යහපාලනය, සංවර්ධනය හා ජනතාව
Posted on July 31st, 2016

ආචාර්ය චන්දන ජයලත්

යහපාලන මූලධර්ම මත ඉදිකිරීම් නියාමනය යන මැයෙන්් ඉංග‍්‍රීසියෙන් රචිත පොතක් ලඟදීම එළිදැක්වීමට නියමිත ඇති අතර එහි කතුවරයා වන මා සමග පොත නිකුත්වීමටත් පෙර හුදෙක් පොතට දී ඇති මාතෘකාව පමණක්ම පදනම් කොට ගෙන යම් යම් මත පළකිරීමටත් සමහරු නලියන්නටත් පටන් ගෙන ඇත. එය අස්වාභාවික දෙයක් නොවන බව මම දනිමි. ප‍්‍රශ්ණයට සාධාරණයක් කිරීම් වස් මා කෙටි උත්සාහයක් ගනිමි.

යහපාලන සංකල්පය සංවර්ධනය ක‍්‍රියාවලිය තුළ ගලපා ගන්නේ කොයි ආකාරයෙන්ද යන්න දැන ගැනීම කොයි කාටත් එකසේ වැදගත් බව මගේ හැඟීමයි. ව්‍යාපෘති මෙහෙය වෙන්නේ කාලය, මූදල හා ප‍්‍රමිතිය කියන මේ සීමා ත‍්‍රිත්වය තුළයි. කාලය ඉකුත්වීම, මුදල් නාස්තිය හා ප‍්‍රමිතිය පිරිහීම තුළ මහජන ව්‍යාපෘතිවල ඉලක්ක මුදුන් පමුණුවා ගන්නට බැරිවීම නොවැලැක්විය හැකියි. යහපාලනයේ කියැවෙන විනිවිදබව, මූල්‍ය විනය, කාර්යක්‍ෂමතාව හා ඵලදායීතාව හරහා කාලය, මුදල හා ප‍්‍රමිතිය සම්බන්ධයෙන් මනා සංයමයක් හා වගවීමක් ඇතිකර ගත හැකියි. මූලිකවම, මහජන ව්‍යාපෘතීන් හි සාර්ථකත්වයට ජනතා සහභාගීත්වය අත්‍යවශ්‍ය සාධකයක් බව පිළිගනීි. එනයින් දුෂණය අවම කරගැනීමට හැකිවෙනවා වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන මුදල් වියදම් කෙරෙන ව්‍යාපෘති තමන් වෙනුවෙන් ය යන හැ`ගීම ජනතාව තුළ ඇතිවීම අපේක්‍ෂිතයි. ජනමතය උරඟා බැලීමෙන් හා තීන්දු තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට ජනතාව හවුල්කර ගැනීමෙන් වඩාත් සුභවාදී ප‍්‍රතිඵල අත්කර කරගත හැකි බවට ජාත්‍යන්තරයේ ඕනෑ තරම් උදාහරණ ද තිබේ.

තවද ඕනෑම ව්‍යාපෘතියක අවසන් මිල ගණනය හා වටිනාකම් සාපේක්‍ෂව සැසඳීමට නම් එක හා සමාන තාක්‍ෂණික, වාණිජමය හා කොන්ත‍්‍රාත් පදනමක් මත පිහිටා එය කළ යුතුය. එසේම ගිවිසුම්වලට එළැඹුණු මිල ගණන් පවා දෝෂ සහිත විය හැකිය. මූලික ඇස්තමේන්තුව වැරදිනම් ඉන් ඔබ්බට සැසඳීමත් වැරදි සහගතයි. සිදුවූවා යැයි කියන තාක්‍ෂණික වංචාවන් පිළිබඳව මනා විශ්ලේෂණයක් හා විගණනයක් කළ හැක්කේ එම විෂය විද්‍යාත්මකව හැදෑරූ පිරිසකට පමණයි. එවැනි ප‍්‍රවේශයක් තුළ පිහිටා වංචා සිදුවූවා යැයි කියන්නේ නම් ඒවා සිදුවී ඇති ආකාරය ජනතාව හමුවේ තිබීමට යහපාලන රජයක් බැඳී සිටින වග මා කිව යුතුමයි. එය හුදෙක් කිසිම ප‍්‍රමාණ සමීක්‍ෂණ විද්‍යාත්මක අවබෝධයක් නැති දේශපාලනඥයින් දෙදෙනෙක් අතර සිදුවන වචන හරඹයකට වඩා එහා ගිය තත්වයක් බවද පෙන්වා දිය යුතුය.

යහපාලන මූලධර්ම මත ඉදිකිරීම් නියාමනය වන්නේ නම් එය තිරසාර සංවර්ධනය කරා යන ගමනකි. ඒ සඳහා සාක්ෂාත් කරගත යුතු කරුණු මොනවාද? තිරසාර සංවර්ධනය සංකල්පය අරභයා නැගෙන තර්කයක් වන්නේ කාර්යක්‍ෂම ආර්ථික ක‍්‍රියාදාමයක් එසේ නොවන ආර්ථික ක‍්‍රියාදාමයකට වඩා විරස්ථායි සමාජ සුභසාධනයක් ඇතිකරන බව පෙන්වා දිය යුතු බවයි. මෙහිදී ඉඩම් අත්පත් කර ගැනීමේ දැනට පවතින වන්දි ගෙවීමේ ක‍්‍රමවේදය හා නීතිමය ප‍්‍රතිපාදන කොතෙක් දුරට ඉක්මන් හා සාධාරණ වන්දියක් ලබා ගැනීමට ඉවහල්වේද යන්න කිරා මැන බැලීම ඉතා වැදගත්ය. උදාහරණයකට මේ වනවිට කොළඹ නුවර අධිවේගී මාර්ගයට අදාලව මීරිගම ඉදිපරපේ වෙල්යායක පස් පිරවීමක් සිදුකර ගෙන යන අතර කොන්තා‍්‍රත්කරුවෙකු සිය කැමැත්තෙන් තමාගේ මුදලින් පස් පුරවන බවට රාවයකුත් පැතිර යයි. මෙය සැබෑවක් නම් එය වැරදි පූර්වාදර්ශයක් වන අතර යහපාලන ප‍්‍රතිපත්ති අමුඅමුවේ උල්ළංඝණය කිරීමකි. බොරුවක් නම් කවුරුන් හෝ විසින් සිදුකරනු ලබන ජනතා ද්‍රෝහිකමකි. ජනතා උද්ඝෝෂණ හමුවේ ඇතැම් ස්ථානවල පස් පිරවීම් නවත්වා ඇති බවට ද ආරංචිය. මෙම අධිවේගය නිසාවෙන් පළල් කිරීමට නියමිතව ඇති මීරිගම දිවුලපිටිය ප‍්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇති රු. ලක්‍ෂ 2ක් වත් වටිනා ඉඩම් පර්චසය රු.15,000 ක් වැනි ඉතාමත්ම සුළු මුදලක් නිර්ණය කිරීම තුල ජනතා විරෝධයක් ද ඇතිවෙමින් පවතී. ඉඩම් අත්පත් කරගැනීමේ පනතේ වගන්ති කීපයක් සඳහන් කරමින් මේ වනවිට කිසිදු වන්දි මුදලක් නිර්ණය කර නැති ඉඩම් හා ගෙවල පදිංචිකරුවන්ට ලිඛිතව නියෝග කරමින් ලිපි පවා ලබා දී ඇත. එම ලිපිවල සඳහන් වන්නේ ඕනෑම අවෂ්ථාවක එන නිලධාරීන්ට කැණීම් කටයුතු කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවයි. වන්දි ගෙවීමේදී ගතයුතු විද්‍යාත්මක ප‍්‍රවේශය, යහපාලන රාමුවක් තුල නිලධාරීන් හැසිරිය යුතු ආකාරය මෙන්ම කතා කළ යුතු තවත් බොහෝ දේ් මාගේ පොතෙහි අන්තර්ගතය. මාගේ එකම හා ප‍්‍රබල තර්කය වන්නේ සංවර්ධනය තිරසාර වන්නට නම් සමස්ථ කාරණය ජනතාව සමග යන කාරණයක් බවට පත්විය යුතු බවයි.

ඉඳිකිරීම්වලදී පරිසරයට වැඩි අගයක් තැබීම උතුම් පරාර්ථකාමී හා මානවවාදී ගුණයකි. පරිසර ආර්ථික විද්‍යාවේ එන මූලිකතම තර්කය වන්නේ අද යමෙක් ජීවත්ව සිටියදී විදින පාරිසරික බුක්තිය විසින් අනාගත පරම්පරාවට අහිතක් නොහෙලිය යුතු බවයි. යම් අහිතක් නොවැලැක්විය හැකි නම් එය හැකි තරම් දුරට බදුක‍්‍රම හා වෙනත් ක‍්‍රමවේදයන් ඔස්සේ අන්තරීකරණයට භාජනය කළ යුතුයි. ජන උරුමයට අත තැබීම වළක්වාලිය යුතුයි. දැනට ඉදිවෙමින් පවතින හා යෝජිත මහාමාර්ග ව්‍යාපෘතීන්ට යට වන ජන උරුමය සැටලයිට් තාක්‍ෂණයට ගෝචර නොවේ. ඉදිකිරීම් නියාමනය තුළ සක්‍යතා අධ්‍යයනයට මුල් තැන ගත්තද ‘කට් ඇන්ඞ් පේස්ට්’ අධ්‍යයන වාර්තා මගින් හෙළි නොවන මේ සුවිසල් මානව කතාන්තරය සුළු පටු නොවේ. සතා සිව්පාවා, ගහ කොළ, පිරිසිදු වාතය, ජලය හා සරු බිම්, මනරම් දර්ශන මෙන්ම කෝට් සංඛ්‍යාත ජනතාවත් හුස්ම ඉහළ පහළ ගත් එම උරුමය පසාරු කරගෙන ඉදිවන මහා මාර්ගවල අවසානයේ ගමන් ගන්නේ බ්‍රොයිලර් චිකන් වලින් සැදුන රොබෝවරු නම් සංවර්ධනයේ ඇති ඵල කුමක්ද? අඩු තරමේ පූර්ණ මහජන මත විමසුමකටවත් මග එලි පෙහෙළි නැති ඉදිකිරීම් නියාමනය ගැන කවර කතාද?

ව්‍යාපෘතිවලින් අවතැන්වන අයවලූන්ට සාධාරණ වන්දියක් ලබාදීම සඳහා ජාත්‍යන්තරව යොදා ගනු ලබන නිර්ණායක බොහෝය. වන්දි ගෙවීම නමැති කාරණය සම්බන්ධයෙන් ජන සමාජය තුල දෙගිඩියාවක් පවතීම යහපාලන රජයකට හිතකර නොවනු ඇත. නිශ්චිත නිර්ණායකයක් තවමත් ජනතාව හමුවේ හදුන්වා දී නොතිබීම ඊට හේතුවයි. ස්වේච්ඡුා නොවන සියලූ අවතැන්වීම් වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රබල මූලධර්මයක් වන්නේ එසේ ව්‍යාපෘතියක් නොතිබුණ විට තිබූ ජීවන මට්ටමට අ`ගලක් හෝ ඉදිරියෙන් තැබීමට හැකි සාධාරණ වන්දියක් ගෙවීමයි. දෙවන මූලධර්මය වන්නේ ඇතිවිය හැකි මානසික ආතතියට මූල්‍යමය වශයෙන් යම් අගයක් එකතු කර ගෙවීමයි. තෙවත මූලධර්මය වන්නේ වානිජ වටිනාකමක් ඇති සියලූ බව බෝගවල අහිමිවන අස්වැන්න වෙනුවෙන් පාරිතෝෂිකයක් ලබාදීමයි. මූලික වශයෙන් ඉඩම් තක්සේරු කිරීමේ දී සලකා බැලෙන්නේ වෙලඳපොල වටිනාකම වුවද අධිවේගය හේතුවෙන්ම අවට ඉඩම්වල මිල කෘතිම ලෙස ඉහළ යාමක් සිදුවෙන හෙයින් සාමාන්‍ය තත්වයක් යටතේ, එනම් අධිවේගයක් නොමැති වකවානුවේදී පැවති මිලකට ඉඩම් තක්සේරු කිරීම බලවත් කම්පනයක් ගෙන දෙන කාරණාවක් බව සක් සුදක් සේ පැහැදිලිය. මන්ද, එම මිලට ඉඩම් මිලදී ගත නොහැකි නිසාය. එබැවින් කළ යුතුව ඇත්තේ පවතින මිලට අමතරව අනාගතයේ යම් නිශ්චිත කාල පරාසයක් තුල පිහිටා ඉලක්ක අගයක් ලබා ගැනීමයි. මෙහිදී වඩාත් තාර්කික හා මානවවාදී ගණුදෙණුවකට යාමට නම් ඉඩම් දර්ශකයක වැදගත්කම මතු වෙනු ඇත. රොබට් සෝලෝ විසින් පෙන්වා දෙනු ලැබූ තිරසාර සංවර්ධනය එයයි. ජොන් රවුස්ල් නම් වූ දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරනු ලැබූ සමාජ සාධාරණත්වය පිළිබඳ විග‍්‍රහයත් එයමයි.

තවද මෙම පොතෙහි ජාතික වශයෙන් වැදගත් එහෙත් එතරම් ප‍්‍රමාණවත් විචාරයකට බඳුන් වී නැති පැතිකඩක් සාකච්ජාවනුඇත. එනම් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත වගේම එම අධිකාරිය පිළිබඳවයි. ඉදිකිරීම් ෙක්‍ෂ්ත‍්‍රයේ ප‍්‍රවර්ධනය, සුභසිද්ධිය, නියාමනය හා රාජ්‍ය මැදිහත්වීම පනතකින් සම්මත කරගත් නිශ්චිත බලාධිකාරයක් ස්ථාපිතවීම සතුටට කරුණකි. පනතින් උපදේශන සභාවක්, සංවර්ධන අධිකාරියක් හා සංවර්ධන අරමුදලක් පිහිටුවනු ඇත. ජාතික ඉදිකිරීම් ප‍්‍රථිපත්තියක් සකස් කිරීම එකී උපදේශන සභාවට පැවරී ඇති ප‍්‍රධාන වගකීමයි. පනතට අනුව යෝජිත උපදේශන සභාව ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ හවුල්කරුවන්්ට අනාගතයට යා දෙන උපක‍්‍රමික දිශාව හදුන්වා දිය යුතුයි. එය ක‍්‍රියාත්මක කිරීමේ යාන්ත‍්‍රනය සකස් කිරීමත් මොවුනට භාරවෙයි. පනතේ මා දකින මූලිකම ලක්‍ෂණය ලියාපදිංචිය සඳහා ඉදිකිරීම් සැපයුම් ජාලය මුළුමනින්ම ආවරණය කර තිබීමයි. ඉන් ලැබෙන සුවිශාල මුදල් සම්භාරයකින් අරමුදලක් පිහිටුවා ගැනීමයි. ජම්බෝ උපදේශන සභාවක් හා අධිකාරී කළමනාකරන මණ්ඩලයක් ඇතිවීමයි. එහෙත් පනත හරහා දේශීය ඉදිකිරීම් ආකෘතිය පිළිබඳව කිසි ඉඟියක් ලබා දී නැති අතර එහි නිශ්චිත හැඩ තලයක් දැකිමට නොහැකියි. එසේ වූයේ එහි තුළ පුන පුනා කියැවෙන අධිකාරී බලය නිසා විය යුතුයි. අපටම ආවේණික දේශීය ආකෘතියක් තුළ වඩාත් උසස් ඉදිකිරීම් සංස්කෘතියක් සඳහා යන ගමන බෙහෙවින්ම අභියෝගාත්මකයි. ඒත් එය කළ හැකි දෙයක්. අවශ්‍ය වන්නේ නිවැරදිවූත් සාකල්‍යමයවූත් ප‍්‍රවේශයකි.

යහපාලනයත් සංවර්ධනයත් එකිනෙකට වෙන් කළ නොහැකි හූයක් ලෙස බැඳී පවතින බව දන්නෙ ඉතා සුඵ පිරිසක් වීමත්, යහපාලන ප‍්‍රථිපත්ති ජනතාවට දැනෙන පරිදි ප‍්‍රායෝගිකව බිම් මට්ටමින් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉවහල් කර ගත හැකි හොඳම මෙවලම සංවර්ධන ව්‍යාපෘති බවත්, තවමත් යහපාලනය වනාහි හුදු දේශපාලන ලේබලයකට ලඝු කොට සැලකීමත් යන කාරණා නිසාම මෙවැනි පොතක් ලියන්නට සිත්වුන බව මා කිව යුතුමය. එය මවිසින් ප‍්‍රගුණ කර ඇති යම් විද්‍යාවක් ඇත්නම් එහි පවතින අදේශපාලනික පදනම මත පිහිටා ලියා ඇති අතර එහි අන්තර්ගතය එක් දේශපාලන කණ්ඩායමකගේ අස්වැසිල්ලකට හේතුවනු ඇතැයි මම විශ්වාස නොකරමි. මන්ද, පොත් කියවා යමක් තේරුම් ගෙන ජනතාව පැත්තේ සිටිමින් සංයමයෙන් යුතුව තීන්දු තීරණ ගන්නා දේශපාලනඥයින් හෝ යහපාලන ප‍්‍රථිපත්ති පිලිබඳව පැහැදිලි නිරවුල් අවබෝධයක් ඇති නිලධාරී මහත්වරු ලංකාවේ නොමැති බැවිනි. මා කළේ එක දෙයයි. යහපාලන මූලධර්ම මත ඉදිකිරීම් නියාමනය කළයුත්තේ කෙසේද යන වග මිස එය කෙරෙනවා ද නැද්ද යන වග නොවේ. පාඨකයින්ගේ වපසරියට ගොඩ නොවීමට මම වග බලා ගතිමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress