‘මේ එල්මෝ ප්‍රනාන්දුයි’ හඬ නිහඬවෙයි
Posted on August 11th, 2016

ධර්මන් වික්‍රමරත්න

කලක් අතිශයින් ජනප්‍රියවූ පිලිපීනයේ වෙරිටාස් සහ බ්‍රිතාන්‍යයේ බී.බී.සී සන්දේශයේ කොළඹ වාර්තාකරු වශයෙන් කටයුුතු කල දෙටු ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදි එල්මෝ ප්‍රනාන්දු 2016 අගෝස්තු 11වැනිදා අළුයම අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අවසන් කටයුතු අගෝස්තු 11වැනිදා පස්වරු 4ට පැලවත්ත රෝමානු කතෝලික දේවස්ථානයේ සුසාන භූමියේදී සිදුකෙරේ. හලාවතදී 1941 නොවැම්බර් 9වැනිදා උපන් තිදරු පියෙකුවූ එල්මෝට මිය යනවිට මුණුබුරු මිනිබිරියන් 6 දෙනෙකි. වසර 2014 ඔහු රෝගාතුර වනවිට වසර 48ක් වෘත්තීය ක්‍රියාකාරි ජනමාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතුකර තිබිණි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට 1968දී එක්වූ එල්මෝ ප්‍රනාන්දු පසුව එහි වාර්තාකරුවෙකු, වැඩසටහන් නිෂ්පාදකයෙකු මෙන්ම ජනප්‍රිය නිවේදකයෙකුද විය. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයවූ 1973 සිට 1977 දක්වා සභාපති තනතුර දැරූ කීර්තිමත් සිවිල් සේවකයෙකුවූ රිජ්වේ තිලකරත්න පාලන සමයේදී ස්වදේශීය සහ වෙළෙඳ සේවයන් සිංහල සේවය වශයෙන් ඒකාබද්ධ කිරීමෙන් පසු එල්මෝට ගුවන් විදුලියෙන් නව මංපෙත් විවර විය. එවකට සිංහල සේවයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් එච්. එම්. ගුණසේකර කටයුතු කල අතර මුල්පෙලේ සිටි මාධ්‍යවේදීන් වූයේ අමරබන්දු රූපසිංහ, බර්ටි ගලහිටියාව, නිව්ටන් ගුණරත්න, ඩී.එස් දයාරත්න, ප්‍රේමකීර්ති ද අල්විස් සහ දයා අල්විස් ඇතුළු කිහිප දෙනෙකි. භක්තිමත් කතෝලිකයෙකුවූ එල්මෝ හොද එජාප පාක්ෂිකයෙකු වූවද ඒ දෙක සිය වෘත්තීය සමඟ කිසිදා පටලවා නොගත්තේය.

dharman11081601එල්මෝ ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ සිංහල සංදේශය අංශයේදී

පිලිපීනයේ වෙරිටාස් කතෝලික ගුවන්විදුලි සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු වශයෙන් 1984දී එක්වූ එල්මෝ ප්‍රනාන්දු පිලිපීනයේ මැනිලා නුවර සිට දිනපතා ප්‍රවෘත්ති සංග්‍රහයක් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කළේය. ජවිපෙ 2වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්වා ශ්‍රී ලංකාවේ සත්‍ය තොරතුරු දැනගැනීමේ එකම මාර්ගය පිලිපීනියේ වෙරිටාස් ගුවන්විදුලිය වූ අතර එය එවකට ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය ප්‍රවෘත්ති සේවය බවට පත්වූයේ එල්මෝ ප්‍රනාන්දුගේ කැපවීමෙනි. රෝහණ විජේවිර 1989 නොවැම්බර් 13වැනිදා ඝාතනයකර පැය 24ක් ඇතුළත  එදිනම රාත්‍රී ජවිපෙ නව නායකයා ලෙස සමන් පියසිරි ප්‍රනාන්දු පත්කර බවද ලොවට ප්‍රථම වරට වෙරිටාස් ගුවන්විදුලියෙන් කියාසිටියේ එල්මෝය. එකල වෙරිටාස් වැනි විදේශයන්හි සිට විකාශය වූ ගුවන්විදුලි සේවාවන් ජනප්‍රිය වූයේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා නොතිබූ බැවිනි. රජයේ ගුවන්විදුලි මගින් සිදුකලේද අද මෙන් රජයේ ප්‍රවෘත්ති විකාශනය කිරීම පමණි. පෞද්ගලික දේශීය ගුවන් විදුලි සේවාවලට ප්‍රවෘත්ති විකාශනය කිරීමේ හිමිකම ලැබුණේද පොදුජන එක්සත් පෙරමුණ රජයේ ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානයකගේ මැතිහත්වීම මත 1994දීය.

dharman11081602ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින් ශ්‍රී ලංකා පත්‍රකලාවේදී සංගමය පිරිනැමූ සම්මානය එල්මෝ ප්‍රනාන්දු 2015 ඔක්තෝබර් 9වැනිදා BMICH ලබාගනිමින්.

පසුව 1993දී බ්‍රිතාන්‍ය බී.බී.සී ගුවන්විදුලියේ සංදේශය වැඩසටහනේ කොළඹ වාර්තාකරු වශයෙන් විශ්‍රාමයන තෙක් වසර 20ක් හෙතෙම ක්‍රියා කළේය. බී.බී.සී සංදේශයේ ඔහුගේ දීර්ඝ ප්‍රවෘත්තිය අවසානයේ ඔහුකල ‘බී.බී.සී. ලෝක සේවයේ සංදේශයට එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට’ යනුවෙන් කල සඳහන ගුවන් තරංග අතර සදාකාලිකව ඔහු සනිටුහන් කල සන්නාමය විය. එල්මෝටම ආවේනිකවූ භාෂා ශෛලය, ප්‍රපාතවත් හඬ,  ප්‍රවෘත්තිය පෙළගස්සවා ඇති ආකාරය ඔහුගේ සඟරාමය ප්‍රවෘත්ති වැඩසටහන් වල විශේෂත්වය විය.  මාධ්‍ය කේෂේත්‍රයට පැමිණි නවක මාධ්‍යවේදීන්ට පමණක් නොව තරුණ මාධ්‍යවේදින්ටද සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් ඔවුනට නිරන්තරයෙන් මඟපෙන්වීම් කල එල්මෝ ප්‍රනාන්දු ගුරු මුෂ්ඨියකින් තොරව අතහිත දුන් සැබෑ නිහතමානි මිනිසෙකු විය. ලියුම්කරු ප්‍රථමවරට ඔහු 1984දී දැන හඳුනාගත් අතර අවසානවරට රෝගීව සිටි ඔහු බැලීම සඳහා බත්තරමුල්ල පැලවත්ත අරුප්පිටියේ නිවසට ගියේ 2015 නොවැම්බර් 9 වැනිදා දයා ලංකාපුරයන් සමඟිනි. එදින වරුවක්ම ඔහු සමඟ අතීත ආවර්ජනයේ නියැලෙමින් අපිි ගතකළෙමු.

dharman11081603දඹානේ වැදි නායක වන්නිල ඇත්තෝ සමගින් එල්මෝ ප්‍රනාන්දු ගුවන්විදුලි සාකච්ඡාවක යෙදෙමින් සිටියදී

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයට වසර 60ක් පිරීම නිමිත්තෙන් එහි සභාපති මුදිත කාරියකරවනගේ මෙහෙයවීමෙන් 2015 ඔක්තෝබර් 9වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ඇගයුමට ලක්වූ ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම මාධ්‍යවේදීන් 10දෙනා අතර එල්මෝ ප්‍රනාන්දුද විය. එම සංගමයේ කලින් වසරේ ප්‍රධාන ලේකම්වූයේ ලියුම්කරුය. එල්මෝ ප්‍රනාන්දුගේ 50 වසරකට ආසන්න ජීවිත අත්දැකීම් අළලා මාධ්‍යවේදියෙකු විසින් රචිත ග්‍රන්ථයේ අත්පිටපත මෙයට සති කිහිපයකට පෙර ජේෂ්ඨ මාධ්‍යවේදී නාමල් පෙරේරා ඇතුළු පිරිසක් සමඟ ඔහු සාකච්ඡා කළෝය.

එල්මෝ ප්‍රනාන්දු සිය කලා ජීවිතය ඇරඹුවේ ඔහු උපන් හලාවත අවට ප්‍රදේශවල වේදිකාගතවූ පාස්කු නාට්‍යයන්හි රඟපෑමෙන් සහ නිවේදන කටයුතු කිරීමෙනි. එල්මෝගේ බිරිඳ මෞලි මැලේ ජාතික කාන්තාවක්වූ අතර දරුවන් වූ එකම පුතු රංග, දියණියන් දෙදෙනා වූ දිල්හානි සහ එරංගි ගෙන් සෙනෙහස සහ සත්කාරය අවසාන කාලයේ ඔහුට නොඅඩුවම ලැබුණි. එල්මෝ ඉතා සාර්ථක සහ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගතකල අයෙකි. ජීවත්ව සිටියදී එල්මෝ කල ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරිණි.

ධර්මන් වික්‍රමරත්න

[email protected]

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress