රෝහලේ සමාජවාදය
Posted on July 21st, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

සමාජවාදී රාජ්‍යක් වූ සෝවියට් දේශයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලැබූ අපට රෝගියා කේන්ද්‍ර කොට ගත් වෛද්‍ය ආචාර ධර්ම මෙන්ම රෝගී සත්කාරය ,රෝගියා සමග සන්නිවේදනය පිලිබඳව පුහුණුව ලැබුණි. එසේම සෝවියට් රෝහල් වල වෛද්‍ය අධ්‍යක්‍ෂකවරයාත් රෝහලේ කම්කරුවාත් අතර ලොකු පන්ති හිඩැසක් ද නොවීය​. එසේම රෝහලේ විවිධ වෘත්තීන් අතර ගැටුම් වලින් තොර එකිනෙකාට ගරුත්වයෙන් සලකන පරිසරයක් තිබුනේය​.

නමුත් ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්කාරක ක්‍රමයක් නොවේ. එහි වැඩවසම් බව , වෘත්තීන් අතර කුලල්කාගැනීම් , වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම් , රෝගියා සමග  සන්නිවේදනයේ හීන  බව කැපී පෙනෙයි. රෝගියා ඉදිරියේ වෛද්‍යවරයා  බොහෝ අවස්ථා වලදී පෙනී සිටින්නේ මවාගත් ගාම්භීර භාවයකිනි. සමහර වෛද්‍යවරු රෝගියාගේ මුහුණ දෙසවත් නොබලති. රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක​. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference  එක විශාල එකකි. වෛද්‍යවරයා රදලයෙකු මෙන් හැසිරෙන අතර රෝගියා යටත් සහ පහත් වැසියෙකි, ප්‍රවේණි දාසයෙකි. ලංකාවේ වෛද්‍යවරු සියල්ල මෙසේ රෝගීන් ඉදිරියේ හැසිරෙනවා කියාමම නොකියමි. එහෙත් බොහෝ විට මේ තත්වය රෝගීන් විසින් අත් දැක තිබේ.

hospitalinSL

මා විසින් නිරීක්‍ෂණය කල අන්දමට බොහෝ විට මෙම වැඩවසම් පරතර සිතාමතාම පවත්වා ගන්නේ පහළ සමාජ ආර්ථික ස්ථර වලින් පැමිනි දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය පීඨයට  තේරී වෛද්‍යවරු බවට පත් වූ පුද්ගලයන් වෙති. එසේම මෙවැනි කොටස් තුල ග්‍රාමීය පසුගාමීත්වයද  උග්‍ර වශයෙන් දක්නට තිබේ.

සාමාන්‍ය පෙළ   දක්වා ග්‍රාමීය පාසල් වල අධ්‍යාපනය ලබා රාජකීය , ආනන්ද නාලන්ද පාසල් වලින් උසස් පෙළ නිම කොට වෛද්‍ය පීඨ වලට ගිය සමහර වෛද්‍යවරු ගමේ යහපත් දේ වෙනුවට කරට ගන්නේ ග්‍රාමීය හීනමානය සහ පසුගාමීත්වයයි. එසේම කොලඹ ඉහල පාසල් වල නවීනත්වය වෙනුවට ඔවුන් ආදේශ කර ගන්නේ නාගරික තුප්පහිභාවයන් වෙති. මේ නිසා දරුණු අනන්‍යතා අර්බුධයකට මැදිවන ඔවුන් දුප්පත් රෝගියා ඉදිරියේ දෙවිවරු ලෙස මහන් තත්වයකින් හැසිරෙති. රෝගියාගේ ආත්ම ගරුත්වය ගැන නොසලකා ක්‍රියා කරති.

ග්‍රාමීය ප්‍රදේශ වලින් විත් වෛද්‍යවරු වන සෑම පුද්ගලයා තුලම මෙම තත්වය තිබෙන බව මම නොකියමි. ග්‍රාමීය ප්‍රදේශ වලින් විත් වෛද්‍යවරු වූ නියම යහ ගති ගුණ තිබූ මහත්වරු මම දුටුවෙමි.

වරක් මගේ බිරිඳගේ රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ගියෙමි.  ඔහු රෝගියා සමගවත් මා සමගවත් මුහුණ දෙස බලා කතා කලේ නැත​. මවාගත් ගර්වයකින් ඔහු අපගේ හිස් උඩින් බලා නියෝග දෙන්නාක් මෙන් කතා කලේය​. සැමියා වෛද්‍යවරයෙකු සහ බිරිඳ නීතීඥවරියක වූ වෛද්‍යවරයා සමග ඉංග්‍රීසි භාෂාවෙන් තකා කල යුවලකට මෙසේ කලේ නම් චීත්තයක් සරමක් ඇඳගෙන එන දුගී සැමියෙකුට සහ බිරිඳකට ඔහු කෙසේ සලකත්ද යැයි මට කල්පනා විය​. යම් ලෙසකින් කැනඩාව වැනි රටක රෝගියෙකුට මෙයාකාර ප්‍රතිචාරයක් ඔහු ලබා දුන්නේ නම් ඔහුගේ වෛද්‍ය ලියාපදිංචිය පවා අහෝසි වීමට ඉඩ තිබුනි.

දෙවන අත්දැකීම ලැබුවේ මගේ පුතා පාක් රෝහලේ විශේෂඥ ළමා වෛද්‍යවරයෙකු වෙත ගෙන ගිය අවස්ථාවේදීය​. ඔහු මම වෛද්‍යවරයෙකු බවත් ඔහුගේ පුතා සහ මගේ පුතා රාජකීය විද්‍යාලයේ එකෙම පන්තියේ ඉගෙනුම ලබන බවත් දැන සිටියේය​. එහෙත් ඔහුගේ රෝගී වෛද්‍ය සහ සබඳතාව මෙන්ම වෛද්‍ය සන්නිවේදනය ඉතා පහත් මට්ටමක තිබුනි. සමහරක් විට මිත්‍රශීලී අයුරින් රෝගියාගේ දෙමාපියන් සමග ගනුදෙනු කලහොත් චැනල් මුදල යළි භාර දීමට සිදුවෙතැයි කියා ඔහු සිතුවා විය හැක​.

නමුත් පසුව සොයා බැලීමේදී ඔහුගේ වෛද්‍ය සන්නිවේදන කුසලතා පහළ මට්ටමක තිබෙන බව පෙනී ගියේය​. තවද මම මේ කරුණ ළමා රෝග විශේෂඥ  මහාචාර්‍ය හරේන්ද්‍ර ද සිල්වා මහතා සමග කී විට උක්ත විශේෂඥ ළමා වෛද්‍යවරයා තමා යටතේද වැඩ කල බවත් ඔහු තුල හීන වූ සන්නිවේදන කුසලතා තිබෙන බවත් එතුමා පිලිගත්තේය​.

ලංකාවට පැමින වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට ගත් කාලයේ මම රෝහලේ සමාජවාදී අන්දමට ක්‍රියා කලෙමි. මිනිස් ගුණාංග බැහැර කල අපගේ බොහෝ වාමාංශිකයන් සමාජවාදය කියා සිතන්නේ ධනවත් වියාපාරිකයෙකුගේ වියාපාර ගිනි තබා ඔහු මෙන්ම ඔහු විසින් රැකියා දී තිබෙන දරු පවුල්කාරයන්ද මහ මඟට බස්සවා සියල්ලන්ම හිඟන්නන් කිරීමෙන්  පන්ති රහිත සමාජයක් ගොඩනැගීමේ සිහිනයයි. නමුත් මා මේ කියන සමාජවාදය ඔය සමාජවාදය නොවේ.

මම රෝහලේ අනෙක් වෛද්‍යවරුන්ටත් රෝහල් කම්කරුවන්ටත් සමාන ගරුත්වයකින් යුතුව සැලකුවෙමි. එසේම අනෙකුත් වෛද්‍යවරුන් මෙන් විශාල පන්ති පරතරයක් තබා නොගත්තෙමි. මෙය අනෙකුත් වෛද්‍යවරුන් ගේ දෝෂ දර්ශනයටද හේතු විය​. නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක්  සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි.  ඉන් මම තේරුම් ගත්තේ සමහර විට සමාජවාදී ජීවන රටාවකට යාමට අපගේ මිනිසුන් තුල මානසික වශයෙන් සූදානමක් නොමැති බවයි. වැඩවසම් භාවයෙන්   තැලී පොඩි වන මිනිසුන් ද වැඩවසම් ක්‍රමයට පෙම් බඳිති, එම ක්‍රමය ආරක්‍ෂා කරති.

මා ජීවත් වූ ආර්ථික සහ සමාජ ආකල්ප වලින් දියුණු රටවල වෛද්‍යවරු රෝගීන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ සෝවියට් ක්‍රමයටත් වඩා උසස් මානවීය ක්‍රමයකි. මෙම ක්‍රමය රෝගියා මූලික කොට ගොඩ නගා තිබේ. මෙම ක්‍රමයේ දී රෝගියා අපයෝජනයට හිරිහැරයට ලක්වීමේ සම්භාවිතාව අවමය​. එසේ රෝගියා ගේ අයිතීන් උල්ලංඝනය වුවහොත් රෝගියාට වෛද්‍යවරයාට , හෝ හෙදියට විරුද්ධව වෛද්‍ය සභාවට පැමිනිලි කල හැකිය​. සියලුම පැමිනිලි අපක්‍ෂපාතීව විමර්ශනයට ලක් කෙරේ. සමහර විට චෝදනා ඔප්පු වුවහොත් වෛද්‍යවරයාට එරෙහිව පියවර ගනු ලැබේ.

මෙම තදබල නීති ක්‍රමය තිබුනා හෝ නැතා මෙම සමාජ වල මිනිසුන් , වෘත්තිකයන් එකිනෙකා කෙරෙහි ගරුත්වයකින් සහ ආචාර ධර්ම , වෘත්තීය කඩඉම් බිඳ නොහෙලමින් ක්‍රියා කරති. මෙවැනි සමාජ වල වෛද්‍යවරු රෝගීන් සමග ප්‍රශස්ථ සන්නිවේදනය මෙන්ම රෝගී සත්කාරය රෝගියා කේන්ද්‍ර කොට සිදු කරති. මෙවැනි සමාජ වඩාත් සමාජවාදී යැයි කියා මට සිතේ.

වෛද් රුවන් එම් ජයතුංග 

2 Responses to “රෝහලේ සමාජවාදය”

  1. S.Gonsal Says:

    “නමුත් ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්කාරක ක්‍රමයක් නොවේ. එහි වැඩවසම් බව , වෘත්තීන් අතර කුලල්කාගැනීම් , වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම් , රෝගියා සමග සන්නිවේදනයේ හීන බව කැපී පෙනෙයි. රෝගියා ඉදිරියේ වෛද්‍යවරයා බොහෝ අවස්ථා වලදී පෙනී සිටින්නේ මවාගත් ගාම්භීර භාවයකිනි. සමහර වෛද්‍යවරු රෝගියාගේ මුහුණ දෙසවත් නොබලති. රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක​. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference එක විශාල එකකි.”

    This is TRUE. One of the reasons is the poverty and hopelessness of the patients.

    Not sure whether Ruwan has noticed this “inferiority complex” is even more among female Sri Lankan doctors.

  2. Christie Says:

    “අපගේ බොහෝ වාමාංශිකයන් සමාජවාදය කියා සිතන්නේ ධනවත් වියාපාරිකයෙකුගේ වියාපාර ගිනි තබා ඔහු මෙන්ම…”

    අපේ සමාජ වඩයෝ කියන්නේ කීයක් හරි හොයාගත් සින්හලයන් දනපතියන් කියලය. අපසූරා කා අපවම පාලනය කරන ඉන්දියානු පරපෝසිතයන් දනපතියන් නොවේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress