වර්තමානයේ ජීවත්වන්න !
Posted on August 13th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

‘වර්තමානයේ ජීවත් වන්න’ යි බුදුන් වහන්සේ පවසා ඇති බව පාර්ලිමේන්තුවේදී  මතක් වූයේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාටය. එය සිදු වූයේ 2016 අගෝස්තු 11 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් ‘අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය’ පිහිටුවීමේ පනත සම්මත කරගැනීමෙන් අනතුරුවය. මේ විවාදය සිදු වෙත්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස සභා ගැබ මැදට පැමින විරෝධතාවක නිරත වූ අතර ඒ කාලය තුල ආසනවල රැඳී සිටි පිරිස සමග පනත සම්මත කර ගැනීමට රජය කටයුතු කලේය. ඒ ගැන කතාකල ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉහත ප්‍රකාශය කලේ ‘දැන් ඉතින් පනත සම්මත වී ඉවරයි’ කියමිනි. මේ වන විට මේ අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය පිලිබඳ පනත ශ්‍රී ලංකාව තුල තවත් අවුලක් මවා තිබේ.

මෙයට හේතු වූයේ මේ පනත සම්මත කර ගැනීමේදී රජය විසින් අනුගමනය කල විනිවිද භාවයෙන් තොර ප්‍රතිපත්තිය සහ මෙය සම්මත කර ගැනීමට දැක්වූ කඩිමුඩියයි. විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යංශයට අනුබද්ධ රජයේ ක්‍රියාකාරී කණ්ඩායම සහ උපදේශකත්ව මණ්ඩලය විසින් මෙම පනත් කෙටුම්පත සකස්කල පසුව එය සාකච්ඡාවට ගැනීම සඳහා 2016 මැයි 9 වන දින කොළඹදී පවත්වන ලද වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව ලැබී තිබුනේ සීමිත පිරිසකටය. එය සිදුවූයේත් එම රැස්වීම පිලිබඳ දැනුම් දුන් කාල පරාසයේ කෙටි බව නිසාය. එබැවින් මෙයට කොළඹ හා කොළඹ අවට ක්‍රියාත්මක වන මානව හිමිකම් පිලිබඳ ක්‍රියාකාරී කණ්ඩායම්වලට හැරුනකොට දුර බැහැර පෙදෙස්වල සිටිමින්, අතුරුදහන්වූවන්ගේ පවුල් සමග ඍජුව කටයුතු කරන සිවිල් සංවිධාන වලට සහභාගිවීමට ලද ඉඩකඩ ඉතා සීමිත විය. එමෙන්ම මේ පනත පාර්ලිමේන්තු ගත කිරීමට ප්‍රථම, මෙවැනි පනතක් ගෙන එනවා කීවා විනා එය සවිස්තරාත්මකව දැන ගැනීමේ අවස්ථාවක් ජනතාවට ලැබුනේ නැත. මෙම පනත පිලිබඳ තොරතුරු යුද්ධයට සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන්ට වැදගත්ය. මේ පිලිබඳ විනිවිද භාවය රැකීමේ වගකීම ඇත්තේ රජය අතේ මිස වෙනත් කිසිවකුන් හෝ අතේ නොවේ. එබැවින් තමන්ගේ කාර්යය හරි හැටි නොකර ඒකාබද්ධ විපක්ෂයට දොස් නැගීමට ඔවුන්ට නොහැකිය. මන්ද මෙවැනි කොලය වසා ගසන වර්ගයේ සෙල්ලම් වලදී ඊට ගැලපෙන පරිදි සෙල්ලම් කිරීමේ හැකියාව හා නිදහස අනිත් පාර්ශ්වයටත් ඇත. මෙම කාර්යාලයට විදේශ රටවලින්ද කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට නියමිතය. මේ තාක් දුරට ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් දෙස බැලූ පක්ෂග්‍රාහී ආකාරය ඉතා පැහැදිලිය. මේ සියලු කරුණු සලකා බැලීමේදී ජනතාව තුල සැකයක් ඇතිවීම පුදුමයක් නොවේ.

87-90 ජවිපෙ දෙවන කැරැල්ල සමයේදී මරා දැමුනු සංඛ්‍යාව 42,000 ක් පමන වන බව සංඛ්‍යා ලේඛණ දක්වයි. නමුත් නිල නොවන වාර්තාවන්ට අනුව එය 60,000 ඉක්මවයි. එනම් වාර්තා වූ මරණ සංඛ්‍යාවට අමතරව තව සෑහෙන සංඛ්‍යාවක් අතුරුදන් වූවන්ගේ ගොඩට වැටෙයි. ජවිපෙ නායක රෝහණ විජේවීර පවා මරා දැමුවා කියා දන්නවා විනා ඔහුගේ පාර්ශ්වයෙන් ඒ මල සිරුර දුටු අයෙක් නැත. වැලලූ තැනක් නැත. ඔහු සමගම අත්අඩංගුවට පත් වූ අනිකුත් ජවිපෙ ඉහල ක්‍රියාකාරීන් වූ උපතිස්ස ගමනායක ඇතුලු අයගේ කතාවද මෙයට සමානය. මේ අය වෙඩි තබා ආදාහනාගාරයට විසිකර දැමුවා කීවා විනා ඔවුන්ගේ අලු කලඳක්වත් දුටුවේ නැත. 1999-2001 වසරවල මොණරාගල දිස්ත්‍රික්කයේ වැන්දඹු කාන්තාවන් සමග මා වැඩ කරද්දී, එහි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම ඒකරාශී වූ කාන්තාවන් අතර සැමියා අතුරුදහන් වීම නිසා වැන්දඹු ලෙස සැලකෙන කාන්තාවෝ බොහෝ සංඛ්‍යාවක් වූහ. ඔවුන්  මුහුණ දී සිටි නීතිමය හා සමාජීය ප්‍රශ්ණ රාශිය සාක්ෂාත් වන විට ඔවුන්ට ඉටු විය යුතු සාධාරණත්වය කිසිදු රජයකින් ඉටු වුනේ නැත.

කෙසේ වුවද එදා ශ්‍රී ලංකාව තුල පැන නැගුන මේ ප්‍රශ්ණය දෙස ජාත්‍යන්තරය බැලුයේ එය රට තුල සිදුවන අභ්‍යන්තර ගැටුමක් ලෙස පමනි. ඔවුන් සිටියේ එය අපම විසඳා ගත යුතුය යන ස්ථාවරයේය. එදා ජවිපෙ කලේ ‘ඉල්ලන් කෑමක්’ ලෙස ඔවුන් නොදුටුවා නම් අද, එදා වධකාගාර පවත්වාගෙන ගිය නායකයන් මුල් පුටුවල වැජඹෙන වත්මන් රජයට මෙතරම් සෙනෙහස පාන්නේ නැත. අනික අද ජවිපෙ එජාපය සමග කටයුතු කරන ආකාරය තුල මේ දෘශ්ඨිය වඩාත් සාධාරණීකරනය කරයි. හරියට බත් හැලිය ඉදෙන තෙක් තිබූ ගෙදර රණ්ඩුවක් මෙනි. නමුත් ශ්‍රී ලංකාවේ සිදු වූ වර්ගවාදී යුද්ධය දෙස ඔවුන් බලන්නේ අසල්වාසී රටක් ආක්‍රමණය කර ගණනටය. පක්ෂග්‍රාහී බවකින් තොරව ‘ශ්‍රී ලාංකිකයන්ගේ’ මානව හිමිකම් ගැන ජාත්‍යන්තරය සැලකිලිමත් වේ නම් 80 දශකයේ අග අතුරුදහන් වූයේත්, මරා දැමුනේත්, වර්ගවාදී යුද්ධය තුල අතුරුදහන් වූ සහ මරා දැමුනු ද්‍රවිඪ ජාතිකයන් බඳුම ශ්‍රී ලාංකික මනුෂ්‍යයන් බව ඔවුන්ට දැනිය යුතුය. එදා ජවිපෙ දෙවන නැගිටීමෙන් පසුවද ජීවිත ආරක්ෂාව පතා පිටරටවලට පලා ගිය ශ්‍රී ලාංකික පිරිසක් සිටියහ. නමුත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැනි ආයතන ඒ සිද්ධීන්වලට බරක් යෙදුවේ තනි තනිව සලකාගෙනය. ඉතින් මේ කරුණු තුල අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලයට අනුයුක්ත වන විදේශිකයන්, ජවිපෙ දෙවන කැරලි සමයේ අතුරුදහන් වූවන් පිලිබඳ පැමිණිලි දෙස කුමන ආකාරයකට බලාවිද යන්න නිශ්චයක් නැත.

මේ පනත රජය විසින් අනුමත කර ගත්තේ උපක්‍රමශීලීවය.එපමනක් නොව අවසානයේ ඒකාබද්ධ විපක්ෂයේ හැසිරීම නිසා තමන්ට කර ගැනීමට අවශ්‍ය වූ සංශෝධන කරගන්නටවත් ඉඩ නොලැබුන බව කියූ ජවිපෙ හි දෝෂ දර්ශනයට ලක්වීමටද ඔවුන්ට සිදුවිය. මේ සියල්ල අවසන ‘දැන් ඉතින් ඊයේ මේ පනත සම්මත කර ඇති නිසා බුදුන් වහන්සේ දේශනා කල පරිදි වර්තමානයේ ජීවත් වන්නැ’ යි ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

එම කියමන වඩාත්ම අදාල වන්නේ තම රජයට බව ඔහුට අමතක වී ඇත. මන්ද රජයක් ලෙස පත් වී වසරක් ගත වුවද තවමත් අතීතයේ ජීවත් වන්නේ ඔවුන්ය. රජයේ කටයුතු ගැන මාධ්‍යය ප්‍රශ්ණ කරන සැම විටෙකම ඔවුන් පවසන්නේ පසුගිය රජයේ වරදක්ය. ජනාධිපතිවරයා කොතැන කුමකට කතාවක් පවත්වන්නට ගියත් රාජපක්ෂ නම ඇදගත්තේ නැතිනම් ඔහුට මාන්දම හැදෙනවා බඳුය. මේ මෑතකදී ඔහු පැවසුවේ තමා ‘හැමදාම’ අසන ප්‍රශ්ණයක් නම් බලයේ ඉන්නට තව වසර 2 ක් තිබියදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයක් කැඳෙව්වේ ඇයිද යන්නයි. ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රකාශයට අනුව මෙයට පිලිතුර සරළය. දැන් ඉතින් ජනාධිපති තමා බැවින් දැන් අතීතයට එක්ව ඇති ඔය ප්‍රශ්ණය, තම මනසට වදදෙන ලොකුම ප්‍රශ්ණය කර නොගෙන රටේ දිනෙන් දින මතුවන ප්‍රශ්ණවලට පිලිතුරු සෙවීමට ජනාධිපතිවරයා උනන්දු විය යුතු බවයි. මන්ද අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යනු යුධ අධිකරණයක්කරා යෑමේ පලමු පියවර බව ජනතාවට හැඟී ගොස් ඇත. මේ කටයුතු තුල විදේශ මැදිහත් වීම් වලට තමා ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දුවක් දී තිබේ. නමුත් අද විදේශ ඇමතිවරයා හෝ අගමැති ඇතුලු රජයේ එජාප කණ්ඩායම ජනාධිපතිවරයාට සත පහකට නොසලකන බව පෙනේ. එමෙන්ම දැන් රජයට එක්ව සිටින සන්ධාන මන්ත්‍රී කණ්ඩායමට සිදුවී ඇත්තේ වත්මන් රජයේ කුණු සේදීමට පමනි.

මේ පනත තුල සරත් ෆොන්සේකාට සිදුවනු ඇත්තේ රජයේ සාක්ෂිකරුවකු බවට පත්වීමට පමනක් බව ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු පැවසීය. එය දැනටමත් සිදු වී හමාරය. ඔහු මහින්ද රාජපක්ෂට එරෙහිව කරලියට පැමිනියේම ‘සුදු කොඩි’ කතාව කියාගෙනය. කෙසේ වුවද සුදු කොඩි ඔසවාගෙන පැමිනි අනිත් පාර්ශ්වයේ අයට වෙඩි තබන සෙබලුන් සිටියා නම් එය රජයේ හමුදාවේ විනය පවත්වා ගැනීමේ යාන්ත්‍රණයේ වරදකි. ඊට වගකිව යුතු හමුදාපතිය. එබැවින් මේ කාර්යාලය හරහා හෙලිදරව් වන දේ තුල ඔහුටද වග කියන්නට සිදුවනු ඇත. මන්ද මන්ද මේ යුද්ධය සතියක් දෙකක් පැවති යුද්ධයක් නොවේ. එය පැවති තිස් වසර පුරාම අදාල දෙපාර්ශ්වයෙන්ම ඊට ගොදුරු වූවෝ බොහෝය. පක්ෂග්‍රාහිත්වයකින් තොරව මේ සියල්ලන්ටම සාධාරණය ඉටු වනවා නම් එහි වරදක් නැත. නමුත්?

එමෙන්ම සජිත් ප්‍රේමදාස ඇමතිවරයාද, ලක්ෂ්මන් කිරිඇල්ලගේ වර්තමානයේ ජීවත් වන න්‍යාය පිලිපදින අයෙකි. ගම්බද ජනතාවට තම සුපුරුදු මහප්‍රාණ භාෂාවෙන් ‘පාදඩ යාත්‍රාව’ ගැන කියමින් යාම ඔහු තවමත් අවසන් කර නැත. 2013 ඔක්තෝබර් 5 වන දා එජාප නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව දෙවිනුවර සිට කොළඹට එන්නට එජාපයේම මෙෙත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක ඇතුලු පිරිස ඇරඹූ පාද යාත්‍රාවට එජාපයෙන්ම වැදුනු කුරුඳු පොලු ප්‍රහාරය ඔහුට අමතක එබැවිනි. ‘පැරදුනා ඇති’ යන සටන් පාඨයද ඉස්සර කරගෙන ඇරඹූ එම පාද යාත්‍රාවට තම පක්ෂයේම රනිල් හිතවාදී පිරිසකගෙන් එසේ ප්‍රහාරයක් එල්ල වූයේ එයද පාදඩ යාත්‍රාවක් නිසාද යන්න සජිත් නම් දන්නවා ඇත. එදා ඔහු සිටියේත් රනිල්ට එරෙහි පිලේය. ඒ නිසාම ඒ පාදඩ යාත්‍රාවට ඔහුගේද දායකත්වයක් නොතිබුනා යැයි කිව නොහැකිය.

2015 ජනවාරි 09 වන දා ඇමති පදවියක් ලැබ වසරකුත් මාස 7 ක් ගිය තැනදී වත් වර්තමානයේ ජීවත් වන්නැ’යි බුදුන් වහන්සේ පවසා ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ලට මතක් වුනා නම් එය ලොකු දෙයකි. නමුත් ඉතින් මෙය ප්‍රායෝගිකව දිගටම අනිකුත් දේවල් සඳහාද අනුගමනය කරයි නම් වඩාත් අගනේය. මන්ද මේ දේශපාලකයින්ට බුදු බණ මතක් වන්නේත් තමන්ගේ වාසියට බැවිනි. අනික වාංචනික ලෙස පනතක් සම්මත කරගෙන ඒ වංචාව වසා ගැනීමට බුදු බණ ඇද ගැනීම තුල ඒ පනතේ අන්තර්ගතය සම්බන්ධවද මතු වන්නේ විචිකිච්ඡාවකි.

බුදු වදන් අනුව වැඩ කරනවා නම් බුදු බණ මෙසේ උපහාසයට ලක් කරනු වෙනුවට මේ රට කරවන උත්තමයන්ට පන්සිල්වල සිට, ඉතිපිසෝ ගාථාවේ සිටම බුද්ධාගම නැවත ඉගන ගන්නට පටන් ගන්නේ නම් යහපත්ය.

One Response to “වර්තමානයේ ජීවත්වන්න !”

  1. Wetta Says:

    අතුරුදහන් වුවන් අතුරුදහන් වුයේද අතීතයේ නිසා, කිරිඇල්ල විසින් වර්තමානයේ ජීවත්වෙන්න යැයි අනුන්ට බන කියමින් අතුරුදහන් වුවන්ගේ අතීතය හාරා ඇවිස්සීමට පනතක් ගෙනෙන විට රටේ ජනතාවට වැදිබණ දෙසන්නන්ගේ අසරණ වැදූ මවුවරු සිහියට ඒම නොවැලැක්විය හැකියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress