53’ හර්තාලයට දැන්  වසර 63යි
Posted on August 15th, 2016

ධර්මන් වික්‍රමරත්න

දිනය : 1953 අගෝසතු 12වැනිදාය.ඇය නමින් ඇසි අක්කාය. මොරටුව පදිංචිකාරියකි. රතුකොඩියක් අතින් ගත් ඇසි අක්කා ධාවනය වෙමින් තිබෙන දුම්රියට රතුකොඩියක් අල්ලා නැවතුන පසු රියදුරු සහ සේවකයින් බිමට බස්සවන ලදී. අනතුරුව එහි රැස්වූ කාන්තාවන් සමඟ දුම්රිය ඇන්ජිමේ ගිනිගනිමින් තිබූ ගල්අගුරු සියල්ල ඉවතට ඇද දමා දුම්රිය ක්‍රියා විරහිත කළේය. ඉන් නොනැවතී කිසිදු දුම්රියක් ඉන් ඔබ්බට ගෙන යෑමට නොහැකි වන සේ රේල් පීලිද ගලවා දැම්මෝය. සැනකින් පැමිණි හමුදා භටයින් ඔවුනට තුවක්කු එල්ල කළහ. ඇසි අක්කා සිය හැට්ටය ගලවා තමාගේ පපුවට වෙඩි තියන ලෙසට ඉල්ලා සිටියාය.

කලහකාරි පිරිස් රොක්වන ස්ථාන සොයා එදිනම පියාසර කල අහස් යානයකට පොල්ගසක් උඩට නැඟගත් මිනිසෙකු විසින් වෙඩි තබන ලදී. වෙඩි පහරින් අහස් යානය බිමට පතිත නොවූවද අලාභහානි සිදුවිය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

මේ හරියටම මෙයට වසර 63කට පෙර එනම් 1953 අගෝස්තු 12වැනිදා පැවති හර්තාලයේ සිදුවීම් දෙකකි. එය වූ කලී ලාංකීය කම්කරු ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ තීරණාත්මක අවස්ථාවකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් 1948 මිදීමෙන් අනතුරුව ඇතිවූ ප්‍රථම බහුජන නැගිටීමද එය විය. යටත් විජිත ගහණයෙන් මිදුණු ශ්‍රී ලංකාව තුළ නැවත ආර්ථික සමාජීය සහ සංස්කෘතික නිදහස තහවුරු කිරීම වෙනුවට තවදුරටත් විදේශ මූල්‍යායතනවල යෝජනාවලට ගොඳුරුවීම මෙම නැගිටීමට පාදකවූ ආසන්නම හේතුව වේ.

පනස් තුනේ හර්තාලය පැන නැග්ගේ රජය ජනතාවගේ සැබෑ වුවමනාවන් අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයන්ට යටකිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. එමෙන්ම එය නොදියුණු හා පරිහානියට පත්වෙමින් තිබූ යටත් විජිත ආර්ථික ක්‍රමයේ පිළිඹිඹුවක්ද විය. සහල් සලාකය ඉවත් කිරීම, පාසැල් ලමුන්ගේ දිවා ආහාරය ඉවත් කිරීම, තැපැල් ගාස්තු සහ දුම්රිය ගාස්තු ඉහළ දැමීම, ජනතාව පීඩනයට ලක්කිරීමට හේතු විය.

dharman16081602දීප ව්‍යාප්ත හර්තාලයක් පවත්වන බවට ගත් තීන්දුව දැනුම්දීම සඳහා 1953 අගෝස්තු 11වැනිදා ගෝල්ෆේස් පිටියේ රැස්වීම අමතන ආචාර්ය එන්.එම් පෙරේරා.

ශත 25ට සපයන ලද හාල් සේරුව ශත 70 දක්වා වැඩිවීම ඇතුළු අතවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම, ප්‍රවාහන ගාස්තු වැඩිවීම ආදීය සෘජුවම බලපෑවේ නාගරික කම්කරුවන්ටය. එහෙත් හර්තාලයට එක්වූ පිරිස වන කම්කරුවන්, ලිපිකරුවන්, ගරුවරුන්, ගොවින්, සිසුන්, නිලධාරින්, කාන්තාවන්, භික්ෂූන් ඇතුළු පිරිස එයට එක්වූයේ කිිසිදු භේදයකින් තොරවය. කම්හලේ, ගොවිබිමේ, වැඩපොලේ, සරසවිය ඇතුළු විවිධ කේෂේත්‍රයන්හි පිරිස් අතර විරෝධතා ව්‍යාපාර පැන නැගුණේ මුළුමනින්ම සැලසුම් සහගත නොවේ.

මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන විසින් 1953 ජුලි 23වැනිදා ඉදිරිපත් කල අයවැය යෝජනාවලට ඇරඹුණු විරෝධතාවයන් 1953 ජුලි අවසානය වනවිට උණුසුම් ස්වරූපයක් ගෙන තිබිණි. කොළඹ, කැලණිය, අරකාවිල, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, වැලිගම, ගාල්ල, මාතර, රත්නපුරය, මඩකලපුව, යාපනය ආදී විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ, රැස්වීම්, කළුකොඩි දැමීම්, කෑම පැයේ විරෝධතා සහ පිකටින් වැනිදෑ පැවැත්විණි.

වෛද්‍ය එස්.ඒ වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ලංකා කොමියුනිස්ට් පක්ෂය, ආචාර්ය එන්.එම් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්ෂය, පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් විප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂය 53 හර්තාලයට නායකත්වය දුන්නේය. එජාප විරෝධී සකලවිධි බහුතර කොටස්ද අරගලයට එක්වූයේ කොන්දේසි විරහිතවය.

dharman16081603හර්තාල සටන්කාමියෙකු පහරදී පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවක්

හර්තාල සංවිධායකයෙක් පැවසූ පරිදි හර්තාල සංවිධානයට උරදුන් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු පවසා ඇති අන්දමට ඉර හඳ පවතින තුරු හාල් සේරුව ශත 25ට දෙනවා කියූ ආණ්ඩුව හිටි හැටියේ එය ශත 70 ක් කිරීම පාසැල් සිසුන්ගේ කිරි, බනිස් අහෝසි කිරීම වැනි දෑට එරෙහිව ආණ්ඩුවට එරෙහිව මෙම නැගී සිටීම සිදුවිය. එම විරෝධතාවන්හි අවසාන ප්‍රතිඵලය අගෝස්තු 12 හර්තාලය වේ. හර්තාලය යනු ඉන්දියාවේ කෙරුණාක් මෙන් සිවිල් නීති කල කිරීමක් බව පසක් විය. වසර 1953ට පෙර ශ්‍රී ලංකාවේ එවැනි හර්තාලයක් දකින්නට නොලැබිණි.

හර්තාල් තීරණය ගනු ලැබුවේ ලංකා කම්කරු සමිති සම්මේලය මෙහෙයවීමෙන් 1953 ජුලි 20 පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති සාකච්ඡාවකදීය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති වලට විරෝධය දක්වමින් එක්දින සංකේත වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් රටපුරා පැවැත්වීමට එහිදී තීරණය විය. මෙයට පෙරහුරුවක් ලෙස වරාය කම්කරුවන් දහස් ගණනක් 1953 ජුලි 21වැනිදා පැය 3ක සංකේත වර්ජනයක් කරමින් ප්‍රථම ප්‍රහාරය දියත් කලහ. රත්මලාන දුම්රිය කම්කරුවන් දහස් ගණනක්ද බලධාරින්ගේ කාර්යාලය වටලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් එදිනම දියත් කළහ. පෑලියගොඩ තරුණ සංගමය 60,000කගේ අත්සනින් යුත් පෙත්සමක් ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට භාර දුන්නහ. සුපුරුදු පරිදි වර්තමානයේ මෙන් එදාද ආණ්ඩුවේ පුවත්පත් මෙම උද්ඝෝෂණ හැදුන්වූයේ රාජ්‍ය විරෝධී කඩාකප්පක්කාරි වැඩ ලෙසය.

dharman16081604මාර්ග බාධක යොදා ගනිමින් පාර අවහිර කරගෙන සිටින විරෝධතා කරුවන්ට කළුතරදී පහරදී පලවා හරින අයුරු.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහිව විපක්ෂයේ පක්ෂ සහ වෘත්තිය සමිතිවල රැස්වීමක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ගෝල්ෆෙස් පිටියේ විශාල ජන සහභාගිත්වයකින් පැවැත්විය. මෙදින පාර්ලිමේන්තුව වැටලුවායැයි කියමින් 50,000කට පමණ පිරිස පොලිසිය මගින් කඳුළු ගැස් සහ බැටන් ප්‍රහාරයක් එල්ලකර පලවා හරින ලදී. මේ අතර රජයේ අයවැය යෝජනාව අගෝස්තු 7 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිමෙන් පසු පක්ෂව වැඩි ඡන්ද 23ක් ලැබීමෙන් දෙවන වර කියවා සම්මත කරගනු ලැබීය.

හර්තාලය වෙනුවෙන් කම්කරු සමිති කල ආයාචනයේ මෙසේද සදහන් විය. ‘ රෝහල්, ඩිස්පැන්සරි, සහ වෛද්‍ය ආයතනවල සේවය කරන්නන්ද, එම ආයතන වලට ආහාර සහ ඖෂධ සපයන්නන්ද, එදින වැඩ කල යුතුය. ඔවුහු එසේ වැඩ කිරීමේදී කළු පටියක් පැලදීමෙන් තම විරෝධය පලකල හැකිය.’ මවිබිම සහ සමසමාජයේ පුවත්පත් සටන මුවහත් කළහ. කොළඹ නගරයේ 1953 අගෝස්තු 11වැනිදා එන්.එම්, කේනමන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් රැස්වීමක්ද පැවැත්විණි. පේරාදෙණිය සරසවි සිසුන් පොලිස් බැටන් ප්‍රහාර නොතකා මහනුවර නගරයේ පෙලපාලි ගියෝය.

dharman16081605හර්තාලයට සහාය පළකරමින් වසා දැමූ කඩසාප්පු බලහත්කාරයෙන් විවෘත කරන පොලිස් භටයින්

අගෝස්තු 12වැනිදා හිමිදිරිය උදාවිය. වර්ජන, පෙළපාලි, සත්‍යග්‍රහ, උද්ඝෝෂණ, උපවාස ඇරඹිනි. විශේෂ සංචාරක පොලිස් බලඇණි 500කට අධික ගණනක් ජනතා ආරක්ෂාව සඳහා කැදවූ බව රජය ප්‍රකාශ කෙරිණි. කඩසාප්පු වැසිණි. ඇතැම් ස්ථානයන්හි පොලිසිය ඒවා බලහත්කාරයෙන් කඩා විවෘත කළේය. රජයේ සහ පෞද්ගලික කර්මාන්ත ශාලාද, බස්, දුම්රිය සේවාද ඇණ හිටිනි. දොම්පෙ, අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ, නුගේගොඩ, පානදුර තත්ත්වය වඩාත් නොසන්සුන් විය. මහමාර්ග වල කාන්තාවන් ඉවුම් පිහුම් කරන්නට විය. මහාමාර්ග කිහිපයකට ගමනාගමනය කල නොහැකි ලෙසින් අවහිර කර තිබිණි. ස්ථාන කිහිපයකට රේල් පීලි ගලවා දුම්රිය ධාවනය නතර කර තිබිණි. කිරුලපන පෙදෙසේ ප්‍රෙට්ට්‍රල් බවුසරයක් ගිනිගෙන පිපිරිණි.

dharman16081606දුම්රිය මාර්ගය මොරටුවේදී රේල්පීලි දමා උද්ඝෝෂණකරුවන් විසින් හරස්කර තිබු අන්දම

මේ සියළු හර්තාල්, උද්ඝෝෂණ, අතරතුරදී රටේ සිවිල් පාලනය මුළුමනින් ඇන හිටිනි. ආණ්ඩුවේ කැබිනට් රැස්වීම පවා තිබුනේ නැවකය. හර්තාලය අතිමහත් ලෙස සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස අගොස්තු 13 සහ 14 යන දිනවල හර්තාල් විරෝධතා ඇදී ගියේය. ඒ අතරතුර අගෝස්තු 13වැනිදා හර්තාලය තවදුරටත් ගෙනයෑම අනතුරක් වශයෙන් සලකමින් කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය සහ විප්ලවකාරි සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි නායකයින් වන පීටර් කේනමන් සහ එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන හර්තාලය නතර කොට නැවත වැඩට ගොස් තම තමන්ගේ කටයුතු කරගෙන යන ලෙසට ජනතාවට ආයාචනය කළෝය. හර්තාලය නිසා ජේ.ආර් ජයවර්ධනට මුදල් ඇමති තනතුරින් ඉවත්විමටද සිදුවිය.

සටන් මර්ධනය කිරීමට යෙදූ පොලිස් සහ හමුදා සමඟ ඇතිවූ ගැටුම් තුළින් කිහිප දෙනෙක් මිය ගියහ. රජය මගින් එදින හවස හදිසි නිිතිය පනවන ලදි. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතියද පැනවිය. මව්බිම සහ සමසමාජ පුවත්පත් මුද්‍රණය කරන මුද්‍රණාලවලට සීල්තබා පුවත්පත් පාලනයක් ඇතිකරන ලදී. හර්තාලයට සහභාගිවීමේ ‘වරදට’ ප්‍රාදේශීය නායකයින් සහ ක්‍රියාකාරිකයින් 499 දෙනෙකුට නඩු පැවරිණි.

dharman16081607හමුදා වෙඩි පහරට ලක්ව හර්තාලයේදී මියගිය පිටකොටුවේ කේ. එඩ්වින්ගේ දේහය අවසන් ගෞරවය සඳහා තබා තිබූ අයුරු.

පොලිස් වෙඩි තැබීම් නිසා විශාල පිරිසකට ජීවිත හානි සහ තුවාල සිදුවිය. රජයේ හමුදාව සමඟ ඇතිවූ ගැටුම්වලින් පලමුවරට මියගියේ පිටකොටුවේ එඩ්වින්ය. අගමැති ඩඩ්ලි සේනානායක 1953 අගෝස්තු 30වැනිදා ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් කියා සිටියේ 1953 අගෝස්තු 12 සහ 13 මියගිය සංඛ්‍යාව 8ක් බවය. එහෙත් මියගිය සංඛ්‍යාව 11කි. ඔවුන් අතර පිටකොටුවේ කේ. එඩිවින්, රත්ගම අල්මදුරගේ ඇල්ම්ස්, ඌරගහ එස්.එච් රූබල්, කිරුලපනේ පෙරියතම්බි, ටී. එම් පනාගොඩ, දොන් කටුවල ඒ. සාදිරිස්, සමූපකාර කලමනාකරුවෙක්වූ දොම්පෙ එස්.කේ.ඒ පියසේන, දොම්පෙ එස්. කේ. ඒ. වික්‍රමසිංහ පෙරේරා, කිරුලපන ටී. සිරිසේන, හික්කඩුවේ මාතුපාල සහ මෝදර ඩග්ලස් නිකලස් වේ. මෙය 1915න් මෙපිට 1953 අතර කාලසීමාව තුළ සිදුවූ විශාලතම මිනිස් ඝාතනය බවට හදුන්වා දෙනු ලැබීය.

ජීවිත11ක් බිලි ගනිමින් 1953 අගොස්තු මස ඇතිවූ හර්තාලයේ කම්කරු පන්තියට නිසි නායකත්වයක් දීමට වාමාංශික පක්ෂ අසමත් විය. හර්තාලයේ වාසිය පසුකාලීනව ශ්‍රිලනිපයට යෑමේ ප්‍රතිඵලයක් ලෙස 1956 මැතිවරණයේදී එජාප ආණ්ඩුවේ පරාජය සිදුවිය. සටන් තීරණ ගැනීම්, ඒවා ක්‍රියාත්මක කිරීම පමණක් නොව ඉන් උපරිම ප්‍රතිඵල නෙලා ගැනීමද, වෘත්තීය සමිති ව්‍යාපාරයේ වගකීමක් බව 53 හර්තාලය කම්කරු පන්තියට ලබාදුන් ලොකුම පාඩම බව බොහෝ දෙනාගේ මතය විය. (The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384)

 

ධර්මන් වික්‍රමරත්න

[email protected]

One Response to “53’ හර්තාලයට දැන්  වසර 63යි”

  1. Christie Says:

    ඉන්දියානු පරපෝසිත කොලඹ වෙලෙන්දන් හා ඉන්දියානු අදිරදය විසින් දෙනලද මුදලින් යැපුන ඇන් ඇම්. පිලිප්, බ්න්ඩ වැනි අය සින්හලයා ගොනාට ඇන්ඳ වීය. කම්කරු වියාපාරය පස්සෙන් සිටියේ ඉන්දියානු පරපෝසිතයන්ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress