ජවිපෙ පාලනය විජේවීරගෙන් ගිලිහෙයි
Posted on July 2nd, 2016

ධර්මන් වික්‍රමරත්න         

උතුරේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධානයන්හි ක්‍රියාමාර්ගයන් නිසා අසූව දශකය මැද භාගයේදී දකුණේ දේශපාලනයද අලුත් මඟකට පිවිසිණි. දකුණේ සිදුවූ රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ ඇතමෙක් සඳහටම නිහඬ විය. තවත් පිරිසක් කිසිවක් කරකියා ගත නොහැකිව නිහඬ විය. එමෙන්ම දේශප්‍රේමයෙන් ඔද වැඩී නිහඩව පමණක් නොව එයට ආවැඩූ පිරිසක්ද විය. මෙවැනි වටපිටාවක් තුළ දුෂ්කර අවධියක් ඔස්සේ දේශපාලනයේ නියුතුවූ ජවිපෙ තම අරගලය නොයෙක් උපක්‍රම ඔස්සේ ගෙන යන්නට විය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

එබැවින් පාලකයින්ගේ එකම සහ පරම හතුරාද එය විය. නිෂ්චිත වූ දේශපාලන කියවීමක් ඇතුවා හෝ නැතිව පීඩනයන් හමුවේ එයට එරෙහිව අරගල කිරීමට සූදානම්වූ අලුත් පරම්පරාවක්ද බිහිවෙමින් තිබිණි. ඔවුුහු සමාජය වෙනස් කල යුතුව ඇති බව පමණක් කියා නොනැවතී 2වැනි කැරැල්ල හරහා ජනයා අතරට ගොස් වැඩ කළහ. ජනයා දැනුවත් කිරීමට වෙහෙසුණහ.

dharman03071602රෝහණ විජේවීර.

ජවිපෙ ආරම්භ කල 1965 සිට ගමන්මඟ වැටී තිබුණේ රෝස මල් ඇතිරූ සුමට මඟක නොවේ. එය අභියෝග, අර්බුද, කුමන්ත්‍රණ, පාවාදීම්, දෝහිකම්, කල්ලිවාදයන්, මර්දනයන් සහ ඝාතනයන් මැද ආ අතිශය සංකීර්ණ හා දුෂ්කර එකක් විය. ජවිපෙ දෙවැනි කැරැල්ලේ මැදභාගය වන විට එනම් 1988 අගෝස්තු මස වන විට සාධනීය ලක්ෂණ අභිබවමින් නිෂේධනීය ලක්ෂණ ඉස්මතු වන්නට විය. ඒ අනුව වසර 1988 අගෝස්තු මාසය වන විට ජවිපෙ යම් ප්‍රමාණයක අභියෝගයන්ට මුහුණ දෙමින් තිබිණි. ඉතිහාසයේ කිසිම දිනක අත්දැක නොතිබූ මර්ධනයකට මුහුණදීමේ ප්‍රවේශය විවෘත වී තිබිණි. රාජ්‍ය අනුග්‍රහය ලත් නිල හා නිල නොවන ඝාතක කණ්ඩායම් ජවිපෙ කැරළිකරුවන් සහ හිතවතුන් සිය ගණනක් ඝාතනය කිරීම අරඹා තිබිණි. මර්ධනය උග්‍ර වෙත්ම ජවිපෙ බොහෝ රහස් සහ තොරතුරු, පුද්ගල නම්, සංවිධාන රටාවන් ආදි සියල්ල ආරක්ෂක හමුදා වෙත පත්විය. එය ඔවුන් අතට පත්වූයේ ආරක්ෂක හමුදාවන්හි දක්ෂතා මත නොව පාවාදෙන්නන්ගේ සහ දුර්වලයන්ගේ හෙළිදරව් කිරීම් මතය.

ජවිපෙ දෙවන කැරැල්ලේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින්වන ප්‍රධාන නායකයින් 13 දෙනාගෙන් 8 දෙනෙකු 1971 අප්‍රේල් කැරළිකරුවන්ය. උපාධිධාරින් සහ උපාධි අපේක්ෂකයින් 11දෙදෙනෙකු ඒ අතර විය. ‍එම 13 දෙනා අතරින් 4 දෙනෙකු  තම රැකියාව අතහැර පූර්ණකාලීනව එක්වූ අතර සෙසු 9දෙනා උපාධියෙන් පසු හෝ සරසවි උපාධිය අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්වූ අය වේ. ඉන් 6 දෙනෙක් වයස 40 සිට 47ත් අතර වූ අතර තිදෙනෙක් වයස 35 සිට 40 දක්වා විය.  වයස 32 සිට 35 අතර වූ ප්‍රධාන නායකයින් සංඛ්‍යාව 4කි.

dharman03071603ජවිපෙ 2වැනි කැරළි සමයේ දේශපාලන මණ්ඩල සභිකයින් වූ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක, ඩී.එම්. ආනන්ද, සමන් පියසිරි ප්‍රනාන්දු, ලලිත් විජේරත්න, ශාන්ත බණ්ඩාර, එච්.බී. හේරත්, පී.බී. විමලරත්න, සෝමවංශ අමරසිංහ මෙහි ඉහළ වමේ සිට වේ. සෙසු දේශපාලන මණ්ඩල සභිකයින් වන පියදාස රණසිංහ, සුමිත් අතුකෝරාල, ගුණරත්න වනසිංහ සහ නන්දතිලක ගලප්පත්ති යන 4 දෙනාගේ ඡායාරුප ඇත්නම් අපවෙත යොමු කරන්න.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු 2වැනි කැරැල්ලේදී ප්‍රථමවරට ඝාතනයට ලක්වූයේ 1988 අගෝස්තු මසදීය. ඒ ජවිපෙ මූල්‍ය ලේකම් සහ වයඹ පළාත් නායක පී.ඩී.එන්. විජේනායක නොහොත් සුමිත් අතුකෝරාලය.  පුත්තලම ලුණුවිල දෙමටපිටියේදී අත්අඩංගුවට ගත් ඔහු තිරස්ථීන වධදි ඝාතනය කර සිරුර බඩල්ගම මහඔය පාලමෙන් 1988 සැප්තැම්බර් 4වැනිදා පහළට දමන ලදී. එම ඝාතනයේ චෝදනාව එල්ලවූයේ දංකොටුව පොලිස් පරික්ෂක ආනන්ද අල්විස්ටය. දෙවනුව ඝාතනයට ලක්වූයේ නන්දතිලක ගලප්පත්තිය. ඒ 1989 මැද භාගයේදීය. කෑගල්ල දිසා කමිටුව රඹුක්කනදී රැස්වූ අවස්ථාවකදී එය වැටලු ආරක්ෂක අංශ ඔවුන්ට යටත්වන ලෙස නියෝග කලද ඔහු යටත් නොවී සටන් කිරීම නිසා එහි සිටි 5 දෙනාම සමඟ ඝාතනයට ලක්විය. තෙවනුව ඝාතනයට ලක්වූයේ පී.බී විමලරත්න නොහොත් ට්‍රින්කෝ විමල්ය. ඒ 1989 සැප්තැම්බර් 12වැනිදා බදුල්ලේ සිට බසයකින් කොළඹට පැමිණීමේදී බණ්ඩාරවෙල පදිංචි ජවිපෙ හිටපු පූර්ණකාලීනයෙකුගේ ඔත්තුවක් අනුව ප්‍රා සංවිධානය වෙනුවෙන්  වාස් තිලකරත්න සහ රංජිත් පීරිස් මැදිහත්වීමෙන් කර්නල් බලල්ලගේ මෙහෙයවීමෙන් අවිස්සාවේල්ල සාලාව ආරක්ෂක ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. මේ කිසිවෙකු කුරිරු වධ බන්ධනවලට ලක්වූවද ජවිපෙ පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය නොකර ඝාතනයට ලක්විය.

ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරළිකරුවෝ සටන් කළේ ජීවත්වීම සඳහා පමණක් නොවේ. නිවහල් සහ නිදහස් මිනිසෙකු ලෙස ජීවත්වීම සඳහා කැරළි ගැසීමට ඔහුට බල කළේය. විටක අරගලයේ උණුසුම් අවස්ථාවේදී සටන්කාමී ජීවය පුරවාගෙන ඔවුහු ජනතාව අතරට ගියහ. තවත් විටක රුදුරු මර්ධනය ලේ ඉව කරන හෝරාවේදි අධිෂ්ඨානයද ධෛර්යයද රැගෙන ජනතාව සොයා ආවේය. කැරැල්ලේ මුල්භාගය එනම් 1986 සිට 1988 අවසාන භාගය දක්වා කැරළිකරුවන්ගේ ක්‍රියාදාමය ජීවිතයට ආදරය කරන්නටද ජීවිතය සහ බැදෙන්නට ජනයාට ඉගැන්වුයේය. එහෙත් ජනාධිපතිවරණය 1988 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබියදී 1988 අගෝස්තු පමණ වන විට සියල්ල උඩු යටිකුරු විය.

dharman03071604පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සභාවේ 1979/80 සඳහා තේරි පත්වූ ශිෂ්‍ය සභා නියෝජිතයින් සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව. රතු රවුමකින් ලකුණුකර සිටිනේනේ පේරාදෙණිය ශිෂ්‍ය සභාවේ එහි ලේකම් ඩී.එම් නන්දසේන නොහොත් ඩී.එම් ආනන්දය. ඉදිරිපෙළ වාඩිවී සිටින්නේ වමේ සිට එච්. ඒ ප්‍රේමවතී, ඒ.ඩබ්ලිව් සෝමවතී, උප සභාපති ඒ.ඒ සහබන්දු(විද්‍යා පීඨය), ධම්මික හිමි, ලේකම් ඩී.එම්. නන්දසේන නොහොත් ආනන්ද(කලා පීඨය), ජේෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය රංජිත් අමරසිංහ, උපකුලපති මහාචාර්ය බී. එල් පණ්ඩිතරත්න, සභාපති එම්.ඒ ධර්මවර්ධන(කලා පීඨය), පඤ්ඤාමවුලි හිමි, කණිෂ්ඨ භාණ්ඩාගාරික එම්.එම් රතනපාල(ඉංජිනේරු පීඨය), සීතා මැණිකේ, සහ එස් ජයසිංහ.

මෙරට නිල නොවන වධක කල්ලි ගණනාවක් 87 සිට 90 දක්වා කාලය තුළ රජයේ නිල නොවන ආශිර්වාදය යටතේ ක්‍රියාත්මක විය. ඒ අතර ප්‍රා, ස්‍රා, කලු බළල්ලු, කහ බළල්ලු, උකුස්සා, මකරා, ‍ගෝනුස්සා, ලේ මාපිල්ලු නම් වේ. අසූව දශකය අවසාන භාගය  වන විට එනම් 1988 මැද භාගය වන විට ජවිපෙ දෙවැනි කැරැල්ල දරුණු ලෙස මර්ධනයට ලක්වීම මතුවූ අතර අරගලය තුළ භාවිතා වූ බොහෝ ක්‍රියාමාර්ග නිසා ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍ය ජනතාවගෙන් හුදකලා වන්නට පටන් ගත්තේය.

dharman03071605ඩී.එම් ආනන්දගේ සමීපතම සටන් සගයෙකුවූ පේරාදෙණිය මහා ශිෂ්‍ය සභාවේ 1979/80 සභාපති එම්. ඒ ධර්මවර්ධන නොහොත් ධර්මවර්ධන මුණසිංහ(ජවිපෙ 2වැනි කැරළි සමයේදී මධ්‍යම කාරක සභිකයෙකි), ඩී.එම් ගේ සරසවි සමකාලිනයෙකුව සිට 1989 ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටියදී ඝාතනයට ලක්වූ තලාවේ නන්දසේන වික්‍රමආරච්චි, ඩී. එම් යටතේ තිබූ ජවිපෙ සංස්කෘතික අංශයේ කටයුතු කල මීගමුවේ සේනාරත්න ද සිල්වා සහ ඩී.එම් යටතේ තිබූ භික්ෂු අංශයේ කටයුතු කල වර්තමානයේ උපැවිදි වී බ්‍රිතාන්‍යයේ ජීවත්වන තිදරු පියෙකුවූ අරවින්ද නොහොත් එකල තඹරළුවේ ජිනානන්ද හිමි.

විජේවීර රටේ පවතින තත්ත්වය පිළිබඳව තොරතුරු උකහාගැනීම සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයක්ද 1986 සිට ක්‍රියාවට නඟා තිබිණි. ඒ පක්ෂයේ සංවිධාන හරහා ලැබෙන තොරතුරු වලට පරිබාහිර වශයෙනි. දේශපාලන මණ්ඩල සභිකයින්ගේ තොරතුරු මතම පමණක් ඔහු පදනම් නොවූ අතර සමස්ථ චිත්‍රය පිළිබඳව ගැඹුරු දැක්මක්ද විජේවීර සතුවිය. සන්නද්ධ අරගලය මගින් සමාජවාදය ගොඩනැගීමේදී ප්‍රචණ්ඩත්වය තිබිය යුත්තේ යම් මාත්‍රාවකින් පමණක් බවට විජේවීරගේ දැක්ම විය.

dharman03071606කොළඹ වෛද්‍ය පීඨයේ සිසු පද්මසිරි ත්‍රීමාවිතාරණගේ 1988 ඔක්තෝබර් 31 පැවති අවමගුල් පෙරහැරේ සටන්පාඨ කියමින් ගමන්ගන්නා දහස් සංඛ්‍යාත පිරිසෙන් කොටසක්. ත්‍රීමාගේ අවමඟුල් පෙරහැර සංවිධානය කල අදිසි නියමුවා වූයේද ජවිපෙ තරුණ සහ ශිෂ්‍ය අංශ භාරව කටයුතු කල ඩී.එම්. ආනන්දය.

දේශපාලන මණ්ඩලයට බාහිරව මෙවැනි බුද්ධි මණ්ඩල සාකච්ඡා පැවැත්වීම සඳහා බදුල්ල සහ කොළඹ ස්ථාන කිහිපයක්ම විජේවීර පරිහරණය කළේය. කොළඹ ස්ථානයක් වූයේ කොල්ලුපිටියේ සණස මන්දිරයේ කුලියට සිටි පෞද්ගලික සමාගමක කාමරයකය. බදුල්ලේ එය පැවැත්වූයේ බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල්වල කටයුතු කල වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ නිවාසයන්හිදිය. රෝහණ විජේවීරගේ පෞද්ගලික වෛද්‍ය කටයුතු 1984 සිට 1988 අගෝස්තු දක්වා භාරව සිටියේද  දන්ත වෛද්‍ය කුලතුංග මුදියන්සේලාගේ(කේ.එම්) වසන්ත බණ්ඩාරය. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ වසන්ත බණ්ඩාර 1975දී ජවිපෙට සම්බන්ධ වන්නේ 71 කැරළිකරුවෙකුවූ අනුරාධපුරයේ විපුලසේන රාජපක්ෂ හරහාය. පේරාදෙණියේ වීරසූරිය ඝාතනයට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ හේතුවෙන් 1976 නොවැම්බර් මස රිමාන්ඩ් බාරයේද සිටි වසන්ත පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය පීඨයට ඇතුල්වූයේ 1978දීය. පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සභාව ජවිපෙට බලය ලබාගැනීමට හැකිවන්නේ වෛද්‍ය සහ දන්ත පීඨයේ ශිෂ්‍ය නියෝජිතයින්ගේ ඡන්දයෙනි. එහිදී සිසු නයුවෙකු වශයෙන් ඉස්මතුවන වසන්ත 1983දී දන්ත වෛද්‍යවරයෙකු විය. ජවිපෙ 1983 ජුලි තහනමින් පසු පක්ෂයේ ඉල්ලීම මත 1984දී බණ්ඩාරවෙල රෝහලට ස්ථාන මාරුවක් ලබාගන්නා වෛද්‍ය වසන්ත පසුව දියතලාව රෝහලට මාරුවිය. දියතලාව ගුවන් හමුදා කඳවුරේද අර්ධකාලීන වෛද්‍යවරයෙක් ලෙස ඔහු සේවය කල අතර විජේවීර හල්දුම්මුල්ල හාල්ඇටතැන්න නිවසේ  සහ බණ්ඩාරවෙල නෙළුව ලෙව්ගොඩවත්තේද යන නිවෙස්වල පදිංචිව සිටියදී 1984 සිට 1988 අගෝස්තු දක්වා වෛද්‍ය වසන්ත සමඟ සමීප සබදතා පවත්වාගෙන ගියේය. බදුල්ල දිසා ලේකම් ලෙස මැගසින් බන්ධනාගාරයෙන් පළාආ පියසේන රාමනායක 1988 දෙසැම්බර් අවසානයේදී  පැමිණ තිබුණද විජේවීර සිටින තැන දැන නොසිටියේය.

dharman03071607විජේවීර සහ පවුලේ සාමාජිකයින් මුල්වරට නැවතී සිටි හල්දුම්මුල්ලේ වල්හපුතැන්නේ නිවස(ඉහළ වම), රෝහණ විජේවීරගේ පෞද්ගලික වෛද්‍ය කටයුතු 1984 සිට 1988 අගෝස්තු දක්වා භාරව සිටි දන්ත වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර(ඉහළ දකුණ), විජේවීර අවසන්වරට ජීවත්වූ සහ අත්අඩංගුවට පත්වූ උලපනේ සෙන් මේරිස් වතුයායේ නිවස ඉදිරිපිට වසර 17කට පසු ඡායාරූපයකට මුහුණදුන් ජවිපෙ 4වැනි නායක සෝමවංශ අමරසිංහ.

රටතුල 1988 අවසානයේ සිට 1989 මැද භාගය දක්වා ද්විත්ව ආණ්ඩුවක් නිර්මාණය වී තිබූණේය. එහෙත් ජවිපෙ පාලනය ඒ වන විට රෝහණ විජේවීරගෙන් ගිලිහී තිබිණි. විජේවීරට ඉතිරිව තිබුණේ බහුතර මතයට එකඟවී වැඩ කිරීම පමණි. අවසාන කාලයේදී ජවිපෙ බහුජන සංවිධානවල නායකයාවූ  ඩී.එම් ආනන්දගේ සහ ජවිපෙ සන්නද්ධ නායකයාවූ සමන් පියසිරි ප්‍රනාන්දුගේ විෂය පථය ජවිපෙ නායක රෝහණ විජේවීරගේ කාර්යභාරයටත් වඩා පුළුල් විය. රටපුරා ජවිපෙ බහුජන සංවිධාන බලය ඩී.එම් ආනන්දටද රටපුරා ජවිපෙ සන්නද්ධ බලය සමන් පියසිරි ප්‍රනාන්දු යටතේද විය. දේශපාලන මණ්ඩලය තුළ සමන් සහ ආනන්ද පිළිබඳව නායක විජේවීරගේ විරසකය මතුවූයේ 1988 අගෝස්තු මස සිටය.

රෝහණ විජේවීර මෙම බරපතල ගැටලු සියල්ල හොදින් අධ්‍යයනය කළේය. සතුරන්ගේ සහ පාවාදෙන්නන්ගේ හෙළිදරව් කිරීම් මත ජවිපෙ යම් තරම් හෙළිදරව් වෙමින් පවතී. දේශපාලන මණ්ඩලයේ ඇති බෙදීම් ඔඩුදුවා ගියහොත් එය සංවිධානය තුළ කණ්ඩායම්වාදය කරා ගමන් කරනු ලැබේ. එමෙන්ම සංවිධානයේ අභ්‍යන්තර අර්බුදයන් රාජ්‍ය මර්ධනයන් වේගවත් කරනු ඇත යන්නය.

dharman03071608ජවිපෙ තහනම් කල පාර්ලිමේන්තු මැතිවරණය පැවති 1989 පෙබරවාරි 15වැනිදා ජවිපෙ ඇදිරිනීතියද නොතකා ඡන්දය දැමීමට ගිය සිය ගණනක් ඝාතනය කල අතර මේ මාතරදී එසේ ඝාතනය කරන ලද ඡන්දදායකයෙකුගේ දේහය අසළ ඔහුගේ බිරිඳ සහ දියණිය හඬා වැලපෙන අයුරුය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුළු සුළු පක්ෂ කිහිපයක් සමඟ දේශප්‍රේමි එක්සත් පෙරමුණක් ගොඩනැගීම සඳහා විජේවිර 1988 ජුලි මස ප්‍රබල උත්සාහයක් අවංකව දැරුවේය. එයට හේතුව වූයේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් වසර අවසානයේ පැවතිය යුතු බැවිනි. ජවිපෙ නායක විජේවීරගේ ආකල්පය වූයේ පොදු එකඟත්වයකින් ශ්‍රිලනිප ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය දී ඔහු හෝ ඇය බලයට පත්කර තම ඉල්ලීම් දිනාගත යුතු බවය. එහෙත් ඒ පිළිබඳව දේශපාලන මණඩලය තුළ සාකච්ඡා කිරීමේදී ජයගත්තේ ඩී.එම් ආනන්ද සහ සමන් පියසිරි ප්‍රනාන්දු ඉදිරිපත්කල උපක්‍රමයක් ලෙස ඒ සඳහා ජවිපෙ සහභාගිවී ශ්‍රිලනිප ඇතුළු විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා පවත්වා එජාප ආණ්ඩුවෙන් කිසිදා ඉටු නොවන ඉල්ලීම් වූ ආණ්ඩුව ඉල්ලා අස්වීම, ඉන්දුලංකා ගිවිසුම අහෝසි කිරීම, පළාත් සභා විසුරුවා හැරීම වැනි ඉල්ලීම් ඇතුළත් වගන්ති 45ක් ඉදිරිපත් කර ඒවා ඉටුකල පසු භාරකාර ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පැවැත්වීය යුතු බවටවූ යෝජනාවය. ජවිපෙ ගොඩනඟා තිබූ සමාජ බලය බලපෑම් සහගත යොදාගෙන සාකච්ඡා අසාර්ථකවීමේ වගකීම ශ්‍රිලනිප වෙත පවරා සමාජ බලවේගයන් ඉදිරියේ ශ්‍රිලනිප තනිකර පහරදීමටද එජාපයේ  අගමැති ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පසු ජයගත්විට එජාපයම තවදුරටත් බලයේ සිටීම බැවින් ආණ්ඩු විරෝධී බලවේගයන් කළමණාකරණය කරගැනීමේ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන අතර එය ජාතික විමුක්ති අරගලයක් තුළින් සමාජවාදය දිනා ගැනීමට රාජ්‍ය බලය ලබාගැනීමේදී ජනග්‍රහණයට ඉවහල් වන බවද ආනන්ද සහ සමන් පියසිරි ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් බහුතරය අවධාරණය කළහ.

එම මතයට එරෙහිව විජේවීරගේ මතය සමඟ පෙනී සිටියේ පියදාස රණසිංහ, එච්.බී හේරත් සහ පී.බී විමලරත්න පමණි. සෝමවංශ අමරසිංහ මධ්‍යස්ථ මතයක සිටියේය. ආනන්ද සහ සමන් පියසිරි නියෝජනය කල මතවාදය අධිතක්සේරුව සහ අපරිණිතකම මත සිදුවූවක් බව ඉතිහාසය කියා පෑවේය. සුළුතර මතය නියෝජනය කල නායක විජේවීර ඇතුළු කණ්ඩායමට සිදුවූයේ බහුතර මතයට එකඟව ප්‍රායෝගිකව කටයුතු කිරීමය. ඒ වන විට ජවිපෙ පාලනය සමන් පියසිරි සහ ආනන්ද අතට පත්ව තිබූ අතර ඔවුන්ගේ මතයට එරෙහිව කටයුතු කලහොත් අභ්‍යන්තර මත ගැටුම අභියෝගයට ලක්වී සන්නද්ධ ගැටුමක් බවට පත්විය හැකිව තිබිණි. ගරිල්ලා උපායමාර්ගයකට නැඹුරුවීම සිය දෙවුර මත තබා කටයුතු කල සමන් සහ ආනන්ද එම උපායමාර්ගයන්හි වගකීම් සම්භාරයේ උරුමකරුවන් ලෙසද කටයුතු කළේය. ශිෂ්‍ය ව්‍යාපාරයේ ලත් අත්දැකීම්වලින් බොහෝදුරට පන්නරය වූ ඔවුහු දැඩි වේගයකින් සමාජයේ සෙසු පැතිකඩයන් නොසලකමින් සිය ඉලක්කයන් පමණක් සොයා පියාසරකල අය විය. ශ්‍රිලනිප ඇතුළු සාකච්ඡාවන් මෙහෙයවීමද ආනන්ද සියතට ගත් අතර ඒ වෙනුවෙන් සාකච්ඡාවලට සහභාගි කරවූයේ විජේවීර මතය නියෝජනය කල සෝමවංශ අමරසිංහ සහ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමේගමය. ඔවුනට සාකච්ඡාවන්ට යාමට පෙර කලයුතු දෑ සියල්ල අදාළ දිනයන්හිදී ආනන්ද පවසනු ලැබීය. ඒ අනුව ජවිපෙ සාකච්ඡාවන්ට ගියේ ෂයිලොක් මස් රාත්තලම ඉල්ලීමේ න්‍යායෙනි.

dharman03071609

ජවිපෙ මගින් 1989දී ඝාතනය කරනලද පොලිස් නිලධාරියෙකුට අවසන් ගෞරව දක්වන පොලිස් නිලධාරින් සහ ඥාතීන්  පිරිසක්.

විජේවීරගේ මතය දේශපාලන මණ්ඩලය හමුවේ 1988 අගෝස්තු මස පරාජයට පත්වීමෙන් පසු දේශපාලන මණ්ඩලය තුළ යම් බෙදීමක් ඇතිවී තිබිණි. ජනාධිපතිවරණයට 1989 නොවැම්බර් නාමයෝජනා කැදවනු ලැබීය. විජේවීරගේ යළිත් මතය වූයේ ශ්‍රිලනිප ප්‍රමුඛ විපක්ෂ අපේක්ෂිකා සිරිමා බණ්ඩාරනායක දිනවා ගොඩනැගී තිබෙන දේශපාලන ව්‍යාකූලභාවය වෙනස් කර එය උපායමාර්ගිකව පාවිච්චිකල යුතු බවය. ජනපතිවරණය අවසානයේ ප්‍රතිඵල අනුව රාජ්‍ය යන්ත්‍රය විසින් කැරැල්ල ගිල ගන්නා බැවින් සිහිබුද්ධියෙන් එයට මුහුණ දිය යුතු යැයි දේශපාලන මණ්ඩලය හමුවේ කරුණු දැක්වීම් කර ඇත. සිදුව තිබුණේ පක්ෂය තුළ නායකයා වශයෙන් විජේවීරට තිබූ බලය අහිමිවීමක් නොව ගිලිහීමකි. පක්ෂ තහනම යටතේ සැඟවි සිටීමට සිදුවීම නිසා විජේවිරට රටතුළ නිල තත්ත්වයක්ද නොවීය. වසර 1988 ජුලි තෙක් ජවිපෙ දේශපාලනය හැසිරිමේ බලය ජවිපෙට නාභිගතව තිබූ නමුදු ඉන් පසු එම බලය සන්නද්ධ සහ බහුජන ක්‍රියාමාර්ගයන් හරහා බිම් මට්ටමට යොමුවී තිබිණි. දේශපාලනය හැසිරිමේ බලය තිබුණේ සන්නද්ධ අංශයේ නායක සමන් පියසිරිට සහ බහුජන අංශයේ නායක ආනන්දට පමණි. හමුදා අත්අඩංගුවට පත්වූ විගස ආයුධ බිමතබා පසුබසින ලෙසට රෝහණ විජේවීර කිමටද මෙම තත්ත්වය බලපා තිබිණි.

ජනපතිවරණයෙන් පසු ජවිපෙ ඇද වැටීම බරපතළ ලෙස ආරම්භ වූයේ හමුදා සහ පොලිස් භටයින් ඉන් ඉවත් නොවීම නිසා එම පවුල්වල අය ඝාතනයට පත්කිරීමට 1989 ජුලි මස ජවිපෙ ගත් තීරණයක් සමඟය. ජවිපෙ අවසාන අරමුණ වූයේ ජාතික විමුක්ති ආණ්ඩුවක් ඇතිකර ගැනීමය. ඒ සඳහා අවසාන සංවිධානාත්මක ප්‍රහාරය 1989 ජුලි මසින් අරඹා 1989 ඔක්තෝබර් අවසන් වන විට මුළු රාජ්‍ය යන්ත්‍රයම අඩපණ කොට රාජ්‍ය බලය ලබාගත හැකි බව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ බහුතර නිගමනය විය. ආරක්ෂක හමුදාවන්ට අගෝස්තු සන්නද්ධ හමුදාවෙන් ඉවත් නොවුනහොත් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය ඝාතනය කරන බවට ජවිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කළේ 1989 ජුනි 2වන සතියේ පැවති රැස්වීමකදීය. ඒ වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ අරක්ගෙන සිටි කණ්ඩායමක් ජවිපෙ උපායමාර්ගික ගමන් මගෙන් පිටතට ඇදගෙන ගොස් තිබිණි.

dharman03071610ආරක්ෂක හමුදා මගින් 1988දී ඝාතනය කරන ලද ජවිපෙ කැරළිකරුවන් පිරිසක්.

ජවිපෙ සන්නද්ධ අංශය මගින් 1989 ජුලි 15වැනිදා නිවේදනයක් නිකුක් කරමින් ආරක්ෂක සේවාවලින් 1989 අගෝස්තු 20වැනිදාට පෙර සේවයෙන් ඉල්ලා අස්වන ලෙසට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නිවේදනයක් නිකුත් කරන ලදී. එය රටපුරා පොස්ටර් මගින් සහ පත්‍රිකා මගින් ප්‍රචාරය කරනු ලැබීය. එමෙන්ම රටපුරා බහුතර හමුදා පවුල්වලට පෞද්ගලිකව ලිපි මගින් ඒ පිළිබදව දැනුවත් කරන ලදි. එසේ ඉවත් නොවූහොත් ආරක්ෂක හමුදා පවුල්වල සාමාජිකයින්ට දඩුවම් කරන බවට පොස්ටර් පත්‍රිකා සහ ජවිපෙ රණහඩ ගුවන්විදුලියෙන් ප්‍රචාරය විය. මෙම වකවානුව වන විට වෙනත් විකල්පයක් ජවිපෙ සතුව නොවූ අතර එය අවසන් තුරුම්බුව බවට පත්වී තිබිණි. ආරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්න විසින් හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්නට ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය(ඔප්ස් කම්බයින්) පිහිටුවා එහි නායකත්වය 1989 අගෝස්තු 4වැනිදා ලබාදීමත් සමඟය. ‘අපේ එකෙකුට තොපේ 12ක්’ න්‍යාය යටතේ ආරක්ෂක හමුදා මෙහෙයුම් ජවිපෙට එරෙහිව ක්‍රියාත්මක විය.

ජවිපෙ පාලනය විජේවීරගෙන් ගිලිහිමට බලපෑ හේතු සාධකයක්වූ ජවිපෙ බහුජන සංවිධාන නායකයා වූ ඩී.එම් ආනන්ද කලක් බස්නාහිර සහ සබරගමු කලාපයේ දේශපාලන ලේකම්වරයා විය. අමල්, අධිකාරි නොහොත් අරුණ ලෙසද හැදින්විණි. ජවිපෙ නායකයන්වූ විජේවීර සහ ගමනායකට පසු දේශපාලන මණ්ඩලයේ ප්‍රබලතම තෙවැනියා බවටද පත්විය. අවසාන භාගයේදී ආනන්ද ශිෂ්‍ය, තරුණ, කාන්තා, භික්ෂු යන අංශවලට මෙන්ම සංස්කෘතික අංශයේද නායකයා විය. ඩී.එම් ආනන්ද උපන්නේ 1957 වාරියපොල මිනුවන්ගැටේය. ඔහුගේ නම දිසානායක මුදියන්සෙලාගේ නන්දසේනය. එනම් ඩී.එම් නන්දසේනය. ආනන්ද යනු ජවිපෙන් ඔහුට දුන් නමය. පියා වෘත්තියෙන් හේන් ගොවියෙකුවූ(1988දී ආනන්දගේ පියා මිය ගියේය) අතර මව ගෘහණියකි. ආනන්දට කණිටු සොහොයුරෙක් සහ සොහොයුරියක්ද සිටියේය. පවුලේ දැඩි ආර්ථික දුෂ්කරතාවයන් සහ දෙමාපියන්ගේ වියවුල් හේතුවෙන් කුඩාකල ආනන්ද හැදී වැඩුනේ මිත්තණිය ලඟය. පසුව රිදිබැඳිඇල්ල පන්සලේදී මහණ වීමෙන් පසු ආනන්ද වාරියපොල නාරද පියනන්ද හිමියන් බවට පත්විය. පිරිවෙන් අධ්‍යාපනය ලැබූ නාරද හිමියෝ අපොස උසස් පෙළ විභාගයෙන් සමත්ව පේරාදෙණිය සරසවියේ කලා අංශයට උපාධි අපේක්ෂකයෙකු වශයෙන් ඇතුළත්වූයේ 1977 ඔක්තෝබර් 17වැනිදාය.

නාරද හිමියෝ පේරාදෙණිය සරසවියට ඇතුළුවන විට එහි මහා ශිෂ්‍ය සභාවේ සභාපති වූයේ අනුරාධපුර මහවිලච්චියේ චන්ද්‍රපාලය. ලේකම් කෝට්ටේ ශාන්ත බණ්ඩාරය, භාණ්ඩාගාරික පසුකළෙක දකුණු පලාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයෙකුවූ ජයන්ත පතිරණය. පේරාදෙණිය සරසවියේ 1977දී ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවූයේ මාතලේ කුඹියන්ගොඩ ලලිත් සේනාරත්නය. එවකට පේරාදෙණිය සරසවිය භාරව සිටි ජවිපෙ සංවිධායකවරයා සහ ජවිපෙ නුවර දිසා ලේකම් වූයේ පුස්සැල්ලාවේ පුංචි බණ්ඩා(පී.බී) දිසානායකය. එකල ජවිපෙ නුවර කලාපයට කුරුණෑගල, නුවරඑළිය, නුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන් අයත්ව තිබිණි. නුවර දිසාලේකම්වූ පී.බී 71 කැරළිකරුවෙකුද වූ අතර පසුව 1983 ජවිපෙ පක්ෂ තහනමින් පසු ජවිපෙන් ඉවත් විය. සරසවියට පැමිණීමේදී ජවිපෙ සබදතාවයක් නොතිබුණු නාරද හිමියන්ට(පසුව ඩී.එම්. ආනන්ද) ජවිපෙ කොක්ක ගසන්නේ ශාන්ත බණ්ඩාරය. ප්‍රථමවරට ආනන්ද ජවිපෙ පන්ති වලට සහභාගි වන්නේ 1978 මාර්තු මස පේරාදෙණි සරසවි සංඝාරාමයේදීය. ජවිපෙ දෙසතියක ජාතික අධ්‍යාපනික  කඳවුරක් 1978 ජුනි මස හාරිස්පත්තුවේදී පැවැත්වෙන අතර ආනන්ද එයට එක්වේ. එම කඳවුර සඳහා දේශන කල අය අතර ශාන්ත බණ්ඩාර, වාස් තිලකරත්න, දයා වන්නිආරච්චි ඇතුළු කිහිපදෙනෙක් වූ අතර අවසාන දින දේශනයට පැමිණියේ රෝහණ විජේවීරය. සරසවියේ ප්‍රථම වසර සමත්වීමෙන් පසු ජවිපෙට වඩාත් ක්‍රියාකාරි මෙහෙයක් ඉටුකිරීම සඳහා පක්ෂයේ ඉල්ලීම මත වාරියපොල නාරද හිමියෝ උපැවිදිවී ඩී.එම්. නන්දසේන බවට පත්වේ. ජවිපෙ ඔහු නම්  කරන්නේ ඩී.එම් ආනන්ද නමිනි.

ඩී.එම් ආනන්දගේ පේරාදෙණිය සරසවියේ සමකාලීනයින්වූ කලා පීඨයේ එම්. ඒ ධර්මවර්ධන නොහොත් ධර්මවර්ධන මුණසිංහ, අරුක්ගොඩ විතානගේ සෝමාවතී, පී ආරියසේන, දිසානායක රාළලාගේ සීතා මැණිකේ ඇතුළු කණ්ඩායමක් පළමු වසරේදීම ආනන්ද සමගින් ජවිපෙට ක්‍රියාකාරීව එක්වෙති. ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැගීම සඳහා 1978 සිට අභියෝගවලට මුහුණ දෙමින් ඔවුහු ඇතුළු පිරිසක් කටයුතු කරති. එහි ප්‍රතිඵලයක් ලෙස පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සභාවේ බලය ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය  සංගමය   සතු කරගනී. ධර්මවර්ධන මුණසිංහ එහි සභාපතිවරයා වන අතර ඩී.එම් ආනන්ද එහි ලේකම්වරයාය. මෙම වකවානුවේ ආනන්ද පේරාදෙණිය ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවු අතර ජයවර්ධනපුර සරසවියේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූයේ එච්.බී  හේරත්ය. වසර 1979/80 වන විට කැලණිය, කොළඹ, මොරටුව, පේරාදෙණිය සහ ජයවර්ධනපුර යන සරසවි 5 බලය ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් අත්පත්කරගත් අතර ඒ හරහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේද(අන්තරේ) බලය ජවිපෙ ස්ථාපිත කරගන්නා ලදී.  කැඳවුම්කරු බවට ජ’පුර සරසවියේ එච්.බි හේරත් පත්විය. අන්තරේ කැඳවුම්කරු බවට ආනන්ද පත්වූයේ 1982 ජනවාරිය. එජාප ආණ්ඩුව ගෙනආ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව දැවැන්ත අරගලයක් කර එය පරාජය කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සමත්වූ අතර 1982 ජනවාරි 20 ගාලුමෝදර පාර්ලිමේන්තු භූමිය වටකරමින් පැවති දැවැන්ත උද්ඝෝෂණය ඒ අතරින් ප්‍රධානය. සරසවියේ අවසාන විභාගයට 1981 අගෝස්තු පෙනී සිටි ආනන්ද පසුව උපාධිධාරියෙකු වුවද තෝරාගත්තේ ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයයි.

ආනන්දගේ පේරාදෙණිය සරසවියේ සමකාලීනයන්වූ ජවිපෙ ක්‍රියාකාරිකයින් වන ධර්මවර්ධන මුණසිංහ පසුව ජවිපෙ 2වැනි කැරළි සමයේදී අජන්ත නමින් මධ්‍යම කාරක සභිකයෙකු ලෙස කලක් ගම්පහ සහ දිස්ත්‍රික්ක කිහිපයක දිසා ලේකම් විය. හම්බන්තොට වලස්මුල්ල වරාපිටිය විදුහලෙන් 1972දී අපොස සාමාන්‍යපෙල සමත්වූ ධර්මවර්ධන මුණසිංහ බද්දේගම රතනසාර පිරිවෙනෙන් සහ වරාපිටිය විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබිමෙන් පසු පේරාදෙණිය සරසවියට ඇතුළ්වූහ. අලව්ව හුලංබුලුවේ සෝමාවතී පසුව ගුරුවරියක්වූ අතර ජවිපෙ ක්‍රියාකාරියෙකුවූ ජයරත්න සමඟ විවාහ විය. එක්දරු මවක්වූ ඇය 2013දී පෞද්ගලික ප්‍රශ්නයක් මත සියදිවි නසා ගත්තාය. සිතා මැණිකේ විවාහ වූයේ ලලිත් සේනාරත්න සමඟය. ආනන්දගේ සමීපතමයෙකුවූ පේරාදෙණිය සරසවියේ 1977 කණ්ඩායමේ ආදි විද්‍යාර්ථියෙකුවූ නන්දසේන වික්‍රමආරච්චි පසුව ගුරුවරයෙකුවූ අතර ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටියදී 1989දී ඝාතනයට ලක්විය.

ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස 1983 පත්වූ ඩී.එම් ආනන්ද 1984 අවසානයේදී දේශපාලන මණ්ඩල සභිකයෙකුද විය. උපතිස්ස ගමනායක ජවිපෙ පක්ෂ තහනමින් පසු 1989 නොවැම්බර් දක්වා නිල වශයෙන් ප්‍රධාන ලේකම්වූ අතර අභ්‍යන්තර ලේකම්වරයා වූයේ පියදාස රණසිංහය. 1989 පෙබරවාරි සිට ජවිපෙ අභ්‍යන්තර ලේකම්වරයා ලෙසද ඩී.එම්. ආනන්ද පත්විය. ආනන්ද සූර සංවිධාන ශක්තියෙන් හෙබිය. දක්ෂ කථිකයෙකි. පෞද්ගලිකත්වය වෙනුවට පොදු අරමුණක් වෙනුවෙන් විශාල කැපකිරීමක් කල අයෙකි. ඕනෑම අභියෝගයක් සාර්ථකව ඉටුකිරීමට සමත් නායකයෙකි. එහෙත් අවසාන කාලයේ සිය බලය අයුතු ලෙස පරිහරණය කල බවට චෝදනා ලැබූවෙකි. එමෙන්ම අවිවාහකයෙකුවු ඔහු පෙම්වතියන් කිහිපදෙනෙකුද සමීපව ඇසුරු කල බවටද ඉන් ගම්පහ තරුණියක් ගැබිණි මවක් කල බවටද චෝදනා විය. තවත් සමීපතම පෙම්වතියක් වාරියපොල සිටි අතර ඇය පසුකාලයේ ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනියක්ද වූවාය.

ඩී.එම් ආනන්ද යටතේ ශිෂ්‍ය අංශයේ සමාජවාදී ශිෂ්‍ය සංගමය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද, දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයද, ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයද තරුණ සහ කාන්තා අංශවන සමාජවාදී තරුණ සංගමය සහ සමාජවාදී කාන්තා සංගමයද භික්ෂු අංශය යටතේ සමාජවාදී භික්ෂූ සංගමය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයද අයත් විය. සංස්කෘතික අංශය යටතේ මාධ්‍ය සම්බන්ධීකරණය, විකල්ප මාධ්‍යයන් ප්‍රචලිත කිරීම, ප්‍රකාශන එළි දැකිවීමද සිදුවූයේ ආනන්ද යටතේය.ඩී.එම් යටතේ සංස්කෘතික සහ කලා අංශයේ සම්බන්ධීකරණය සිදුකළේ මහානාම විසිනි. පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ ප්‍රේමානන්ද හිමිව සිට උපැවිදිවූ මහානාම අවසානයේ බිල්ලෙකු බවට පත්විය. සීදුවේ නිවසේ සිය පෙම්වතිය සමඟ සිටියදී 1990 ජනවාරි මස ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වූ මහානාම පසුව ඝාතනයට පත්විය. ජවිපෙ සංස්කෘතික අංශයේ ක්‍රියාකාරීන් අතර හලාවතදී 1952 ජනවාරි 3වැනිදා උපන් මීගමුවේ පදිංචි දින ඇදුරගේ සේනාරත්න ද සිල්වා ඇතුළු කිහිප දෙනෙක්ම ඉදිරියෙන්ම විය. ආනන්ද ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ නිල සහ නිල නොවන නිලධාරීන් වූ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරි ආදීන් සමඟද සබඳතාවක් පවත්වා ගෙන ගියේය. ජනාධිපති ප්‍රේමදාස සමඟද ජවිපෙ වෙනුවෙන් ඩී.එම්. ආනන්ද වරෙක සුචරිතයට ගොස් සාකච්ඡා කළේය.

ඩී.එම් ආනන්ද 1989 ඔක්තෝබර් 28වැනිදා රත්නපුරට නොදුරු හමුදා මුරපොලකදී අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහණ විජේවීර හෝ උපතිස්ස ගමනායක හෝ දේශපාලන මණ්ඩලයේ කිසිදු සභිකයෙකු පාවාදුන් බවට විවිධාකාර චෝදනා පැවතියද එහි පිළිගත හැකි සත්‍යතාවයක් නොමැත. මත්තේගොඩ සහ කොළඹ නීති පීඨ ආරක්ෂක හමුදා කඳවුරුවල රඳවාගෙන සිටි ඩී.එම් ආනන්ද 1989 නොවැම්බර් 15වැනිදා ඝාතනයට ලක්විය.

ජවිපෙ පාලනය විජේවීරගෙන් ගිලිහිමට බලපෑ තවත් හේතු සාධකයක්වූ ජවිපෙ සන්නද්ධ නායකයාවූ සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු හොරණ පොලිස් වසමේ පෝරුවදණ්ඩේ පදිංචිකරුවෙකි. ජවිපෙ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් එහි සන්නද්ධ අංශයවු දේශප්‍රේමී ජනතා  ව්‍යාපාරයේ අණදෙන නිලධාරියා ඔහුය. ඔහු කිර්ති විජේබාහු, කබ්රාල්, මෙන්ඩිස් අංකල්, මහින්ද, බාප්පා, ධම්මික සහ ජනක යනුවෙන්ද හැදින්විණි. වීජේවීර, ගමනායක සහ ඩී.එම් ආනන්දගෙන් පසු ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ සිව්වන ප්‍රබලයාවූයේ ඔහුය. සමන්ගේ වැඩිමහල් සොහොයුරිය විවාහවී සිටි අතර මව සහ බාල නැගණිය සමඟ කලක් මොරටුවේ සහ ගම්පහ ගනේමුල්ලේද පදිංචිව සිටියේය. උස අඩි 5 අගල් 2ක් වූ ඔහු උපත ලැබුවේ 1958 මාර්තු 23වැනිදාය. පක්ෂය 1983 ජුලි තහනමින් පසු ජවිපෙ ශිෂ්‍ය අංශය නැවත නඟා සිටුවීමට සමන් පියසිරිද ක්‍රියාකාරිකව හවුල් වූයේය.  කැළණි සරසවියේ උපාධිධාරියෙකු වූ සමන් පියසිරි සරසවි ඉතිහාසයේ දෙවන ස්ථානයට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් සිසුවෙකි.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉතාම කෙටි කලක් තුළ ආකර්ෂණීය සහ ජව සම්පන්න සන්නද්ධ අංශයක් බවට පරිවර්ථනය කළේ සමන් පියසිරිගේ නායකත්වයෙනි. සන්නද්ධ පුහුණුව ලබාදීම සඳහා අවි පුහුණු කඳවුරු 50කට ආසන්න සංඛ්‍යාවක් රටේ සිංහරාජය, නකල්ස්, හම්බන්තොට, රත්නපුර, අවිස්සාවේල්ල, නමුණුකුල ඇතුළු ස්ථාන ගණනාවක පවත්වාගෙන ගියේය. සන්නද්ධ අංශයේ පුහුණුව සහ ප්‍රහාර සඳහාද ඔත්තු ලබාදීම සදහාද හමුදා සේවය අතහැර පැමිණි සහ පළාගොස් සිටි අය පමණක් නොව සේවයේ යෙදී සිටි 300කට ආසන්න පිරිසක් ජවිපෙ සමඟ දෙවැනි කැරැල්ලේදී එක්වී තිබිණි. ජවිපෙ 2වැනි නායකයා බවට විජේවීර ඝාතනයෙන් පසුව පත්වූ සමන් නාවලදී 1989 දෙසැම්බර් 27වැනිදා ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වූ අතර  1989 දෙසැම්බර් 29වැනිදා රාත්‍රී ඝාතනයට ලක්විය. සමන් පියසිරි ප්‍රනාන්දු සියළු වධවේදනාවන්ට ලක්වූවද කිසිදු තොරතුරක් ඔහු අනාවරණය නොකළේය. සමන් පියසිරි අත්අඩංගුවට ගැනීමේදි ඔහුගේ පෙම්වතියවූ ජවිපෙ හිටපු නායකයෙකුවූ දයා වන්නිආරච්චිගේ නැගණිය වන ඉන්ද්‍රානි, සමන්ගේ මව සහ සමන්ගේ නැගණිය රංජනීද එම නිවසේදීම අත්අඩංගුවට ගන්නා ලදී.

කැරැල්ලේ අවසාන කාලයේ එනම් 1989දී සැප්තැම්බර් වන විට ඩී.එම් ආනන්ද සහ සමන් පියසිරි අතරද උපාය උපක්‍රමයන් පිළිබඳව විරසකයක් හටගෙන තිබූ අතර ඔවුන්ගේ ඉහළ මට්ටමේ සමීපතම ක්‍රියාකාරිකයින් අතර පවා එය මතුවී තිබිණි. අවසානයේදී සිදුවූයේ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර පමණක් නොව දේශපාලන මණ්ඩලයේ 13දෙනාගෙන් 12 දෙනෙක් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් සහ හිතවතුන් 60,000කට ආසන්න ප්‍රමාණයක් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීය. ජවිපෙ බිඳී විසිර ගියේය. කොටසක් බන්ධනාගාරගත විය, පිරිසක් වනගත විය. එලියේ හැංගීද කොටසක් සිටියේය. පිරිසක් විදේශගතවිය.

ජවිපෙ 2වැනි කැරැල්ල පරාජය කිරීමට බලපෑ එකම සහ ප්‍රධාන සාධකය ජවිපෙ පාලනය රෝහණ විජේවීර අතින් ගිලිහීමයාම නොවූවද එය එසේ නොවූවේනම් ඒවන විට අත්අඩංගුවට ගෙන සිටි 10,000කට අධික සැකකරුවන්ට මරණය වෙනුවට 1971දී මෙන් පුනරුත්ථාපන කඳවුරු උරුමවීමටද ඉතිහාසය වෙනස් ආකාරයකට ලියැවෙන්නටද ඉඩ තිබිණි.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]) (The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384)

 

One Response to “ජවිපෙ පාලනය විජේවීරගෙන් ගිලිහෙයි”

  1. sarathk Says:

    ධර්මන්, ඩී.එම්. ආනන්ද පේරාදෙණියේ සිටි යුගයේ දැනට ජවිපෙ ලේකම් වන ටිල්වින් සිල්වා ද විය. විශ්වවිද්‍යාලය තුල ටිල්වින් ගේ ජවිපෙ ක්‍රියාකාරිත්වය එකල ශිෂ්‍යයන් වූ අපට තරමක හිරිහැරයක් විය. ඩී.එම්. ආනන්ද එවන්නෙකු නොවිය. අද ජවිපෙ ප්‍රබලයෙකු වන ටිල්වින් ගේ භූමිකාව ගැන ඔබ සතු දැනුම කෙසේදැයි දැනගනු කැමැත්තෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress