2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ
Posted on June 18th, 2016

ධර්මන් වික්‍රමරත්න         

ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම යෙදී ඇත්තේ ජුනි 20 එනම් හෙටය. එහි ප්‍රධාන සැමරුම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ(අන්තරේ) ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ සබරගමු විශ්ව විද්‍යාලයේදීය. මෙය තවත් මළවුන් සිහිකිරීමක් නොවේ. මියෙන බව දැන දැනම ජීවිතය අරගලයක් බවට පත්කරගත් සිසු පරපුරක අත්දැකීම් වර්තමානයට කැඳවීමකි. බොහෝ දෙනා නිද්‍රාශීලිව සිටි වකවානුවක ඇහැරී සිටි මිනිසුන්ගේ කථාවකි. ඔවුහු තබාගිය පරමාදර්ශී සටහන් හදවත් තුල ගැඹුරුතම තැනක පිහිටමින් වර්තමානයේද දිරිමත් කරනු ලබයි. අධ්‍යාපනය යනු වරප්‍රසාදයක් නොව අයිතියක් බව අවධාරණය කල ඔවුහු දෑසින් පමණක් නොව නුවණැසින්ද ලෝකය දෙස බලන්නට රටට පෙරමඟ පෙන්වූහ. එහිදී ඇතිවූ ඇතැම් සිද්ධීන් සාධනීය මෙන්ම නිශේධනය විය හැකි නමුදු ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළු සිසුන් 11 දෙනෙකු පේරාදෙණිය සරසවියේ පොලිසිය ඉදිරිපිටින් ගමන්කරන විට ලයනල් අලහකෝන් ශිෂ්‍යයාගේ අත පොලිස් ජනේලයක වැදීමේ සිද්ධියකින් පසුව එය ගාලගෝටිටියක් බවට පත්විය. රාත්‍රී 10.10ට තැබූ වෙඩි තැබීමක ප්‍රතිඵලයක් වශයෙන් පේරාදෙණිය රෝහලේ වාට්ටු අංක 10ට ඇතුලත්කල පත්මසිරි ජුනි 20 අළුයම 1.32ට මියගොස් තිබිණි. ලොව ප්‍රථමවරට සරසවියක් තුළ ස්ථාපිත කල පොලිසියවූ  1983 දෙසැම්බර් 27 පිහිටවූ පේරාදෙණිය සරසවි පොලිසිය ඉන්පසු ඉවත්කරගැනිමට සිදුවිය. එම ඝාතනයට එරෙහිව රටපුරා සරසවි සහ පාසැල් සිසුන් උද්ඝෝෂණ පැවැත්වූ අතර කොළඹ සරසවි සිසුන් 1984 ජුනි 21වැනිදා පැවැත්වූ උද්ඝෝෂණයකදී පොලිසිය මගින් කල වෙඩි තැබිමෙන් කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ රෝහණ රත්නායකද මරමුවට පත්විය.

dharman18061602පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, පශු සහ දන්ත යන පීඨයන්හි අධ්‍යාපනය ලබමින් සිටියදී ඝාතනයට ලක්වූ වෛද්‍ය සිසුන් 22දෙනා මෙසේය. වමේ සිට වෛද්‍ය පීඨයේ දඹුල්ල තිත්තවැල්ගොල්ලේ එච්.එම්. පොඩිබණ්ඩා, නිකවැරටිය තලාකොලවැව විමල් කුලතුංග, අනුරාධපුර කීරකුලමේ පාලිත සෙනෙවිරත්න, හැටන් මල්ලිඅප්පුහි ජයශ්‍රී කුලසේකර, කෑගල්ල මඩවල දේවප්‍රිය සිසිර කුමාර, වැලිමඩ නිශාන්ත තෙන්නකෝන්, ගිණිගත්හේනේ උපාලි ජයසේකර, නුවර මුරුතලාවේ ඒ.එස්.එල්. අතපත්තු, කුලියාපිටිය සදලංකාවේ උපුල් ප්‍රියශාන්ත ඒකනායක, හැටන් නීල් හේමන්ත ලියනගේ, ගිණිගත්හේන සනත් ද සිල්වා, අම්බලන්ගොඩ එම්.ඩී. ධර්මපාල, මාතලේ සුනිල් කුමාර කාරියවසම්, කුරුණෑගල ප්‍රභාත් ආරියචන්ද්‍ර, කුරුණෑගල රිෆ්ති සකාබ්, කුරුණෑගල පුත්තලම පාරේ පූලස්ති ආදිත්‍ය ජයසේකර, සදලංකාවේ සුනන්ද ජයවර්ධන, දන්ත වෛද්‍ය පීඨයේ ගිණිගත්හේන ධර්මප්‍රිය ජයනන්ද, පශු වෛද්‍ය පීඨයේ කුලියාපිටියේ නිහාල් ප්‍රේමචන්ද්‍ර, අම්පාර ඉඟිනියාගල ලක්ෂ්මන් රංජිත් අබේරත්න සහ හබරාදූව අඟුළුගහ ජනක සෙනෙවිරත්න(දන්ත වෛද්‍ය සිසු රත්තපුරේ විපුල් පෙරේරා නොහොත් දේවක මෙහි නැත)

වීරසූරිය සරසවි සිසුවා සැමරීම 1977 සිට 1983 දක්වා සෑම නොවැම්බර් 12වැනිදා පේරාදෙණිය සරසවියේදී සිදුකෙරිණි. අනතුරුව පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක සිසුන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක්ද පේරාදෙණිය සහ කොළඹ සරසවියන්හි ජුනි 19 සහ 21 යන දිනයන්හි අවිධිමත්ව පැවතිණි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මෙම සැමරුම් උත්සව තුනම 1986 සිට වසර එක්දිනක පැවැත්වීමට තීරණය විය. ඒ අනුව 1986 සිට නොවැම්බර් 12 වැනිදා එම සැමරුම සඳහා වෙන්විය. ජාතික ශිෂ්‍ය වීර දිනය ලෙස එය ජුනි 20වැනිදා තීරණය කළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහායද ඇතිව දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය මගින් 1988දී ජුනි 14වැනිදා ආරම්භ කල ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය මගිනි. ඒ අනුව 1988 ජුනි 20වැනිදා පේරාදෙණිය සරසවියේදී ප්‍රථම සැමරුම පැවැත්විණි. මෙවර ජාතික ශිෂ්‍ය වීර දිනය 2016 ජුනි 20වැනිදා පවත්වනු ලබන්නේ පැවැත්වූයේ 28වැනි වරටය.

වීරසූරිය ඝාතනය වූ 1976 දෙසැම්බර් 12 සිට 2016 ජුනි 17 දක්වා ඝාතනයට ලක්වූ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 632කි. ඉන් 623ක් ඝාතනය වූයේ ජවිපෙ දෙවන කැරළි සමය වන 1986 සිට 1990 දක්වාය. ජවිපෙ දෙවන කැරැල්ලේදි ඝාතනයට ලක්වූ සරසවි සිසුන් 396ක් හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදහන් විය. ජවිපෙ දෙවන කැරළි සමයේදී ඝාතනයට ලක්වූ පාසැල් සිසුන් සංඛ්‍යාව 2,327කි. මේ අනුව 1976  සිට මේ දක්වා ඝාතනයට ලක්වී ඇති පාසැල් සහ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 2,959කි. සෑම වසරකම ජුනි 20වැනිදා ශිෂ්‍ය වීර දිනය පැවැත්වෙන්නේ මෙම සිසු විරුවන් සැමරීම උදෙසාය. මෙම සිසු විරුවන් ඌරු හොටක්, බූරු පිටක් උකුසු ඇසක් සහිත පුද්ගලයින් විය. ඔවුහු ජීවිතය පවත්වාගෙන යාම පිනිස ඕනෑම අහරක් කුසගින්න වෙනුවෙන් අනුභව කරන අය විය. ශිෂ්‍ය ව්‍යාපාරය ලබාදෙන ඕනෑම බරක් හෝ වගකීමක් දරාගත හැකි විය. සතුරාගේ හැසිරීම් ගැන දේශපාලන විපර්යාසයන් පිළිබඳව සෝදිසියෙන් සිටි අය වූහ.

dharman18061603සිසු විරුවන් සැමරීම සඳහා මොරටු සරසවියේ ඉදිකල ස්මාරකය(වමේ) සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේදී ඉදිකල ස්මාරකය දකුණේ වේ.(වසර 1992 ජුලි 15 ස්ථාපිත කරන ලද ජ’පුර ප්‍රථම විරු සිසු ස්මාරකය එජාප ආණ්ඩු සමයේ 2002දී දේශපාලන මැරවරයින් විසින් බලහත්කාරයෙන් කඩා විනාශකල අතර දැන් දිස්වන්නේ 2008 ජුනි 20 යළිත් අළුතින් ස්ථාපනය කරන ලද ස්මාරකය වේ.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ජීව ගුණය රඳා පැවතියේ එම සිසුන්ගේ වීරත්වය සහ පරිත්‍යාගය මගිනි. ඉතිහාසයේ උදාරතර පිය සටහන් ශිෂ්‍ය ව්‍යාපාරය සතුය. අසූව දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉදිරියේ මුළු මහත් සමාජයම දණගසා සිටි මොහොතක, මිනිසුන් වහලුන් සේ දිවි ගෙවූ අදුරු කාල පරිච්ඡේදයක ඒ සියල්ලටම එරෙහිව පෙරට පැමිණියේ සිසු විරුවන්ය. යහපත් හෙට දිනක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් සිසු විරුවන් සිය දිවි පුද කලහ. නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ඔවුන් දැක්වූ දායකත්වය අඩුවෙන් තක්සේරු කිරිමට කිසිවෙකුට කල නොහැකිය.

එජාප ආණ්ඩුව 1977 ජුලි පත්වීමෙන් පසුව බුද්ධිමතුන්ට, වැඩකරන ජනතාවට, සරසවි සිසුන්ට, සිවිල් සමාජයට සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදිව ස්වකීය අයිතීන් දිනා ගැනීමට සහ ඒවා ආරක්ෂාකර ගැනීමට සඳහා අරගල කිරීමට තිබූ අයිතීන් මර්ධනකාරීව පැහැරගනු ලැබීය. එජාප ආණ්ඩුව තම ක්‍රියාකාරිත්වයට එරෙහිව නැගුණු සෑම ජනතා අරගලයක්ම මර්ධනය කලා පමණක් නොව ස්වකීය බලය සදාකාලිකව පවත්වා ගැනීම සඳහා ක්‍රම සහ විධි ක්‍රියාවට නගනු ලැබීය. මහා මැතිවරණයකින් ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අවස්ථාද අහිමි කළේය. මෙහිදී වෘත්තීය සමිති ව්‍යාපාරය පසුබෑමකට ලක්වූවද අධ්‍යාපන කප්පාදුවට සහ ශිෂ්‍ය මර්ධනයට එරෙහිව සිසුහු නොබියව සටන් වැදුනාහ. සරසවි සිසුන් එහි ගාමක බලවේගය වූ අතර පාසල් සිසුන් එහි සටන් සගයන් බවට පත් විය. ඉකුත් 71 අප්‍රේල් කැරැල්ලේදී විප්ලවයේ ගිනිසිළු සිසුන් වූවා සේම ජවිපෙ 2වැනි කැරැල්ලේ ගිනිසිළු වූයේද සිසුන්ය. පාසැල් ක්ෂේත්‍රයේ සිසුහු 4,004,086ද, ගුරුවරු 223,333ක්ද වර්තමානයේ සිටිති. පාසැල් සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අරගලයේම කොටසකි.

dharman18061604ඝාතනයට ලක්වූ කොළඹ සරසවියේ වෛද්‍ය සිසුන් 9දෙනා ඉහළ වමේ සිට. මාරවිල වෙනුර වර්ධිත එදිරිසිංහ, ගම්පහ වතුරගම සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, පන්නිපිටියේ සිසිර කීර්ති ජයවර්ධන, සුගත් අශෝක ද සිල්වා, අම්බලන්ගොඩ කහව පද්මසිරි ත්‍රීමාවිතාරණ, ලීල් සමරනායක, ගාල්ලේ වසන්ත කුමාර කුලතුංග, මහරගම ඇරැව්වල නිශාන්ත සම්පත් එදිරිවික්‍රම.

ප්‍රථම වරට පාසල් සිසුන් දෙදෙනෙකු ජවිපෙ 2වැනි කැරැල්ලේ ආරක්ෂක හමුදාව මගින් මරා දැමුවේ 1988 මාර්තු 23වැනිදා රාත්‍රියේදී ඒ හුණුකණ්ඩිය පාරේ පදිංචි තංගල්ල මහ විද්‍යාලයේ සිසුවන්වන වසන්ත වීරසිංහ සහ ප්‍රසන්න වනිගසිංහය. ජවිපෙ සිසුන්ට සහ අනුගාමිකයින්ට දඬුවම මරණයයි. යනුවෙන් සඳහන් දැන්වීමක්ද ඒ අසළ විය. තංගල්ල පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු 1988 මාර්තු 26වැනිදා සිදු කළේ 1994 මරුමුවට පත් පේරාදෙණිය වෛද්‍ය සිසු පද්මසිරි අබේසේකර සිසුවා මිහිදන් කල ස්ථානයට නුදුරිනි. වීදි බැස සිදුකල ශිෂ්‍ය උද්ඝෝෂණ හේතුවෙන් පාසල් සිසුන් විශාල පිරිසක් ඝාතනය විය. මහනුවර නුගවෙල මැදි විදුහලේ නන්දන බණ්ඩාර අබේකෝන් ඇතුළු ශිෂ්‍යයින් පිරිසක් 1988 ඔක්තෝබර් 12වැනිදාද දික්වැල්ල විජිත මහා විද්‍යාලයෙන් නිශාන්ත ජයවර්ධන ඇතුළු ශිෂ්‍යයින් කිහිප දෙනෙක් 1988 ජුනි 20වැනිදාද බදුල්ලේ ප්‍රදීප් කරුණාරත්න සිසුවාද ඇතුළු සිසුන් සිය ගණනක් වීදි පෙළපාලිවලට සහභාගිවීමේදී ඝාතනයට ලක්විය.

 පැහැරගත් බොහෝ පාසල් සිසුන් ඝාතනය කිරීමට පෙර තිරශ්චීන ලෙස වධ බන්ධන වලට ලක්විය. ඔවුන්ට ධර්ම චක්‍රය, කටුකම්බි ඇදවල්වල නිදිකිරීම, ඇණ සහ යතුරු ගිලීම, ගුද මාර්ගයට කමිබි කටු දමා ඇඟ ඇතුළේ කැරකැවීම, ටියුබ් ලයිට් කන්නට දීම, විදුලි ස්ත්‍රික්කයෙන් පිටවල් අයන් කිරීම ආදී වධ බන්ධන ගණනාවක් සිදුකර තිබිණි. ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ලොව පුරා ආන්දෝලනයට ලක් විය. ඒ වසර 1989 දෙසැම්බර් 01වැනිදා වන විට ඇඹිලිපිටිය  ප්‍රදේශයේ පාසල් 13කින් පැහැර ගත් සිසු පිරිස 53ක් වූ අතර ඉන් 48 වාගේ කුරිරු වධ බන්ධන වලින් පසු ඝාතනය කිරීමේ සිද්ධිය වේ. ඒ පිළිබදව 1992 සිට පරීක්ෂණ පැවැත්වූවද එය ආන්දෝලනයකට ලක් වූයේ 1994 ජනවාරි 04වැනිදා සුරියකන්ද සමූහ මිනී වළෙන් ඔවුන් කිහිප දෙනෙකුගේ අක්ෂි කොටස් හමුවීමත් සමඟය.

dharman18061605ඇඹිලිපිටිය මහ විද්‍යාලයේ ශිෂ්‍යයන්ව සිටියදී පැහැරගෙන ගොස් ඝාතනය කල එම විදුහලේම සිසුන් 32න් කිහිපදෙනෙක්(ඉහළ), ඝාතනයට ලක්වූ ප්‍රසන්න හඳුවල සහ මනෙල්ක සිල්වා(පහළ වම උඩ), සූරියකන්ද සමූහ මිනීවලෙන් අස්ථි කොටස් සොයාගන්නා අධිකරණ වෛද්‍ය නිලධාරින්(පහළ වම යට) අතුරුදහන්වූ සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් වසර ගණනාවක් උද්ඝෝෂණවල නිරතවූ දෙමාපිය සංවිධානයේ විරෝධතාවයක්(පහළ දකුණ).

ඝාතනයට ලක්වූ සිසුන්ගෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් කුඩා කාලයේ සිය මව හෝ පියා මියගොස් තිබිණි. නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු අතහැර ගොස් තිබිණි. එබැවින් ඔවුහු පීතෘ හෝ මාතෘ වියෝග කාන්සාවට ලක්ව සිටියහ. ඇතමෙකුට ද්‍රරිද්‍රතාවය සහ තවත් අයෙකුට සමාජ පීඩනයද උරුම විය. එබැවින් පහසුවෙන්ම රැඩිකල් දේශපාලනයේ විශෝධනයට ඔවුහු යොමුවූහ. එහෙත් බහුතරයක් එයට යොමුවූයේ පවතින පාලන ක්‍රමයට එරෙහිවය. මේ දිග හැරෙන්නේ එම දෙපිරිසෙන්ම ඔබ නොඇසූ සිසු විරුවන් කිහිපදෙනෙකුගේ කථා පුවත්ය.

පාලිත සෙනෙවිරත්න අනුරාධපුරයේ කීරකුලමේ උපන් අතර අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුළුවී දෙවන වසරේ(ජේෂ්ඨ) ශිෂ්‍යයෙකු වශයෙන් කටයුතු කළේය. 8 දෙනෙකුගෙන් යුතු පවුලක සාමාජිකයෙක්වූ පාලිත කුඩා කාලයේදීම හේන් ගොවියෙකුවූ පියා මව අතහැර ගියේය. පසුව නෙට්ටිකුලමේ දුෂ්කර ජීවිතයක් ගෙවූ පාලිතගේ මවද සියදිවි නසාගෙන තිබිණි. අනුරාධපුර පැරණි නගරයේ පදිංචි පාලිතගේ නැන්දා විසින් ඇයට දරුවන් නොසිටි බැවින් පාලිත රැකබලා ගත්තේය. ඇගේ සැමියා සංස්කෘතික ත්‍රිිකෝණයේ සේවකයෙකි. පෞද්ගලික වෙද විදුහලට එරෙහිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සක්‍රීය නායකයෙකු බවට පත්වූ පාලිත අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ කළේය. පවාදීමක ප්‍රතිඑලයක් වශයෙන් ගුරුවරයෙකු වන ආනන්ද සමඟ යතුරු පැදියක යමින් සිටියදී 1989 දෙසැම්බර් 7වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. අනුරාධපුර නගරාධිපති කල්දේරා ඔහු සොයා ගැනීමට උදව් කලද එය නිශ්ඵල විය. පසුව අනුරාධපුර පණ්ඩුලගම හමුදා කඳවුරට ගෙන ගිය පාලිත අනතුරුව තේක්ක කැලයක් අසළ තිබූ පණ්ඩුව වධකාගාරයේදී ඝාතනය විය. එවකට අනුරාධපුර හමුදා ආඥාපති සහ පුනුරුත්තාපන කටයුතු අධ්‍යක්ෂ ජනරාල් වූයේ මේජර් ජනරාල් ආනන්ද වීරසේකර වන අතර මාණ්ඩලික සැරයන් ලෙස කටයුතු කළේ නුගවෙලය.

dharman18061606ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය බිහිකල අසමසම සටන් සගයෙකුවූ පේරාදෙණියේ ඉංජිනේරු සිසු කෑගල්ලේ රංජිතම් ගුණරත්නම් ඇතුළු සරසවි සිසු නියමුවන් සහ ක්‍රියාකාරින්ට ජාතික ශිෂ්‍ය වීර දිනයකදී උපහාර දක්වන රංජිතම්ගේ නැගණියවන  නිරංජනී සහ ඇගේ දියණියන් දෙදෙනා මෙහි වේ. මැදපෙළ වමේ සිට පේරාදෙණිය රංජිතම්, මොරටුවේ නිමල් බාලසූරිය, පේරාදෙණියේ එස්. එම්. නිස්මි සහ උදේනි බන්දුල දිසානායක, කොළඹ රෝහණ රත්නායක, පේරාදෙණියේ පද්මසිරි අබේසේකර සහ රෝහණ වීරසූරියද යටිපෙල වමේ සිට කොළඹ සමන් කපුගමආරච්චි, මොරටුවේ වසන්තද සිල්වා, පේරාදෙණියේ සේනක වනිගසේකර(පැවිදි නම මුල්කිරිගල ධර්මරතන හිමි), යූ.එච්. කිංස්ලි, ජයන්ත සහ ලලිත් වරුෂහෙන්නදි වේ.

අශ්විනි ඉරේෂා පොල්ගම්පොල කෑගල්ල ගලිගමුවේ උපන් අතර ජයවර්ධනපුර සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 1986/87 කණ්ඩායමේ සාමාජිකාවකි. තෝලංගමුව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අශ්විනි කුඩා කාලයේදීම සිය මව සහ පියා වෙන්වී සිටි අතර හදාවඩා ගනු ලැබුවේ කෑගල්ලේ කැන්ඩි ෂොපින් සෙන්ටර් නම් ව්‍යාපාරයක් හිමි මාමා කෙනෙකු විසිනි. එක් සොහොයුරෙක් සිටී. කොළඹ දිස්ත්‍රික් ශිෂ්‍ය අංශයේ කටයුතු වලට පේරාදෙණිය වෛද්‍ය සිසු චම්පා සෝමරත්න සමඟ එක්ව සිටි අතර 1989 දෙසැම්බර් 30වැනිදා මොරටු සරසවිය අසළදී පැහැරගෙන යාමෙන් අනතුරුව ඝාතනයට ලක්විය. ඇය ඝාතනයට පෙර විවිධ අතවරවලටද මුහුණ දී තිබිණි.

අතුල සේනාරත්න කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ ශිෂ්‍යයෙකි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් 5 ශිෂ්‍යත්වය සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. සොයුරු සොහොයුරියන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලාවූ අතුල 1962 මාර්තු 18වැනිදා උපන්නේය. කොළඹ ගෝතමී විදුහලේ ගුරුවරියකවු මව විමලාවූ අතර පියා දරුවන් කුඩා කාලයේදීම මවගෙන් වෙන්වී තිබිණි. රාගම පෞද්ගලික වෙද විදුහලට එරෙහි සටනේ නියමුවෙකුවූ අතුල අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1990 ජනවාරි සිට මාර්තු දක්වාද 1990 මැයි සිට 1990 අගෝස්තු දක්වා කටයුතු කළේය. ජවිපෙ 2වැනි කැරැල්ල පරාජයට පත්වීමෙන් පසු ‘මේඝය නැමති ඡායා පිටපත් කරන ලද ප්‍රකාශනය මගින් බිදී තිබූ   බොහෝ සබඳතා අලුත් කිරීමට ඔහු සමත්විය.

dharman18061607ජයවර්ධනපුර සරසවියේ ඝාතනයට ලක්වූ සිසුන් 107 දෙනාගෙන් කිහිප දෙනෙක්. (ඉහළ වමේ සිට) හෙට්ටිපොල සුනිල් මාරසිංහ, කන්තලේ සුනිල් ජයරත්න, ලුණුවිල ගාමිණි මාලසිංහ, අනුරාධපුරයේ උපුල් නානායක්කාර, කුලියාපිටියේ ප්‍රේමලාල් පියසිරි, ගලිගමුවේ ඉරේෂා පොල්ගම්පොල, පානදුරේ කිත්සිරි රණවක, පානදුරේ නිශාන්ත දේශප්‍රිය පීරිස්, කෑගල්ලේ අසෝක එදිරිසිංහ, දික්වැල්ලේ තලවිල ඉන්ද්‍රසාර හිමි, අම්බලන්තොට තවාලුවිල සිරිනන්ද හිමි, මතුගම විජයමුනි ප්‍රියංකර, නුවර ගාමිණී මාරසිංහ වීරකෝන්, කඹුරුපිටියේ ජනක බඹරැන්දේ සහ බිබිලේ බණ්ඩාර.

අතුල 1990 මාර්තු මස අත්අඩංගුවට පත්වූවද අප්‍රේල් මස යළිත් පළා ඒමට සමත් විය. කහ උණ සැදී සිටියදී පවා සම්බන්ධීකරණ රැස්වීමක් සඳහා පැමිණි විට පාවාදීමක් මත අතුල යළිත් බොරැල්ලේදී 1990 අගෝස්තු 12 අත්අඩංගුවට පත්ව ගම්පහ පොලිසියේ තනිකඩ නිළධාරින්ගේ පොලිස් බැරැක්කයක පිහිටි වධකාගාරයකට ගෙන එන ලදී. එයට පෙර ඔහු පැනයාමට සමත්වූයේද මෙම වධකාගාරයෙනි. එහි දෑතට සහ දෙපයට මාංචු දා වධ බන්ධනවලට මුහුණ දුන් 9දෙනා අතර අතුල සහ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය සිසු පොඩිබණ්ඩාද විය.  වෛද්‍ය සිසුන් වන අතුල සහ පොඩිබණ්ඩා සමගින් තවත් දෙදෙනෙකු ඝාතනය කර 1990 සැප්තැම්බර් 17 ගම්පහදි ටයර් සෑයක අවසන් ගමන් ගොස් තිබිණි.

dharman18061608කැලණි සරසවියේ ඝාතනයට ලක්වූ සිසුන් 64දෙනා ගෙන් කිහිප දෙනෙක්.(වමේ ඉහළ සිට) අනුරාධපුරයේ බණ්ඩාගේ මච්චාගම සේනාරත්න, මාරවිල රොනී කුමාර, ගාල්ලේ ගැමුණු යසස් සෙනෙවිරත්න, බදුල්ලේ ජයසේන දිසානායක, රන්සෑගොඩ ධම්මාලෝක හිමි, වලල්ලාවිට චන්ද්‍රසිරි හිමි, සරණතිස්ස හිමි, රත්නපුර කහවත්තේ උපාලි සමන්කුමාර,  මාතලේ රත්නසිරි පුංචිබණ්ඩා, හඟුරන්කෙත බෝගහකුඹුර, ඊ.එම්. සෝමචන්ද්‍ර, ඥාණසිරි පල්ලියගුරු, තිලක් ප්‍රසන්න, අම්පාර සනත් හෙට්ටිආරච්චි, කුරුණෑගල ගාමිණී නවරත්න.

වල්පිටගමගේ නිහාල් ජයවීර කැලණි සරසවියේ සමාජ විද්‍යා පීඨයේ 85/86 කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර  හබරාදූවේ හරුමල්ගොඩ උපන්නෙකි. නිහාල් ගේ පියා පියසේන වරායේ සේවය කල අතර සිය බිරිඳගෙන් වෙන්ව නැවත විවාහවී ඉඹුල්ගොඩ පදිංචිව සිටියේය. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැනියාවූ නිහාල් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි ශිෂ්‍ය අංශයේ ඉදිරි පෙළ නායකයෙකු විය. දෙවැනි කැරැල්ල පරාජයෙන් පසු විදේශ ගමන් බලපත්‍රය සදාගැනිමට යෑමේදී 1990 මාර්තු 7වැනිදා නිහාල් පොලිස් පරික්ෂක කාලෙයි ඩයස් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඝාතනය කර කඩුවෙල පාලමෙන් කැලණි ගඟට දමා තිබේ. නිහාල්ගේ නැගණියවූ රමණිද කලෙක උපතිස්ස ගමනායක පදිංචිව සිටි බණ්ඩාරගම නිවසේ ක්‍රියාකාරිනියක විය. ජවිපෙ සමාජවාදී කාන්තා සංගමයේ ක්‍රියාකාරිනියකවූ නිහාල්ගේ පුංචි අම්මාගේ දියණිය වූ මාලා මල්කාන්තිද නුවරඑලියේදී 1989 නොවැම්බර් මස ඝාතනයට ලක්විය.

dharman18061609ජවිපෙ 2වැනි කැරැල්ලේදී රටපුරා මියගිය පාසැල් සිසුන් 2,327න් කිහිපදෙනෙක් ඉහළ වමේ සිට. කැලණි සරසවියේ නිහාල් ජයවීරගේ ඥාති නැගණියක් වන ගාල්ල සංඝමිත්තා විදුහලේ මාලා මල්කාන්ති, ජම්බුගහපිටිය බෝගහකුඹුරේ දමයන්ති ස්වර්ණලතා, 1988 ඔක්තෝබර් 10වැනිදා සිසු උද්ඝෝෂණයකදී වෙඩිවැදී ඝාතනයවූ රම්‍යා ප්‍රියදර්ශනී, මාතර සුජාතා බාලිකා විදුහලේ මානෙල් විජේවීර, මාතර විලයාය මහා විද්‍යාලයේ  වී.ජී. සුමනසීලී මොණරාගල නිශ්ශංක විදුහලේ ආර්. එම් අනුර, ගාල්ල මහින්ද විදුහලේ ගනේෂ ගමගේ, යෝධකණ්ඩිය මහ විදුහලේ කේ.එච් ගාමිණි, මාතලේ විද්‍යාර්ත විදුහලේ දිලුක් කුමාර, දෙබරවැව මහ විද්‍යාලයේ එම්.එස්.ඒ මුතුකුමාරණ වේ.

උපාලි ජයසේකර පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකුවූ අතර නාවලපිටියේ පාරේ ගිණිගත්හේනේ පදිංචි කරුවෙකි. වටවල වසමේ ග්‍රාමසේවා නිලධාරිවූ උපාලිගේ පියාවු ඇඹපීල්ලේ ගමරාලලාගේ ජයසේකර 1931 උපන් අතර ඉංග්‍රීසි ගුරුවරියක්වූ මව ගුත්තිල කවිරාජ් මුදියන්සේලාගේ ඥාණවතී වූ අතර 1937 ලක්ෂපාන බොරහේන ගමේ උපන්නෙකි. පිරිමි දරුවන් 4කගේ පවුලක තෙවැනියා වූ උපාලි ජයසේකර 1965 අප්‍රේල් 11 උපන් අතර ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. උසස් පෙළ සිටියදී අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව විරෝධය දැක්වීම නිසා 1982දී නෝර්ටන් බ්‍රිජ් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තෙදිනක් රඳවා තබා ගන්නා ලදී. සරසවියේදී මුල්කාලයේ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු පසුව නිහඬවී යළිත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටනේදී නායකත්වය ගෙන ක්‍රියා කළේය. කලාවට මෙන්ම ක්‍රීඩාවට දක්ෂයෙකුවූ උපාලි ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පළාත් නායකයෙකු සහ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ කලාපීය නායකයෙකු වශයෙන් කටයුතු කල අතර 1989 නොවැම්බර් 14වැනිදා නුවරදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්විය. උපාලි ඇතුළු තවත් 4 දෙනෙකුගේ සිරුරු නුවර දුම්රියපොළ අසළ මහාමාර්ගයේ ඊට පසුදින දමාගොස් තිබිණි. එදින නුවර දිස්ත්‍රික්කය තුළ ඝාතනයට ලක්වූ සිරුරු 32ක් හමුවී තිබිණි. උපාලිගේ සොහොයුරන් වර්තමානයේ ඉංජිනේරු ඇතුළු විධායක වෘත්තීන්ගේ නිරත වේ.

dharman18061610ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින්ව සිටියදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට 1989/90 පත්වීමෙන් පසු සෙසු ශිෂ්‍ය නායකයින් සහ ක්‍රියාකාරිීන් ආරක්ෂක හමුදාවන්ට කොටුකර ගැනීමට මඟපෙන්වීමට ක්‍රියාකල බවට බරපතල චෝදනාලත් කිහිපදෙනෙක්. රුහුණු සරසවියේ සිසු නායකයෙකුවූ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1990 ජනවාරි සිට මාර්තු දක්වා ප්‍රධාන ලේකම් කේ.ටී. නිමල්සිරි සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසු නායකයෙකුවූ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1989 සැප්තැම්බර් සිට 1990 ජනවාරි දක්වා ප්‍රධාන ලේකම් උපුල් කිත්සිරි නානායක්කාර නොහොත් ලෙනෝරා. දෙදෙනාම ඝාතනයට ලක්විය.(ඉහල උඩ), අන්තර් විශ්ව විද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සහ කැළණි සරසවි සිසු බලහරුවේ සෝම හිමි සහ පසුව උපැවිදිව ස්වීඩනයේ ජීවත්වන දෙදරු පියෙකුවූ ඔහු කුමාර ගිනිගත්ගලය.(මැද ඡායාරූප),  දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේකම් සහ කැලණි සරසවි සිසු තාරපේරිය රතනජෝති හිමි සහ පසුව උපැවිදිව බ්‍රිතාන්‍යයේ ජීවත්වන දෙදරු පියෙකුවූ ඔහු සිරිවර්ධනය(පහළ ඡායාරූප)

රොනී කුමාර කැලණිය සරසවියේ විද්‍යා පිඨයේ 83/84 කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු මියගියේ කටුනායක ගුවන් හමුදා කඳවුරින් අවි පැහැර ගැනීමට 1988 අප්‍රේල් 22වැනිදා ජවිපෙ කල කඩා වැදීමේදී ගරිල්ලා භටයෙකු ලෙසය. එහිදී රොනී සමඟ මොණරාගල සුමිත් රණසිංහ, කාන්තා නායිකාවක් වූ මේධානිද මියගිය අතර ප්‍රහාරයට පැමිණි 46 දෙනාගෙන් 11 දෙනෙකු අත්අඩංගුවටද පත්විය. ඉහල ගුණාංග වලින් හෙබි රොනී සරසවියේ තම මිතුරන් වෙනුවෙන් පෙනීසිටි මාරවිල කටුනේරිය පදිංචිකරුවෙකි. පියාවූ වර්ණකුලසූරියගේ ජෝෂප් ප්‍රනාන්දු ගරාජ් හිමියෙකුවු අතර ගුරුවරියකවූ මව වුයේ පල්ලියරාලලාගේ දෝන රීටාය. ඇය 2014 මිය ගියාය. සිංහල කතෝලිකයෙකුවූ රොනී 1962 නොවැම්බර් 17වැනිදා උපන් අතර නැගණියක් සහ සොයුරන් 3කි. වැඩිමහල් සොහොයුරාවූ විරාජ්ද ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකි.

dharman18061611ඝාතනයට පත් සිසු විරුවෙකු උත්තමචාරය මැද 1989 ජුලි අවසන් ගමන්යන අන්දම. 

ගුණසේකර මුහන්දිරම්ලාගේ ජයශ්‍රී පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයට 1981 කණිෂ්ඨ කණ්ඩායම ලෙස ඇතුලත්වූයේ 1981 ඔක්තෝබර් 5වැනිදාය. හැටන්, මල්ලිඅප්පු පදිංචි ජයශ්‍රී 1963දී ජනවාරි 7වැනිදා උපන්නේ දික්වැල්ලේ බතීගමය. සොයුරු සොයුරියන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියාය. නුවරඑළිය දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ගාමිණී දිසානායකගේ 1977 ආධාරකරුවෙකුවූ පියා ධීවර ව්‍යාපාරිකයෙකුගේ සේවකයෙකි. පේරාදෙණිය වෛද්‍ය පීඨය තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටනේදී නායකත්වය දුන් ජයශ්‍රී ඒ සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කටයුතු වලදීද තීරණාත්මකව මැදිහත් විය. පත්මසිරි අබේසේකර 1984 ඝාතනය කල අවස්ථාවේ සාක්කි දුන් අයෙකි. ජවිපෙ 1983 තහනමින් පසු සමාජවාදී ශිෂ්‍ය සංගමය 1986 ජුනි 23වැනිදා ගම්පහදී පැවැත්වූ ප්‍රථම අධ්‍යාපන කඳවුරට සහභාගිවූ 32 අතර ජයශ්‍රීද විය. ගම්පහ කලාප නායකයෙකු වශයෙන් අවසානයේදී කටයුතු කල ජයශ්‍රී විජේවීර ඝාතනයෙන් පසු කුරුණෑගල මහව හේනක ගොවියෙකු වශයෙන් කටයුතු කළේය. මිතුරෙකු හමුවීමට කොළඹට 1990 ජනවාරි 21වැනිදා පැමිණි අවස්ථාවකදී ලේක්හවුස් ඉදිරිපිට රීගල් සිනමා ශාලාව අසලදී පාවාදීමක් මත අත්අඩංගුවට පත්ව ඝාතනයට පත්විය.

මුතු ඇටයක් බවට පත්වී ඇත්තේ බෙල්ලෙකුගේ බෙලිකටුව තුළ සිරවූ වැලි කැටයක වේදනාව සේ වර්තමානයේ ලාංකීය සමාජය බුක්තිවිදින අධ්‍යාපනයයේ අයිතියේ ගෞරවය හිමිවිය යුත්තේ සිසු විරුවන්ට බව අවිවාදිතය. මිනිස් සමාජයේ යහපත වෙනුවෙන් තමන්ගේ හෙට දිනය ඔවුහු කැප කළහ. ගිරුවාපත්තුවේ සිට රජරට වන්නිකරයේ දරුවන්ගේ අනාගතය මෙතරම් හෝ ප්‍රභාමත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයකිනි. සිසු විරුවන් සෑම රාත්‍රියකම පාසැලක හෝ සරසවියක හිස් අහස්කුසේ දිදුලන පහන් තාරකාවන් සේය.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384

 

 

ඡායාරූප විස්තර

 

3 Responses to “2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ”

  1. Christie Says:

    Christie Says:

    June 18th, 2016 at 7:04 pm

    Another puppet of the Indian Empire. Left Ceylon by boat to Kerala then the family joined by flying to Bombay with Indian Visa. All lived in England in Indian ghettos supported by the Indian Empire. All managed in the island from Indian ghettos in London.

    Another Indian job. JVP killed innocent Sinhalese and they themselves who are Sinhalese got killed. A job well done by India.

    Is his death another Indian job like Sobithaya’s?

    Christie Says:

    June 18th, 2016 at 10:08 pm

    සෝමවංශ ආරක්ෂිත පියවරයක් ලෙස රටින් පලායාමට තීරණය කරන්නේ අනතුරුවයි. ඔහුට මෙහිදී උදව් කරන්නේ මාතලේ විකී නොහොත් සෙල්වාය. ඊස්වරන් බ්‍රදරස්හි තොග කළමනාකරුවෙකු වූ විකී නොහොත් වික්‍රමසිංහ ජවිපෙ මුල් පෙලේ ක්‍රියාකාරිකයෙකි. දෙමළ මිනිසෙකු සේ පොට්ටු ගසා වේට්ටියක් ඇදගත් සෝමවංශ, වික්‍රමසිංහ සමඟින් ඉන්දීය තානාපති කාර්යාලයට ගොස් ඉන්දියාවට යෑමට වීසා ලබාගනී.

    JVP the Sinhala terrorist arm of the Indian Empire. What other edidence do you want? Gunaratnam?

  2. Dilrook Says:

    I disagree they are heroes in anyway. Subversion against the state is a crime. Criminals engaged in such crimes can never become heroes. Those who quelled their terror are the real heroes.

  3. cwije Says:

    When people with money, or find money by hook or by crook, send children for medical education in India or Pakistan, I cannot understand the logic or reason or moral ground for opposing private medical schools in Sri Lanka. Those who opposed to that and lost lives cannot be heroes. They were fools misled by JVP crooks.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress