ලංකාවෙ එහෙම වෙන්නෙ ඇයි…..
Posted on June 26th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

මහා බ්‍රිතාන්‍යය තව දුරටත් යුරෝපීය සංගමයේ රැඳෙනවාද නැත්ද කියා තීරණය කරනු වස් ජනමත විචාරණයක් පැවැත්විනි. මෙහිදී අගමැති ඩේවිඩ් කැමරන්ගේ මතය වූයේ වඩා සවිමත් සුරක්ෂිත රටක් සඳහා තව දුරටත් යුරෝපීය සංගමය හා රැඳිය යුතු බවයි. මෙහිදී ප්‍රධාන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම නිදහස් මතය පරිදි ක්‍රියා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාව ලැබුන අතර තමා නියෝජනය කරන පක්ෂ නායකයා කියන අදහසම කිවයුතු යැයි බලපෑමක් නොවිනි. මේ අනුව පාලක කන්සවේටිව් පක්ෂයේ බල කණුවක් වූ හිටපු ලන්ඩන් නගරාධිපති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බොරිස් ජොන්සන් සිටියේ තම නායක ඩේවිඩ් කැමරන්ට ප්‍රතිවිරුද්ධ පිලේ ඉදිරියෙන්මය.

ජුනි මස 24 දිනට පහන් වෙත්දී ප්‍රකාශයට පත්කරන ලද ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව අගමැති ඩේවිඩ් කැමරන්ගේ, යුරෝපා සංගමය තුල රැඳිය යුතුය යන මතය දැරූ පිල පරාජයට පත්විය. උදෑසන 8.30 වන විට ජාතිය ඇමතූ අගමැතිවරයා, තමන් යුරෝපා සංගමය තුල රැඳීම සම්බන්ධව දැරූ මතය නොවෙනස් බවත්, නමුත් බහුතර ජනතාව ඊට ප්‍රතිවිරුද්ධ බැවින් තමන් ඉදිරි මාස තුන තුල ඉල්ලා අස්වන බවත් ප්‍රකාශ කලේය. බහුතර ජනතා මතය අනුව මෙම ඉවත්වීම සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ගවලට යාම සඳහා සාකච්ඡා පවත්වන්නට සිදුවන අතර තමන් දරන ස්ථාවරයේ සිට එය සිදුකල නොහැකි බැවින් එය සිදුවිය යුත්තේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිලිබඳ ස්ථාවරයේ සිටින නව අගමැතිවරයෙකු යටතේ බව ඔහුගේ කතාවේ සඳහන් විනි.

මේ යුරෝපීය රටවල ඇති මහත්මා දේශපාලනය යලිත් වරක් පිළිබිඹු වූ අවස්ථාවක් විය.

මෙතැනදී මට සිහිවූයේ 1982 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත් වූ ජනමත විචාරණයයි. ඊට පෙර වසර මැදදී පවත්වන ලද ජනාධිපතිවරණයෙන් එවකට සිටි ජනාධිපති ම ජයගෙන තිබූ අතර, 1977 ජුලි මස තේරී පත්ව සිටි එජාප රජයට ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වීමට කාලය එළැඹෙමින් තිබිනි. මේ මැතිවරණය පවත්වනවාද  නැතිනම් පවතින රජයම ඉදිරි වසර 6 ක කාලයකටත් පවත්වාගෙන යනවාද යන්න පිලිබඳව ජනතාවගේ මතය විමසීම මෙම ජනමත විචාරණයේ අරමුණ විය. රජය පවත්වාගෙන යාමට පක්ෂ නම් ‘ලාම්පුව’ ඉදිරියේ කතිරය ගැසීමටත්, රජය විසුරුවා හැර මැතිවණයකට යා යුතුය කියා සිතනවා නම් ‘කළය’ ඉදිරියේ කතිරයක් ගැසීමටත් ජනතාව දැනුවත් කරන ලදී. 

එදා මා ඒ ප්‍රකාශ කලේ මගේ ජීවිතයේ පලමු ඡන්දයයි. එදා ජනමත විචාරණයට පෙර පැවති කලබල, ආරවුල් මට අදටත් හොඳින් මතකය. තරුණ වියේ පසු වූ අප මගතොට යත්දී පවා බලහත්කාරයෙන් නවතාගෙන ලාම්පුවට කතිරය ගසන මෙන් පවසන පිරිස් වූහ. විශාල ලාම්පුවක රූ ඇඳි බැනර් බෝඩ් ලෑලි සවිකල වාහන එහා මෙහා ගිය හැටි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තවමත් මතකයේ ඇත. එදා  පලමු ඡන්දය ප්‍රකාශකරන වයසේ සිටියත් මා තුල පැන නැගුන කෝපය තුල, මේ කතිරයෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයට වන බලපෑම ගැන විශාල වැටහමක් නොතිබුනේ වුව, රජය පාර්ශ්වයෙන් දියත් කල ප්‍රචණ්ඩ සහ බලහත්කාරී ස්වරූපය ඔස්සේ කළයට කතිරය ගැසීමට මා තුල පෙළඹවීමක් ඇති කලේය. මා එය නිවසේදී ප්‍රකාශ කල විට රහස් ස්වරයෙන් අම්මා පැවසූ දේ මට දැනුදු ඇසෙන්නාක් මෙනි. ” ඕව කියල කෑ ගහන්න එපා. සද්ද නැතිව ගිහින් තමන්ට ඕනැ එකට කතිරෙ ගහල එන්න. යන එකයි වැදගත්. නැත්නම් කළේට ගණන් වැටෙයි. ලාම්පුවට චන්දෙ වැටෙයි” මේ වදන් තුල අප රටේ දේශපාලන සංස්කෘතිය පිලිබඳ අර්ථවත් චිත්‍රයක් ඇඳී තිබුන බව මට අද පැහැදිලිය.

 ඒ මැතිවරණයෙන් පසු සිදුවූ එක සිදුවීමක් මට හොඳින් මතකය. එදා වැලිගම මන්ත්‍රීවරයා වූයේ රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වූ මොන්ටේගු ජයවික්‍රමය. වැලිගම ප්‍රදේශයේ රබර් වත්තක සේවය කල කම්කරු කාන්තාවක් තමා කළයට කතිරය ගැසූ බව ප්‍රසිද්ධියේ පවසා තිබිනි. මෙම කාන්තාව නිවසින් එලියට ඇදගත් ඇමතිවරයාගේ ආධාර කරුවෝ ඈව නිරුවත්කර, සුදු ලැකර්වලින් ඇගේ සිරුරේ ඉදිරිපස හා පිටිපස ලාම්පුවල රූ සටහන් ඇඳ රබර් වත්ත පුරා ඇවිද්දවා තිබිනි. ඒ එක සිද්ධියක් පමනි. එදා ඒ ජනමත විචාරණය පැවැත්වූ ආකාරය පිලිබඳව මතක ඇති අය වත්මන් රජයේද සිටින බව රහසක් නොවේ.

ඊලඟට ඩේවිඩ් කැමරන් මෙන් මෙවන් අගමැති තනතුරක් තබා තමන්ට එදිරිව කෙතරම් චෝදනා නැගුනත් තමන් දරන ඇමති කමින්වත් ඉල්ලා අස්වීමට සූදානම් ඇමතිවරුන් අප රටේ සිටින්නේ කීයෙන් කී දෙනාද?

ඒ වෙනුවට සිදු වන්නේ විපක්ෂයට තේරී පත් වූ අයත්, හොර රහසේ රජය සමග සාකච්ඡා කර යම් යම් වරදාන ලබා දෙන පොරොන්දුව පිට රජයට එක් වීමයි. ‘ලබන සතියේ විපක්ෂයේ කිහිප දෙනෙකු රජයට එක් වීමට නියමිතයි’ යන ආරංචි ශ්‍රී ලාංකික ජනතාවට ඉතා සාමාන්‍යය. මේ සැමට ඇමතිකම් මවා හෝ දීමට ඕනෑම රජයක් සූදානම්ය. ‘තව ඉඩ තියනවා. අපි ඔය ගොල්ලන්ටත් ආරාධනය කරනවා’ යි ලක්ෂ්මන් කිරිඇල්ලලා පවසන වදන් තුල ගැබ්වන සෝපාහාසය එල්ල වන්නේ පොදු ජනතාවගේ අභිලාශයන්ටය. තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජනතාව නිකම්ම අපේක්ෂකයාගේ මනාප අංකය ඉදිරියේ කතිරය නොගසති. පලමුවෙන් ඔවුන් කතිරය ගසන්නේ අපේක්ෂකයාගේ පක්ෂ ලකුණ ඉදිරියෙනි. මනාප අංකයට කතිරය යොදන්නේ ඉන් පසුවය. ඡන්දයක් වලංගු වීම පිලිබඳ නීතිය අනුව, මනාප අංක වලට කතිර නොගැසුවත් පක්ෂ ලකුණ ඉදිරියේ කතිරය ගැසීම, ඡන්දය වලංගු වීම සඳහා ප්‍රමාණවත්ය. නමුත් පක්ෂ ලකුණට කතිරය නොයොදා මනාප අංකවලට පමනක් කතිර යෙදීම අර්ථ ශුන්‍ය වේ. එබැවින් ඡන්දදායකයා තුල අපේක්ෂකයෙකු කෙරෙහි ඇති වන කැමැත්තේ පදනම පක්ෂයයි. 

අවාසනාවකට වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ මේ කරුණ පිලිබඳ සත පහකටවත් සලකනු දක්නට නැත. අවශ්‍ය වනුයේ මොන ක්‍රමයකින් හෝ පාර්ලිමේන්තුවට අඩිය තබා ගැනීම පමනි. සමහර විට ජනතාව අතින් ප්‍රතික්ෂේප වූවත් කම් නැත. බලයේ සිටින නායකයාගේ මනාපය ප්‍රමානවත් වී නම් පරාජිතයා පාර්ලිමේන්තුවට ගෙන ඇමති කමක් ද ප්‍රදානය කල හැකිය. ඉන් පසු ජනතාව අමතක වන අතර ක්‍රියාවන් සිදු වන්නේ තම පුද්ගලික ලාභ අපේක්ෂාව සඳහා සැකසුන න්‍යාය පත්‍රයක් අනුවයි.මීට ප්‍රධානම හේතුව වනුයේ වත්මන් දේශපාලන බලය අත දැරීම යනු පරම්පරා ගණනකට තම පැවැත්ම තහවුරු කරගත හැකි ඉල්ලමක් බවට පත්ව තිබීමය. බටහිර රටක දේශපාලකයෙකුට තම තනතුරු අතහැර දැමීම ප්‍රශ්ණයක් නොවේ. මන්ද ඔවුන් හා දරු පවුල් රැකෙන්නේ දේශපාලනයෙන් උපයන දෙයින් නොවන බැවිනි. ඔවුන්ට උගත්කමක් ඇත. ඒ උගත් කම තුලින් ඔවුන් දේශපාලනයට එන්නට පෙරද සුදුසු රැකියාවක යෙදී විශ්‍රාම වැටුපකට හෝ  සාධාරණව ඉපැයූ ධනයකට හිමිකම් කියන අය බැවිනි. අප රටේ වත්මන් දේශපාලකයන් බොහෝවිට දේශපාලන පරම්පරාවල දෙවන හෝ තුන්වන යුගයේ අයයි. දැන් දැන් බොහෝ දේශපාලකයින්ගේ දරුවන් යමක් ඉගෙනගෙන රැකියාවක නියැලෙනවාට වඩා සූදානම් කරනු ලබන්නේ තම පියා විශ්‍රාම ගිය වහාම හෝ ඊට පෙරම දේශපාලන කරළියට රැගෙන ඒමටයි. අප රටේ දේපාලන බලය සහ බල ප්‍රදේශය සලකනු ලබන්නේ පරවේනිගත උරුමයක් හා නින්දගමක් ලෙසය.

එබැවින් මේ පිරිසට දේශපාලනයෙන් තොර පැවැත්මක් නැත. ඊ ලඟට ඔවුන් බිය විය යුත්තේ දේශපාලන පලිගැනීම් කෙරෙහිය. තමන්ට බලය තිබෙන තාක් සිදු කරන අවකල් ක්‍රියාවන්ට, බලය ගිලිහී ගිය වහාම වන්දි ගෙවීමට සිදුවන බව ඔවුහු පැහැදිලිව දනිති. වරදක් නැත්නම් වරදක් මවා හෝ පැරදුන තැනැත්තාව මඩවන්නට බලයේ සිටින පිරිස නොපැකිලෙති. එමෙන්ම බලයට පැමිනීම සඳහා නැවත නැවතත් මතුරන්නට යොදාගත් පසුගිය පාලන සමයේ වැරදිම අද තමන් අතින්ද සිදුවන විට ඒවා සාධාරණීකරනය කරන්නේ මහජන මතය තුට්ටුවට හෙලමිනි.

මහා බ්‍රිතාන්‍යයේ ජනමත විචාරණයේ ප්‍රතිඵල තීරණය වූයේ 52% සහ 48% වශයෙනි. ජයග්‍රාහී ප්‍රතිශතය 4% කින් වැඩි වූනමුදු විරුද්ධ මතය ප්‍රකාශ කල අයගේ ප්‍රතිශතයද සැලකිය යුතු ප්‍රමාණයකි. මේ ජනතාව තම මතය ප්‍රකාශ කලේ තමන්ට සාධාරණයැයි හැඟුන අභිලාශයන් ඔස්සේය. නමුත් බහුතරයේ මතයට හිස නැමීමේදී පරාජය වූ පිරිස අපේක්ෂා භංගත්වයට පත් නොවන පරිදි යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදුවිය යුතුය. එබැවින් අගමැතිවරයා ඉවත් වුවද, මේ ඉවත්වීම පිලිබඳව කෙරෙන සාකච්ඡාවන්ට ඔවුන්ගේ පිලේ දායකත්වයද ලැබෙනු ඇත.

අප ආදර්ශයට ගත යුත්තේද එයයි. 2015 ජනාධිපතිවරණයේ දී 51% ක් සහ 48% ක් ලෙස ඡන්ද අනුපාතය පැවතිනි. අනිත් සුලු ප්‍රතිශතය සුලු පක්ෂවල අපේක්ෂකයන්ගේය. කෙසේ වුවද පැරදුනු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති කෙරෙහිද විශ්වාසය තැබූ 48%ක් අප රටේ සිටියහ. මෙහිදී ජයග්‍රාහී පිලේ අපේක්ෂකයා ද පරාජිතයාගේ පිලේම එකෙකි. වසර 45 ට ආසන්න කාලයක් ශ්‍රීලනිපය සමග දේශපාලන ගමනක් පැමිනි ඔහුට, තම පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා ඉතිහාසය පිලිබඳව අමුතුවෙන් කියා දිය යුතු නැත. නමුත් ඔහු බලයට පැමිනි විගස තමාට බලයට ඒමට උපකාර කල එජාපයේ නායකයා වූ, ඒ වන විට මැතිවරණ 29 ක ට මුහුණ දී පරාජය වී සිටි රනිල් වික්‍රමසිංහ වහාම අගමැති තනතුරේ පිහිටවූ අතර මඩේ හිටවූ ඉනි මෙන් වැනෙන සුලු ප්‍රතිපත්තීන් සහිත ශ්‍රීලනිප පිරිසක්ද තමා වෙත නම්මාගෙන එවකට ආසන 42 ක් පමනක් සහිතව සිටි එජාපය ස්ථාවර කලේය. අගෝස්තුවේ ඊලඟ මැතිරණය තෙක් පසුගිය රජයට විරුද්ධව එල්ල කල චෝදනා විභාග කිරීම පසෙක තැබීය. ඒ අනුව රාජපක්ෂලා ‘හොරා කෑවා’ යන මතය ජනතාව අතර වැඩෙන්නට ඉඩ හැර පක්ෂය දෙකඩ කරමින් අගෝස්තුවේ පැවති මැතිවරණය එජාපයට දිනා ගන්නට ඉඩ හැරියේය. දැන් දැන් එදා ‘හොරා කෑවා’ කියූ කටවල් වලින්ම තමන් කරන එවැනිම ක්‍රියා සාධාරණීකරනය කරන්නටත්, ‘හොරකම් කලේ එයා නෙමෙයි. එයාගෙ පවුලෙ අනිත් අය’ කියන්නටත් පටන් ගෙන ඇත. 

ආත්මාර්ථය සහ අවස්ථාවාදී බවත් පහත් උපක්‍රමශීලී බවත් ගැබ් වූ මේ කතා තුලින්, තම ඡන්දය අපේක්ෂා සහගතව ප්‍රකාශ කල ජනතාවට මෙන්ම පැරදුන අපේක්ෂකයාටත් දෙන පණිවුඩය කුමක්ද?

මේ වන විට මේ කතා තුල කවුරුන් හරිද කවුරුන් රැවටුනා ද යන්න අපැහැදිලිය. චෝදනා එල්ල කරන පාර්ශ්වයේ කල් ක්‍රියාව දකින විට චෝදනාවල සත්‍ය අසත්‍ය භාවය ගැන ජනතාව තුල සැක පහල වනු වැලැක්විය නොහැක. ඉතින පැරදුන අපේක්ෂකයා නිකම්ම චෝදනා ගොන්නකුත් කර තබාගෙන, තමා ද වසර 45ක ට ත් වඩා අත නොහැර ආවා වූ ද, වැටෙන්නට නොදී අසීරු අවස්ථාවල රැකගෙන ආවා වූ ද තම පක්ෂය කඩා බිඳ දමන්නටත් ඉඩ හැර නිකම්ම අකුලාගෙන යනු ඇතැයි කෙසේ අපේක්ෂා කරමුද? 

 එසේ නිකම්ම යන්න ගියහොත් ඔහුට ඡන්දය දුන් ජනතාවට සිදුවනුයේ මහත් ද්‍රෝහි කමකි.

අද බ්‍රිතාන්‍යයේ සිදු වූ  දේ දෙස බලා ‘ඔන්න ඒකට අපේ රටේ. පැරදුනත් එල්ලිලා ඉන්න බලනවා’ යි කවුරුන් හෝ පවසත් නම් ඒ තැනට පාර කපන ලද්දේ ද අප රටේම බිහිව ඇති ආත්මාර්ථකාමී, ලැජ්ජා නැති දේශපාලන සංස්කෘතිය බිහිකල වුන්ම බව වටහා ගත යුතුය.

One Response to “ලංකාවෙ එහෙම වෙන්නෙ ඇයි…..”

  1. Christie Says:

    යුරෝපා සන්ඟමයේ ඉන්න ඕනෑ කියන මතයට තමයි ඔක්කොම ඉන්දියන් කාරයෝ චන්දය දුන්නෙ. මුන් ආපහු ඉන්දියාවට යවන්න කාලය ඇවිත් ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress