ජවිපෙ වැනසීමට එක්වූ රංජිත් පීරිස් මෙන්න!
Posted on July 9th, 2016

ධර්මන් වික්‍රමරත්න

ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) සමඟ විවිධ හේතුන් මත හෝ පුද්ගල ගැටුම් නිසා වෙන්වුණු සහ ඉවත්කල ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් ජවිපෙ 2වැනි කැරැල්ලේදී සිය පැවැත්ම සඳහාද, පරණ වෛරයන් සහ කෝන්තරයන් පිරිමහා ගැනීම ඇතුළු හේතු කිහිපයක් මුල්කරගෙනද ජවිපෙට එරෙහිව ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය සමඟ 1987 සිට 1990 අවසානය දක්වාම ප්‍රධාන භූමිකාවක් රඟපෑහ. ජවිපෙ හිතවතුන් සහ ක්‍රියාකාරිකයන් පිළිබඳව නම් ලැයිස්තු පිටින් ආරක්ෂක හමුදාවන් වෙත භාරදීම, ඔත්තුකරුවන්, බිල්ලන් සහ වධකාගාරවල වධකයින් ලෙස කටයුතු කිරීම, හමුදා ඇදුමින් සැරසී ආරක්ෂක හමුදාවන් සමඟ එක්ව ජවිපෙ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඝාතනය කිරීම ඔවුන්ගේ ‘රාජකාරිය’ විය. ඒ වෙනුවෙන් ඔවුන්වෙත අවශ්‍ය අවිආයුධ, හැදුනුම්පත්, වාහන, මුදල් සහ පිරිස් බලයද ලබාදීම අවශ්‍යතාවයන් අනුව ආණ්ඩුවේ ක්ෂණික විහිදුම් බලකාය(ආර්.ඩී.එෆ්) උපදෙස් අනුව සිදුවිය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

ජවිපෙට එරෙහිව ආණ්ඩුවේ සහාය ඇතිව අර්ධ මිල්ටරි කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මකවූ මෙම පිරිස් පැවති තත්ත්වය හමුවේ එකිනෙකට සමාන්තරව එකිනෙකින් පෙළඹවීම් ලබමින් ක්‍රියාත්මක වූහ. ඒ අතර 1988 මැයි 18වැනිදා රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයේදී ආරම්භ වූ මහජන විප්ලවකාරි රතු හමුදාව(ප්‍රා) සංවිධානයද සාම්ප්‍රදායික වාමාංශික පක්ෂවල සහ 1971 අප්‍රේල් කැරැල්ලේ කැරළිකරුවන්වූ ඇතැම් අතිධාවනකාරි ඉතා සුළු පිරිසක්ද කොළඹ සරසවිය 1985 සිට තගරි බලයෙන් පාලනය කර පසුව 1986 දෙසැම්බර් 15වැනිදා සිය නායක දයා පතිරණ ජවිපෙ මගින් ඝාතනය කිරීමෙන් පසු ඝාතක කණ්ඩායමක් බවට පත්වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයද   විය. සමස්ථයක් ලෙස ගත් කල ජවිපෙ වැනසීමෙහිලා බුද්ධි අංශ සමඟ පූර්ණකාලීනව එක්වූ මෙම පිරිස 200කට ආසන්නවූ අතර ඉන් 41ක් ජාතික සහායක බලකාය යටතේ මාසික වැටුප්ද හිමිවිය. සෙසු අය නඩත්තු වූයේ පැහැරගත් අයගෙන් මංකොල්ලකෑම්, ප්‍රාණඇපයට තබාගෙන කප්පන් ලබාගැනීම, බලහත්කාරයෙන් මුදල් ලබාගැනීම වැනිදෑ මගිනි. මින් 35 දෙනෙකුට පමණ ගනේමුල්ල හමුදා කඳවුරේදී සතියක පුහුණුවක්ද ලබාදී තිබිණි.

dharman10071602ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරළිකරුවන් ඝාතනය කිරීමේ මෙහෙයුමක නිරතවූ  කන්දමුල්ල ආරච්චිගේ රංජිත් විල්ෆඩ් පීරිස් නොහොත් කෑගල්ලේ පීරිස්.

එම කණ්ඩායම් යටතේ වැඩිම පිරිසක් ඝාතනය වූයේ ශ්‍රිලංකා මහජන පක්ෂයේ නායක සහ බස්නාහිර පළාත් විපක්ෂ නායකවරයාවූ ඔසී අබේගුණසේකර සහ විකල්ප කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකුව සිට අධිකරණයෙන් 1988 අප්‍රේල් 22 නිදහස්වූ සරත් ද සිල්වා නොහොත් හලාවත පොඩි සිල්වා සම නායකයින්වූ ප්‍රා සංවිධානය මගිනි.  ඒ 1,222කි. කේ.එල් ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමයද ප්‍රා සංවිධානය තුළට ගොනුවී සරසවි සිසුන් ඇතුළු 200කට ආසන්න පිරිසක් ඝාතනය කළහ. ප්‍රා සංවිධානය මගින් ඝාතනය කල ජවිපෙ ඉහළම නායකයා වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකුවූ ඊශ්වරගේ ආරියසේනය.

මේ සියල්ලටම අමතරව පුද්ගලයින් කිහිප දෙනෙක්ද ආරක්ෂක අංශ සමඟ එක්ව ජවිපෙ වැනසීමේදී ඉහළම දායකත්වයක් දැක්වූහ. ඉන් මුල්තැන ගත්තේ ජවිපෙ 2වැනි කැරළි සමයේ සිදුකල සිය සජීවි ඝාතන අත්දැකීම් පසුකළෙක ස්වයං චරිතාප්‍රදාන කථාවක්සේ  පණ ඇති දෙවිවරු නමින් නිබන්ධනයක් ලෙසද එළිදැක්වූ කෑගල්ලේ පීරිස්ය. තමාගේ පෞද්ගලික ක්‍රියාකාරකම් ඔහු එමගින් හඳුුන්වා තිබුණේ ශ්‍රී ලංකා දේශපාලන කරලියේ කලුවර පැතිකඩක් ලෙසය. රංජිත් පීරිස් ජවිපෙ කැරළි නායකයින් සහ ක්‍රියාකාරිකයින් 100කට ආසන්න පිරිසක් ඝාතනයට ලක්කල මෙහෙයුම්වලට සෘජුව සම්බන්ධ බවට චෝදනාවකි. රංජිත් පීරිස් විසින් සිදුකරන ලද ඝාතන කිහිපයක තොරතුරු ඔහුගේ අත්පිටපතටද ඇතුලත්ය.

dharman10071603ඉහළ වමේ සිට රංජිත් පීරිස්ට 1968දී දේශපාලන ආවේශය රැගෙනආ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ(පීකිං පිළ) නායක නාගලිංගම් ශන්මුගදාසන්, රංජිත් දේශපාලනය ප්‍රථමයෙන් ඇරඹූ පෙරදිග සුළං ව්‍යාපාරයේ නායක ගාමිණී යාපා, රංජිත් ජවිපෙට 1970දී එක්වීමේදී කෑගල්ල දිස්ත්‍රික් ජවිපෙ නායකයාවූ සරත් විජේසිංහ, 1971 අප්‍රේල් 5වැනිදා කැරැල්ලේදී අත්අඩංගුවට ගැනීමට රංජිත්ට නියමිතව තිබූ කෑගල්ල පොලිස් අධිකාරි ආනන්ද සෙනෙවිරත්න(19වැනි පොලිස්පතිවරයා බවට පත්විය) සහ ජවිපෙට එරෙහි ප්‍රහාරවලදී රංජිත්ගේ ආරක්ෂක හමුදා සම්බන්ධීකාරකයෙක්වූ කර්නල් ලයනල් බලගල්ල( පසුව 2000 සිට 2004 දක්වා හමුදාපතිවූ බලගල්ල විශ්‍රාම ගන්නා විට ලුතිනන් ජෙනරාල්වරයෙකි.) සහ ආණ්ඩුවේ සහායෙන් ක්‍රියාත්මකවූ අර්ධ මිල්ටරි කණ්ඩායම් වලින් වඩාත් බලගතු සංවිධානය වූ ප්‍රා සම නිර්මාතෘවරයා වන මහජන පක්ෂයේ නායක ඔසී අබේගුණසේකර.

කෑගල්ලේ පීරිස් නොහොත් රංජිත් පීරිස්ගේ සම්පූර්ණ නම කන්දමුල්ල ආරච්චිගේ රංජිත් විල්ෆඩ් පීරිස්ය. තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් රංජිත් කෑගල්ලේදී උපන්නේ 1954 ජනවාරි 20වැනිදාය. පාසැලේ 9වැනි වසර සිසුවෙකුව සිටියදී චීනයේ මාවෝ සේතුංගේ කෘතින් කියවීමෙන් රැඩිකල් දේශපාලනයට ඔහු අවතීරණය වූයේ 1968දීය.

මෙම වකවානුවේදී එනම් හැටේ දශකයේ මැදභාගයේදී පමණ සන්නද්ධ අරගලයේ මාවත පිළිගත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සූදානම්වූ කණ්ඩායම් ගණනාවක්ද ශ්‍රී ලංකාවේ බිහිවෙමින් තිබිණි. මෙම කණ්ඩායම් බිහිවීමට පදනම වැටුණේ නාගලිංගම් ශන්මුගදාසන් නායකත්වයෙන් යුත් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ(පීකිං පිළ) විප්ලවීය මතවාදයක් ඉදිරිපත් කලද එහි න්‍යාය සහ භාවිතාව අතර පරතරයක් තිබිම හේතුවෙනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ, කල්යානන්ද තිරාණගමගේ නායකත්වයෙන් යුත් ගිණි පුපුර කණ්ඩායම, විමල් රණසිංහ නොහොත් ගාමිණී යාපාගේ නායකත්වයෙන් යුත් පෙරදිග සුළඟ කණ්ඩායම, සුමිත් දෙවිනුවර කණ්ඩායම, නිහාල් ඩයස් සහ ආනන්ද ගුණතිලකගේ කණ්ඩායම, කසෝ අල්විස් ගේ මිටි පහර කණ්ඩායම(ව්‍යාපාරය වෙනුවෙන් බැංකු මංකොල්ලයක් සිදුකිරීමේදී හසුවූ කසෝ නිදහසින් පසු නිහඬ චරිතයක් විය), ප්‍රගති කණ්ඩායම වැනි නව ප්‍රවණතාවයන් බිහිවිය.

dharman10071604ආණ්ඩුවේ හමුදා සමඟ එක්වී රංජිත් විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලද බවට පවසන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පී.බී විමලරත්න නොහොත් ට්‍රින්කෝ විමල්, 1990 රංජිත්ගේද මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගනු ලැබූයේයැයි කියන ජවිපෙ සන්නද්ධ නායක සමන් පියසිරිගේ යුධ න්‍යායචාර්ය සහ මස්සිනාවූ වීරකැටියේ හීන්බුන්නේ දයා වන්නිආරච්චි, ජවිපෙන් ඉවත් කිරීමෙන් පසු 2වැනි කැරැල්ලේදී ආණ්ඩුව සමඟ එක්ව ජවිපෙට ප්‍රතිප්‍රහාර එල්ල කල ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභිකයින් වූ කෙලී සේනානායක සහ වාස් තිලකරත්න(ඉහළ වමේ සිට)

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පීකිං පිළ සමඟ සෝමරත්න හරහා සම්බන්ධකම් ඇතිකරගත් කෑගල්ලේ රංජිත් පීරිස්, පෙරදිග සුළං කණ්ඩායමට කොක්ක ගසා එක්කර ගත්තේ හඳගම සහ සෙනෙවිරත්නය. සෙසු කණ්ඩායම් අතර පෙරදිග සුළඟ කණ්ඩායම විශේෂත්වයක් ගත්තේ  එය ඉන්දියාවේ නක්සල් බාර්හි සහ අන්ද්‍රා ප්‍රදේශයන්හි ග්‍රීක කුලම්හි ගොවි කැරළිවලට නායකත්වය දුන් පුද්ගල ත්‍රස්තවාදය අවිය කරගත් නක්සලයිට්වරුන් ලෙස හැදින්වෙන මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය ලෙස හදුන්වා ගන්නා කණ්ඩායමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තැත්කිරීමය. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පුද්ගල ත්‍රස්තවාදය දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස ක්‍රියාවට නැංවූයේ ගාමිණී යාපාගේ පෙරදිග සුළඟ කණ්ඩායමයි. මෙම සියළු කණ්ඩායම් සන්නද්ධ අරගලය සඳහා සූදානම් වූවද තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය වූයේ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා ජවිපෙ කල මැදිහත්වීමටය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ දිස්ත්‍රික් නායකයාවු පේරාදෙණිය සරසවියේ සරත් විජේසිංහ සමඟ ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස පෙරදිග සුළඟ අතහැර ජවිපෙට රංජිත් එක්වූයේ 1970දීය. පසුව සරත් විජේසිංහගේ අනුගාමිකයෙකුවූ රංජිත් දෙමාපියන්ගේ විරෝධතා මැද පාසැල් අධ්‍යාපනයට සමුදි ජවිපෙට පූර්ණකාලීනව එක්විය.  කෑගල්ලේ රංජිත් 1971 අප්‍රේල් කැරැල්ලට සහභාගිවන විට 17 හැවිරිදි පාසැල් සිසුවෙකි. කෑගල්ල නායක සරත් කැරැල්ල පවතින අවස්ථාවේදි කැරළිකරුවෙකුවූ යටියන්තොට නිමල් ග්ලැඩියස්ගේ අත්වැරදීමකින් සිදුවූ වෙඩිල්ලක් නිසා 1971 අප්‍රේල් 7වැනිදා ගැටියමුල්ල පාසැලේදී මරණයට පත්විය.

dharman10071605රංජිත් පීරිස්, සිය බිරිඳ චන්ද්‍රා විජයලත් ආරච්චිගේ, දියණිය රෙබෙකා සහ යුක්රේනියානු හිතවතෙකු සමඟින්.

රංජිත්ට 1971 අප්‍රේල් 5වැනිදා පැවරී තිබුණේ සාදි බණ්ඩාගේ නායකත්වයෙන් කෑගලු පොලිසියට පහරදීමය. පොලිසියට පහරදීමෙන් පසුව එවකට කැගල්ල පොලිස් අධිකාරි වශයෙන් කටයුතු කල පසුව පොලිස්පති බවට පත්වූ ආනන්ද(ආනා) සෙනෙවිරත්න නිල නිවසේදී අත්අඩංගුවට ගැනීම වුවද නිල නිවසට රංජිත් ඇතුළු කැරළිකරුවෝ කඩාවැදුනද ඔහු නිල නිවස හැරගොස් තිබිණි(ආනා සෙනෙවිරත්න පසුව 19වැනි පොලිස්පතිවරයා බවට පත්වූ අතර විශ්‍රාම යෑමෙන් පසු 2015 සැප්තැම්බර් 26වැනිදා මිය ගියේය). කෑගල්ල ප්‍රදේශයේ 1971 අප්‍රේල් 28වැනිදා වන විට කැරළිකරුවන් විශාල පිරිසක් සිටි අතර ඔවුහු කාගම උපසේනගේ සහ ජේ. සමරතුංග නොහොත් බෝල සමරේගේ නායකත්වයෙන් පසු බැසිමට තීරණය විය. මහජන බැංකුවේ ලිපිකරුවෙකුවූ කාගම උපසේනගේ කණ්ඩායම සමඟ දිවල සිට අටුගොඩට පැමිණි රංජිත් ඇතුළු 100කට අධික කැරළිකරුවෝ හෙලිකොප්ටර් වලින් හමුදාව එල්ලකර ප්‍රහාරවලින් ආරක්ෂා වෙමින් හම්බෙලිකන්දට පැමිණියේය. එහිදි හමුවූ  තවත් කැරළිකරුවෙකු වූ පේරාදෙණිය සරසවියේ වාස් තිලකරත්න සමඟ රංජිත්ගේ සම්බන්ධය ප්‍රථමයෙන් ගොඩනැගෙන්නේ එහිදීය.

කාගම උපසේන 1971 මැයි 2 හමුදා වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වීමත් සමඟ කණ්ඩායම විසිරගිය අතර රංජිත් පීරිස් තවත් තිදෙනෙකු සමඟ කෑගල්ලට පැමිණීමේදී කරදෙන පාලම අසළදී ගැමියන් විසින් අත්අඩංගුවට ගෙන කෑගල්ල පොලිසියට භාරදෙන ලදී. කෑගල්ල පොලිසියේදී තිරස්චින වධබන්ධන වලට ලක්වූ රංජිත් බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයට දමන ලදී. එවිට ඔහුගේ වයස අවුරුදු 17කි. පසුව වයස 18ට අඩු කැරළිකරුවන් සඳහා පවත්වාගෙන යන අම්පාර දඬයම්තලාව කඳවුරට මාරුකරන ලදී. එහිදී බාලවයස්කාර තවත් රැදවියන් දෙදෙනෙකුවූ කෑගල්ලේ ජයතිලක සහ කරුණාදාස සමඟ පලායෑමට සමත්වන රංජිත් කෑගල්ලට පැමිණ ගනේවත්තට යාමේදී පොල්ගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. කෑගල්ලේ ජයතිලක යනු 71 කැරැල්ලේදී උදැල්ලකින් පහරදී පරගම්මන පබිලිස් නම් පොලිස් ඔත්තුකරුවෙකුයැයි චෝදනා ලත් තැනැත්තා පබිලිස්ටම කියා වලක් කපා එම උදැල්ලෙන්ම පහරදී පබිලිස් ඝාතනයකර දැමූ ආන්දෝලනාත්මක සිද්ධියට මැදිවූ ජවිපෙ ළමා කැරළිකරුවාය. ජයතිලක වර්තමානයේ අවිස්සාවේල්ලේ පදිංචිය.

dharman10071606

රංජිත් පීරිස් විසින් ප්‍රකාශයට පත්කර ඇති ලිවින් ගෝඩ්ස් ග්‍රන්ථය(වමේ) සහ විජේවීර ඝාතනය පිළිබඳව සිය බිරිඳගේ නමින් 1994 පෙබරවාරි මස මහරගම නවමඟ මුද්‍රණාලයේ මුද්‍රණයකර ප්‍රකාශයට පත්කල පිටු 94ක ග්‍රන්ථය(දකුණේ).

මඩකලපු බන්ධනාගාරයේ මාසයක් තබාගැනීමෙන් පසු යාපනයේ හැමන්හිල් බන්ධනාගාරයට මාරුකරන ලද රංජිත් මාස 11කට පසු කිරිනොච්චියේ අක්කරායන්කුලම් පුනුරුත්ථාපන කඳවුරට යොමුකරන ලදී. පසුව කොග්ගල සිර කඳවුරටද, මැගසින් බන්ධනාගාරයටද මාරුකල අතර එහි ඇතිවූ ගැටුමකින් පසු අනුරාධපුර සිරගෙදරටද පසුව බෝගම්බර සිරගෙදරටද මැගසින් බන්ධනාගාරයටද ගෙනවිත් කැරැල්ලේ නඩුවෙන් පසු වසර 2ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට ලක්විය. වසර 1977 ජුනි 26වැනිදා ඔහු නිදහස් වන විට වසර 6කට අධික කාලයක් බන්ධනාගාර සහ සිරගතවී තිබිණි.

නිදහසින් පසු ජවිපෙ සමඟ යළි එක්වූ රංජිත් පීරිස් පක්ෂ නායක විජේවීරගේ හිතවතෙකුද විය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකුවු වාස් තිලකරත්න ඔහුගේ කුළුපග මිතුරෙකි. කුරුණෑගල ඔමාරගොල්ලේදී 1978 පැවති පක්ෂ සම්මේලනයේදී මධ්‍යම කාරක සභිකයෙකු බවට පත්වන රංජිත් පීරිස් කෑගල්ල දිසා ලේකම් වශයෙන් 1978 අවසානයේ සිට කටයුතු කළේ ගුණවර්ධනට පසුවය. අනතුරුව බදුල්ල දිසා ලේකම්ද විය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සෝමරත්න කළුආරච්චි ඔහුගේ මස්සිනාය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වාස් තිලකරත්න ජවිපෙන් 1982දී ඉවත්කල පසු රංජිත් පීරිස්ද ජවිපෙන් යම් විනය කාරනාවන් හේතුවෙන් 1982දී ඉවත් කරන ලදී. ඔහු පවසන පරිදි ජවිපෙ සාමාජිකයන් විසින් අම්පාරේදී ඔහු ඝාතනය කිරීමට දැරූ ප්‍රයත්නයෙන් දිවි බේරා ගත්තේ අසීරුවෙනි. ජවිපෙ 1983 ජුලි තහනමින් පසු අවස්ථා කිහිපයකදී ජවිපෙ ක්‍රියාකාරින් විසින් රංජිත් සමඟ ගැටුම් ඇතිකරගන්නා ලදී. ඔහුගේ සමීපතම මිත්‍රයෙකුවූ ජවිපෙන් ඉවත්කල වාස් තිලකරත්න බදුල්ලේදී සහ රත්නපුරයේදී ඝාතනය කිරීමට ජවිපෙ උත්සාහ දැරූ අතර එහිදී වාස් බේරුනේ බරපතල තුවාල ලබමිනි.

dharman10071607රංජිත්ගේ දරුවන්වන 1984 පෙබරවාරි 12 උපන් රෙබෙකා සහ 1987 අප්‍රේල් 23 උපන් ටෙනිසි කුඩා කාලයේදී මෙහි වමේ සිට දැක්වේ.

රංජිත් පීරිස්ගේ බිරිඳ වූයේ වැලිවේරිය නාරංවල උපන් සිය ඥාතිවරියක්දවූ විජයලත් ආරච්චිගේ චන්ද්‍රාය. රංජිත් දෙදරු පියෙකි. දියණිය රෙබෙකා ටෙස් උපන්නේ 1984 පෙබරවාරි 12වැනිදා වන අතර පුතු ටෙනිසි මිලර් උපන්නේ 1987 අප්‍රේල් 23වැනිදාය.

ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ආරම්භ වීමත් සමඟම ජවිපෙන් ඉවත්ව විවිධාකාර හේතුන් මත විරසකව සිටින පිරිස්වලට සිය ආරක්ෂාව තහවුරු කර ගැනීම එක්තරා අතකින් අභියෝගයක් විය. ජවිපෙ තර්ජනයට ලක්වූ ජවිපෙන් ඉවත්වූ සහ ඉවත්කල පිරිස් සිය පැවැත්ම උදෙසා විවිධාකාර ක්‍රියාමාර්ග වලට අවතීරණ විය. ඒ අනුව ඇතැමුන් පදිංචි ස්ථාන වෙනස් කිරීම්, විදේශ රැකියාවලට යෑම, ජවිපෙ සමඟ යම් එකඟතාවයන්ට, ජවිපෙට එරෙහිව ප්‍රතිප්‍රහාර දීම සඳහා කණ්ඩායම් ගතවීම සහ ආරක්ෂක හමුදා සමඟ ජවිපෙ වැනසීමට සහයෝගිතාවයෙන් කටයුතු කිරීම සිදුකරන ලදී.

ඒ අනුව රංජිත් පීරිස් ජවිපෙට එරෙහිව ආණ්ඩුව මගින් සිදුකරන ක්‍රියාදාමයන්ට සෘජුව දායකවීම සඳහා ආරක්ෂක හමුදාව සමඟ සහයෝගිත්වයෙන් කටයුතු කිරීම අරඹන ලදී. කර්නල් ලයනල් බලගල්ල එහිදී ඔහු දිරි ගැන්වූයේය. (පසු කලෙක ලයනල් බලගල්ල ලුතිනන් ජනරාල්වරයෙකු වශයෙන් විශ්‍රාම ගත් අතර එයට පෙර 2000 සිට 2004 දක්වා හමුදාපතිවරයාද විය) රංජිත් පීරිස් කලක් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටි බැවින් හංසයින්ට කිරෙන් දිය වෙන්කරගත හැකිකේ යම්සේද ජවිපෙ කැරළිකරුවන් සාමාන්‍ය ජනයා අතරින් වෙන්කර හදුනාගැනීමට සමත්වීම යුධ හමුදාවේ ඔප්ස් කම්බයින් ආරක්ෂක අංශය ලැබූ ජයක් බවට පත්විය. ජවිපෙන් ඉවත්කල වාස් තිලකරත්න ඇතුළු කිහිපදෙනෙක් මෙහිදී ඔහු දිරිමත් කළේය. ජයතිලක ද සිල්වා විසින් 1981 පෙබරවාරි 8වැනිදා ආරම්භ කල සමාජවාදී ජනතා ව්‍යාපාරයට වාස් තිලකරත්න ඇතුළු 30 දෙනෙක් උපක්‍රමයක් වශයෙන් 1983 ඔක්තෝබර් වන විට බැදුණු අතර ඉන් 19 දෙනෙකු එයට එරෙහිව රාජ්‍ය විරෝධී නඩුවේ චූදිතයන් 44දෙනා අතර විය. තිහගොඩ සිරිසේනගේ නිවසේදී සිටියදී පසුව අත්අඩංගුවට ගත් වාස් 1988 අප්‍රේල් 22වැනිදා රජයේ සමාව යටතේ අධිකරණය මගින් නිදහස් කලපසු ජවිපෙ මුළුනුපුටා දැමීමේ ක්‍රියාමාර්ගයට ඔහුද එක්විය.

dharman10071608

නේපාලයේ දේශපාලන රැකවරණ පතමින් රංජිත් සිය දරු පවුල සමගින් සිටියදී ඔහුගේ අදහස් රැගත් පුවරුවක් සවිකල ත්‍රීරෝද රථයක් 2014 නොවැම්බර් මස කෑගල්ල නගරයේදී. 

ජවිපෙ සමඟ බද්‍ධ වෛරයකින් සිටි පිරිස් ආරක්ෂක අංශ සමඟ එක්වීම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබිණි. කොළඹ මත්තේගොඩ කඳවුර, නීතිපීඨ කඳවුර, ප්‍රේදිරිස් උද්‍යානය, ඉසුරුපාය කඳවුර, ලේක්හවුස්හි යට තට්ටුව ආදී ස්ථාන ගණනාවක් අත්අඩංගුවට ගත් කැරළිකරුවන් තිරස්චින වධබන්ධන වලට ලක්කරමින් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගන්නා ලදී. තොරතුරු හෙළි නොකරන්නන් ඝාතනයට ලක්විය.

රෝහණ විජේවිර අත්අඩංගුවට ගැනීමට පෙර ජවිපෙ 2වැනි කැරැල්ලේ දේශපාලන මණ්ඩල සභිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදාවන්ට හැකිවූයේ රංජිත් පීරිස් නිසාය. එක් අයෙකුවූයේ 1989 මැදභාගයේදී කෑගල්ල දිසා කමිටුව රඹුක්කනදී රැස්වූ අවස්ථාවකදී අත්අඩංගුවට පත්වූ නන්දතිලක ගලප්පත්තිය. ආරක්ෂක අංශ ඔවුනට යටත්වන ලෙස නියෝග කලද ඔහු යටත් නොවී සිට සටන් කල නිසා එහි සිටි 5 දෙනා සමඟ ඝාතනයට ලක්විය. එහෙත් ආරක්ෂක බුද්ධි අංශ පවසන්නේ කොළඹට ගෙන ඒමෙන් පසු ගලප්පත්ති ඝාතනය වූ බවකි. දෙවැන්නාවූ පී.බී විමලරත්න නොහොත් ට්‍රින්කෝ විමල්ද 1989 සැප්තැම්බර් 12දා බදුල්ලේ සිට බසයකින් කොළඹට පැමිණිමේදී අවිස්සාවෙල්ල සාලාව ආරක්ෂක ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඝාතනයට ලක්විය. ඔවුන් දෙදෙනා කිසිදු තොරතුරක් හෙළි නොකළේය.

ජවිපෙ මධ්‍යම කාරක සභික අකුරැස්සේ ඇල්ගිරියේ උපන් ප්‍රේමචන්ද්‍ර මුණසිංහ ඇතුළු තිදෙනෙක් රත්මලානේ ලහිරු ට්‍රේඩ් සෙන්ටර්හිදී 1988 නොවැම්බර් 18වැනිදා වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාවද එල්ලවූයේ රංජිත් පීරිස්ටය. එම ස්ථානයේ හිමිකරු වූයේ මාදින්නාගොඩ රංජිත් දිසානායක නොහොත් කළු රංජිය. රත්මලාන ඩිපෝවේ ජවිපෙ සටන් නායකයින්වූ සිල්වා සහ රණතුංග1989 ජුලි 5 ඩිපෝව අසළදී ඝාතනය කිරීමේ චෝදනාවද එල්ලවූයේ රංජිත් පීරිස්ටය. ජවිපෙ කොහිලවත්තේ මුද්‍රණාලයේ 1983 ජුලි දක්වා සේවය කල පසුව රාජගිරිය මුද්‍රණාලයක සිටි බමුණුසිංහට නාවල කොස්වත්තේදී 1989 අවසානභාගයේදි උදෑසන 8ට වෙඩිතබා ඝාතනය කිරිමට තැත් කලද ජීවිතය බේරාගැනීමට බමුණුසිංහ සමත් විය. දඬයමක් සොයන අරමුණින් පාන්දරම පැමිණ වෑන් රථය රාජගිරිය දෙසට ධාවනය කල බවත් ගොදුරක් පාරට පැමිණ ගමන් කරනු දැක ඒ ඔස්සේ නාවල පාරේ බස්නැවතුමට නොදුරින් වෑන් රිය නවතා බලා සිටි අයුරුත් රංජිත් විස්තර කර තිබේ. රංජිත් පීරිස් 1971 අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේදී රංජිත්ගේ තුවාල පිරිසිදුකර තෙල් ගල්වා ඔහු රැකබලා ගත්තේද බමුණුසිංහ විසිනි. මෙය දැනගත් පසු රංජිත් කම්පාවට පත්වූ බවද කියති.

රංජිත් පීරිස්ගේ දඩයමින් අත්අඩංගුවට ගෙන ජීවත්වීමට වාසනාව ලැබුවේ ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් සහ ජවිපෙ 2වැනි කැරළි සමයේදී සන්නද්ධ නායකයාවූ සමන් පියසිරි ප්‍රනාන්දුගේ යුධ න්‍යායචාර්ය වූ වීරකැටියේ හීන්බුන්නේ දයා වන්නිආරච්චි පමණි. දෙවැනි කැරැල්ලේ පරාජයෙන් පසු දයා වන්නිආරච්චි 1990 ඔක්තෝබර් මස වන විට ඇල්පිටියේ වතු අධිකාරි නිල නිවසක සුරක්ෂිතව සිටියේය. එම නිවසට ලෙෆ්ටිනට් මුතාලිෆ් මෙහෙයවූ ආරක්ෂක භට පිරිසක් සමඟ පැමිණි රංජිත් පීරිස් විසින් වන්නිආරච්චි හදුනාගනු ලැබුවද රංජිත් සිතා සිටියේ 1982 වන්නිආරච්චි ජවිපෙන් ඉවත්වීමෙන් පසු වන්නිආරච්චි සහ ජවිපෙ අතර කිසිදු සම්බන්ධයක් නැති බවකි. ජවිපෙන් ඉවත්ව ගිය නායකයෙකු නැවත පක්ෂය සහ එක්වනු ඇතැයි රංජිත් පීරිස්ගේ දැනුම අනුව සිදුනොවිය හැක්කකි. ඝාතනයෙන් බේරුණු වන්නිආරච්චි ගල්කිස්ස මුහුද ආසන්නයේ ගොඩනැගිල්ලක පිහිටි ආරක්ෂක අංශවල රහසිගත කඳවුරකට ගෙන යන ලදී. එහෙත් ඇල්පිටිය වතු අධිකාරිගේ එම නිවසේ හමුදාව යොදා තිබූ ‘ඇම්බුස්’ උඟුලට(සැගවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) හසුවූ  ජවිපෙ ක්‍රියාකාරිකයින් දෙදෙනෙක් පසුව අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්විය. අපරාධ විමර්ශන ඒකකයට 1990 දෙසැම්බර් 10වැනිදා යොමුකල දයා වන්නි ආරච්චි මාස 11කට පසු බූස්ස ඇතුළු ස්ථාන කිහිපයක රඳවාගත් අතර ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස නිදහස් විය. වන්නිආරච්චි 2016 මැයි 21වැනිදා ජීවන මගෙන් සමුගත්තේය.

හිරිමල් වියේ සිට ලැබූ අනුවේදනීය කටුක අත්දැකීම් සහ සිය සජීවි ඝාතන අත්දැකීම් එකතුකරමින් අවසානයේදී රංජිත් පීරිස් විසින් පණ ඇති දෙවිවරු නමින් ස්වයං විවේචනාත්මක නිබන්ධනයක්ද සකසන ලදී. වීජේවීර ඝාතනයේ අභිරහස මැයින් සිය බිරිඳගේ නමින් 1994 පෙබරවාරි මස ඔහු ග්‍රන්ථයක්ද නිකුත් කෙරිණි. එය ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් කලක් සිට 1978දී ඉන් ඉවත් කල කෙලී සේනානායකගේ මහරගම නවමග මුද්‍රණාලයේ ප්‍රකාශයට පත්කල පිටු 94ක ග්‍රන්ථයකි. කැරළි නායකයෙකුගේ බිහිසුණු සමුගැනීම මැයින්ද රංජිත් තවත් කෙටි ග්‍රන්ථයක් එළිදක්වා තිබිණි. 

වසර 2012දී ආණ්ඩුව මගින් රංජිත් පීරිස් යළිත් අත්අඩංගුවට ගනු ලැබුවේ දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ සම්බන්ධයක් ඇතිබවට සැකපිටය. වසරකට ආසන්න කාලයක් සැකපිට අත්අඩංගුවේ සිටි ඔහු පසුව නිදහස්වීමෙන් අනතුරුව 2014 මැයි 22දා සිය බිරිඳ චන්ද්‍රා සහ දියණිය රෙබෙකා සමගින් වන්දනාකරුවන් ලෙසින් ඉන්දියාව හරහා නේපාලය බලා පිටත් විය. ඒ වන විට රංජිත්ගේ පුතු ටෙනිසි මිලර් මාලදිවයිනේ රැකියාවක නිරත විය. නේපාලයට 2014 ජුනි 6වැනිදා ඇතුළුවූ රංජිත් පීරිස් සහ දරුවන් නේපාලයේ පිහිටි සරණාගතයින් පිළිබඳව එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් කාර්යාලයෙන් දේශපාලන ආරක්ෂාව පැතීය. ජිනිවා පිහිටි එහි ප්‍රධාන කාර්යාලයටද ඉල්ලීමේ පිටපතක් යොමුකර තිබිණි. ලේඛන වෘත්තියේ නිරතවී සිටින තමාට ඒ හේතුවෙන් ඇති දේශපාලන තර්ජන ඔහු එමගින් අවධාරණය කර තිබිණි. සිය උත්සාහයන් ව්‍යාර්ථ වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණි රංජිත් පිරිස් ඇතුළු පවුලේ සාමාජිකයින් වර්තමානයේ ගල්ගමුවේ මොරගොල්ලාගම පදිංචිය.

ජවිපෙ 2වැනි කැරළි සමයේදී ඇතිවූ සංහාර සමයක මෙවැනි සටහන් බොහෝය. එහෙත් යථාර්ථය සදාකාලිකව මිහිදන්කල නොහැකි බව ඉතිහාසය කිසිදා හෝ ඔප්පු කරනු ඇත.The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at [email protected] OR 011-5234384. (ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

ධර්මන් වික්‍රමරත්න

 

 

ඡායාරූප විස්තර

  1. ධර්මන් වික්‍රමරත්න විසිනි.
  2. ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරළිකරුවන් ඝාතනය කිරීමේ මෙහෙයුමක නිරතවූ  කන්දමුල්ල ආරච්චිගේ රංජිත් විල්ෆඩ් පීරිස් නොහොත් කෑගල්ලේ පීරිස්.
  3. ඉහළ වමේ සිට රංජිත් පීරිස්ට 1968දී දේශපාලන ආවේශය රැගෙනආ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ(පීකිං පිළ) නායක නාගලිංගම් ශන්මුගදාසන්, රංජිත් දේශපාලනය ප්‍රථමයෙන් ඇරඹූ පෙරදිග සුළං ව්‍යාපාරයේ නායක ගාමිණී යාපා, රංජිත් ජවිපෙට 1970දී එක්වීමේදී කෑගල්ල දිස්ත්‍රික් ජවිපෙ නායකයාවූ සරත් විජේසිංහ, 1971 අප්‍රේල් 5වැනිදා කැරැල්ලේදී අත්අඩංගුවට ගැනීමට රංජිත්ට නියමිතව තිබූ කෑගල්ල පොලිස් අධිකාරි ආනන්ද සෙනෙවිරත්න(19වැනි පොලිස්පතිවරයා බවට පත්විය) සහ ජවිපෙට එරෙහි ප්‍රහාරවලදී රංජිත්ගේ ආරක්ෂක හමුදා සම්බන්ධීකාරකයෙක්වූ කර්නල් ලයනල් බලගල්ල( පසුව 2000 සිට 2004 දක්වා හමුදාපතිවූ බලගල්ල විශ්‍රාම ගන්නා විට ලුතිනන් ජෙනරාල්වරයෙකි.) සහ ආණ්ඩුවේ සහායෙන් ක්‍රියාත්මකවූ අර්ධ මිල්ටරි කණ්ඩායම් වලින් වඩාත් බලගතු සංවිධානය වූ ප්‍රා සම නිර්මාතෘවරයා වන මහජන පක්ෂයේ නායක ඔසී අබේගුණසේකර.
  4. ආණ්ඩුවේ හමුදා සමඟ එක්වී රංජිත් විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලද බවට පවසන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පී.බී විමලරත්න නොහොත් ට්‍රින්කෝ විමල්, 1990 රංජිත්ගේද මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගනු ලැබූයේයැයි කියන ජවිපෙ සන්නද්ධ නායක සමන් පියසිරිගේ යුධ න්‍යායචාර්ය සහ මස්සිනාවූ වීරකැටියේ හීන්බුන්නේ දයා වන්නිආරච්චි, ජවිපෙන් ඉවත් කිරීමෙන් පසු 2වැනි කැරැල්ලේදී ආණ්ඩුව සමඟ එක්ව ජවිපෙට ප්‍රතිප්‍රහාර එල්ල කල ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභිකයින් වූ කෙලී සේනානායක සහ වාස් තිලකරත්න(ඉහළ වමේ සිට)
  5. රංජිත් පීරිස්, සිය බිරිඳ චන්ද්‍රා විජයලත් ආරච්චිගේ, දියණිය රෙබෙකා සහ යුක්රේනියානු හිතවතෙකු සමඟින්.
  6.  රංජිත් පීරිස් විසින් ප්‍රකාශයට පත්කර ඇති ලිවින් ගෝඩ්ස් ග්‍රන්ථය(වමේ) සහ විජේවීර ඝාතනය පිළිබඳව සිය බිරිඳගේ නමින් 1994 පෙබරවාරි මස මහරගම නවමඟ මුද්‍රණාලයේ මුද්‍රණයකර ප්‍රකාශයට පත්කල පිටු 94ක ග්‍රන්ථය(දකුණේ).
  7. රංජිත්ගේ දරුවන්වන 1984 පෙබරවාරි 12 උපන් රෙබෙකා සහ 1987 අප්‍රේල් 23 උපන් ටෙනිසි කුඩා කාලයේදී මෙහි වමේ සිට දැක්වේ.
  8. නේපාලයේ දේශපාලන රැකවරණ පතමින් රංජිත් සිය දරු පවුල සමගින් සිටියදී ඔහුගේ අදහස් රැගත් පුවරුවක් සවිකල ත්‍රීරෝද රථයක් 2014 නොවැම්බර් මස කෑගල්ල නගරයේදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress