වැට්‌ විරෝධතා
Posted on August 8th, 2016

උපුටා ගැන්ම දිවයින

සතිය ආරම්භයේම “වැට්‌” කතාව නැවත පත්තු වී තිබේ. ඊයේ (8 දා) “දිවයින” පුවත්පතේ ශීර්ෂ පාඨය වූයේද එයයි. තොග සහ සිල්ලර වෙළෙ¹ම අරභයා රජය විසින් අලුතින් පනවන ලද වැට්‌ බද්දට විරෝධය පළකරමින් අද දවසේ සිට අඛණ්‌ඩ විරෝධතා දැක්‌වීමට දිවයින පුරා විසිරී සිටින වෙළෙඳ සංගම් නියෝජිතයින් තීරණය කර තිබේ. ඊයේ “දිවයින” පුවත්පත වාර්තා කර තිබුණු ආකාරයට අද දවසේදී එම විරෝධතාව ක්‍රියාත්මක වීමට නියමිතය. මේ වෙළෙඳ සංගම් එකමුතුවේ විරෝධතා ව්‍යාපාරයේ එක්‌ අංගයක්‌ ලෙස රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වැට්‌ බදු සංශෝධන පනතට සහාය නොදෙන්නට යෑයි කරන ඉල්ලීමක්‌ සහිත සංදේශයක්‌ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාරදීමටද නියමිතය.

මේ විරෝධය එක්‌වරම පැන නගින්නේ හේතු ඇතිවය. වැට්‌ බදු පනත අන්තිම නරක ලෙස රටේ ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් පීඩනයක්‌ ගෙන දෙන විට ඊට එරෙහිව විශාල විරෝධයක්‌ රට පුරා මතුවිණි. එහි ඇති විශේෂත්වය වන්නේ පාරිභෝගිකයාට පෙර ව්‍යාපාරිකයන් වීදි බැසීමය. එයින්ම තත්ත්වයේ බරපතළකම තේරුම්ගත හැකිය. ඒ විරෝධය “යාන්තමින්” හෝ යටපත් වූයේ පසුගිය මැයි දෙවැනිදා සිට අයකර ගැනීමට කටයුතු කරන ලද වැට්‌ බද්ද ශේ්‍රෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබීමත් සමඟමය. එම වැට්‌ බදු සංශෝධන කෙටුම්පත පසුගිය ජුලි මාසයේ 20 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණද එය සිදුවූයේද නැත. ඊළඟට වැට්‌ බද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දිනය ගැන නිශ්චිත සඳහනක්‌ නොවිණි. දැන් එම දිනය 11 වැනිදා බව වාර්තා වී තිබේ. අද පවත්වන්නට යෙදෙන (අවසන් මොහොතේ යම් කිසි වෙනස්‌ තීරණයක්‌ නොකරන්නේ නම්) විරෝධතාව ඊට එරෙහිවය. වෙළෙඳ සංගම් පෙන්වා දෙන ආකාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, වෙළෙඳ සංගම්වලට දුන් පොරොන්දුව කඩකරමින් වෙළෙඳ ප්‍රජාවට කිසිදු දැනුම්වත් කිරීමක්‌ සිදු නොකරමින් මුදල් ඇමැතිවරයාගේ අභිමතය පරිදි එම වැට්‌ බදු සංශෝධනය ගෙන ඒම නරක පූර්වාදර්ශයක්‌ය.

කෙසේ හෝ මේ වැට්‌ බදු කතන්දර මේ වන විට අපේ රටේ ඇතිකර ඇති අවුල ආණ්‌ඩුව පෙන්වා දෙන “ආර්ථික අවුලටත්” වඩා දරුණුය. කොටින්ම අපට එක තැනක හිටගෙන ඉන්නට සිදුව තිබෙනවා විනා එක්‌ අඩියක්‌ හෝ ඉදිරියට ගන්නට නොහැකි තත්ත්වයක්‌ වැට්‌ අවුල ඇතිකර තිබේ. පෙරේදා ප්‍රවෘත්ති විකාශයකදී ආණ්‌ඩුවේ ඇමැතිවරයකු කීවේ “කරන්න දෙයක්‌ නැහැ මේ ආදායම (ඔහු සඳහන් කළේ වැට්‌ බදු ආදායම ගැනය.) නැතුව අපට මේ අවුලෙන් ගොඩ එන්නට නොහැකි බවය.

ජනතාව කුපිත වන්නේ ආණ්‌ඩුවේ මෙන්න මේ කතාවලටය. ජනතාවගේ බෙල්ල මිරිකන්නේ නැතිව ආර්ථිකය ගොඩදා ගත හැකි ක්‍රමයක්‌ ගැන ආණ්‌ඩුවට හිතා ගන්නටවත් බැරි යෑයි කීමම විහිළුවකි. පසුගිය ආණ්‌ඩුව වැට්‌ බද්ද ඉහළ නංවන විට එවකට විපක්‍ෂයේ සිටි අද ආණ්‌ඩු කරන උදවිය එය “බර” වැට්‌ බද්දක්‌ විය. එදා ඒ උදවිය කීවේ “රටේ ජනතාවට බදු නොගහන ආර්ථිකය ගොඩදමන හැටි අපේ ආණ්‌ඩුවක්‌ ආවිට බලාගන්නට පුළුවන් බවය.

දැන් මේ රටේ ජනතාව වීදි බසින්නේ අන්න ඒ “ආර්ථිකය ගොඩදමන” ක්‍රමය තෝරා බේරාගන්නට නොහැකි නිසාය. ජනතාව මේ පාරට බහින්නේ තීරු බදු රහිත කාර් ගෙන්වා දෙන්න යෑයි ඉල්ලා නොවේ. වොක්‌ස්‌වැගන් කර්මාන්තශාලාව ඉක්‌මණින් පටන් ගන්නට යෑයි ඉල්ලා නොවේ.

ලෙඩට දුකට බෙහෙත් ගන්නට සිංගප්පූරු යන්න ගුවන් ප්‍රවේශපත්‍ර ඉල්ලා නොවේ. හාල්, තුනපහ, සීනි, පරිප්පු මිල දැරිය හැකි මිලකට ලබා දෙන්න යෑයි ඉල්ලමිනි. ඒ ඉල්ලීම සාධාරණ බව තේරුම් ගත් විට මේ විරෝධතා ආණ්‌ඩුව අවුරුදු පහ ඉවර වෙන්නට පෙර ගෙදර යන්නට යන කුමන්ත්‍රණ නොවන බව අවබෝධ වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress