‘පුරවැසි උගුල්’
Posted on June 24th, 2016

ධර්මන් වික්‍රමරත්න

‘යහපාලන’ ආණ්ඩුවට ඇති ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ගෙන් වූවායැයි උපකල්පනය කරන හොරකම් නිසා වැට් ඇතුළු බදු බර ජනතාවට පැටවීමට සිදුවීමය. ඒකාබද්ධ විපක්ෂයේ සුළු පක්ෂවලට ඇත්තේ මහින්දගේ නායකත්වයෙන් සහ බැසිල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙන් බිහිවෙමින් පවතින අලුත් පක්ෂයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟකිරීමේදී තමන්ගේ කෝටා එක නැතිවේදැයි කියාය. ජවිපෙට ඇති ප්‍රශ්නය පක්ෂයේ සිය 4වන නායක සෝමවංශ අමරසිංහගේ හත් දවසේ බණට ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක සහ පෙරටුගාමී පක්ෂයේ සේනාධීර ගුණතිලක නොපැමිණිම පිළිබඳවය. සෝමවංශ හැදූ ජනතා සේවක පක්ෂයට ඇති ගැටලුවනම් නායකයා මියගිය තැන සත් දවසේ බණ නොතියා හය දවසින් එය වෙන තැනක පැවැත්වීමය. අතන මෙතන සිටින ‘වම්මුන්ට’ ප්‍රශ්නය සෝමවංශගේ පෙට්ටිය වසා තිබූ රතු ධජය අවසාන මොහොතේ ඉවත්කර දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකර ජාතික කොඩියකින් එය වසා දැමීමය. ෆූටාවේ සිටින ඇතැම් සරසවි ඇදුරන්ගේ හාහූව කැළණි සරසවියේදී ඩෙනිම ගැලවීමය.

රටේ අති බහුතර මිනිසුන්ට මේ එකක්වත්  ප්‍රශ්න නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නය බදු බර වැඩිවීමය. වහල් නීති ගෙනඑමින් වෘත්තීය සමිති දඩයමය. වී මිළ අඩුවීමය. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමය. ගංවතුරින් සහ නායයෑම්  වැනි ස්වභාවික විපත්වලින්ද, සාලාවේදී ආණ්ඩුවේම වරදින් ආයුධ ගබඩාව විනාශවීමෙන් සිදුවූ හානිවලටද තවමත් සාධාරණ අන්දමින් වන්දියක් නොලැබීමය. පාරිභෝගිකයින්ට ප්‍රශ්නය දිවිනැගුම වැඩසටහන ලත්තැනම ලොප් කිරීම නිසා නහුතයට වැඩිවන එළවළු මිලය. මිනිසුනට මෙවැනි ප්‍රශ්න සිය ගණනකි. ජීවත්වීම දුෂ්කරය. මේ සියල්ල අතරතුර හොර රහසේ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ සැලසුම් සකස් කරමින් සිටිති. 

dharman24061601

මේ සියළු ප්‍රශ්න ‘යහපාලන’ ආණ්ඩුව අමතක කරන්නට හදන්නේ සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් කකුලට ඇගේ සැමියා එල්ල කළේයැයි කියන සවල් පහරෙන්ය. නැතිනම් ‘මහා රහස් පරික්ෂක’ වන්ෂොට්ගේ අතේ පත්තුවන ගොන්ජා වැඩවලිනි. එසේත් නොමැතිනම් ප්‍රශ්නයක් පැනනැගුනු විට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස ලියාදුන් කොලයක් කියවීමට සමත් වෙලේ විදානගේ බාම් එකෙනි. මාරක කථා චක්‍රවර්ත්‍රී ඩීමන් ආනන්ද හිටියානම් මේවා හොද කථාවලට ටිප් ටොප් බීජ වස්තුන්ය.

වැට් බද්දට එරෙහිව ගාල්ලේද, මහරගමද, ගම්පහද හර්තාල්ය. වෙළෙඳසැල් වසා වෙළෙන්දෝ පෙළපාලි යන්නේ පාරිභෝගිකයන්ගේ අයිතීන් වෙනුවෙනි. නිදහස් වෙළඳ කලාපයේ දහස් ගණනක් කම්කරුවෝ කටුනායක ඇවරිවත්ත හන්දියේ සිට මහපාරේ පෙළපාලි යන්නේ හාම්පුතුන්ට සේවකයින් සූරාකෑමට  ‘යහපාලන’ ආණ්ඩුවේ නව කම්කරු නීති ගෙනඒමට සහ වෘත්තීය සමිති දඩයමට එරෙහිවය. රැකියා විරහිත උපාධිධාරින් දහස් ගණනක් ගුරු පත්වීම් වහාම දෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයන්ය. ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය සිසුවෝ සෙසු සරසවි සිසුන් සමඟ අත්වැල් බැඳගෙන නුගේගොඩ විජේරාමේ සිට කොළඹ වීදි පුරා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ඊයේ පෙළපාලි ගියේ නිදහස් අධ්‍යාපනය අහෝසි කරන මාලඹේ පෞද්ගලික වෙද සිසු උපාධි කඩය නීතිගත කිරීමේ කුමන්ත්‍රණය නවතා ජනසතු කරන මෙන් රජයෙන් ඉල්ලමිනි. පොහොර සහනාධාර පික් පොකට් ගසා ඒ වෙනුවෙන් දුන් වව්චර් වලට මුදල් බැංකුවලින් ලබා ගැනීමේදී සිදුවන අසාධරණයට එරෙහිව දඹුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොවීන්ගේ උද්ඝෝෂණයන්ය. සිය දරුවන්ට කලින් ගිවිසගත් පරිදි පාසැල් ලබාදී නැතැයි වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශය වටලති. ‘හයිබ්‍රිඩ්’ ආණ්ඩුවේ දෙනවායැයි කියූ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉල්ලා රටපුරා අරගලයන්ය.  මාධ්‍යවේදින්ට දෙන දඬුවම් ගැනද එස්.ටී.එෆ් පොලිස් ලොක්කාගේම කටින් පැන්නේය. ඔවුනට විසදුම් නැත. එබැවින් මර්දනය සූදානමින් ඇත.

එදා අත්අඩංගුවට ගත්තේ ශ්‍රිලනිප හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂය. පසුව නම් වැලකි. පෙරේදා අත්අඩංගුවට ගත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිලය. ඊයේ අත්අඩංගුවට ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ය. අද අත්අඩංගුවට ගනු ඇත්තේ ඔබගේ සටන් සගයාය. හෙට ඔබද අත්අඩංගුවට ගතහොත් එහි පුදුමයක්ද නැත. ජාතිකවාදී දේශපාලන දෘෂ්ඨියක් සහිත උදය ගම්මන්පිල සහ මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට ගැනීමෙන් එම දේශපාලන ධාරාව යටපත් කල නොහැක. එය තව තවත් ප්‍රබල වනු ඇත. කොන්ෆියුසිස් කීවා මෙන් ලොකුම දෙය නොවැටී සිටීම නොව වැටෙන සැම විටම නැගිටීමය. බරපතල වැරදිකරුවන් ඇමතිකම්දී ආරක්ෂාකරන ආණ්ඩුවක් දේශපාලන විරුද්ධවාදීන් පමණක් තෝරාගෙන දඩයම් කිරීමේ යටි අරුත දේශපාලන ඛේදවාචකයක් ලඟ ලඟම බව කියාපෑමකි.

‘යහපාලන’ ආණ්ඩුවට එරෙහි අයට කුමන හෝ බොරු චෝදනා දමා දැන් ගහන්නට පටන් ගෙනය. කසකාරයෝ මෙහෙමනම් පෙරහැර කොහොම වෙයිදැයි සිතාගැනීම පවා උගහටය. විරුද්ධ වුවහොත් සපිරිගෙටය. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ‘යහපාලන’ ආණ්ඩුවට මනාප වුවහොත් ඇමතිකමක්ය. මුසම්මිල් ‘යහපාලනය’ වැළඳගතහොත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන දැරිවිය මෙන් උදේ කෑමෙන් පසු පොලිසිය සමඟ ගොස් අධිකරණයට ඉදිරිපත්වී දවල් කෑමට පෙර ගෙදර පැමිණිය හැකිය. මර්ධනය තුළින් සිපිරිගෙට මේ දක්කනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒකාබද්ධ විපක්ෂය වටා ගොනුවී ඇති ලක්ෂ සංඛ්‍යාතික ජනතාවගේ අභිමානය හෝ ජනතා මතය එහි නායකයින් විලංගු ලා සිරගත කොට යටපත් කල නොහැක. මෙතෙක් කල බුක්ති විදි අවම ප්‍රජාතන්ත්‍රවාදයද දැන් පැහැර ගනිමින් පවතී.

මේ සියල්ල අතුරතුර විරුද්ධවාදීන් සපිරිගෙදර රිමාන්ඩ්කර සිදුකිරීමට යන්නේ ඉන්දියාව සමඟ එක්ටා ගිවිසුම අත්සන් කිරීමට සහ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමටදැයි කුකුසකි. ඒ සඳහා එක්ටා විරෝධී සහ ෆෙඩරල් විරෝධී සියළු දෙනා විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට ප්‍රවේශයක්ද? මෙයට වසර 29කට පෙර 1987 ජුලි 29වැනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එජාප ආණ්ඩුව යටතේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1987 ජුනි 22වැනිදා රාත්‍රී රටපුරා කරන ලද වැටලීමකින් එම ගිවිසුමට එරෙහිව පැන නැගුණු විරෝධතා ව්‍යාපාරයන්ට නායකත්වය දුන් සරසවි සිසු නායකයින් 88 දෙනෙකු ඇතුළු 310ක් අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරය සහ තවත් ස්ථාන කිහිපයක රිමාන්ඩ් සිරගතකර මාස තුනක් තබාගෙන පසුව නිදහස් කළේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැඳවුම්කරු ඇතුළු බොහෝ සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විවිධ චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට ගැනීමේ අනතුරක් දැනටමත් මතුව ඇත. වත්මන් ආණ්ඩුවේ නායකත්වය යටතේ ඉදිරි වසර 5තුළ ජේ.ආර්. ජයවර්ධන තැබූ වාර්තාද කඩනු ඇතැයි ආණ්ඩුව කියන්නේ මේවාටද?

මේ අල්ල පනල්ලේ කොරේ පිටට මරේය. එලොවටත් නැති මෙලොවටත් නැති නඩයක් ‘යහපාලන’ ආණ්ඩුවට ඔක්සිජන් ගහන්නට කිඹුල් කඳුළු හලනවාය. එකෙක් පුරවැසි බලයේය. තවකෙක් අලුත් පරපුරේය. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කියාද පිරිසක් ඇත. විදියේ විරෝධය දවල්ටය. නිදහසේ වේදිකාව රෑටය. මොවුන් ඔක්කොම එක වල්ලේ පොල්ය. ජනතාවට දොං සිමංය. හරියට ‘යහපාලන’ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයින් වාගේය. දවල් මිගෙල්ය. රෑ ඩැනියෙල්ලාය. ජනවාරි 8 පැතූ ‘යහපාලනය’ මේකදැයි  අසනුයේ වෙල්ල හැලියට නැග්ග බළලා වගේය. ‘යහපාලන’ ආණ්ඩුවට අවශ්‍ය දේ පමණක් කියන පිරිසක් සිවිල් සමාජයේ නියෝජිතයින් ලෙස පිලිගත යුතු නැත. මෙම ‘සිවිල්’ සංවිධාන දොර කවුළු වසාගෙන ජනතා බලයක් ගොඩනගන්නේ නැතිව මේ කරන්නේ මවාපෑමකි. ජනතා මැදිහත්වීම නොඉවසන, ඒ වෙනුවෙන් කැපකිරීමක් කිරීමට සූදානම් නොමැති, ‘ගේම්කාරයින්’ බහුතරයකින් සමන්විත මෙම පුරවැසි උගුල්වලට තවදුරටත් කිසිවෙකු රැවටිය යුතු නැත.

මෙම පුරවැසි උගුල්වල සංවිධානවල නායකයින්ද ‘යහපාලකයින්’ සමඟ එකට කෑවේය. බීවේය. කඩේ ගියේය. සුදු හුණු ගැවේය. පඩියෝ මෙන් හැසුරුණහ. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නෝ කුමන්ත්‍රණකරුවන් ලෙසද නම් කළහ. සිංහලයන්ට ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයක් යැයි පාරම් බෑහ. ඉක්බිති සිය පඩිත්වයෙන් විරාජමාන වූහ. මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පොරවල් බවටද පත්වූහ. පුළුවන් අය කුට්ටිය කඩා ගත්තේය. තවත් අය තනතුරු ගත්හ. එන්.ජී.ඕ සබදතා ඇත්තන් ඩොලර් සරණ ගියහ. නැති එකා පමණක් දත කට මැදගෙන වරදාන බලාපොරොත්තුව තවදුරටත් ඉවසා වදාරනු පෙනේ. සුද්දන්ට එදා කළු සුද්දෝ රට පවාදුන්නේද එසේය. ලැජ්ජා නැති නිවටකම අදත් එදා සේමය. ඔවුන්ට ජීවත්වීමට හෘද සාක්ෂියක් අනවශ්‍යය. බොරු මායාවක් ලොවට පෙන්නා සැප විදිමින් ජීවත්වන ඔවුහු මේ කරන්නේ රඟපෑමකි. වාද විවාද කර කාලය කා දැමිය යුතුද නැත. මේ එන්.ජී.ඕ පුරවැසි උගුල් සංවිධාන ගැන ‘යහපාලන’ ආණ්ඩුවට හොද අවබෝධයක් ඇත. එබැවින් ආණ්ඩුව තමන්ගේ මාර්ගයේ බිය නොමැතිව පෙරටම ගමන් කරනු ලබයි.

 ‘යහපාලන’ බලයට පත්වී මාස 18ක් වූවද මිනිසුනට ප්‍රශ්න තිබුණාටත් වඩා උග්‍ර විය. රාජපක්ෂ ආණ්ඩුවට 2014 සාපේක්ෂව ජනතාවගේ ජීවන බර ඉහල ගොස්ය. උද්ධමනයේ ප්‍රතිශතයක් ලෙස 3.3 සිට 4.8 දක්වා වැඩිවී ඇත. විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 8.3 සිට 6.6 දක්වා අඩුවී ඇත. කොටස් වෙළෙඳපොළ බිඳ වැටෙමින් සමස්ථ කොටස් මිල දර්ශකය 7299 සිට 6465 දක්වා පල්ලම් බැස ඇත. විරැකියාව 4.3 සිට 4.9 දක්වා වැඩිවී ඇත. ජාත්‍යන්තර වර්ගීකරණ වලින් ලංකාවේ ආර්ථිකය පහලටම පල්ලම් බසී. මේ මොලයක් කරපු හරියක්ය. කුරුල්ලෙකු කිසි විටක වසන අත්තෙහි ශක්තිය ගැන නොසිතයි. කුරුල්ලා සෑම විටම විශ්වාසය තබන්නේ තමන්ගේ ම පියාපත් ගැනය. රාජපක්ෂ ආණ්ඩුව සිතුවේ එසේය. ‘යහපාලන’ ආණ්ඩුව සිතුවේ බටහිර රටවල ආලයේ තරම පමණි. එය මුලාවක්ම විය.

ලැම්බෝගිනි අල්ලන්නට පත්වූ ‘යහපාලන’ ආණ්ඩුව අවසානයේ  ඇමතිවරුන් 30 දෙනෙකුට කෝටි 118ක සැප වාහන ගන්නට සල්ලි පාර්ලිමේන්තුවෙන්ම අනුමතකර ගත්තේය. එජාපය සමඟ ආණ්ඩුවේ වරදාන භුක්ති විදින ඩාර්ලි පාරේ ශ්‍රිලනිප   නෛතික පාර්ශවයේ ඇමති විජිත් විජයමුණි සොයිසා කියන්නේ තමාගේ බෙල්ලේ ඇටයක් ගෙවී ඇති බැවින් සහ පිට කොන්දේ ඩිස්ක් ගොස් ඇති බැවින් රුපියල් ලක්ෂ 350ක අලුත් වාහනය අතවශ්‍ය බවකි. ටෙනිසන් කුරේලා, බන්දු සමරසිංහලාට තියා ඇනස්ලි, සැමුවෙල් හෝ ෆ්‍රේඩී සිල්වා නැවත නැගිට පැමිණියද  මේ දෙන විහිළු තහළු දිය නොහැක.

නීතිය වල් වැදෙමින් ඇත. පාතාලය හිස ඔසවමින් පවතී. මහර අධිකරණය ඉදිරිපිට බන්ධනාගාරයෙන් ගෙන ආ රැදවියන් පිරිසකට ඊයේ වෙඩි පිට වෙඩිය. ඉස්සරනම් කොහෝ හෝ මිනිසෙක් හාට් ඇටෑක් එකක් හෝ හැදී මලද එය බැර වූයේ ගෝඨාභය රාජපක්ෂගේ ගිණුමටය. කැලණියේ ආචාරියා කට ඇරියානම් සුදු වෑන් එකකින් වැඩේකර ඇති බවක් ලුණු ගොරකා දමා කියනු ඇත. තහනම් කල බව කීවද ග්ලයිෆොසේට් රසායනයට වඩා අහිතකර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් කිහිපයක් ඉකුත්දා රේගුවෙන් මුදාහැර තිබේ. සතුට යනු එම රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම වන අතර දුක යනු මෙවැනි දෑ ගෙනෙන විට රසායනික පොහොරවලට එරෙහිව ගෝරනාඩු දමන අතුරලියේ රතන හිමි රාජගිරිය අසපුවේ මුනිවත රැකීමය. ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ‘යහපාලන’ ආණ්ඩුවට එක්වන බවට ඇතැමුන් කියති. ඇමතිකමක් නොමැතිව නින්ද නොයන අය සහ බරපතල අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ඇති අය ඇගබේරා ගැනීම සඳහා එසේ යෑම සක්‍රයාගේ පුතා වයිමාට වුවද වැලකිය නොහැකි වනු ඇත. 

දුරකථන බදු දැන් සියයට 49.57කි. මාසයකට රුපියල් 1,840ක දුරකථන බිලක් ගෙවන අයෙකු දැන් එයට අමතරව රුපියල් 912ක බදු ගෙවිය යුතුය. ෆ්‍රී වයිෆයි දෙන්නට ආ ආණ්ඩුව අමාරුවෙන් ගෙවූ ඩේටා බිලටත් වැඩේ දුන්නේය. දේශීය නිෂ්පාදනයක් වන මයික්‍රෝ කාර්වලට දේශීය වෙළෙඳපොළ තුළ ඉඩ ලබානොදී ඉන්දීය මෝටර් රථ වෙළඳපොල පෝෂණය කිරීමට ඉඩ ලබාදී තිබේ. බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට යුරෝපා සංගමයේ සාමාජිකත්වයේ රැදී සිටින ලෙස පවත්වන ජනමත විචාරණයේ ක්‍රියාකල යුතු ආකාරය දැනුවත් කිරීමටද ශ්‍රී ලංකාවේ ඇමති දුසිම් භාගයක් දැන් බ්‍රිතාන්‍යයේය. අනේ අනිච්චං කියන්නේ මේවාටය.

බදු ගසන්නේ ටික කාලයකට බවද රට ආර්ථික අතින් ස්වයංපෝෂිත කලවිට තව වසර කිහිපයකින් ජනතාවට සහනදෙන බවද ‘යහපාලන’ ආණ්ඩුව කියයි. පුංචි කාලේ වාගේම දැනුත් මිනිසුන් සුරංගනා කථා ඇසිමට කැමතිය. එහෙත් ඒවා විශ්වාස කරන්නේ නැත. ආණ්ඩුවෙන් බැට නොකන අය දැන් හොයන එක නොමළ ගෙදරකින් අබ ඇට හොයනවා වගේ අසීරු වැඩක්ය. 
(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

 

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

One Response to “‘පුරවැසි උගුල්’”

  1. Ramanie Says:

    Beautifully written; so factual! This gives a snap shot of the where Sri Lanka is at! Yamapalakyo need to get kicked out!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress