සැකකාරයෙක්‌ට දැනෙන වේදනාව මට දැනුණේ නෑ කොටුව හිටපු මහේස්‌ත්‍රාත් තිළිණ ගමගේ දිවයිනට කතා කරයි
Posted on June 26th, 2016

සාකච්ඡා කලේ – මනෝඡ් අබයදීර උපුටා ගැන්ම දිවයින

අලියෙකු අනවසරයෙන් තබා ගත්තා යන චෝදනාව මත පසුගිය කාලය තිස්‌සෙම පුවත් මැවූ හිටපු මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා රටේ ප්‍රචලිත නාමයක්‌ බවට පත් වී හමාරය. රටේ අග විනිසුරුවරයාගේ නම හෝ රූපය හරි හැටි නොදන්නා බහුතර සමාජය තිළිණ ගමගේ මහෙස්‌ත්‍රාත්වරයා හොඳින් හඳුනන තත්ත්වයක්‌ ඇති වී තිබෙන්නේ හොඳ හෝ නරක කුමන මාර්ගයෙන් හෝ මාධ්‍ය හමුවේ ඔහුගේ නම නිතර කියවෙන නිසාය. අප ඔහු හමු වීම සඳහා මහරගම පිහිටි ඔහුගේ නිවසට යන විට බතික්‌ සරමකින් සැරසී සරල මිනිසෙකු ලෙස ඔහු සිය ගමේ අසල්වාසීන් කිහිපදෙනෙකු සමඟ කතා බහක නිරත වී සිටියේය.

කොහොමද ඉතිං මහෙස්‌ත්‍රාත්තුමා තොරතුරු….

හොඳින් ඉන්නවා… මෙහෙම තමයි ජීවිතේ හැටි… අටලෝ දහමින් බේරිලා ඉන්න බුදුහාමුදුරුවන්ට බැරි වුණා නම් නඩුකාර හාමුදුරුවරු කොහොමද ඒකෙන් ගැලවිලා ඉන්නේ…?

ඔහු අප සමග කතා බහට මුල පිරුවේ ඒ ලෙසිනි.

නඩුකාරවයෙක්‌ ලෙස පුටුවේ හිඳගෙන එදා විත්තිය කැඳවා කූඩුවේ සිට යුක්‌තිය විස» ඔහු, අද නඩුකාරයෙක්‌ ඉදිරියේ විත්තිකරුවෙකු වී සිටියි. ඔහුගෙන් ඒ අත්දැකීම මුලින්ම අපි විමසා සිටියෙමු.

ඒක ජීවිතයේ තවත් අත්දැකීමක්‌ විදිහටයි මම බාර ගන්නේ. නඩු කටයුතු ගැන මම සඳහන් කරන්න කැමති නැහැ. මොකද, තවම මේක අධිකරණය ඉදිරියේ විභාග වෙන නඩුවක්‌ නිසා.

ඔබට සැකකාරයෙක්‌ගේ වේදනාව බය දැනෙන්න ඇති නේද…?

එහෙම විශේෂත්වයක්‌ හෝ වෙනසක්‌ මට දැනුණේ නැහැ. මම පොළොවේ පය ගහලා හිටපු නඩුකාරයෙක්‌. උසාවියට ගේන සැකකාරයෙක්‌ නීතිය මගින් වැරදිකාරයෙක්‌ කරන තුරු ඔහු නිවැරදිකාරයෙක්‌ කියලා, පූර්ව නිගමනයක්‌ තියෙනවා. මම සැකකාරයන් සියලු දෙනාට සලකලා තියෙන්නේ ඒ පදනමේ සිට නිසා, මට සැකකරුවෙකු ලෙස, අමුතු බයක්‌ සැකක්‌ දැනුණේ නැහැ. සැකකරුවෝ දිහා විතරක්‌ නෙමෙයි, වරදකරුවෝ දිහා පවා මානුෂික විදිහට තමයි, මම බැලුවේ…

කොටුවේ මහෙස්‌ත්‍රාත් විදිහට ඉන්න කොට කුකුළු පැටව් වගයක්‌ දුම්රියෙන් ප්‍රවාහනය කළා කියලා, නඩුවක්‌ ආවා. වරද පිළිගත්ත නිසා, මම රුපියල් දෙදාහක දඩයක්‌ ගැහැව්වා. මම එදා අධිකරණ කටයුතු ඉවර වෙලා ගෙදර යන්න හදන කොට අර මනුස්‌සයා කුඩුවේ ඉන්නවා දැකලා, මොකද කියලා ඇහැව්වා… දඩය ගෙවන්න සල්ලි නැහැ කියලා කිව්වා. පස්‌සේ මම කළේ, මම ගහපු දඩය මගේ අතින් ගෙවලා, ඔහුට යන්න කිව්වා. එදා මම දඩය ගෙව්වේ නැත්නම් කුකුල් පැටව් එකසිය පනහක්‌ විතරත් ඔහේ මැරිලා ගිහිල්ලා, ඒ මනුස්‌සයාත් හිරේ යනවා. එහෙම තමයි මම අධිකරණ නිලධාරියෙක්‌ විදිහට කටයුතු කළේ. වයසක උදවිය, පොඩි දරුවෝ අනන්ත අප්‍රමාණ එනවා, උදේට කාලවත් නැතුව උසාවි එනවා. ඒ මිනිස්‌සුන්ට විශේෂයෙන්, දරුවන්ට කෑම ටික මගේ ගානේ දුන්නා. හාමුදුරුනමක්‌, පූජකතුමෙක්‌, නීතිඥ මහත්තයෙක්‌ උසාවියට ආවොත් මම කුඩුවටවත් නැග්ගුවේ නැතුව ඒ අවශ්‍ය කරන ඩියු රෙස්‌පෙක්‌ට්‌ එක දුන්නා. මේ නිසා මට වෙනත් අයට අරෙහෙම සලකලා මටත් එහෙම බයක්‌ ඇති වුණා කියන හැඟීම දැනුණේ නැහැ.

තවම තිස්‌ නමවැනි වියේ පසුවෙන තිලිණ ගමගේ හිටපු මහෙස්‌ත්‍රාත්වරයා තනිකඩයෙක්‌ ලෙස මව පියා සමඟ ජීවිතය ගෙවමින් සිටින්නේය. ඒ අතර ඔහුගේ ජීවිතයට අලියෙකු එකතුවීම ඔහුට හිරගෙදර ළඟටම යන්නට පාර කපා තිබෙන පාටය.

ඔබ මෙතරම් අලින්ට ආදරය කරන්නේ ඇයි…?

අලින්ට ආදරය නොකරන කෙනෙක්‌ නැහැනේ… කවුරුත් අලින්ව අප්‍රිය කරන්නේ නැහැ. කියමනක්‌ තියෙනවානේ, අලි බලලා එපා වෙන්නෙත් නැහැ. බලි බලලා එපා වෙන්නෙත් නැහැ කියලා… අපි පවුලක්‌ විදිහට පන්සලත් එක්‌ක බොහොම සම්බන්ධයි. අපි පොඩි කාලේ නිතරම බෙල්ලන්විල පන්සලට යනවා. එතැනදී පන්සලේ ඉන්න අලියව දකිනවා… ඒ එක්‌කම මේ අවට තියෙන පන්සල්වල පෙරහැරවල් සඳහා මම සහයෝගය දක්‌වනවා. බොහොමයක්‌ පෙරහැරවල් වල කරඬුව තියන්නේ මගේ අතින්. ඒ වගේ වෙලාවක අපේ මහරගම පන්සලේ හාමුදුරුවො තමයි, මට කිව්වේ පෙරහැර වැඩ සඳහා අලියෙක්‌ ගත්තොත් හොඳයි කියලා… ඒ අනුව අලියෙක්‌ විකුණන කෙනෙක්‌ හොයලා එයාගේ ලේඛන පරීක්‌ෂා කරලා මම අලියෙක්‌ අර ගත්තේ.

අලි ඇති කිරීම පහසු කර්තව්‍යක්‌ නෙමෙයි… ඉඩකඩ, කෑම බිමේ සිටම ඒ සඳහා විශාල පරිශ්‍රමයක්‌ දරන්න වෙනවා… එහෙම බැලූ මම අලියා කියන්නේ කරදරකාරී සත්ත්ව ඇති කිරීමක්‌ නේද…?

මම අලියෙක්‌ ගත්තේ කොටන් අද්දවන්න නෙමෙයි. ආගමික කටයුතු සඳහා පන්සල්වලට ලබා දෙන්නයි. මම ඒක සැලකුවේ, පිංකමක්‌ විදිහට. අලියෙක්‌ නඩත්තු කිරීමේ හැකියාව මට තිබ්බා. අපි පදිංචි වෙලා ඉන්න ඉඩම අක්‌කර කිහිපයක්‌ විශාලයි. අපේ අනිකුත් ඉඩම්වල තිබෙන ගහ කොළ එහෙම අපි අලියාගේ පරිභෝජනය සඳහා යොදා ගත්තා. එයා සඳහාම අපේ එක ඉඩමක රට තණකොළ වැව්වා. අනික්‌ අතට ප්‍රදේශයේ අය පොල් ගහක්‌ කැපුවත්, කොස්‌ ගහක්‌ කඩා වැටුණත් ඒ අතු ටික අපිට ගෙනහල්ලා දුන්නා. පෙරහැර සඳහා අලියා අවශ්‍ය වන උදවියත් නිතරම ඇවිල්ලා උදව් කරා. සතෙක්‌ හදන කොට වියදම් දරන්න වෙනවා. සමහරු බල්ලෝ ඇති කරනවා. ඒ සඳහා මාසයකට ලක්‌ෂ ගණන් වියදම් කරන අයත් ඉන්නවා. ඒක එක එක්‌කෙනාගේ කැමැත්ත. මගේ කැමැත්ත තිබ්බේ මටම කියලා අලියෙක්‌ තියා ගන්නවට වඩා සමාජ සහ ආගමික සේවයක්‌ ලෙස අලියෙක්‌ නඩත්තු කිරීමයි.

මහෙස්‌ත්‍රාත් තනතුරට තවත් ගාම්භීර බවක්‌ එක්‌ කරගෙන ප්‍රභූ මානසිකත්වයක්‌ ඇතිකර ගන්නත් අලියෙක්‌ ගෙදර ඉන්න එක ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති නේද…?

මේ ගමේ ඉන්න උදවිය මා ගැන දන්නවා. මම මහෙස්‌ත්‍රාත් තනතුර පාරේදී මාන්නය සඳහා පාවිච්චි කළේ නැහැ. මම සාමාන්‍ය කෙනෙක්‌ විදිහට තමයි, උසාවියෙන් පස්‌සේ ජීවත් වුණේ. මම ගමේ මළ ගෙදරට, දානේ ගෙදරට සරම ඇඳගෙන යන කෙනෙක්‌. මගේ ගෙදර ගේට්‌ටු දෙක හැම වෙලේම විවෘතයි. ගමේ ඕනෑම කෙනෙක්‌ කරදරයකට දුවන් එන්නේ අපේ ගෙදරට. එතැනදී හැම වෙලේම උපකාර කිරීම අපේ පවුලේ සිරිත. එහෙම මහේශාඛ්‍ය පිස්‌සුවක්‌ මට කවදාවත්ම තිබ්බේ නැහැ. අපේ ආච්චිලා සීයලාගේ කාලේ ඉදන්ම සරල ජීවිත ගත කරපු, ගමත් සමඟ හිටපු මිනිස්‌සු අපි. පාරේ යනකොට පොලිසිය දාගෙන ගමන් බිමන් යන කෙනෙක්‌ නෙමෙයි මම. ඒ නිසා අලියෙක්‌ අරගෙන මහේශාඛ්‍යභාවයක්‌ ආරෝපණය කර ගැනීමේ රෝගයක්‌ මට තිබ්බේ නැහැ.

ඔබ අලි වෙළෙ\ම් කළාද…

නැහැ…

අලි කීදෙනෙක්‌ ඔබට හිටියාද…?

එක අලියයි…

මේ අලියගේ නම මොකක්‌ද…?

සුදු පුතා

ඔබ මේ අලියාව මිලදී ගත්තේ කියකටද…?

රුපියල් ලක්‌ෂ තිහකට

මහෙස්‌ත්‍රාත්වරයකුට මේක බරපතල මිලක්‌ නෙමෙයිද…?

ගොඩක්‌ අයට මේක ප්‍රශ්නයක්‌ වෙලා තිබ්බා. මට මහෙස්‌ත්‍රාත්වරයකු ලෙස ලක්‌ෂ දෙකක විතර වැටුපක්‌ ලැබුණා. මම තනිකඩයෙක්‌ නිසා ඒ වැටුප වියදම් වුණේ මගේ දේවල්වලට. කෑවේ බිව්වෙත් දෙමව්පියන්ගේ සල්ලිවලින්. මම මහෙස්‌ත්‍රාත් තනතුරට ආවේ, 2008 වර්ෂයේදී. මම නීතිඥයෙක්‌ විදිහට දිවුරුම් දුන්නේ 2003 වර්ෂයේ. මම ඒ කාලයේ විඡේදාස රාජපක්‌ෂ මහතාගේ කනිෂ්ඨ නීතිඥයෙක්‌ ලෙස සේවය කළා. ඒ කාලේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන ගණනාවක නඩු සඳහා මම පෙනී සිටියා. රාජ්‍ය සංස්‌ථාවල විධායක රැකියා කිහිපයක්‌ කරලා තියෙනවා. ඒවායෙන් උපයා ගත් සල්ලි මට තිබ්බා. මගේ දෙමව්පියන් හදපු ගෙවල් කිහිපයකින් කුලී සල්ලි අපිට ලැබෙනවා. කොට්‌ටාව – පිටකොටුව බස්‌ අපිට තිබ්බා. තිළිණ ට්‍රැවල්ස්‌ කියලා ඒ මාර්ගයේ බස්‌ මුලින්ම පටන් ගත්තේ මගේ තාත්තා. ඒ ආදායම් අනුව මට අලියෙක්‌ ගන්න ලක්‌ෂ තිහක්‌ වියදම් කරන එක ලොකු මුදලක්‌ වුණේ නැහැ.

සුදු පුතාව දැන් මතක්‌ වෙන්නේ නැද්ද…?

එයා අපේ පවුලේ කෙනෙක්‌ වෙලයි හිටියේ. හැමදාම උදේට නාලා, මල් පොකුරක්‌ කඩාගෙන ඇවිල්ලා බුදුන් වැඳලා, ගණ දෙවි පිළිමයටත් එයා වඳිනවා. ඊට පස්‌සේ කෙලින්ම එන්නේ මගේ ගෙදරට. ඇතුළටම ඇවිල්ලා, පඩිපෙළ ළඟටම එනවා. එතකොට මම පලතුරු හරි හකුරු බෑයක්‌ හරි දෙනවා. එකත් අරගෙන පස්‌සෙන් පස්‌සට යනවා. මටයි අපේ අම්මටයි තමා වැඩිපුරම ආදරය කළේ. අපි එයාට නිදැල්ලේම ඉන්න දුන්නා. රැට විතරයි ගැට ගැහැව්වේ. පින්නවලට වඩා සැපට එයා අපේ ගෙදර හිටියා. වසර තුනක්‌ අපිත් එක්‌ක එයා හිටියා. එයා නැති පාළුව අපිට කියන්න බැරි තරම්.

අලි සෙල්ලම නිසා මහෙස්‌ත්‍රාත්කමට වඩා ජනප්‍රියභාවයක්‌ හිමිකර ගත්තා නේද…?

බොහෝ මාධ්‍ය මං ගැන සමබරව වාර්තා කළා. වෙබ් අඩවි කිහිපයකුත් පුවත් පත් දෙකකුත් මට එරෙහිව වාර්තා කරන බව පෙනුනා. මම වෘත්තිය වශයෙන් වරදක්‌ කරලා නැහැ. අල්ලස්‌ අරගෙන තීන්දු දීලා නැහැ වැරදි නඩු තීන්දු දීලා නැහැ. එවැනි චෝදනාවක්‌වත් මට නැහැ. අලියා මිලදී ගන්නා විට මගේ පුරෝගාමී හිමිකරු ඉදිරිපත් කරපු ග්‍රාම නිලධාරී සහතිකයක තිබුණ දෝෂයක්‌ නිසා තමයි මට අද චෝදනා එල්ල වෙලා තියෙන්නේ. මම එක ගැන ඒ කාලෙදිම විධිමත් ලෙස ඇමතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් කළා, මම නිර්ව්‍යාජ ගැනුම්කරුවෙක්‌ මගේ නමින් බලපත්‍රය නිකුත් කරන්න කියලා. ඇමතිවරයා ඒ අභියාචනය අනුමත කළා. පනතේ, 56.4 වගන්තිය අනුව ඒ අනුමත කිරීම අවසානාත්මක සහ තීරණාත්මකයි. ඒ ලේඛන පරීකෂා කරපු වනජීවී අධ්‍යක්‍ෂවරයා ලිතව මට දැනුම් දුන්නා, මගේ ලේඛන ලැබිලා තියෙනවා කියලා. ඉදිරියේදී ලියාපදිංචි කිරීමට කටයුතු කරනවා කියලා. එහෙම තියෙද්දී තමයි මේ ගැන අලුතින් පරීක්‌ෂණයක්‌ කෙරෙන්නේ.

සුදු මහත්තයාව අරගෙන ගියේ කොහොමද…?

අරගෙන ගියේ නැහැ… ජනවාරිවලින් පස්‌සේ අලියා සම්බන්ධ ප්‍රකාශයක්‌ දෙන්න කියලා මට කිව්වා. මම ඇවිල්ලා සී අයි ඩි එකට ප්‍රකාශයක්‌ ලබා දුන්නා. මම සියලු ලේඛන ඇතුව ප්‍රකාශයක්‌ දුන්නා.

ඔබගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ, ජනවාරි අට වෙනසත් සමඟ ඔබට එරෙහිව පලිගැනීමක්‌ දියත් වුණා කියලද…?

පළිගැනීමක්‌ කියන්න පුළුවන් තත්ත්වයක්‌ ඇති වුණා. මම දන්න විදිහට විනිශ්චයකාරවරයකුට මාරුවීම් ලැබෙන්නේ වසර අවසානයේ. මම කොටුවේ මහෙස්‌ත්‍රාත් වෙලා වසර දෙකක්‌ යන විට අප්‍රේල් පළවැනිදා මට මාරුවීමක්‌ ලැබෙනවා. කිසිම ප්‍රශ්නයකින් තොරව අධිකරණ සේවා කොමිසමට ඒ බලය තියෙනවා. ඒත් එදා ඒ මාරුව ලැබුණේ මට විතරයි.

සුදු මහත්තයා දැන් කෝ…

මේ විමර්ශන ආරම්භ වුණත් එක්‌ක මම කැමැත්තෙන්ම ගිහිල්ලා බාර දුන්නේ. දැන් එයා ඉන්නේ පින්නවල. මම කිහිපවාරයක්‌ම එයා බලන්න ගියා. ගෙදර තිබ්බ සැප කිසි දෙයක්‌ එහෙ නැහැ. ඒ ගියාම මාව අඳුනාගෙන හොඳට ආදරයෙන් මාව වැලඳ ගත්තා. මට වැන්දා. එයාගේ කකුල් වල තුවාල එහෙමත් ඇවිල්ලා තිබුණා. රඳවලා තියන්නවත් හරි හමන් ස්‌ථානයක්‌ නැහැ.
 

2 Responses to “සැකකාරයෙක්‌ට දැනෙන වේදනාව මට දැනුණේ නෑ කොටුව හිටපු මහේස්‌ත්‍රාත් තිළිණ ගමගේ දිවයිනට කතා කරයි”

  1. Kumari Says:

    Lovely story. I wish Sudu Putha will get back to his loving family before long.

    How nice Sri Lanka would be if our politicians have this elephant’s qualities.

  2. ranjit Says:

    I like him very much.He looks a decent person with good qualities. Keeping an elephant and taking care of him like a human being is not a crime in my view. Anyway with this rotten govt anything can happen. These lunatics think that they are clean and pure like sweet water coming from Gampola or Balangoda. From Hitan, Run-nil,Bandit queen to the lowest in the current govt are crooks and storytellers. Their time will come soon same like what happened to their advisor David Cameron. Just wait and see.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress