දේශපාලන පඹයා සහ පඹයාගේ දේශපාලනය
Posted on July 5th, 2016

මතුගම සෙනෙවිරුවන්   

සකලයන් නැතිනම් කුරුල්ලන්ගෙන් කෙත්වතු ආරක්ෂා කරගන්නට පැරණි ගොවියන් තමන්ගේ කුඹුරේ පඹයෙක් සිටවූ බව අසා ඇත්තෙමු. කෙතේ ගොඩගසා ඇති පිදුරු වලින් පුරවන ලද මේ පඹයාට මුළුතැන් ගෙයින් ඉවත් කළ හැලියක් ඔළුවක් වෙයි. ඒ නිසා මේ පඹයාට හැලිකටා නමින් ද ව්‍යවහාරයක් වෙයි. පඹයා ගේ කාර්යය කෙත රැකීමයි. ගොවියා සැම විටම කෙතේ නොසිටින බැවින් මේ අජීවී පඹයා ට නියම කරන ලද රාජකාරිය අකුරටම සිදු විය යුතුය. පැරණි ගොවියන් පඹයා සිටුවන්නේ නැකතකිනි. එම සුභ මුහුර්තය නිසා පඹයාට ගොවියාගේ ප්‍රාණය පිහිටුවයි. පඹයා අතපය වනමින් හෝ අත්පුඩි සලමින් කෑගසමින් සිය රාජකාරිය නොකරන්නෙකි. නිසොල්මනේ කෙත මැද සිටින විට සකලයන් පඹයාට බිය වී වෙනත් අතකට පියාසර කරති. ගොවිපළක පඹයා හිටුවා තබන්නේ කාරණා දෙකක් ඉටු කර ගැනීමටයි. ඉන් එකක් නම් පක්ෂින් ඇතුළු සකලයින් බියට පත් කිරීමයි.අනෙක නම් පඹයා තුළින් ගොවිපළ ආරෝපණය කිරීමයි. ගොවිපලේ මිනිසුන් සිටින අවස්ථාවලදී සාමාන්‍යයෙන් ගිරවුන් සහ රංචු ගැසී එන කුරුල්ලන් ලන් නොවෙති. ගොවියාගේ ජීවමාන ප්‍රතිරූපය පිහිටුවා ලීම මෙහි අර්ථය වශයෙන් දැක්විය හැකිය. එහිදී මිනිසා ගේ කුයිල නැතිනම් ගන්ධය ගොවිපලේ ඇති කළ  යුතුය.

සඳුදා දිනයක උතුරුසල නැකතින් සඳු සිටින ලග්නයෙන් හෝ කුජ සිටින ලග්නයෙන් ද සඳනැති අමාවක දිනයක හෝ කුජ දිනක පුෂ නැකත යෙදෙන සෙනසුරාදාවක ශනි සිටින ලග්නයෙන් ද පඹයා බැඳීම කරති. අවසානයේ දී පඹයා දිරාපත් වන තුරුම තිබෙන්නට හැරීම කරති. මෙහිදී උතුරුසල නැකත අයත් වන්නේ වායෝ භූතයට බව කිව යුතුය.සෙනසුරාදා දිනය ද වායෝ භූතයට අයත්ය.මෙහිදී පඹයා පිහිටවනු ලබන පුද්ගලයා අනුව මෙම භූත ලක්ෂණ ක්‍රියාත්මක වීමට පටන් ගනී. ලග්නයේ අඟහරු සිටින විට ඇතිවන තේජස් භාවය ද සඳු ඇති විටදී සිදු වන කාන්තියද එකලෙස මෙහිදී බල පැවැත්වේ. ශනි ලග්න භාවයේ සිටීම මගින් ද සතුරන් මැඩීමට ශක්තියක් ඇති වේ. මේ නිසා පඹයා නිකම්ම නිකම් රූකඩයක් නොව මිනිස් ගති ගුණ පිහිටුවා ලූ ප්‍රාණ කරන ලද වස්තුවක් විලස හැඳින්විය හැකිය. ඒ මගින් සකලයින් බය ගැන්වීම හෙවත් සිංහ වික්‍රමය පෙන්වීම  කරති.

පඹයා ගේ මේ දේශපාලනය ගැන අද බොහෝ දෙනෙක් නොදනිති. ඒ නිසාම ඇතැම් මිනිසුන්හට පඹයෙක් යයි කියමින් ගර්හාවටද ලක් කරති.

ලංකාවේ ජනාධිපති තනතුර රජෙක් හා සමාන කරන්නට ජෙ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති තුමා කටයුතු කළහ. ලංකාවේ අනාගත පෞරුෂය කෙබඳු විය යුතු දැයි  ඔහු ගේ දේශපාලන ශෛලියෙන් ප්‍රකට වේ. අත්තනගල්ලේ චන්ද දායකයන්ගෙන් තොරා පත් කරගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලංකාවේ විධායක අගමැති වශයෙන් සිටීම නුසුදුසු  වනබව ජේ.ආර්.ගේ මතය විය. ඒ නිසා සියළුම රටවාසීන් ගේ චන්දයෙන් පත්වන්නා රටට රජෙක් හා සමානව කටයුතු කරනු ඇතැයි  බලාපොරොත්තු වක් ඔහු තුළ විය. සැබවින්ම ජේ.ආර්. ගේ පාලන සමයේදී එය එසේ විය.නමුත් දඩබ්බර ඉන්දියානු දේශපාලකයන්ගේ ගැටයකට අසුවූ  ඔහු ලංකාව සාදාකාලික දේශපාලන වහල්භාවයකට ඇද හෙළීය.වර්තමානය තුළ මේ ජනාධිපති තනතුර සතුව පවතින බලතල කප්පාදු කරන්නට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු යයි හඬක් නැගී ඇත. රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන සිවිල් සංවිධාන මේ හඬ නැගීමට උත්සුක වෙමින් ඇත. ඒ තත්ත්වය තුළ වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාට යටත් වෙමින් ඔහු අනුව ක්‍රියාකරනු දක්නට ලැබේ. දෙමුහුන් අධිකරණයක් මෙරට තුළ ස්ථාපිත නොකරනු ඇතැයි ඔහු පවසන විට රජයේ විදේශ ඇමතිවරයා එය ප්‍රතික්ෂේප කරයි. බැංකු අධිපතිවරයා ගේ දූෂණ මත ඔහු ඉවත් කරලීමට ජනධිපතිවරයා ඉදිරිපත් වන විට අගමැතිවරයා මැදිහත්ව එය වළක්වයි.කෙත රැකීමට පඹයා කරන දේශපාලනය හෝ අවම තරමින් ඉටු කරලීමට නොහැකි වන තරමට අද රටේ ප්‍රධාන පුරවැසියා පත්ව තිබේ. එදා ජේ.ආර්. ජයවර්ධන මහතා බලාපොරොත්තු වූ ඒකීය රට රැක ගන්නට මේ තනතුරට තව දුරටත් නොහැකි බව ඔප්පු කර තිබේ. එසේ නම් ලංකාවේ අනාගතය කුමක්දැයි අප තේරුම් ගන්නේ කෙසේද.

ඉතා පැරණි සංස්කෘතියක් සහිත කොරියාව  සහ එහි දේශපාලනය ගැන ලක් වැසියන් බහුතරය තුළ වටහීමක් ලැබ ගන්නට රූපවාහිනය මගින් විකාශනය  වන ටෙලි නාටක මාලාව ඉවහල්ව ඇත. කොරියාවේ දේශපාලනය සමග බුදුසමය බද්ධවී තිබූ ආකාරය මෙන්ම පසුකාලීනව එහි ඇති වූ වෙනස්කම් කෙනෙකුට අධ්‍යනය කළ හැකිය. 1910 වසරේ දී කොරියාව ජපනුන්ට යටත් වීමෙන් පසු 1911 දී සිදු කළ ආගමික ප්‍රතිසංස්කරණ නීති මගින් ජපන් ඌරුවට බුදුදහම හැඩ ගැසුණු හැටි අපට පෙන්වා දී ඇත. 1961-1979 අතර කාලවකවානුවේදී පාක් ජුන් හී පාලකයා විසින් හඳුන්වා දෙන ලද ආගමික ප්‍රතිසංස්කරණ කොරියාවේ බුදුදහම පමණක් නොව දේශපාලනයද වෙනස් කර ඇත. 1980 වන විට චුන් ඩූහ්වාන් නම් ජනාධිපතිවරයා පත් විය. ඔහු ප්‍රොතෙස්තන්ත මෙතොදිස්ත යෙකු විය. ඔහු කොරියාවේ ආගමික සම්භවය සහමුලින්ම වෙනස්කලේය. විහාරස්ථාන සහමුලින්ම සංචාරක නිකේතන බවට පත් කිරීමට නීති සම්පාදනය විය. භික්ෂූන් පුන්රුත්ථාපන කඳවුරු වලට ගාල් කිරීම ඇරඹුණි. එම තත්ත්වය තුළ සියවස් ගණනක් තුළ කොරියානු ඉතිහාසයේ දක්නට තිබූ බෞද්ධ හැඩ ගැස්ම  මෙන්ම රාජ්‍ය මැදිහත් වීම ක්‍රමයෙන් අතුරුදහන් විය. අද වන විට එහි බෞද්ධ ජනගහනය සියයට විසිහතරක් දක්වා පහත බැස ඇත. ක්‍රිස්තියානකරණය බරපතල අන්දමින් ක්‍රියාවට නැගෙමින් පවතී. ආගමක් නැති නූතනවාදීන් විසින් මෙහෙයවන බහුභාණ්ඩික සමාජයක් බවට කොරියාව පත් කර තිබේ.

ලංකාවේ රාජ්‍ය පාලකයා ක්‍රිස්තියානි කිරීමට සහ ඔහු යුරෝපයේ යටත් පාලකයෙක් බවට පත් කර ගැනීමේ මෙහෙයුම ආරම්භ වන්නේ දාසය වන ශත වර්ෂයේ සිටයි. ධර්මපාල කුමරුගේ අනුරුවක් පෘතුගාලයට ගෙන ගොස් අභිෂේක කරනුයේ ඒ සඳහාය. එසේම වරින් වර යාපනයේ කුමාරවරුන්ද එලෙස බෞතීස්ම කොට පෘතුගාලයට යටත් පාලකයන් ලෙසට තබා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක ව තිබේ.එහෙත් වසර පන්සීයක කාලයේ දී එතෙක් මෙතෙක් මේ රට සහමුලින්ම අබෞද්ධ රටක් බවට පතකර ගැනීමට යටත් විජිතවාදීන්ට හැකියාව ලැබී නොමැත. වර්තමානය දෙස බලන කල්හිඉතිහාසයේ එවැනි අඳුරු කාලවකවානුවක් නැවත උදාව තිබෙන බව සක්සුදක් සේ පෙනේ.ලංකාව අනාගමික රාජ්‍යයක් ලෙසට පත් කළ යුතු යයි යෝජනා පැමිණෙන්නේ එ නිසාය. පඹයෙක් නොව රූකඩයක් බවට පත්ව තිබෙන ජනාධිපති තනතුර අව භාවිතා කරමින් රටේ ව්‍යවස්ථාව වෙනස් කොට එහි බුද්ධශාසනයට තිබෙන තැන අවලංගු කොට ඇමරිකාවට හෝ ඉන්දියාවට යටත්වූ ඔවුන් ගේ අණසක මගින් පාලනය කරන්නා වූ රටක් වශයෙන් පත් කිරීමට පියවර ගනිමින් ඇත. කොරියාවට අත්වූ ඉරණමට ක්‍රමයෙන්  ලංකාව පත් වන්නේ දැයි සිතා බැලිය යුතුය.බෞද්ධයන් මර්දනය කොට සංහිඳියාව නාමයෙන් යෙහෝවා යාඥාකරුවන්ට සහ මුස්ලිම් අන්තවාදීන්ට රට අත්පත් වීමට ඉඩ තැබීම රූකඩ දේශපාලනයේ නවතම ප්‍රයෝගය බවට පත් වී තිබේ. මෙම තත්ත්වය තේරුම් නොගෙන ඇති බව පැහැදිලි වන්නේ රට භයානක නිශ්ශබ්දතාවයකට පත්ව තිබීමෙනි.

මතුගම සෙනෙවිරුවන්

2 Responses to “ දේශපාලන පඹයා සහ පඹයාගේ දේශපාලනය”

  1. S.Gonsal Says:

    “බෞද්ධයන් මර්දනය කොට සංහිඳියාව නාමයෙන් යෙහෝවා යාඥාකරුවන්ට සහ මුස්ලිම් අන්තවාදීන්ට රට අත්පත් වීමට ඉඩ තැබීම රූකඩ දේශපාලනයේ නවතම ප්‍රයෝගය බවට පත් වී තිබේ.” – very true.

  2. NAK Says:

    When will our Mahanayake’s realize this reality.Hope soon enough.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress