ඇමති රංජන් සහ හමුදා ලොක්කෝ ඝාතනයට ඔබ්රෝයි හෝටලයේදී වස දුන් හැටි
Posted on June 26th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි.

ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) නායක රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12වැනිදා පස්වරු 2ට උලපනේ නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු 1989 නොවැම්බර් 13වැනිදා අළුයම 1.35ට බොරැල්ල මොඩල් ෆාම් පාරේ ගොල්ෆ් පිටියේ වෙඩිතබා ඝාතනයකර එදිනම අළුයම 3.13ට බොරැල්ල කතත්තේදී පුළුස්සා දමන ලදී. ඝාතනයෙන් දෙදිනකට පසු ජවිපෙ නව නායකයා වශයෙන් සමන් පියසිරි ප්‍රනාන්දු ජවිපෙ මගින් පත්කල බව බ්‍රිතාන්‍ය බී.බී.සී ගුවන්විදුලියේ ප්‍රවෘත්තියක සඳහන් විය. සිය සමාරම්භක නායක විජේවීර ඝාතනයෙන් පසු ජවිපෙ දේශපාලන මණ්ඩලය ප්‍රථමවරට රත්නපුර කුරුවිට පණුකරාපිටියේදී රැස්වුණේ 1989 නොවැම්බර් 28වැනිදාය. දේශපාලන මණ්ඩල සභික සහ ජවිපෙ සන්නද්ධ නායකයාවු සමන් පියසිරි එහි මුලසුන දැරූ අතර එයට ශාන්ත බණ්ඩාර, ලලිත් විජේරත්න, උපාලි ජයවීර ඇතුළු කිහිපදෙනෙක් සහභාගි විය. එහිදී ගත් තීරණ අතර නව නායකත්වය අනුමත කිරීම, දේශපාලන මණ්ඩලයට සහ මධ්‍යම කාරක සභාවට නව සාමාජිකයින් කිහිපදෙනෙකු නම් කිරීම, රෝහණ විජේවිරගේ ඝාතනයෙන් මසක් සපිරෙන 1989 දෙසැම්බර් 13 රටපුරා විවිධ ස්ථානයන්හි ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීම සහ එදිනට පෙර ප්‍රබල ඉලක්කයන් කිහිපයකට ප්‍රහාර එල්ලකිරීමට ගත් තීරණය සාර්ථක කරගැනිම ප්‍රධාන විය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

ජවිපෙ නව නායක සමන් පියසිරි ප්‍රනාන්දු විසින්ම ප්‍රබල ඉලක්කයන් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ වගකීම භාරගත් අතර ඒ සඳහා 5දෙනෙකුගේ සාකච්ඡාවක් 1989 නොවැම්බර් 16වැනිදා පස්වරු 5.30ට කොළඹ මරදානේ අභයසිංහාරාම විහාරස්ථානයක කාමරයක සමන් පියසිරි විසින්ම පවත්වන ලදී. එහිදී විදේශ ඇමති සහ ආරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න ඇතුළු හමුදා ප්‍රධානීන් වසදී ඝාතනය කිරීම හෝ ඇමති රන්ජන් අධිබලැති කාර් බෝම්බයක් යොදා ඝාතනය කිරීම, නාරහේන්පිට යුධ හමුදා පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ලකර ආයුධ පැහැර ගැනිම වැනි කිහිපයක කඩිනම් සැලසුම් සකස්කරන ලදී. මෙහිදී වසදී ඇමති රන්ජන් ඇතුළු පිරිස ඝාතනය කිරීම වරුණටද ඇමති රන්ජන් කාර් බෝම්බයෙන් ඝාතනය කිරීම පීරිස්ටද නාරහේන්පිට යුධ හමුදා පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම සකස්කිරීම එහි සේවය කල සිල්වාටද වගකීම් පැවරිණි. සෙසු දෙදෙනා මෙම කටයුතුවලට සහායවීමට නම්කරන ලදී.

මෙහිදී වසදී ඇමති රන්ජන් ඇතුළු පිරිස ඝාතනය කිරීමේ වගකීම භාරදුන් වරුණ නමින් හැදින්වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ එක් කලාපයක සන්නද්ධ නායකයාය. වරුණගේ පැවිදි නම ධම්මකිත්ති හිමිය. කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ උපාධිධාරියෙකුවූ ධම්මකිත්ති හිමියෝ උපාධිය ලබාගැනිමෙන් අනතුරුව උපැවිදිවි ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. ධම්මකිත්ති හිමියන්ගේ සරසවි අනුගාමිකයින් ලෙස අසූව දශකයේ අවසාන භාගයේදී කොළඹ සරසවියෙන් ඉස්මතු වූයේ තඹරළුවේ ජිනානන්ද හිමි, තලකොළවැව චන්ද්‍රරතන හිමි, මංගල හිමි සහ ආනන්ද හිමි ඇතුළු පිරිසකි(ජිනානන්ද හිමි උපැවිදිව දැන් අරවින්ද නමින් බ්‍රිතාන්‍යයේ ජීවත්වන දෙදරු පියෙකි. පාවාදීමේ චෝදනාවටද ලක්වූ නිකවැරටිය තලකොළවැව චන්ද්‍රරත්න හිමිද උපැවිදිවී වර්තමානයේ දෙදරු පියෙකු වශයෙන් ජපානයේ ජීවත් වේ). ඇමති රන්ජන් කාර් බෝම්බයෙන් ඝාතනය කිරීමේ සැලසුම භාරගත් කීර්ති නොහොත් සම්පත් නොහොත් පීරිස් මොරටුව සරසවියේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ(එන්.ඩී.ටී) රසායන විද්‍යාව හැදෑරූ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ එක් කලාපයක සන්නද්ධ නායකයෙකි. නාරහේන්පිට යුධ හමුදා පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ වගකිම පැවරූ සිල්වා ලෙස හැදින්වූයේ පසුකලෙක රෝහණ විජේවීර ඝාතනයේ ඇතුළාන්තය රටට හෙළිකල පොළොන්නරුවේ පදිංචි යුධ හමුදාවේ ලාන්ස් ක්‍රෝප්‍රල් ඉන්ද්‍රානන්ද සිල්වාය. 

dharman26061602ඇමති රංජන් විජේරත්න සහ හමුදා ප්‍රධානින්ට ඔවුන්ගේ ආහාරවලට වසදමා ඝාතනය කිරීමට 1989 දෙසැම්බර් ජවිපෙ සැලසුම් කළේ කොල්ලුපිටියේ මෙම ඔබරෝයි හෝටලයේදිය(ඉහළ), අදාළ හෝටලයේ පහත මාලයේ විශේෂ ආලින්දය(පහළ). එහි දක්නට ඇති බතික් සැරසිලි නිර්මාණය විපුල ධර්මවර්ධන ගෙනි. වර්තමානයේ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් නමින් හැදින්වෙන්නේ මෙම හෝටලයයි.

සමන් පියසිරිගේ එම සාකච්ඡාව පැවැත්වූ මරදානේ අභයසිංහාරාමය එකල ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ ප්‍රබල ආධාරකරුවන්වූ භික්ෂූන් සහ දායකයන් ගෙන් සමන්විත විහාරස්ථානයකි. ජවිපෙ සාකච්ඡා එහිදී සම්බන්ධීකරණය කළේ ජවිපෙ ප්‍රබල ක්‍රියාකරුවෙකුවූ එහි වැඩවාසය කල ප්‍රඥ්ඥාරතන හිමිය.  මොණරාගල උපන් උන්වහන්සේගේ මව සීතා කුමාරිහාමිය. සමන් පියසිරි 1989 දෙසැම්බර් 27 අත්අඩංගුවට ගැනීමෙන් දෙදිනකට පසු ප්‍රඥ්ඥාරත්න හිමි උපැවිදිවී අසේල වීරසිංහ නමින් ව්‍යාජ හැදුනුම්පතක් සකසාගෙන අනුරාධපුර ප්‍රදේශයට පළාගොස් සැඟවි සිටියේය. පසුව 1990 මාර්තු 15වැනිදා ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ(ඔප්ස් කම්බයින්) මගින් අත්අඩංගුවට ගන්නා ඔහු කොළඹ හැව්ලොක් ටවුමේ යටාරෝ වධකාගාරයේදී වධදී 1990 මාර්තු 21වැනිදා ඝාතනය කරන ලදී.

ආරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්න සහ හමුදා ප්‍රධානින්ට ඔවුන්ගේ ආහාරවලට වසදමා ඝාතනය කිරීමට ජවිපෙ  නායක සමන් පියසිරි සැලසුම්කර තිබුණේ කොල්ලුපිටියේ ඔබරෝයි හෝටලයේදිය. වර්තමානයේ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් නමින් හැදින්වෙන්නේද නවීකරණයට ලක්වූ එම හෝටලය වේ. එය 1989ද තරු පහේ ඉහළ පෙළේ හෝටලයකි. මෙම හෝටලයේදී 1989 දෙසැම්බර් 8වැනිදා ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ(ඔප්ස් කම්බයින්) සේවය කල ඉහළ පෙළේ නිලධාරින් 15 පමණ සහ පොලිසියේ එක් අයෙකුට උසස්වීම් ලබාදීමේ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එයට හේතුව වූයේ ජවිපෙ නායක විජේවීර ඇතුළු ඉහළ පෙළේ නායකයින් අත්අඩංගුවට ගෙන ජවිපෙ 2වැනි කැරැල්ල මුළුනුපුටා දැමීමට ඔවුන් කල සේවයට උපහාර පුදකිරීමට සහ දිරිමත් කිරීම වෙනුවෙනි. ඒ සඳහා උපහාර පිරිනැමීමේ උත්සවයට 100ක් පමණ සහභාගිවීමට  නියමිත විය. ඒ අතර ආරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් සිරිල් රණතුංග, හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් හැමිල්ටන් වනසිංහ, හමුදා කාර්ය මණ්ඩලයේ සහ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ(ඔප්ස් කම්බයින්) ප්‍රධානි මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්න, ක්ෂණික විහිදුම් බලකාය(ආර්.ඩී.එෆ්) අණදෙන නිලධාරි කර්නල් ජානක පෙරේරා(විශ්‍රාම ගියේ මේජර් ජනරාල්වරයෙකු ලෙසය), ඔප්ස් කම්බයින් දෙවැනියාවූ කර්නල් ලක්ෂ්මන් අල්ගම(විශ්‍රාම ගියේ මේජර් ජනරාල්වරයෙකු ලෙසය), යුද හමුදා විශේෂ බළකාය පිහිටුවිම සඳහා පුරෝගාමී මෙහෙවරක් කල කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි(විශ්‍රාම ගියේ මේජර් ජනරාල්වරයෙකු ලෙසය) ඇතුළු හමුදා නිලධාරින්ද පොලිස් අධිකාරි රොනී ගුණසිංහ ඇතුළු කිහිප දෙනෙක්ද විය.

dharman26061603ජවිපෙ 2වැනි කැරැල්ලේ බෝම්බ නිෂ්පාදන අංශයේ වැඩකටයුුතු කොළඹ ප්‍රදේශයේ සිදුවූයේ මොරටු සරසවිය(ඉහළ), කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ආපන ශාලාවේ රාත්‍රී කාලයේදී(පහළ) සහ කොළඹ තවත් ස්ථාන කිහිපයකය.

ඔබ්රෝයිහි පැවැත්වෙන හමුදා උත්සවය පිළිබඳව ජවිපෙට ලැබුණු වාර්තා සහ සම්බන්ධතා සමන් පියසිරි විසින් ඔබ්රෝයි හෝටලයේදී වස දීමේ මෙහෙයුම භාරව කටයුතු කරන වරුණට පවසන ලදී. එමෙන්ම හමුදාවේ එම කටයුතු සිදුකරන අරක්කැමියෙකුගේ සහ ඔබ්රෝයි හෝටලයේ සේවකයෙකුගේද සම්බන්ධතාද සකස්කර දෙන ලදී. එමෙන්ම වසදීම සඳහා සයනයිඩ් දියර අඩංගු සිලින්ජර් ලබාගැනීම සඳහා පුද්ගලයෙක්ද හදුන්වාදෙනු ලැබීය.

dharman26061604ඇමති රංජන් සමඟ එදින භෝජන සංග්‍රහයේ ආරාධිතයන් අතර සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් සිරිල් රණතුංග, හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් හැමිල්ටන් වනසිංහ, හමුදා කාර්ය මණ්ඩලයේ සහ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ(ඔප්ස් කම්බයින්) ප්‍රධානි මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්න, ක්ෂණික විහිදුම් බලකායේ අණදෙන නිලධාරි කර්නල් ජානක පෙරේරා(විශ්‍රාම ගියේ මේජර් ජනරාල්වරයෙකු ලෙසය), ඔප්ස් කම්බයින් දෙවැනියාවූ කර්නල් ලක්ෂ්මන් අල්ගම(විශ්‍රාම ගියේ මේජර් ජනරාල්වරයෙකු ලෙසය), යුද හමුදා විශේෂ බළකාය පිහිටුවිම සඳහා පුරෝගාමී මෙහෙවරක් කල කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි(විශ්‍රාම ගියේ මේජර් ජනරාල්වරයෙකු ලෙසය) ජවිපෙ ප්‍රධාන ඉලක්කයන් බවට පත්වී තිබිණි.

එයට පෙර මෙවැනි සිදුවීමක් වාර්තා වූයේ අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ආණ්ඩුව කුඹුරු පනත සහ ජනසතු ව්‍යාපාර ක්‍රියාවට නැගූ නිසා එයට එරෙහිවූ දක්ෂිනාංශික ඇමතිවරුන්ගේ ආශිර්වාදය ලැබූ කණ්ඩායමක් විසින් අගමැති බණ්ඩාරනායකට 1959 අගෝස්තු 25වැනිදා උදෑසන පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඔහු දෛනිකව පානයකරන කිරි බෝතලයට නයි විස මුසුකොට බීමට දීමය. එදින සෙම්ප්‍රතිශ්‍රාව සැදී තිබූ අගමැති බණ්ඩාරනායක නයි විස යොදා තිබූ කිරි බෝතලය පානය නොකල අතර උණු තේ කෝප්පයක් පානය කල අතර එම කිරි බෝතලය පානය කළේ දැඩි පිපාසයෙන් සිටි සභානායක සී.පී.ද සිල්වාය. ඔහු රෝගීවී ජාතික රෝහළට ඇතුල්කර පසුව බ්‍රිතාන්‍යයේ මුල්පෙළේ රෝහළක මාස කිහිපයක් ප්‍රතිකාරගත් බවට වාර්තා විය. මේ පිළිබඳව බ්‍රැඩ්මන් වීරකෝන් ලියන ලද ‘අරලියගහ මැදුරේ ස්පන්දනය’ යන ග්‍රන්ථයේද ජේම්ස් මැනර්ගේ ග්‍රන්ථයකද සඳහන්ය. පසුව අගමැති බණ්ඩාරනායක 1959 සැප්තැම්බර් 25දා වෙඩිතබා ඝාතනය කිරීමට විරුද්ධවාදීන් ගත් දෙවන උත්සාහය සාර්ථක විය.

dharman26061605මෝටර් රථයක ඇටවූ බෝම්බයක් පුපුරුවා හරිමින් ඇමති රංජන් ඝාතනය කිරිමට 1989 දෙසැම්බර් කාර් රථය පදවාගෙන ආ පේරාදෙණියේ සරසවියේ පශු වෛද්‍ය ශිෂ්‍ය හබරාදූව අඟුළුගහ පදිංචි ජනක සෙනෙවිරත්න සරසවි ප්‍රවේශයට පෙර(වමේ) සහ සරසවියට ඇතුල්වීමෙන් පසුව(දකුණ)

ජවිපෙ කොළඹ කලාපීය සන්නද්ධ නායක වරුණ එතරම්ම උස නොමැති 28හැවිරිදි තරුණයෙකු වුවද පෙනුම එයටත් වඩා ලාබාලය.  විජේවීර ඝාතනයෙන් පසු වරුණට ආරක්ෂාව සඳහා නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක් 1989 දෙසැම්බර් 01 සිට හිමිවිය. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ජවිපෙට හිතවත් ඉහළ නිලධාරියෙකුගේ මාර්ගයෙන් එම රැකියාව වරුණට සොයාදුන්නේ අම්පාරේ නෙවිල්ය. වසර 1990 අගෝස්තු මස නෙවිල්ද ඝාතනයට ලක්විය. නාරහේන්පිට යුධ හමුදා පොලිසියේ ජවිපෙට සම්බන්ධ හමුදා භටයින් 1989 නොවැම්බර් සිට ජවිපෙ නව නායක සමන් පියසිරි සමඟ සම්බන්ධකම් පැවැත්තුවේද වරුණ හරහාය. එකල වරුණ කටයුතු මෙහෙයවූ ස්ථානයන් කිහිපයක් විය. එක්තැනක් වූයේ බොරැල්ල සුපර්මාර්කට්හි 2වැනි මහලේ ටේලර් සාප්පුවකි. තවත් තැනක්වූයේ රාජගිරියේ හන්දියේ සිංහල හෝටලයකි. මෙවර වරුණ ඇමති රන්ජන් ඇතුළු පිරිසට වසදීමේ මෙහෙයුම සැලසුම් කිරීම සඳහා තෝරාගත්තේ බොරැල්ලේ කොටා පාරේ ප්‍රදීප් ස්ටෝස් නැමති ව්‍යාපාරික ස්ථානය වේ. එහි හිමිකරු වනාතමුල්ලේ අජිත්ය. ඔහුගේ සොහොයුරා වූයේ සරත්ය. අජිත්ගේ ඝාතනයෙන් පසු බොරැල්ලේ කරවල කඩයක් කල සරත් දැන් සිටින්නේ ස්විස්සර්ලන්තයේය. පොලිස් අධිකාරි ගෆූර්ගේ මස්සිනාට බෝම්බ ගසා වෙඩිතැබූ ප්‍රදීප්ද 1988 මැද භාගයේදී සැඟවි සිටියේ අජිත්ගේ නිවසේදීය.

ඊශ්‍රායලයේ ඔත්තු සේවය අසූව දශකය මුල් භා‍ගයේ ක්‍රියාත්මක වූයේ කොළඹ ඔබරෝයි හෝටලේ 9වැනි මහලේය. මොසාඩ් ඔත්තු සේවයේ නියෝජිතයෙකු වූ මටානි එම කාර්යාලයේදී ඝාතනය කිරීමට දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1984 ජනවාරි 21 ඔබරෝයි හෝටලයේ බෝම්බයක් පිපිරුවද එය අසාර්ථක විය. එහෙත් හෝටල් සේවිකාවක් මරමුවට පත්විය. පසුව ඊශ්‍රායල් ඔත්තු සේවා කාර්යාලය කොල්ලුපිටියේ ලිබර්ට් ප්ලාසා වෙත ගෙන ගිය අතර එහි සම්බන්ධකාරකවරිය ලෙස කටයුතු කළේ මොනිකාය. එබැවින් ජවිපෙ 2වැනි කැරළි සමයේදී ඔබ්රෝයි හෝටලයද විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතයට ගැනිණි. එහෙත් ඇමති රන්ජන් ඇතුළු හමුදා ප්‍රධානීන් සහභාගිවන උත්සවයේ මෙහෙයුම් කටයුුතු හමුදා ආරක්ෂාව යටතේ සිදුකල අතර ආහාරපාන පමණක් හෝටලයෙන් ලබාගැනීමට තීරණයකර තිබිණි.

dharman26061606රංජන් ඇතුළු හමුදා ප්‍රධානීන් 1989 දෙසැම්බර් මස වසදී ඝාතනය කිරීමේ සැලසුම සකස්කල බොරැල්ල කොටා පාරේ අජිත් හිමිකරුවූ ප්‍රදීප් ස්ටෝස් නැමති ස්ථානය පිහිටා තිබූ ප්‍රදේශය වර්තමානයේ දිස්වන්නේ මෙසේය.

ඔබ්රෝයි හෝටලේදී වස දීමේ සැලසුම සඳහා සයනයිඩ් දියරය වරුණ ලබාගත්තේ උතුරේ දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ නියෝජිතයෙකු ගෙනි. එය මිලි ලීටර් 10 දියර වශයෙන් සිලින්ජර් කිහිපයක දමා තිබිණි. මිලි ලීටර් 10ක් යනු තේහැදි දෙකක් පමණ වේ. ප්‍රථම අත්හදා බැලීම සිදුකළේ කොටා පාරේ ප්‍රදීපා ස්ටෝස්හි හිමිකරු අජිත් සමඟය. ඒ කුඩා කරවල කැබැල්ලකට සයනයිඩ් දියරය දමා බළලෙකුට දීමෙනි. බළලා වැනි වැනි සිටියද ක්ෂණිකව මිය ගියේ නැත. ඒ සයනයිඩ් දියරය කල් ඉකුත්වීම නිසාය. පසුව යළිත් කලින් නියෝජිතයා ගෙන්ම එයට වඩා අධිසැර සයනයිඩ් දියරයක් පෙර ආකාරයටම ලබාගන්නා ලදී. අත්හදා බැලීම එවර සාර්ථකවූ අතර බළලා ක්ෂණිකව මියගියේය.

ඔබ්රෝයි හෝටලයේ සාදයේ දිනයවූ 1989 දෙසැම්බර් 8 දිනය උදාවන විට සියළු සැලසුම් වරුණ අකුරටම සකස් කළේය. ඒ අනුව සාදයේ අමුත්තන් පිළිගැනීමට ලබාදෙන සිසිල්බීම සඳහා සයනයිඩ් විස සහිත සිලින්ජර් කිහිපයක් සාදයේ කටයුතු භාරව ඔබ්රෝයි හෝටලයට පැමිණෙන හමුදාවේ අරක්කැමියෙකුට එදින දහවල් භාරදෙන ලදී. එය ඇමති රංජන් ඇතුළු ප්‍රධාන මේසයේ වාඩිවන 8 දෙනාට සිසිල් බීමට මිශ්‍රකර ලබාදීමට තීරණය විය. ලබාදීමෙන් පසු අජිත් කුමාර පාර්ලිමේන්තු බෝම්බය තබා පළාගියාසේ අදාළ අරක්කැමියා වැඩේ සාර්ථකවූ පසු පළායෑමට නවීන පන්නයේ වාහනයක්ද ඔබ්රෝයි හෝටලය ඉදිරිපිට නතර කර තිබිණි. පානදුරේ මොරොන්තුඩුවේ ඒ සඳහා සැඟවීමට ස්ථානයක් පවා වරුණ අදාළ තැනැත්තාට සූදානම් කර තිබිණි.

dharman26061607ඇමති රංජන් ඝාතනය කිරීමට සකස්කල කාර් බෝම්බය ඇතුළත් මෝටර් රථය ඇරැව්වල සිය නිවසේ කාර් බෝම්බ රථයක් බව නොදැන තබාගෙන සිටීමේ වරදට 1989 දෙසැම්බර් 31වැනිදා රථය සමඟ අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක්වූ කොළඹ සරසවි වෛද්‍ය සිසු සහ පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහි සටනේ ක්‍රියාකාරිකයෙකුවූ නිශාන්ත සම්පත් එදිරිවික්‍රම(වමේ) සහ ඔහුගේ පියා ෆැන්සිස්, මව ඩොරින් සහ නැගණිය චමිලා වර්තමානයේදී(දකුණේ). තවත් සරසවි සිසුවෙකු විසින් රථය දෙදිනකට පෙර නිශාන්තගේ නිවසේ තබාගියේ බැටරිය අක්‍රීය වන බැවින් එය පසුදින ගෙන යන බව කියමිනි. නිශාන්ත එය කාර් බෝම්බයක් බව දැන සිටියේ නැත.

නියමිත වේලාවට සාදයට පැමිණි ඇමති රන්ජන් ඔහුට වෙන්කල මේසයේ හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ වාඩිවිය. සයනයිඩ් විස යෙදූ සිසිල්බීම අඩංගු වීදුරු ඇමති රන්ජන්ට පිලිගන්වන ලදී. ඇමති රන්ජන් තමාට උණුසුම් පානයක් ලෙස තේ ගෙන එන්නේනම් සතුටුවන බව කියා සිටියේය. සෙසු අයද එය අනුමත කර ඔවුනටද තේ ගෙනෙන ලෙස ඉල්ලා සිටියහ. සයනයඩ් යෙදූ සිසිල්බීම යළි ගෙනගිය සේවකයා එය වෙනත් බන්දේසියක තබා වෙනත් අයට ඇල්ලීමට ගෙන යෑමට තැත්කලද එය දත් අරක්කැමියා ඒවා පසෙක තබා තේ ලබාදී ඔහු ගිය පසු සයනයඩ් යෙදූ විස සිසිල් පැන් අදාළ වීදුරු වලින් ඉවතට විසිකරන ලදී. සාදයට පැමිණි සෙසු අය සිසිල්බීම පානය කල අතර ඔවුනට ගැටලුවක් ඇති නොවූයේ ඒවාට විස මුසු සයනයිඩ් නොමැති හෙයිනි. මේ සඳහා සහාය දුන් ඔබ්රෝයි හෝටලයේ ජවිපෙ සාමාජිකයෙකු මගින් හෝටලයෙන් පිටත ඇති රථයේ රියදුරුට පැයකට පමණ පසු පණිවිඩයක් යවා තිබුණේ තමා නොයන බවකි. ඔබ්රෝයි සේවකයා වැඩේ කුමක්දැයි හරියටම නොදන්නා නමුත් රථයේ රියදුරු සහ අරක්කැමියා සම්බන්ධ කල ජවිපෙ හිතවතා ඔහු විය.

වසදී ඇමති රන්ජන් සහ හමුදා ප්‍රධානීන් ඝාතනය කිරීමේ සැලසුම හෙළිවන්නේද මාස කිහිපයකට පසුවය. ඒත් අහම්බයකිනි. ජවිපෙ නායක සමන් පියසිරි 1989 දෙසැම්බර් 27වැනිදා අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔහු ලඟ තිබූ ලියවිලි කිහිපයක් ආරක්ෂක අංශවලට හමුවිය. සමන් පියසිරි කිසිදු තොරතුරක් හෙළිනොකල අතර 1989 දෙසැම්බර් 29වැනිදා ඝාතනයට ලක්විය. ඔහු සමඟ අත්අඩංගුවට ගත් ලේඛණයක ජවිපෙට සම්බන්ධ බව කියන හමුදා සාමාජිකයන්ගේ නම් සහ ඔවුන්ගේ නිවාස කිහිපයක ලිපිනයන් තිබූ අතර එම නිවෙස්වල සාමාජිකයින්ට හිරිහැර නොකරන ලෙසට අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් සන්නද්ධ නායකයින්ට දැනුම්දී තිබිණි.

dharman26061608ජවිපෙ 1989 දෙසැම්බර් කාර් බෝම්බයෙන් සහ වසදී ඝාතනය කිරීමේ ප්‍රයත්න දෙකෙන් බේරුණු ඇමති රංජන් විජේරත්න දෙමළ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන්ගේ අධිබලැති බෝම්බයට 1991 මාර්තු 02වැනිදා ගොදුරුවී ආරක්ෂක භටයින් ඇතුළු 19 දෙනෙකු සමඟ හැව්ලොක් ටවුමේදී මෙසේ මියගොස් තිබිණි. කොටුව තුළ දැක්වෙන්නේ රංජන් විජේරත්නය.

එම ලැයිස්තුවේ නාරහේන්පිට යුධ හමුදා පොලිස් මූලස්ථානයේ ක්‍රෝප්‍රල්වරුන් වන ගිණිගත්හේනේ රාජපක්ෂ, අනුරාධපුරයේ බන්දුලසේන(පසුව ශ්‍රිලනිපයෙන් අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පලාත ප්‍රාදේශීය සභාවේ සභාපති විය), කිරිදිවෙල සෙනරත්, මාතලේ ධර්මපාල බණ්ඩා, මාතර අශෝක, කළුතර සරත් සහ මාතර උල්විස්හේවා යන අයගේ නම් සඳහන් විය. එම ලාන්ස් ක්‍රෝපල් 8දෙනා 1990 මාර්තු මස අත්අඩංගුවට ගත් අතර එක් අයෙකුවූ රාජපක්ෂගේ ලොකරයෙහි තිබී සයනයිඩ් දියරය ඇතුළත් සිලින්ජරයක් හමුවිය. ඔහු එය තමා බොරැල්ලේ කොටා පාරේ ප්‍රදීප් ස්ටෝස් හිමි අජිත්ගෙන් ලබාගත් බව කියා සිටියේය. පසුව ව්‍යාපාරික ස්ථානය හිමිකරු අජිත් ආරක්ෂක හමුදාව අත්අඩංගුවට ගත් අතර එම කඩයේ සැඟවී සිටි ආරක්ෂක අංශ එහි පැමිණි ජවිපෙ ලංගම සේවකයෙකු ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන වරුණ සොයා නාරහේන්පිට මහවත්තේ වැටලීමක් කර වරුණ අත්අඩංගුවට ගනු ලැබීය. අජිත්ගේ කඩයේ වීදුරු කඩා අලාභහානි කර තිබෙනු දක්නට ලැබිණි. ප්‍රදීප් ස්ටෝස්හි අජිත් සහ වරුණද යටාරෝ වධකාගාරයට ගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය. වරුණ ඝාතනයට ලක්වූයේ කිසිදු තොරතුරක් හෙළිදරව් නොකරමිනි. අත්අඩංගුවට ගත් යුධ හමුදා ලාන්ස් ක්‍රෝපල්වරුන් 8දෙනා පනාගොඩ යුධ හමුදා කඳවුරේ ගල් පල්ලිය සිර කුටියේ වසර 2ක් දඬුවම් විදීමෙන් පසු නිදහස් විය.

නාරහේන්පිට යුධ හමුදා පොලිස් මූලස්ථානයේ සේවයකල පොලොන්නරුවේ පදිංචි යුධ හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පී ලාන්ස් ක්‍රෝපල් ඉන්ද්‍රානන්ද සිල්වා දීර්ඝ බුද්ධි අංශ පරික්ෂණයකින් පසු 1990 මාර්තු 14වැනිදා ජවිපෙට සම්බන්ධයැයි සැකපිට අත්අඩංගුවට ගෙන යටාරෝ වධකාගාරයට ගෙනගොස් දින 19ක් වධ බන්ධනවලට ලක්කරන ලදී. පසුව වසර ගණනාවක් අත්අඩංගුවේ සිටි ඉන්ද්‍රානන්ද ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද විය. වර්තමානයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකි.

dharman26061609ඇමති රංජන් ඝාතනයට කාර් බෝම්බයක් ගෙන ගිය ජනක සෙනෙවිරත්න අයත්වූ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිසුන් 17දෙනෙකු 1986 සිට 1990 දක්වා කාලයේදී ශිෂ්‍ය ව්‍යාපාරයට පූර්ණකාලීනව එක්වී සිටි අතර ජනක ඇතුළු තිදෙනෙක් ඉන් ඝාතනයට ලක්විය. පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ 83/84 කණ්ඩායමේ චාරිකාවකදී ගත් මෙම සමූහ ඡායාරූපයේ රතුපාටින් රවුම් කර සිටිනේනේ 1989දී කුරුණෑගලදී ඝාතනයට පත්වු තවත් පශු වෛද්‍ය සිසුවෙකුවූ අම්පාරේ ලක්ෂ්මන් රංජිත් අබේරත්නය. ඉහත කොටුවේ දක්වා ඇත්තේ එසේ ඝාතනය වූ තවත් පශු වෛද්‍ය සිසුවෙකුවූ කුලියාපිටියේ නිහාල් ප්‍රේමචන්ද්‍රය.

ඔබ්රෝයි හෝටලයේ ඇමති රන්ජන් ඇතුළු හමුදා ප්‍රධානීන්ට වසදීමේ ප්‍රයත්නය අසාර්ථකවූ බැවින් කලින් සැලසුම් ක්‍රියාත්මක කල අධිබලැති කාර් බෝම්බයක් ඇමති රන්ජන්ගේ රියේ හප්පවා ඝාතනය කිරීමේ සැලසුම ජවිපෙ නායක සමන් පියසිරි විසින් වේගවත් කරන ලදී. ඒ පිළිබඳව සමන් පියසිරිගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් 1989 දෙසැම්බර් 11 දෙහිවල සරණංකර පාරේ මාතරගේ දොන් ආරියදාස භාරකරුවූ ජවිපෙට අයත් නිවසේදී කලින් මරදාන අභයසිංහාරාමයේදී පැවති සාකච්ඡාවට සහභාගිවූ අයගේම සහභාගිත්වයෙන් පැවැත්විණි. අධිබලැති කාර් බෝම්බය කීර්ති නොහොත් සම්පත් නොහොත් පීරිස් විසින් සවිකලේ පැහැරගත් කහ පැහැති යුත් නවීන පන්නයේ 12ශ්‍රි ලාන්සර් රථයකදීය. මරදානේ නැවතී සිටි පීරිස් කාර් බෝම්බය සෑදීම සඳහා පකිස්ථානයේ නිෂ්පාදිත පුපුරණ ද්‍රව්‍ය ලබාගත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙනි. තවත් ඉදිරි සැලසුම් ගැනද සමන් පියසිරි එහිදී සාකච්ඡා කල අතර කොළඹ කලාපයේ සන්නද්ධ නායකයින්ගේ ස්ථාන වෙනස්වීම්ද සිදුකරන ලදී.

ජවිපෙ 2වැනි කැරැල්ලේ බෝම්බ නිෂ්පාදන අංශයේ කොළඹ ප්‍රදේශයේ වැඩකටයුුතු සඳහා මොරටු සරසවිය සහ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ආපන ශාලාව රාත්‍රී කාලය පරිහරණයට ගැනුනේය. සිසුන් 900කට ආසන්න සංඛ්‍යාවක් සිටි මිශ්‍ර පාසැලක්වූ කොටහේන මධ්‍ය මහා විද්‍යාලය 1918දී ආරම්භ වූ අතර එය ජාතික පාසැලක්වූයේ 1996දීය.  මොරටු සරසවියේ බෝම්බ නිෂ්පාදන අංශයේ කටයුතු එහි ඉංජිනේරු සිසු නිමල් බාලසූරියගේ මුලිකත්වයෙන් සිදුවූ අතර පසුකාලයේ එහි මූලිකත්වය ගනු ලැබුවේ මොරටුව ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ(එන්.ඩී.ටී) රසායන විද්‍යාව හැදෑරූ තෙවැනි වසරේ ශිෂ්‍යයෙකුවූ ‘පීරිස්ය’. කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ බෝම්බ නිෂ්පාදනය කළේ පාසැල වසා දැමීමෙන් පසු එම පාසැලේ ආපනශාලාවේ රාත්‍රී 7 සිට උදෑසන 5 දක්වාය. ජවිපෙ වෙනුවෙන් එය භාරව සිටියේ තොටලග විජිත නොහොත් මොහොමඩ්ය. ජවිපෙට සිටි දක්ෂ ගෙඩි බෝම්බ නිෂ්පාදකයෙකුවූ මොහාමඩ් ජවිපෙ සැකකරුවන් 221 දෙනෙකු මුදාගැනිම සඳහා 1988 දෙසැම්බර් 12වැනිදා මැගසින් බන්ධනාගාරය බිඳ දැමූ ප්‍රහාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. පසුව හමුදා වෙඩි පහරකින් විජිතද මරුමුවට පත්විය. නිමල් බාලසූරියද අන්තරේ කැඳවුම්කරු වශයෙන් සිටියදීම ප්‍රහාරයක් සඳහා කාල බෝම්බයක් රැගෙන යාමේදී 1988 මැයි 08වැනිදා වැල්ලවත්ත කුරේ මාවතේදී බෝම්බය ඔහුගේ අතේදීම පුපුරා මිය ගියේය.

මෝටර් රථයක ඇටවූ අධිබලැති බෝම්බයක් පුපුරුවා හරිමින් ඇමති රංජන් ඝාතනය කිරිමට 1989 දෙසැම්බර් කාර් රථය පදවාගෙන එම රථය සමඟම මරුමුවට පත්වීමට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ පේරාදෙණියේ සරසවියේ පශු වෛද්‍ය ශිෂ්‍ය හබරාදූව අඟුළුගහ පදිංචි ජනක සෙනෙවිරත්නය.  ගාල්ලේ හබරාදූවේ අගුළුගහ උපන් ජී.ඩී. ජනක සෙනෙවිරත්න පශු වෛද්‍ය පීඨයේ 1986 කණ්ඩායමට අයත් දෙවැනි වසරේ සිසුවෙකු විය. ජනක සෙනෙවිරත්නගේ දෙමාපියන් ප්‍රකට ගුරුවරුන්වූ අතර තිදෙනෙකු වූ පවුලේ බාලයා ඔහු විය. එකම පිරිමි දරුවා ඔහු විය. ඔහුගේ පෙම්වතිය වූයේ පේරාදෙණියේ දන්ත පීඨයේම ද්‍රවිඩ සිසුවියකි. ගාල්ල ඇලෝසියස් විදුහලේ අධ්‍යාපනය ලැබූ ජනක ඉතා කෙළිලොල්, රූමත්, කොණ්ඩය බොකුටු නළුවෙකු මෙන් සිත් ගන්නා ආකර්ෂණීය  තරුණයෙකුවූ අතර පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨයට ඇතුල්වීමත් සමඟම දැවැන්ත පරිවර්තනයකට ලක්විය.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේද සිසුන් 17 දෙනෙකු 1986 සිය 1990 දක්වා ශිෂ්‍ය ව්‍යාපාරයට පූර්ණකාලීනව එක්වී සිටි අතර ජනක සෙනෙවිරත්න සමඟ ඉන් තිදෙනෙකුම ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ඝාතනය ලක්විය. එක් අයෙකුවූයේ පශු වෛද්‍ය පීඨයේ 83/84 කණ්ඩායමේ 31 දෙනා අතරින් අයෙකුවූ අම්පාර ඉඟිනියාගල ලක්ෂ්මන් රංජිත් අබේරත්න(ටොමා)ය. පවුලේ දෙවැනියාවූ ලක්ෂ්මන් නිහඬ චරිතයක් වූ අතර පියා ගොවියෙකි. පල්ලකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ ලක්ෂ්මන් 1988 දෙසැම්බර් 12 කොළඹ මැගසින් බන්ධනාගාරය බිඳ දැමීමෙන් පසු ජවිපෙ මුදාගත් ජවිපෙ සාමාජිකයන් 221 දෙනා අතර විය. පසුව පන්නල ප්‍රදේශයේ තලම්මැහැර බමිමන්ත විහාරස්ථානයක සිට කුලියාපිටියේ ජවිපෙ  ශිෂ්‍ය අංශයේ නායකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී 1989 මැයි 21 අත්අඩංගුවට පත්වූ අතර ඝාතනය කරන ලද ඔහුගේ සිරුර කුලියාපිටිය පන්නල මාර්ගයේ කන්කානියමුල්ල කැලයේ බෝධිය අසලදී පුළුස්සා දමා තිබියදී හමුවිය. තවත් පශු වෛද්‍ය ශිෂ්‍යයෙකුවූ 1985 කණ්ඩායමේ කුලියාපිටියේ නිහාල් ප්‍රේමරත්න(සිරා) ජවිපෙ ක්‍රියාකාරිකයෙකුව සිටියදී 1989 අවසාන කාලයේදී පැල්මඩුල්ලේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්විය.

ඇමති රන්ජන් විජේරත්න කාර් බෝම්බයක් මගින් ඝාතනය කිරීමට තමා වෙත පැවරූ වගකීම ඉටු කිරීම සඳහා ජනක සෙනෙවිරත්න බෝම්බ ඇටවූ මෝටර් රථයෙන් 1989 දෙසැම්බර් මස රංජන් විජේරත්න සිව්දිනක් පමණ කිරුලපන සහ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ ලුහුබැද ගියද ඉලක්කය සපුරාගත නොහැකි විය. පසුව කොට්ටාව හන්දියේදී 1989 දෙසැම්බර් 26 අත්අඩංගුවට ගෙන මත්තේගොඩ කඳවුරේදී දරුණු වධබන්ධන වලට ලක්වූවද ජනක කිසිදු කරුණක් හෙළි නොකළේය. එම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු නායකයෙකුව සිට පසුව ඝාතනයට පත්වූ සරත් කොල්ලුරේගේ පෙම්වතියවූ වෛද්‍ය සිසුවිය ගෙන් බවටද චෝදනාවක් විය. ඇයගේ සොහොයුරෙකුද හමුදා මේජර්වරයෙකි.

ඇමති රංජන් ඝාතනය කිරීමට සකස්කල කාර් බෝම්බය ඇතුළත් මෝටර් රථය ඇරැව්වල සිය නිවසේ කාර් බෝම්බ රථයක් බව නොදැන තබාගෙන සිටීමේ වරදට කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ(කණිෂ්ඨ) සිසුවෙකුවූ නිශාන්ත සම්පත් එදිරිවික්‍රම 1989 දෙසැම්බර් 31වැනිදා පෙරවරු 9.20ට මහරගම බෝකුන්දර පාරේ ඇරැව්වල පිහිටි සිය නිවසේදී ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගනු ලැබිය. රාගම පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහි සටනේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකුවූ නිශාන්ත 1966 ඔක්තෝබර් 5 උපන් අතර තිදරු පවුලක වැඩිමලාය. මව ඩොරින් වූ අතර පියා තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියෙකුවූ ෆැන්සිස්ය. මහානාම විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ නිශාන්ත 6වැනි ශ්‍රේණියේ සිට ඉගෙනුම ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේය. තවත් සරසවි සිසුවෙකු විසින් බෝම්බ ඇටවූ කාර් රථය දෙදිනකට පෙර නිශාන්තගේ නිවසේ තබාගියේ බැටරිය අක්‍රීය වන බැවින් එය පසුදින ගෙන යන බව කියමිනි. නිශාන්ත එය කාර් බෝම්බයක් බව දැන සිටියේ නැත. නිවසට කඩාවැදුණු හමුදා භටයින් එහි සිටි නිශාන්ත සහ ඔහුගේ ඥාති සොහොයුරෙකුවන පරණමාන අත්අඩංගුවට ගෙන නිවස ඉදිරිපිට දණගස්සවා නිවසේ මිදුලේ නතරකර තිබූ කහ පැහැති නවීන පන්නයේ ලාන්සර් රථයද ආරක්ෂක අංශ භාරයට ගන්නා ලදී. මේ අතරතුර බිම දණගස්සවා සිටි පරණමාන්න අත්අඩංගුවෙන් මිදී පලායෑමට සමත්විය.

 

කාර් බෝම්බය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිශාන්ත එදිරිවික්‍රම හැව්ලොක් ටවුමේ යටාරෝ වධකාගාරයට ගෙන එන ලදි. වධ බන්ධනයට ලක්වූ නිශාන්ත 1990 පෙබරවාරි 16වැනිදා එහිදී ඝාතනයට ලක්විය. අත්අඩංගුවට පත් ජනක ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ මූලස්ථා‍නයේදීද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්නට ඔහු බැලීම සඳහාද ගෙනයන ලදී. ජනක අත්අඩංගුවට ගත් පුවත කාර් බෝම්බ ඝාතන සිද්ධිය සමගින් රජයේ රූපවාහිනියේ ප්‍රවෘත්ති මගින්ද විකාශනය කෙරිණි. ජනකද වධබන්ධනවලට ලක්වීමෙන් පසු 1990 පෙබරවාරි මස 16 ඝාතනයට ලක්විය. විපක්ෂ මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඔවුනට සිදුවූයේ කුමක්දැයි පසුව ප්‍රශ්ණ කළේය. එවිට ඇමති රන්ජන් කියා සිටියේ ඔවුන් පලාගොස් ඇති බවය. බෝම්බය පිපිරවීම සැලසුම ක්‍රියාත්මක කල කීර්ති නොහොත් සම්පත් නොහොත් පීරිස්ද 1989 දෙසැම්බර් 25 අත්අඩංගුවට ගත් අතර වධ බන්ධනවලට ලක්වීමෙන් පසු පසුව ඝාතනය විය. මේ සියළු දෙනාම අත්අඩංගුවට ගෙන වධ බන්ධනවලට ලක්වූයේ හැව්ලොක් ටවුමේ යටාරෝ වධකාගාරයේදීය. මොවුනට වධබන්ධනවලට ලක්කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුව චෝදනා ලැබුවේ එහි සිටි ආරක්ෂක හමුදා නිලධාරින්වූ කපිතාන් උපුල් වීරසිංහ, මේජර් අශෝක තොරදෙණිය, ලුතිනන් තුවාන් මුතාලිෆ්, ලුතිනන් මංජුල මනතුංග, ලුතිනන් සිරිශාන්ත, ලුතිනන් චාමේන්ද්‍ර රණතුංග, ක්‍රෝපල් නිව්ටන් ඇතුළු කිහිප දෙනෙකි. ලුතිනන් චාමේන්ද්‍ර සහ ක්‍රෝපල් නිව්ටන් පසුව 1990 අගෝස්තු පෑලියගොඩ සිසිර මෝටර්ස් අසළ මංකොල්ලයක් සිදුකරද්දී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය.

 

ජවිපෙ 2වැනි කැරැල්ලට සම්බන්ධවූ කැරළිකරුවන් බහුතරයම වාගේ කීර්තිය උදෙසා සටන් නොකළේය. භෞතික සම්පත් උදෙසාද සටන් නොකළේය. අභිලාෂයන් උදෙසාද සටන් නොකළේය. මුල සිටම තමන් ඇදහූ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) වෙනුවෙන් පළමු පියවරේ සිට ජීවිතය පුද කිරීමට සූදානම් විය. එමෙන්ම ජවිපෙ 2වැනි කැරැල්ලේ මියගිය තවත් එක් ගරිල්ලා භටයෙකු පමණක් ලෙස මියයාමට සූදානම්ව සිටියේය. ජවිපෙ 1989 දෙසැම්බර් මාසයේදී වසදී ඝාතනය කිරීමේ සහ කාර් බෝම්බයක් පුපුරුවා ඝාතනය කිරීම යන ප්‍රයත්න දෙකෙන් බේරුණු ඇමති රංජන් විජේරත්න දෙමළ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයේ දුරස්ථ පාලක අධිබලැති කාර් බෝම්බයට 1991 මාර්තු 02වැනිදා උදේ 8.27ට ගොදුරුවී ආරක්ෂක භටයින් ඇතුළු 19 දෙනෙකු සමඟ හැව්ලොක් ටවුමේදී මිය ගියහ.

ජවිපෙ සමාරම්භක නායක රෝහණ විජේවීර ගේ මරණයෙන් මසක් පිරෙන 1989 දෙසැම්බර් 13 වැනිදා ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට නව නායක සමන් පියසිරි ප්‍රනාන්දු ඇතුළු දේශපාලන මණ්ඩලය ගත් තීරණය නිවැරදි විග්‍රහයක් නොවීය. එහි තිබුණේ රණකාමී ආස්වාදය පමණි. ඒ අනුව 1989 දෙසැම්බර් 13 වැනිදා තෝරා ගත් ආරක්ෂක ස්ථානයන්ට ප්‍රහාරයන් කිහිපයක්ද එල්ල විය. එය ඔහු ඇතුළු ඉතිරිව සිටි ජවිපෙ සෙසු කැරළිකරුවන්ටද මරණය කැඳවා ගැනීම ඉක්මන් කරවන්නක් විය. රෝහණ විජේවීර ඝාතනය කිරීමට පෙර ඔහුගෙන් ලබාගෙන රජයේ රූපවාහිනියෙන් විකාශයවූ විජේවීරගේ ප්‍රකාශයේ හරය උකහාගෙන උපාය උපක්‍රමයන් තෝරාගත්තානම් පසුව මියගිය දහස් ගණනක් ජීවතුන් අතර සිටින්නටද ඉඩ තිබිණි. (ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

(The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384)

 

One Response to “ඇමති රංජන් සහ හමුදා ලොක්කෝ ඝාතනයට ඔබ්රෝයි හෝටලයේදී වස දුන් හැටි”

  1. Christie Says:

    “ඔබ්රෝයි හෝටලේදී වස දීමේ සැලසුම සඳහා සයනයිඩ් දියරය වරුණ ලබාගත්තේ උතුරේ දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ නියෝජිතයෙකු ගෙනි. එය මිලි ලීටර් 10 දියර වශයෙන් සිලින්ජර් කිහිපයක දමා තිබිණි. මිලි ලීටර් 10ක් යනු තේහැදි දෙකක් පමණ වේ. ප්‍රථම අත්හදා බැලීම සිදුකළේ කොටා පාරේ ප්‍රදීපා ස්ටෝස්හි හිමිකරු අජිත් සමඟය. ඒ කුඩා කරවල කැබැල්ලකට සයනයිඩ් දියරය දමා බළලෙකුට දීමෙනි. බළලා වැනි වැනි සිටියද ක්ෂණිකව මිය ගියේ නැත. ඒ සයනයිඩ් දියරය කල් ඉකුත්වීම නිසාය. පසුව යළිත් කලින් නියෝජිතයා ගෙන්ම එයට වඩා අධිසැර සයනයිඩ් දියරයක් පෙර ආකාරයටම ලබාගන්නා ලදී. අත්හදා බැලීම එවර සාර්ථකවූ අතර බළලා ක්ෂණිකව මියගියේය.”

    ජේ වී පී ය ඉන්දියානු අදිරදයේ සින්හල මරුවන්ය. තවත් සාදක කුමටද?

    ඔබට වාසනා දර්මන්.

    JVP is the Sinhala terrorist arm of the Indian Empire. What other evidence you want?

    All the best Dharman.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress