මාදිලියේ පූජා කරති; කරවති. ඔවුන් අතරින් කෙනෙක් සෝවාන් මාර්ග – ඵලයට පත්වුණයි ද, කෙනෙක් රහත් භාවයට පත්වුණයිද තෙපලයි. අදෝමැයි! මේවා පිළිගන්නා අඳ බාල අනුගාමිකයන්ද ලක්දිව විසිරී සිටීම ශාසනික පැවැත්මට අතිශය දුර්දසාපාරන කාලයකි. 
නාගරික පරිසරයෙහි භාවනා” අතිශය ජනප්‍රිය වී ඇත. හුදෙක් මෙය විලාසිතාවක් සේ හැඳින්වීමද වරදක් නැත. චිරාගත විහාරස්ථාන වෙනුවට සුවිසල් අසපු හෙවත් ආශ්‍රම පන්සල් ආක්‍රමණය කරන අයුරින් තැන තැන ඉදි වේ. හුදී ජන දෙසවන පිළිරැව් දෙන්නේ බණ වගේ මුමුණන්නා වූ ලාමක අරුත් සුන් තොදොල් වදන්ය. කොටින්ම පවසතොත්, කොහොත් තපස් රක්නාගිහි – පැවිදි උභය පිරිසම ධර්මය අධර්මය වශයෙනුත්, අධර්මය ධර්මය වශයෙනුත්, විනය අවිනය වශයෙනුත්, අවිනය විනය වශයෙනුත් ගෙන ඝෝරනාඩු කරති.

ආගතාගම විශාරද භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරන්නා වූ ආගමික – ජාතික – සංස්කෘතිකමය – ශාස්ත්‍රීය – ආධ්‍යාත්මික කාර්ය සිද්ධීන් කදෝ පැණි එළි සේ ය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ඇතැම් වැඩසටහන් විසින් පුස්සන් නිස්සන් බවට පත්කොට උඩු යටිකුරු කරන ඊනියා බෞද්ධ ප්‍රබෝධයක් අද ඇත්තේය. එමෙන්ම බුද්ධ ශාසනයට වඩා බුද්ධ රාජ්‍යයන් කල එළි බැස ඇත. එදා මක්ඛලී ගෝසාල – පූර්ණ කස්සප ආදීන් කල එළි බැස්සා සේ මහා උත්තමයෝ අද පහළ වී ඇත. ඒ අනුව මහත් අනුගාමිකයෝද ඒ වටා රොක් වෙති. ෂට් ශාස්තෘන් අතර සිටි පූර්ණ කස්සප විශාල අනුගාමිකයින් සහිත ශාස්තෘවරයෙකු වූයේ පලා යද්දී සොරු විසින් ඔහුගේ හැඳිවත ලිහා ගනු ලැබීමත් සමඟයි. ඇඳිවත නැතිව සෙළුවෙන් ගමන් කරන්නේ, ඔහු දුටු මිනිස්සු නූල් පටකටවත් ආශා නැති අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ආජීවකයෙකු වශයෙන් සලකා අනුගාමිකයන් බවට පත්වූහ. මක්ඛලී ගෝසාලද මෙවැනිම ආකාරයෙන් ආගමික ශාස්තෘවරයෙකු බවට පත්වී ඇත. අදත් එසේ යමෙක් මම සෝවාන් මාර්ගඵලයට පත්වූහ’යි හෝ මහරහතන් බවට පත්වූහයි ප්‍රකාශ කරයි නම් ඔහු වටා විශාල අනුගාමික පිරිසක් එක්රොක් වෙති.මේ ප්‍රස්තූතයෙහි ලා අපගේ අගති විරහිත අභිලාෂය ඊනියා ජනප්‍රිය ධර්ම සන්නිවේදකයන් විසින් සිදු කරනු ලබන බරපතල, ධර්ම විරෝධී – විනය විරෝධී – ශාසන විරෝධී අශාස්ත්‍රීය ධර්ම විවරණ පිළිබඳව පාඨක ඔබගේ අවධානය යොමු කරවීමයි.මේවා පිළිබඳව නිහඬ වුවහොත් හෙට අනිද්දා නීලපට දර්ශනයත් කරලිය මත රඟ දැක්වේවි.

පොල්හවෙල වඩුවාව මහමෙව්නා භාවනා අසපු සංකීර්ණාධිපති කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි වර්තමාන ධර්ම සන්නිවේදනයේ අසහාය දූතයා වශයෙන් තමා විසින්ම හඳුන්වා ගනී. ඒ හිමියෝ ස්වයංභූත ඤාණයෙන් ධර්මය අවබෝධ කොට ඇත.” එම නිසා ශාන්තිනායක බුදු රජාණන් වහන්සේ විසින් පන්සාලිස් වසක් පුරා දෙව්මිනිසුන්ට වදාළ ශ්‍රී සද්ධර්මය සංගෘහිත කොට මහරහතන් වහන්සේලා මෙන්ම මහත් විශාරද ධර්මධර විනයධර සාත්වික මහතෙරපාණන් වහන්සේලා සම්මත කළ අටුවා ටීකා ආදී තදානුබද්ධ ග්‍රන්ථ කිරිබත්ගොඩ ඤාණානන්ද නමැති අල්පශ්‍රැත භික්ෂුව පිළිගන්නේ නැත. ඒ හිමියෝ සූත්‍ර විනය අභිධර්ම යන තුන් පිටකයම නොව ග්‍රන්ථ කිහිපයක් පමණක් පිළිගන්නා ලෙස අනුගාමිකයින්ට කියනු ලැබේ. ඒ බව මහමෙව්නාවේ බෝධිඥාන සභාව” නමැති ස්වකීය ව්‍යවස්ථා මාලාව ඇතුළත් පුස්තකයේ දීඝනිකාය – මජ්ඣිම නිකාය – සංයුක්ත නිකාය – අංගුත්තර නිකාය – ඛුද්දක පාඨ – ධම්මපද – උදාන – ඉතිවුත්තක – සුත්ත නිපාත – ථෙරථෙරී ගාථා – විමාන වත්ථු – පේතවත්ථු යන සූත්ර පිටකයේ ග්‍රන්ථත්, විනය පිටකයත් පමණක් බුද්ධ භාෂිත වශයෙන් සලකන බව සඳහන් වේ. අභිධර්ම පිටකයත්, සූත්‍ර පිටකයේ ඇතැම් කොටසුත්, අටුවා ග්‍රන්ථත් සම්පූර්ණයෙන්ම තමන්ගේ ධර්මයට ඇතුළත් නොවන බව කිරිබත්ගොඩ හිමියන් විසින් තම ශ්‍රාවකයන්ට නිර්දේශ කරනු ලබයි. අවුරුදු දෙදහසකට වඩා පැරණි සූත්‍ර පිටකයේ විවිධ සූත්‍ර උධෘත කොට සංගෘහිත පිරිත් පොත සිංහලයට නඟමින් තමන්ට අභිමත පරිදි බයිබලයේ ගීතිකා බවට පත්කොට තිබේ.

චිරාගතව පවත්නා ශාසනික වත්පිළිවෙත්, එනම්, සත් දවසේ දාන, මතක වස්ත්‍ර පිදීම් ආදී පාංශුකූල චාරිත්‍ර වාරිත්‍ර ධර්ම, බෝධි පූජා, චෛත්‍ය පූජාදී පුණ්‍යකර්ම මේ හිමියන් ප්‍රතික්ෂේප කරමින් අමුතුම මාදිලියේ චාරිත්‍ර ධර්මයකට සාමාන්‍ය බෞද්ධ ජනතාව හුරු පුරුදු කරගෙන යන බවක් දක්නට ලැබේ. බුදු රජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” නම් ඤාණානන්ද හිමියන්ගේ ග්‍රන්ථයේ බෞද්ධ ජන විඤ්ඤාණය කඩා දමන, සාහසික ප්‍රකාශයක සැටි බලන්න. බුදු පිළිම කැඩුවට බුදු රජාණන් වහන්සේට හානියක් නෑ. පුංචි ළමයින්ට ශ්‍රද්ධාව ඇති කරන්න බුදු පිළිම ඕනෑ නෑ. ප්‍රතිමා වහන්සේ නමක් දැක්කම ශ්‍රද්ධාව ඇති වෙනවා යැයි කීම බොරුවක්…” මේ එදා ඓතිහාසික බාමියන් බුද්ධ ප්‍රතිමා අන්තවාදී මුසල්මානුවන් විසින් කඩා බිඳ දමන විට ලහිලහියේ මුද්‍රණය කළ ඉහත පොතෙන් උපුටා ගත් වැකි කිහිපයකි.

බුදු දහමේ සුවිශේෂී ඉගැන්වීමක් වන ගම්භීර පටිච්ච සමුප්පාද ධර්මය අශාස්ත්‍රීය ලෙස හිතුමතයේ විකෘති කොට ඇති බව උන්වහන්සේගේ විශ්මිත අවබෝධය” නමැති කෘතියෙන් හෙළි වේ. පෙළ දහම අටුවා ටීකා හා තදානුබද්ධ සප්‍රමාණික කෘති ආශ්‍රිතව මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් හෙබි ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, විචක්ෂණ උතුමන්ලා විසින් සිදු කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනය අද පාළි භාෂාව පමණක් නොව, සිංහල බසවත් හරිහැටි නොදන්නා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය” යනුවෙන් සරල සිංහලයට නඟමින් පවතිනු ලැබේ. ඇත්ත වශයෙන්ම මෙය ඒ හිමියන්ගේ නිර්මාණයක් නොවේ. මීට දශක පහකට පමණ ඉහත දී මහ පඬිවරුන් ලවා සරල සිංහල බසට නඟා ඇති ඊ.පී.ද සිල්වා ශ්‍රීමතාණන්ගේ ත්‍රිපිටක පොත් පෙළ ආශ්‍රයෙන් සිංහල බස මරමින් අවියත් කටවහරෙන් උක්ත ග්‍රන්ථ සම්පාදනය කොට ඇත. 2003 වර්ෂයේ මහමෙව්නාවේ බෝධිඥාන ත්‍රිපිටක ග්‍රන්ථ මාලා – 02 ආශ්චර්යමත් ශ්‍රි සද්ධර්මය – සංයුක්ත නිකාය අපගේ අවධානයට ලක්විය. එහි ඇති සදොස් ධර්මය විකෘති කරන අශාස්ත්‍රීයත්වය උදාහරණ සහිතව පෙන්වා දීමට මෙම ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවද කිව යුතුය.

එහෙත්, එක් නිදසුනක් වශයෙන් මෙය සලකා බලමු.
එවං මේ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති (ජේතවනෙ අනාථ පණ්ඩිකස්ස) අරාමෙ” මෙය සූත්‍ර පිටකයේ සූත්‍ර නිධානය පැහැදිලි කිරීම පිණිස භාවිත කරන සංගෘහිත රූඪිගත පාලි රීතියයි. මෙය සිංහලයට නැඟිය යුත්තේ එක් සමයෙක්හි නැතහොත් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි (ජේතවන නම් අනේපිඬු සිටුහුගේ) ආරම්හි (ආරාමයෙහි) වැඩ වසන සේක.” යනුවෙනි. සූත්‍ර පිටකයේ සූත්‍ර පරිවර්තනයේදී රූඪිගත සිංහල රීතිය මෙයයි. මෙය ඉතා නිවැරදි පෙළට හානි නොවන පරිවර්තනයයි. නමුත් කිරිබත්ගොඩ හිමියන්ගේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමැති ග්‍රන්ථයෙහි එය දක්වා ඇත්තේ මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි… ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ අසපුවේ” යනුවෙන් කටවහරට නඟා ඇත. මේ ශෛලිය එක දිගට යන්නේද නොවේ. මේ බස අවියත්, අවිනිශ්චිතාර්ථය හඟවයි. මා හට” යනු අපපාඨයකි. අසන්නට ලැබුණේ” යනු අවිනිශ්චිතාර්ථසූචක පදයයි. එමඟින් සූත්‍ර නිධානය පිළිබඳව සැකයක් ශ්‍රාවකයා තුළ ඇති කොට දහම බොරුවක්ය යන මතය ස්ඵුට කරලීමට සූක්ෂ්ම උත්සාහයක් දරයි. තවද ආරාම යන පාලි ශබ්දය සෙසු ආගමිකයන් විසූ ස්ථානයන්ගෙන් බුද්ධශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටි ස්ථාන වෙන්කොට හඳුනා ගැනීමට උපයුක්ත පදයකි. එම නිසා අසපු යනුවෙන් සිංහලයට පරිවර්තනය කිරීම ධර්මය විකෘති කිරීමකි. සිංහලයට මෙය බිඳෙන්නේ ආශ්‍රම – අස්සම – අසපු යනුවෙනි. ආශ්‍රමයන්හි විසූවෝ බමුණෝය; පරිව්‍රාජකයෝය; නිඝණ්ඨයෝය. එම නිසා අසපු යන පදයත් සමඟ ගොඩ නැගෙන ආගමික සංස්කෘතිය වූ කලී යාගහෝම ආදිය කරන, විවාහක පූජකයන් සිටින ස්ථානයකි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙනුයේ පන්සල්වලය; නැතහොත් ආරාමවලය. එහෙයින් අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායෙන් බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය වෙන් කොට හඳුනා ගත යුතු වූ නිසා අසපු පිළිගැනීමට බුදු රජාණන් වහන්සේ අනුදැන වදාරා නැත. එසේ පිළිගැනීම ධර්ම විනය වැනසීමට බලා සිට අන්‍ය තීර්ථක පුලන්නන්ට දොරටු විවර කිර දීමක් බඳුය. කෙසේ වෙතත් බෞද්ධ ආරාමය අසපු යනුවෙන් අන්වර්ථ ගැන්වීමට කිරිබත්ගොඩ හිමි ප්‍රමුඛ අසපුවාදීන්ට ඇත්තේ බලවත් ඕනෑකමකි. පන්සල යන ශාසනික අංගයත් සමග සිතට නැගෙන ඒ හා බැඳි සංස්කෘතියක් ඇත. කිරිබත්ගොඩ හිමි උපායශීලීව කටයුතු කරනුයේ අසපු තුළින් බෞද්ධ ආරාම දූෂ්‍ය කිරීමටය.

කිරිබත්ගොඩ හිමියන්ගේ ත්‍රිපිටක ග්‍රන්ථ කියවන විට ධර්මය දන්නවුන්ට යාදිනියක ස්වරූපය හැඟෙයි. එම නිසා ධර්ම ගරුත්වය, අර්ථ ගරුත්වය, ඖචිත්‍යය හීනත්වය ආදී අනේක දොස් තිබෙන මේ පරිවර්තන බුද්ධ වචනය දූෂ්‍ය කරන්නකි.

ශ්‍රී ජයවර්ධනපුර රජමල්වත්ත විපස්සනා භාවනායතනාධිපති අරෑපොළ විපස්සි හිමියන්ගේ ධර්ම විවරණද සදොස්ය. උන්වහන්සේ කලකදී සෝවාන් සහතිකය” ද පිරිනමා ඇත. ඒ බවට එක්තරා සාක්ෂියක් වශයෙන් උන්වහන්සේට ආශිර්වාද පතා 2006 මැයි මස 10 වන දින සිට පවත්වනු ලබන පිංකම් මාලාවේ දැන්වීමෙහි මෙසේ සඳහන් කොට තිබීම පෙන්වා දිය හැකිය. එනම්, 25 වසරක කාල සීමාව තුළ ඉහත භාවනායතනයෙන් භාවනාව දියුණු කොටගෙන මාර්ග – ඵල පැමිණි ආර්ය භාවයට පත් සැමදෙන මෙම ගරු පිංකම්වලට විශේෂයෙන් පැමිණ සහභාගී ව අසූවිය සපුරන ස්වාමීන් වහන්සේට ආසිරි පතන්න.” 1997 දී මොවුන් විසින් බුදු පිරිස” නමින් පොතක් මුද්‍රණය කොට බෙදා හැර ඇත. එහි කර්තෘ හෝ ප්‍රකාශන ආයතනය හෝ සඳහන් නොවේ. එසේ වුවත්, මේ පොත ඇරෑපොළ විපස්සී හිමියන්ගේ රචනාවකි. මෙහි 1982 වර්ෂයේ මාර්ග – ඵල ලාභී බුදු පිරිසේ සංඛ්‍යාලේඛනය ඉදිරිපත් කොට ඇත. එනම්, සෝවාන් ඵලය ලැබූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා 1,464කි. සෝවාන් ඵලයට පැමිණි උපාසක උපාසිකාවන් 12,300කි. අනාගාමී මාර්ගයට පැමිණි බුද්ධ පුත්රයන් වහන්සේලා 377කි. අනාගාමී මාර්ගයේ ගිහි පිරිස 84ක් ආදී වශයෙනි.

කොළොන්නාවේ සුමංගල හිමියන්ද කලක් තොදොල් වදනින් සාමාන්‍ය උපාසක උපාසිකාවන් හමුවේ බණින් හඬා වැළැපුණු දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් චිරප්‍රසිද්ධය. උන්වහන්සේ පිළිම නෑවීම, බුද්ධ වච්ඡකුටි තැනැවීම් ආදී අපූර්ව දේ සිදු කොට ඇත.

බණ්ඩාරවෙල අමිතානන්ද හිමි නූතනයේ ජනප්‍රිය දේශකයාණන් වහන්සේ නමකි. ඒ හිමියන් වරක් අත්ථකිලමතානුයෝගය පිළිබඳ ජාතික රුපවාහිනියේදී අපූර්ව විග්‍රහයක් කරන ලදී. එනම්, අත්ථ ඛීලණය කරන නිසා අත්ථකිලමතානු නම් වේ. අත්ථ යනු අර්ථයයි. එනම් ධනයයි. ධනය විනාශ කිරීම අත්ථකිලමතානු යෝගයයි. පාලි භාෂාව දන්නා ඕනෑම කෙනෙකුට මෙහි ඇති සාවද්‍යතාව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

ඉකුත් උඳුවප් පොහෝ දිනක ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය කරන ලද යොවුන් සිතට දහම් සිතුවිලි” නම් වැඩසටහනේදීමවක් තම දරුවා දිවි නසාගත් බව කියමින් ඔහුගේ අනාගත භවය ගැන විමසුවාය. අමිතානන්ද හිමියන් ගත් කටටම කියා සිටියේ අපායේ උපදින බවයි. චුති හා ප්‍රතිසන්ධි සිත් පිළිබඳව තීරණාත්මකව මෙසේ පිළිතුරු දිය හැක්කේ සත්වයාගේ චුතිය හා උප්පත්තිය දක්නා නුවණැති බුදු රජාණන් වහන්සේට පමණි. එසේම, සිය පුතුගේ වියෝවෙන් තැවෙන මවකට දුන් ඒ පිළිතුර ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාක් වැනිය. බෞද්ධ භික්ෂුවගේ ධර්ම සන්නිවේදනයක හැටි? තවද, මස් කෑම නොව මස් කෑමට සිතන එක පවා අවීචිමහා නරකාදියෙහි ඉපැදීමට හේතු වෙතැයි කියමින් නිතර නිතර මිනිසුන් පෙළයි. අමිතානන්ද හිමියන්ගේ ධර්ම විවරණ බොහෝ වැරදි සහගතයි. සාමාන්‍ය ජනයා නොමඟ යවන සුළුයි.

ලොකුගේ, සිරිවර්ධන, ගොඩකන්ද ආදී ගිහියන් විසින් තම තමන් සෝවාන් ආදී මාර්ග ඵලයන් මතු නොව බුද්ධත්වයට පත්ව ඇති බවටද වහසි බස් තෙපලයි. තව නිර්භයව හා නිර්ලැජ්ජිතව ඒවා ප්‍රකාශ කරයි. ගොඩකන්ද රහත්භාවය ස්වර්ග රාජ්‍යයට සමාන කොට දේශනා පවත්වයි. මුල මැද අග සම්බන්ධයක් නැති කිසිඳු ශාස්ත්‍රීය ධර්මානුකූල පදනමක් නැති පල් හෑලි ඇද බාන්නට මේ අමනයන්ට බෞද්ධ රටේ බෞද්ධ ජනතාවම ඉඩ දී ඇත. පොළොන්නරුවේ සම්බුද්ධ විදර්ශනා අසපුවේ ලංකාපුර සාරිපුත්ත සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් ඇත. ඇත්තෙන්ම ඔහු මොඩිෆයි මහරහතන් වහන්සේ නමකි. මක්නිසා යත්, දුරකථනය – ජංගම දුරකථනය – වෙබ් අඩවි – ඊමේල් ආදී සියලු උපභෝග පරිභෝග වස්තූන් ඔහු සතුව ඇත. සිරි සමන්තභද්‍ර නමින් පෙනී සිටින පිටිදූවේ සිරිධම්මලාද, ලංකාවේ බුදුන් උපන් බවට බොරු ගොතමින් රහත් භාවය හඟවන ගුරුවරයෙක් හෝ නැති මීවනපලානේ සිරි ධම්මාලංකාරලාද මෙලෙසම එකම බෝට්ටුවේ හබල් ගසන්නෝ වෙති. අපේ බෞද්ධයෝ අපට අවරෙන් ගියත් එකයි ඇනියෙන් ගියත් එකයි කියමින් ඔහේ ඕවා පස්සේ දුවති. තමා නොදැනුවත්වම ශාසනික විනාශයට දායක වන බව අපේ බොහෝ ගහි පිංවතුන් දන්නේ නැත. එයින් තමාටත්, අනුන්ටත් අත්වනුයේ මහා විපත්තියකි. සමහරු මේ ශාසනික කඳ පණුවන් මානසික රෝගීන් යැයි කියති. එහෙත්, සැබෑ ලෙසම මොවුන් මානසික රෝගීන් නොවෙති. සසුන තුළට රිංගා ගත් අන්‍යාගමික කුමන්ත්‍රණකරුවන්ය. බුද්ධ රාජ්‍ය සංකල්පය හරහා බුදු දහම ක්‍රිස්තියානිකරණය කරමින් ඇමෙරිකානු දේවරාජ්‍ය මෙහෙයුම ඉතාමත් සූක්ෂමව ක්‍රියාත්මක වන බව අපේ බෞද්ධයෝ දන්නේ නැත. යථාර්ථය අවබෝධ කරගන්නා විට පෙරහැර ගොස් හමාරය. බුදු රජාණන් වහන්සේ විසින්ම පෙන්වා දුන් පරිදි සසුන බාහිරව සිට වැනසිය නොහැක. ආපෝ – තේජෝ – වායෝ – පඨවි යන සතර මහාභූතයන්ට මෙම සසුන අතුරුදන් කළ නොහෙති. සසුන තුළම පහළ වන හිස් පුරුෂයන් විසින් සසුන අතුරුදන් කරති. මොවුන්ට එරෙහිව ශාසනික පියවර ගැනීමට කාලය එළැඹ ඇත. ඒ සඳහා භික්ෂු – භික්ෂුණී – උපාසක – උපාසිකා යන සිව්වණක් පිරිසම ඒකරාශී විය යුතුය.

4 Responses to “වැල්ල නොපාගා රැල්ල පාගන්න ට්‍රයි කරන පැවිද්දෝ….!!!”

  1. NeelaMahaYoda Says:

    පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියනි

    ඉහත සදහන් අයට අමතරව අමුතු වර්ගයේ බොරු චිතනයක් ඇදබාන, ස්වයංභූත ඤාණයෙන් ධර්මය අවබෝධ කොට ඇති අභිධර්ම පිටකයත්, සූත්‍ර පිටකයේ ඇතැම් කොටසුත්, අටුවා ග්‍රන්ථත් සම්පූර්ණයෙන්ම තමන්ගේ ධර්මයට ඇතුළත් නොවන බව කියන නලින් සිල්වා කියන විශ්වවිද්යාල ගුරුවරයාත් මේ ගනයටම දැමියයුතු බව කරුනාපූර්වකව සලකන්න.

  2. Senevirath Says:

    විපස්සි හිමියනි නම්ගම් ඇතුව ලිව්වා එක හරිම අගෙය් මෙවැනි ලේඛකයන් එඩිතර ය අවශ්‍යය . හැබය් nmy කියන ජාතියේ අයෙක් නොවෙය නලින් ද සිල්වා ඔහු 100% ක් ථේරවාදය පිළිගන්නා එහෙත් ලෞකික විද්‍යා තිරශ්චීන විද්‍යා බව පිළිගන්නා අයෙක් හොඳට එයාගේ ලිපි කියවා බලන්න

  3. NeelaMahaYoda Says:

    සෙනවිරත්
    නලින් ද සිල්වා ගැන සුදු හුනුගෑමට අවහ්‍ය නැත.
    ඔහු 100% ක් ථේරවාදය පිළිගන්නා කෙනෙක්නම් අභිධර්ම පිටකයත්, සූත්‍ර පිටකයේ ඇතැම් කොටසුත් (ඛුද්දක නිකායේ පඨිසම්භිදාමග්ග ), අටුවා ග්‍රන්ථත් සම්පූර්ණයෙන්ම අතහැර දැමිය යුතුයැයි කියන්නෙ ඇයි?, අභිධර්ම පිටකයේ ඇති සියලු දහමමද විසුද්දිමහ්හයෙහි ඇති භාවනා ක්‍රම ද ඛුද්දක නිකායේ පඨිසම්භිදාමග්ගයෙහිද විස්තරකර ඇතිබව ඔහු දන්නේ නැත.
    ඔහුගේ චින්තනයත් මහමෙව්නා භාවනා අසපු සංකීර්ණාධිපති කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ චින්තනයත් අතර වෙනසක් නොමැත
    එහෙත් ලෞකික විද්‍යා තිරශ්චීන විද්‍යා බව පිළිගන්නා අයෙක්නම් ඔහු අසනීපවූවිට පමනක් බටහිර විද්‍යාවෙන් උපතලත් බටහිර වෛද්‍යවරුන්ගේ පිහිට පතන්නේ ඇයි?.
    මේ සියලුදේම කරන්නේ ඔහු පට්ටපල් බොරුකාරයෙක් පමනක් නොව කතෝලික මූලධර්මවාදින්හේ අතකොලුවක් පමනක් නිසාය.

  4. NeelaMahaYoda Says:

    අයිඩෙන්ටිය නැතැයි උපාසක අම්මා අසපුවෙන් හරවා එවයි

    චමින්ද සිල්වා

    පොසොන් පෝය නිමිති කරගෙන පෙරේදා (19 වැනිදා) බෙල්ලන්විල ප්‍රදේශයේ ප්‍රකට අසපුවකට සිල් සමාදන්වීම සඳහා ගිය උපාසක මාතාවක්‌ එම අසපුවෙන් නිකුත් කර තිබෙන හැඳුනුම්පත නොමැතිවීම නිසා ඊට ඇතුළත් කරගෙන නැත.

    එම උපාසක මාතාව අලුයම අවදි වී සිය සැමියාට සහ දරුවන්ට ආහාර පිළියෙළ කර උදේ ආහාරය ද නොගෙන සුදුවතින් සැරසී සිල් සමාදන්වීම සඳහා අසපුවට ගොස්‌ ඇත.

    එහිදී ඇතුළුවන ගේට්‌ටුව අසල රැකවල්ලා සිටි පුද්ගලයන් දෙදෙනකු සහ හිමිනමක්‌ විහාරස්‌ථානයෙන් නිකුත් කර තිබෙන හැඳුනුම්පත් පරීක්‍ෂා කර සැදැහැවතුන් අසපුවට ඇතුළු කරගනිමින් සිට ඇත.

    එම අවස්‌ථාවේ අසපුවට ඇතුළුවීමට ගිය ඉහත උපාසිකා මාතාව සිය හැඳුනුම්පත අමතක වී ඇතැයි රැකවල්ලා සිටි ස්‌ථානයේ හිමියන්ට පැවසුවත් හැඳුනුම්පත නොමැතිව ඇතුළු කරගත නොහැකි බවත් නිවසට ගොස්‌ හෝ ජංගම දුරකථනයෙන් කතා කර හැඳුනුම්පත ගෙන්වා ගන්නා ලෙසත් උන්වහන්සේ ඇයට දැනුම් දී ඇත.

    එහිදී මහත් අසරණ තත්ත්වයට පත් වූ උපාසිකා මාතාව පොලිසියේ ඉහළ නිලයක්‌ දරන තම ස්‌වාමියා අමතා තමාට අමතක වූ හැඳුනුම්පත රැගෙනවිත් දෙන ලෙස ඉල්ලීමක්‌ කර ඇත.

    එහිදී ඔහු විසින් තම බිරිඳට නැවත නිවසට පැමිණෙන ලෙස දැනුම් දී ගෙන්වා ගත් බවත් මෙවැනි සිදුවීම් නිසා බුදුන් වහන්සේ සියලු සත්ත්වයන්ට එක හා සමානව මෛත්‍රි කරුණාව දැක්‌වීමට දේශනා කළ නිර්මල බුදු දහමට විශාල කැළලක්‌ ඇතිවන බවත් එම නිලධාරියා ‘දිවයින’ට ඊයේ කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress