කඳන් තුවක්කු
Posted on July 3rd, 2016

වෛද් රුවන් එම් ජයතුංග

මම ග්‍රාමීය ප්‍රදේශ වල රෝහල් වල සේවය කල කාලයේදී කඳන් තුවක්කු හෙවත් ට්‍රැප් ගන් නිසා තුවාල ලැබූ බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කලෙමි. කඳන් තුවක්කු බඳින්නේ සතුන් දඩයම් කිරීමටය​.  මුවා, ගෝනා, ඌරා යනාදී සතුන් දඩයම් කර ගැනීමට විවිධ වර්ග වල කඳන් තුවක්කු තිබේ. මෙම තුවක්කු වලට යකඩ බට  යොදා ගන්නා අතර අහස් කූරු වෙඩි බෙහෙත්  (සමහරක් විට ගිණිකූරු පෙට්ටි දහයක පමණ ගිණිකූරු හිස් සූරා වෙඩි බෙහෙත් එකතු කරනු ලැබේ) සහ යකඩ ඇණ කැබලි යොදා වෙඩිල්ල සකස් කරයි. ඉන්පසු සතුන් යන මාර්ගයක මේ කඳන් තුවක්කුව සකසා තබයි.

කඳන් තුවක්කු නිසා මෙම පලාත් වල මිනිසුන් ආබාධිත වී තිබේ. එසේම සමහරු මිය ගොස් ඇත​. කඳන් බැඳීම නිසා සිදුවුන පාද අහිමිවීම් හා මරණ සංඛ්‍යාව යුද්ධය නිසා උතුරු නැගෙනහිර ආබාධිතයන් බවට පත්වීම්වලට මුහුණ දුන් අයට වඩා වැඩි බව වාර්තා වී තිබේ.

කඳන් තුවක්කුවක් පත්තු වීම නිසා දණහිස තුවාල වූ ගොවියෙකුට මම මාතලේ රෝහලේදී ප්‍රතිකාර කලෙමි. තුවක්කුවේ තිබූ සියුම් යකඩ කෑලි ඔහුගේ අස්ථි තුලට කාවැදී තිබීම නිසා වරින් වර ඔහු කකුලේ අස්ථි ඇටමිදුළු ආසාදනය වන ඔස්ටියෝමයලයිටිස් තත්වයෙන් පෙළුනේය​. මේ නිසා ඔහු ජීවිත කාලයටම ආබාධිතයෙක් විය​.

weapon (1)

තවත් ගොවියෙකු කඳන් තුවක්කුවකට ගොදුරු වන ලද්දේ ඔහුගේ හරක් සොයා කැලෑ වැදීමෙනි. වෙඩි පහර ඔහුගේ දණහිස කුඩු කරගෙන ගොස් තිබුනි. මෙම පුද්ගලයාගේ ජීවිතය බේර ගැනීම සඳහා ඔහුගේ කකුල දණහිසෙන් ඉහලින් කපා දැමීමට සිදු විය​. තවත් වරෙක කඳන් තුවක්කුවක් පත්තු වීම නිසා තුවාල ලබා තිබුනේ පාසල් දරුවෙකි. ඔහු වසරකට ආසන්න කාලයක් රෝහල් ගතවී ප්‍රතිකාර ලැබුවේය​. මේ තුවාල හේතුවෙන් ඔහුගේ අධ්‍යාපනයද අඩාල විය.

ග්‍රාමීය ප්‍රදේශ වල  සේවය කල කාලයේදී අප සමහරක් විට කැලෑ ප්‍රදේශ වල අැවිදීමට ගියෙමු. ඒ යන විට රිටක් අතින් ගෙන මාර්ගය පාදාගෙන යාමට අප පුරුදුව සිටියෙමු. ඒ මන්ද යත් කඳන් තුවක්කු තිබුනේ නම් ඊට ගොදුරු නොවීම සඳහාය​.

වරක් මම නෙළුවේ පවත්වන ලද කඳවුරක සෞඛ්‍යය සේවයට ගියෙමි. නෙළුවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කඳවුරට පැමිණි හමුදා නිලධාරීන් සාදරයෙන් පිලිගෙන ඔහු විසින් දඩයම් කරන ලද වල් ඌරෙකුගේ ගාතයක් රාත්‍රී ආහාර සඳහා දුන්නේය​. ඌරු- කණ් මහත්තයා ලෙස හඳුන්වනු ලැබූ මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දක්‍ෂ දඩයම්කරුවෙකු විය​. පසුකාලයක ඔහු දඩයමේ යද්දී ගෝනෙකුට සකස් කරන ලද කඳන් තුවක්කුවක් පත්තු වී මරණයට  පත් වූ බව අපට ආරංචි විය​.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress