ඡායා…..මායා….!!
Posted on July 10th, 2016

වැට් බද්දට එරෙහිව සංවිධානය වන හර්තාල්ය. ආපදා වන්දි ඉල්ලමින් හඬ නඟන වින්දිත ජනතාවය. විවිධ හේතූන් මත කෙරෙන ශිෂ්‍ය අරගලය. ජීවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා සේවයෙන් ඉවත් වූ දුම්රිය හරස් ගේට්ටු මුරකරුවන්ය. ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලමින් වර්ජනයකට අරඅඳින පුද්ගලික බස් හිමියන්ය. තවත් විවිධාකාර ප්‍රශ්ණවලට පිලිතුරු ඉල්ලා දිනපතාම මාර්ග අවහිර කරමින් විරෝධතා දක්වන ජනතාවගෙන් අඩුවක් නොමැත.

මේ සියලු දේ නිසා දත කට පූට්ටු වූවාක් මෙන් සිටින අතරතුර, හදිසියේම සිනාසී විනෝද වන්නට අවස්ථාවක් රජයේ ඇමතිලාට ලැබිනි. ඒ, ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඡායා කැබිනට්ටුව පිලිබඳ කතාව නිසාය. මෙය එජාප මැති ඇමතිලාට මොන තරම් විශාල මාතෘකාවක් වීද යත්, පාරක් කාපට් කරන්නට මුල පුරන තැන හෝ වෙනත් කිසි සේත් අදාල නැති අවස්ථාවල පවා ප්‍රධාන මාතෘකාව වූයේ මේ ඡායා කැබිනට්ටුවයි. පාර්ලිමේන්තු රැස්වීමේදී අනුර දිසානායක ඇසූ ප්‍රශ්ණයකට පිලිතුර ලබා දෙන්නට අදාල ඇමති හෝ නියෝජ්‍ය ඇමති සභාවේ නොසිටිය අතර ‘කෝ හෙවනැලි ඇමතිවත් නැහැනේ’ කියා මහ හඬින් සිනාසුන ඔවුන් සැම, ඇමතිකම පමනක් බදාගෙන, අසන පැනයකට පිලිතුරක් දීම සඳහාවත් මැති සබය තුල රැඳී සිටීමට තරම්වත් උනන්දුවක් නැති ඇමතිවරුන්ගේ ප්‍රශ්ණය විහිලුවෙන්ම යට කර දැමූහ. හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශය වූ ‘බලය’ වැඩ සටහනේදී, කුරුණෑගල සිට දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙක්, ඊට සහභාගි වී සිටි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාගෙන් විමසා සිටියේ ‘මොකක්ද ඔය ‘සිහින’ කැබිනට්ටුව? මේ වගේ දේවල් ගැන කියනකොට ලැජ්ජයි වගේ නේද?’ කියායි. මේ මෙවන් කතාබහ ඔස්සේ ඡායා කැබිනට්ටුව සම්බන්ධව ජනතාවට ලැබී තිබෙන අවබෝධයේ තරමයි. ඒ කතාකල පුද්ගලයාට අඩු තරමින් ඡායා සහ සිහින යන වචන අතර වෙනස ගැන වත් අවබෝධයක් නොමැති බව පෙනුනි.

එසේ අදහස් පලකල එජාප මැති ඇමතිවරුන්ගේ කතාබහ අතර ” ඡායා කැබිනට් එකෙත් තනතුරු බෙදා ගන්න රණ්ඩු වෙනවා”, “එතනත් රාජපක්ෂලා තුන් දෙනෙක් ඉන්නව”, මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ නායකය කිව්වට ඒකෙ තනතුරු එපා කියලා” “ඒ තනතුරු දීල තියෙන්නෙත් හොරුන්ටමයි” වැනි කියමන් ඇසිනි.

මෙසේ ඡායා කැබිනට්ටුවක් පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ පමනක් නොවේ. වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල, විපක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් ඡායා ඇමති මණ්ඩලයක් පිහිටුවා ගැනීම ඉතාම සාමාන්‍ය දෙයකි. මන්ද ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තු නියෝජිතයන් තේරී පත්වන්නේ මහජන ඡන්දයෙනි. ඡන්දය ප්‍රකාශ කිරීම තුල ඡන්ද දායකයා තමා කැමති පාර්ශ්වයේ අදහසට ඇති ස්ව කැමැත්ත සනාථ කරයි. මෙහිදී රාජ්‍ය බලය ලැබෙන කොටසට මෙන්ම අනිකුත් පක්ෂ වෙනුවෙන්ද ඡන්දය ප්‍රකාශ කරන පිරිසකුත් සිටිති. රජයේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනුයේ බහුතර බලය හිමි වූ පක්ෂයේ අයයි. මීට වෙනස් වූ ප්‍රතිපත්තීන් අපේක්ෂාකල අනිකුත් පිරිස වෙනුවෙන් ද සාධාරණයක් ඉටු විය යුතුය. එමෙන්ම තමන්ට ඡන්දය දුන් අයට පමනක් නොව සමස්ත රටවැසි ජනතාවටම සේවය කිරීමට රජය බැඳී සිටියි.  ඒ බව සහතික කරනු වස්, සියලුම විපක්ෂ නියෝජිතයන්ට, සියලුම විෂයයන්ට අත පොවා අවුල් කරගනු වෙනුවට, ඒ ඒ විෂය සම්බන්ධව යම් නිපුණත්වයක් ඇති පිරිස ඇතුලත් කර ඡායා කැබිනට්ටුවක් ලෙස නම් කල විට,  -එය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් – රජයේ අමාත්‍යංශ මගින් කෙරෙන කටයුතු අධීක්ෂණය කිරීම පහසුය. ඒ තුල රජය ගමන් කරන මාවත පොදු ජනතාවට හිතකර හා සාධාරණ එකක්ද යන්න වටහා ගැනීම වඩා සරලව සිදුකල හැක.

සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ය කියූවත්, ශ්‍රී ලංකාවේ අමාත්‍යවරු වැඩ කරන පිලිවෙල ගැන විස්තර කරන්නට අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැත. මහ බැංකු අධිපති හෝ අග්‍ර විනිශ්චයකාර තැන පත් කිරීමේ සිට කොලොන්නාව තෙල් පිරිපහදුවට හෝ වරායට බඳවා ගන්නා සුලු සේවකයා දක්වා කටයුතු දේශපාලනීකරණය වී තිබේ. වරක් විශ්ව විද්‍යාල ආචාර්ය පදවියක් තම හිතවතෙකුට ලබා දීම සම්බන්ධව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ක්‍රියාකල ආකාරයත්, එදා ඔහු මාධ්‍ය සමග ඇතිකරගත් අප්‍රසන්න වචන හුවමාරුවේදී හෙලිදරව් වූ ඔහුගේ අභ්‍යන්තර ප්‍රකාශනයත් තවමත් ජනතාවගේ මතකයේ තිබෙනු ඇත. මෙසේ රැකියා දීම පමනක් නොව රටේ අනාගතයට බලපාන ගිවිසුම්, ව්‍යාපෘතීන්, ආඥා පනත් රජයක් යටතේ එලි දකින අතර මේවා සාධාරණීකරනය කරමින් පවත්වන දේශන තුලින් අහිංසක ජනතාව නොමග යවන අයුරු අපි නිතරම මාධ්‍ය තුලින් දකිමු. රජයේ කැබිනට් ප්‍රකාශකයකු සිටියද ඔහුගේ කාර්යයද තම කැබිනට් තීරණ සාධාරණීකරනය කිරීමය. පසුගිය දිනවල අපේ කැබිනට් ප්‍රකාශක රජිත සේනාරත්න සහ අධ්‍යාපන ඇමති අඛිල විරාජ් විසින්, ඒ දිනවල රටේ පැවති ආපදාමය තත්වය හෝ නොසලකමින් තම ඇමතිවරුන්  සුඛෝපභෝගී වාහන ඉල්ලීම සාධාරණීකරනය කිරීමට පියවර ගත් අයුරු මීට හොඳම නිදසුනයි.

එබැවින් අප රටට ඡායා කැබිනට්ටුවක් අවශ්‍යය. නිසි පරිදි ක්‍රියාත්මක වන ඡායා කැබිනෙට්ටුවක් තිබේ නම් ද, ඇමතිවරයා සාධාරණ නම් ද විපක්ෂයේ අදාල විෂය භාර අධීක්ෂක මන්ත්‍රීවරයාට රටට හා ජනතාවට බලපාන කරුණු ගැන ඇමතිවරයා සමග සාකච්ඡා කල හැක. ඒ තුල වඩාත් සාධාරණ වූ තීරණ වලට එලැඹීමේ අවස්ථාව රජයටද, එම තීන්දු වල ප්‍රතිඵල භුක්ති විඳීමේ අවස්ථාව ජනතාවට ද ලැබෙනු ඇත.

පාරක් කාපට් කරන්නට මුල්ගල තබන උත්සවයකදී, උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල උපහාසයෙන් කතාකලේ ඡායා කැබිනෙට්ටුව ගැනය. මෙසේ තමා කරන කාර්යයට කිසි සේත් අදාල නැති කතාවක් පවත්වා, මුල් ගලද තබා, පුවරුවක් විවෘතකර යන ඔහුට තව ටික දවසකින් ඒ කාර්යය සම්පූර්ණ කලාද යන්න මතක් වනුවත් ඇතිදැයි සැක සහිතය. වරක් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මාධ්‍ය ඔස්සේ පෙන්වූයේ මෙවන් හිස්, ආටෝපමය ඇරඹුම් වල අවසානයයි. ඒ අවසන ජනතාවට ලැබෙන බාල ප්‍රමිතියෙන් යුතු මාර්ගයි. නලින් බණ්ඩාර නම් එජාපයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය උදාහරණයට ගනිමින්, තම රජය සාධාරණය ඉෂ්ඨ කිරීමට පසුබට නොවන බව පැවසීය. නමුත් ඒ සිද්ධියේදී මාස 6 ක් තිස්සේ පාසලක් නැතිව සිටි සිය දරුවන් පිලිබඳව දැවෙමින් කල් ගතකල ඒ මවුවරුන්ට අත් වූ ඉරණම හෝ ඒ සිද්ධිය සමග බැඳුනු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අක්‍රමිකතා තුල සමාජය ලක්වන අසාධාරණය ඔහුගේ කොල පැහැ දෘෂ්ඨියට ලක් වූයේ නැත. රාජගිරියේදී තරුණයකු අනතුරට ලක් කර පලා ගිය චම්පික රණවක ඇමතිවරයා, ඇසින් දුටු සාක්ෂි තිබියදීම නඩු නොඅසාම ගොඩ ගිය අයුරු හෝ තරුණයෙකු පැහැරගෙන චණ්ඩිකම් පෙන්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට විනාඩි 20 න් ඇප ලැබුන අයුරු ඔහුට අමතකය.

ඡායා කැබිනෙට්ටුවට පත්ව ඇත්තේත් හොරු යයි පවසන අනෝමා ගමගේ ඇමතිවරියට, තම සැමියා වන දයා ගමගේ ඇමතිවරයා පානම ජනතාවගේ ඉඩම් කොල්ල කෑමට පිඹුරුපත් සකසනු නොපෙනේ. ‘රාජපක්ෂලා තුන් දෙනෙක් ඡායා ඇමති මණ්ඩලයේ ඉන්නවා යයි චෝදනා කරන ඔවුන්ට තම ඇමති මණ්ඩලයේ සිටින සැමියා – බිරිඳ නොපෙනේ. මැති සබයේ හෝ වෙනත් බල අධිකාරීන් තුල පෝෂණය වන ඥාති සම්බන්ධ කම් නොපෙනේ. ‘රජයක් පිහිටුවන්න අවශ්‍ය වූ වෙලාවෙ කලු සුදු බල බලා ඉන්න බැහැ’ කියාත්, ‘මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ දේශපාලකයින් තමා දන්නා මුත් රටට හෙලි නොකරන්නේ එසේ කලොත් රජය පවත්වාගෙන යා නොහැකි නිසා’ බවත් පවසන්නේ හොරකම, දූෂණය පිටු දකිනුවස් ඔවුන් විසින්ම පත්කරගත් ‘අතිගරු ‘ ජනාධිපති තුමාමය.

ඉතින් මේ ආකාරයේ  ඒක පාර්ශ්විකව හා ආත්මාර්ථකාමී සහ නිර්ලජ්ජිත ලෙස ප්‍රශ්ණ විසඳන්නට ක්‍රියා කරන දේශපාලන සංස්කෘතියකට ඡායා කැබිනට්ටුවක් අවශ්‍යමය. විශේෂයෙන් රජයේ පාර්ශ්වයෙන් මේ සිද්ධිය ගැන කතා කරන පටු හා පරිණත නොවූ දෘෂ්ඨිමය ස්වභාවය අනුව මෙවන් පිරිසක් වෙතින් ඉටුවන සාධාරණ වූ සේවයක් පිලිබඳව ජනතාවට විශ්වාසය තැබිය හැකිද? තම බටහිර මිත්‍ර සම්බන්ධතා ගැන මහ උජාරුවෙන් පවසන මොවුන්ට අඩු තරමින් ඒ මිත්‍රයන් තම ඡායා කැබිනට්ටු සමග ගණුදනෙු කරන ආකාරයවත් ඉගෙන ගන්නට බැරි හැටි !

2008 ඔක්තෝබර් 25 වන දා, එවකට විපක්ෂයේ කටයුතු කල එක්සත් ජාතික පක්ෂයද සාමාජිකයන් 37 දෙනෙකුගෙන් සමන්විත ඡායා කැබිනට්ටුවක් පිහිටුවනු ලැබීය. එහිදී ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාප සභාපති රුක්මන් සේනානායක, මහ ලේකම් තිස්ස අත්තනායක සහ මාධ්‍ය ප්‍රධානී ලක්ෂ්මන් කිරිඇල්ල මෙහි තනතුරුවලින් ඉවත්ව සිටියහ. එදා එම ඡායා කැබිනට්ටුව පිහිටුවනු ලැබුයේ රටේ නිල විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය යයි කෙනෙකුට තර්ක කල හැක. නමුත් වත්මන් නිල විපක්ෂය වන ද්‍රවිඪ ජාතික සන්ධානය කිසි සේත් රජයට විරුද්ධව ඡන්දය දුන් සමස්ත පොදු ජනතාව නියෝජනය නොකරයි. එදා මැයි මාසයේ සිදු වූ දරුණු ආපදා තත්වය තුල විපතට පත් ජනතාව ගැන වචනයකින්වත් ශෝකය ප්‍රකාශ නොකල ඔවුන් කොස්ගම සාලාව පිපිරීම සිදු වූ සැනින් වහා ඒ පිට දමමින් උතුරේ කඳවුරු ඉවත් කරන ලෙස ඉල්ලා සිටි ආකාරය ඊට හොඳම නිදසුනයි.2015 වසරේ මැතිවරණ දෙකෙහිදී ශ්‍රීලනිපය ට ඡන්දය ප්‍රකාශ කල ජනතාව අද සිටින්නේ අනාථවය. ඔවුන් කතිරය ගසා රජ ගෙදරට යැවූ පිරිසෙන් කොටසක් එජාපයේ බලය තහවුරු කරනට උර දුන් අතර, ජනතාව බහුතරයක් වෙතින් ප්‍රතික්ශේප වූවෝ තමන්ට ලැබුනු ඇමති වරදාන සහ වරප්‍රසාද පොදිත් සමගම පස්සා දොරින් පාර්ලිමේන්තුවට රිංගා ගත්තෝ, ඔවුන්ට ජනතා මනාපය හිමි නොවුන හේතුව තව දුරටත් ජනතාවට පසක් කරමින් රජයට එකතු වී රජයේ කුණු සෝදන කොන්ත්‍රාත්තුව ඉටු කරනට වූහ. ඒ තුල ශ්‍රීලනිප ඡන්දදායකයන් අපේක්ෂා භංගත්වයට පත් වූ බව නම් සිකුරුය. තමන්ගේ කතිරයෙන් පාර්ලිමේන්තුවට ගොඩවී, තම ප්‍රතිවාදීන් සවිමත් කරන්නට අතහිත දුන් පිරිසක්ද, නිල විපක්ෂය වශයෙන් රටේ පොදු ජනතාව ගැන සිතන්නටවත් නොවෙහෙසෙන පිරිසක්ද සිටින විට මේ ජනතාවට ඉතිරි වූ එකම අපේක්ෂාව නම් රජයට නොබැඳී වෙන්ව ක්‍රියාත්මක වන ඒකාබද්ධ විපක්ෂය පමනි.  එබැවින් මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය ඡායා කැබිනට්ටුවක් පිහිටුවීමේ කිසිදු වරදක් නැත. රජයට මේ සම්බන්ධව කලබල වීම කිසි සේත් අනවශ්‍යය.මන්ද එජාපයට ත් මේ අත්දැකීම තිබෙන නිසා, ඡායා කැබිනට් ඇමතිකමක් ලැබුනද  ඇමති වැටුප් හා වරප්‍රසාද ද, රු. ලක්ෂ 300, 400 සැප වාහනද, කෝටි ගණන් මාසික කුලී ගෙවන අමාත්‍යංශ ගොඩනැගිලිද නොලැබෙන බව ඔවුනුත් දැනගත යුතුම කරුණකි.

ඒ අව් අස්සේ මෙසේ සිනාසෙන, විනෝද වන දෙස ජනතාව බලා සිටියදී, රු. කෝටි 118 ක් වැයකර ගෙන්වන්නට යොදාගෙන, ජනතා විරෝධය මැද කල් යැවුනු ඇමති ගනයාගේ සැප වාහන හොර රහසේම හම්බන්තොට වරායෙන් අපේ රටට ගොඩ බැස ඇති බවට පුවතක් ද පැතිර යයි.

ඒ වෙනුවට නැව් නගින්නටවත් මනුස්සකම මේ වෙනුවට අප රටේ ඉතිරිව ඇතිද? දශක හතරකට ආසන්නව වර්ධනය වෙමින් ආ ජරාජීර්ණ දේශපාලනය විසින් එවන් මනුස්සකම සුඟක්වත් ඉතිරි නොකර ගිලගෙන හමාරය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress