ජවිපෙ නව ප්‍රවණතාවයේ කිසිදා නොඇසූ පැටිකිරිය (ප්‍රථම කොටස)
Posted on August 9th, 2016

ධර්මන් වික්‍රමරත්න

[email protected]

වසර 1982 ජනාධිපතිවරණයේ සහ අතුරු මැතිවරණයන්හි ප්‍රතිඵල තුළින් ඇතිවූ ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) පසුබෑම තුළ පක්ෂය තුළ දළුලා වැඩුණු අභ්‍යන්තර ගැටුම් 1983 ජුලි ජවිපෙ තහනම සිදුවීමත් සමඟම කරලියට නැගිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජවිපෙ සමඟ සිටි ඇතැම් නායකයින්, ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ පෝෂණයවීමට මාන බලමින් විවිධ වාම ක්‍රියාකාරි කණ්ඩායම් ගොඩනැගූහ.

ඒ අනුව උඩුවගේ හෙන්රි පෙරේරා විසින් රතු භටයෝ නමින් කණ්ඩායමක් 1982 ආරම්භ කල අතර එය ප්ලොට් සංවිධානය සමඟ දකුණේ ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමට 1982 සිට 1984 සැප්තැම්බර් අතර කාලය තුළ සැලසුම් කලහ. හෙන්රි පෙරේරාගේ එම රතු භටයෝ කණ්ඩායමේ සෙසු නායකයන් වූයේ ලංකා ගුරු සංගමයේ ලේකම්ව සිටි විජේවීරගේ මස්සිනා වූ කලක් කීර්තිමත් ගුරු නායකයෙකුවූ එච්.එන් ප්‍රනාන්දු සහ නීති විද්‍යාලයේ කථිකාචාර්ය විලී සේනානායකය. එය 17 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් විය. පසුව උඩුවගේ හෙන්රි අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී වැලැක්විමේ පනත යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු එච්. ඩබ්ලිව් සේනානායක යටතේ නඩු පවරන ලදී. හෙන්රි පෙරේරා 1987 ජුලි 29වැනිදා අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමේ කොන්දේසියක් අනුව 1989 මුල්භාගයේදී නිදහස් කරන ලදී. නිදහස්වූ උඩුවගේ හෙන්රි පෙරේරා පසුව ප්ලොට් සංවිධානයේ වව්නියාව කඳවුරක පූර්ණකාලීනව කටයුතු කල අතර රජයේ ආරක්ෂක හමුදා බෝම්බ ප්‍රහාරයකදී 1989 අවසාන භාගයේදී කඳවුර තුළම මිය ගියේය.

dharman09081602වසර 1983 නොවැම්බර් පිහිටවූ ජවිපෙ නව ප්‍රවණතාවයේ නිර්මාතෘ සහ නායකයාවූ ගීගනගේ චන්ද්‍රසිරි නොහොත් අසේලගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් කිහිපයක්. වමේ සිට වසර 1978, 1982, 1988දී, 1995, 2005 සහ 2016දී.

එමෙන්ම වත්තේගම මඩවල සපුගස්තැන්නේ බාවා අබ්දුල් කාදර් නැමති මුස්ලිම් ජාතික ගුරුවරයා විසින්ද ප්ලොට් සංවිධානය යටතේ අවි ආයුධ පුහුණුව ලබා කදුරට විමුක්ති පෙරමුණ නමින් උඩරට වෙනම බෙදුම්වාදී සංවිධානයක්ද ඇතිකරන ලදී. එය 1983 අගෝස්තු 1වැනිදා ඇරඹූ අතර 1985 ජුනි 27 දක්වා එහි ක්‍රියාකාරකම් සිදුවිය. පසුව අබ්දුල් කාදර් අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය මගින් 1986 නොවැම්බර් 14වැනිදා බරපතල වැඩ ඇතිව වසර 20ක සිර දඬුවමක් පනවන ලදී. අබ්දුල් කාදර් 1987 ජුලි 29වැනිදා අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමේ කොන්දේසියක් අනුව 1988 අප්‍රේල් 23 වැනිදා නිදහස් කරන ලදී.

dharman09081603ජවිපෙ මංගල මහා සමුළුව රෝහණ විජේවිරගේ නායකත්වයෙන් 1978 කුරුණෑගල ඔමාරගොල්ලේ කොකෝවා ගම්මානයේදී පැවති අවස්ථාව. මෙහිදී සම්මත කරගත් බොල්ෂෙවික් පක්ෂයේ ව්‍යවස්ථාවට එරෙහිව අභ්‍යන්තරයේ කරුණු දැක්වූවන් අතර පසුකලෙක බිහිවූ ජවිපෙ නව ප්‍රවණතාවයේ සමාරම්භකයින්වූ බෝපගේ සහ පොඩි රත්නේද විය.

එසේ බිහිවූ තවත් කණ්ඩායමක් වූයේ නාගරික ගරිල්ලා සිහින දුටු විකල්ප කණ්ඩායමය. එය ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයෙන් පෝෂණය වූවකි. එම කණ්ඩායමද අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී මංකොල්ලකෑම් 7ක් සිදුකල අතර සිය සාමාජිකයින් 14දෙනෙකුට කණ්ඩායම් දෙකක් බැගින් ඉන්දියාවේදී මාස 3 අවි පුහුණුව ලබාදෙන ලදී.  විකල්ප කණ්ඩායමේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් 23 දෙනෙකුට එරෙහිව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුවක් යටතේ 1987 ජුලි 8දා කොළඹ මහාධිකරණය නඩු පවරණ ලදී.  ජෝ සෙනෙවිරත්න, පුල්සරා ලියනගේ ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටි අතර චූදිතයින් 10 දෙනෙකු සැගව සිටියහ. ඉන්දු ලංකා ගිවිසුම යටතේ එම සියළු චූදිතයින් 23දෙනාම 1988 අප්‍රේල් 22වැනිදා නිදොස් කොට නිදහස් කරන ලදී.

මෙම ක්‍රියාකාරි කණ්ඩායම් යනු විශාල කණ්ඩායමක් නොව සමාජයේ විවිධ ස්ථරවල පුළුල් බලපෑමක් කල හැකි නායකයින් දෙතුන් දෙනෙකු සහ ඔවුන්ගේ අනුගාමිකයින් කිහිප දෙනෙකු සමඟ එක්ව ගොඩනඟන ලද කණ්ඩායමකි. මෙම කණ්ඩායම්වලට පැහැදිලි නායකත්වයක්, සංවිධාන හෝ මූල්‍ය ශක්තියක්, සන්නද්ධ බලයක් හෝ ආරක්ෂාවක් නොතිබිණි. උතුරේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්වූ ප්ලොට් සහ ඊ.පී.ආර්.එල්.එෆ් මත ඔවුන්ගේ යැපීම සිදුවිය. ලියුම්කරු 1988 අප්‍රේල් 16වැනිදා වැල්ලවත්තේ රොක්සි සිනමාහලට යාබද ස්ථානයකදී ප්ලොට් නායක උමා මහේෂ්වරන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී රතු භටයෝ, කදුරට විමුක්ති පෙරමුණ, විකල්ප කණ්ඩායම, ජනතා සංගමය වැනි කණ්ඩායම් වලට අවි ආයුධ පුහුණුව ඉන්දිය අනුග්‍රහය යටතේ ලබාදුන් බව පිළිගත්තේය.

dharman09081604ජවිපෙ නව ප්‍රවණතාවයේ අදිසි උපදේශක ලයනල් බෝපගේ, සමාරම්භක මුල් පෙලේ නායකයින් වූ වාස් තිලකරත්න සහ මහින්ද පතිරණ, සරසවි ශිෂ්‍ය අංශයේ නායකයෙක්වූ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු චිරන්ත ඉන්ද්‍රජිත් වීරවර්ධන ඉහළ ඡායාරූපවල වමේ සිටද, ජවිපෙ නව ප්‍රවණතාවය විසින් සිය දේශපාලන අංශය වශයෙන් සැලකූ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ නායක සහ න්‍යයචායර්වරයාවූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වර්තමාන මාධ්‍ය උපදේශකවරයෙකුවූ ජයතිලක ද සිල්වා, එහි දේශපාලන මණ්ඩල සභිකයින් අතර සිටි ඉන්දික රූපසිංහ ගුණවර්ධන, පේරාදෙණිය සරසවියේ එවකට කථිකාචාර්ය සහ වර්තමානයේ කලා පීඨාධිපති මහාචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ලේකම් පෝලියර් ගුණවර්ධන මැද ඡායාරූපවල වමේ සිටද, ජවිපෙ නව ප්‍රවණතාවයට ක්‍රියාකාරීව එක්වූ අය අතර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් එච්.එම්. ප්‍රනාන්දු, නිදහස් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකුවූ කෙලී සේනානායක සහ ජවිපෙ නව ප්‍රවණතාවයේ ආයුධ කිහිපයක් පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන ඉදිරිපිට ලී මෝලේ ගබඩාකර තිබී පොලිසියෙන් සොයාගත් අතර එම ලී මෝලේ හවුල් අයිතිකරුවෙකුවූ 71 කැරැල්ලේ 8වැනි විත්තිකරු නිමල් මහරගේ පහළ ජායාරූපවල වමේ සිට වේ.

ජනතා විමුක්ති පෙරමුණේ 1983 ජුලි තහනමින් පසු ජවිපෙ නව ප්‍රවණතාවය බිහිවන්නේද අහම්බයකින් හෝ ඕපපාතිකව නොව ඓතිහාසික අවශ්‍යතාවයන්  අනුව බව ජවිපෙ නව ප්‍රවණතාවය සිය ප්‍රථම ක්‍රියාකාරි හමුවේදීම ප්‍රකාශ කළහ. ජවිපෙ මෙන්ම ජවිපෙ නව ප්‍රවණතාවයද පන්ති සහයෝගිතාවය වෙනුවට පන්ති අරගලයත් සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවට සමාජ විප්ලවයත් සිය ආරම්භයේ සිටම තෝරාගත් මඟ විය. ජවිපෙ නව ප්‍රවණතාවයේ නිල නොවන දේශපාලන මණ්ඩල සභිකයින් 5කි. ඒ එහි  නායක ගීගනගේ චන්ද්‍රසිරි, උපදේශක ලයනල් බෝපගේ, කෙලී සේනානායක, ඒ. ඩී. පී රත්නායක සහ වාස් තිලකරත්නය. 

ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයාවූ ගිගනගේ චන්ද්‍රසිරි 1953 ජනවාරි 1වැනිදා උපන්නේ කළුතරදීය. ඔහු හැදී වැඩුනේ සහ ජීවත්වූයේ වැලිගම මහවීදියේය. ගීගනගේ චන්ද්‍රසිරි හැදින්වූ වෙනත් නාමයන් වූයේ සනී මහත්තයා, සමන්ත, අසේල සහ සාගරය. වැලිගම මිරිස්සේ පොල්අතුමෝදර හැදී වැඩුණු චන්ද්‍රසිරිගේ පියා නාවලපිටියේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකුවූ ගීගනගේ බස්තියන් සිල්වාය. වැලිගම අභය මිරිස්ස පටබැදිගේ වඩනෝනා ඔහුගේ මවය. චන්ද්‍රසිරිට සොයුරන් 4කි. සොහොයුරියන් 2කි. හත්දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා චන්ද්‍රසිරිය. වැලිගම සිද්ධාර්ථ විදුහලෙන් අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ඔහු 1970 මැයි මහ මැතිවරණයේදී සමඟි පෙරමුණ රජයේ වැලිගම මන්ත්‍රීවූ පානි ඉලංගකෝන් ගේ ආධාරකරුවෙකි.

dharman09081605ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජිකයින් සහ එහි කටයුතුවලට එරෙහිව ක්‍රියාකිරීමේ බලය ජවිපෙ විසින් 1985දී පැවරූ ජවිපෙ ලේකම් උපතිස්ස ගමනායක සහ එහි කටයුතු සරසවිවල සිදුවන ආකාරය පිළිබඳව සොයාබැලීමට ජවිපෙ විසින් පත්කල කැලණි සරසවියේ 1981 වාණිජ කණ්ඩායමේ උපාධිධාරියෙකුවූ ජවිපෙ උතුරු මැද ශිෂ්‍ය අංශයේ කලාප නායකයෙක්වූ විමල් වීරවංශ(ඉහල වමේ සිට), ජවිපෙ නව ප්‍රවණතාවය ප්ලොට් සංවිධානය සමඟ වව්නියාව, මරදාන සහ රාජගිරියේ නිල සාකච්ඡා කිහිපයක් එහි නියෝජ්‍ය නායකයෙකුවූ කාන්තන් සමඟ පැවැත්වූයේ පහළ වමේ සිට දැක්වෙන ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන් සහ එහි සන්නද්ධ නායක එන් මාණික්‍යතාසන්ගේ මෙහෙයවීම යටතේය.

චන්ද්‍රසිරි ජවිපෙට එක්වූයේ වැලිගම පදිංචි අකුරැස්සේ සමන් මගිනි. ඒ 1970 දෙසැම්බර් මසදීය. ඔහුට අධ්‍යාපන පන්ති පැවැත්වූයේ 71 කැරැල්ලේ ඝාතනයට පත්වූ කෝට්ටේගොඩ වීරසිංහය. ඔහු සමඟ ජවිපෙට එක්වූ වැලිගම අග්‍රබෝධි විහාරයේ හිමිනමක් සමඟ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඝාතනය විය. ජාතික පේෂකර්ම සංස්ථාවේ තුල්හිරියේ පෙහෙකම්හලේ පුහුණු යාන්ත්‍රික ක්‍රියාකාරුවෙකු වශයෙන් ඔහුට රැකියාවක් හිමිවන්නේ 1972 ජනවාරි මාසයේදීය. පෙහෙකම්හල 1969 පමණ ආරම්භ කල අතර 1971 අප්‍රේල් කැරැල්ලේදී එයට අලහභානි සිදුවිය. එහි සිටි සේවකයින් ගණන 5,000කට ආසන්නය.

ජවිපෙ 71 කැරැල්ලෙන් පසු යළි සංවිධානගත වීමේදී තුල්හිරිය පෙහෙකම්හලේ ජවිපෙ ක්‍රියාකාරිකයින් විසින් සුවිශේෂි මෙහෙයක් ඉටුකරන ලදී. ඔවුහු කම්හලේ විවිධ වෘත්තීය සමිති නියෝජනය කලද ජවිපෙට අනුගත විය. ඩී.ආර්. ලියනාරච්චි, පී.කේ. දයාසේන, ටී. වී. යූ සමන් කුමාර, අයි.ඩී. සේනාරත්න, වික්‍රමසිංහ, රූපසිංහ ඇතුළු පිරිසක් සමඟ ගීගනගේ චන්ද්‍රසිරිද පෙරමුණේ විය. කුරුණෑගල ජවිපෙ දිසා ලේකම් ලෙස 1974 සිට කටයුතු කළේ පී.කේ.බී.ඒ. ඉන්ද්‍රරත්නය. ඔහුගෙන් පසුව දිසා ලේකම් වූයේ ලයනල් ප්‍රනාන්දුය. අප්‍රේල් කැරැල්ලේ පරාජයෙන් පසු විල්පත්තුවට පසුබැස ගිය ඉන්ද්‍රරත්න 1972 යළි ක්‍රියාකාරකම් ඇරඹීය. උපතිස්ස ගමනායක 1973 අත්අඩංගුවට ගන්නා තෙක් සහ 1976 දෙසැම්බර් නිදහසින් පසුද කෙලී සේනානායක නිදහසින් පසුවද කෑගල්ලේ අභයවර්ධන වීරගල්ල ඇතුළු ජවිපෙ නායකයින් තුල්හිරිය පෙහෙකම්හල  ජවිපෙ තෝතැන්නක් බවට පත්කළේය. ජවිපෙ ඇදගෙන ගිය පූර්ණකාලීනයින් සහ අර්ධකාලීන් 100ක් පමණ 1977 ජුලි මහ මැතිවරණය වනවිට තුල්හිරියේ සේවය කළේය. එහි නේවාසික කාමරවල කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල තරුණයින්ට ජවිපෙ අධ්‍යාපන පන්ති පැවැත්විණි.  තුල්හිරියේ සේවය කරද්දීම ගීගනගේ චන්ද්‍රසිරි 1974 අවසානයේදී ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. ඒ වන විට තුල්හිරියේ සේවය කල ඔහු කිහිපවරක් වැඩ තහනමකට ලක්විය.

dharman09081606ජවිපෙ නව ප්‍රවණතාවයට දිරිදුන් පිරිසක් පසුකාලීනව එනම් 2010 ජනවාරි 24වැනිදා රාජගිරියේ පිහිටි ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ(මොන්ලා) ආයතනයේදී හමුවූ අවස්ථාවක්. හිටගෙන වමේ සිට ජනතා සංගමයේ නායක ප්‍රේමපාල හේවාබටගේ, ටී. වී. යූ සමන් කුමාර, කෙලී සේනානායක, සිලොන් ටුඩේ දිනපතා පුවත්පතේ මාධ්‍යවේදිනී නෙරංජලා ආරියවංශ, ලයනල් බෝපගේ, බෝපගේගේ බිරිඳ චිත්‍රා මුදලිගේ, සරත් දේවානන්ද, රංජිත් දිසානායක වේ. ඉදිරිපස හිදගෙන සිටින්නේ වමේ සිට ගීගනගේ චන්ද්‍රසිරි(රතු රවුමකින් දක්වා ඇත), ප්‍රගීත් එක්නැලිගොඩ සහ මෝදර ඇන්ටන්ය. ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වූයේ මෙදිනට පසුදිනය.

රෝහණ විජේවීර 1977 නොවැම්බර් 2වැනිදා සිරදඬුවමින් නිදහස් වීමෙන් පසු ප්‍රථම රැළිය 1977 නොවැම්බර් 7 ටවුන්හෝල්හීදී පැවැත්වූ අතර 2වැන්න පසුදින පැවතියේ වරකාපොලදීය. එජාප ආණ්ඩුවේ රජයේ ආයතන පෞද්ගලීකරණයට එරෙහිව පළමු වර්ජනය 1978 මාර්තු 15වැනිදා ආරම්භ වූයේ තුල්හිරිය පෙහෙකම්හල තුළිනි. ආණ්ඩුව 1978 මාර්තු 18 කම්හල වසා දමන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස කුරුණෑගල දිසා ලේකම් ඉන්ද්‍රරත්නගේ නායකත්වය යටතේ කුරුණෑගල නගරය, බිංගිරිය සහ පඩුවස්නුවර ආසන ජවිපෙ සඳහා 1978 සම්බන්ධීකරණය කළේ චන්ද්‍රසිරිය. ජවිපෙට එරෙහි ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් 2කම ජනතා සංගමය හරහා කොළඹ රාජගිරිය සහ කුරුණෑගල දේවසරණ කේන්ද්‍රකර ගනිමින් කටයුතු බැවින් වැඩි බරක් ජවිපෙ විසින් කුරුණෑගලට සහ කෑගල්ලට යොදවන ලදී.

අනතුරුව යාපනය දිස්ත්‍රික්කය සහ ජවිපෙ මූලස්ථානය 1981 සිට 1983 ජුලි දක්වා සම්බන්ධීකරණය චන්ද්‍රසිරි සිදුකරන විට යාපනය බාරව සිටි ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා වූයේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේය. වැලිමඩ උපන් වතු ද්‍රවිඩ ජාතිකයෙකුවූ ෆොන්සේකා සහ යාපනය ධීවර සංස්ථාවේ ලිපිකරුවෙකුවූ වාරියපොල ජයතිලකද යාපනේ ජවිපෙ කටයුතු වලට එක්ව සිටි  පිරිස අතර විය. රත්ගමින් අවාහ වී සිටි ෆොන්සේකා ජවිපෙ 2වැනි කැරළිසමයේදී අත්අඩංගුවට පත්ව මත්තේගොඩදී ඝාතනයට පත්විය. දැනට කැනඩාවේ ජීවත්වන ඉන්ගෝවන් නොහොත් ටාසන් මුදලාලි යාපනය ජවිපෙ කටයුතුවලට නොමසුරුව අතදුන්නෙකි. සිව්දරු පියෙකුවූ චන්ද්‍රසිරිගේ බිරිඳ අලව්වේ සිරිමා පතිරණය. ඇය කලෙක විමුක්ති ගී ගායනයටද එක්වූවාය. එම පුතුන් සිව්දෙනා ගෙන් තිදෙනෙක්ම උපාධිධාරින්ය. ඔවුහු ඉංජිනේරු සහ ගණකාධිකාරි වෘත්තීන්හි නිරත වේ. වර්තමානයේ පදිංචිය නුවරය.

dharman09081607පොලිස් දෙපාර්තමේන්තුව මගින් ජවිපෙ නව ප්‍රවණතාවයේ ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා 1984 පොලිස් ස්ථානවලට නිකුත් කරන ලද නිවේදනයේ ඇතුළත් ඡායාරූපයකි. මෙය 1978 අගෝස්තු මස අලව්වේ ශාන්ති ස්ටුඩියෝ වෙතින් ගනු ලැබූවකි. මෙහි වම්පස සිටින්නේ ජවිපෙ පූර්ණකාලීනයකුව සිටිමින් පසුව නව ප්‍රවණතාවයට එක්වූ චිත්‍ර ශිල්පියෙකු සහ ගුරුවරයෙකුවූ කැකුලාවල කේ. එම්. ප්‍රේමරත්නය. දකුණු පස ගීගනගේ චන්ද්‍රසිරිය. ප්‍රේමරත්න පසුව කොළඹ මහාධිකරණයේදී 1987 ජුනි 15 පැවරූ නඩුවේදී රජයේ සාක්කිකරුවෙකු විය.

ජවිපෙ නව ප්‍රවණතාවයේ උපදේශකවරයාවූ ලයනල් බෝපගේ උපන්නේද ගීගනගේ චන්ද්‍රසිරි ජීවත්වූ වැලිගමය. සුළු ව්‍යාපාරිකයෙකුවූ වැලිගම වල්ලිවල ජෙරමියෙස්ගේ සහ රොස්ලින්ගේ දරුවන් 5දෙනාගෙන් අයෙකුවූ බෝපගේ 1944දී උපන් අතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨ සිසුවෙකු වශයෙන් සිටියදී 1968දී සරත් විජේසිංහ මගින් විජේවීර හදුනාගත් ලයනල් බෝපගේ 1971 අප්‍රේල් කැරැල්ලේදී පානදුර සරික්කාමුල්ල  පන්සලේ සිටියදී අප්‍රේල් 19වැනිදා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. අප්‍රේල් මහ නඩුවේ 2වැනි විත්තිකරු විය. සිරගෙදර සිටින සමයේදී ඉංජිනේරු උපාධියට ලියා සමත් විය. වසර 12ක දිගුකාලීන සිරදඬුවම්වලට යටත් කලද පසුව 1977දී නිදහස් විමෙන් පසු ජවිපෙ ගොඩනැගීම සඳහා ක්‍රියාකාරීව දායක විය.  ගාල්ල දිසා සංවර්ධන සභා මැතිවරණයට 1981දී ඉදිරිපත්වී එහි සභිකයෙක් ද විය. විමුක්ති ගී ගායිකාවක් වශයෙන් කටයුතු කල කතෝලික සභාවේ තිඹිරිගස්යාය පල්ලියේ කන්‍යා සොහොයුරියක්වූ චිත්‍රා මුදලිගේ සමඟ අවාහවු බෝපගේ 1980 සිට 1983 ජුලි 29වැනිදා ජවිපෙ තහනම් වන විට ප්‍රධාන ‍ලේකම් වශයෙන් සිටි අතර පසුව අක්‍රීයවී 1984 මුල්භාගයේදී නිල වශයෙන් ඉවත් විය. ජවිපෙ නව ප්‍රවණතාවයට ක්‍රියාකාරීව දායකවීම හේතුවෙන්  1986දී අත්අඩංගුවට ගත් බෝපගේ වසරකට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවිය සර්වෝදයේද කලක් සේවය කල දෙදරු පියෙකුවූ බෝපගේ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ.

dharman09081608ජවිපෙ 2වැනි කැරැල්ලේ ප්‍රහාරවලින් ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා නව සමසමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු වාම දේශපාලඥයින් රැසකට එජාප ආණ්ඩුවෙන් අවි ආයුධ සහ පුහුණුව ලබාගෙන සන්නද්ධවීමට සිදුවිය. මේ එසේ 1988දී නසසප ක්‍රියාකාරින් පිරිසක් සමඟ විවේකී මොහොතකදී ආචාර්ය බාහු ඡායාරූපයකට පෙනී සිටි අන්දමයි.

නව ප්‍රවණතාවයේ දේශපාලන මණ්ඩල සභික අර්ඩ්ලි ප්‍රැන්සිස් ද වාස් තිලකරත්න නොහොත් සුනිල් ජයරත්න හැටේ දශකයේ අවසාන භාගයේදී පේරාදෙණිය සරසවියේ උපාධිය හදාරමින් සිටියදී පූර්ණකාලීනව ජවිපෙට එක්වි 71 අප්‍රේල් සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දිගුකාලීනව සිරදඬුවම් විදි අයෙකි. පසුව 1977 නොවැම්බර් මස නිදහස ලැබීය. කැලණිය ධර්මාලෝක විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහු ජවිපෙට එක්වූයේ පියසිරි කුලරත්න මගිනි. කියුබාවේ හවානා නුවර 1978දී පැවති  ලෝක තරුණ සහ ශිෂ්‍ය   සමුළුවට උළෙලට ලංකාවෙන් නියෝජිතයින් 101 සහභාගිවූ අතර එයට ජවිපෙ නියෝජනය කරමින් එක්වූයේ රෝහණ විජේවීර, කෙලී සේනානායක, වාස් තිලකරත්න, සෝමවංශ අමරසිංහ සහ සුනිලා අබේසේකරද විය. වාස් සමාජවාදී තරුණ සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් සහ 1981දී ගම්පහ සංවර්ධන සභාවට තරඟකර ජවිපෙ කණ්ඩායම මෙහෙයවා එහි සභිකයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙස සිටියදී ජවිපෙන් 1982 ඉවත්කල පසු ජවිපෙට එරෙහිව කටයුතු කල වාස් තිලකරත්නට ජවිපෙ මගින් ඇල්ල වැල්ලවායේදී 1986 සැප්තැම්බර් 9වැනිදා වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කරන ලදී. ඉන් බරපතල තුවාල ලබා ජීවිතය බේරාගත් වාස් වැල්ලවාය රෝහල මගින් බදුල්ල රෝහලට මාරු කරන ලදී. එදින රාත්‍රී ජවිපෙ මගින් බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් වාස්ට යළි ඇදේදී වෙඩිතබන ලද අතර යාබද අයෙකු එම වෙඩි පහරින් මිය ගියේය. බදුල්ල රෝහල මගින් වාස්ව 1986 සැප්තැම්බර් 15වැනිදා කොළඹ දන්ත රෝහලේ 2වැනි වාට්ටුවට ඇතුල්කරන ලදී. රහස් පොලිසියේ උප පොලිස් පරික්ෂක එස්. රාජපක්ෂ විසින් 1986 සැප්තැම්බර් 18වැනිදා රෝහලේද අත්අඩංගුවට ගත් ඔහු කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාර රෝහලට ඉදිරිපත් කල අතර පසුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුවේ 23වැනි විත්තිකරු වශයෙන් 1987 ජුලි 15වැනිදා කොළඹ මහාධිකරණය නඩු පවරන ලදී. ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මකවීමත් සමඟම එහි කොන්දේසියක් වශයෙන් සියළු චුදිතයන් සමඟ 1988 අප්‍රේල් 22 වාස් නිදහස් විය.

dharman09081609පිලිපීනයේ කාලෝස් මරිගහෙල්ලා විසින් 1969 ප්‍රකාශයට පත්කරන ලද නාගරික ගරිල්ලා අරගලය පිළිබඳව මෙම මධ්‍ය අත්පොතද ජවිපෙ නව ප්‍රවණතාවය මගින් 1984දී සිංහලට පරිවර්තනයකර බෙදාහරින ලදී. කෞෂල්‍ය නමින් මෙහි පරිවර්තක වූයේ කුසල් පෙරේරාය.

නිදහසින් පසුව ජවිපෙ මුළුනුපුටා දැමීමේ ක්‍රියාමාර්ගයකට ආරක්ෂක හමුදා සමඟ සහයෝගයෙන් කටයුතු කල වාස් අවසානයේ කිරුළපනේ ආරක්ෂක හමුදා කුලියට ගෙන තිබූ නිවසකදී මියයෑම මතභේදයට තුඩුදුන් කරුණකි.  කැලණිව කොහොල්ලව පදිංචිකරුවෙකුවූ වාස් විවාහව සිටියේ කුරුණෑගල මහව විජේකෝන් පවුලෙනි. වැන්දඹු බිරිඳ සහ දියණිය වර්තමානයේ විදේශගතය.  

නන්එදිරි කෙලී මැගිලියන් සේනානායක නොහොත් කෙලී සේනානායකද ජවිපෙ නව ප්‍රවණතාවයේ නිල නොවන දේශපාලන බල මණ්ඩල සභිකයෙකි.  බලපිටියේ උපන් කෙලී ධර්මාශෝක විද්‍යාලයේ ජේෂ්ඨය 1965දී සමත්වීමෙන් පසු රංජිත් කුලකුලසූරිය මගින් ජවිපෙට 1968දී බැදිණි. විජේවීර සමඟ 1971 මාර්තු 13 වැනිදා අම්පාරේදී අත්අඩංගුවට පත්වූ කෙලී 71 අප්‍රේල් මහ නඩුවෙ 26වැනි විත්තිකරු විය. වසර 1977 නිදහස් වීමෙන් පසු ජවිපෙ යළි නඟාසිටුවීම සඳහා පුරෝගාමි මෙහෙයක් කල අයෙකි. දේශපාලන මණ්ඩල සභික කෙලී සේනානායකට විනය හේතූන් මත ජවිපෙන් 1979දී ඉවත්වීමට සිදුවූ අතර ඒ සමඟම සුනිලා අබේ‍සේකරද පක්ෂය අතහැර ගියාය. ජවිපෙන් ඉවත්වීමෙන් පසු ජවිපෙ විරෝධීන් අතර පෙරමුණේම සිටි කෙලී, ජවිපෙ ප්‍රධාන ඝාතන ඉලක්කයක් බවටද පත්විය. වර්තමානයේ බංගලදේශයේ රැකියාවක නිරත වේ.  

තවත් සභිකයෙකුවූ ඒ. ඩී. පී රත්නායක නොහොත්  පොඩි රත්නේ උතුරේ දෙමළ ගැටලුව සම්බන්ධයෙන් ජවිපෙ දරණ ස්ථාවරයට එකඟ නොවීම හේතුවෙන් ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් 1983 ජුලි 21 ඉවත් විය. උතුරු මැද සහ උතුරු නැගෙනහිර පළාත් ජවිපෙ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් භාරව සිටියේ රත්නායකය. පසුව නව ප්‍රවණතාවය සමඟ කටයුතු කල රත්නායක ජවිපෙ 2වැනි කැරැල්ලේ මැද භාගයේදී මැදපෙරදිග රැකියාවට ගොස් ජීවිත රැකවරණය සලසා ගත්තේය.

ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජිකයින් සහ එහි කටයුතුවලට එරෙහිව ක්‍රියාකිරීමේ බලය ජවිපෙ විසින් 1985දී පැවරූවේ ජවිපෙ ලේකම් උපතිස්ස ගමනායකටය. ඒ අනුව එහි කටයුතු සරසවිවල සිදුවන ආකාරය පිළිබඳව සොයාබැලීමට ජවිපෙ විසින් පත්කල කැලණි සරසවියේ 1981 වාණිජ කණ්ඩායමේ උපාධිධාරියෙකුවූ ජවිපෙ උතුරු මැද ශිෂ්‍ය අංශයේ කලාප නායකයෙක්වූ විමල් වීරවංශය. එහි ප්‍රතිඵලයක් ලෙස මොරටු සරසවිය තුළ සිටි ජවිපෙ නව ප්‍රවණතාවයේ සිසු නායකයින් පොලිස් අත්අඩංගුවට පත්විය. උපාලි ජයවීරගේ සමීපතමයෙකුවූ විමල් වීරවංශ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයේ කලාප නායකයෙකුවු ඔහු 1988 අගෝස්තු සිට ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙවැනියා විය. මිහින්තලය පොලිසියෙන් ආයුධ පැහැරගැනිමේ චෝදනාවද එල්ල විය. පසුව විමල් 1989 අගොස්තු මස පිළියන්දලදී පොලිසිය විසින් පැහැරගෙන ඝාතනය කරන ලදී. නව ප්‍රවණතාවයේ සාමාජිකයින් ‘ඉවත්කිරීමේ’ වගකීම පැවරුණේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු සහ සන්නද්ධ නායකයෙකුවූ සමරප්පුලිගේ සෝමසිරි නොහොත් රාගම සෝමේටය. එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද පතිරණ සහ වාස් තිලකරත්නට සිය නිවසේ රැකවරණය දුන් සමාජවාදී ජනතා ව්‍යාපාරයේ හත්මුන තට්ටුගේ සිරිසේන ඇතුළු කිහිප දෙනෙක් ඝාතනයට පත්වූ අතර වාස් තිලකරත්නට මරණීය තුවාල සිදුකරන ලදී.

ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු සහ කොළඹ දිස්ත්‍රික් ජවිපෙ සංවර්ධන සභා සභිකයෙකුවූ ජයසිංහගේ පතිරණ නොහොත් මහින්ද ජවිපෙන් කොළඹ සංවර්ධන සභාවට 1981 පත්වූ මන්ත්‍රීවරයෙකි. ජවිපෙ නව ප්‍රවණතාවය ආරම්භ වනවිට ඔහු එජාපයට එක්වී සිටියද නව ප්‍රවණතාවයට ක්‍රියාකාරීව සහාය දුන්නේය. හැටේ දශකයේ අවසාන භාගයේදී ජවිපෙ සම්බන්ධවූ මහින්ද පතිරණ  1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් දිගු කාලීන සිර දඬුවම්වලට ලක්වුවෙකි. සිරෙන් නිදහස්වූ දා පටන් ජවිපෙ ගොඩනැගීමට ඇප කැප වී කටයුතු කල ඔහු සමාජවාදී කම්කරු සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයාද විය.  ජවිපෙන් 1982  ඉවත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එක්වී ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වැඩ කළේය. කොළඹ දිසා ඇමති සහ කොලොන්නාව මන්ත්‍රී විරසිංහ මල්ලිමාරච්චිගේ ඉතා සමීපතම දේශපාලන සගයෙකු බවට පත්විය. ජවිපෙ විසින් 1987 සැප්තැම්බර් 5වැනිදා රාත්‍රී 9ට වැල්ලම්පිටියේ කොටුවිල පස්සල පාරේ වෙන්නවත්තේ සිය නිවසේදී මහින්ද පතිරණ වෙඩිතබා ඝාතනය කරන ලදී. 

මොරටු සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයේ බහුතර බලයද 1984දී සතුකර ගන්නට ජවිපෙ නව ප්‍රවණතාවය සමත් විය. ඒ කැමිලස් හරහාය. කැමිලස් විසින් චිරත්ත වීරවර්ධන දිනාගත් අතර පොදුවේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු මෙහෙයවන්නට විය. චිරත්ත වීරවර්ධනද නව දේශපාලන ව්‍යාපාරයට1984  අවසානයේදී මොරටු සරසවියේ ඇඩම්ස්ද දිනාගැනීමට සමත් විය. එහෙත් ඔවුන් මතුපිටින් පෙන්නුවේ ඉන්දික සහ ජයතිලකගේ සමාජවාදී ජනතා ව්‍යාපාරයට තමන් සම්බන්ධ බවකි. ජවිපෙ නව ප්‍රවණතාවය සහ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ 44 දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේදී කැමිලස් සහ චිරත්නද චූදිතයන් විය. සමාජවාදී ජනතා ව්‍යාපාරය රාජ්‍ය මර්ධනය සමඟ ඇනහිටි අවස්ථාවේදී ඔවුන් සමඟ සිටි සරසවි ශිෂ්‍ය කොටස් අවිශිබම නොහොත් අන්තරේ තුළට යළි අනුගත විය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවූ මොරටු සරසවියේ සිසු නායක ෆ්‍රැන්සිස්කු හෙට්ටිගේ කැමිලස් සිල්වා ජවිපෙ ඝාතන තර්ජන හේතුවෙන් 1986  අවසානයේදී උතුරට ගොස් සැඟවුණු අතර ප්ලොට් සංවිධානය සමඟ එක්ව කටයුතු කළේය. පසුව බෙදුම්වාදී කොටි සංවිධානයට එක්විය. උතුරු නැගෙනහිර යුද්ධයේ අවසාන කාලය වන 2009දී සරණාගතයින් ලෙස ද්‍රවිඩ ජාතික බිරිඳ සහ දරුවන් සමඟ දකුණට ඔහු පළා ආවේය. මොරටු සරසවියේ ඉංජිනේරු උපාධිය නිමකිරීමට නොහැකිවු කැමිලස් වර්තමානයේ මධ්‍යම පළාතේ ජීවත්වන බව හෝ විදේශගතව සිටින බවට මත දෙකකි. තවත් මතයක් වන්නේ ගල්කිස්ස පොලිසියේදී ඔහු ඝාතනයට ලක්වූ බවකි.

රත්ගම කහව උපන් මොරටු සරසවියේ සිසු නායකයෙකුවූ චිරන්ත ඉන්ද්‍රජිත් වීරවර්ධන අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ 1986  අගෝස්තු 18වැනිදා අත්අඩංගුවට ගත් චිරන්ත නිදහසින් පසු මොරටු සරසවියෙන් උපාධිය ඉහළින්ම සමත්ව කහටගහ මිනිරන් පතලේ ඉංජිනේරුවෙකු විය. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි ජේෂ්ඨ ඉංජිනේරුවෙකු වන අතර දෙදරු පියෙකි. (The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at [email protected] OR 011-5234384)ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]

One Response to “ජවිපෙ නව ප්‍රවණතාවයේ කිසිදා නොඇසූ පැටිකිරිය (ප්‍රථම කොටස)”

  1. Christie Says:

    දර්මන් ඔබට ගොඩක් තුති. ජේ වී පියත් ඉන්දියානු අදිරද්යත් ඉන්දියානු පරපෝසිතයනුත් විසින් මුදල් යටකර සින්හලයම් ලවා සින්හලයන් මරා දැමීමටත් ඇටවූ උගුලකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress