පෙරදිගට ගමනක් – 20 ථෙරවාදී කලාපයේ මහ ගෙදර සිට …
Posted on June 24th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

මෙයට පෙර ලිපියෙන් කී විදිහට මේ පෙරදිගට ගමන ආරම්භ කෙරුණේ චීන භාෂාව ඉගෙනීමට යොමු වීමෙන් සහ අනෙකුත් ථෙරවාදී රටවල ඉතිහාසය හා සංස්කෘතිය ගැන ඉගෙනීමට තීරණයකිරීමෙන්. ගතවෙමින් තිබුණේ 2003 අවුරුද්දේ දෙවැනි භාගය. දිනය ගැන හරියට ම මතකයක් නෑ. සති අන්ත පත්තරේක තිබුණා චීන භාෂාව උගන්වන පංතියක් ගැන කුඩා දැන්වීමක්. ගුරුවරයා තමයි ආචාර්ය හව් වෙයිමින්. ඉතින් මේ ලේඛකයා හව් වෙයිමින් ගුරුතුමා ළඟ චීන භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. පංතියට ආපු හැම දෙනෙක් ම වගේ වැඩිහිටියෝ. ඒ අයට විවිධ වූ ඕන එපාකම් තිබුණා. ඒත් බොහෝ දෙනෙක් වැඩි කාලයක් ඉගෙනීම කරගෙන ගියේ නෑ. සමහරුන්ට ඕන වුනේ දවසින් දෙකින් ඒ භාෂාව ඉගෙනගන්න. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් එහෙම හදිස්සියක් මේ ලේඛකයාට තිබුණේ නෑ. ඉතින් සතියකට පැය දෙකක් පැවැත්වුනු ඒ පංතියට මේ ලේඛකයා නොකඩවා ම සහභාගී වුනා.

චීන කියන්නේ පුදුමාකාර සුන්දර, සෑහෙන්න වැඩගන්න පුළුවන් භාෂාවක්. ඒ, අපේ හුඟක් අය හිතන විදිහේ චාං – චූං” භාෂාවක් නෙවෙයි. චීන අකුරක්වත්, වචනයක්වත් දන්නේ නැති අයනේ එහෙම කියන්නේ. ඒ හින්දා, ඒ නිරීක්‍ෂණ ගැන වදවෙන්න ඕන නෑ. කොහොම වුනත් මේ ලේඛකයා දන්නා හඳුනන බොහෝ දෙනෙක්ට චීන භාෂාව ඉගෙනගැනිල්ලේ ප්‍රයෝජනය මොකක්ද, මේ ලේඛකයා මොකට ද ඒ ගැන වදවෙන්නේ කියලා අවබෝධයක් තිබුණේ නෑ. මොකද අපි හැමෝ ම කැමැති ඉංග්‍රීසි ඉගෙනගන්න. ඉංග්‍රීසි ඉගෙනගත්තොත් විතරයි ලෝකය දිනන්න පුළුවන්. චීනය කියන්නේ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වුනත්, ලෝකයේ විශාලතම වෙළෙඳපොළ වුනත් ඉංග්‍රීසි යටත්විජිත පාලනය යටතේ පුරුදු පුහුණු කළ මනස් තියෙන අපිට ඒ දේවල් නිකම් ම නිකම් දැනුම විතරයි. තරග විභාගයක දී සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක් විදිහට ඒවා ගැන ඇහුවොත් උත්තර දෙන්න නම් අපි දන්නවා. ඒත් ඒ දැනුම ජීවිතයට අදාළ කරගන්න පුළුවන් බවක් අපි කාටවත් හිතෙන්නේ නෑ. මේ ගැන වැඩි විස්තර පස්සේ කතාකරන්න පුළුවන්. මොකද දැන් කියන්න පටන්ගත්තේ වෙන කතාවක්නේ.

මේ විදිහට චීන භාෂාව ඉගෙනගන්න අතර ම ථෙරවාදී රටවල් ගැන හොයන වැඩෙත් මේ ලේඛකයා නොකඩවා ම කරගෙන ගියා. එහෙම කරුණු හොයද්දී, විමසද්දී මේ ලේඛකයා කියවන්න ලැබුණා තායි වංශකතාවක ඉංග්‍රීසි පරිවර්තනයක්. ඒ පරිවර්තනයේ පිටපතක් මේ ලේඛකයාට ලැබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝනල් විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන්. ඇත්තෙන් ම ඒ පුස්තකාලය අන්තර්ජාලය ඔස්සේ පාඨකයන්ට කියවන්න දෙන පොත් එකතුවකින්. දැන් උතුරු මියන්මාරයට අයිති කෙංතුං නුවර සහ එයින් උතුරට වෙන්න තියෙන ප්‍රදේශවල සිංහල බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කිරීම ගැන විස්තරයක් ඒ වංශකතාවෙන් කියනවා. මේ කටයුත්ත සිද්දවෙලා තියෙන්නේ මීට අවුරුදු 600 කට විතර කලින්. මේ වංශකතාව ගැන පස්සේ කියන්න පුළුවන්. කොහොම වුනත්, මේ පොත කියෙව්වාට පස්සේ ඒ හා සම්බන්ධ කාරණා ගැන වැඩි වැඩියෙන් හොයන්න උනන්දුවක් මේ ලේඛකයාට ඇතිවුනා. නබ්බිසිපුරයේ – ඒ කියන්නේ තායිලන්තයේ චියැං මායි නගරය ආශ්‍රිත ප්‍රදේශයේ, සිංහල ශාසනය පිහිටුවීම ගැන විස්තර කියන ජිනකාලමාලිය, ධම්මචේතිය මහරජතුමන් ගේ කාලයේ දී රාමඤ්ඤයට සිංහල ශාසනය ගෙන යෑම ගැන කරුණු කියන කල්‍යාණි ශිලා ලිපි වගේ ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් සහ තවත් ආශ්‍රිත ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් සේවනය කරන්න අවස්ථාව මේ ලේඛකයාට හිමිවුනා.

මේ කරුණු කාරණා ගැන සොයා බලමින් ඉඳිද්දි තවත් අපූරු දෙයක් සිද්දවුනා. ඒ තමයි, මේ ලේඛකයා ගේ චීන භාෂා ගුරුතුමා විසින් – ඒ කියන්නේ හව් වෙයිමින් ගුරුතුමා විසින්, එතුමා ගේ ආචාර්ය උපාධි නිබන්ධනය ප්‍රකාශයට පත්කිරීම. ඒ, 2004 අවුරුද්දේ. ඒ උපාධි නිබන්ධනය නම් කරලා තිබුණේ චීන ථෙරවාද බුදුදහම” කියලා. ඒ පර්යේෂණයෙන් විස්තර කරලා තිබුණේ චීනයේ නිරිතදිගට වෙන්න තියෙන යුන්-නාන් පළාතට අයිති ෂි-ශු-අන්-පන්-නා (සිප්සුන්පන්නා) ප්‍රදේශයේ ප්‍රචලිත වෙලා තියෙන ථෙරවාදී බුදුදහම සහ ඒ ආශ්‍රිත බෞද්ධ සංස්කෘතිය ගැන. මේක මහ පුදුමාකාර දෙයක්. මේ ලේඛකයා විසින් හොයමින්, ගවේෂණය කරමින් හිටිය දෙයට ම අදාළ දෙයක් තමයි හව් වෙයිමින් ගුරුතුමා විසින් හොයලා සංග්‍රහ කරලා සිංහල අපිට කියවන්න ප්‍රසිද්ධ කළේ. ඉතින් ඒ ගැන හව් වෙයිමින් ගුරුතුමා එක්ක කතාකරන්න මේ ලේඛකයා පෙළඹුනා. එතුමා නිතර ම කියපු, තවමත් කියන කතාවක් තමයි ථෙරවාදී කලාපයක් ගැන තියෙන එතුමා ගේ අදහස. අපේ රටේ ඉඳලා සිප්සුන්පන්නා දක්වා පැතිරිලා තියෙන්නේ ථෙරවාදී කලාපයක්. චීන ජාතිකයෙක් වන එතුමා මේ කලාපය ගැන කියන්නේ එක්තරා ආකාරයක මකරෙක් ගැන කියන විදිහට. එතුමා විස්තර කරන විදිහට මේ මකරා ගේ ඔළුව තමයි ලංකාව. වලිගය තමයි සිප්සුන්පන්නා ප්‍රදේශය. ඉතින් හව් වෙයිමින් ගුරුතුමා මේ මකරා ගේ වලිගයේ තියෙන බුද්ධාගම සහ බෞද්ධ සංස්කෘතිය ගැන පර්යේෂණ කරමින් අපේ රටට ආපු කෙනෙක්. මේ ලේඛකයා ගමන්කරමින් හිටියේ ඒ මාර්ගයේ ම ප්‍රතිවිරුද්ධ දිශාවට.

මේ අඛණ්ඩ ථෙරවාදී කලාපය ගැන හොයා බලද්දී හවි වෙයිමින් ගුරුතුමා මුහුණදීලා තිබුණු ගැටලුවක් තමයි අපේ සිංහල බුද්ධාගම කොහොම ද සිප්සුන්පන්නා ප්‍රදේශයේ ප්‍රචලිත වුනේ කියන එක. ඒ කාරණය පැහැදිළි කරගන්න උපකාරී වෙන යම් යම් ලේඛන සැළකිය යුතු ප්‍රමාණයක් එතුමා ආශ්‍රය කරලා තිබුණත් ඒ සම්බන්ධයෙන් යොදාගන්න පුළුවන් තනි, ප්‍රබල ලේඛනයක් එතුමාට හමුවෙලා තිබුණේ නෑ. මොකද ජිනකාලමාලිය වගේ පොත්වලින් විස්තර කරලා තිබුණේ චියං මායි දක්වා සිංහල බුද්ධාගම පැතිරුනු විදිහ විතරයි. අපේ බුද්ධාගම එතැනින් උතුරේ තිබෙන ප්‍රදේශවලට පැතිරුණේ කොහොම ද? මේ ගැටලුව විසඳගන්න පුළුවන් හොඳ ම මූලාශ්‍රය තමයි මේ ලේඛකයාට කියවන්න ලැබුණු තායි වංශකතාව. මේ වංශකතාවෙන් කියනවා චියං මායි නගරයෙන් කිලෝ මීටර් 400 කටත් වඩා උතුරින් පිහිටි කෙංතුං ප්‍රදේශයටත් එයිනුත් උතුරෙන් පිහිටි හෝ (චීන) නගරවලටත් සිංහල බුද්ධාගම පැතිරුණු විදිහ. කෙංතුං නගරයේ ඉඳලා චීන දේශ සීමාවට – ඒ කියන්නේ සිප්සුන්පන්නා ප්‍රදේශයට තියෙන්නේ කිලෝ මීටර් 100 කටත් අඩු දුරක්!

මේ ලේඛකයා සහ හව් වෙයිමින් ගුරුතුමා අතර ඇති වුනු සාකච්ඡාවේ ප්‍රතිඵලය තමයි මේ තායි වංශකතාව සිංහලයට පෙරලන්න තීරණය කිරීම. ඒත් ඒ කටයුත්ත ඒ විදිහට ම සිදුකිරීම මේ ථෙරවාදී කලාපය ගැන නොසිතන අපේ පාඨකයන්ට ප්‍රයෝජනවත් නෑ. ඒ සම්බන්ධ කරුණු පැහැදිළි කරගන්න උදව්වෙන විදිහේ අත්වැලකුත් සපයන්න ඕන. ඉතින් ඒ සම්බධයෙන් අප දෙදෙනා දන්නා කරුණු කියලා මේ ග්‍රන්ථය සිංහලෙන් ප්‍රකාශයට පත්කළ යුතුයි කියන තීරණය ගත්තා. මේ හවුල් කටයුත්තේ ඵලය තමයි අප දෙදෙනා එක් ව පළකරපු තායි රාජ්‍යයන් ගේ සිංහල බුද්ධාගම සහ රත්නවනාරාම වංශ කතාව” කියන කෘතිය. පොත ප්‍රකාශයට පත්කළේ 2005 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ දවසක අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ අභියස තියෙන මහා විහාරයේ දී. ඒ දවසේ තවත් අපූරු දෙයක් සිද්දවුනා. ඒ තමයි, චීනයේ යුන්නාන් පළාතේ ඉඳලා අපේ රටට පැමිණි භික්‍ෂුන්වහන්සේලා සහ උපාසක උපාසිකාවන් සියයකටත් අධික පිරිසක් විසින් ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ ගේ ශාඛා තුනක් කුන්-මිං සහ චිං-හුං නගරවලට වැඩම කරවීම. කුන්-මිං කියන්නේ යුන්නාන් පළාතේ අගනගරය. චිං-හුං කියන්නේ සිප්සුන්පන්නා ප්‍රදේශයේ ප්‍රධාන නගරය. මේ ගමනට අපේ රටෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත, අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනාවාස යන හිමිවරුන් ප්‍රමඛ සංඝයාවහන්සේලා පිරිසකුත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ගිහි පිරිසකුත් සම්බන්ධවුනා.

සිප්සුන්පන්නා කියන්නේ දේශගුණික වශයෙන් පවා බොහෝ දුරට අපේ රටේ ස්වභාවයට සමාන ප්‍රදේශයක්. ඒ විතරක් නෙවෙයි. ඒ ප්‍රදේශයේ ගම්බද පරිසරය හරියට ම අපි පුංචි කාලේ දැකලා පුරුදු අපේ ම වටපිටාවට සමානයි නේ ද කියලා ඒ ගමනේ දී මේ ලේඛකයාට හිතුනා. චිං-හුං නගරය ආසන්නයේ ඉදිකිරීමට සැලසුම් කරලා තිබුණු මං-ල මහා විහාරයට මුල්ගල් තැබීමත් ඒ ගමනේ දී ම සිද්දකෙරුනා. දැන් ඒ විහාරය සිප්සුන්පන්නා ප්‍රදේශයට ම විශාල අලෝකයක් සපයන පදුබිමක් බවට පත්වෙලා ඉවරයි. සිප්සුන්පන්නා ප්‍රදේශය ගැනත් ඒ ප්‍රදේශයේ බෞද්ධ සංස්කෘතිය ගැනත් පස්සේ තව විස්තර කියන්න පුළුවන්. මොකද මේ කිය කියා ඉන්නේ ඒ ප්‍රදේශයත් එක්ක අපේ තියෙන සම්බන්ධය ගැන මූලික කරුණු කිහිපයක්නේ. ඒ හින්දා, ඒ වැඩේට විතරක් මේ ලිපිය සීමාකරන්නම්.

හව් වෙයිමින් ගුරුතුමා තමන් ගේ ආචාර්ය උපාධි නිබන්ධනයට උවමනා කරන කරුණු එකතුකරන්න සිප්සුන්පන්නා ප්‍රදේශයට ගිහිල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් ඒ ප්‍රදේශයේ පන්සලක්, පන්සලක් ගානේ ඇවිදලා තියෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙන වෙලාවක තමන් මුහුණදීපු අත්දැකීමක් ගැන එතුමා නිතර කියනවා. ඒ, මෙහෙම සිදුවීමක්. එතුමා එක් පන්සලක විස්තර එකතුකරද්දි ඒ පන්සලට ඇවිල්ලා හිටිය වයසක උපාසක මහත්තුරු දෙන්නෙක් අහලා තියෙනවා ඇයි මේ විස්තර එකතුකරන්නේ” කියලා. ආචාර්ය උපාධිය කරන්න මම ලංකාවට යනවා. මේ විස්තර හොයන්නේ ඒ වැඩේට” කියලා හව් වෙයිමින් ගුරුතුමා උත්තර දීලා. ලංකාවට යනවා!” උපාසක මහත්තුරු දෙන්නාට අදහාගන්නත් බැරිවෙලා. තං ෂියා-ඕ පිං ගේ මූලිකත්වයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ පටන් ඇරන් අවුරුදු දහයකටත් වඩා ගතවෙලා තිබුණත් ඒ වෙනකොටත් සාමාන්‍ය පුරවැසියකුට රටින් පිටට යනවා කියන එක අමාරු කටයුත්තක් වීම ඒකට එක හේතුවක්. ඒත් ඒ උපාසක මහත්තුරු දෙන්නා ගේ පුදුමයට හේතුවෙච්ච කාරණය ඒක නෙවෙයි. ඒ විස්තර හොයපු තරුණ මහත්තයා ලංකාවට” යනවා කියපු එක. ඒක මහ පුදුමාකාර දෙයක්. ඉතින් ඒ වයසක උපාසක මහත්තුරු දෙන්නා ඒ උත්තරය අහපු ගමන් ම කරලා තියෙන්නේ අර තරුණ මහත්තයාට – ඒ කියන්නේ අපේ හව් වෙයිමින් ගුරුතුමාට, දණගහලා වඳින එක. ලංකාව කියන්නේ ඒ අයට ශුද්ධභූමියක්!

ලංකාව කියන්නේ ථෙරවාද කලාපයේ මහ ගෙදර. ඒ, හරියට වතිකානුව කතෝලිකයන්ට වැදගත්වෙනවා වගේ. වතිකානුව කියන්නේ ක්‍රිස්තූන්වහන්සේ උපන් තැනවත්, ජීවත් වූ තැනවත් නෙවෙයි. ඒත් ඒක තමයි කතෝලිකයන් ගේ මහ ගෙදර. ඒක ඒ අයට ශුද්ධ වූ භූමියක්. ඒ වගේ ම තමයි ථෙරවාද කලාපයේ අයට අපේ රට වැදගත්වෙන්නේ. මේ ලේඛකයාත් හව් වෙයිමින් ගුරුතුමාත් එකතුවෙලා සිංහලට පරිවර්තනය කරලා පළකරපු රත්තවනාරාම වංශකතාව” තායි ග්‍රන්ථයෙනුත් මේ කාරණය ඒ විදිහට ම ප්‍රකාශවෙලා තියෙනවා. ඒ වංශකතාවෙන් කියැවෙන සිදුවීම් මාලාවට මූලික වෙන ඥාණගම්භීර ස්ථවිරයන්වහන්සේ පරමරාජාධිරාජ රජතුමා මුණගැහිලා කියනවා තමන් නිවැරැදි බුද්ධාගමත් සම්ප්‍රදායනුත් ගේන්න ලංකාවට යනවා කියලා. එහෙම කියලා ඒ රජතුමාගෙන් උදව් ඉල්ලනවා. එතකොට ඒ රජතුමා කියන්නේ, යන්න. බුද්ධාගමේ මහ ගෙදරට ගිහිල්ලා නිවැරැදි ඉගැන්වීම් ඇරන් එන්න” කියලා. කල්‍යාණී ශිලා ලිපි ලියවන්න මුල් වුනු රාමඤ්ඤයේ හිටිය ධම්මචේතිය මහරජතුමාත් මේ කාරණය ඒ විදිහට ම දකිනවා. අපි මේක තේරුම්ගන්න ඕන. අපේ රට තමයි ථෙරවාදී සම්ප්‍රදායේ මහ ගෙදර. චීනය තමයි දැන් මහායාන සම්ප්‍රදායේ මහ ගෙදර. ටිබෙටය තමයි තන්ත්‍රයාන සම්ප්‍රදායේ මහ ගෙදර. වතිකානුව, මක්කම, ඊශ්‍රායලය වගේ ම අපේ රටත් ආගමික මූලස්ථානයක්. ඒ හින්දා මේ ඇත්ත නො දැන අපේ රට අනාගාමික, ඓහික රාජ්‍යයක් බවට පත් කළොත් අගතියක් වෙන්නේ මේ රටේ බෞද්ධයන්ට විතරක් නෙවෙයි. ථෙරවාදී කලාපයේ ඉන්න හැමෝට ම.

පෙරදිගට යන මේ ගමන ගැන දැන් පාඨකයන්ට පැහැදිළි ඇති. යටත්විජිත බලපෑම් හින්දා අපිට බොහෝ දේ නැතිවුනා. ථෙරවාදී කලාපයට ම බෙදලාදුන්න උපසම්පදාව පවා අපිට අහිමිවුනා. ඉතින් ඒ නැතිවුනු දේ අපි ලබාගත්තේ අපෙන් ඒ උරුමය ලබාගත් සියමෙන්, රාමඤ්ඤයෙන්, අමරපුරෙන්. ථෙරවාදී කලාපයෙන් අපට ලබාගත හැකි දේවල් උපසම්පදාවට විතරක් සීමාවෙනවා කියලා මේ ලේඛකයා හිතන්නේ නෑ. මොකද ඒ අය අපෙන් ලබාගෙන තියෙන්නේ උපසම්පදාව විතරක් ම නෙවෙයිනේ. තවත් බොහෝ දේ තියෙනවා. ඉදිරි ලිපිවලින් ඒ දේවල් ගැන කියන්නම්.

වරුණ චන්ද්‍රකීර්ති෴

One Response to “පෙරදිගට ගමනක් – 20 ථෙරවාදී කලාපයේ මහ ගෙදර සිට …”

  1. Senevirath Says:

    ඔක්කොම හොඳය මුක්කම තමය් නරක ..යක්ෂයෝ අමතක කර පණ්ඩුකාභය ජාතිය හැදුවේ නැත්තේ යක්කු වැදගත් නිසා .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress