බෞද්ධ අධ්‍යපන පෙළ ගැස්ම හා කන්නන්ගර ප්‍රතිසංස්කරණ 
Posted on August 7th, 2016

මතුගම සෙනෙවිරුවන්  

ගාල්ල නගරයේ සීමිත චන්ද බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත් වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා පසුව ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ සර්ව ජන චන්ද බලය උරගා බලන අවස්ථාවේ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ  ගාල්ල මන්ත්‍රීවරයා වී අධ්‍යපන ඇමති ධූරයට ද පත් විය. පසුව ගාල්ල ආසනය කොටස් කීපයකට වෙන් කරන ලදී. එහිදී කන්නන්ගර මහතා ගාල්ලේ රැඳී සිටීමට වඩා වෙනත් ආසනයක් ලබා ගැනීමට කැමැත්තෙන් පසු විය.එහිදී දැදිගම ආසනය කෙරෙහි යොමු වීමට ද උත්සාහයක් විය. නමුත් කන්නන්ගර මහතා ගේ පියා දොන් දානියෙල් කනනන්ගර මහතා මතුගම  ලූල්බද්දූවේ උපත ලද්දෙකි. ඔහු ගේ දෙවනි විවාහය නිසා බලපිටියට යාමට සිදු වුවද ඔහුගේ මූලයන් පැවතුණේ ලූල්බද්දුව පදනම් කොට ගෙනය. මේ නිසා මතුගම ආසනයට තරඟ කිරීමට කන්නන්ගර මහතා ගත් තීරණය පක්ෂයෙන්ද අනුමත කලේය. මේ වන විට මතුගම ඉද්දගොඩ ගම් කාර්ය සභාවේ සභාපති වරයාව සිටියේ එච්.ඒ. මුණසිංහ මහතාය. කන්නන්ගර මහතා ගේ සමීපතම මිතුරියක් වන ශ්‍රීමති  මැතිණිය කන්නන්ගර මහතා අත සිය සහෝදරයාට ලියුම් කරදහියක් පිටත් කලේය. අයියේ මේ එන ක්‍රිස්ටි ගේ අවශ්‍යතාවය ඉෂ්ඨ කර දෙන්න යයි ඇය සිය සහෝදරයාගෙන් ඉල්ලා සිටියාය. වැඩි කලක් නොගොස් කන්නන්ගර මහතා කටුගහ හේන වලව්වේ සමීපතමයෙකු විය. මුණසිංහ මහතා කන්නන්ගර මහතා වෙනුවෙන් චන්ද ප්‍රකාශයක් ද නිකුත් කලේය.

          මතුගම ආසනයට ආධුනිකයෙකු වූ කන්නන්ගර මහතාට ප්‍රතිවාදීන් කීප දෙනෙකුම සිටියහ. ඉන් ප්‍රබලතම ප්‍රතිවාදියා වූයේ කලක් සූරියගෙඩ සුමගංල වශයෙන් පැවිදිව සිටි පසුව උපැදිවූ ප්‍රාචීන භාෂා උගතෙකි.සුමංගල සූරියගොඩ මහතා වූ කලි සූරියගොඩ සුමංගල නමින් මහණව උපසම්පදාව ලබා වලානේ සිද්ධාර්ථ ධම්මානන්ද සහ මහගොඩ ඥාණිස්සර නායක ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ අධ්‍යාපනය ලබා පාලි සංස්කෘත සිංහල යන පෙරදිග භාෂා පිළිබඳ ප්‍රවීනත්වය හිමි කරගෙන පසුව ලංකා විශ්වවිද්‍යලයට ඇතුළත්ව සිංහල සිංහල සාහිත්‍යය සංස්කෘත ව්‍යාකරණ සහ සාහිත්‍යය පිළිබඳ විශේෂ උපාධිය ලැබූ ඒ යුගයේ පහළව සිටි උගත් පඬි රුවනකි. සූරියගොඩ සුමංගල හිමි පෙරදිග භාෂා සහ අපරදිග භාෂා පිළිබඳව ලැබූ ප්‍රවීනත්වය නිසා යටත් විජිත ආණුඩුකාරයාගේ විශේෂ ශිෂ්‍යත්වයක් ද ලබා එංගලන්තයේ ඔක්ශ්ෆඩ් විශ්වවිද්‍යාලයට පිටත්ව යාමට වරම් ගත් විශේෂ චරිතයෙකි.

          දෙවැන්නා ප්‍රදේශයේම ප්‍රභූවරයෙකු  වූ හින්ටන් සෙනෙවිරත්න මහතාය. තුන්වැන්නා ආර්.එච්. විජේමාන්න මහතාය. ඩබ්.එෆ්. බී පෙරේරා නමින් තවත් අපේක්ෂකයෙකු විය. මේ සිවු දෙනා සමගින් සටනට අවතීර්ණ වූ කන්නන්ගර මහතාට ඥාතීන් ගෙන්ද සහයෝගය ලැබුණි. මතුගම චන්ද කොට්ඨාශයෙහි මට ඇති වූ හැඟීම නම් ආධාර ලබා ගැනීමෙහි ලා කන්නන්ගර මහතා ඉමහත් සාර්ථකත්වයක් ලබා ඇති බවයි යනුවෙන් එකළ සිලෝන් ඩේලි නිවුස් පත්‍රයේ වෙසෙසි වර්ණනාවක් පළ කර තිබුණි. මතුගම ප්‍රදේශයේ එකල තිබූ සියලුම ඉන්ධන හල් වල පෙට්රල් ප්‍රමාණය කන්නන්ගර මහතා වෙනුවෙන් වෙන්කර තිබූ අතර වෙනත් අපේක්ෂකයින් මේ නිසා දුර්මුඛ විය. බෝපිටියේ කේ. ඩී සිරිසේන නම් මහතෙකු කටුගහහේන වලව්වේ මූලිකත්වයෙන් කවි කොළයක් ද අච්චු ගසා ප්‍රසිද්ධ කරවන ලදී. එය නම් කර තිබුණේ  පඤ්ච විසර්ජනය යනුවෙනි. එහි මෙසේ සඳහන් විය.

සුදත් රතු අලු දුඹුරු පාටැති වලා දිසි වේ අහසේ තැන     තැන

මහත් සැඩ තල පහර වැදි ඒ සියල්ලෙම ගිය සඳෙහි ගහගෙන

රැගත් දහමත් සුනිල් අහසම කැලුම් බබළනා                මෙන

උගත් පිවිතුරු ඇමති තුම ගරු සැරද මතුගම අසුන ලැබ ගෙන

    අදමෙන් පෝසටර් කටවුට් බැනර් නොතිබුණු යුගයක කවි කොළය ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් විය.කෙතරම් උගතෙකු වුවුද සුමංගල සූරියගොඩ මහතා උපැවිදි වීම නිසා ද මිෂනාරි කුමන්ත්‍රණයේ ප්‍රතිඵල වශයෙන් ලැබූ නින්දා අපහාස නිසාද සාමාන්‍ය ජනතාව අතර අප්‍රසාදයට පත්ව සිටියේය. 1936 පෙබරවාරි විසිහත්වන දා චන්ද විමසීම පවත්වන  ලද අතර උප දිසාපති එෆ්.සී.ගිම්සන් මහතා විසින් කලුතර කච්චේරියේදී චන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී කොළ පාටින් ඉදිරිපත් වූ අපේක්ෂකයා වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා සිය ප්‍රධාන ප්‍රතිවාදියා වන සුමංගල සූරියගොයඩ මහතාට වඩා වැඩි චන්ද 4459 ක් ලබා මතුගම අසුනට තේරී පත් වූයේය. නව රාජ්‍ය මන්ත්‍රණ සභාව 1936 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර කන්නන්ගර මහතා නැවතත් අධ්‍යාපන විධාකය කමිටුවේ සභාපති වශයෙන් එම වර්ෂයේ මාර්තු මස 18 වන දින තෝරා පත් කර ගැනිම නිසා ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් කිරීමට හැකි විය. එය මෙලෙස පෙළ ගැස්විය හැකිය.

        බෞද්ධ අධ්‍යාපන ක්‍රියාවලිය පුරාතන උරුමයෙකි. ග්‍රාමීය විහාරස්ථාන ආශ්‍රිතව සිංහල පාලි සංස්කෘත ආදී භාෂා අධ්‍යාපනය මෙන්ම ගණිතය සහ නක්ෂත්‍රය ද හැදෑරීමට අවස්ථාවක් තිබිණි. පුරාණයේ දී එම විෂය පථය තවත් පුළුල්ව පැවති බව විහාරස්ථාන ආශ්‍රිතව පැවති පුස්කොළ නාමාවලිය විමර්ශනය කිරීමෙන් පෙනේ. වාරි කර්මාන්තය කෘෂිකර්මය වෛද්‍ය ශාස්ත්‍ර ආදී කොට ඇති මහා විෂය පද්ධතියක් ක්‍රියාත්මකව පැවති බව පෙනේ. පෘතුගීසි අධ්‍යාපනය නිසා පසුබසින්නට වූ ශාසනික ප්‍රබෝධය තුළ අධ්‍යාපන අවස්ථාවන් හීන විණි. දේශීය සටන් කලා සම්ප්‍රදාය වන අංගම්පොර ශිල්පීය අවස්ථාවන්ද මෙහිදී යටපත් වූ බව පැවසෙයි.යුධ අභ්‍යාස සඳහා අත්‍යවශ්‍ය වූ එම ශිල්පය පවත්වා ගෙන යෑම සඳහා සීතාවක රාජ්‍ය සමය තුළ වෙසෙසි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක විය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කුරුවිට දෙල් ගමුවට වැඩම කරවූ  විට රජුගේ නියෝගය මත අංගම් පොර ශිල්පය නර්ථන සම්ප්‍රදායක් ලෙසට ආරම්භ විය. එය දළදා පෙරහැරේ ප්‍රදර්ශනාත්මක අංගයක් විය. කීර්ති ශ්‍රී රාජසිංහ අවදියේ ඇතිවූ ශාසනික ප්‍රබෝධය නිසා ලංකාවේ බොහෝ තැන් වල පිරිවෙන් ඇති විය. භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ ස්ථානයන්හි කළ කාර්ය භාරය අති විශිෂ්ඨ විය. ලන්දෙසි යුගයේ දී එවැනි පරිවේනස්ථාන 163 ක් වූ බව කියවෙයි. මේ පිරිවෙන්හි අධ්‍යපනය ලැබූ ගිහි පිරිස් එවක ලංකාවේ භාෂා ශාස්ත්‍ර උන්නතිය සඳහා කටයුතු කල විද්වත්හු වූහ. ලන්දේසීහු සිය ආගම ප්‍රචාරය කරලීම සඳහා පාසල් පද්ධතියක් බිහි කළහ. පල්ලි කුඩම් නමින් හැඳින්වූ මේවා ලන්දේසි පරිපාලන ප්‍රදේශ වල පිහිටා තිබුණි. ඒවා සඳහා මෙස්ටිසෝ ( මිශ්‍ර ජාතික) ගුරුවරුන් පත් කරන ලදහ. මේ පාසල් දේවස්ථාන ලඟින්ම පිහිටා තිබූ අතර සොහොන් භූමියත් ඒ අසලින්ම විය.

        ලන්දේසි පාලන ප්‍රදේශ 1796 න් පසු බ්‍රිතාන්‍යයන්ට යටත් විය. යටකී පාසල් පරිපාලනයද ඉංග්‍රීසින් අතට පත් විය. ඔවුහු ද ලන්දේසින් ගිය මග ගනිමින් සිය ආගමික අභිමතාර්ථ සඳහා පාසල් පවත්වාගෙන ගියහ. 1817 විමුක්ති අරගලය මගින් සිංහල පරිපාලනය දුර්වල මට්ටමකට පත් වූ අතර බෞද්ධ අධ්‍යපනය භික්ෂූන් වහන්සේලාගෙන් ඈත් කිරීමට ඉංග්‍රීසි රජය උනන්දු විය.1845 දී ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වය උභය විහාරිය මහා සංඝරත්නයට සහ දියවඩන නිලමේ වරයාට පැවරුණු අතර එවැනි පියවරක් ගන්නා ලද්දේ සිය භාරකාර වගකීම අවසන් කරලිමට බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කලහ. මේ අවදියේ දී මිෂනාරීහු බලවත්ව සිටි අතර ඔවුහු බෞද්ධ ධර්මයටත් බුද්ධ ශාසනයටත් දැඩි ලෙස පහර දුන්හ. ක්‍රිස්තියානි දේවස්ථාන වල පැවැත් වූ ප්‍රසිද්ධ රැස්වීම් වලදී බුදු දහමට අපහාස කළහ. වෙසෙසින්ම මෙතොදිස්ත මිෂනාරීහු ගමින් ගම යමින් පත්‍රිකා බෙදා හරිමින් බුද්ධ ධර්මයෙහි සත්‍යතාව අභියෝගයට ලක් කළහ.

    ග්‍රාමීය විහාරස්ථානයන්හි භික්ෂූන්වහන්සේලා මේ ප්‍රකාශයන්ට විරුද්ධව ඒකරාශි වූ අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් මේ විරෝධය සහ සාකච්ඡා සදහා මුල් වීමෙන් පසු විශාල ප්‍රසිද්ධියක් ඇති විය. අනතුරුව 1865 දී කැළණිය වරාගොඩ දී ප්‍රසිද්ධ  වාද සභාවක් පැවැත්වීමෙන්ද 1873 දී අවසාන වශයෙන් පාණදුරේ දී ද ක්‍රිස්තියානි පක්ෂයට එරෙහිව වාද පැවැත්වීමෙන්ද මුලු ගැන්වී සිටි බෞද්ධයන් සිය උරුමයන්හි ස්වාධීනත්වය පතා ඉදිරියට පැමිණියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් විහාරස්ථාන ආශ්‍රිතව ග්‍රාමීය අධ්‍යපන මධ්‍යස්ථාන රාශියක් බිහි විය. ලන්දේසීන් පවත්වා ගෙන ගිය පාසල් පද්ධතිය ඉංග්‍රීසිහු පවරාගැනීමෙන් පසු එහි පරිපාලනය කරන ලද්දේ මධ්‍යම පාසල් කොමිටිය මගිනි. 1866 දි මන්ත්‍රණ සභාවට යොජනාවක් ඉදිරිපත් කරන ලද කුමාරස්වාමි මහතා ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව සොයා බලා වාර්ථා කිරීම ට කමිටුවක් පත් කළ යුතු බව පැවසීය. ඒ අනුව 1867 දී අධිනීතිඥ ආර. එස්. මොර්ගන් මහතාගේ මූලිකත්වයෙන් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදහ. මෙම මොර්ගන් වාර්තාව 1868 දී ව්‍යවස්ථාදායකය විසින් පිළිගත් අතර එහි පියවරක් වශයෙන් ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව පිහිටුවන ලදහ. මේ වාර්ථාව නිසා ස්වභාෂා අධ්‍යපනය පිලිබඳව දැඩි උනන්දුවක් ඇති වූ අතර මෙම කමිටුව ඉදිරියේ සාක්ෂි දුන් බොහෝ නිළධාරින් එවකට පවත්වාගෙන  ගිය විහාරස්ථාන ආශ්‍රිත බෞද්ධ අධ්‍යාපනය අගැයුමට ලක් කළහ. නමුත් කමිටුවේ නිර්දේශ අනිවාර්යයෙන්ම මිෂනාරින්ට පක්ෂපාති වූ අතර පාසලකට ආධාර ලබා දීමට නම් බයිබලය ඉගැන්වීම කළ යුතු බවට කොන්දේසියක් පනවන ලදී. මෙම කොන්දේසිය අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එස්. ලෝරි විසින් ඉවත් කරන ලද නමුත් ආධාර ලබා දීමේ දී  මිෂනාරි පාසල් සඳහා වන සහයෝගය ට බාධා ඇති නොකරන ලදී. මේ අවදියේ දී විහාරස්ථාන විසින් පවත්වගෙන එනු ලැබූ ග්‍රාමීය පාසල් පරිපාලනයට යම්කිසි තීරණයකට එළඹීමට සිදු විය. එය නම් රජයේ ආධාර ලබා ගැනීම සදහා ප්‍රතිසංස්කරණය වීමයි. ඉස්ලාම් අධ්‍යාපනයට මුල්වූ පිරිස මෙවැනි ප්‍රතිසංස්කරණයකට දිරිමත් නුවූ අතර බෞදධයන් වෙසෙසින්ම ඒ අවදියේ දී නගරබදව සිටි ධනවත් බෞදධයන් ප්‍රතිසංස්කරණය මගින් බෞද්ධ අධ්‍යාපනය පවත්වාගෙන යායුතුයයි විශ්වාස කළහ.

       මේ අනුව ලංකාවේ ලියාපදිංචි පළමු පාසල් දෙක වශයෙන් දොඩන්දූවේ ජිනලබ්ධි විශෝධක පාසලත් පාණදුරේ උපාධ්‍යය පාසලත් සලකා ඇත. 1890 වන විට එම පාසල් සංඛ්‍යාව පණහ ඉක්ම වූ බව පෙනේ. 1881 වර්ෂයේ දී බෞද්ධ පාසල් අරමුදලක් පිහිටවූ අතර මේ ප්‍රබෝධයද රජයේ ආධාර ලබන පාසල් ඇති කර ගැනීමට ඉවහල් විය. මේ තත්ත්වය මත විහාරස්ථාන ආශ්‍රිතව තිබූ ග්‍රාමීය පාසල් අභාවය ගිය අතර පරිවේණස්ථාන අධ්‍යපනය පමණක් දියුණුවට පත් විය. ඒ අතරින් රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන හා දොඩන්දූවෙ සරස්වති මණ්ඩප පිරිවෙන ප්‍රධාන වෙයි. රටට දේශයට ගැලපෙන අධ්‍යපනයක් පවත්වාගෙන යෑම ග්‍රාමීය පාසල්හි අරමුණ විය. වෙසෙසින්ම කෘෂිකර්මය ස්වභාෂා අධ්‍යපනය මෙන්ම දේශීය ශිල්ප ශාස්ත්‍ර ප්‍රාගුණ්‍ය එහි අරමුණු අතර විය. නමුත් රජයේ ආධාර ලබන පාසල් වල ඒ අරමුණු ප්‍රතිසංස්කරණයට භාජනය විය. පන්ති කාමර අධ්‍යාපනය ක්‍රමයක් ඉස්මතු විය. වතුවැඩ මැහුම් කෘෂිකර්මය ආදිය ඉගැනුවුද ඒවා බටහිර සංස්කෘතියට අදාළව සකස් කෙරුණු විශය මාලා  විය. ස්වභාෂා අධ්‍යාපනයට මුල් වූ රජයේ පාසල් සඳහාද ආධාර ලැබුණු නමුත් මිෂනාරීහු රජයේ පූර්ණ අන්‍රග්‍රහය ලබමින් උසස් පාසල් පද්ධතියක් බිහි කළහ. රිච්මන් ශාන්ත තෝමස් ගණයේ මෙම පාසල් හි ලංකාවේ ප්‍රභූවරුන්ගේ දරුවන් හට දොර විවර විය. ඉංග්‍රීසි අධ්‍යාපනය ඇති සංස්කෘතිය එහි මූලික රටාව විය. සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමාගේ අධ්‍යපන තිඹිරිගෙය වූයේද ගාල්ල රිච්මන් විදුහලයි.

         1927  වැනි ඈත කාලයකදී කන්නන්ගර මහතා ඒකාබද්ධ රාජ්‍ය පාසල් පද්ධතියක් කෙරෙහි විශ්වාසය ගැබීය. ඒ සඳහා වන ඔහුගේ චින්තනයට බලපෑවේ1927 දී ලංකාවට පැමිණි කොලොම්බියා ගුරු විදුහලෙහි මහාචාර්ය විලියම් එච්. කිල්පැට්රික් මහතාගේ අදහස් දහරාවයි. එක්සත් ලංකාවකට එකම නිකාය මගින් පාලනය වන පාසල් ක්‍රමය ප්‍රබල බාධාවක් බව මෙහිදී කිල් පැට්රික් මහතා පෙන්වා දුන්නේය. ඒකාබද්ධ රාජ්‍ය පාසල්  පද්ධතියක් පිළිබඳව කල්පනා කල කනනන්ගර මහතා යළි ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමයයෙහි පුනර්ජීවනයක් ඇති කල යුතු යයි ද කල්පනා කලේය. වෙසෙසින්ම වෘත්තීය අධ්‍යාපනය නැංවීම ඵලදායි බව තේරුම් ගත් තේය. ඒ අනුව 1932 දී හන්දෙස්ස ග්‍රාමයේ දී ඒ අධ්‍යපන ක්‍රමය ආරම්භ කරන ලදී. එය සහමුලින්ම පරිසරයට අනුබද්ධිත ප්‍රායෝගික අධ්‍යාපනයක් විය. 1868 ට පෙර ලංකාවේ පැවති බෞද්ධ අධ්‍යාපන ක්‍රමයට යම් තරමකින්  මෙය සමාන විය. කන්නන්ගර මහතා වසර 16 ක්ම අධ්‍යපන අමාත්‍ය ධූරය හෙබවිය. ඔහු විසින් අධ්‍යපන ප්‍රතිසංස්කරණ රාශියක් ඇති කරන ලදී. රජයේ ආධාර ලබන පාසල්වල ගුරුවරුන්ට වැටුප් ගෙවීමේ ක්‍රමය ස්වභාෂා අධ්‍යපනයට අනුබල දීම දිවා ආහාරය නිදහස් අධ්‍යපනය දෙවන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසිය ඉගැන්වීම ඔහුගේ අධ්‍යපන ක්‍රියාවලියට අයත් විය. මේ අවදියේ දී ආධාර ලබන පාසල් 2499 ක් වූ අතර ඉන් 1666 ක් මිෂනාරි පාසල් විය. ඒවායේ මූලික අධ්‍යාපනය ඉංග්‍රිසියෙන් වූ අතර බෞද්ධ පාසල් වශයෙන් හැඳින්වූ ස්වභාෂා පාසල් 240 තුළ භාෂා දෙකෙන්ම අධ්‍යාපනය සිදු විය. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංසකරණ වල මුල් අවදිය ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර දුන්නේය. හුදෙක්ම එම ප්‍රතිසංසකරණ කන්නන්ගර මහතාගේ අත්දැකිම් ඇසුරෙන් ඉස්මතු වූ නිර්මාණයන් විය. ඒ මගින් රජයේ පාසල් විශාල ප්‍රබෝධයකට පත් වූ අතර මේ සාර්ථකත්වය යටත් විජිත නිළධාරින්ගේද පැසසුමට ලක් විය.

    1932 හැන්සාඩ් වාර්තාවේ දැක්වෙන පරිදි ආධාර ලබන රජයේ පාසල් ක්‍රමයේ වෙනසක් සඳහා කන්නන්ගර මහතා යොජනාවක් ඉදිරිපත් කරන ලදි. ඒ විහාරස්ථාන ආශ්‍රිතව හෝ නුදුරුව පාසල් පිහිටුවීමයි. ඒ ඔහුගේ බෞද්ධ අධ්‍යපන අරමුණ විදහා දක්වන ලද අවස්ථාවකි.ඒ අනුව 1935 වර්ෂය වන විට පන්සල් වලට සම්බන්ධ පාසල් 70 පමණ විවෘත කිරීමට හැකිවූ  බව ව පෙනේ. 1939 වන විට එලෙස සකස් වූ පාසල් 158 දක්වා වර්ධනය වූ බව කියවේ. එම පාසල් වල නාමයන් පවා බෞද්ධ විය. නිදසුනක් වශයෙන් අගලවත්තේ කැකුලන්දොළ ප්‍රතිරාජ පිරිවෙනට අනුබද්ධව සූරියගොඩ සුමංගල හිමියන් ආරම්භ කරන්නට යෙදුණු සම්බුද්ධ රාජ විද්‍යාලයත් මතුගම පාන්තිය සුදර්ශනාරාමයේ විහාරාධිපති පූජ්‍ය දියගම සාරානන්ද හිමියන් ගේ මූලිකත්වයෙන් 1933 දී ආරම්භ කරන්නට යෙදුණු ධර්මරාජ  පාසලත් දැක්විය හැකිය. නමුත් 1939 වර්ෂයේ අවසානය වන විට බෞද්ධ අධ්‍යාපනයට බාධා ඇති කරන තිරණයක් ගන්නා ලදී. එනම් ඒකීය අධ්‍යපන වර්ෂයක් ආරම්භ කිරීමයි. බටහිර ලිත් කැලැන්ඩරය අනුව ජනවාරි සිට දෙසැම්බර් මස දක්වා වූ ඒ කාලය බටහිර සංස්කෘතියට ගැලපෙන්නක් වුවද දේශිය පාසල් වල ගැලපෙන්නක් නොවීය. අප්‍රියෙල් මාසයෙන් නොහොත් බක් මාසයෙන් ආරම්භව මැදින් මාසයෙන් අවසන් වන ලිත් වර්ෂය මෙරට පිරිසරයට ඉතා ගැලපී තිබිණි. නමුත් ඒකාබද්ධ රජයේ පාසල් ක්‍රමයට යෑමේදී මෙම ප්‍රතිසංස්කරණයට යට වීමට සියල්ලන්ටම සිදු විය.

    1935 වර්ෂය අවසාන භාගයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා චන්ද විමසීමකට සැරසිණ. ඒ වන විට කන්නන්ගර මහතා මතුගමට තරඟකිරීම පිණිස තීරණයක් ගෙන තිබුණි. කටුගහහේන වලව්වේ මුණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ නවුත්තුඩුව ගැහැණු පාසල 1935 දී ආරම්භ කර තිබීම මේ චන්ද සටනට මහත් පිටුබලයක් විය. ඒ සමගම කටුගහහේනේ පේෂකර්ම මධ්‍යස්ථානයක්ද කන්නන්ගර මහතාගේ යෝජනාවක් පරිදි මුණසිංහ මහතා විසින් ආරම්භ කරන ලදී. මේ ආකාරයට පස්යොදුන් කෝරළය පුරාම විශාල වශයෙන් පාසල් ආරමභ කරන්නට යෙදුණි.   කන්නන්ගර මහතා විසින් 1939 දී ඉදිරිපත් කරන ලද  අධ්‍යාපන කෙටුම්පත නිසා මිෂනාරීන් අතර නොසන්සුනතාවයක් ඇති විය. නියමිත පාසල් පාලනය කිරීමට රජය උත්සාහ දරන්නේ යැයි ඔවුහු චෝදනා ක ළහ. අලුතෙන් නියමිත පාසල් ආරම්භ කිරීමට මේ නීතිරීති බාධාවක් බව ද ඔවුහු කියා සිටියහ.1941 වර්ෂයේ දී මධ්‍යම මහා විද්‍යාල සංකල්පය යටතේ වන පළමු වන විදුහල මතුගම මධයම මහා විද්‍යලය යන නමින් ආරම්භ කිරීමට කන්නන්ගර මහතා කටයුතු යෙදුවේය. ඒ හා සමගාමීව ග්‍රාමීය දරුවන්ට ඉගෙනුම ලැබිය හැකි පාසල් පද්ධතියක්ද ගමේ බිහි කිරීමට කටයුතු ආරම්භ කෙරුණි.  අනුක්‍රමයෙන් කන්නන්ගර මහතාගේ දෙවනි ප්‍රතිසංස්කරණ අවදියේ දී රටේ ආගමික නිකායන් නිදහස් අධ්‍යපනයට විරුද්ධව කඳවුරු බැඳගත්හ. එහි ප්‍රතිඵලය වූයේ 1947 වන විට කන්නන්ගර මහතාගේ අධ්‍යාපන ක්‍රියාවලියට විරුද්ධව සවකීය පක්ෂයේ අයම නැගී සිටීමයි. වෙසෙසින්ම ක්‍රිස්තියානි පල්ලියේ උපදෙස් මත අගමැති ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ ඇතැම් පිරිස් 1947 දී ඉදිරිපත් කරන ලද අධ්‍යපන සංශෝධන පණතට ප්‍රසිද්ධියේ ද රහසින්ද විරුද්ධත්වය ප්‍රකාශ කළහ. මෙයට හේතු වූයේ ආගමික පාසලක වුවද දෙමව්පියන්ගේ ආගමට අයත් නොවන ආගමික අධ්‍යාපනයක් දීම තහනම් කිරීමේ යොජනාවක් එහි අන්තර්ගතව තිබිමයි. නමුත් කන්නන්ගර මහතා ගේ ප්‍රතිසංස්කරණ වලට රටේ බහුතර බෞද්ධයන් සහාය දැක්වීය. ඔවුහු එයට සහාය පළ කරමින් රැස්වීම් සංවිධානය කළහ. එම නිසා අසීරු සටනකින් පසුව මෙම පණත සම්මත කර ගැනීමට අධ්‍යාපන ඇමතිවරයාට හැකි විය. නමුත් 1947 මැතිවරණයේ දී කන්නන්ගර මහතාට සිය ප්‍රතිවාදින් එළිපිටම දක්නට ලැබුණි. පක්ෂ නායකයා වූ ඩී.එස්. ඔහුට සහාය දැක්වීමට එකදු රැස්වීමකටවත් නොපැමිණියේය. ඔහුට විරුද්ධව වූ ප්‍රතිවාදි අපේක්ෂකයා වූ විල්මට් ඒ. පෙරේරා වඩා ඔහුගේ සතුරන් වෙසෙසින්ම කතොලික පල්ලියේ මිතුරන් ප්‍රතිවාදින් දහසක් දෙනා ඉදිරිපත් කලේය. අවසානය පරාජයෙන් කෙළවර වූ අතර 1947 – 1952 අතර කාල වකවානුවවේදී අධ්‍යපන ක්ෂේත්‍රය යළිදු වෙනස්කම් රැසකට භාජනය විය. අගමැති ඩී.එස්. ගේ වුවමනාව පිට විදේශිකයෙකු වූ වුඩ් හවුස් මහතා  අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලෙසට පත් කර ගත් අතර ඔහු කන්නන්ගර ප්‍රතිසංස්කරණ වලට බාධා ඇති කළේය. එයට පදනම් වූයේ 1951  අධ්‍යාපන සංශෝධන පණතයි. කන්නන්ගර මහතා යෝජනා කරන ලද ප්‍රගතිශීලී අදහස් බොහොමයකට එහිදී තිරිංග දමන ලදී. මෙය ආගමික පාසල් ලබන ලද ජයග්‍රහණයක් විය.1934 දී කන්නන්ගර මහතා නියම කල දිවා ආහාරය පවා 1953 දී ළමුන්ටඅහිමි කරන ලදී. එය නැවත ආරම්භ කරන ලද්දේ 1956 වසරේ දීය.

       නවසිය පණස්හයේ ජාතික බලවේගයන්හි ජයග්‍රහණයයෙන් පසු උදාවු කාලවකවානුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි නැවත යොමු වූ අවදියකි. සියලුම ආගමික පාසල් රජයට පවරා ගැනීම පිළිබඳව උත්සාහයක් තිබුණද 1961 ආධාර ලබන පාසල් හා අභ්‍යස විද්‍යල පණත යටගේ සියලුම් මිෂනාරි පාසල් රජයට පවරා නොගැනිණි. අතැම් ඒවා පවරා ගත්තද ඒවායේ කතෝලික නාමය එලෙසම තිබෙන්නට ඉඩ හැරියහ. මතුගම ශාන්ත මරියා විදුහල එලෙස පවත්වාගෙන යන පාසලකි. නමුත් රජයට පවරාගන්නා ලද  බෞද්ධ පාසල්වල නාමයන් වෙනස් කරන ලද අතර ඒවා ප්‍රාථමික පාසල් හෝ රජයේ විදුහල් බවට පත් විය. කන්න්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන උනන්දු වන්නෝ අදත් කන්නන්ගර මහතා අගයයි. ඔහු ජාතික වීරයෙකු ලෙසට සලකයි. එහෙත් ඔහුගේ විශිෂ්ටතම ප්‍රතිසංස්කරණ රාශියෙන් ඔවුහු අගයන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමය පමණකි. නමුත් 1885 වර්ෂයට ප්‍රථම මේ රටේ දරුවන් වෙනුවෙන් විහාරස්ථාන විසින් කරන ලද අධ්‍යපන සේවය නැවත නගා සිටු වීම ට කන්නන්ගර මහතා කළ උත්සාහය කිසිවෙක් අගයන්නේ නැත. එසේම 1931 සිට 1947 දක්වා ඔහු ග්‍රාමීය අධ්‍යාපනය නන්වාලීමට කල සේවය වළපල්ලට යවා ඇත. ඒ වෙනුවට අද පාසල් පද්ධතිය තුළ දක්නට ඇත්තේ විකෘති කල නිදහස් අධ්‍යාපන ප්‍රතිසංසකරණයකි.

          . 1947 වර්ෂයේ සැප්තැම්බර් මස එකොලොස්වන දින පැවැත්වූ  චන්දයේ දී දී මතුගම ආසනයෙන් එතුමා පරාජයට පත් වූයේ මේ කෙනහිලිකම් නිසාය.එයට වඩාත්ම හේතු වූයේ එතුමා නියෝජනය කරන පක්ෂයෙන්ම ඇතිවූ විරුද්ධ වාදී කම්ය. ඔවුහු සංවිධානයව මතුගම ආසනයෙන් කොටසක් හොරණ ආසනයට එකතු කළහ. ඒ නිසා විල්මට් පෙරේරා මහතාට කන්නන්ගර මහතා අභිබවා යා හැකි විය.වැඩි චන්ද 3614 ක්  පමණක් ලැබීමෙන් ඒ බැව් සනාථ විය.කෙසේ වෙතත් කන්නන්ගර මහතා වර්තමාන අධ්‍යපන ක්‍රමය අධිරාජ්‍යවාදී බැම්මෙන් මුදවා නිදහස් කරලීමට ගත් උත්සාහය අදත් අගය කරනු ලබයි. කටුගහහේන වලව්වේ එච්.ඒ. මුණසිංහ මහතාගේ පුත් පාලිත මුණසිංහ මහතා කන්නන්ගර මහතා ගේ අනුස්මරණ උත්සවයකදී රචනා කල මේ පැදි පෙළින් මේ ලිපිය අවසන් කරමි. මෙම ලිපියට මූලාශ්‍ර සපයා දුන් පාලිත මුණසිංහ  මහතාට ද කන්නන්ගර මහතාටද එය මහත් ගෞරවයක් වනු නිසැකය.

කටුගහහේන මතුගම පස් යොදුන්    රට – පාසල් උදාකොට සිවු සැට කලාවට

නිදහස වැළඳ ඉගෙනුම සරු කිරීමට – මැදි විදුහලක් බිහිකලෙ පස් යොදුන් රට

සුද්දට යටව වහලෙකු විය    ලක් අම්මා – පසු වූ යුගය දැක දැක දුල හද නම්මා

ජාතික සටනකට ගුරු දෙවි සිත නම්මා – දුටුකළ මෙහෙවරට පුද දෙමු හිස නම්මා

මතුගම සෙනෙවිරුවන්

ආශ්‍රිත ග්‍රන්ථ –

1/ පාලිත මුණසිංහ මහතාගේ ලේඛන

2/ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය -කේ.එච්.එම්.සුමතිපාල

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress