හෙළ අටුවා පෙරළා බුදුදහම රැකි බුද්ධඝෝෂ හිමියෝ
Posted on June 22nd, 2016

සුජීව දිසානායක උපුටා ගැන්ම දිවයින

ක්‍රි.ව. 5 සියවස පමණ වන විට ථෙරවාදි බුදුදහම ප්‍රබල අර්බුදයකට මුහුණදී තිබුණි. ඒ මහායාන ආගමික සංකල්පයන්ගෙන් ථෙරවාදය ගිලගැනීමයි. ක්‍රි.ව. 01 සියවසේ කණිෂ්ක දවස කාශ්මීරයේදී පවත්වන්නට යෙදුණු සිව්වන ධර්ම සංගායනාවත් සමග සංස්‌කෘත භාෂාව අන් කවරදාටත් වඩා බුදුදහම ආක්‍රමණය කරන්නට විය. මේ නිසා බුදුදහම ආශ්‍රිතව තිබූ පාලි භාෂාවට ප්‍රබල තර්ජනයක්‌ මතු විය. මතු වූ මේ තත්ත්වයෙන් බුදුදහම හා ඒ ආශ්‍රිත සාහිත්‍යය රැකගැනීමට ඉදිරියට ආ යතිවරයකු ලෙස බුද්ධඝෝෂ හිමියන් හඳුන්වාදිය හැක. ඉන්දියාවේ සිට ලංකාවට ක්‍රි.ව. 5 සියවසේ මුල් භාගයේදී පමණ මහානාම රජ දවස උන්වහන්සේ පැමිණි බව දැනට පිළිගන්නා මතයයි. උන්වහන්සේට දැනගන්නට ලැබුණු ආකාරයට ථෙරවාදී බුදු දහම මෙරට මේ අවධියේදී ආරක්‍ෂා වී තිබිණි. ඒ ආශ්‍රිතව පොතපත පාලියට පරිවර්තනය කර ගන්නේ නම් බුදුදහම තවත් දිගු කලක්‌ වැජඹෙන බව උන්වහන්සේට සිතෙන්නට ඇත. එම නිසා එම සිංහල පොතපත පාලියට පෙරලීමේ අරමුණෙන් උන්වහන්සේ මෙරටට පැමිණියහ.

හෙළ අටුවා පාලියට පෙරලූ බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු දැනගැනීමට අපට සාහිත්‍ය මුලාශ්‍ර ගණනාවක්‌ භාවිත කළ හැකිය.

ෆ ධර්මකීර්ති හිමියන් රචනා කළ මහා වංසය හෙවත් චූල වංසයේ ෂ කාණ්‌ඩය.

ෆ බුද්ධඝෝසුප්පත්තිය නම් කෘතිය

ෆ බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද අටුවා ග්‍රන්ථ මෙහි සමන්තපාසාදිකාවට ඉතා වැදගත් තැනක්‌ ලැබිය යුතුය.

ෆ බුද්ධඝෝෂ හිමියන්ගේම විසුද්ධි මාර්ගය නම් කෘතිය.

ෆ සද්ධම්සංගන, ශාසන වංසදීපනි, ගන්ධවාස යන කෘතින්

ෆ අග්නිදිග ආසියාතික රටවල පවතින ජනප්‍රවාද යනාදිය මෙහිදී ඉතා වැදගත් වේ.

උපත( ලංකා ඉතිහාසයේ රචනා වී ඇති අට්‌ඨ කතාවන්ගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක්‌ රචනා කරන ලද උන්වහන්සේගේ උපත පිළිබඳ මතවාද කීපයක්‌ දැකිය හැකිය.

1. බුද්ධඝෝෂ හිමියන් උතුරු ඉන්දියාවට සම්බන්ධකම් ඇති ගයා ප්‍රදේශයේ උපත ලද බව යන මතය. ලංකාවේ මහා වංසයටත් බුද්ධඝෝසුප්පත්තියටත් අනුව උන්වහන්සේ බුද්ධගයාවේ බෝමැඩ ආශ්‍රයේ උපත ලද බ්‍රාහ්මණ දරුවෙක්‌ බව මහාවංසය වාර්තා කරයි.

“බෝධි මණ්‌ඩ සමීපස්‌මිං

ජාතො බ්‍රාහ්මණ මාණවෝ”

(එකල දඹදිව බෝමැඩ වෙත උපන් බ්‍රාහ්මණ මානවකයෙක්‌)

මහා වංසය – 3 පරිච්ඡේදය

2. අග්නිදිග ආසියාතික රටක්‌ වන බුරුමය නම් වූ රටේ පෙදෙසක උන්වහන්සේa උපත ලැබූ බව යන මතය. බුරුමයට සබඳතා ඇති පඨම රාජවංස නමැති ඉතිහාස ග්‍රන්ථයේ මුන්වහන්සේ බුරුමයේ ඉපිද මහබෝධි මැඩ සමීපයේ කලක්‌ වැඩවාසය කර පසුව ලංකාවට පැමිණ අටුවා ග්‍රන්ථ සම්පාදනය කොට සුධම්ම පුරයට වැඩමකරන ලද බව සඳහන්ය.

පාලි සාහිත්‍යය 171 පිටුව

3. දකුණු භාරතය හා සම්බන්ධ කිසියම් ප්‍රදේශයක බුද්ධඝෝෂ හිමියන් උපන් බවට ඇති මතය. මේ මතයට එළඹීමට ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්ගේම අදහස්‌ මිස වෙනත් ඒවා නොවේ. නමුත් මේ මතය අද වන විට මතවාදයන්ට හසුවූ ප්‍රධාන කරුණක්‌ බවට පත්ව ඇත. මේ මතවාදයන්ට අනුව බුද්ධඝෝෂ හිමියන්ගේ උපත දකුණු ඉන්දියාව යන්න සැක සහිතය. බුද්ධඝෝෂ හිමියන්ගේ කෘති ගණනාවක දකුණු ඉන්දියාව හා සම්බන්ධ ස්‌ථාන නාම ඇත. මයුරදේව පට්‌ටනය, කාන්තිපුරය, නාගපට්‌ටන, යන ස්‌ථානයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධිතය. මේ නාමයන්ද උන්වහන්සේගේ කෘති තුළ දැක්‌වෙන කරුණු ද පදනම් කරගෙන දැනට ඉතිහාසඥයන් පිළිගන්නේ උන්වහන්සේ දකුණු ඉන්දියාවේ උපන් අයකු බවයි. දැනට පිළිගන්නා මතය වන්නේ බුද්ධඝෝෂ හිමියන් දකුණු ඉන්දියාවේ ආන්ද්‍රd දේශයේ උපන් අයකු බවයි.

නාමය හා ගෝත්‍රය

බුද්ධඝෝෂ හිමියන්ට එම නාමය ලැබුණ ආකාරය පිළිබඳව ද විද්වතුන් අතර මෙන් සාහිත්‍ය පොතපතේද විවිධ අදහස්‌ ඉදිරිපත්ව ඇත. මහාවංසය හෙවත් චූල වංසයේ ෂ කාණ්‌ඩය පවසන්නේ උන්වහන්සේට බුදුන්ට සමාන කටහඬක්‌ තිබූ නිසා එම නාමය ලැබුණු බවයි.

“බුදුන්ගේ සෙයින් ගැඹුරු හඬ ඇති හෙයින් බුදුහු සේ පොලෝ තලෙහි පතළ යසස්‌ ඇති වී උහු බුද්ධඝෝෂ යයි ව්‍යවහාර කළහ.”

(මහාවංසය 38 පරිච්ඡේදය)

බුද්ධඝෝසුප්පත්තිය නම් කෘතිය වෙනම අදහසක්‌ ඉදිරිපත් කරයි. හෙතෙම දෙව්ලොව වසන සමයේදී ද ඔහුගේ නම ඝොස වූ හෙයින්ද මොහු උපන්දා එම ගම ප්‍රීති නාදයෙන් ගිගුම් ගත් හෙයින්ද මේ නම ඇතිවී යයි මේ කෘතියේ සඳහන් වෙයි.

බුද්ධඝෝෂ හිමියන් තමන් රචනා කරන ලද විසුද්ධි මාර්ගය නම් කෘතියේ සඳහන් කරන්නේ එම නාමය තමන්ට ගුරුවරුන් තබන ලද්දක්‌ බවයි.

“ගරූහි ගහිත නාමධෙයෙHන” -විසුද්ධි මාර්ගය

බුදුන් පිරිවන් පෑම ක්‍රි. පූ. 543 දී සිදුවූ අතර උන්වහන්සේගේ උපත ක්‍රි.ව. 5 සියවස තුළ සිදුවූයේ නම් කාල පරාසය වසර 1000 කි. එතෙක්‌ බුදුන්ගේ හඬ ඇසුන කෙනෙක්‌ ජීවත්වීම ආශ්චර්යෙනුත් ආශ්චර්යකි. එසේ නම් මහාවංස කතුවරයා දක්‌වන අදහස පිළිගැනීම කෙසේවත් කළ නොහැකිය. මේ ග්‍රන්ථකරුවන් දෙදෙනාම විශාල වැරැද්දක්‌ කර ඇති බව පෙනේ. මේ අර්ථ කථනයන් නිසා සාමාන්‍ය සිදුවීමක්‌ අද්භූත සිදුවීමක්‌ බවට පත්ව ඇත. කෙසේ වෙතත් බුද්ධඝෝෂ හිමියන්ගේ ගෝත්‍රය පිළිබඳ සොයා බැලීමේදී උන්වහන්සේ බ්‍රාහ්මණ ගෝත්‍රයට අයත් පුද්ගලයෙක්‌ වීම දැනට පිළිගන්නා සත්‍යයයි. බුද්ධඝෝෂ නම නිසා උන්වහන්සේගේ ගෝත්‍ර නාමය අභාවයට යන්නට ඇත. ඉහතින් සාකච්ඡා කරන ලද ආන්ධු දේශය මෙතුමාගේ උපන් බිම නම් බ්‍රාහ්මණ සම්බන්ධය පිළිගත යුතු වන්නේය. ආන්ධු දේශය ආරම්භයේ සිටම බ්‍රාහ්මණයන් හා සම්බන්ධ වන්නේය. එසේ නම් ආන්ධු දේශයේ උපන් බුද්ධඝෝෂ හිමියන්ද බ්‍රාහ්මණ වංශිකයෙක්‌ බව පිළිගත යුතුය.

ජීවත් වූ කාලය

බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමේදී උන්වහන්සේ ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත නිගමනයක්‌ දීම අපහසුය. උන්වහන්සේගේ උපත ක්‍රි.ව. 5 සියවස ආරම්භයේදී සිදුවන්නට ඇතැයි සිතිය හැක.

උන්වහන්සේගේ ළමා කාලය, පැවිදි ජීවිතයේ ආරම්භය පිළිබඳ තොරතුරු ලබාගැනීම අපහසුය. ලංකාවේ චුල වංසයට අනුව උන්වහන්සේ ක්‍රි.ව. 5 සියවසේ 03 දශකය තුළ මෙරටට පැමිණෙන්නට ඇත. ඒ වනවිට මෙරට බලය දරන ලද්දේ මහානාම රජුය.

“ප්‍රඥ මිහිදු මහතෙරුන් විසින් සිංහල භාෂාවෙන් කරන ලද ශුද්ධ වූ සිංහලාතාර්ථ කතා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි තෙපි එහි ගොස්‌ ඒ අසා මාගධී නිරුක්‌තියට පෙරළව්. ඕ තොමෝ සියලු ලොවට හිත ඵලවන්නී වේ” යයි මෙසේ වදාළ සේක. මෙසේ වදාරණ ලදින් ප්‍රසන්න වූ මහ නුවණ ඇති ඒ තෙමේ ඉන් පිටත්ව මෙම රජු දවස ලක්‌දිව් පැමිණි සේක.”

(මහා වංසය 38 පරිච්ඡේදය)

නමුත් මහාවංසය මතය සනාථ කිරීමට පශ්චාත් කාලීන කිසිදු මූලාශ්‍රයක තොරතුරු නැත. අඩුම තරමින් දඹදෙණි යුගය තුළ රචනා වූ පූජාවලියේද එවන් කරුණක්‌ සඳහන් වන්නේ නැත. අනෙක්‌ විශේෂ කරුණ වන්නේ බුද්ධඝෝෂ හිමියන්ගේ කිසිදු ග්‍රන්ථයක මහානාම රජු පිළිබඳ සඳහනක්‌ කරන්නේ නැත. එහෙත් සමන්තපාසාදිකාවේ හා ධම්මපදට්‌ඨකතාවේ එන ගාථා අතර රජුන් දෙදෙනෙකුගේ නම් සඳහන් වේ. ඒ

1. සිරිනිවාස සිරිපාල

2. සිරිකුඩ්ඩ යන රජවරුන්ය.

නමුත් මේ නම් භාවිතා කළේ කවුරුන්ද යන්න සැක සහිතය. මහාචාර්ය ජී. පී. මලලසේකර මහතා පවසන්නේ මේ නම් දෙක මහානාම රජුට භාවිත වූ අපර නාමයන් වියහැකි බවයි. බුද්ධඝෝෂ හිමියන් මහානාම රජ දවස ලංකාවට එන්නට ඇතැයි සිතන්නෝ බී. සී. ලෝ මහතා, කෝසම්බි පඬිතුමා යන්නවුන්ය. උන්වහන්සේ මහානාම රජුට පෙර දවසක එන්නට ඇතැයි සිතන්නෝ බී. එම්. බරුවා මහතා, මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් වැන්නවුන්ය. බුද්ධදත්ත හිමියන් තම මතය ඉදිරිපත් කරන්නේ බුරුමයට අදාළ සාහිත්‍ය පොතපත පදනම් කරගෙනය. මහානාම රජ දවස ලංකාවට පැමිණි පාහියන් හිමි දන්ත ධාතුව පිළිබඳ කරන අති විස්‌තරාදිය බුද්ධඝෝෂ හිමිගේ කෘතිවල දක්‌නට නැත. එසේ වී ඇත්තේ ඇයිද යන්න ගැටලුවකි. දළදාව ලංකාවට රැගෙන ආවේ කිත්සිරිමෙවන් දවසය. එසේ නම් බුද්ධඝෝෂ හිමි මේ පිළිබඳව තම කෘති තුළ වාර්තා නොකළේ මන්ද? එසේ නම් බුද්ධඝෝෂ හිමි කිත්සිරිමෙවන් රජ දවසට පෙර ලංකාවට පැමිණියේද? නමුත් මහාවංසය පැහැදිලිවම පවසන්නේ මහානාම රජ දවස උන්වහන්සේ ලංකාවට පැමිණි බවයි.

බුද්ධඝෝෂ හිමියන් මහාථූපය පිළිබඳ තම කෘති වල විස්‌තර කරනු දැකිය හැක. නමුත් දළදාව පිළිබඳ අවම විස්‌තරයක්‌වත් ඇතුළත්ව නැත්තේ ඇයි. පාහියන් හිමියන්ගේ වාර්තාව තුළ දඹදිව සිට ලක්‌දිවට වැඩම කළ තෙර නමකගේ ධර්ම දේශනයක්‌ පිළිබඳ සඳහනක්‌ කොට ඇත. ඇතැම් විට එම තෙරනම බුද්ධඝෝෂ හිමියන් විය යුතු බව ආනන්ද මෛත්‍රිය හිමියන් “පාහියන් ගමන් විත්ති” නම් පොතේ සඳහන් කර ඇත. බුද්ධඝෝෂ හිමියන් දීපවංසයෙන් උපුටා ගත් ඇතැම් කොටස්‌ තමන් රචිත විනය පිටකයේ අටුවාව වන සමන්තපාසාදිකාවට යොදා ගෙන ඇත. මේ අනුව ඉතිහාසඥයන් නිගමනය කරන්නේ අනිවාර්යයෙන්ම බුද්ධඝෝෂ හිමියන් දිපවංසය රචිත කාලයෙන් පසුව ලංකාවට පැමිණෙන්නට ඇති බවයි.

බුද්ධඝෝෂ හිමි සිරිනිවාස නම් රජෙකු පිළිබඳ තම කෘතියේ සඳහන් කරයි. තමන් සමන්තපාසාදිකාව රචනා කළේ සිරිනිවාස රජුගේ විසිවන වර්ෂයේදී ආරම්භ කොට විසිඑක්‌ වන වර්ෂයේදී අවසන් කළ බව දක්‌වයි. නමුත් කතුවරයා ධම්මපදට්‌ඨ කතාවේදී සඳහන් කරන්නේ සිරිකුඩ්ඩ නම් රජෙක්‌ පිළිබඳවය. මේ දෙදෙනාම එක්‌ අයෙක්‌ද? නැත්නම් දෙදෙනෙක්‌ ද යන්න ගැටලුවකි. මහාවංසයට අනුව මහසෙන් රජුගෙන් පසු වසර 21 ක්‌ රජ කර ඇත්තේ පහත සඳහන් රජවරුන්ය.

1. කීර්ති ශ්‍රී මේඝවර්ණ හෙවත් කිත්සිරි මෙවන් රජු

(ක්‍රි.ව. 303 – 331)

2. බුද්ධදාස රජු (ක්‍රි.ව. 340-368)

3. උපතිස්‌ස රජු (ක්‍රි.ව. 368-410)

යන්නවුන්ය. මේ අනුව වර්තමානය වන විට බුද්ධඝෝෂ හිමියන් ලක්‌දිවට පැමිණි කාලවකවානුව පිළිබඳ අර්බුදයක්‌ ඇති බව පෙනේ. කෙසේ වෙතත් කිව හැක්‌කේ බුද්ධඝෝෂ හිමියන් දීපවංසය රචනා කළ කාලයත් මහා වංසය රචනා කළ කාලයත් අතරතුර ලංකාවට පැමිණි බවයි.

බුද්ධඝෝෂ හිමියන් ලක්‌දිවට වැඩම කළේ ඇයි

ක්‍රි.ව. 4-5 අතර කාලයේදී මෙරටට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් එසේ මෙරටට පැමිණීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ කුමක්‌ද? මේ පිළිබඳව මහාවංසය මෙන්ම බුද්ධ ඝෝසුප්පත්තිය යන කෘති දෙකම ඉදිරිපත් කරන තොරතුරු සමාන වේ.

මහා වංසයට අනුව බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ ඇත්තේ රේවත නම් හිමිනමකගේ මගපෙන්වීම යටතේය.

“රේවත ස්‌ථවිර තෙමේ ඒ දැක උන්වහන්සේට වදාරන සේක. මෙහි පෙළක පමණක්‌ පරම්පරානීතය මෙහි අටුවා තැන් එසේම නානාප්‍රකාර ආචාර්යවාදයේද නොවෙති. තුන් සංගායනාවට නගන ලද බුද්ධ වචනද ශාරිපුත්‍රාදී මහතෙරුන් විසින් වදාරන ලද කතාවත මාර්ගය ද මොනවට බලා ප්‍රඥ මිහිඳු මහතෙරුන් විසින් සිංහල භාෂාවෙන් කරණ ලද ශුද්ධ වූ සිංහලාතථ කතා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි. තෙපි එහි ගොස්‌ ඒ අසා මාගධි නිරුක්‌තියට පෙරළව්. ඕ තොමෝ සියලු ලොවට හිතඵල වන්නීවේ යයි මෙසේ වදාළ සේක.”

මහා වංසය – තිස්‌අට පරිච්ඡේදය

(227-232 – ගාථා)

බුද්ධ ඝෝසුප්පත්තිය නම් කෘතිය මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ මෙසේය.

“බුද්ධඝෝෂ භික්‍ෂු තෙමේ එක්‌ දිනක්‌ හුදකලාව ඉන්නේ දැනුමෙන් අධිකතර තමන් වහන්සේද උපාධ්‍යායන් වහන්සේ දැයි සිතී උපාධ්‍යාය තෙරුන් ඒ සිතිවිල්ල දැන බුද්ධඝෝෂ භික්‍ෂුවගෙන් ඒ ගැන විමසි. බුද්ධඝොෂ තෙමේ වික්‌ෂෝපයට පැමිණ සමාවන්නැයි උපාධ්‍යය තෙරුන්ගෙන් ඉල්ලා සිටියේය. උපාධ්‍යය තෙර “මා සමාවනු කැමති නම් ලක්‌දිවට ගොස්‌ බුද්ධ වචනය පාලියට නගාගෙන එවයි කීයේය.”

ෂෂ පරාක්‍රමබාහු රජු විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ග සන්නසේත් වාචිස්‌සර හිමියන් රචනා කරන ලද විනය විනිච්චය ටීකාවෙත් සඳහන් වන්නේ මුන්වහන්සේ භාරතීය භික්‍ෂුන්ගේ ඇරයුම් පිට මෙරටට පැමිණි බවයි.

මේ කතා පුවත් තුළින් තහවුරු වන කරුණු කිහිපයකි. බුද්ධඝෝෂ හිමියන් ඉන්දියාව නම් රටෙන් මෙරටට පැමිණි බව නිශ්චිතම කාරණාවකි. අනෙක්‌ නිශ්චිත කරුණු නම් උන්වහන්සේ මෙරටට පැමිණෙන්නට ඇත්තේ සිංහල අටුවා ග්‍රන්ථ පාලියට පරිවර්තනය කිරීමට බවයි.

බුද්ධඝෝෂ හිමියන් ලක්‌දිවට පැමිණෙන අවධිය වනවිට උතුරු ඉන්දියාවේ ථෙරවාද බුදුදහම විවිධ අර්බුදයන්ට මුහුණදී තිබිණි. නමුත් මේ වනවිට දකුණු ඉන්දියාව තුළ බුදු දහම යම් ප්‍රබෝධයකට ලක්‌ව තිබිණි. එලෙස දකුණු ඉන්දියාව තුළ බුදුදහම යම් දියුණුවක්‌ ලබද්දී එයට අදාළ පෙළ අටුවා පිළිබඳ උනන්දුවක්‌ එහි භික්‍ෂුන්ට තදින් දැනුණි. ඒ වනවිට ඒවා ආරක්‍ෂා වී තිබුණේ ශ්‍රී ලංකාව තුළය. ඒවා මාගධි නිරුක්‌තියට පරිවර්තනය කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් මෙරටට පැමිණි බව මෙතුළින් ප්‍රකාශ කළ හැක. අනෙක්‌ අතට දකුණු ඉන්දීය භික්‍ෂුන්ට ථෙරවාදය මනාව දකුණු ඉන්දියාව තුළ ස්‌ථාපිත කිරීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා මුන්වහන්සේ ලක්‌දිවට වැඩම කරන්නට ඇත යන්නද සිතිය හැකිය.

කෙසේ වෙතත් බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්යය අති දැවැන්ත සමාජ සත්කාරයක්‌ වූ බව නම් අවිවාදිතය. තම කාලය, ශ්‍රමය, ජීවිතය පවා උගසට තබා නන්නාදුනනා ප්‍රදේශයක්‌ කරා උන්වහන්සේ පා තබන්නේ තමන් වෙනුවෙන් නොව සමස්‌තයා වෙනුවෙනි. මේ නිසා මුන්වහන්සේගේ ග්‍රන්ථකරණය සාංඝික වුවකි. කෙසේ වෙතත් බුද්ධඝෝෂ හිමියන්ගේ චරිත කතාව බොග්ගලිපුත්තතිස්‌ස තෙරුන්ගේ කතාවටත් නාගසේන හිමියන්ගේ කතාවටත් සමාන කිරීමට උත්සාහ ගත් බව පැහැදිලිය.

බුද්ධඝෝෂ හිමියන්ගේ සාහිත්‍යය සේවාව

ක්‍රි.ව. 4 ත් 5 ත් අතර කාලයේ ලංකාවට එන්නට ඇතැයි අනුමාන කරන බුද්ධඝෝෂ හිමි මෙරට අට්‌ඨ කතා රචනයේ ප්‍රධානියා බව අනිවාර්යයෙන්ම කිව යුතුය. මෙරට ඉතිහාසය තුළ රචනා වී ඇති අට්‌ඨ කතාවන්ගෙන් අටකටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ රචනා කර ඇත්තේද මුන්වහන්සේය.

බුද්ධඝෝෂ හිමියන් අතින් රචනා වන්නට ඇතැයි සැලකෙන කෘති මෙසේය.

1. විසුද්ධි මාර්ගය

2. විනය පිටකයේ අටුවාව වන සමන්තපාසාදිකාව

3. දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනිය

4. ම-ජිම නිකාය අටුවාව වන ප්‍රපන්ඡ සුදනිය

5. සංයුක්‌ත නිකාය අටුවාව වන සාරත්ථප්පකාසිනිය

6. අංගුත්තර නිකාය අටුවාව වන මනෝරථපුරණිය

7. ධම්මපදට්‌ඨ කතාව

යනාදිය මුන්වහන්සේ අතින් නිශ්චිතවම රචනා වන්නට ඇතැයි පිළිගැනෙන කෘති වන්නේය.

1. විසුද්ධි මාර්ගය

බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන්නට යෙදුන ග්‍රන්ථ අතරින් පළමුවැන්න වන්නේ මෙයයි. එය උන්වහන්සේ ලංකාවේදී ලියූ ප්‍රථම ග්‍රන්ථය ද වන්නේය. මේ කෘතිය තුළින් උන්වහන්සේ මුළු පාලි සාහිත්‍යයටම ආලෝකයක්‌ ලබාදීමට සමත්ව ඇත්තේය. මෙය බෞද්ධ ඉතිහාසය තුළ අපට හමුවන ආදිතම වූත් සම්භාව්‍ය වූත් බෞද්ධ විශ්වකෝෂය ලෙස හඳුන්වා දීමට පුළුවන. මෙහි සමස්‌ත ත්‍රිපිටක මාලාවම අන්තර්ගත කර තොරතුරු රචනා කර ඇත. ඇතැම් ඉතිහාසඥයන් පවසන්නේ බුද්ධඝෝෂ හිමියන් මෙන් වෙනත් කිසිදු පෙරදිග වැසියකු අතින් මෙවන් විශිෂ්ට ගණයේ කෘතියක්‌ බිහිවී නොමැති බවයි. මහාවංසය හෙවත් චුල වංසයේ පළමු කාණ්‌ඩය බුද්ධඝෝෂ හිමියන් මෙරටට පැමිණ මහාවිහාරයට ගොස්‌ හෙළ අටුවා ඉල්ලු මොහොතේ එහි භික්‍ෂුන් උන්වහන්සේට පැවරූ කාර්ය විස්‌තර කරන්නේ මෙසේය.

“සියලු සත්පුරුෂයන් නිවාස වූ මහා විහාරයට පැමිණි සේක්‌කු මහාපදන් කොට ගොස්‌ සංගපාල තෙරුන් කෙරෙන් සිංහල අටුවා කතා හා ථෙරවාදයන් සර්වප්‍රකාරයෙන් අසා මේ තෙමෙම ධම්මස්‌වාමිහුගේ අභිප්‍රායයි නිශ්චය කොට එහි සංඝයා රැස්‌කරවා අටුවා කරන්නට මට සියලු පොත් දෙවයි කීහ. සංඝ තෙමේ ඒ තෙරනු විමසනු සඳහා උන්වහන්සේට ගාථා දෙකක්‌ දෙන්නේ තොප සමර්ථ බැව් මෙහි දක්‌වවා ඒ දැක සියලු පොත් දෙමුයි දිනී. ස්‌ථවිර තෙමේ අටුවා සහිත තුන් පිටකය සමාසචාරයෙන් එහිම සංගාන කොට විසුද්ධි මාර්ගය කළේයි.

මහාවංසය දක්‌වන විස්‌තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක්‌ ලියන ලද්දක්‌ බව පෙනේ. අවස්‌ථා දෙකකදීම එම පොත දෙවිවරුන් විසින් අතුරුදන් කර ඇත. කතුවරයාගේ රචිත කෘති තුනේම අර්ථයෙන්ද ග්‍රන්ථයෙන්ද පූර්වාපර වශයෙන්ද ථේරවාදයෙන්ද පෙළින්ද පදයෙන්ද ව්‍යංජනයෙන්ද පොත් තුනම එක සමාන වූ බව චූල වංස කතුවරයා වාර්තා කරයි.

විසුද්ධි මග්ගය යනු කිසිදු ත්‍රිපිටක ග්‍රන්ථයක අටුවාවක්‌ නොවේ. එය සමස්‌ත ත්‍රිපිටක මාලාවම ආශ්‍රය කරගෙන ලියන ලද්දකි. විසුද්ධි මග්ගය දෙස බලන විට එය ස්‌වතන්ත්‍ර නිර්මාණයක්‌ බව අවිවාදිතය. තවත් සමහරක්‌ උගතුන්ගේ අදහස වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විමුක්‌ති මාර්ගය ටැම් ග්‍රන්ථයක්‌ මේ සඳහා ආධාර කර ගත් බවයි. එය අභයගිරි නිකායිකයන් විසින් රචනා කරන ලද්දක්‌ ලෙස සලකනු ලැබේ. විමුක්‌ති මාර්ගය අභයගිරිත කෘතියක්‌ නම් විසුද්ධි මාර්ගය මහා විහාර කාතියක්‌ බව පිළිගැනීම සාධාරණය. විසුද්ධි මාර්ගයේ ශීල, සමාධි, ප්‍රඥ යන ගුණයන්ද විග්‍රහ කෙරේ.

සමන්ත පාසාදිකාව

බුද්ධඝෝෂ හිමියන් විනය පිටකය අළලා ලියන ලද්දේ මේ කෘතියයි. මෙහි බාහිර නිධාන වර්ණනා නමින් වූ කොටස සාමාන්‍ය අට්‌ඨකතාවල ප්‍රථමයෙන් අන්තර්ගත වේ. මේ කොටස තුළ මෙරට ඉතිහාසයට අදාළ කරුණු ගණනාවක්‌ දැකිය හැකිය. මහාවංසය හා වෙනත් මුල්කාලීන මුලාශ්‍ර වල දක්‌නට නොමැති කරුණු රාශියක්‌ සමන්තපාසාදිකාව තුළ දැකිය හැකිය. විනය පිටකයේ එන ගාමයන්නට බුද්ධඝෝෂ හිමියන් නියාම අර්ථ කථනය ඉදිරිපත් කරයි. ගම යනුවෙන් අදහස්‌ කරන්නේ භූගෝලීය ඒකකයක්‌ බව උන්වහන්සේ පවසයි. ගම පවුරකින් වට කළත් නැතත් මිනිසුන් එහි වාසය කලත් නැතත් එය ගමක්‌ බව මුන්වහන්සේ වාර්තා කරයි. මලය දේශයේ තිබෙන්නාක්‌ මෙන් එක කුටියක්‌ හෙවත් එක ගෙයක්‌ තිබෙන ප්‍රදේශයක්‌ වුවත් ගම නමින් ගණන් ගත යුතු බවත් බුද්ධඝෝෂ හිමියන් පවසා ඇත. මෙවන් තොරතුරු මෙරට වෙනත් කිසිදු මුලාශ්‍රයක සඳහන් වන්නේ නැත.

කතුවරයා සමන්තපාසාදිකාව රචනා කිරීමට බොහෝ පොතපත ඇසුරු කළ බව පෙනේ. එහිදී කතුවරයා ඒ ඒ අයගේ අදහස්‌ ඉදිරිපත් කොට අවසානයේ තම මතය ඉදිරිපත් කරයි. එම සංකල්පය විද්‍යානුකූලව අදහස්‌ ඉදිරිපත් කිරීම හා සම්බන්ධව ඉතා වැදගත් ප්‍රකාශයකි. කෙසේ වුවද සමන්තපාසාදිකාවේ කලාතුරකින් වැරදි සහගත කරුණක්‌ අන්තර්ගත වුවද එය කෘතියට බලපෑමක්‌ කර නැත්තේය.

සමන්තපාසාදිකාව බුද්ධඝෝෂ හිමියන්ට අයත් නොවන කෘතියක්‌ බවට බී. සී. ලෝ නමැති මහතා වඩාත් සාධාරණ තර්කයක්‌ සමග මතයක්‌ ඉදිරිපත් කර ඇත. විසුද්ධි මාර්ගයට වඩා සමන්තපාසාදිකාවේ භාෂාව දියුණු බව ඒ මහතාගේ තර්කයයි. ඔහුගේ අනෙක්‌ මතය වන්නේ සමන්තපාසාදිකාව තුළ විසුද්ධිමග්කය පිළිබඳවත් බුද්ධඝෝෂ හිමියන්ගේ අනෙක්‌ කිසිදු කෘතියක සමන්තපාසාදිකාව පිළිබඳ සඳහන් නොවීමත්ය. නමුත් මේ මතය පිළිගන්නේ නැත.

වෙනත් කෘති

බුද්ධඝෝෂ හිමියන් සමන්තපාසාදිකාව හා විසුද්ධි මාර්ගයට අමතරව තවත් අටුවා ගණනාවක්‌ සම්පාදනය කර ඇත. විසුද්ධි මාර්ගය උන්වහන්සේගේ පළමු කෘතිය වන අතර අනෙක්‌ ඒවා රචනා කරන ලද අනුපිළිවෙළ පෙළගැස්‌වීම තරමක්‌ අපහසුය. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා පවසන්නේ සමන්තපාසාදිකාව මුන්වහන්සේගේ දෙවන කෘතිය බවයි. නමුත් සමන්තපාසාදිකාව තුළ ප්‍රපන්චසුධනි නම් ග්‍රන්ථය පිළිබඳවත් සුමංගල විලාසිනිය පිළිබඳවත් තොරතුරු සඳහන්ව ඇත.

දීඝ නිකාය වෙනුවෙන් රචනා කරන ලද සුමංගල විලාසිනියද ම-ජිම නිකාය වෙනුවෙන් ලියූ ප්‍රපඤ්ච සුදනියද සංයුක්‌ත නිකාය වෙනුවෙන් ලියූ සාරත්ථප්පකාසිනියද අංගුත්තර නිකාය වෙනුවෙන් මනෝරථ පූරණියද නිකාය සතරේ අටුවාවන් ලෙස පෙන්වා දීමට පුළුවන. බුද්ධඝෝෂ හිමියන් රචනා කරන ලද මනෝරථ පුරණිය පිළිබඳව උන්වහන්සේ මෙසේ දක්‌වයි.

“මාගේ සියලු ආගම අටුවා ලිවීමේ මන දොල පිරුණු හෙයින් මේ අටුවාව මනෝරථපුරණ නම් වේ.”

මෙතුළින් පෙනෙන්නේ බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා ග්‍රන්ථ අතර අවසන් අටුවාව මෙය විය යුතු බවයි. මුන්වහන්සේ රචනා කරන ලද අට්‌ඨ කතා අතර අවසන් අට්‌ඨ කතාව වූයේ ධම්මපදට්‌ඨ කතාවයි.

මේ ප්‍රධාන අටුවාවන්ට අමතරව බුද්ධඝෝෂ හිමියන් තම දැනුම භාවිතයට ගෙන තවත් අටුවා ග්‍රන්ථ කීපයක්‌ සම්පාදනය කර ඇත. කංඛාවිතරණිය

පරමත්ථජෝතිකා

අත්ථසාලිනි

සම්මෝහ විනෝදනි යන අට්‌ඨ කතාවන්ද මුන්වහන්සේ නිර්මාණ අතර වෙතැයි අනුමාන කරයි.

“තමන් විසින් කරන ලද්දේ හෙළ අටුවා පාලියට නැඟීම පමණක්‌ බවත් එසේ කිරීමේදී මහා විහාරයේ චිරාගත සම්ප්‍රදායට පටහැනි නොවන පරිදි අනවශ්‍ය විස්‌තර හා පුනරුක්‌තිද ප්‍රස්‌තුතයට අදාළ නොවන කරුණුද අත්හල බවත් බුද්ධඝෝෂ ස්‌ථවිරයෝ තම කෘති ගැන සඳහන් කරමින් ප්‍රකාශ කරති.”

(ශ්‍රී ලංකාවේ ඉතිහාසය ෂ කොටස අනුරාධපුර යුගය (පිටුව – 222) අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කළ බව වාර්තා කරයි.

මහනුවර යුගයේ රචිත රාජාවලිය බුද්ධඝෝෂ හිමියන්ගේ පැමිණීම හා රචිත ග්‍රන්ථ පිළිබඳ කරනුයේ මෙවන් විවරණයකි.

“ඔහු මල් මාහානාම රජ විසි අවුරුද්දක්‌ රාජ්‍ය කළේය. එකලට බුද්ධඝෝෂ නම් අටුවා කර්තෘන් වහන්සේ දඹදිව සිට මේ ලංකාද්වීපයට වැඩ බුදුන් වදාළ දෙලක්‍ෂ පන්සැත්තෑ දහස්‌ දෙසිය පනස්‌ ග්‍රන්ථ සංඛ්‍යාවක්‌ ඇති ආගමට තුන්ලක්‍ෂ එක්‌සැට දහස්‌ සත්සිය පනස්‌ ග්‍රන්ථ සංඛ්‍යාවක්‌ පමණ අටුවා කතා ලියා ආගමයෙහි පහන් නැගූ සේකැයි දත යුතුයි.”

(රාජාවලිය ඒ. වී. සුරවීර පිටුව 201)

බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගය හැරුණු විට අනෙක්‌ කෘති දෙකද අපට දක්‌නට ලැබුණේ නම් උන්වහන්සේගේ කවිත්වය තවත් විද්‍යමාන වනු ඇත. Æණෝදය හා අත්ථසාලිනි නම් ග්‍රන්ථද්වය උන්වහන්සේ ඉන්දියාවේදී රචනා කළ බව කියවේ. මේ ග්‍රන්ථ 03 ම උන්වහන්සේගේ ස්‌වාධීන නිර්මාණ වන්නේය.

බුද්ධඝෝෂ හිමියන් ඉදිරියේ තිබුණේ අතිශය භාරදූර කාර්යයකි. එය උන්වහන්සේ අභියෝගයක්‌ කර ගත්තේ නැත. අප බුද්ධඝෝෂ හිමින්ගේ චරිතය තුළින් ගත යුතු ආදර්ශය එයයි. බුද්ධඝෝෂ හිමියන් තමන් ඉදිරියේ වූ අභියෝගය ජයග්‍රහණය කිරීම පැසසිය යුත්තකි. මේ චරිය දෙස බලද්දී පෙනි යන්නේ බුද්ධඝෝෂ යනු ජාත්‍යන්තරකරණිය වූ භික්‌ෂු චරිතයක්‌ බවයි. ථෙරවාදී බුදුදහම මහායාන බලපෑම්වලින් ආරක්‌ෂා කරගැනීමට උන්වහන්සේ ගත් ක්‍රියාමාර්ග බෞද්ධ ඉතිහාසයේ වෙනත් කිසිදු ග්‍රන්ථ කතුවරයෙක්‌ ගත් බවට සාධක නැත. වර්තමානයේ අපද කටයුතු කළ යුත්තේ තමන් වෙනුවෙන් නොව සමස්‌තය වෙනුවෙන් බව බුද්ධඝෝෂ හිමිගේ චරිතය අපට කියාපායි. එය අද අප ආදර්ශයට ගත යුතු නොවේද?

සුජීව දිසානායක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress