ලොතරැයියකින් නොකියවෙන කථාව
Posted on June 20th, 2016
ධර්මන් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ වාර්ෂිකව ලොතරැයි සමඟ ගණුදෙණු කරති. දෛනිකව අළෙවිවන ලොතැරැයි සංඛ්‍යාව ලක්ෂ 25කට ආසන්නය. රටේ විවිධ ප්‍රදේශවල ලොතරැයි අළෙවිකරුවන් රැසක් සෑම ගම් දනව්වක පවා නෙත ගැටේ. ඉපැරණි ලොතරැයි පත් දෙකක්ද මෙහි දැක්වෙන අතර 1967 ලොතරැයි පතක මිල ශත 50කි. 1968 ජාතික සම්පත ලොතරැයියක මිල රුපියල් 2කි. වර්තමානයේ සාමාන්‍ය ලොතරැයියක මිල රුපියල් 20කි. ඉකුත් 2005 වසරේ ලොතරැයි මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 17කි. මෙම වසරේ එනම් 2016දී අපේක්ෂිත ආදායම රුපියල් බිිලියන 20කි.
දිස්ත්‍රික් අළෙවි නියෝජිතයෝ 78 දෙනෙක් යටතේ ප්‍රධාන අළෙවි නියෝජිතයෝ 2,460ක් සහ අළෙවි සහායකයින් 12,000ක් හරහා මෙම ව්‍යාපාරය ක්‍රියාත්මකය. ලොතරැයි කර්මාන්තයෙන් යැපෙන සේවක සංඛ්‍යාව 280,000ක් පමණ වන අතර ඉන් යැපෙන පවුල්වල සාමාජිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 7කට ආසන්නය. සතියකට දිනුම්වාර 19ක් ඇති අතර දිනකට ලොතරැයි වර්ග 4ක් පමණ වෙළෙඳ පොළට හඳුන්වාදි ඇත. මේ ලොතරැයි පිටුපස ලොතරැයි ජයග්‍රාහකයින්ගේ පමණක් නොව ලොතරැයි අළෙවිකරුවන්ගේද ලොකු කථාවක් ඇත. ඒවා අතර දිරිය මිනිසුන්ගේ සාර්ථක කථා පුවත් රැසකි. ඔවුන්ගේ ජීවිත දෙස නැවුම් පැතිකඩකින් බලන කථා පුවත් සැකසීමට ඉකුත් දින කිහිපය තුළ විවිධ ස්ථානවලදී තොරතුරු එක්රැස් කර ගනු ලැබීය.
ඇතමුන් කියන්නේ ලොතරැයිය සූදුවක් බවය. එහි ගුණ අගුණ කෙසේ වෙතත් එය රටේ ආර්ථිකයට යම් දායකත්වයක් ලබාදී ඇත. ජනතාවට අවශ්‍ය නිදහසේ කාටත් අතනොපා ජීවත්වීමටය. එම නවෝදය බිහි කිරීම සදහා සංවර්ධන විශේෂඥයින් ‘කෝකටත් තෛලයක්‘ සොයා වෙහෙසුනත් එවැන්නක් නොමැති බව මෙම කථා පුවත් පෙන්වාදේ. මිනිසුන්ගේ අත්දැකීම් දෙස අවධානය යොමුකිරීමෙන් නැවුම් පැතිකඩකින් සංවර්ධනය දෙස බැලීම සැබෑ නවෝදයක් උදා කිරීමට මංපෙත් විවර වනු ඇත. – ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne විසිනි.