නව වැට් බදු සංශෝධනය සහ ජනතා විරෝධය
Posted on July 12th, 2016

සුරෝෂන ඉරංග උපුටාගැණීම අදදෙරණ

මෙවර කම්කරු දිනයේ උණුසුම පහව යාමටත් පෙරම කම්කරු ජනයාගේ සිට විවිධ ආදායම් මට්ටම්වල පසුවන පොදු ජනතාවගේ ජන ජීවිත කෙරෙහි සෘජු ලෙසම බලපාන වැට් බදු සංශෝධනයක් ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කර තිබේ. එය කම්කරු දිනය දා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සහ ජිවන මිල පහත හෙළන ලෙස හඬ නැගූ ජනතාව වෙත එල්ල කරන ලද මරු පහරක් හා සමාන විය. මේ සම්බන්ධව ආණ්ඩු පාර්ශවයෙන් කවර අදහස් පළ වුවත් මෙම සංශෝධනය පොදු ජනතාවට තදින්ම දැනෙන සංශෝධනයක් වූ බවට සැකයක් නැත. එනිසාම මෙම නව බදු පැනවූ දා පටන් වෙළෙඳ ප‍්‍රජාව ඇතුළු මහජනයා මේ පිළිබඳ සිය අප‍්‍රසාදය පළ කරමින් සිටියි. මෙම සංශෝධනය සිදු කර මාස දෙකක කාලයක් ඉක්ම ගොස් ඇතත් දිගින් දිගටම මෙම සංශෝධන කෙරෙහි එල්ලවන විරෝධතාවල වැඩි වීමක් මිස අඩු වීමක් පෙන්නුම් නොකෙරේ. එනිසා අද වන විට ආණ්ඩුවට මුහුණ දීමට සිදු වී ඇති මෙම වැට් බදු අර්බුදය සම්බන්ධව විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක් සිදු කිරීම වැදගත්ය.

බදු අයකිරීම ලෝක ඉතිහාසයේ ආණ්ඩු බිහිවූ දා සිටම ක‍්‍රියාත්මක වෙමින් පැවතියා වූ ක‍්‍රියාදාමයකි. විශේෂයෙන්ම ආණ්ඩුවලට තම ආදායම් සපයා ගැනීමේ මූලිකම ක‍්‍රමවේදය බවට මෙම බදු ක‍්‍රමය පත්ව තිබේ. එනිසා රාජ්‍ය පාලනය පිළිබඳව සැලකීමේ දී බදු අයකිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වේ. එනම් රටක පැවැත්ම උදෙසා බදු අයකිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය. එහෙත් එසේ වූ පමණින් රටක ජනතාව පීඩාවට පත් කරමින් බදු අයකර ගැනීමට කටයුතු කිරීම සාධාරණ නොවන නමුත් රටක ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීම පිණිස එම ක‍්‍රියාවලිය අනුගමනය කිරීමට ආණ්ඩු පෙළඹේ. ඒ අනුව බදු අය කර ගැනීමේ යුක්ති සහගත හේතු ආණ්ඩු පාර්ශවයෙන් සැමවිටම ඉදිරිපත් වන අතර එයට ප‍්‍රතිවිරුද්ධව ජනතාව විරෝධය පළ කිරීම සෑම රාජ්‍යයකටම පොදු තත්වයකි.

වැට් බදු යනු ලෝකයේ රටවල් 140 ක භාවිත වන්නා වූ බදු ක‍්‍රමයකි. යුරෝපා රටවල එම ක‍්‍රමය වර්ෂ 1960 දී පමණ ආරම්භ වේ.  යුරෝපා රටවල මෙම බදු අය කිරීමේ ප‍්‍රතිශතය 20% ක් පමණ වන අතර අප‍්‍රිකා කලාපයේ එය 15% ක් පමණ වේ. පසුගිය දෙවසර තුළ ශ‍්‍රී ලංකාවේ වැට් බදු ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිශත සැලකූ කල 2014 වර්ෂයේ දී එය 12% ක් ව ක‍්‍රියාත්මක වූ අතර 2015 ජනවාරි මස 1 වන දා සිට එය 11% දක්වා අඩු කළ අතර මෙම වසරේ දී නැවත වැඩි වන්නේ එම බදු ප‍්‍රතිශතය වේ.

ඒ අනුව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 11% සිට 15% දක්වා වැඩි කිරීම මෙම නව බදු සංශෝධනය යටතේ සිදුවිය. එසේම ජාතිය ගොඩ නැඟීමේ බද්දේ 2% ක් ව පැවති බදු අය කිරීමේ ප‍්‍රතිශතයේ වෙනසක් නොකර බදු නිදහස ලැබෙන ක්ෂේත‍්‍ර සංශෝධනය කර තිබේ. මෙම සංශෝධනය මඟින් ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු අයකිරීම සිදු නොකරන බව ආණ්ඩුව පවසයි. එහෙත් පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සඳහා මෙම බදු සංශෝධනය ක‍්‍රියාත්මක කරන බව ද ප‍්‍රකාශ කරයි. මෙම බදු සංශෝධනය අදාළ ක්ෂේත‍්‍ර ලෙස විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ සේවා සඳහා යොදා ගැනෙන යන්ත්‍රෝපකරණ, අධි තාක්ෂණ උපකරණ, විදුලි සංදේශ නියාමන කොමිසම මඟින් නිකුත් කරනු ලබන බලපත‍්‍ර, පෞද්ගලික සෞඛ්‍ය සේවා සැපයීම හා නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම අයත් වේ.

කෙසේ වුවත් වත්මන් ආණ්ඩුව විසින් මෙවර සිදු කරන ලද මෙම වැට් බදු සංශෝධනය රට තුළ ඉමහත් කැළඹීමක් නිර්මාණය කිරීමට සමත් වූ අතර මේ මොහොත දක්වාම ඒ සම්බන්ධව විරෝධතා ක‍්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම මෙම නව බදු සංශෝධනය සෘජුවම මෙරට වෙළෙඳ ප‍්‍රජාවගේ ආදායම  කෙරෙහි බලපා ඇති බැවින් මෙම සංශෝධනයට එරෙහිව ඔවුන්් ප‍්‍රබල විරෝධයක් දක්වමින් සිටියි. එසේම වෙළෙඳ ප‍්‍රජාවට මෙම නව බදු සංශෝධන අහිතකර අන්දමින් බලපෑම යනු සෘජුවම එම බලපෑම පාරිභෝගික ජනතාව වෙත එල්ල වන බලපෑමකි. මන්ද යත් වෙළෙඳ ප‍්‍රජාව ඔවුන්ගේ බදු ගෙවීම සඳහා අමතර ආදායම් උපයා ගැනීම පිණිස තම ගනුදෙනුකරුවන් මඟින් එම ආදායම් සපයා ගැනීමට කටයුතු කරන බැවිනි. එසේ සලකන කල සමාජයේ සෑම මට්ටමකම පුද්ගලයින්ට මෙම ඉහළ නංවන ලද බදු සංශෝධනය අනුව වියදම් දැරීමට අකමැත්තෙන් වුව ද සිදුවී තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ දී ද තොග හා සිල්ලර වෙළෙඳාම සඳහා වැට් බදු පනවන දක්නට ලැබුණි. ඒ අනුව පළමුව කාර්තුවකට රුපියල් මිලියන 500 ක් හෝ ඊට වඩා වැඩි ආදායමක් සහිත තොග සහ සිල්ලර වෙළෙඳ ව්‍යාපාර සඳහා වැට් බදු පනවන ලදි. ඉන් පසු බදු සඳහා යටත් වන වටිනාකම රුපියල් මිලියන 250 දක්වා අඩු කරන ලදි. පසුව එය රුපියල් මිලියන 100 දක්වා පහත හෙළීමට පසුගිය රජය කටයුතු කළ අතර එම අගය අඩු නොවී පැවතුණි. එහෙත් නව වැට් බදු සංශෝධනය අනුව එය වසරකට මිලියන 1 දක්වා පහත හෙළා තිබේ. එනම් වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 12 ක් වන විට දෛනික පිරිවැටුම රුපියල් 33,000 ඉක්මවා යන සියලූ ව්‍යාපාරික ආයතන වැට් බදු ගෙවිය යුතු වේ. එසේම එම ව්‍යාපාරික ආයතන අලෙවි කරනු ලබන්නේ වැට් බද්දෙන් නිදහස් නොකළ භාණ්ඩ නම් මෙම තත්වය වඩාත් පීඩාකාරී ස්වරූපයට පත්වේ. ඒ අනුව මෙම සංශෝධිත බදු අගය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතන කෙරෙහි දැඩි බලපෑම් ඇති කරනු ලබන අතර එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ ඒ සඳහා පාරිභෝගිකයාට වන්දි ගෙවන්නට සිදුවීමය.

තම ව්‍යාපාර කෙරෙහි මෙලෙස පැනවී ඇති  වැට් බද්දට විරෝධය පාමින් වෙළෙඳ ප‍්‍රජාව සිය කඩ සාප්පු වසා දමා තම අප‍්‍රසාදය පළ කිරීම මෙන්ම වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි නොවී සාමකාමී පා ගමන් පවත්වමින් විවිධ නගර පුරා ඔවුන් මෙම විරෝධය පළ කිරීමට කටයුතු කීරීම මේ දිනවල දක්නට ලැබේ. ඒ අනුව පසුගිය ජූනි මස 16 දින ගාල්ලේදී ද 17 වන දින මහරගමදී ද 22 වන දින ගම්පහ නගරයේදී සහ 23 වන දින මාතර නගරයේ දී ද විරෝධතා ක‍්‍රියාත්මක විය. තව ද 29 වන දින කැලණිය, කිරිබත්ගොඩ, කඩවත, කටුගස්තොට, බදුල්ල, බණ්ඩාරවෙල සහ අනුරාධපුරයේ ද මෙම විරෝධතා ව්‍යාපාර දක්නට ලැබුණි. තව ද සමස්ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව නමින් නව සංවිධානයක් ගොඩනඟා එමඟින් දිවයිනේ සියලූ වෙළෙඳසැල් ඒකරාශි කර මුළු දිවයින පුරා එකම දිනක ව්‍යාපාරික ආයතන වසා දමා විරෝධතාවක් දැක්වීමට ඔවුන් සූදානම් වේ.

මෙම බදු සංශෝධනය විශේෂයෙන්ම පාරිභෝගිකයා කෙරෙහි ද අහිතකර අන්දමෙන් බලපා ඇති බව කිව හැකිය. එනම් පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා සෞඛ්‍ය සේවා සඳහා මෙම නව බදු ක‍්‍රමය ක‍්‍රියාත්මක වීම ඉන් ප‍්‍රධානය. මන්ද යත් නිදහස් සෞඛ්‍ය සේවයක් රට තුළ ක‍්‍රියාත්මක වුව ද පෞද්ගලික ආයතන මඟින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය සේවාවන් සඳහා ද සැලකිය යුතු පිරිසක් යොමුවන බැවිනි. එනිසා මෙම වැට් බදු සංශෝධනයට මුවා වී ඇතැම් පෞද්ගලික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන රෝගීන්ගෙන් ඉහළ ගාස්තු අයකිරීමට කටයුතු කරන බවට ද චෝදනා එල්ල විය. කෙසේ වුවත් වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම නිදහස් සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබා දීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම තුළ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන සඳහා ජනතාව යොමු වීම අවම කළ හැකිය.

මෙම තත්වයට අමතරව විදුලි සංදේශ ගාස්තු සඳහා මෙම සංශෝධනය ක‍්‍රියාත්මක වීම ද ජන ජීවිත කෙරෙහි සෘජුවම බලපෑම් ඇති කරන සාධකයකි. ඒ අනුව මෙතෙක් පැවති 27.55% බද්දට අමතරව 17% ක බද්දක් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩවලට මෙන්ම අන්තර්ජාල සේවාවලට ද පැනවේ. එමඟින් තම සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමේ දී යම්කිසි සැලකිය යුතු අමතර වියදමක් මහජනතාවට දැරීමට සිදුවන බව පැහැදිලිය. විශේෂයෙන්ම දියුණු වෙම්න් පවතින වෙනත් රටවලට සාපේක්ෂව අප රට තුළ ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිතය ඉහළ මට්ටමක පැවතීම ඔස්සේ විදුලි සංදේශ අංශය සඳහා සිදුවූ මෙම නව බදු සංශෝධනය වඩාත් බලපෑම් සහගත වේ.

මෙම නව වැට් බදු සංශෝධනය මඟින් ආණ්ඩුව වාර්ෂිකව රුපියල් බිලියන 100 ක අමතර ආදායමක් අයකර ගැනීමට අපේක්ෂා කරයි. එය මෙරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් 0.75% ක ප‍්‍රමාණයක් වේ. තව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2020 වසර වන විට මෙරට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩිකර ගත යුතු බව දන්වා තිබීම ද සැලකිය යුතු තත්වයකි. ඒ වර්තමානයේ රට ඉදිරියේ පවතින අධික ණය බර හමුවේ රටට පැවැත්මක් නොමැති බැවිනි. මෙම තත්වය 1990 දී 20% ක තත්වයෙන් පැවතී 2014 වසරේ දී එය 11.3% දක්වා පහත බැස තිබේ.

කෙසේ වුවත් මෙම සංශෝධනය හේතුවෙන් නොකඩවා විරෝධතා පැනනැඟීම තුළ වැට් බදු සංශෝධනය පිළිබඳ සාකච්ඡුාවක් ජූලි 04 වන දා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුවත් එය විසඳුමකින් තොරව අවසන් වී තිබේ. එසේම වැට් බදු සංශෝධනය පිළිබඳව වෙළෙඳ සංගම් නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීමේ විශේෂ සාකච්ඡුාවක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වෙළෙඳ සංගම් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති අතර වැට් බදු පැනවීම සිදුවන ආකාරය පිළිබඳ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පැහැදිලි කර තිබේ. ඉදිරියේදී මේ පිළිබඳව ආර්ථික විශේෂඥයින්, මන්ත‍්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලූ පාර්ශව සමඟ සාකච්ඡුා කිරීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම මෙම නව වැට් බදු සංශෝධනයත් සමඟ භාණ්ඩ 133 ක් සහ සේවා 21 ක් වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව වී, සහල්, පාන්පිටි, පාන්, කිරිපිටි, ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය ආදීවූ භාණ්ඩ ගණනාවක් සහ නිර්දේශිත අධ්‍යාපන සේවා, පුස්තකාල සේවා, පොදු මගී ප‍්‍රවාහන සේවා හා අවමංගල්‍ය සේවා ඇතුළු සේවා වර්ග ගණනාවක් ද මෙම සංශෝධනයෙන් ඉවත් කර තිබේ.

මෙසේ සලකන කල මෙම නව වැට් බදු සංශෝධනය ව්‍යාපාරිකයින් සහ මහජනතාව සම්බන්ධයෙන් සැලකීමේ දී හිතකර නොවන බව පැවසිය හැකිය. එහෙත් වර්තමානයේ අප රට මුහුණ දී සිටින අධික ණය බර හමුවේ පවත්නා ආණ්ඩුවට ජනතාව මත බදු පනවන්නට සිදුවී තිබේ. කෙසේ වුවත් මෙම තත්වය ජනතාවට වඩාත් අහිතකර අන්දමින් බලපාන පරිදි ක‍්‍රියාත්මක කිරීම සාධාරණ නොවන අතර ඒ සඳහා ආණ්ඩුව සහ මහජනතාව නැමැති දෙපාර්ශවයම යම් තරමකට හෝ එකඟ වන අන්දමේ වැඩපිළිවෙලක් සකස් කිරීම වඩා උචිතය. එසේ නොවුණහොත් මෙම වැට් බදු සංශෝධනය හේතුවෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින විරෝධතා ව්‍යාපාර වඩා තීව‍්‍ර වීම තුළ එය බහු ජන විරෝධයක් බවට පත් වී යහපාලන ආණ්ඩුවට එරෙහිව නැගී සිටින බලවේගයක් බවට පත්වනු නියතය.

මේ අතර වැට් බදු ප්‍රතිශතය වැඩිකරමින් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.සියයට 11ක්ව පැවැති වැට් බද්ධ සියයට 15 දක්වා වැඩිකිරීමට රජය පසුගියදා පියවර ගන්නා ලදී.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වෙයි.පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අදාළ බදු සංශෝධන සිදුකිරීම පිළිගත නොහැකි බව  සඳහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බව  දැනුම් දී තිබේ.

මැති ඇමතිවරුන් 92ට සැප විඳින්න වාහන ගේන්න මිනිසුන්ගේ මෙම මුදල් යෙදවීමට කටයුතු කළ වත්මන් රජයට මෙම අතුරු නියෝගය වැදගත් අතුරු නියෝගයක් මෙන්ම ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් හා ප්‍රබල අස්වැසිල්ලක් බවද මොනවට පැහැදිලි වෙයි.

සුරෝෂන ඉරංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress