ගොවියාගේ පිට කොන්ද බිඳින මොරගහකන්ද
Posted on July 26th, 2016

මතුගම සෙනෙවිරුවන්

පොල්ගොල්ලෙන් කැපුණු උමගක් හරහා උකුවෙලට වැටීපසුව බෝවතැන්නට එකතුවන මහවැලියේ ජලයෙන් විදුලි බලය උත්පාදනය කරන ගමන්ම මහවැලි ප්‍රදේශයන්ද සංවර්ධනය කිරීම වර්තමාන මහවැලි සැලැස්මේ අරමුණු අතර විය. මෙකී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ද ප්‍රථම මොරගහකන්ද ප්‍රදේශයේ ජලාශයක් ඉදිකිරීමට යෝජනාවක් විය. 1968 දී එක්සත් ජාතීන් ගේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කරන ලද අධ්‍යනයකින් අඹන්ගඟ ප්‍රදේශයට වාර්ෂිකව විශාල වර්ෂාපතනයක් ලැබෙන බවට ඉදිරිපත් කරන ලද දත්තයන් මත මෙවැනි ජලාශයක් තැනීමට ඉඩකඩ ඇතැයි උපකල්පනය කර තිබුණි. මෙම ජලාශයේ එක් රැස්වන ජලය උතුරට ගෙන ගොස් යාපනේ කලපුව මිරිදියෙන් පුරවා ඒ ප්‍රදේශ සශ්‍රීක කිරීමට ආරුමුගම් නමැති වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ යෝජනාවක්ද විය.

මහවැලි ගඟේ ජලය පොල්ගොල්ලේදී හරස් වී උමගකින් උකුවෙලට ගොස් අඹන්ගඟේ අත්තක් වන සුදු ගඟට එක් වෙයි.ඉන්පුසු බෝවතැන්න බෙදුම් ජලාශයෙන් කලාඔය යාන් ඔය සහ අඹන් ගඟ යන නිම්න තුන පෝෂණය කිරීම සඳහා ජලය මුදා හැරේ. ලෙනදොර සිට සීගිරි වැව හරහා ගෙන යන ජලය හබරණ අසල හිරිවඩුන්න වැවට වැටී හබරණ ඔය හරහා උතුරට ඇදී යාන් ඔයෙන් හුරුලු වැවට වැටේ. බෝවතැන්නෙන් නැගෙනහිරට ගලන ජලය අඹන් ගඟ හරහා ගොස් ඇලහැර පැරණි අමුණෙන් හැරවී යෝධ ඇළ දිගේ ගොස් එම ප්‍රදේශය පෝෂණය කොට ඉන්පසු ගිරිතලේ වැවටත් මින්නේරි වැවටත් දිය බෙදුමෙන් බෙදී යයි. මින්නේරියට එන ජලයෙන් කොටසක් මින්නේරිය කන්තලේ යෝධ ඇළ ඔස්සේ ගොස් කන්තලේ ප්‍රදේශයේ කුඹුරු පෝෂණය කරයි. තවත් කොටසක් කවුඩුල්ලට ගමන් ගනී. ඇළහැරට එක්වන ජලයට අමතරව ජලය අඹන්ගඟ දිගේ ගොස් අඟමැඩිල්ල පරණ අමුනෙන් පරාක්‍රම සමුද්‍රයට එකතු වෙයි.

දිවංගත ගාමිණි දිසානායක මහතාගේ මූලිකත්වයෙන් කඩිනම්ව නිම කරන ලද මහවැලි ජල හැරවුම් පද්ධතිය මගින් අද විශාල කුඹුරු ප්‍රමාණයක් පෝෂණය කරයි. මේ පද්ධතියේ තිබෙන විශාලතම ජලාශයක් වන වික්ටෝරියා ජලාශය අක්කර අඩි 480000 ක ධාරිතාවයකින් යුක්තය. මේ මගින් මෙගා වොට් 210 ක විදුලියක් උත්පාදනය කරයි. මේ ජලාශය නිසා දුම්බර මිටියාවතේ පදිංචිව සිටි පවුල් 5941 ක් නොහොත් ගම්මාන 10 ක් විස්ථාපනය විය. 1980 මිල ගණන් අනුව මේ ව්‍යාපෘතියට වැය වූ මුදල රුපියල් කෝටි 900 කි.වසර විසිපහකට පස් මහවැලි ව්‍යාපාරයේ අද තත්ත්වය ගැන සැලකිල්ලෙන් බැලීමේදී එහි ආරම්භක දුර්වලතා රාශියක් තිබෙන බව පෙනී ගොස් ඇත. විදේශ මුදල් විදේශ ශිල්ප ක්‍රම යොදවා කරන ලද මේ ව්‍යාපෘතියේ දී ලංකාවේ තිබූ සාම්ප්‍රදායික වැව් ශිල්පීය ක්‍රමවේදයන්ගෙන් ගුරු හරුකම් නොගැනීම නිසා ඇති වූ දුර්වලතාවයන් ප්‍රධාන වෙයි. ඇතැම් මහවැලි ප්‍රදේශ වල තිබූ ලොකු කුඩා වැව් රාශියක් මහවැලි මහ සැලැස්මට අනුව කපා දැමීමට සිදු විය. අනතුරුව මධ්‍යම ප්‍රමාණයේ වැව් යොදා ගනු ලැබූවේ ගබඩා ජලාශයන් වශයෙන් පමණකි. මේ තත්ත්වය මත වියලි කාලයේදී  ප්‍රදේශ වල උද්ගතවන පාරිසරික ප්‍රශ්ණ බොහොමයකි. ජල චක්‍රය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. සත්ත්ව පාලනය හා සාම්ප්‍රදායික ගැමි ජීවන රටාවන් පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවයන් ද රාශියකි. පොල්ගොල්ල ආදී හැරවුම් ජලාශ රොන් මඩ වලින් පිරි පවතී. වික්ටෝරියා ජලාශය පිරී යන්නේ කලාතුරකිනි. කොකෝ ගම්මිරිස් කරාබු එනසාල් ඇතුළ දුම්බර මිටියාවතේ කෘෂිකර්මය ද නැති කරමින් ගම්මාන උගුල්ලමින් කළ කැප කිරීම උදාරතර වුවද මෙම ජලාශ පෝෂක ප්‍රදේශ නිරන්තරයෙන්ම නිරාවරණය වී ජලයෙන් හිස්ව පවතී. ධම්මනියාමයට පිටින් යෑමේ විපාකය අද මහවැලි ප්‍රදේශවලින් පෙන්නුම් කරති.

ඩි.එස්. සේනානායක හිටපු අගමැතිවරයාගේ යුගයෙන් පසු ලංකාවේ වී ගොවිතැන සංවර්ධනය කිරීම සදහා ඇති කළ මහවැලි ව්‍යාපාරය නිසා මූලික වී ගොවිතැනේ අපේක්ෂිත ඉලක්කයන් රාශියක් සම්පූර්ණ වී ඇති බවද කල්පනා කළ යුතුය. මිරිස් ධාන්‍ය ඇතුළු අතිරේක භෝග වගාවන් ද මේ ඉලක්කයේ පැවතියේය. නමුත් ලංකාවේ දැනට ප්‍රධාන ආහාර වශයෙන් සැලකෙන බත සඳහා ඉවහල් වන සහල් නිෂ්පාදනය කරන ගොවීන්ගේ ජීවන තත්ත්වය නම් ඉතා කණගාටුදායක ලෙසට පහත වැටී තිබේ. වර්තමානයේ පවතින ජීවන වියදමට සාපේක්ෂව වී ගොවිතැනේ වියදම් පක්ෂය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. යන්ත්‍ර සූත්‍ර යොදවා ගැනීම සඳහා ද ශ්‍රමය කැප කිරීම සඳහා ද වැයවන මුදල ඉතා අධිකය. පොහොර සහනාධාරය ලබා දුන්නද සියයට  හැත්තෑපහක් පමණ වියදම් පකෂය අඩුකර ගත නොහැකිය. ඒ අනුව දැනට වී කිලෝවකට ලැබෙන මිල ගොවියාට ප්‍රමාණවත් වුවද සහල් වෙළෙඳ පළ මගින් එයට අවශ්‍ය සැබෑ වටිනාකම ගොවියාට ලබා දී නොමැත.

1995 දී ලෝක බැංකු නියෝජිතයන් දෙදෙනෙකු විසින් නිර්දේශ කරන ලදදේ ගොවි ජනතාවගෙන් සියයට හතළික් පමණ ගොවිතැනෙන් ඉවත් විය යුතු බවයි. ඒ වෙනුවට නගරබදව සහ ගම්මාන ආශ්‍රිතව ඉදිවන කර්මාන්තශාලාවන්හි රැකියා සඳහා ඔවුන් යොමු වියයුතු බව ඔවුන් ගේ අදහස විය. පසුගිය දශකයේ බලයට පත් වූ සෑම රජයක්මමේ නිර්දේශයන් අනුව වැඩකර ඇත. කිසිම රජයක් ගොවියාගේ ප්‍රශ්ණ තේරුම් ගෙන අවශ්‍යම පියවර ගත්තේ නැත. පොහොර සහනාධාරය වැනි පැලැස්තර අලවා ඒ මගින් පොහොර සමාගම් තර කිරීම කොට ජනතාව මුලා කොට ප්‍රශ්ණය තව තවත් උග්‍ර කිරිම තුළින් ගොවි තරුණයන් ගොවිතැනෙන් ඉවත් කිරිම  සැම දේශපාලඥයයකුගේම මෙන්ම කෘෂිකර්මය භාරව සිටින නිළධාරීන්ගේද බලාපොරොත්තුව විය.

දැනට මහවැලි හැරවුම් පද්ධතියෙන් නිකුත්වන ජලය බෝතැන්න බෙදුම් ජලාශයෙන් ඉවතට යන්නේ කියුබික් මීටර දශලක්ෂ 867 කි. මොරගහකන්ද නිර්මාණය වූ විටඑය 392 දක්වා අඩු කෙරේ. එසේම ඇළහැර  මගින් දැනට කියුබික් මීටර දශලක්ෂ 683ක් මුදා හැරේ. ජලාශය නිමවීමෙන් පසු එය 603 දක්වා අඩු කිරීමට යෝජිතය. එසේම වැහිවතුරෙන් ඇළ හැර ප්‍රදේශයට එකතුවන කියුබික් මීටර් දශලක්ෂ 1145 සිට 548 දක්වා අඩුකෙරේ. එසේම ඇළ හැරෙන් උතුරා යන ජලයද 462 සිට 59 දක්වා අඩුකෙරේ. නමුත් අඟමැඩිල්ලෙන් බෙදන ජලය 333 සිට 357 දක්වා වැඩිවේ. මොරගහකන්ද ප්‍රදේශයේ අක්කර අඩි 425000 ක පමණ ජලාශයක් නිර්මාණය කර අඹන් ගඟ නිම්නයේ පවුල් 1147 ක් විශිථාපනය කර දශලක්ෂ 109 ක විදේශ ණයක් යොදවා ගන්නේ ඉහතකී ආකාරයට බෝවතැන්නෙන් පිටවන ජලය හිරකර පහළගංගාව වර්ෂයේ වැඩි කාලයක් වියළි තත්ත්වයේ තබා අමතර ජලය අක්කර අඩි 81000 ක් (100 M C M ) මහවැලි එච් කලාපයට ලබා දීමටය. 1948-1968 වර්ෂාපතන දත්තයන් අඹන් ගඟ ප්‍රදේශයට අතිරික්ත ජලයක් ලැබෙන්නේ වසර පහකට පමණ සැරයක් යයි දක්වා ඇත. එසේ නම් මේ සා විශාල වන්දියක් ගෙවා ඉඩම් හා කැලෑව කැප කර වික්ටෝරියාවට මදක් සමාන ජලාශයක් නිර්මාණය කරන්නේ ඇයි.වැඩිපුර කියුබික් මීටර 100 ක් මහවැලි එච් කලාපයට ලබා දීමටය. එසේ කිරීමට අත්‍යවශය වී නම් කළ යුතුව තිබුණේ අක්කර අඩි 81000 ක ජලාශයක් තැනීම පමණකි.

මේ මුද්ල නාස්තියේ අරමුණු කීපයකි. එකක් දෙශපාලනික වශයෙනි. මේ ප්‍රදෙශයෙන් පාලනය කරන දේශපාලනඥයන් විදේශ මුදල් දෙස කෑදර කමින් බලති. ඔවුන්ගේ ගෝලබාලයන් සැනසීමට කොන්ත්‍රාත් ලබා දීමට වනය කැපීමට සහ රස්සා දීමට මේ මගින් හැකි වේ. දේශපාලනඥයන්ගේ පටු අරමුණු පාදක කොට ගෙන ජල සම්පත් භාරව සිටින ඉහළ නිළධාරීන් තමන්ගේ සුභ සිද්දිය උදෙසා අනාගත සැලසුම් කරති. 1985 අංක  06 දරන පනත රජය ඉදිරිපත් කරන්නේ මේ නිළධාරින්ගේ උපදෙස් මතය. ලංකාවේ ජලය මිල කළ හැකි ආකාරය ඔවුහු පෙන්වා දී තිබේ. චන්ද්‍රිකා මැතිණියගේ රජය කාලයේදී ඉන්පසු 2002 දී ද ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් ණය ආධාර ගෙන ජල ඒජන්සි දමා ජල පණත් නිකුත් කර ක්‍රමවේද නීතිගත කිරීම උදෙසා මිල ගණන් ඉදිරිපත් කර තිබුණි. ජනතා පෙළ ගැස්ම නිසා ඒවා පරාජය වුණි. මහින්ද චින්තනය යටතේ ජලය විකිණීමට ප්‍රතිපත්තියක් ලෙසට පිළිනොගත්තද වාරිමාර්ග අමාත්‍යංශයෙ ඇතැම් නිළධාරීන්ගේ  සහ ඇතැම උසස් අයගේ උපදෙස් පරිදි ජල සම්පත් සැලසුම් අංශ වල අයගේ ද උදව් ඇතිව නවම් නමැති ව්‍යාපෘතියක් ඉදිරිපත් කෙරුණි. ගංගා ද්‍රෝණි ආරක්ෂා කරලීමේ මුවාවෙන් ජල බලපත්‍ර ක්‍රමයක් ඇති කිරිම එහි අරමුණයි.හැටේ දශකෙය්දී ආරුමුගම් මහතා ඉදිරිපත් කළයෝජනාවද මෙහිද සැලකිල්ලට භාජනය නොවෙනවා නොවේ. උතුර ප්‍රදේශය තුළ අභයන්තර ස්වයං පාලනයක් නිර්මාණය වන විට උතුරට අවශ්‍ය ජලය ලබා ගැනීමට ඒවා මිල කිරීමද කළ හැකි වන සේ මේ ජලාශය සැලසුම් කර ඇතැයි අවසාන වශයෙන් නිගමනය කළ හැකිය.වර්තමානයේ ක්‍රමයෙන් ඉඳිවන මෙරගහකන්ද ජලාශයට වර්තමාන ජනාධිපතිවරයා තදින්ම මැදිහත්ව සිටින්නේ ඔහු විදෙස් බලවේගයන්හි රූකඩයක් බවට පත්ව සිටින නිසාවෙනි. මෙරගහකන්ද මහින්ද රාජපකක්ෂ ඉඳිකළද මෛත්‍රීපාල සිරිසේන ඉඳි කළද ඒ මගින් ගොවිජනතාවට දිගුකාලීන යහපතක් ඇති නොවනු ඇත. ඒ වෙනුවට රජරට බිලිගත් වකුගඩු වසංගතය තවත් මුහුණවරකින් ඉදිරයට එනවා නිසැකය.

මතුගම සෙනෙවිරුවන්

2 Responses to “ගොවියාගේ පිට කොන්ද බිඳින මොරගහකන්ද”

  1. Charles Says:

    It was very intereting reading this article. It gives information unknown to many. Thank you

  2. Hiranthe Says:

    I do agree with Charles. Great informative article.

    However, it is sad to see the damage caused to Mother Lanka by these selfish politicians.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress