පෙරදිගට ගමනක් – 22 -චන්ද්‍රභානු ගේ ගනුදෙනුව
Posted on July 11th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

ක්‍රිස්තු වර්ෂ 1236 දී දඹදෙණියේ රජ වූ සිරි පැරකුම්බා (දෙවැනි පැරකුම්බා) රජ්ජුරුවන් ගේ එකොළොස්වැනි අවුරුද්දේ දී අපි ද බෞද්ධයෝ වම්හ” කියා මායා කොට” චන්ද්‍රභානු කියන ජාවක රජෙක් අපේ රට ආක්‍රමණය කළා කියලා මහාවංශය කියනවා. මේ ගැන කරුණු තව තවත් බොහෝ පොත්වල සඳහන්. මේ චන්ද්‍රභානු කියන්නේ කවුද? දකුණු තායිලන්තයේ සුරත් ථානි පළාතේ චයියා දිස්ත්‍රික්කයෙන් ලැබිලා තියෙන සෙල්ලිපියක සඳහන් කරලා තියෙනවා තාම්‍රලිංගේශ්වර චන්ද්‍රභානු කියලා රජකෙනෙක් ගැන. ඒ සෙල්ලිපියේ දිනය ක්‍රිස්තු වර්ෂ 1230 වර්ෂයට අදාළ එකක්. මේ කියන තාම්‍රලිංගය ගැන අපේ මූලාශ්‍රවලත් සඳහන්. හත්‍ථවනගල්ල විහාරවංශයේ ඒකට කියන්නේ තම්බලිංග රට කියලා. ඒ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයේ – ඒ කියන්නේ එළු අත්තගලු වංශයේ ඒ ප්‍රදේශය හඳුන්වලා තියෙන්නේ තමලිංගමුව කියලා. මේ තමලිංගමුව ගැන තව පොත්වලත් කරුණු තියෙනවා. දඹදෙණි අස්න කියනවා දෙවැනි පැරකුම්බා රජ්ජුරුවෝ විසින් තමලිංගමුවේ රජ්ජුරුවන් ව පරාජය කළා කියලා. පූජාවලියත්, දළදා පූජාවලියත් මේ තමලිංගමුව ගැන විස්තර කියනවා.

කුරුණෑගල යුගයේ දී ලියපු දළදා පූජාවලිය තමලිංගමුව ගැන කියන්නේ දළදාවහන්සේ සිංහලදේශයට වැඩමවන අවස්ථාවේ දී දන්ත කුමාරයාත් හේමමාලා කුමාරියත් නැව් නැංග නගරය ගැන විස්තරකරද්දී. ඒ කතාවේ හැටියට නම් තමලිංගමුව තියෙන්න ඕන කාලිංගය පැත්තේ. ඒත් චන්ද්‍රභානු ගේ තමලිංගමුව විදිහට හඳුනාගෙන තියෙන්නේ මෙයට පෙර ලිපියෙන් විස්තරකරපු සිරිධම්ම නගරය අගනුවර කරගත්ත රාජ්‍යය. හැබැයි සිරිධම්ම නගරයේ ඉතිහාසය කියන පළිඟු වාළුකා වංශකතාව” පවා යම් විදිහකට දළදා කතාව තමන් ගේ නගරයට සම්බන්ධකරනවා. ඒකෙන් කියන විදිහට දන්ත කුමාරයාත් හේමමාලා කුමරිය දළදාවහන්සේ සිංහලදේශයට වැඩම කරවලා, ආයෙත් නැව් නැගලා ගිහිල්ලා තියෙනවා. ඒ ගමන අවසානයේ ඔවුන් ගොඩබැහැපු තැන තමයි මුලින් ම සිරිධම්ම නගරය ගොඩනගලා තියෙන්නේ. ඒ කියන්නේ මලය අර්ධද්වීපයේ බටහිර වෙරළේ. ඒත් පස්සේ කාලෙක ඇතිවෙච්ච වසංගතයක් හින්දා ඒ නගරයේ රජ්ජුරුවෝ මිනිස්සුත් එක්ක දවස් හතක් නැගෙනහිර පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒකයි දැන් සිරිධම්ම නගරය මලය අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළේ තියෙන්න හේතුව.

අපි කිය කියා හිටියේ චන්ද්‍රභානු ගේ ආක්‍රමණය ගැන. ඔහු සිරිධම්ම නගරයේ ඉඳලා ආපු කෙනෙක් බව පැහැදිළියි. ඒ බව බොහෝ ඉතිහාසඥයන් විසිනුත් සනාථකරලා තියෙනවා. ඇත්තෙන් ම චන්ද්‍රභානු ආක්‍රමණ දෙකක් ම කළ බවකුත් කියනවා. මේ මනුස්සයා අපිත් බෞද්ධයෝ” කියාගෙන මේ තරම් දුරක් ගෙවාගෙන ආවේ ඇයි? දළදාවහන්සේ ලබාගන්නා අදහසින් ඔහු ආ බවක් තමයි අපේ වංශකතා කියන්නේ. ඒත් ඊට වෙනස් කතාවක් තායි මූලාශ්‍රවල සඳහන්. ඒ තමයි සිංහල බුදු පිළිමයේ කතාව. අපි මෙයට පෙර ලිපියෙන් කියපු රාම් කම් හැං රජතුමා බලයට ඇවිල්ලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1275 දී විතර. ඊට කලින් සුඛෝදය පාලනය කරලා තියෙන්නේ ඔහු ගේ පියා – ඒ කියන්නේ ශ්‍රී ඉන්ද්‍රාදිත්‍ය රජතුමා. එතුමා රජවෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1238 දී. ඔහු ව රෝචරාජ (ප්‍රා රුවාං) කියන ගෞරව නාමයෙනුත් හදුන්වනවා. රෝචරාජ කියන විරුද නාමයේ අර්ථය තමයි ජාතික වීරයා කියන එක.

බුදුන් පිරිනිවීමෙන් අවුරුදු එක්දහස් අටසියයක් ඉක්ම කල්හි හයසිය අටලොස් වැනි ශක වර්ෂයේ දී දඹදිව ගිනිකොණ දෙසැ පිහිටි සියම් රටේ සුඛෝදයනුවර රෝචරාජ නමැත්තෙක් රජය කරවීය” කියලා ජනකාලමාලිය කියන්නේ මේ ඉන්ද්‍රාදිත්‍ය රජතුමා ගැන. මේ රෝචරාජයා දස දහස් ගණනක සේනාවක් පිරිවරාගෙන සිරිධම්ම නගරයට ඇවිල්ලා ඒ නගරයේ ඉඳලා රට පාලනය කරපු සිරිධම්ම රජතුමා මුණගැහුනා කියලා ජිනකාලමාලිය තවදුරටත් කියනවා. ඒ විදිහට මුණගැහුණේ චන්ද්‍රභානු හරි ඔහු ගේ අනුප්‍රාප්තිකයා හරි බව පැහැදිළියි. පෙර ගමන් ගිහිල්ලා ආගන්තුකයා ව පිළිගත්ත චන්ද්‍රභානු ඔහුට සත්කාර කරලා තමන් අහලා තියෙන දෙයක් ගැන කරුණු කියනවා. ඒ විදිහට චන්ද්‍රභානු විස්තරකරලා තියෙන්නේ ලංකාවේ තියෙන බවට ඒ කාලේ ප්‍රසිද්ධවෙලා තිබුණු සිංහල බුද්ධ ප්‍රතිමාව ගැනත් ඒ පිළිමයේ ආශ්චර්යයන් ගැනත්. සිංහල පිළිමය ලබාගැනීමට කරන්න ඕන දේවල් ගැන දෙන්නා සාකච්ඡා කරලා තියෙනවා. ලංකාව දෙවිවරුන් විසින් රකින නිසා යුද්ධකරලා පිළිමය ලබාගැනීමේ අපහසුව ගැනත් චන්ද්‍රභානු කරුණු කියලා තියෙනවා. ඉක්බිති රජවරු දෙදෙනා එක් ව දූතයකු ලක්දිවට යැවූහ. එ සේ කොට රෝචරාජ සුඛෝදයට ගියේ ය. රාජ දූතයා සිංහලද්වීපයට ගොස් සිංහල රජුට ඒ ප්‍රවෘත්ති කීය. එය අසා රජ තෙමේ සත් දිනක් ඒ පිළිමයට පූජා පවත්වා රාජ දූතයාට බාරදුණි. රාජ දූතයා පිළිමය නැවක නංවාගෙන ගියේ ය.” කියලා ඊට පස්සේ සිදුවෙච්ච දේවල් ජිනකාලමාලිය කියනවා. ඒත් මේ දේ ඒ තරම් සරල විදිහට සිද්ද නොවුනු බව පැහැදිළියි. එහෙම නම් සිද්දවෙන්න ඇත්තේ මොකක්ද?

චන්ද්‍රභානු සිරිධම්ම නගරයේ රජවෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1230 දී විතර. සිරි පැරකුම්බා රජතුමා දඹදෙණියේ බලයට ඇවිල්ලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1236 දී. කලින් කියපු විදිහට ඉන්ද්‍රාදිත්‍ය රජතුමා සුඛෝදයේ බලයට ඇවිල්ලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1238 දී. අපිත් බෞද්ධයෝ” කියමින් දළදාවහන්සේත් පාත්‍ර ධාතුන්වහන්සේත් ගෙනියන්න හිතාගෙන චන්ද්‍රභානු මුල් වතාවට අපේ රට ආක්‍රමණය කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1247 දී. දෙවැනි වතාවට ආක්‍රමණය කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1262 දී. නච්චම්බු නම් වූ විෂ කොහොල් ගෙන සර්පසේනාවක් සේ ඒ ඒ තොටින් බැස ලක්දිව ගලා ගෙන ගිනි සෙණ ගිය මඟ දියසෙණ ගැසුවා සේ, ලක්දිව නැවත නසන්ට පටන් ගත් චන්ද්‍රභානු නම් රජහු හා ජාවක මහ සෙනග ද, අසුර යුද්ධ කරන්නා සේ, නො එක් යුද්ධ කරවා මරා, ලුහුබැඳ” ඒ ආක්‍රමණ අවසන් කරපු විදිහ පූජාවලිය විස්තරකරනවා. මේ ආක්‍රමණ දෙක ගැන ම මහාවංශයත් කරුණු කියනවා. ඉතින් තමන් ගේ අරමුණ බලහත්කාරයෙන් ඉටුකරගන්න බැරි බව චන්ද්‍රභානු තේරුම්ගත්ත බව පැහැදිළියි. ඔහුත් සුඛෝදයේ ඉන්ද්‍රාදිත්‍ය රජතුමාත් අතර ඇතිවෙච්ච සාකච්ඡාවේ අරමුණත්, ඒ අරමුණ වෙනුවෙන් ඔවුන් අනුගමනය කරපු උපායත් ඒ මාර්ගයෙන් තේරුම්ගන්න පුළුවන්. ඒ උපායෙන් ඔවුන් ලබාගෙන තියෙන්නේ දළදාවත් පාදාවත් නම් නෙවෙයි. සිංහල බුදු පිළිමය.

පූජාවලිය කියන විදිහට සිරිලක ඒකාතපත්‍ර කොට, දෙමළුන් විසින් නැසූ ලක්දිව පමුණු – පරපුර ව්‍යවස්ථාවට – තාපස ගණතැන් – පුගුල්තැන් – ආයතැන් – පිරිවෙන් තැන් – දස මේ තැන් පෙර සේ ම ව්‍යවස්ථා කරවා පළමු කොට රට බතින් සමෘද්ධ කරවා, දිළිඳු ව ගිය ලඞකාවාසීන් තමන් තමන් ගේ ධන ධාන්‍ය මෙතෙකැ යි නොදන්නා සේ ශ්‍රීවන්ත” කරවු පණ්ඩිත සිරි පැරකුම්බා රජතුමා ශාසනෝපකාරය පටන් ඇරන් තියෙනවා. ශාසනය ශුද්ධ කළ එතුමා නො එක් පඬුරු පාක්කුඩම් යවා” විදේශගත ව සිටි භික්‍ෂුන් සිංහලයට ගෙන්වා උභය ශාසනය ම” ඒ කියන්නේ ගම්වාසි පරපුරත් වනවාසි පරපුරත් ශක්තිමත්කරන්න කටයුතු කරලා තියෙනවා. මේ කටයුතුවල යෙදෙමින් ඉන්න කාලේ තමයි එතුමාට දැනගන්න ලැබිලා තියෙන්නේ තමලිංගමුවේ – ඒ කියන්නේ සිරධම්ම නගරයේ, වැඩවාසය කරපු ධර්මකීර්ති කියන මහා ස්ථවිරයන් ගැන. ඒ ගැන පූජාවලියේ තියෙන්නේ මෙහෙම කතාවක්. තව ද තමලිංගමුයෙහි වසන දොළොස් දහසක් භික්‍ෂූන් අතුරෙන් ධර්මකීර්ති නම් මහාස්‍ථවිරයන් සිඟා යන පෙරමඟ පියුම් පැනනැංග හ යි අසා දළදා වැඩූ ගඳ කලල් ආදී දහම් පඬුරු, රජ පඬුරු තමලිංගමු යවා ඔවුන් සිංහලයට වඩා ගෙන්වා බුදුන් රහතුන් දුටුවා සේ, මහත් වූ සත්කාර කොට, ඔවුන් දිවි පමණින් මහත් වූ පත්‍යය දානය දී මහ පින් රැස් කළ හ.” මේ ආරංචිය අපේ පරාක්‍රමබාහු රජතුමාට දීලා තියෙන්නේ අර රාජ දූතයා බව පැහැදිළියි. ඉතින් ඒ කතාව අහලා පැහැදුණු රජතුමා ඒ මහා ස්ථවිරයන්වහන්සේ වෙනුවෙන් සිංහල පිළිමය හුවමාරුකරගන්න එකඟවෙච්ච බවත් පැහැදිළියි. ඉතින් රජ තෙමේ සත් දිනක් පූජා පවත්වලා ඒ පිළිමය රාජ දූතයාට බාරදීලා තියෙනවා.

ජිනකාලමාලියෙන් කියන මේ සිංහල පිළිමය අතීතයේ සැඟවිච්ච එකක් නෙවෙයි. ඇත්තෙන් ම මේ ගැන ජිනකාලමාලියට අමතර ව සිහිංග බුද්ධ නිධාන” කියන පොතෙත් සඳහන්. ඒ පොත නම් තව ම සිංහලයට පෙරලලා නෑ. ඉංග්‍රීසි පරිවර්තනයක් නම් තියෙනවා. සිංහල බුද්ධ ප්‍රතිමාවේ මෑත කාලීන ස්වරූපය ගැන විස්තර සෑහෙන ප්‍රමාණයක් බෝයගම විමලසිරි නායක හාමුදුරුවන් ගේ තායිලන්ත බෞද්ධ සංස්කෘතිය පොතේ තියෙනවා. විවිධ බාධක මැද්දේ සිරිධම්මපුරයටත් එයින් පස්සේ සුඛෝදයටත් පිළිමය වඩම්මවලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1347 දී සුඛෝදයේ සිහසුනට ආපු ලිද්‍යෙය ධම්මරාජ රජතුමා මේ පිළිමයට බොහෝ ම ඉහළින් ගරුසරු දක්වපු කෙනෙක්. ලිද්‍යෙය කියන්නේ කලින් කියපු රාම් කම් හැං රජතුමා ගේ මුණුපුරා. පස්සේ කාලෙක මේ සිංහල පිළිමය විෂ්ණුලෝකයටත් (පිට්සානුලොක් නගරයටත්), අයුධ්‍යයා (අයුත්තයා) නගරයටත්, ඊටත් පස්සේ වජිරාපාකාරපුරයටත් (කම්පැං පෙට් නගරයටත්) ගෙනියලා තියෙනවා. නබ්බිසිපුරයේ (චියැං මායි) රජවුනු කිලනා රජතුමාත්, චියැං රායි නගරයේ රජවුනු මහා බ්‍රහ්ම රජතුමාත් එකතුවෙලා මේ පිළිමය ලබාගන්න යුද්ධයකට සූදානම් වෙලා. ඒ වෙලාවේ සුගන්ධ කියන මහා ස්ථවිරයන්වහන්සේ මැදිහත් වෙලා තමයි සාමදානයෙන් ඒ ප්‍රතිමාව නබ්බිසිපුරයට – ඒ කියන්නේ චියැං මායි නගරයට ලබාදීලා තියෙන්නේ. ඊටත් පස්සේ සිංහල ප්‍රතිමාව චියැං රායි නගරයට ගෙනියලා ඒ සමාන තව ප්‍රතිමාවකුත් කරවලා තියෙනවා. ඒ කාලය තුළ තමයි සිංහල ප්‍රතිමාව තියන්න ම කියලා විහාරයක් චියැං මායි නගරයේ ඉදිකරලා, ඊටත් පස්සේ තමයි ඒ විහාරයේ ඒ ප්‍රතිමාව ස්ථීරව ම තැන්පත්කරලා තියෙන්නේ. සිංහලාරාමය – එහෙම නැතිනම් දැන් වට් ඵ්‍රා සිං කියලා හඳුන්වන්නේ ඒ විහාරය. මේ සිංහලාරාමය තමයි දැනටත් චියැං මායි නගරයේ තියෙන ප්‍රධානතම විහාරස්ථානය.

ඇත්තෙන් ම දැන් තායිලන්තයේ සිංහල නමින් හඳුන්වන ප්‍රතිමාවහන්සේ තුන් නමක් වැඩ ඉන්නවා. එක් ප්‍රතිමාවහන්සේ නමක් වැඩ ඉන්නේ උඩින් කියපු චියැං මායි නගරයේ තියෙන සිංහලාරාමයේ. අනෙක් ප්‍රතිමාවහන්සේ සිරිධම්ම නගරයේ – ඒ කියන්නේ නාකොන් සි තම්රට්වල තියෙන මහාධාතු විහාරයේ. තුන්වැනි ප්‍රතිමාවහන්සේ බැංකොක් නුවර ජාතික කෞතුකාගාරයේ. මේ ප්‍රතිමාවහන්සේලා තුන් නම ම අවුරුද්දකට වතාවක් එළියට වඩම්මවනවා. ඒ, සිංහල අපි අවුරුදු කන දවසට. ථෙරවාදී කලාපයේ අවුරුදු කෙළි ගැන වෙන ම කියන්න පුළුවන්.

චන්ද්‍රභානු – එහෙම නැතිනම් ඔහු ගේ අනුප්‍රාප්තිකයා මුල්වෙලා කරපු මේ ගනුදෙනුව හින්දා අපේ රටට ලැබුණේ ධර්මධර, විනයධර මහා බුද්ධ පුත්‍රයන්වහන්සේ නමක්. ඒ තමයි, මලිංගමුවෙන් වඩම්මවපු ධර්මකීර්ති මහා ස්ථවිරයන්වහන්සේ. මීට පෙර ලිපියෙන් කියපු විදිහට තායිලන්තයේ ලංකා වංශය පිහිටුවන්න රාම් කම් හැං රජ්ජුරුවන් ගේ කාලයේ මුල්වුනේ මේ ධර්මකීර්ති මහා ස්ථවිරයන්වහන්සේ ගේ ශිෂ්‍ය භික්‍ෂුන්වහන්සේ නමක්. කාලිංග මාඝයා ගේ කුරිරුකම් හින්දා බිඳවැටිලා තිබුණු ශාසනයට නැවත ජීවය දෙන්න උන්වහන්සේ මුල්වෙලා තියෙනවා. අපේ රටට වඩමවපු මහා ධර්මකීර්ති ස්ථවරයන්වහන්සේ වෙනුවෙන් විශේෂ ආවාසයක් කරවලා තියෙන්නේ පලාබත්ගල. වනවාසයේ සහ ගම්වාසයේ භික්‍ෂූන්වහන්සේලා මේ විහාරයේ දී උපසම්පදා කරවලා තියෙනවා. ඉතින් ඊට පස්සේ උදාවෙච්ච සියවස් තුන ඇතුළත මේ පලාබත්ගල වනවාසී භික්‍ෂු පරම්පරාවෙන් බිහිවුනු ස්ථවිරයන්වහන්සේලා තුන් නමක් ම මේ රටේ සංඝරාජයන්වහන්සේලා බවටත් පත්වෙලා තියෙනවා.

මේ ගනුදෙනුව හින්දා අපිට අයිතිවෙලා තිබුණු මහා බුද්ධ ප්‍රතිමාවක් පරදේශයකට අයිතිකරලා දුන්නා කියලා කාට හරි මැසිවිලි කියන්න පුළුවන්. ඒත් අපේ සම්ප්‍රදාය ඇතුළේ හැම දෙයක් ම කරලා තියෙන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. කාලිංග මාඝයා ගේ කුරිරුකම් හින්දා බිඳ වැටිච්ච, අඩපණවෙච්ච ශාසනය නැවත පිළිවෙලකට ශක්තිමත් කරවන එක තමයි ඒ වෙද්දී පණ්ඩිත පැරකුම්බා රජ්ජුරුවන් ගේ එක ම අභිප්‍රායවෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක් ම එතුමා කරලා තියෙනවා. ඒ කටයුතු අපි අගය කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි. ඇයි අපිට බැරි තායිලන්තයට අයිතිවෙලා තියෙන සිංහල ප්‍රතිමාව ගැන මෙහෙ ඉඳලා ආඩම්බර වෙන්න? ඒ වගේ ම ඇයි අපිට බැරි ඒ ප්‍රතිමාවේ ආකෘතියක් හදලා, ඒ වෙනුවෙන් විහාරයකුත් ඉදිකරලා මේ කතාව අපේ මිනිස්සුන් ගේ මනස ඇතුළේ තහවුරුකරන්න? එහෙම කළොත් මේ ප්‍රතමාව විතරක් නෙවෙයි, මේ ශාසනයත් අපිට ම අයිතියි කියලා අපේ අයට තේරුම් යාවි.

වරුණ චන්ද්‍රකීර්ති෴

One Response to “පෙරදිගට ගමනක් – 22 -චන්ද්‍රභානු ගේ ගනුදෙනුව”

  1. Senevirath Says:

    මම තව කීපදෙනෙක් එක්ක කතාකලේ මේවගේ ලිපි ගැන කිසි කෙනෙකුගේ අවධානයක් නැති එක ගැනය් . මේ ව්වෙබ් එකේ සිටින අ යත් මෙහෙම නම් අනිත් ය ගැන මොන කතාද .ජාතිය හා වර්ග ගැන නිර්වචනවත් යුද්ධය හා මානුෂික මෙහෙයුම් වල වෙනස වත් නොදන්නා අයත් මායිම් ගම්මාන වැනි වැරදි වචන යොදා ප්‍රශ්න තවත් කුරුවල් කරන අයත් ”ජාතිකවාදීන් ”” අතරත් ඉන්නවා එහෙව් යට මේ ශාස්ත්‍රීය ඉතිහාස විමර්ශන දිරවන්නේ නැතිවා විය හැකිය හැබය් එවැනි අයගෙන් ජාතික සටනට ලැබෙන්නේ අල්පමාත්‍ර දායකත්වයක් පමනය්
    ”සිංහල බුදු පිළිමය ”” මුල්කරගෙන බෞද්ධ ලෝකයේ රටවල් වල එකමුතුවක් ඇති කිරීමට බෞද්ධයන් මිසදිටු ඝාතකයන්ගෙන් රැකගැනීමට වැඩ පිළිවෙලක් ඇතිකරන නව පක්ෂයකට ජයවේවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress