ශ්‍රි ලාල් ගෝමස් දිවි ගමන නිම කරයි
Posted on August 11th, 2016

ධර්මන් වික්‍රමරත්න

තිස්පස් වසරක් පුරා පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කල ශ්‍රී ලාල් ගෝමස්(62) අගෝස්තු 11වැනිදා අලුයම සිය දිවිගමන නිමා කළේය. මහනුවර අරුප්පොලදී 1954 දෙසැම්බර් 15වැනිදා උපන් තිදරු පියෙකු ශ්‍රී ලාල්ට මියයන විට මිනිබිරියන් දෙදෙනෙකි. ශ්‍රී ලාල්ගේ අවසන් කටයුතු 2016 අගෝස්තු 13වන සෙනසුරාදා පස්වරු 3ට සපුගස්කන්ද රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරේ. එතෙක් ඔහුගේ දේහය මාකොල, ආසිරි පාරේ 639/2ඒ නිවසේ තැන්පත්කර ඇත.

ජනමාධ්‍ය ඡායාරූපකරණයේ ප්‍රවීණ අත්දැකීම් රැසකට හිමිකම් කියන ශ්‍රී ලාල් ගෝමස් ඒ පිළිබඳව වසර 35ක වෘත්තීය අත්දැකීම් ඇත්තෙකි. යුද්ධය, සාමය, දේශපාලනය, පරිසරය, ක්‍රීඩා, ජන ජීවිතය, මානව හිමිකම්, වන සතුන් වැනි  කේෂේත්‍රයන්හි පමණක් නොව විලාසිතා සහ මංගල ඡායාරූපකරණයේ පැතිකඩ රැසක් ඔහු රට හමුවේ තැබීය. මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ අධ්‍යාපනය ලැබූ ඔහු ලියුම්කරු සමඟ දශක 3කට ආසන්නව එක්ව කටයුතු කල වෘත්තීය සගයෙකි.

dharman110816b01ශ්‍රී ලාල් ගෝමස් නුවරඑළියේදී රාජකාරියක් අතරතුරදී.

මාධ්‍ය කේෂේත්‍රයට ශ්‍රී ලාල් ආධුනිකයෙකු වශයෙන් එක්වූයේ මහවැලි අමාත්‍යාංශය මගින් 1979 ඇරඹි ඉසුර මාසික සඟරාවෙනි. එහි සිව බණ්ඩාරගෙන් පසු ප්‍රධාන සංස්කාරක වූයේ සුදත් වටගෙදරය. එකල ඉසුර සඟරාවේ සේවයකල අය අතර ඇරැව්වල නන්දිමිත්‍ර, ජයලත් මනෝරත්න, ප්‍රසන්න විතානගේද විය. මහවැලි අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරි වූයේ පසුකාලීනව එහි සහකාර ලේකම්(ප්‍රවෘත්ති) වූ ආනන්ද ධර්මප්‍රියය. ප්‍රවෘත්ති නිලධාරි වූයේ ප්‍රවීණ ලේඛක නිහාල් ජයතුංගය. සනත් ගුණතිලකද 1983 සිට එහි උපදේශකවරයෙකු විය. පැරණි ලංකාදීප වසා දැමීමෙන් පසු 1985 සිට මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි ලෙස පත්වූයේ ඇල්බට් පුංචිහේවා බව එකල දිවයින කර්තෘ මාණ්ඩලිකයෙකුවූ ලියුම්කරුට මතකය. පසු කලෙක වෘක්ෂයක් සේ දළුලා සරුවට වැඩෙන යෝධ ඡායාරූප ශිල්පියෙකුවූ ශ්‍රීලාල් ගෝමස් ගේ තිඹිරිගෙය එය විය.

dharman110816b022016 අගෝස්තු 25වැනිදා පස්වරු 3ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී තිත්ත රස නැමති සිය ස්වයං ලිඛිත චරිතාපදානය ශ්‍රී ලාල් විසින් එළිදැක්වීමට නියමිතව තිබිණි. මේ එම ග්‍රන්ථයේ කවරයයි.

පසුකාලීනව එම අමාත්‍යාංශය භාර ඇමති ගාමිණී දිසානායකගේ නිල ඡායාරූප ශිල්පියා වූයේ ශ්‍රී ලාල්ය. සිය දේශපාලන නායකයා සැපතේදී මෙන්ම ආණ්ඩුවෙන් ඇමතිධූරයෙන් ඉවත්කිරීමෙන් පසුවද අනතුරුව දෝෂාභියෝගයෙන් පසු ගාමිණී දිසානායකගේ මන්ත්‍රී තනතුර අහිමිවූවද  ගාමිණී දිසානායක එජාප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්ව තොටලඟ බෝම්බයෙන් 1994 ඔක්තෝබර් 24වැනිදා මියයන තෙක්ම ඔහු අත් නොහැරි කෙලෙහිගුණ දත් දුර්ලභ ගනයේ මිනිසෙක් ලෙස ශ්‍රී ලාල් හැදින්විය හැක. අනතුරුව උපාලි පුවත්පත් ආයතනයේ 2000 දක්වා පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් සේවය කල ශ්‍රී ලාල් ලක්බිම පුවත්පත්වල ඡායාරූප කතුවරයා වූයේ 2000දීය. පසුව 2007දී හෙතෙම දිවයින සහ දි අයිලන්ඩ් පුවත්පත් සමූහයේ කතුවරයා විය. ඇමති නවීන් දිසානායකගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් වසර 2010 සිට කටයුතු කල ශ්‍රී ලාල් මියයන විටද එම ධූරය දැරීය.

dharman110816b03කොත්මලේ වේල්ල 1985 අගෝස්තු 24වැනිදා ජනාධිපති ජේ.ආර් ජයවර්ධන විසින් විවෘත කරන ලද අවස්ථාවේදී එහි මාධ්‍ය ආවරණයේ නිරතවන ශ්‍රී ලාල් ගෝමස් මෙහි රවුම්කර ඇත. ඇමති ගාමිණී දිසානායකද මෙහි වේ.

ඡායාරූපකරණය සහ ජනමාධ්‍ය ඡායාරූපකරණයේ ප්‍රවීණයෙකු වශයෙන් ඔහු නව පරපුරේ තරුණ තරුණියන්ට ඡායාරූපකරණය පිිළිබඳව ත්‍රෛමාසික පාඨමාලාවක් හඳුන්වා දෙමින් එය කිහිපවරක් පැවැත්විය. ජනමාධ්‍ය ඡායාරූපකරනයට අත්පොත් තැබීමට බොහෝ දෙනෙකුට එය ඉවහල්වූ බව නොරහසකි. සිය සහෝදර ඡායාරූප ශිල්පීන් සමඟද සමවිටම ඔහු කටයුතු කරන ලද්දේ කණ්ඩායම් හැගීමකි. පුවත්පත් ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වසර කිහිපයක්ම කටයුතු කළේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

dharman110816b04ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදිමේ වැඩසටහනක් කොළඹ කොටුව දුම්රියපොල අසළ මාධ්‍ය ආවරණයකල පුවත්පත් ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුට මැරයින් විසින් පහරදී කැමරා විනාශ කල අතර ශ්‍රී ලාල් ඇතුළු කිහිපදෙනෙකුගේ නායකත්වයෙන් පුවත්පත් කැමරා ශිල්පීන්ගේ සංගමය ඔවුනට අලුතින් කැමරා ලබාදුණි. මේ එම උත්සවය ගෝල්ෆේස් හෝටලයේ 2003 පැවති අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ අදාළ කැමරාවක් ජායාරූප මාධ්‍යවේදියෙකුට ලබාදුන් අවස්ථාවකි. මැද සිටිනේනේ සංගමයේ සභාපති ශ්‍රී ලාල් ගෝමස්ය.

සිය ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශන 3ක් ඔහු විසින් පවත්වන ලදී. දෙවන ප්‍රදර්ශනය 2010 අගෝස්තු මස ජාතික කලා භවනේදීද, තෙවන සහ අවසාන ප්‍රදර්ශනය 2013 නොවැම්බර් මස කොළඹ හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය සරසවි කලාගාරයේ පැවැත්විණි. එම ප්‍රදර්ශනය සඳහා රුපියල් ලක්ෂයක සම අනුග්‍රහයෙකු සොයාදීමටද  ලියුම්කරු මැදිහත් විය. අවසාන ප්‍රදර්ශනයෙන් පසු ශ්‍රී ලාල් කියා සිටියේ ඡායාරූප ප්‍රදර්ශන මින් නිමාවන බවත් තමාගේ මාධ්‍ය ජීවිතයේ ස්වයං ලිඛිත චරිතාපදානයක් එළිදක්වන බවත්ය. ඔහු ලියූ එම චරිතාපදානය තිත්ත රස මැයින් 2016 අගෝස්තු මස 25වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පස්වරු 3ට දොරට වැඩීමට කටයුතු යොදා තිබිණි. ඒ පිළිබඳව හිතවතුන්ට දුරකථනයෙන්ද ශ්‍රී ලාල් දැනුම් දුන්නේය. නමුත් එයට පෙර ඔහු සමුගත්තේය.

dharman110816b05ශ්‍රී ලාල්ගේ තෙවන ඡායාරූප දැක්ම 2013 නොවැම්බර් 29 සහ 30 කොළඹ හෝටන් පෙදෙසේ සෞන්දර්ය සරසවියේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේ පැවති අවස්ථාවේදී ධර්මන් වික්‍රමරත්න පොල්තෙල් පහන දැල්වූ අවස්ථාව. මෙහි ශ්‍රී ලාල්ගේ බිරිඳ මියුරිල්ද, ප්‍රධාන ආරාධිත ඇමතිවරුන් වූ නවීන් දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක, සබරගමු මහඇමති මහීපාල හේරත්, සිනමා නළු සනත් ගුණතිලක ඇතුළු පිරිසක් වේ. මෙම ඡායාරූපය ගනු ලැබුවේද ශ්‍රී ලාල් ගෝමස්ය.

ශ්‍රී ලාල් සාර්ථක සහ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කල අයෙකි. ඔහුගේ සෙවනැල්ල මෙන් සිටියේ බිරිඳ මියුරිල්ය. ශ්‍රී ලාල්ගේ දියණිය කාංචනා නිරෝෂාද, පුතුන්වූ ශ්‍රීකාන්ත සහ ශ්‍රීනාත් ගෙන් පමණක් නොව බෑනණුවන් වන දර්ශනද ඔහුට සවියක්ම විය.

 

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress