ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (2 කොටස)
Posted on August 17th, 2016

චන්ද්‍රසිරි විජයවික්‍රම

වෙනම දෙමළ රටක් සඳහා වන ලෝක ව්‍යාපාරය වෙන රටවලද ආධාරය ලබාගෙන නැතිකරනවා යන්න සිරිසේන ජනාධිපති වරයාට කල නොහැකි දෙයක් වුවත් (වෙන රටවල් දෙමළ රටක් හදන්නට උදව් කරන නිසා ඔහුට කලහැකිදේ නම් ඒ රට ලංකාවේ කොටසක් කඩාගෙන බිහිවීම වැලැක්වීමය), ලංකාව බුදු දහමට අනුව පාලනය කරනවා යන අදහස ක්‍රියාවට නැගීම දුෂ්කර වුවත්, කරන්නට උත්සාහ කලහැකි දෙයක් යයි පෙනෙන නිසා මෙම රචනා පෙළ ලිවීමට සිතුවෙමි. මෙහි 1 කොටසේ සළකා බැලුවේ බුද්ධාගම හා දේශපාලනය අතර හිතකර සම්බන්ධයක් ඇති කල හැකි බවට පලවූ අදහස් කීපයකි. එවැනි අදහස් ඉදිරියට ඒමට මූලික හේතුවී ඇත්තේ මුළු ලෝකයම වසාගෙන දැන් ප්‍රචලිතව ඇති ප්‍රොටෙස්ටන්ට් ක්‍රිස්තියානි මූලධර්‍මවල අසාර්‍ථක වීමය.

ක්‍රිස්තු වර්‍ෂ 1500 වනවිට අප්‍රිකාවට, දකුණු ඇමෙරිකාවට චීන අධිරාජයාගේ  නැව් ගියත්, ඉන් පසුව අවුරුදු 500 ක පමණ කාලයක් බටහිර යුරෝපය හා ඇමෙරිකාව ලෝකය පාලනය කලේ ප්‍රොටෙස්තන්ත ක්‍රිස්තියානි ආගමික සමාජ ක්‍රමයක්/රාමුවක් මතය. දැන් 2016 වනවිට චීනය නැවතත් අළුගසා දමමින් නැඟී සිටිමින් සිටී. 1917 සිට 1989 දක්වා පැවති රුසියන් සමාජ ක්‍රමය පුද්ගලයා වෙනුවට ආණ්ඩුවේ ඕනැැෙපාකම් ඉස්මතු කල අවධියක් විය.  අනිත් අතට ක්‍රිස්තියානි ධනවාදී ක්‍රමයට අනුව කොම්පැනිවලට පණ ඇති පුද්ගලයෙකුසේ හැසිරීමට නීතිමය බලයක් ලැබුණේය.

බුදු දහම අනුව කිසිම පුද්ගලයින් දෙන්නෙක් එකහාසමාන නොවන නිසා මහාචාර්ය ඩබිලිව් එස් කරුණාරත්න කියූ පරිදි සන්තානගත (පුද්ගල) හා බාහිර (සමාජීය, පොදු) යන විප්ලව දෙකම වැදගත් වන්නේය. එහෙත් ධර්මිෂ්ට සමාජයක් සඳහා උගුර ලේ රහ වනතුරු චන්ද රැස්වීම්වල 1977 දී ජේ ආර් වෙනුවෙන් (දැන් කාලයේ යෙදෙන වචනයක් වන) කඩේ ගිය ඔහු වැඩිකල් නොගොස් ඒ ගැන කළකිරීමට පත්‌විය. මේ දේම 2015 ට පසුව ඉතාම කෙටි කාලයකින් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ටද අත්‌විඳින්නට සිදුවුනු හැටි අපි දුටුවෙමු.

බාහිර විප්ලවය වෙනුවෙන් සන්තානගත විප්ලවයක් කල කෙනෙක් පිළිඹද කදිම නිදර්‍ශනය නම් ධ්‍යානයට සමවැදී ගිනිතබාගෙන දිවිපිදූ වියට්නාම් ජාතික භික්‍ෂුව තිච් ක්වාන් ඩක් (1963 ජූනි) තුමාය. ඔහුගේ හදවත පිච්චී තිබුණේ නැත. ඒ සිද්ධිය දුටු ඇමෙරිකන් ජනාධිපති ජෝන් එෆ් කෙනඩි, දකුණු වියට්නාම් කුරිරු ජනාධිපති කතෝලික ඩින් ඩියම්ව ඉවත් කිරීමට තීරණය කලේය. ඔහුව ඝාතනය විය. මෙම බාහිර විප්ලව අදහස ක්‍රියාවට නැගීමට ඇති අවකාශය තවත් ආකාරයකින් ඉදිරිපත් කල අයෙක් නම් ස්මෝල් ඊස් බියුටිෆුල් (1973) යන පොත ලියූ  බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥ ෂූමාකර් ය. බුඩිස්ට් ඉකොනොමික්ස් යන අදහස ගෙනාවේ ඔහුය. බුද්ධාගමේ ඇති මධ්‍යම ප්‍රතිපදාවට, ගාන්ධි ඉන්දියාවේ පංචයාත් සංකල්පයට, හා  අතීත සිංහලේ ගම-වැව-දාගැබ යන ත්‍රිත්වයට මෙය ගැලපුනේය.

යුරෝපයේ ප්‍රොටෙස්ටන්ට් රාමුව තුල ජීවත්වූ තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, රූසෝ, ඇඩම් ස්මිත්, ජෙරමි බෙන්තම්, මොන්ටෙස්කි, කාල් මාක්ස් වැනි අය කලේද මෙම පුද්ගල-පොදු (සන්තානගත-බාහිර) සම්බන්ධය ගැන ඔට්ටු වීමය. පුද්ගලයා පාලනය කිරීමට සුදුසු ආණ්ඩුක්‍රමය කුමක්දැයි තර්‍ක කිරීමය. ක්‍රිස්තියානි ලෝකය තුල මිනිස් ජීවිතය පාලනයවූ අන්දමට කදිම උදාහරණයක් නම් සබත් දිනය යන අදහසය.  සන්ඩේ/ඉරිදා මුළු ලෝකයේම නිවාඩු දිනය විය. දැනට මෙය නැත්තේ අරාබි රටවල පමණය. ලංකාවේද ඩඩ්ලි සේනානායක -දෙමළ සභාග ආණ්ඩු කාලයේ සෙනසුරාදා-ඉරිදා වෙනුවට පෙර පෝය-පෝය නිවාඩු ඇතිකර අසාර්‍ථකවූ හැටි අපි දුටුවෙමු.

ක්‍රිස්තියානි ජීවන ක්‍රමයට අනුව ටෙන් කමාන්ඩ්මන්ට්ස්, සෙවන් ඩෙඩ්ලි සින්ස් හා ඊට ප්‍රතිවිරුද්ධව සෙවන් වර්චුස් (පුණ්‍ය ක්‍රියා) යම් පුද්ගලයෙකුගේ ජීවන රටාව හසුරවයි. සෙසු ආගම් වලද මෙවැනි හැසිරීම් රටාවල් පෙන්වා දී ඇත. මෙම ආගම් හා බුද්ධාගම අතර ඇති වෙනස නම් බුද්ධාගම ආගමක් නොව ජීවන ක්‍රමයක් (වේ ඔෆ් ලයිෆ්) යන මතයය. මෙවැනි අදහසකට හේතුවන්නේ යම් දෙවියෙක් මිනිසා මැව්වේය, ඒ දෙවියන්ට මිනිසා කරන පව් වලට සමාව දිය හැකිය, අනිත් සතුන් මවා ඇත්තේ මිනිසාගේ ආහාරය පිණිසය, මිනිසාට පුනරුත්පත්තියක් නැත, පුද්ගලයෙකු කියා ආත්මයක් ඇත යනාදී අදහස් බෞද්ධ දර්‍ශනයෙන් පිළි නොගන්නා නිසාය. ඉතාමත් වැදගත් වෙනසක් වන්නේ බුද්ධාගම විශ්වාසය (ෆේත්) වෙනුවට විශ්ලේෂණය දිරි ගැන්වීමය (කම් ඇන්ඩ් එක්සැමින්, නොට් කම් ඇන්ඩ් බිලීව්). හැම දෙයක්ම අස්ථාවරය, චක්‍රීය ස්වභාවයෙන් යුතුය යන රීතියය. ග්‍රීක, චීන හා යුදෙව් අදහස් වලද තිබුණත් බුදු දහමේ පදනම මධ්‍යම ප්‍රතිපදාවය.

මෙසේ බුදු දහම දෙවියෙකු ගැන විශ්වාසය නොව මානසික විශ්ලේෂණය මත පදනම්වීම නිසා අන්‍යාගමිකයින් බුද්ධාගමට හරවා ගැනීමට ක්‍රියාකලයුතුය යන විෂබීජය බෞද්ධයින් අතර නැත. ක්‍රිස්තියානී හා ඉස්ලාම් ආගම් වල හරයක් වී ඇත්තේ චැරිටි (උදව්කිරීම) මඟින් ආගම පැතිරවීමය. බුද්ධාගමේ පන්සිල් පද පහ, අට සිල්, දසසිල් හා සමානවන අදහස් අන් ආගම් වලද ඇතත් මෙම අන් අය සිය ආගමට හරවා ගැනීම නමැති දේව කාරිය නිසා ලෝකයේ බොහෝ මිනිස් ව්‍යසන සිදුවී ඇත.

මෙම ලිපියේ දක්වා ඇති අදහස් පසුබිමක් වශයෙන් නොමැතිව, එසේ නැත්නම් දැණුම හා දැකුම යන අංශ දෙකම යමෙකු තුල නැත්නම් අද ලෝකයේ ඇති ප්‍රශ්ණ වලට බුද්ධාගමෙන් විසඳුම් සොයා ගත හැකිය යන කියමන අර්‍ථ ශුන්‍ය කියමනක් පමණක් වේ. ක්‍රිස්තියානි සමාජ රීති හා ධනවාදය නමැති මිනිසා විසින් මිනිසා සූරාකෑම නමැති ක්‍රමය එකට පෑස්සෙන්නේ කෙසේද? බයිබලයේ ලාස්ට් සපර් සිද්ධියේදී ජේසුතුමා කියා ඇති පරිදි දුප්පත්කම මේ ලෝකයෙන් තුරන් කල නොහැකි දෙයක්ද? සතියේ දවස් හයක කරන පව් ඉරිදා පල්ලියට ගොස් සෝදාගත හැකිද? ක්‍රිස්තියානී හා ඉස්ලාම් ආගම්වල ඇති මූලධර්‍ම වාදය (පොතක කියා ඇතිදේ  අකුරටම ක්‍රියාවට නැගීම), බුද්ධාගමටත් ආරුඪ කල හැකිද?

ලෝකයේ අද දක්නට ලැබෙන ආගම් ගැටීම් ලංකාවේද දක්නට ලැබේ. මේවා ආගම් ගැටීම්ද නැත්නම් දේශපාල ගැටීම්ද? මේ ගැටීම් යටගසා ඒ වෙනුවට මානව අයිතිවාසිකම් නමින් දෙයක් බටහිර පරණ යටත් විජිතවාදී රටවල් විසින් ඉදිරියට දමා ඇත. මේ අනුව බලෙන් අන් අයට ආගම පැටවීමට විරුද්ධවීම ඒ අයගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමකි.  මේ ගැන සොයා බලා අවශ්‍ය ඩොලර් හා අනිත් ප්‍රතිකර්‍ම ගැනීමට ඇමෙරිකාවේ විශේෂ රාජ්‍ය ආයතනයක් පිහිටුවා ඇති අතර එය වාර්ශිකව වාර්තාවක්ද එලියට දමයි. උදාහරණයක් වශයෙන් 2015 වාර්තාවට අනුව ලංකාවේ බොදු බල සේනාව ක්‍රිස්තියානි මූල ධර්‍ම වාදයට හා ශාරියා ඉස්ලාම් කාරයින්ට විරුද්ධව කල හඬ නැගීම් මානව හිමිකම් කඩකිරීමකි! මේ මතය අනුමත කරමින් ඉංග්‍රීසි පුවත් පත්වලට ලිපි ලියන එන් ජිිෝ ක්‍රිස්තියානි කාක්කන් ලංකාවේ එමටය. මේ නිසා බුදු දහමට අනුව රට පාලනය කරනවා යන ජනාධිපති සිරිසේනගේ කියමන හා ඉහත සඳහන් ඇමෙරිකන් නීතිය අතර ගැටුමක් ඇතිවිය නොහැකිද?

මීලඟ කොටසින් බෞද්ධ ජීවන ක්‍රමය හා එය සාධාරණ ලෙස ජීවත්වීම යනුවෙන් බටහිර අය පෙන්වන රීසනබල්නස් නම් සංකල්පයම බව එසේ නැත්නම් බෞද්ධ දර්‍ශනයේ හරයක් වන මධ්‍යම ප්‍රතිපදාව බව සලකා බලමු.  අදවන විට ලංකාවේ සැබෑවී ඇති කොසොල් රජතුමාගේ සීන දාසැය කෙසේ ඒ තැනට ආවේද යන්නද මෙහිදී වැදගත්වේ. සෝවාන් වූවා සකෘදාගාමි වූවා කියා සහතික දෙන තැනට බුද්ධාගම පිරිහුණේ කෙසේද? මෙය බුදු දහමේ කියන අනිත්‍ය ධර්‍මය නොවේද (සියළු සංස්කාරයෝ නැසෙන සුළුය)?

චන්ද්‍රසිරි විජයවික්‍රම

අගෝස්තු 16, 2016

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress