පෙරදිගට ගමනක් – 21 -ලංකා වංශය සහ සිංහල වංශය
Posted on July 1st, 2016

වරුණ චන්ද්‍රකීර්ති

සිංහල ශාසනය” ගැන මෙයට පෙර ලිපියේ කියපු කතාව ගැන සමහර පාඨකයන්ට ගැටලු තියෙන්න පුළුවන්. මොකද අපි දන්නේ බුද්ධ ශාසනයක්” ගැන මිසක් සිංහල ශාසනයක්” ගැන නෙවෙයිනෙ. ඒ විතරක් නෙවෙයි. මෙහෙම සිංහල ශාසනයක්” ගැන කියන එක ජාතිවාදී, වර්ගවාදී ප්‍රකාශයක් කියලත් කාට හරි කියන්න පුළුවන්. ඒ හින්දා මේ ගැන තව යමක් කියන්න ඕන. මේ ලිපියෙන් ඒ වැඩේ කරන්නම්.

මුලින් ම කියන්නේ ලංකා වංශය ගැන. මේ කතාව කියන එක එච්චර පහසු වැඩක් නෙවෙයි. මොකද මේ කියන පුද්ගලයන් ගේ නම්, ස්ථානවල නම් අපේ පාඨකයන්ට පුරුදු ඒවා නෙවෙයි. ඒත් බලමු පුළුවන් විදිහට මේ විස්තරය කියන්න. මේ කතාවට අදාළ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1275 දී සුඛෝදය (සුඛෝතායි) කියන තායි රාජ්‍යයේ රජ වෙච්ච රාම් කම් හැං රජතුමා ගේ කාලය. සුඛෝතායි ප්‍රදේශය තියෙන්නේ බැංකොක් නගරයට කිලෝ මීටර් 400 ක් විතර උතුරින්. මේ රජතුමා සිරිධම්ම නගරයට ගිහිල්ලා ඒ නගරයේ වැඩ වාසය කරපු මහාසාමි සංඝරාජ හිමිනමක් තමන් ගේ රාජ්‍යයට වැඩමවාගෙන ආපු බවක් එතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1292 අවුරුද්දේ ලියපු සෙල්ලිපියක සඳහන් කරලා තියෙනවා. මේ මහාසාමි සංඝරාජ හිමියන් ගැන විස්තර පස්සේ කියන්න පුළුවන්.

මුලින් ම සිරිධම්ම නගරය ගැන යමක් කියන්න ඕන. සිරිධම්ම නගරය කියලා හඳුන්වලා තියෙන්නේ බැංකොක් නගරයට කිලෝ මීටර් 780 ක් විතර දකුණින් මලය අර්ධද්වීපයේ තියෙන නාකොන් සි තම්මරට් නගරය. මේ නගරයේ ඉතිහාසය ගැන කරුණු කියන ඉපැරැණි පොතක් තියෙනවා පළිඟු වාළුකා වංශකතාව” කියලා. ඒ පොතෙන් කියන විදිහට සිරිධම්ම නගරයේ උප්පත්තියේ ඉඳලා ම ඒක අපේ රටට සම්බන්ධයි. නගරය හදන සැලැස්ම හදලා ඒක එවලා තියෙනවා අපේ රජ්ජුරුවන් ගේ අනුමැතියට. ඒ වැඩේට සියදෙනෙක් අපේ රටට ඇවිල්ලා. අපේ රජ්ජුරුවෝ ඒ නගර සැලැස්ම අනුමත කරලා ඒ වැඩේට ආපු දූත පිරිසත් එක්ක බුද්ධගම්භීර කියලා ස්ථවිරයන්වහන්සේ නමක් පිටත්කරලා යවලා තියෙනවා. උන්වහන්සේ තමයි ඒ ප්‍රදේශයේ බුද්ධ ශාසනය තහවුරුකරන්න මුල්වෙලා තියෙන්නේ. උන්වහන්සේ ගේ අනුශාසනා පරිදි සිරිධම්ම නගරයේ මහා චෛත්‍යයකුත් ගොඩනගලා තියෙනවා. ඇත්තෙන් ම, මේ සම්බන්ධය හොයන්න ඉතිහාසයට ම යන්න ඕන නෑ. අදට පවා ඒ ප්‍රදේශයේ ලංකා බෝධි, ලංකා මණ්ඩප තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ ප්‍රදේශයේ අය ලංකා වංශය ගැන ආඩම්බරයෙන් කතාකරනවා.

ඒත් ලංකා වංශයේ උපත ගැන කතාව සම්බන්ධ කලින් කියපු සුඛෝදය නගරයට. ඒ වගේ ම, කලින් කියපු මහාසාමී සංඝරාජ හිමියන්ට. සද්ධම්ම සංගහය” කියන පොත රචනා කරපු ධම්මකිත්ති මහා නා හිමියන් තමයි මේ මහාසාමී සංඝරාජ හාමුදුරුවෝ කියලා ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර හාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ධම්මකිත්ති හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ථෙරවාදී උපසම්පදාව ලබාගෙන තියෙනවා. ඊට පස්සෙයි උන්වහන්සේ සිරිධම්ම නගරයට ආපසු වැඩමකරලා තියෙන්නේ. ඒ විදිහට සිරිධම්ම නගරයේ වැඩ වාසය කරන කාලයේ තමයි තමන් ගේ රාජ්‍යයට වැඩමකරන්න කියලා සුඛෝදයේ රාම් කම් හැං රජතුමා උන්වහන්සේට ආරාධනාකරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ උදෙසා රාම් කම් හැං රජතුමා විසින් සුඛෝදයේ ඉදිකරපු මහා ආවාසය නම් කරලා තියෙන්නේ ලංකාරාමය කියලා. උන්වහන්සේ ඒ ලංකාරාමයෙහි වැඩ වාසයකරන කාලයේ තමයි සද්ධම්ම සංගහය” රචනා කරලා තියෙන්නේ.

ලංකා වංශය සුඛෝදයේ ආරම්භ කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1277  දී විතර. තායිලන්ත බෞද්ධ සංස්කෘතිය” කියන පොතෙන් බෝයගම විමලසිරි හාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන විදිහට මහායාන ඇදහීම්වලින් සැරසුනු කාම්බෝජ බුද්ධාගමකුත්, ඉපැරැණි ථෙරවාදී බුද්ධාගමකුත් සුඛෝදයේ තිබිලා තියෙනවා. මේ ඉපැරැණි ථෙරවාදී බුද්ධාගම පවා අපිට සම්බන්ධ බව කියනවා. ඒ, තායි ජනයා සංක්‍රමණය වෙන්න කලින් ඒ බිම්වල හිටිය මොන් ජනයා විසින් ගොඩනගාගත්ත ශාසන සම්ප්‍රදායක්.

මොන් ජනතාව සිංහල අපිත් එක්ක සම්බන්ධකම් පවත්වපු බව තහවුරුකරන්න මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා ඉදිරිපත්කරන වැදගත් ම සාක්කිය තමයි තායිලන්තයේ ප්‍රාචීන්බුරි ප්‍රදේශයේ සා මොරකොත් විහාරයෙන් ලැබිලා තියෙන සෙල්ලිපය. ඒ ලිපිය ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 761 දී විතර. ලිපිය ලියලා තියෙන අකුරු සමකාලීන සිංහල අකුරුවලට බොහෝ සෙයින් සමානයි. වැදගත් ම දේ තමයි මේ ලිපියේ අන්තර්ගතය. ඒ සෙල්ලිපියේ තියෙන්නේ සුප්‍රසිද්ධ තෙලකටාහ ගාථාවලින් උපුටාගත්ත ගාථා කීපයක්.  තෙලකටාහ ගාථා කියලා කියන්නේ තෙල් කටාරමක් සම්බන්ධ කරගෙන ලියැවුණු ගාථා සීයක් තියෙන පාලි කාව්‍යයක්. තමන් ගේ බිසව සමඟ කුමන්ත්‍රණයකට සම්බන්ධ වුනා කියන සැකයෙන් කළ්‍යාණ කියන මහා ස්ථවිරයන්වහන්සේ ව උණු තෙල් කටාරමකට දාන්න කියලා කැළණිතිස්ස රජ්ජුරුවන් කරපු නියෝගයට සම්බන්ධ කතාව අපි දන්නවා. ඉතින් ඒ තෙල් කටාරම උඩ පළඟක් බැඳගෙන උන්වහන්සේ කරපු අනුශාසනාව තමයි ඒ ගාථාවලින් කියැවෙන්නේ.

ඒ විදිහේ මොන් – සිංහල සම්බන්ධතා උඩ ඇතිවෙලා සුඛෝදයේ තිබුණු ඉපැරැණි ථෙරවාදී බුද්ධාගම රාම් කම් හැං රජතුමා ගේ කාලය වෙද්දි විපරිණාමයට ලක්වෙලා. ඒත් අගනුවර ඇතුළේ බලවත්වෙලා තිබුණේ ඒ බුද්ධාගම. සිරිධම්ම නගරයට ගිහිල්ලා රාම් කම් හැං රජතුමා විසින් වැඩමාගෙන ආපු සංඝරාජ හාමුදුරුවෝ – ධම්මකිත්ති හාමුදුරුවෝ, වැඩවාසය කරලා තියෙන්නේ නගරයෙන් පිට තිබුණු ලංකාරාමයේ. ඒ විදිහට තමයි ලංකා වංශය ආරම්භවුනේ. ලංකා වංශික හාමුදුරුවරුන්ට තව තවත් විහාරස්ථාන ඇතිකෙරුණා. ඒ විහාර බොහෝමයක් ඇති කළේ නගරයෙන් පිට තිබුණු ආරණ්‍යවල. ඉතින් වැඩි කාලයක් යන්න කලින් සුඛෝදයේ ජනතාව අතර ප්‍රචලිත වුනේ මේ විදිහට අලුතින් පිහිටුවපු ලංකා වංශය. ඉතින් ලංකා වංශයේ පැවිදිවෙච්ච පිරිසත්, ඒ අය වෙනුවෙන් ඉදිකරපු විහාරස්ථානත් එන්න එන්න ම වැඩිවුනා.

ඒ එක්ක ම පුරාණ වංශිකයන් ගේ බලය අඩුවෙන්න පටන්ගත්තා. ඒ අයත් කැමැතිවුනා ලංකා වංශයට එකතුවෙන්න. ඒත් පුරාණ වංශිකයෝ හරියට පාලි භාෂාව උච්චාරණය කළේ නැති හින්දා, ඒ අය ගේ චාරිත්‍ර මහායාන පිළිපැදීම්වලින් සැරැසිලා තිබුණු හින්දා පුරාණ වංශිකයන් එක්ක පෝය කරන්න ලංකා වංශික හාමුදුරුවරු කැමැතිවුනේ නෑ. පාලි භාෂාව නියම විදිහට උච්චාරණය කරන්න උදව්කරන අදහසින් තායි හෝඩිය වෙනස්කරන්නත් රාම් කම් හැං රජතුමා ක්‍රියාකළා. ඊට අමතර ව, රජතුමා ම මැදිහත්වෙලා පෝය කිරීම සම්බන්ධයෙන් ඇතිවෙලා තිබුණු ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කළා. ඒ විසඳුම තමයි පුරාණ වංශිකයන් ගේ සීමා නැවැත සම්මතකරන්න කියලා රජතුමා විසින් ම ලංකා වංශිකයන්ගෙන් ඉල්ලාසිටීම. ඉතින් ඒ ඉල්ලීම පිට සීමා සම්මතකරලා තවත් සීමා ගල් අටක් හිටවන්න ලංකා වංශිකයෝ කටයුතු කළා. ඒ වැඩේ හින්දා සීමාවකට කණු දහසයක් හිටවන සිරිත ඇතිවුනා.

ඉතින් රාම් කම් හැං රජතුමා ගේ කාලය අවසන්වෙද්දි තායි රාජ්‍ය සීමා ඇතුළේ පැළපදියම්වෙලා තිබුණු ප්‍රධානතම භික්‍ෂු සංස්ථාව තමයි ලංකා වංශය. පුරාණ ථෙරවාදී නිකායත් ලංකා වංශයට එකුතවෙලා. කාම්බෝජ බුද්ධාගමේ ලකුණක්වත් හොයාගන්න තිබුණේ නෑ. ඒ වෙද්දි තිබුණු එක ම වෙනස තමයි ග්‍රාමවාසි ලංකා වංශයේත් ආරණ්‍යවාසි ලංකා වංශයේත් වෙනස. කොහොම හරි ශේෂ වුනේ, ස්ථාපිත වුනේ එක වංශයයි. ඒ තමයි ලංකා වංශය. බුද්ධ වර්ෂ 2505 දී නිකුත්කරපු වර රාජපඤ්ඤප්ති ගන සංඝ” කියන ප්‍රකාශයේ පවා කියන්නේ තායි ජාතිකයන් වන අපි සුඛෝදය යුගයේ ආරම්භයත් සමඟ ලැබුණු ලංකා වාංශික බුද්ධ ශාසනයේ ලබ්ධිකයන් වම්හ” කියලා!

මේ ලංකා වංශයට සම්බන්ධ කතාවෙන් පැහැදිළිවෙන කාරණා කීපයක් තියෙනවා. මුලින් ම සිරිධම්ම නගරයේ කතාවට සම්බන්ධ ප්‍රවෘත්තියෙන්. ඒ නගරයට සම්බන්ධ කතා ගැන වැඩි විස්තර පස්සේ කියන්න පුළුවන්. ඒත් ඒ නගරයේ ආරම්භයට සම්බන්ධ කතාවෙන් පැහැදිළිවෙනවා අපේ නගර සැලසුම්, ගෘහ නිර්මාණ ශිල්ප ඒ අයට ගුරුවෙච්ච බවක්. ඒ කියන්නේ අපේ ශාසන සම්ප්‍රදාය ගුරු කරගන්න ගමන් ම ඒ අය අපෙන් තව තවත් දේවල් ලබාගෙන තියෙනවා. යටත්විජිත බලපෑම හින්දා ඇඳුම් පැළඳුම්, කෑම බීම පවා නැතිවෙච්ච අපිට අපේ ගෘහ නිර්මාණ හැකියාවන් නැතිවෙච්ච එක මහ අරුමයක් නෙවෙයි.

දඹදිව වන්දනාවේ ගිය අය දැකලා ඇති බුද්ධගයාව, බරණැස, වේසාලිය, ශ්‍රාවස්තිය වගේ තැන්වල හදලා තියෙන අපේ පන්සල්වලත් ථෙරවාදී කලාපයට අයිති අනෙක් රටවල පන්සල්වලත් වෙනස. ඇත්තෙන් ම ඒ තැන්වල සමාජ බලය තියෙන්නේ අපේ පන්සල්වලට. ඒත් පන්සල් හදලා තියෙන්නේ අපේ වෙහෙර විහාර ඉදිකිරීමේ කලාව ගැන කිසි ම අවබෝධයක් නැතිව. හිතිච්ච හිතිච්ච වෙලාවට කෑලි එකතුකරලා, පෙට්ටි පෙට්ටි වගේ ගොඩනැගිලි හදලා. ඒත් ඒ ශුද්ධ වූ ස්ථානවල බුරුම පන්සල්, තායි පන්සල් හදපු අය තමන් ගේ සම්ප්‍රදායයන් අමතකකරලා නෑ. ඇත්තෙන් ම මේ දක්වා කියපු කරුණුවලින් පැහැදිළි වෙන්නේ ඒ අය ගේ සම්ප්‍රදායයන් ගොඩනගාගෙන තියෙන්නේ අපෙන් ලබාගත්ත දැනුම උඩ කියන එක. ඉතින් අපිට බැරි ද උපසම්පදාව නැතිවුනා ම වෙච්ච අඩුව පිරිමහගත්ත විදිහට ම, අපේ වෙහෙර විහාර හැදීමේ කලාවටත් යමක් ඒ පැත්තෙන් ලබාගන්න. ඒ හැම දෙයක් ම ඒ විදිහට ම මේ රටේ හදන්න ඕන නෑ. ඒත් ඒ අයගෙන් අපට ගැලපෙන යමක් අපිට ගන්න පුළුවන්.

තායි හෝඩිය නැවත සැකැසීමේ කතාවෙන් පැහැදිළිවෙන්නේ ඒ අය අපෙන් ලබාගත්ත තවත් දෙයක්. ඒ අය ගේ භාෂාව පවා පෝෂණයකරන්න අපි දායකවෙලා තියෙනවා. අද අපිට තායි භාෂාවෙන් ගන්න පුළුවන් දේකුත් තියෙනවා. ඒ තමයි පරිගණක, ජංගම දුරකථන ආදියේ අපේ අකුරු යතුරු ලියනය කරන විදිහ. පරිගණක සාක්‍ෂරතාව බොහොම ඉහළයි කීවත් අද අපේ අයගෙන් සියයට 99 කට සිංහල යතුරු ලියන හැකියාව නෑ. මට සිංහල ටයිප්කරන්න බෑනේ” කියලා අපේ කට්ටිය බොහොම ආඩම්බරෙන් වගේ කියනවා. ඇත්තෙන් ම ඒකට ඒ අයට දොස් කියන්න බෑ. අපේ අකුරු යතුරුලියනය කරන ක්‍රමය එච්චර ලේසි නෑ. තායි අකුරු යතුරුලියනය හරි පහසුයි කියලා මේ ලේඛකයා දැකලා තියෙනවා. ඒකත් සිංහල වගේ ම ඇලපිලි, පාපිලි, ඉස්පිලි තියෙන හෝඩියක්. ඉතින් මේ වැඩේට අදාළ ශිල්පීය ගුරුකමක් තියෙනවා නම් අපිට ඒක ඒ අයගෙන් ගන්න පුළුවන්.

අවසාන වශයෙන් සිංහල වංශය ගැනත් වචනයක් දෙකක් කියන්න ඕන. හය වැනි පරාක්‍රමබාහු රජතුමා ගේ කාලයේ දී – ඇත්තෙන් ම ක්‍රිස්තු වර්ෂ 1425 දී විතර, සිදුකරපු කළ්‍යාණි උපසම්පදාවන්ට සහභාගී වෙලා රාමඤ්ඤයට, නබ්බිසිපුරය  (චියැං මායි) අගනුවර කරගත්ත ලන් නා තායි රාජ්‍යයට ඇරන් ගිය අපේ ශාසන සම්ප්‍රදායයන් ඒ අය විසින් හඳුන්වලා තියෙන්නේ සිංහල ශාසනය විදිහට. ඉතින් සිංහලරට්ඨාරාමය වගේ සිංහල නම ගත්ත වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් ඇතිකරලාත් තියෙනවා. ලංකා වංශයේ ඇතිවෙලා තිබුණු පිරිහීම්වලට පිළියමක් විදිහට තමයි මේ දේ සිද්දකරලා තියෙන්නේ. කළ්‍යාණි ශිලා ලිපිවල, ජිනකාලමාලි සහ රත්තවනාරාම වංශකතාව වගේ පොත්වල මේ විස්තර සඳහන්. දැන් මේවා සිංහලෙන් පළවෙලා තියෙන හින්දා ඒ ගැන වැඩි විස්තර කියන්න අදහස්කරන්නේ නෑ. ඒත් ඉදිරියේ දී අවස්ථාව ලැබෙන විදිහට ඒ දේවල් ගැනත් යම් යම් කරුණු කියන්න පුළුවන්.

වරුණ චන්ද්‍රකීර්ති෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress