නොතේරෙන නිසාම අසමි…..
Posted on July 5th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

පලාත් පාලන මැතිවරණය 2017 සිංහල අවුරුද්දට පෙර පවත්වන බව ඇමති ෆයිසර් මුස්තාපා අවසානයේදී ස්ථිරවම ප්‍රකාශ කලේය. ඒ දිනවලම මහින්ද රාජපක්ෂ සමග අලුත් බලවේගයක් ගොඩනැගීම ඌව පලාතෙන් ආරම්භ කරන ලදී. ඇත්ත වශයෙන්ම මේ මුලු කාලය පුරා රාජපක්ෂ පිල අකර්මන්‍යව සිටියේ නැත. ඔවුහු දිගින් දිගටම තම ප්‍රතිරූපය ගොඩනගා ගැන්මෙහි යෙදී සිටියහ.

මේ අතර නව රජය ඉදිරිපත් කල අය වැයේ සිටම මුලු රට පුරා අවුල් ජාලාවක් නැගෙන්නට පටන් ගත්තේද ඉහත සඳහන් කල වැඩපිලිවෙලවල බලපෑම් ජනතාවටද දැනුන නිසා විය යුතුය. ඒ අතර අගමැති ඇතුලු සමහර ඇමතිවරුන්ගේ දුරදිග නොබලා කරන ක්‍රියාවන්ද මේ තත්වය තීව්‍ර කලේය. යහපාලන රජයේ සම කොටස් කරුවන් වූ එක්සත් ජාතික පක්ෂයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙෙත්‍රී පිලද සමව නියෝජනය වන සමහර ස්ථානවල ගැටුම් පැහැදිලිව දක්නට තිබිනි. ධීවර ඇමති මහින්ද අමරවීර සහ නියෝජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි අතර ඇතිවූ ගැටුම මෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ පාලිත තෙවරප්පෙරුම සහ මහින්ද සමරසිංහ අතර ඇති වූ ගැටුමද ඉතා විවෘතව ජනතාව ඉදිරියේ රඟ දැක්වුනු සිද්ධීන්ය.

මනාප ඡන්ද 5268 ක් පමනක් ලැබුන, තමා ගැන අධි තක්සේරුවෙන් සිතන උද්ධච්ච මිනිසෙකු වූ සරත් ෆොන්සේකාට ඇමති ධුරයක්ද පිරිනමා පාර්ලිමේන්තුවට රැගෙන ඒමේදී, ඇමති විජේදාස රාජපක්ෂට පසුබාන්නට සිදුවූයේ ඊට පෙර සිටම ඔවුන් දෙදෙනා අතර පැවති මත ගැටුම් පිලිබඳව දැන දැනම එජාප නායකයන් දැක්වූ අන්ධ භාවයෙන් යුතු ප්‍රතිපත්තිය නිසා විය යුතුය. ඉන්පසු පාර්ලිමේන්තුවේදීද වරින් වර හෙලි වූ මෙම ගැටුම් අදටද කෙලවරක් නැත. මෙවර මනාප ඡන්ද ඉතා සුලු ගණනකින් ආසනය අහිමි වූ රෝසි සේනානායකට අපේක්ෂා භංගත්වයට පත්වීමට සිදුවූයේද සරත් ෆොන්සේකාගේ ආගමනය හේතුවෙනි.

කිසිදා නොවෙනස්ව එක්සත් ජාතික පක්ෂයට දරදිය ඇද්දා වූද, දින 100 රජයේදී තම ඇමතිකමේ කටයුතු හැකි උපරිමයෙන් කලා වූද, විනයක් ඇතිව හැසිරෙන ඇයට මෙය කෙසේ බලපෑවාදැයි නොදැනුනේ අදටත් ඇය විනය ගරුකව තම නායකයාගේ තීරණයට හිස නමා සිටින බව පෙනෙන්නට ඇති බැවිනි. නමුත් පිටතට පෙනෙන්නට තිබෙන දර්ශනය නරඹන අපට තිරයෙන් පිටුපස සිදුවන දේ ගැන හරියටම කිව නොහැක.

ඊලඟට සමහර විවෘත කිරීම්වලදී නිල් පැහැ කොඩි ඉවත්කර කොල පැහැ කොඩි පමනක් දක්නට ලැබීමද, රාජපක්ෂ රජය යටතේ සිදුකල යම් කර්තව්‍යයන් තමන්ගේ නමින් විවෘත කිරීමද දක්නට ලැබුන අතර අද යහපාලනයට එක්ව සිටියද, එදා රාජපක්ෂ රජයේ කොටස් කරුවන් වූ ඇමතිවරුන්ගේ සිත් මේවායින් වේදනාවට පත් නොවන්නේ යයි කාට කිව හැකිද? නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයා හෝ ඩිලාන් පෙරේරා ඇමතිවරයා තම මතයන් යම් ප්‍රමානයකට හෙලිදරව් කලත් ඔවුන්ගේ ක්‍රියාවන් විවේචනය කරන පිරිසක් එජාප සහ ශ්‍රීලනිප මෙෙත්‍රී පිල යන දෙපාර්ශ්වයේම සිටිති.

ඒ අතර වත්මන් රජය බලයට ගෙන ඒමට සහය දැක්වූ කලාකරුවන් රැසක් මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ දී ප්‍රදර්ශනය කල විරෝධයද සැලකිය යුතුය. මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ පාලනයට පක්ෂපාතී අය උපහාසයෙන් කතා කලද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන් නිවැරදි යැයි දකින පාර්ශ්වය තෝරා ගැනීම තම අයිතියක් වන අතර තම හැඟීම් මෙසේ අවංකව ප්‍රකාශ කිරීම ද අගය කල යුත්තකි. වරදක් වෙතොත් වන්නේ උගුරට හොරා බෙහෙත් කන්නට යන්නේ නම්ය. එදා කුරුණෑගලදී ඔවුන්ට කල පහර දීම නාමල් රාජපක්ෂගේ නිල් බලකාය පිට පැවරුනත් ඒ සිද්ධියේ ප්‍රධාන කොටස්කරුවකු වූ කමල් ඉන්දික කෝරලගේට හිරියාල ශ්‍රීලනිප ආසන සංවිධායක තනතුර පිරිනැමීම තුල එම සිද්ධිය සිතා මතා සැලසුම් කල එකක්දෝ යන සැකය උපදී.මන්ද එවකට හිරියාලේ ආසන සංවිධායකව සිටි සාලින්ද දිසානායක මෙම පහර දීමට සහභාගි නොවූ අතර ඔහුව සංවිධායක ධුරයෙන් නෙරපා හැරීමට ජනාධිපති සහ වත්මන් ශ්‍රීලනිප මහ ලේකම්වරයා දෙවරක් නොසිතූ නිසාය. කලාකරුවන් මෙන්ම ඔහුද යම් වරදක ගොදුරක් වූයේය.

සෑම දිනකම ප්‍රවෘත්ති විකාශනයන් ඔස්සේ ප්‍රචාරය වන විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් කැඳවනු ලබන මාධ්‍ය සාකච්ඡාවන්හි නම් අඩුවක් නොමැත. මේවා තුල අනිකුත් පාර්ශ්වයන්ගේ අරමුණු පැහැදිලි මුත් ශ්‍රීලනිප යේ කතන්දරය නම් තරමක් වෙනස්ය.

මෙෙත්‍රී පිලට සහය දක්වන අය නිතරම මතුරන මන්තරය නම් ‘ශ්‍රී ලනිප ය කඩන්න එපා’ යන්නයි. ඔවුන් මේ ඉල්ලීම කරනුයේ මහින්ද පිලෙනි. විසුරුවා හරින ලද පලාත් පාලන ආයතන නියේජිතයන් පිරිසක්ද මේ ඉල්ලීම කරන ගොඩට අලුතින් එක්වූයේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීමේ කාලය ස්ථිරව එලඹීමේ සලකුණු ඇති හෙයිනි. ශ්‍රීලනිප ය කඩන්නට එපා යයි පවසන, මෙෙත්‍රී පිලට පක්ෂපාතී වන මේ පිරිස නවතම තත්වය ගැන බැසිල් රාජපක්ෂට බලවත් සේ දොස් නගති.

මේ දේශපාලන අවුල් වියවුල් තුල ඡන්දදායකයාට ලිහාගත නොහැකි ගැටලුව ලෙස අප දැකිය යුත්තේ මේ ශ්‍රීලනිප ය කැඩීමේ පුවතයි. මේ භේදවීම තුල සම්පූර්ණ වරද පැටවෙන්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලගේ කර මතටය.

2014 නොවැම්බරයේදී සිදුවූ සිද්ධියේ ස්වභාවය මේ චෝදනා කරන පිරිසට නොවැටහීම තදබල ගැටලුවකි. 2014 දී මේ අයුරින්ම සුලු පක්ෂ නියෝජනය කරමින් රජය හා සන්ධානගතව සිටි චම්පික රණවක හා රාජිත සේනාරත්නත්, රජයේ නියෝජ්‍ය ඇමතිවරයකුව සිටි දුමින්ද දිසානායකත්, ජනපතිවරණ සටනට මහින්ද රාජපක්ෂට එරෙහිව එජාපය හා එක්ව පිටියට බැසි, එවකට ශ්‍රීලනිප මහ ලේකම්වරයා වූ මෙෙත්‍රීපාල සිරිසේනට සහය දුන්හ. රාජපක්ෂ පාලනය පිටුදැක තම පාලනය යලි ස්ථාපිත කරනු පිනිස වූ එක්සත් ජාතික පක්ෂයේ සිහිනය සැබෑ කරගැන්මට තමන් එජාපය ට සහය දැක්වූවේ නැතැයි ඔවුන්ට අවංකව පැවසිය හැකි නම්, වෙනම බලවේගයක් ගොඩනැගීම සම්බන්ධව බැසිල්ට, විමල්ට හෝ උදයට දොස් කීවාට කම් නැත. මේ වන විට 2015 අගෝස්තුවේ මැතිවරණයෙන් තේරී පත් වූ සංධානයේ මන්ත්‍රීවරු 93 න් ශ්‍රීලනිප 42 ක් පමන සිටින්නේ රජය සමගය. එජාප ය මෙහිදී ආසන 106 ක් දිනා ගත්හ. ජවිපෙ, ද්‍රවිඪ ජාතික සන්ධානය හා වෙනත් සුලු පක්ෂ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කලා වුවත් මේ ශ්‍රීලනිප පිරිස එකම මතයක සිටියා නම් රජයට අභියෝග කල හැකි විපක්ෂයක් බිහිවන්නට හැකියාව තිබිනි. නමුත් අර 42  ජනාධිපති සිරිසේනගේ පාර්ශ්වය ගෙන රජයට එක්ව රජය ශක්තිමත් කලහ. ඊලඟට විපක්ෂ නායක තනතුර ද්‍රවිඪ ජාතික සන්ධානයට ලබා දුන්නේ එය මේ රටේ සැබෑ විපක්ෂය නොවන බව පැහැදිලිව දකිමිනි. ඔවුන්ගේ න්‍යාය පත්‍රය වෙනමම එකකි. එනම් ‘තම රාජධානිය සහ තම මිනිසුන්’ වෙනුවෙන් පමනි.මෙතැනදී බරපතලම වරද වූවේ ශ්‍රීලනිප ය ට ඡන්දය දුන් ජනතාවටය. නිල විපක්ෂය ක්‍රියාකාරී වන න්‍යාය පත්‍රය ගෙන බැලූවිට ඔවුන් වෙනුවෙන් හඬක් නගන්නට විපක්ෂය කියා දෙයක් මේ රටේ නැත. රජයේ අපමන කෙනිහිලි කම් මැද ක්‍රියාත්මක වන ඒකාබද්ධ විපක්ෂය ඔවුනට යම් සවියක් වනු ඇත.

නමුත් අප තවත් දෙයක් සැලකිල්ලට ගත යුතුය. එදා මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාව වෙනස්කර තමාම තෙවන වතාවටත් ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමේ ඉඩකඩ ලබා ගත්තේය. එනම් එවකට පැවති තත්වය අනුව ව්‍යවස්ථාව වෙනස් කිරීමේ හැකියාව එතැන තිබී ඇත. ඔහු ඒ වෙනුවට ඒ හැකියාව යොදාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර තීරණ ගැනීමේ උත්තරීතර බලය පාර්ලිමේන්තුවට පවරා දුනි නම්  මේ වන විට මේ ආරවුල් අවම වීමට හැකියාව තිබිනි. මේ වන විටද ඔහු කෙරෙහි ජනතාව තුල ඇති කැමැත්ත අඩු නොවී ඇති බව පෙනෙන හෙයින් පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැන්ම ඔහුට එතරම් අසීරු නොවනු ඇත. නමුත් යුද්ධය ජයග්‍රහණය වීමත් සමග ජනතාව තුල නැගුන උද්‍යෝගය මේ සිද්ධීන් සමගම ජාතිවාදී ප්‍රවනතාවක් බවට වර්ධනය වීමට බලපෑවේය. සියල්ල උඩු යටිකුරු වූයේ එම තෙවන වර තරග කිරීමේ තීරණයත් සමගය.

දැන් ඉතින් විය යුතු දේ සිදුවී හමාරය. දැන් සිතිය යුත්තේ ඊලඟට සිදුවන දෙයයි.

දැන් ඉතින් මේ දෙපිරිසම එක්ව පලාත් පාලන මැතිවරණයට සන්ධානය වශයෙන් ඉදිරිපත් වේ යයි සිතමු. මේ තුල මෙෙත්‍රී – මහින්ද දෙපිලේම අය තේරී පත්වනු ඇත. ඊලඟට මෙෙත්‍රී පිලේ නියෝජිතයින්ගේ ඉදිරි පියවර කුමක් වනු ඇත්ද? පාර්ලිමේන්තුවේ සිටින ලොකු අයියලා කලාක් මෙන් සම්මුතිවාදී පාලනයකට යාමද? එමෙන්ම මැතිවරණ සමය තුල පක්ෂයේ සියලු ජ්‍යේශ්ඨයන්ට තම ආසනයේ, තම දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරන වේදිකාවලට නැගීමට සිදුවෙයි. මෙතැනදී ඒකාබද්ධ විපක්ෂයට නම් ප්‍රශ්ණයක් නැත. නමුත් රජයට එක්ව සිටින සන්ධාන ඇමතිවරුන් වේදිකාවට නැග ජනතාවට පවසන්නේ කුමක්ද? ශ්‍රීලනිප ය ට ඡන්ද ඇද ගැනීමට නම් පවතින පාලනය විවේචනය කල යුතුය. රජයේ කොටස් කරුවන් වී සිටින ගමන් මෙය කෙසේ කල හැකිදැයි අපට නම් නොවැටහේ. එසේ විවේචනය කලා යැයි කියමු . ඉන්පසු ඔවුන් දිගටම රජය හා රැඳෙනවාද යන්නත් ගැටලු සහගතය. එසේ රැඳෙනවා නම් තම කණිශ්ඨයන්ට වෙනම ශ්‍රිලනිප පලාත් පාලන ආයතනයක් පවත්වාගෙන යන්නැයි කියන්නේ කෙසේද?

දැනට විචකිච්ඡාවක පැටලී හිඳගෙන අලුත් බලවේග සාදනවාය කියමින් මහින්දට හෝ බැසිල්ට දොස් කියන පලාත් පාලන නියෝජිතයින්ට තබා ජනාධිපති ඇතුලු ශ්‍රීලනිප ප්‍රධානීන් ලඟ වත් මේ ප්‍රශ්ණ වලට පැහැදිලි පිලිතුරු තිබේද යන්න සැක සහිතය. කෙසේ වෙතත් මේ තත්වය තුල තමන්ගේ මී ලඟ ජයග්‍රහණය ගැන එජාපය රහසින් ගණන් බලන එක ගැන නම් සැකයක් නැත.

අන්තෝ ජටා. බහි ජටා !

One Response to “නොතේරෙන නිසාම අසමි…..”

  1. NAK Says:

    The SLFP’ers who really love their party must not vote for the SLFP candidates forwarded by the traitors to the party.
    They all should vote for the JO candidates and show that the party can not be taken by force.

    Those who are crying about he party being divided know clearly that they are politically doomed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress