පෙරදිගට ගමනක් – 24 – හරියට ම හරි අවුරුද්ද …
Posted on July 25th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

ථෙරවාදී කලාපයේ ඉන්න අපි හැඩරුවින් එකිනෙකාට වෙනස් වුනත් අපි අපි අතර බෙදා හදාගත්ත දේ අපමණයි. මේ හැම බෙදාහදා ගැනීමකට ම මුලින් තියෙන්නේ ආගමික හා ශාසනික කටයුතුවලට සම්බන්ධ දේ බව ඇත්ත. ඒත් කලින් කිව්වා වගේ ආගමික දේ, ශාසනික දේ හුදකලාව, අනෙක් සංස්කෘතික දේවලින් බැහැර ව බෙදා හදාගන්න බෑ. ඉංග්‍රීසි යටත්විජිත කාලයේ මේ රටට හින්දු ආගමික සම්ප්‍රදායයන් ගලාගෙන එද්දි ඒ එක්කම ඒ ආගමත් එක්ක බැඳිලා තියෙන තවත් බොහෝ දේවල් අපිට ලැබුණා. පෙර ලිපියකින් කියපු විදිහට රාම – සීතා කතා අපේ උගත් පිරිස් අතරට ගලා ආවේ ගම්පොල යුගයෙන් පස්සේ. ඒත් ඒ කතා ඒ කාලයේ දී ම අපේ සාමාන්‍ය ජනයා ගේ ජන විඥානයට එකතුවුනු බවට කරුණු හොයාගන්න බෑ. ඇත්තෙන් ම ඒ දේ සිද්දවෙලා තියෙන්නේ ඉංග්‍රීසි යටත්විජිත පාලකයන් විසින් දෙමළ කම්කරුවන් මේ රටේ විවිධ වැඩවලට ගෙනාවට පස්සේ. විශේෂයෙන් ම පාරවල් හදන්න ගෙනාපු කම්කරුවන් රට පුරා ම වගේ ඒ කටයුත්තේ නිරතවුනා. ඉතින් ඒ අයගෙන් අපේ සංස්කෘතියට බොහෝ දේවල් උරුමවුනා.

රාවණා ගැන විශ්වාසයත් ඒ වගේ එකක්. ඇත්තෙන් ම මුලින් ම සිංහලයට පරිවර්තනය කෙරුණේ දෙමළ භාෂාවෙන් ලියැවුණු කම්බ රාමායණම් කියන කවි පොත. එහෙම නැතිව වාල්මිකි ලියපු වීර කාව්‍යය නෙවෙයි. දොළොස්වැනි සියවසේ චෝල රටේ ජීවත්වුනු කම්බන් කියන කවියා ලියපු ඒ කවි සිංහලට පෙරලුවේ සීනිගම තේරුන්නාන්සේ කියලා හඳුන්වාගත්ත ස්වාමීන්වහන්සේ නමක් විසින් ක්‍රිස්තු වර්ෂ 1841 දී. ඊට පස්සේ – හරියට ම කියනවා නම් 1884 දී, ජෝන් ද සිල්වා මහත්තයා ඒ පරිවර්තනය ආශ්‍රයෙන් නාට්‍යයක් හැදුවා – මුලින් ම සීතාහර කියලා, ඊට පස්සේ ගිනිගත් රාමායනය කියලා. ඉතින් මේ වැඩත් ඒ ආගන්තුක කතාව අපේ මිනිස්සු අතර පතුරුවන්න උදව්වක් වුනා. ආදීතම සිංහලයා රාවණා කියන අදහස මුලින් ම ලියැවුනේ ඊටත් පස්සේ. ඒ අදහස මුලින් ම පළකරලා තියෙන්නේ සත්‍යාර්ථ සංග්‍රහය කියන ප්‍රකාශනයේ. පස්සේ කාලෙක මේ අදහස හෙළ හවුල විසින් පතුරුවපු විදිහත්, දැන් දැන් තව තව අය විසින් ඒ අදහස පතුරුවන විදිහත් අපි දන්නවා. මේ හපන්කම්වල අලුත් ම ප්‍රතිඵලය තමයි ඉන්දියාව කියන රටේ ආණ්ඩුව අපේ රටේ ආණ්ඩුවත් එක්ක රාම – සීතා අවබෝධතා ගිවිසුමක් අත්සන්කරන්න සූදානම් වෙන එක. ආගමික ගනුදෙනුත් එක්ක ඒ වටා බැඳිච්ච තව තවත් සංස්කෘතික අංගෝපාංග හුවමාරුවෙන්නේ ඒ විදිහට.

ථෙරවාදී කලාපයේ අනෙක් රටවලුත් මේ විදිහට විවිධ සංස්කෘතික බලපෑම්වලට ලක්වුනා. මධ්‍යම තායිලන්තයත් – ඒ කියන්නේ බැංකොක් අවටත්; ඊට අමතර ව කාම්බෝජයත් ඉතාමත් දැඩි විදිහට බ්‍රාහ්මණ බලපෑමට ගොදුරුවුනු ප්‍රදේශ. ක්‍රිස්තු වර්ෂ 802 දී විතර දෙවැනි ජයවර්මන් පිහිටුවපු කාම්බෝජ (කමෙර්) අධිරාජ්‍යය මුළුමනින් ම වගේ බ්‍රාහ්මණ සම්ප්‍රදායයන් පිළිගත්ත එකක්. 12 වැනි සියවසේ අග භාගයේ දී, දෙවැනි සූර්යවර්මන් අධිරාජ්‍යයා විසින් ලෝක ප්‍රසිද්ධ අංකෝර් වොට් සිද්ධස්ථානය ඉදි කෙරුවේ විෂ්ණු දෙවියන් වෙනුවෙන්. හත්වැනි ජයවර්මන් වගේ මහා බෞද්ධ අධිරාජ්‍යයෝ බිහිවුනත් ක්‍රිස්තු වර්ෂ 1431 දී තායි ආක්‍රමණවලින් අඩපණ වෙන කල් ම කමෙර් අධිරාජ්‍යය ඇතුළේ බ්‍රාහ්මණ බලයට තිබුණු තැන නැතිවුනේ නෑ. ඒ වගේ ම, අද තියෙන මධ්‍යම තායිලන්ත භූමියෙන් කාම්බෝජ බලය දුරුකරන්න තායි ජනයා සමත් වුනත් ඒ බිමේ ශේෂ වුනු බ්‍රාහ්මණ පිළිවෙත් මුළුමනින් ම අතුගාලා දාන්න ඒ අයට බැරිවුනා. ඇත්තෙන් ම, බ්‍රාහ්මණ සිරිත් විරිත්, නම්, ඇදැහීම් පුළු පුළුවන් විදිහට වැළැඳගන්නත් ඒ අය කටයුතු කළා.  කලින් ලිපිවලින් කියපු රාම් කම්හැං වගේ මහා බෞද්ධ රජවරු පවා රාමා කියන නාමය මහා ආඩම්බරයෙන් පටබැඳ ගත්තා. ඉතින් කාම්බෝජයේ බ්‍රාහ්මණ බලය ඉතාමත් හොඳින් මුල් බැහැගෙන තියෙන කාලයක – ඒ කියන්නේ 12 වැනි සියවසේ අග භාගයේ දී; මධ්‍යම තායිලන්තයේ සිංහපුරයෙන් ආපු නිශ්ශංකමල්ල මේ රටේ සංස්කෘතික හැඩරුව හඳුනගෙන කටයුතුකරපු එක අගය කළ යුතු දෙයක්. සංස්කෘතියේ හැටි තේරුම ඇරගෙන, ඒකට ගැලපෙන්න වැඩකරනවා නම් රටක් පාලනය කරන එක අමාරු වැඩක් නෙවෙයි.

ගම්පොළ යුගයෙන් පස්සේ රාමා – සීතා කතා අපේ රටේ සාහිත්‍යයට ඇතුළුවෙන්න ඇත්තේත් තායි රාජ්‍යයන් එක්ක අපි පවත්වපු සම්බන්ධකම් හරහා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ක්‍රිස්තු වර්ෂ 1753 දී උපසම්පදාව ගෙන ඒමේ දී පවා තායි සංස්කෘතියට කාන්දුවෙලා තිබුණු මේ බ්‍රාහ්මණික ඇවැතුම් පැවැතුම් අපේ රටට ගලා ආවා කියලා හිතන්න පුළුවන්. ඒ විදිහට සියමෙන් ගෙන ආපු උපසම්පදාව අපි අදටත් ලබාදෙන්නේ කුල-මල බලලා. මේ විදිහට කුල-මලවලට සළකන එක බමුණු වැඩක් මිසක් බෞද්ධ පිළිවෙතක් නෙවෙයි. ඒත් ඒ විදිහේ බමුණු පිළිවෙතක් රාමඤ්ඤයෙන් ගෙනාපු, අමරපුරෙන් ගෙනාපු උපසම්පදාවේ පැටලිලා නෑ. මධ්‍යම තායිලන්තයෙන් නැතිව උතුරු තායිලන්තයෙන් – ඒ කියන්නේ චියැං මායි වගේ ප්‍රදේශයකින්; සියම් උපසම්පදාව ගෙනාවා නම් මේ විදිහේ අබග්ගයක් නොවෙන්න ඉඩ තිබුණා කියලා මේ ලේඛකයාට හිතෙනවා. මොකද මධ්‍යම තායිලන්තයේ ශේෂවෙලා තිබුණේ ඉපැරැණි ලංකාවංශයත්, කාම්බෝජ බුද්ධාගමත් එක්ක එකට හැදුණු වැඩුණු ශාසනයක්. ඒත් උතුරේ සිංහල ශාසනය ඒ විදිහට කලවම්වෙලා තිබුණේ නෑ. ඒත් අතීතයේ වෙච්ච දේකට එහෙම වුනා නම්, මෙහෙම වුනා නම් කියලා තර්කකරන එකේ තේරුමක් නෑ. වෙච්ච දේ වෙලා ඉවරයි.

ථෙරවාද කලාපය ඇතුළේ අපි එකිනෙකා එක්ක පවත්වපු ඇයි-හොඳයිකම් හින්දා අපිට ලැබුණු දේ, අපි ඒ අයට ලබාදුන් දේ එමටයි. පොළොන්නරුවේ තියෙන සත්මහල් ප්‍රාසාදය පවා මේ ගනුදෙනු නිසා අපිට ලැබුණු දෙයක්. ඒ විතරක් නෙවෙයි. අනුරාධපුරයේ නඛා වෙහෙර, අභයගිරියේ ඉදිකටුසෑය වගේ නිර්මාණ පවා කාම්බෝජ ශෛලය උරුමකරගත්ත ස්ථූප. තවත් ඒ වගේ ම හැඩරුව තියෙන ස්ථූපයක් තියෙනවා අභයගිරියේ ඇත්පොකුණට බටහිර පැත්තෙන්. මේ නිර්මාණ දැන් නටබුන් බවට පත්වෙලා, අතීතයට එකතුවෙලා තියෙන බව ඇත්ත. ඒත් අපි හැමෝ ම තවමත් බොහොම ඉහළින්, උත්සවශ්‍රීයෙන් පවත්වාගෙන යන උරුමයක් තියෙනවා. ඒ තමයි, අපේ අවුරුද්ද!

ථෙරවාදී කලාපයේ ඉන්න අපි හැමෝ ම අවුරුදු සමරන්නේ අප්‍රේල් මාසයේ 13, 14 දවස්වල. සිංහල අපි, බුරුම, තායි, කමෙර් (කාම්බෝජ), තායි, ලාඕස ජාතිකයන් මේ අවුරුද්ද සමරනවා. ඒ වගේ ම, කලින් ලිපි කිහිපයකින් කියපු, චීනයේ යුන්-නාන් පළාතට අයිති ෂි-ශු-අන්-පන්-නා (සිප්සුන්පන්නා) ප්‍රදේශයේත් මේ අවුරුද්ද සමරනවා. බෙංගාලයේත්, ඔරිස්සාවේත්, ඇසෑමයේත්, නේපාලයේත් මේ දිනවල ම අවුරුදු සමරන එක ඇත්ත. ඒ විතරක් නෙවෙයි. තමිළ්නාඩුවේ පවා මේ අවුරුද්ද යම් යම් ආකාරයෙන් සමරනවා. 2008 අවුරුද්දේ දී, මේ සැමරිල්ල වෙනස්කරන්න කියලා හිතාගෙන කරුණානිධි ගේ ආණ්ඩුව පනතක් සම්මත කළත් සාමාන්‍ය දෙමළ මිනිස්සු පුත්තාණ්ඩුව සමරන එක නැවැත්තුවේ නෑ. ඒ හින්දා 2011 දී ජයලලිතාට සිද්දවුනා ඒ පනත අවලංගුකරලා දාන්න. අපේ රටේ නම් එහෙම වෙනසක් ගැන හිතන්නවත් බෑ. මොකද මේක සිංහල අපේ ම අවුරුද්දක්. අපේ අවුරුද්ද ථෙරවාදී කලාපයේ අනෙකුත් රටවලුත්, අපේ රටට ආසන්නවත්, ඒ වගේ ම බෙංගාල බොක්ක ආශ්‍රිත ව ඉන්දියානු උපමහාද්වීපයේ නැගෙනහිරටත් ඊසාණදිගටත් වෙන්න ජීවත්වෙන ජනයා විසිනුත් සමරන බව පැහැදිළියි. තමන් ගේ සංස්කෘතික සම්ප්‍රදායයන් අනෙක් අයට බෙදලා දෙන්න පුළුවන් භුමියෙන් ලොකු රටවල්වලට විතරක් නෙවෙයි. මේ ගැන පෙන්නන්න පුළුවන් අපි හැමෝ ම දන්න හොඳ ම උදාහරණය තමයි ඉංග්‍රීසි භාෂාව. එංගලන්තය කියන්නේ මහ විශාල රටක් නෙවෙයිනේ. ඒත් අද ඒ භාෂාවට අපේ මිනිස්සුත් වඳිනවා, පුදනවා. ඉතින් අපිත් එක්ක සංස්කෘතික සම්බන්ධකම් පවත්වපු අයට, අපේ අසල්වැසියන්ට අපි දායාදකරලා දුන්න දේ අතර අපේ මේ අවුරුද්දත් තියෙනවා.

කොහොම වුනත්, මේ හැම දෙනා ම අතරින් හරියට ම ගණන් හදලා අවුරුද්ද සමරන්නේ අපි. මේ ගණන් හැදිල්ල ශාස්ත්‍රානුකූල ව පහදලා දීම සම්බන්ධයෙන් අපේ ගෞරවය හිමිවෙන්න ඕන නලින් ද සිල්වා මහාචාර්යතුමාට. ඒ හා සම්බන්ධ කරුණු කාරණා විස්තර කරලා එතුමා සිංහල අවුරුද්ද කියලා පොතකුත් ලියලා තියෙනවා. සිංහල අවුරුද්දක් කියන්නේ පෘථිවියට සාපේක්‍ෂ ව සූර්යයාට ක්‍රාන්තිවලය දිගේ රවුමක් යන්න ගතවෙන කාලය. පෘථිවය කේන්ද්‍ර කරගෙන අහස දිහා බැලුවා ම සියලු තාරකා පිහිටලා තියෙන්නේ එක්තරා ආකාරයක ගෝලයක කියලා අපිට පේනවා. මේකට කියන්නේ ඛගෝලය කියලා. මේ ඛගෝලයේ සූර්යයා ගමන්කරන බව පේන මාර්ගයට තමයි ක්‍රාන්තිවලය කියලා කියන්නේ. ඉතින් සූර්යයා ගේ මේ ගමනට දවස් 365 කුත් විනාඩි 369 ක් විතර ගතවෙනවා. සිංහල අපි මේ කාලය – ඒ කියන්නේ අවුරුද්ද; මනින්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන එක පදනම් කරගෙන. රාශියෙන් රාශියට සංක්‍රමණය වෙවී සූර්යයා ක්‍රාන්තිවලය දිගේ ගමන්කරනවා. අපේ සමාජ ආර්ථික කටයුතු එක්ක සළකලා බැලුවා ම අවුරුද්දක් විදිහට අපිට සමරන්න පුළුවන් බක් මාසයේ දී සිද්දවෙන සූර්යය සංක්‍රමණය. ඉතින් අපි ඒ කාරණය පදනම් කරගෙන අවුරුදු සමරනවා.

මේක මහ මිථ්‍යාවක් කියලා කාට හරි කියන්න පුළුවන්. මොකද දැන් අපි දන්නවානේ සූර්යයා පෘථිවිය වටේ ගමන්කරන්නේ නෑ කියලා. පෘථිවිය තමයි සූර්යයා වටේ ගමන්කරන්නේ. ඉතින් අපේ අවුරුද්ද විද්‍යාත්මක නෑ. මේ ගැන වැඩි විස්තර කියන්න කලින් අපි පැටලිලා ඉන්න තව අවුලක් ගැන කියන්න ඕන. පහුගිය අවුරුදු 100 ක විතර කාලය ඇතුළේ අපේ බස් වඩුවෝ මහ බරපතල වැරැද්දක් කරලා තියෙනවා. ඒ තමයි, ඉංග්‍රීසියෙන් සයන්ස් කියලා කියන දේ සිංහලෙන් කියන්න විද්‍යාව කියන වචනය පාවිච්ච් කරපු එක. බෞද්ධ අපි විද්‍යාව කියන වචනය පාවිච්චිකරන්නේ නිවනට පර්යයා විදිහට. විද්‍යාව කියන්නේ සත්‍යයට. බුද්ධත්වය අවබෝධ කරගත්ත එක ගැන අපේ සම්මා සම්බුදුරජාණන්වහන්සේ කිව්වේ විද්‍යාව පහළවුනා කියලා.

එහෙම නම් සයන්ස් කියන්නේ මොකක්ද? ඒක සිංහලෙන් කියන්න පුළුවන් කොහොම ද? ඇයි දෙයියනේ ඒකට අපේ භාෂාවේ වචනයක් තියෙන්නේ ශාස්ත්‍ර කියලා. ඉංග්‍රීසියෙන් සයන්ස් කියන්නේ ශාස්ත්‍රවලට. වෛද්‍ය ශාස්ත්‍රය, අර්ථ ශාස්ත්‍රය වගේ වචන අපි අදටත් පාවිච්චි කරනවා. ඉතින් භෞතික ශාස්ත්‍රය, රසායන ශාස්ත්‍රය, දේශපාලන ශාස්ත්‍රය වගේ වචනත් අපිට යොදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ටෙක්නොලොජි කියන එකටත් ශිල්ප කියලා වචනයක් අපිට තියෙනවා. ඊට අදාළ දේවල් කියන්න තාක්‍ෂණය වගේ බරපතල වචනයක් අල්ලගෙන දඟලන්න ඕන නෑ. ශිල්ප – ශාස්ත්‍ර කියන වචන දෙකෙන් අපි හදාගන්න දැනුම ගැනත්, ඒවායෙන් වැඩගන්න විධික්‍රම ගැනත් කියන්න පුළුවන්. ඒත් දැන් අපේ අය ඉස්කෝලයක්, ඉස්කෝලයක් ගානේ තොරතුරු තාක්‍ෂණික විද්‍යාගාර පවා හදලා!

දැන් අපි බලමු අපේ අවුරුද්ද සයන්ටිෆික් ද – ඒ කියන්නේ ශාස්ත්‍රානුකූල ද; නැති ද කියලා. කලින් කියපු විදිහට අපිට සාපේක්‍ෂව සූර්යයාට ක්‍රාන්තිවලය දිගේ යන්න දවස් 365 කුත් විනාඩි 369 ක් විතර ගතවෙනවා. ඒත් අලුත් දැනුමට අනුව බැලුවොත්, පෘථිවියට සූර්යයා වටේ යන්න ගතවෙන්නේ දවස් 365 කුත් විනාඩි 349 ක් විතරයි. ඉතින් බැලූ බැල්මට ම අපේ අවුරුද්ද වැරැදියිනේ. ඇයි අපේ අවුරුද්ද නියම අවුරුද්දට වඩා විනාඩි විස්සකින් විතර දිගයි. ඒත් අපි එදිනෙදා වැඩවලට යොදා ගන්නේ මේ දවස් 365 යි විනාඩි 349 ක සායන වර්ෂය නෙවෙයිනේ. අපි ඒකට යොදාගන්නේ දවස් 365 ක් තියෙන, එහෙම නැතිනම් දවස් 366 ක් තියෙන දින දර්ශනයක්. ඉතින් දවස් 365 ක අවුරුද්දක් නියම අවුරුද්දට වඩා විනාඩි 349 කින් කෙටියි. දවස් 366 ක අවුරුද්දක් නියම අවුරුද්දට වඩා විනාඩි 1091 කින් දිගයි. අපේ සිංහල අවුරුද්ද නියම අවුරුද්දට වඩා විනාඩි 20 කින් දිගයි. එහෙම නම් හරියට හරි අවුරුද්ද මොකක්ද? විනාඩි 349 ක් අඩු දවස් 365 ක් තියෙන අවුරුද්ද ද? විනාඩි 1091 ක් වැඩි දවස් 366 ක් තියෙන අවුරුද්ද ද? විනාඩි 20 ක් විතරක් වැඩි අපේ අවුරුද්ද ද?

ඒත් අපේ අය මේ ගැන දන්නේ නෑ. හිතන්නෙත් නෑ. තමන් සිංහල වුනත් ක්‍රිස්තියානි අය පවා අපේ අවුරුද්ද සමරන්න අදිමදි කරනවා. අපි ආගමේනේ කියලා ඒ අය කියනවා. ඒත් චීනයේ ඉන්න ක්‍රිස්තියානි, මුස්ලිම් අය පවා එක විදිහට චීන අවුරුද්ද සමරනවා. ඒ හැම දෙනෙක් ම ඒක තමන් ගේ අවුරුද්ද විදිහට සළකනවා. චීන අවුරද්දක් කියන්නේ දවස් 365 කින් තීරණය වෙන එකක් නෙවෙයි. ඒ ගැන පස්සේ කියන්න පුළුවන්.

කොහොම හරි ථෙරවාදී කලාපයේ නෑදෑයන් එක්කයි, අහළ පහළ හිතවතුන් එක්කයි අපි අපේ අවුරුද්ද බෙදා හදාගෙන තියෙනවා. ඒ හැම කෙනෙක් ම, අපේ විදිහට ම අවුරුදු සමරන්නේ නැති බව ඇත්ත. ඒත් අපි හැමෝ ම සමරන්නේ එක ම අවුරුද්දක්!

වරුණ චන්ද්‍රකීර්ති෴

2 Responses to “පෙරදිගට ගමනක් – 24 – හරියට ම හරි අවුරුද්ද …”

  1. S.Gonsal Says:

    Sometimes your arguments appear to be flawed. This is bad to the valuable message you are trying to put through.

    1. “එහෙම නම් හරියට හරි අවුරුද්ද මොකක්ද? විනාඩි 349 ක් අඩු දවස් 365 ක් තියෙන අවුරුද්ද ද? විනාඩි 1091 ක් වැඩි දවස් 366 ක් තියෙන අවුරුද්ද ද? විනාඩි 20 ක් විතරක් වැඩි අපේ අවුරුද්ද ද?” this question is absurd. “More wrong” or “less wrong ” wrong is WRONG.

    Although sun does not go around earth, there is nothing wrong in determining its apparent path and movement relative to earth. Based on this Sinhala Avuruddha is celebrated, perfectly well.

    2. “පහුගිය අවුරුදු 100 ක විතර කාලය ඇතුළේ අපේ බස් වඩුවෝ මහ බරපතල වැරැද්දක් කරලා තියෙනවා. ඒ තමයි, ඉංග්‍රීසියෙන් “සයන්ස්“ කියලා කියන දේ සිංහලෙන් කියන්න “විද්‍යාව“ කියන වචනය පාවිච්ච් කරපු එක. බෞද්ධ අපි “විද්‍යාව“ කියන වචනය පාවිච්චිකරන්නේ නිවනට පර්යයා විදිහට. “විද්‍යාව“ කියන්නේ සත්‍යයට.”
    …….ඇයි දෙයියනේ ඒකට අපේ භාෂාවේ වචනයක් තියෙන්නේ “ශාස්ත්‍ර“ කියලා. ඉංග්‍රීසියෙන් “සයන්ස්“ කියන්නේ ශාස්ත්‍රවලට. වෛද්‍ය ශාස්ත්‍රය, අර්ථ ශාස්ත්‍රය වගේ වචන අපි අදටත් පාවිච්චි කරනවා. ඉතින් භෞතික ශාස්ත්‍රය, රසායන ශාස්ත්‍රය, දේශපාලන ශාස්ත්‍රය වගේ වචනත් අපිට යොදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. “ටෙක්නොලොජි“ කියන එකටත් “ශිල්ප“ කියලා වචනයක් අපිට තියෙනවා. ….”

    This again is not correct. “Science” is not exactly “TRUTH” either, but it is close enough to vidya because Avidya mean “not knowing” or “lack of knowledge”. Science bring us knowledge so it Vidya = Panna = wisdom means true knowledge. Therefore බස් වඩුවෝ have been wise.
    Also, ශිල්ප is closer to vocational trades than “technology”.
    So don’t abuse බස් වඩුවෝ thinking your are greater ! translations are not easy.

  2. Senevirath Says:

    ”’දුනු ශිල්පයේ හා කඩු ශිල්පයේ හසල ””’ යනු ”’vocational ද
    නලින්ද සිල්වා වර්ණනා කලොත් කුපිත වෙන ය ඉන්නවා බලාගේනය්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress