පෙරදිගට ගමනක් – 23-නිශ්ශංකමල්ල නම් ඒ බෑනා …
Posted on July 17th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

මේ දක්වා කියපු කරුණුවලින් පැහැදිළි වන දේ තමයි අපේ ථෙරවාදී කලාපය ඇතුළේ සිදුවෙච්ච ගනුදෙනු, සංස්කෘතික හුවමාරු කරගැනීම් ආදීයේ ස්වභාවය. චෝල ආක්‍රමණයට කලිනුත්, චෝල ආක්‍රමණයෙන් පස්සෙත් මේ ගනුදෙනු, යාම් ඊම් සිද්දවෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 993 විතර ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1070 විතර දක්වා තිබුණු චෝල පාලනයේ දී මේ සම්බන්ධකම් බිඳවැටෙන්න ඇති. ඒත් මහා පරාක්‍රමබාහු රජතුමා බලයට ඒමෙන් පස්සේ ආයෙත් වතාවක් ඒ සම්බන්ධකම් ඇතිවෙන්න පටන්ගත්තා. ඒ කාරණයට මූලික ව ම හේතුවුනේ එතුමා විසින් සිදුකරපු ශාසන ශෝධනය.

ක්‍රිස්තු වර්ෂ 1165 දී විතර සිදුකරපු ඒ ශාසන ශෝධනය හින්දා සිංහල බුද්ධාගමේ නව යුගයක් උදාවුනා කියලා කියන්න පුළුවන්. අනුරුධපුර යුගයේ දී රජකළ මහා විහාර සම්ප්‍රදායත්, අභයගිරි විහාරය මුල්කරගත්ත සම්ප්‍රදායත්, ජේතවනාරාමාදී අනෙකුත් විහාර ඇසුරෙන් පැන නැගුණු සම්ප්‍රදායනුත් කල් ගතවීම නිසාත් චෝල ආක්‍රමණයෙන් බැටකෑම නිසාත් ඒ වෙද්දී විසිරිලා ගිහිල්ලා, බිඳවැටිලා තිබුණේ. සමඟි වූ කර්මාදිය තබා ඔවුනොවුන් දර්ශනයත් නො රුස්නා ඒ වගේ ම සඟ සතු ගම් හි සංඝයා ගේ පුත්‍ර දාරාදී පෝෂණය ම  ස්වභාව කොටගත්ත භික්‍ෂුන් පිරිසක් ඒ වෙද්දී ශේෂවෙලා හිටියා කියලා මහාවංශය කියනවා. ඉතින් මහා පරාක්‍රමබාහු රජතුමාට උවමනා වුනා දූෂණය වෙලා තිබුණු ශාසනය ශුද්ධ කරවලා භික්‍ෂු අතර සමගිය ඇතිකරවන්න. මේ කටයුත්ත මහමෙර එසවීම තරම් බැරෑරුම් වුනාලු. ශාසන ශෝධනය සිදුකරපු විනිශ්චය සභාවේ පිටුපස අප්‍රකට තැනකට වෙලා තුන්යම් රැයක් ම සිටි පියෙන් සිටිමින් ඒ කටයුත්ත පුද්ගලිකව ම අධීක්‍ෂණය කරන්නත් එතුමාට සිද්දවුනාලු.

කොහොම හරි ශාසන සාමග්‍රිය ඇතිකරවන්න මහ පරාක්‍රමබාහු රජතුමාට පුළුවන් වුනා. මේ ශාසන ශෝධනයට නායකත්වය දීලා තියෙන්නේ දිඹුලාගල ආරණ්‍යවාසි මහා කාශ්‍යප මහා ස්ථවිරයන්වහන්සේ.  ඒ කටයුත්ත හින්දා උන්වහන්සේ තමන් ගේ නායකයා – සංඝරාජයාණන් වහන්සේ විදිහට පිළිගන්න අපේ සියළුම භික්‍ෂුන්වහන්සේලා කටයුතුකරලා තියෙනවා. ඒ තමයි අපේ රටේ ඇතිවෙච්ච සංඝරාජ සම්ප්‍රදායේ ආරම්භය. තව වැදගත් දෙයක් කියන්න තියෙනවා මේ දිඹුලාගල – උදුම්බරගිර; සම්බන්ධය වටා.  මොකද උදුම්බරගිරත් මේ කියන කතාවට සම්බන්ධයි. මහා කාශ්‍යප හාමුදුරුවන්ට පස්සේ සංඝරාජයාණන්වහන්සේ විදිහට පත්වෙලා තියෙන්නේ ටීකාචාර්ය ශාරිපුත්‍ර ස්ථවිරයාණන්වහන්සේ. සංඝරාජ තනතුර වටා රැස්වුනු අපේ සංඝ සමාජය ආයතන අටක් වටේ සංවිධානය වෙලා තියෙනවා.

ඉතින් මේ විදිහට සංවිධානය වෙච්ච අපේ ශාසනයේ කීර්තිරාවය දේශ දේශාන්තර පැතිරෙන්න පටන්ගත්ත එක පුදුමයක් නෙවෙයි. මේ දේශ දේශාන්තර කියන්නේ අපේ ථෙරවාදී කලාපයට අයිති රටවල්. ශාසන ශෝධනයෙන් අවුරුදු දෙකක් ගතවෙන්න කලින් – ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1167 දී රාමඤ්ඤ රටින් පන්තගු කියලා මහා ස්ථවිරයාණන්වහන්සේ නමක් අපේ රටට වැඩමකරලා තියෙනවා. උන්වහන්සේ අවුරුදු හයක් ම වැඩ ඉඳලා බුදුදහමත්, අපේ ශාසන සම්ප්‍රදායන් ගැනත් ඉගෙනගෙන තියෙනවා. උන්වහන්සේ ආපහු වැඩම කළාට පස්සේ රාමඤ්ඤදේශයේ  රජතුමා ගේ රාජගුරු විදිහට කටයුතුකරපු උත්තරජීව කියන ස්ථවිරයන්වහන්සේ අපේ රටට වැඩමකරලා. උන්වහන්සේ අවුරුදු දහයක් ම අපේ සම්ප්‍රදායන් ගැන ඉගෙනගත්තා. උන්වහන්සේ ගේ ශිෂ්‍ය භික්‍ෂුන්වහන්සේ – ඒ කියන්නේ චපට හාමුදුරුවෝ පොළොන්නරුවේ දී උපසම්පදාව ලබාගෙන තියෙනවා. ඒ, ක්‍රිස්තු වර්ෂ 1181 දී. චපට ස්ථවිරයන්වහන්සේ බුරුමයට ආපහු වැඩමකරන වෙලාවේ උන්වහන්සේත් එක්ක ම තාමලිප්තයේ සීවලී ස්ථවිරයන්වහන්සේත්, කාම්බෝජ රජ්ජුරුවන් ගේ පුත්‍රයකු වෙච්ච තාමලින්ද ස්ථවිරයන්වහන්සේත්, කාංචිපුරයේ ආනන්ද ස්ථවිරයන්වහන්සේත්, අපේ සිංහල භික්‍ෂුන්වහන්සේ නමක් වෙච්ච රාහුල ස්ථවිරයන්වහන්සේත් වැඩමකරලා තියෙනවා. උන්වහන්සේලා බුරුමයේ පගාන් නුවර පාලනය කරපු නරපතිසිතූ කියන රජතුමා ගේ උදව් ලබාගෙන සිංහල ශාසනය ඒ දේශයේ ස්ථාපිතකරලා තියෙනවා.

අපේ ථෙරවාද කලාපය ඇතුළේ සිද්දවෙලා තියෙන්නේ මේ විදිහේ ශාසනික ගනුදෙනු විතරක් නෙවෙයි. ක්‍රිස්තු වර්ෂ 1165 දී මහා පරාක්‍රමබාහු රජතුමා කාම්බෝජයට පිටත්කරලා යවලා තියෙන දූත කණ්ඩායම ගැන අපේ වංශ කතා කියන කතාවෙන් කියැවෙන්නේ වෙනත් ආකාරයක ගනුදෙනුවක් ගැන. ඒ දූත පිරිස ගිහිල්ලා තියෙන්නේ රාජ කන්‍යාවක් එක්ක. මේ කියන කාලේ අග්නිදිග ආසියාවේ තිබුණු බලවත් ම රාජ්‍යය තමයි කාම්බෝජය. ඒ වෙද්දි පවා දැන් තියෙන තායිලන්තයේ මධ්‍යම ප්‍රදේශය – ඒ කියන්නේ සුඛෝදය, ලොබ්පුරි, අයුත්තියා අයත් ප්‍රදේශය අයත්වෙලා තියෙන්නේ කාම්බෝජයට. චම්මදේවී වංශය, සිහිංග බුද්ධ නිධානය, ජිනකාලමාලිය වගේ පැරැණි පොත් පවා මේ බව කියනවා. ඒ හින්දා මහා පරාක්‍රමබාහු රජතුමා රාජ කන්‍යාවක් එක්ක පිටත්කරපු දූත පිරිස ගිහිල්ලා තියෙන්නේ මේ විදිහට රාමඤ්ඤයේ සීමාව දක්වා ම පැතිරිලා තිබුණු කාම්බෝජයේ නැගෙනහිර ප්‍රදේශයට – ඒ කියන්නේ අද තියෙන තායිලන්තයේ මධ්‍ය ප්‍රදේශයට වෙන්න පුළුවන් කියලා මැන්දිස් රෝහණධීර මහාචාර්යතුමා කියනවා. ඒ දූත පිරිස කාම්බෝජය බලා යද්දී ඇතිවෙච්ච කලබැගෑනියක් හින්දා රාමඤ්ඤයත් එක්ක යුද්ධයක් කරන්න පවා මහා පරාක්‍රමබාහු රජතුමාට සිද්දවුනා. මේ වගේ යුද්ධයකට පටලැවෙන්න පවා හේතුවක් වෙච්ච ඒ රාජ කන්‍යාව කවුද?

මේ ප්‍රශ්නයට උත්තර ලැබෙන්නේ නිශ්ශංකමල්ල ගේ කතාවෙන්. නිශ්ශංකමල්ල කියලා කියන්නේ පරාකුමබාහු මහ රජ්ජුරුවන් ගේ බෑනා. තමන් ගේ බිසව සුභද්‍රා මහා දේවිය කියලා නිශ්ශංකමල්ල කියනවා. සුභද්‍රා කියලා කියන්නේ පරාක්‍රමබාහු රජතුමා ගේ දියණිය කියලා පරණවිතාන මහාචාර්යතුමාත් රෝහණධීර මහාචාර්යතුමාත් පෙන්නලා දීලා තියෙනවා. මහා පරාක්‍රමබාහු රජතුමා ආලාහන පිරිවෙන් භූමියේ රූපාවතී දාගැබ හදලා තියෙන්නේ තමන් ගේ බිසිව වෙනුවෙන්. සුභද්‍රා දාගැබ හදලා තියෙන්නේ දියණිය වෙනුවෙන්. තමන් ගේ රජකම රැකගන්න නිශ්ශංකමල්ල තරම් ප්‍රචාරක කටයුතුවල නිරතවෙච්ච කෙනෙක් අපේ ඉතිහාසයේ ඉඳලා නෑ. ඔහු විසින් ලියවපු සෙල්ලිපි 35 ක් හොයාගෙන තියෙනවා. තමන් ගේ පරපුර අනාගතයේත් රට පාලනය කරනවා දකින අභිප්‍රායෙන් මහා පරාක්‍රමබාහු රාජෝත්තමයාණන්වහන්සේ සිංහපුරයට දූතයන් යවලා බෑනනුවන්වහන්සේ ව කැඳවාගෙන ඇවිල්ලා නිල නම්බුනාමත් එක්ක පරාක්‍රමබාහු නාමයත් උරුමකරලා දීලා, ශිල්ප ශාස්ත්‍රත් උගන්නලා රජකමට සූදානම් කළා කියලා නිශ්ශංකමල්ල ඒ එක සෙල්ලිපියකින් කියලා තියෙනවා. නිශ්ශංකමල්ල ආවේ මොන සිංහපුරයේ ඉඳළා ද?

මේ කියන කාලයේ කාම්බෝජ පාලනයට නතුවෙලා තිබුණු ප්‍රදේශ දෙකක් ම සිංහපුරය විදිහට හඳුන්වලා තියෙනවා. එකක් තිබිලා තියෙන්නේ තායිලන්තයේ දැන් තියෙන කාංචනබුරි පළාතේ. දැන් ඒ නගරය හඳුන්වන්නේ මුවං සිං කියලා. අනෙක් සිංහපුරය තියෙන්නේ තායිලන්තයේ සිංහබුරි පළාතේ. ඒ කියන්නේ බැංකොක් නුවරට කිලෝ මීටර් 150 ක් විතර උතුරින්. මේ සිංහපුරයේ නන් චක්සි මහා විහාරයේ ඉදිකරලා තියෙන මීටර් 45 ක විතර දිගකින් යුක්ත සැතපෙන බුද්ධ ප්‍රතිමාව ලෝක ප්‍රසිද්ධයි. පියා මැරීමේ පාපය ගැන කම්පා වෙවී හිටිය සිංහබාහු රජතුමා ඒ පාපයෙන් අත් මිදනේන කියලා හිතාගෙන මේ ප්‍රතිමාව ඉදිකළා කියලා තමයි තායිලන්තයේ ජනකතාවලින් කියන්නේ. තමන් විජය ගේ පරපුරට අයිතියි කියලා නිශ්ශංකමල්ල කියනවා. කොහොම වුනත් මේ හැම ප්‍රකාශයක් එක්ක ම නිශ්ශංකමල්ල කාලිංග සම්බන්ධයක් ගැනත් කියනවා. ඒ කාලයේ අපේ රටේ පැළපදියම් වෙලා හිටිය කාලංග මිනිස්සුන් ගේ උදව් ලබාගන්න ඕන හින්දා නිශ්ශංකමල්ල මේ කතා කියන්න ඇති කියලා රෝහණධීර මහාචාර්යතුමා කියනවා.

ඒ කාරණය මොකක් වුනත් නිශ්ශංකමල්ල ගේ කාම්බෝජ සම්බන්ධය එළිවෙන තවත් කාරණයක් තියෙනවා. එක සෙල්ලිපියකින් නිශ්ශංකමල්ල කියනවා පොළොන්නරුවේ තිබුණු කාම්බෝජ වාසලක් ගැන. මේ විදිහට කියන්නේ පොළොන්නරුවේ කාම්බෝජ මිනිස්සු පැළපදියම් වෙලා හිටපු ප්‍රදේශය කියලා විශ්වාසකරනවා. ඊට අමතර ව, රත්තරන්, ඇඳුම් පැළඳුම් වගේ බොහෝ දේ දීලා කුරුල්ලන් අල්ලන එකෙන් කාම්බෝජ මිනිස්සු වළක්වගන්න තමන් කටයුතු කළා කියලා නිශ්ශංකමල්ල  රුවන්වැලිසෑය ළඟ පිහිටුවපු සෙල්ලිපියෙන් කියනවා. කාම්බෝජ මිනිස්සු අදටත් කුරුල්ලෝ අල්ලගෙන කූඩුවල තියාගෙන ඉඳලා අවුරුද්දට, වෙසක් කාලෙට මූදාහරිනවා. ඒ අය ඒ වැඩේ මෙහෙත් කරගෙන යන්න හදන්න ඇති. ඒත් අපේ සමාජය ඒ වගේ වැඩ අනුමතකරන්නේ නෑ. ඉතින් තමන් ගේ මිනිස්සු ඒ වැඩෙන් ඈත්කරවන්න නිශ්ශංකමල්ලට සිද්දවුනු බව පැහැදිළියි.

කොහොම කොහොම හරි කිසි කරදරයක් නැතිව අවුරුදු නවයක් ම රට පාලනයකරන්න නිශ්ශංකමල්ලට පුළුවන් වුනා. මේක හපන්කමක් වෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1186 දී බලයට ආපු බෑනා – ඒ කියන්නේ, දෙවැනි විජයබාහු රජතුමා රට පාලනය කළේ එක් අවුරුද්දකුත් ඔහු ව ඝාතනය කරලා බලයට ආපු 6 වැනි මහින්ද රජතුමා රට පාලනය කළේ දවස් පහකුත් වුන හින්දා. ඒත් 6 වැනි මහින්ද පරලොව යවලා බලයට ආපු නිශ්ශංකමල්ලට එහෙම කරදයක් වුනේ නෑ. මේ රටේ රජවෙන්න පුළුවන් බෞද්ධයකුට විතරක් කියලාත් එතුමා තමන් ගේ එක සෙල්ලිපියකින් කිව්වා. ඒත් එතුමා ගේ පුතා රට පාලනය කළේ එක රැයක් විතරයි. කලින් දවසේ රෑ ඔටුන්න පැළැඳගත්ත පළමුවැනි වීරබාහු රජතුමා ව පහුවදා එළිය වැටෙද්දි ඝාතනය කෙරුනා!

මේ ලිපියෙන් කියන්නේ අග්නිදිග ආසියාතික රටවල් එක්ක අපි පවත්වපු විවිධාකාර සම්බන්ධකම් ගැන. යුරෝපීය රටවල් තුනකට යටත්වුනු හින්දා ඒ පැත්තත් එක්ක අපේ තිබුණු සම්බන්ධකම් ඉතිහාසයට එකතුවෙලා තියෙන බව ඇත්ත. දැන් අපේ ඔළුව හැරෙන්නේ බටහිර පැත්තට විතරයි. මේ බෙල්ලේ අමාරුව සනීප කරගන්න අපිට තව සෑහෙන කාලයක් ගතවෙයි. මේ පෙරදිගට යන ගමන වලිගෙන් මුහුද ඉහින්න හදපු ලේන අම්මා කරපු වැඩේ වගේ කියලා කිට හරි කියන්න පුළුවන්. ඒත් එහෙම කිව්වාට අධෛර්යමත් වෙන්න බෑ. කරන්න ඕන දේ, කරන්න පුළුවන් දේ කරන්න ඕන.

කාලිංග මාඝයා ගේ කුරිරුකම් හින්දා පොළොන්නරු රාජධානිය අවසන් වුනත් ථෙරවාදී කලාපයත් එක්ක තිබුණු අපේ සම්බන්ධකම් අවසන් වුනේ නෑ. ක්‍රිස්තු වර්ෂ 1347 – 1380 කාලයේ දී සුඛෝදයේ රජවුනු ලිද්‍යෙය ධම්මරාජ රජතුමා ගේ  කාලයේ දී ලියැවුනා කියලා විශ්වාසකරන සෙල්ලිපියක තියෙනවා ශ්‍රී ශ්‍රද්ධා රාජ චූලමනී ශ්‍රී රතන ලංකාදීප මහා ස්වාමි කියලා ස්ථවිරයන්වහන්සේ නමක් ගැන විස්තරයක්. රාම් කම් හැං රජතුමා ගේ පියාණන්ට – ඒ කියන්නේ ශ්‍රී ඉන්ද්‍රාදිත්‍ය රජතුමාට සුඛෝදය රාජධානිය පිහිටුවන්න උදව්කරලා තියෙනවා පා මුවන් කියලා පුද්ගලයෙක්. මේ සෙල්ලිපියෙන් කියන විදිහට ලංකාදීප මහා ස්ථවිරයන්වහන්සේ කියන්නේ පා මුවන් ගේ මුණුපුරා. රාජකීය පිළි අත් හැරලා පැවැදි දිවියට එකතුවුනු කෙනෙක් විදිහට තමයි උන්වහන්සේ ව හදුන්වලා දීලා තියෙන්නේ. අපේ රටට වැඩම කරපු උන්වහන්සේ අනුරාධපුර, පොළොන්නරුව වගේ තැන්වල තිබුණු පූජනීය ස්ථාන වැඳපුදාගෙන තියෙනවා. මහියංගනය චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරන්න පවා උන්වහන්සේ මුල්වෙලා තියෙනවා. ඉතින් බෝසත්වරයකුට වගේ උන්වහන්සේට සළකන්න ලංකාවාසීන් පෙළඹුනාලු. දන්ත ධාතුන්වහන්සේ දෝතට සහ හිසට වඩමවාගැනීමේ භාග්‍යයත් උන්වහන්සේට හිමිවුනාලු!

මහා රතන ධාතුව හොයාගෙන ලංකාවට ආපු කුමාරයා ගැන කතාව, උදුම්බර මහා ස්වාමි ගැන කතාව, සුමන ස්ථවිරයන් ගැන කතාව වගේ තව කියන්න තියෙන දේවල් නම් එමටයි. ඒත් ඒ හැම දෙයක් ගැන ම කියන්න අදහසක් නෑ. මේ සම්බන්ධකම් ගැන යම් අදහසක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ඇති.

වරුණ චන්ද්‍රකීර්ති෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress