අබුද්දස්ස කාලේ දේශපාලන කතා ….
Posted on June 19th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

ඇමතිවරුන්ගේ සැප වාහන කතාව තවමත් අවසන්ව ඇති බවක් නොපෙනේ. තමාගේ මැතිවරණ බල ප්‍රදේශය ඉතා දුර බැහැර නිසා තමාට හොඳ වාහනයක් අවශ්‍ය බව ඇමති විජිත් විජිතමුනි සොයිසා පවසයි. මේ පිලිබඳව හුවමාරු වන විවිධ අදහස් අතර ඇමති රාජිත සේනාරත්න දක්වන අදහස්වලට හිනා වෙන්නද, අඬන්නද කියා ජනතාවට සිතා ගනු නොහැකි බව සිකුරුය.

‘ සමහරු යුරෝපයේ ඇමතිවරු සමග අපව සන්සන්දනය කරනවා. යුරෝපයේ ඇමතිලාට ගමන් බිමන් නැහැ. අපේ සංස්කෘතිය තුල අපට මල ගෙවල්, මගුල් ගෙවල්, කොටහලු ගෙවල් හැම දේටම යන්න වෙනවා. ඒ නිසා ඇමතිවරයෙකුට තම අමාත්‍යාංශවල භාරදූර වගකීමට අමතරව තම දිස්ත්‍රික්කය පුරා යන්න වෙනවා. අපේ රටේ තියෙන සමහර පාරවල්වල හැටියට ෆෝ වීල් වාහනයක් නැතිව යන්න අමාරුයි. ඉතින් මේ වැඩ එක්ක අපේ රටට ඇමතිවරු 200 ක් වත් අවශ්‍යයි ‘ මේ සෞඛ්‍ය ඇමතිවරයාගේ අදහසයි.

අප රටේ ජනගහනය මිලියන 20.8 ක් පමණ වන බව සංඛ්‍යා ලේඛණ තුලින් දුටුවෙමි. 2016 දී නිකුත් වූ ගණනය කිරීම් අනුව ජනගහනයෙන් 49.3% ක් පිරිමි ද, 50.7% ක් ගැහැණුද වෙති. එනම් දල වශයෙන් මිලියන 10.4 ක් පමන වන කාන්තාවන් සංඛ්‍යාවෙන් 10% ක් වත් වැඩිවිය පත්වන වයසේ දැරියන් වේ නම් ඔවුන් අඩු තරමින් සංඛ්‍යාත්මකව මිලියන 1ක් වත් විය යුතුය. මෙයින් කාලක්වත් තම දියණියගේ කොටහලු මගුල ජයට ගනී නම් ? මේ සංඛ්‍යා ලේඛණ අනුව වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 102,200 ක් පමන වන අතර දිනකට 280- 300 දක්වා ප්‍රමානයකි. විවාහ වන ප්‍රමානය ගැන එහි සඳහනක් නොවීය.

 රාජිත සේනාරත්නගේ වාහන අවශ්‍යතාවය සඳහා හේතු දැක්වීමේ හැටියට නම් මේ මගුල්, මරණ, කොටහලු ගෙවල් ආවරණය කිරීමට මේ ඇමති මණ්ඩලය කොහෙත්ම නොසෑහේ. හරිනම් මේ සමාජීය යුතුකම් ඉටු කිරීමට 225 දෙනාටම ඇමතිකම් දිය යුතුය. 

ඉතින් මේ සමාජීය අවස්ථාවන් ආවරණය කරන අතරතුර, අමාත්‍යාංශවල ‘භාරදූර’ වගකීම් ඉටු කරන්නට කාලයක් නැතිකම ගැන ජනතාව පුදුම විය යුතු නැත. අනික ගමන් බිමන් යන්නට හරි හමන් වාහනයක්වත් නැතිව ! මහරගම පිලිකා රෝහලට අත්‍යවශ්‍යව තිබූ පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිල දී ගන්නට ජනතාවට මුදල් රැස් කරන්නට සිදු වුනේ ඒ නිසාවෙනි. සමහරවිට මේ ජන අනුපාතයන් ලක්ෂ 62 ට ලක්ෂ 58 ලෙස සලකා බලයි නම් එතුමන්ලාට ඇති බර මඳක් අඩුවනු ඇත. නමුත් අපට දැනට සිටින ඇමති මණ්ඩලයේ සංඛ්‍යාවට අනුව එයද සුලු පටු ගණනක් නොවේ.

ඇත්තෙන්ම ඇමතිවරුන් තම අමාත්‍යාංශවල ‘භාරදූර’ වගකීම් ඉටු නොකරන්නේ ඇයිද යන්න රාජිත සේනාරත්නගේ මේ කතාව අනුව පැහැදිලි වෙයි. ඇමති මණ්ඩලයේ 93 ක් සිටිති. බොහෝ විට එක විෂයයක් යටතට ගතහැකි ක්ෂේත්‍රයන් අංශ කිහිපයකට බෙදා අමාත්‍යංශ යටතට ගෙන ඇති බැවින් ඇමතිවරයකුගේ විෂය පථය එතරම් පුලුල් නොවේ. උදාහරණයක් ලෙස ගතහොත් අධ්‍යාපනය යන විෂය සම්බන්ධ වගකීම, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය ආදී වශයෙන් ඇමතිවරුන් කිහිප දෙනෙකු අතර පවතී.

 ඔහු මේ දිස්ත්‍රික්කය පුරා යන්නට සිදුවනවා යැයි කියන්නේ තම අමාත්‍යංශයේ කටයුතුවලට නොව මල ගෙවල්, මගුල් ගෙවල් ආදියට එක දමා ගැනීමටය. මේ සඳහා ඔහු සංස්කෘතියකුත් ඇද ගනී. මේ ගමන් බිමන්වලදී පාරවල්වල තත්වය නරක නම් ඒවා පිලිසකර කරන්නට ක්‍රමවේදයක් සදනු වෙනුවට සොයාගත් විසඳුම නම් ඇමතිවරුන්ට ඒවායේ යා හැකි වාහන මිලදී ගැනීමයි. සමහරවිට මේ ‘බල්ලාට වැඩකුත් නැති, හෙමින් ගමනකුත් නැති’ ආකාරයේ කාර්ය බහුලත්වය නිසාම ඔවුන් විවේකයක් ගන්නේ වාහනයේ යන එන විට වන්නට ඇති. ඔව් ! එය සහතිකය. එදා සරත් ෆොන්සේකා රු. ලක්ෂ 400 ක වාහනයක් ඉල්ලන අවස්ථාවේදී පැවසුවේද තමාට ඇඟ පත තලා ගන්නේ නැතිව යන්න අවශ්‍ය බවය. ඉතින් මෙසේ දෑස් පියාගෙන සැපසේ වාහනය තුල යන ඇමතිලාට තම දිස්ත්‍රික්කයේ ඇති නිවෙස්, පාසල්, රෝහල්වල තත්වය නොපෙනී මග හැරීම පුදුමයක් නොවේ. අනික මේ යන්නේ දිස්ත්‍රික්කයේ අඩුපාඩු බලන්නටද නොවේ. මන්ද වත්මන් ඇමති මණ්ඩලය තුල ඊලඟ ඡන්දය දිනාගෙන තවත් වසර කිහිපයට තමාගේත්, තම පවුලේ සහ ඥාති මිත්‍රාදීන්ගේත් පැවැත්ම තහවුරු කර ගැනීමේ අටියෙන් කටයුතු කරන වුන් විනා ගජබා රජ චරිත නම් නැත. 

යුරෝපීය ඇමතිලා සමග තමන්ව සන්සන්දනය කරන්නට එපා යැයි රාජිත සේනාරත්න පවසයි. සැබෑවකි. අපේ බොහෝමයක් ඇමතිලාට යුරෝපීය රටවල ඇමතිවරුන් සමග සසඳා බලන්නට ‘ඇමති’ යන වචනය හැර වෙනත් යමක් තිබේද? අප රටේ පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් 40% ට පමන උසස් අධ්‍යාපන සුදුසුකම් නැත. එබැවින් ඔවුන්ට පැවැත්මක් ඇත්තේ අද තමා දරන තනතුර තිබෙන තාක් පමනි. 

2015 මැයි මස සහ 2016 මැයි මස එක්සත් රාජධනියේ මැතිවරණ දෙකක් පැවැත්විනි. නමුත් එවන් මැතිවරණයක් තිබුනාද කියාවත් කලබලයක් තිබුනේ නැත. චන්දය පාවිච්චි කරන්නට නිවාඩු ලබාගන්නට අවශ්‍යතාවයක් නැත්තේ ඕනෑම අයෙකුට තම ඡන්දය තැපෑලෙන් දැමිය හැකි නිසාය. එය නිසි පරිදි යාවත්කාලීන වේ. එබැවින් පෝලිම් හෝ හොර චන්ද නැත. ඡන්ද මධ්‍යස්ථාන අසල අදාල කවුන්සිලයේ මැතිවරණ රාජකාරිවල යෙදෙන නිලධාරීන් පැමිනි වාහනය විනා අපේක්ෂකයන්ගේ වාහන හෝ සපෝටර්ස්ලා නැත. මැතිවරණ  ප්‍රචාරක සමය තුල තම ප්‍රතිපත්ති සහ වැඩ පිලිවෙල සඳහන් වූ අත් පත්‍රිකාවන් නිවෙස්වල ලියුම් පෙට්ටිවලට දමා තිබියදී හමුවේ. චන්ද පොල අසල, මැතිවරණ නීතිවලට පිටින් ඡන්දදායකයාගේ මිටට මොලවන ලදුව ඔවුන් විසින් විසිකර දැමූ චන්ද ලකුණ හා මනාප අංකය යෙදූ කුඩා කාඩ්පත් විසිරී නැත. පාරක් ගානේ ඇලවූ විරිත්තාගෙන වැඳගෙන සිටින පෝස්ටර් නැත. ප්‍රදේශයේ ඇති පල්ලියක් වැනි පොදු ප්‍රජා මධ්‍යස්ථානයකදී ජනතාව සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඕනෑම අපේක්ෂකයෙකුට ලැබේ. මෙහි අරමුණ ප්‍රජාවගේ අවශ්‍යතා හඳුනා ගැනීමයි. නමුත් මේ ක්‍රියාවලිය මැතිවරණ සමයට සීමා නොවෙයි. අවශ්‍යතාවන් සඳහන්කල ප්‍රජා සාමාජිකයින්ගේ තොරතුරු ලබාගත් පසු ඒ ඒ ගැටලු සඳහා තමන් ගත් පියවර ගැන, තේරී පත්වුනු සාමාජිකයා මගින් ප්‍රජාව වෙත තොරතුරු සපයනු ලැබේ. එය සලකනු ලබන්නේ තම වගකීමක් ලෙසයි.

එසේ නැතිව චන්දය දිනාගත් පසු අදාල වැඩට බසිනු විනා අප රටේ ඇමතිලා දළදා මාලිගාවටත්, එතැනින් මහ නායක ස්වාමීන් වහන්සේලා බැහැදකින්නටත් යන්නාක් මෙන් මෙහි ඇමතිලා අගරදගුරු තුමන්ලා බලන්නට හෝ බකිංහැම් මාලිගයට හෝ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය වැඳ පුදා ගන්නට හෝ යන්නේ නැත.

මේ සංස්කෘතිකමය වෙනස යයි කිසිවකු පැවසුව හොත් කීමට ඇත්තේ අපේ ඇමතිලා මෙවන් ආගමික නැඹුරුවකින් යුතු සංස්කෘතිකමය වටිනාකම් දන්නා අයද කියා ඔවුන්ගේ ක්‍රියාකලාපයන් තුලින් ඔප්පු කර ඇත්ද කියායි. මෙතැන ඇත්තේ බොරු මවා පෙන්වීමක් මිස වෙන කිසිවක් නොවේ.

යුරෝපීය රටවල පාලන අධිකාරීන් මගින් නිසි කාලයට මං මාවත් අලුත්වැඩියා කිරීම් හෝ අනිකුත් සංවර්ධන කටයුතු සිදු කරනු පෙනෙයි. නමුත් පාරක් කාපට් කිරීම වැනි සාමාන්‍ය කටයුත්තකට මුල්ගල් තබා, අඬබෙර ගසා මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන් ඉටුකල යුතු තම වගකීම, මහානුභාව සම්පන්න ක්‍රියාවක් සේ උලුප්පා පෙන්වීමේ සිරිතක් මෙහි නැත. අප රටේ දේශපාලකයන්ගේ මේ විකාර දකින විට ජිප්සීස් – සුනිල් පෙරේරාගේ සිංඤෝරේ ගීතය මතක් වේ.

මා අද ජීවත්වන රටේ දේශපාලකයින්ට කතිරය නැතිවුනා කියා ගෙදර යන්නට බයක් නැත. ඒ ඔවුන් තමන් කරන කියන දේ වෙනුවෙන් සැම විටම මහජනතාවට වග කියන බැවිනි. ඔවුන්ට මහ ජනතාව අතර ගැවසීමේ බියක් ඇත්තේ තමන් වැරදි කරනවානම් පමනය. ඒ මහජනයාට ජීවිත තර්ජනයකින් තොරව ඔවුන් වෙත කුණු බිත්තර හෝ කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ලකල හැකි බැවිනි. නමුත් ජුනි මස 17 දා ලීඩ්ස් අසල සිදු වූ සිදුවීම වෙනස් හා ඉතා දුර්ලභ එකකි. මා පැවසුවේ පොදුවේ මෙහි ඇති දේශපාලන වටපිටාවයි.

යුරෝපීය රටවල මධ්‍යම ආණ්ඩුවත් පලාත් පාලන ආයතනත් මනා සම්බන්ධීකරණයකින් යුතුව මහජන අවශ්‍යතා සපුරාලනු පෙනෙයි. අනික මේ රටේ මැති ඇමතිවරු පුද්ගලිකත්වය සහ දේශපාලනය පටලවා ගන්නේ නැත. මේ සියලු පාලන තන්ත්‍රයන් නිසි ලෙස ක්‍රියාත්මක වීම තුල රටේ අගමැතිට හෝ ජනාධිපතිට පවා තම පුද්ගලික ජීවිතය වෙනුවෙන් වෙන් කිරීමට කාලයක් ඇත. එමෙන්ම ඔවුන් එම කාලයේදී වැය කරන්නේ තම පෞද්ගලික ධනයයි.

යුරෝපීය රටවල මිත්‍ර සම්බන්ධතා ගැන මහත් උජාරුවෙන් කතා කරන අප රටේ මැති ඇමතිලා ඔවුන් වෙතින් ගන්නා ආදර්ශය කුමක්ද? කතා කරන්නේ සංස්කෘතියේ වෙනස පමනකි. අඩු තරමින් පාර්ලිමේන්තු නියෝජිතයකු වීමට අවම අධ්‍යාපන සුදුසුකමක්වත් සපුරන්නට තිබුනා නම් අප රටේ මෙවන් අසංවේදී, අවිදුර දෘශ්ඨිකත්වය සහිත දේශපාලකයින් බිහි නොවනු ඇත. මේ දේශපාලන ක්‍රමය මෙතරම් ජරාජීර්ණ වූයේ 77-94 කාලයේ එක්සත් ජාතික පක්ෂ රජය මගින් මනාප ක්‍රමය හඳුන්වා දුන් පසුවය. අවසන ජනතාවද මෙම ක්‍රමයට හුරු වූ අතර, අද තමන් කතිරය ගසන තැනැත්තාට මේ රාජිත කියන පරිදි ‘භාර දූර’ වගකීමක් උසුලන්නට හැකිද යන්නවත් නොසිතති. ඊලඟට රටේ ඇතිවන හෝ මවා පෙන්වන දේශපාලන ආරවුල් තුල තමන් පත්කර යැවූ මේ පුද්ගලයා වෙතින් ප්‍රජාවට, සමාජයට ඉටුවිය යුතු වගකීම් ඉටුවනවාද බලන්නටවත් ජනතාවට ඉස්පාසුවක් නොමැත.

මේ අල්ල පනල්ලේ තම සිහි එලවා ගන්නටවත් අසීරු තරම් මහලු දේශපාලකයින්ද, ජනතාව වෙතින් ප්‍රතික්ශේප වූ දේශපාලන පරඬැල්ද කාගේ හෝ කරේ එල්ලී පාර්ලිමේන්තුවට ගොඩවන අතර ඔවුන් නඩත්තු කරන්නට වැය වෙන්නේද ජනතාවගේ බදු මුදල්ය.වත්මන් පාර්ලිමේන්තුව තුල සිටින යම් උගත් කමක් ඇති පිරිසද එකම කුණු වලේ දඟලන කුණු පනුවන් ගනයට වැටෙන්නේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ නිදහස අප රටේ වත්මන් දේශපාලන සංස්කෘතියට අනුව අහිමි වී ඇති බැවිනි. මේ අතර සිටින උගත් බවක් තිබුනත් එය තම බල ලෝභයෙන්ද, ආත්මාර්ථකාමී බවෙන්ද වසාගත් රාජිත සේනාරත්න වැනි දේශපාලකයින් තම වාචාල කමත් ලැජ්ජා නැති කමත් යොදා ගනිමින්, සංස්කෘතික වටිනාකම් පිට දමමින් ජනතාව ගොනාට අන්දවන්නට තැත් කරති. 

මේ වාහන ප්‍රශ්ණය පමනක් නොව ජනතාවගේ බුද්ධිය සහ අයිතිවාසිකම් අවතක්සේරුවට ලක් කරන තව කොපමන දේ අප රට තුල සිදු වේද? පසුගිය රජය පෙරලා දමමින් බලයට පැන ගැනීමේදී ඔවුන් වෙත එල්ල කල චෝදනාත්මක ක්‍රියාවන් අද තමන්ද කරන ගමන්ම ඒවා සාධාරණීකරනය කරන්නට ද වත්මන් රජයේ ඇමතිවරු කිසිසේත් නොපැකිලෙති. තම ඇමති මණ්ඩල නියෝජිතයන්ගේ මේ නිර්ලජ්ජිත පිලිවෙත දකිමින් මුනිවත රකින ගමන් තමන් ‘මිස්ටර් ක්ලීන්’ ලෙස හඳුන්වන්නට අගමැති රනිල් වික්‍රමසිංහට නොහැකිය. ‘සුපිරිසිදු චරිතවත් සරළ’ පුද්ගලයෙකු වන්නට ජනාධිපතිටත් නොහැකිය. මන්ද රටේ පවතින නීතිය අනුව සොරකම මෙන්ම සොරකමට ආධාර අනුබල දීමත් බරපතල අපරාධයකි. සොරකම දක දැක නොදැක්කා සේ සිටීම සොරකමට අනුබල දීමකි.

ඇමතිවරුනි, ඔබ මේ පවසන බාල බොළඳ කරුනු, ඔබ සැමවිටම ආඩම්බරයෙන් කියාපාන යුරෝපීය මිත්‍රයන්සමග සැසඳීමට තබා ඔවුන්ගේ කණට  යන්නටවත් ඉඩදීම සුදුසු නැත. මේවා දැන ගත්තොත් ඔවුන් ශ්‍රී ලංකාව ලෝකයේ කී වෙනි පන්තියට දමා සලකන්නදැයි ඔවුනට සිතාගත නොහැකි වනු ඇති.

 

One Response to “අබුද්දස්ස කාලේ දේශපාලන කතා ….”

  1. ranjit Says:

    Soyza is garbage out of all in that current parliament. He is a defeated candidate who became a Minister from the back door.Thanks to hitan and Pol pot. Rajitha is another garbage bin who talks nonsense all the time. These type of politicians must be rejected by the people. They are not in the Parliament to work for the ordinary citizens but work for themselves. These are parasites who is there to suck blood out of poor citizens. They don’t care about the country or the buddhist religion. Both should be exiled to a far away island to pluck coconuts. How can you run a country with so many rejected hooligans in our parliament.
    There are so many cut throats and traitors in the current parliament who should be inside the prison for their crimes against humanity and helping our enemies to divide our homeland. Wake up SINHALESE!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress