ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (3 කොටස)
Posted on August 22nd, 2016

චන්ද්‍රසිරි විජයවික්‍රම

ලංකාව බුදු දහමට අනුව පාලනය කරනවා යයි ලංකාවේ ජනාධිපති කියන විට, එය රටේ අනිත් ආගම් අදහන අයගේ මානව අයිතිවාසිකම් කඩකිරීමක් ය කියා ඇමෙරිකාවේ ඇති ලෝක ආගමික නිදහස ගැන සොයා බලා වාර්තා කරණ කොමිසම (ලෝක ආගම් පොලිස්කාරයා?) තීරණය නොකරාවිද? ඊට හේතුව එම කොමිසම මෝඩaෙසේ නැත්නම් එය ශතපහකටවත් වැඩක් නැති බුද්ධාගමට තැන දෙනවා වැනි ව්‍යවස්ථාවේ ඇති නපුංසක වගන්තිය වගේ බොරු කියමනක් පමණද? මෙවැනි කතා හා ක්‍රියා ඉරිදා වෙනුවටපෝය-පෙර පෝය සති අන්ත නිවාඩුව ගෙනාවා වගේ අතින් පාඩුවන වැඩද? කෙසේ වෙතත් අගමැති රනිල් ලිච්චවි ක්‍රමය ගැන කරන වංක පූචානම් කතාවලට වඩා අවංක භාවයක් (ආසයි-බයයි) ගමෙන් ආ සරම අඳින ජනාධිපතිගේ තිබෙනවා විය හැකිය.

බුදු දහමට අනුව රට පාලනය කරනවා යයි කියන කතාව බෞද්ධයෙක් වශයෙන් විශ්ලේෂණය කරන විට කාරණා කීපයක්ම මතුවේ. බෞද්ධයින් කොටස් හතරක් සිටී. භික්‍ෂු-භික්‍ෂුණී, උපාසක-උපාසිකා යනුවෙනි. බුද්ධාගම රැකගැනීම හා බුද්ධ ශාසනය රැක ගැනීම යනුවෙන් අංශ දෙකකි. මේ අංශ දෙකට සුද්දන්ගේ කාලයේ සිට වුනු හානි මොනවාද? ඒ හානි අවම කිරීමට 1948 න් පසු කලදේ මොනවාද? එසේ නැත්නම් හානි තව තවත් වැඩි වුනාද? ආණ්ඩුව (මන්ත්‍රී හොරු) බුද්ධාගමට අතගැසීම නොකලයුත්තක් නොවේද? අවම වශයෙන් බෞද්ධ ජනාධිපති කෙනෙක් විසින් කලයුතු දේ මොනවාද? මේ වගේ ප්‍රශ්ණ ඔබගේ හිතටත් නැගෙනවාද?

දැන් කාලයේ යමෙකුට සෝවාන්වුනා, සකෘදාගාමිවුනා කියා සහතික පත්‍ර දෙනවාමෙන් ආදි කතෝලික ආගමේද සල්ලි ගෙවා පව් සෝදාගැනීමේ ක්‍රමයක් පල්ලි පූජකවරුන් විසින් ක්‍රියාවට නගා තිබුණි. මෙම නෝට්ටු ක්‍රමය හැඳින්වුනේ ඉන්ඩල්ජන්ස් යන පොදු නාමයකිනි.
මෙවැනි ව්හිළු ක්‍රියාවලින් එලිවන්නේ මිනිසා හා සතා අතර ඇති වෙනස කෙතරම් පටුද යන්න නොවේද? ආහාර, භය, නින්ද හා කාමය සතුන්ට හා මිනිසුන්ට පොදු වුවත්, මනස-ධර්‍මය (යුක්තිය-සත්‍යය) ඇත්තේ මිනිසාටය.  හිරි ඔත්‌තප්ප (ලැජ්ජා බය) යෙන් ලැජ්ජාව ඇත්තේ මිනිසාටය. මෙම පෙරදිග ආදිකාලීන අදහස් කොපිකරමින් මැස්ලෝ නම් මනෝවිද්‍යාඥයා විසින් 1943, හා 1958 දී මිනිසාගේ ඕනෑ එපාකම් (නීඩ්ස්) වලට හේතුවන පියවරෙන් පියවරට ඉහලට යන මානසික බලපෑම් වල පිරමිඩයක් ඉදිරිපත් කලේය. උදාහරණයක් වශයෙන් යමෙක් හාමතේ ඉන්නවානම් ඒ තැනැත්තාට ක්‍රිකට් මැච් බලන්නට, ඔපරා නට්‍යයක් හෝ අභිධර්‍ම බණ දේශනාවකට ආශාවක් නැත.

මෙවැනි මිනිසුන්ගෙන් පිරි ලෝකයකට බුදු දහමින් ඉදිරිපත්කරන්නේ එක් එක් පුද්ගලයා විසින් අනුගමනය කළ හැකි මාවතකි, ජීවන ක්‍රමයකි. එම මාවත අයින්ස්ටයින්ගේ මැත් ෆෝර්මියුලා එකක් මෙන් ඉතාමත් සරලව ලියා පෙන්විය හැකිය. 4 එන් ටී+8 එන් පී යනුවෙනි. චතුරාර්ය සත්‍යය (ෆෝ නොබල් ට්‍ර‌ැත්ස්) හා ආර්ය අෂ්ටාංගික මාර්‍ගය (එයිට් නෝබල් පාත්) ය. ගැරට් හාඩින් නම් ජීව විද්‍යාඥයා විසින් කියන අයුරු බුදුන් වහන්සේ ක්‍රිස්තු පූර්‍ව 5 වන සියවසේ මෙවැනි මාර්‍ගයක් පෙන්වාදී ඇත. එය අනුගමනය කලා හෝ නොකලා කියා ඒ මගට හානියක් සිදු නොවේ. ඕනෑම ආගමක් අදහන, කැමති ඕනෑම කෙනෙකුට මේ මගේ යාහැකි නිසා මෙය යුනිව‌ර්‌සල් හා විද්‍යාත්මක මගකි. බුදු හාමුදුරුවන් සිටියත් නැතත් මේ මග, ඉර වටා පොළොව කැරකෙනවා මෙන් දිගටම පවතින සනාතන ධර්‍මයක් වැනිය.  පුද්ගල-පොදු ගැටුමේදී ඉතාමත් වැදගත්වන ට්‌රැජඩි ඔෆ් ද කොමන්ස් යන ධර්‍මතාවය (1968) ඉදිරිපත් කලේද හාඩින් ය. ඒ වනාහි තමාගේ පුද්ගලික වාසිය තකා පොදු දේපලට (අන් අයට?) හානි කිරීමේ මිනිස් ගතිය නොහොත් ප්‍රවනතාවයය (ආත්මාරක්‍ෂාව උදෙසා මිනීමැරීම-ඩොක්ට්‍රින් ඔෆ් සෙල්ෆ් ප්‍රිසවේෂන්?).

මාළු අල්ලන්න්ගේ පවුලකට සම්බන්ධ ජේසුස්තුමා රෝම අධිරාජ්‍යයේ ඒජන්තලා සමග ගැටී අවුරුදු කීපයක් පමනක් ජීවත්ව නැසී ගියේය. ඔහු කෙළින්ම ඒ කාලයේ දේශපාලනයට බැස  මිලිටන්ට් ක්‍රියා කලේය. බුදු හාමුදුරුවෝ රජ පවුලකින් පැමිණ අවුරුදු 70 ක් ලොවට සේවය කලේය. එතුමා කලේ මග පෙන්වා දීම පමණය. උන්වහන්සේ යමෙකුට අනිවාර්යයෙන්ම තරහකාරයින් ඇතිකරන දේශපාලනයට බැස්සේ නැත. රජ වරුන්ට, සිටානන්ට උපදෙස් දුන්නානම් දුන්නේ ඔවුන් ඇවිත් උපදෙස් ඉල්ලූ විට පමණය.  පෙන්වා දුන් මග ගැනීම හෝ නොගැනීම පුද්ගලික තීරණයක් විය. පුද්ගලයාගේ වෙනස්වීම මඟින් බාහිර සමාජය වෙනස්වේය යන්න එහි පදනම විය.

අද බොදු ජන පක්‍ෂයේ (බොදු බල සේනාවේ) සංකේතය වශයෙන් තෝරාගෙන ඇති නාගයා ලකුණ ජාතක කථාවලින් පෙන්වන එක් බෞද්ධ ලක්‍ෂණයක් මතුකරන්නේය. එක්තරා නියං සාගත කාලයකදී බොධිසන්ව නාගයා වතුර සොයමින් යද්දී මැහැලියකගේ කුස්සියේ ලිබ්බොක්කකට හිරවිය. මේ දුටු මැහැලිය දර පොල්ලක් ගෙන මේ ගැරඬියාට ගහන්නට සැරසුණේය. එවිට තමා ගැරඬියෙක් යයි සිතා මෙසේ හැසිරෙන මහැලියට අනතුරු අඟවීමක් වශයෙන් නාගයා පෙනේ පුප්පා දෂ්ට කරන්නට මෙන් ඉදිරියට ආවේය. ඒ දුටු මැහැළිය අනේ නාග රාජයන් වහන්ස මම හිතුවේ ඔබතුමා කැලේ යන ගැරඬියෙක් කියාලයි, කරුණාවෙන් මට අනුකම්පාකර මගේ කුස්සියෙන් ඉවත්‌වී යනු මැනව කියා වැඳ සිටියාය. බලය පෙන්විය යුතුතැන බලය පෙන්වීමේ අවශ්‍යතාවය මේ කතාවෙන් හොඳින්ම පැහැදිලි නොවේද?

සූත්‍ර පිටකයේ පේන අන්දමට ගිහියන් විසින් හැසිරිය යුතු ආකාරය ගැන පරාභව, මංගල යනාදී සූත්‍ර වලද, භික්‍ෂූ-භික්‍ෂුණී හැසිරීම ගැන විනය පිටකයේද සඳහන් කර ඇතත් ගිහියන්ව ඒ සඳහා බලයෙන් ගෙනයන නීතියක් නොවීය. පන්සිල්, අටසිල්, දසසිල් යනාදි වශයෙන් ඇති චර්‌යා ධර්‍ම එක් එක් පුද්ගලයාගේ ඕනෑකම හා හැකියාව අනුව අනුගමනය කල හැකි හැසිරීම් විය. පසු කාලයක ලියවුණ ජාතක කතාවල තිබෙන්නේ ගිහියන් විසින් අනුගමනය කල හැකි හැසිරීම් ගැනය. මිනිසා විසින් මිනිසාට පමණක් නොව සතා සිව්පාවා, ගස් වැල් වලට පවා සැලකිය යුතු ආකාරය වැදගත්වූයේ මිනිසා පරිසරයේ  අධිපතියා නොව පරිසරයේ අංගයක් පමණක් යයි සලකන නිසාය. සෑම දෙයකම ඇති චක්‍රීය බව, සෑම දෙයක්ම නැසෙන සුළුය යන අදහස් නිසා අන්ත්වාදී නොවී මධ්‍යස්ථව ක්‍රියාකිරීම ආර්ය අෂ්ටාංගික මාර්‍ගයටම ඇතුලත් ය.

රජවරුන් විසින් වැසියා පාලනය කලයුතු අන්දම දසරාජ ධර්‍ම ලෙසත්, රජු අධර්මිෂ්ට නම් වැස්ස පවා නැතිවී වසංගත දුර්භික්‍ෂ ඇතිවන බවත් සිංහල බෞද්ධ මනසේ කිඳා බැස ඇති මූල ධර්‍මයකි. ඉජිප්තුවේ පිරමිඩ් සැදූ වහල් ක්‍රමයත්, සිංහලේ වැව් හා විහාර සැදූ ක්‍රමයත් අතර වෙනසක් තිබිය යුත්තේ මේ නිසාය. 1505 ට පෙර හා ඉන් පසුවත් දිවයිනට ඉන්දියාවෙන් ආ ජන කොටස් සිංහලේ සමාජය හා බද්ධවූයේ බෞද්ධ සමාජයේ නම්‍ය හා මට සිලුටු භාවය නිසාය.

බෞද්ධ ජනයා ඌරු මස් කෑම හෝ නොකෑම හෝ හින්දු කෝවිලක එළුවන්, කුකුලන් (ගවයින් හැර) බෙල්ල කපා මැරීම හෝ වියට්නාම්, තායිලන්ත, ලaaෝස්, බුරුමය හෝ කොරියාව වැනි රටවල දිමියන්, ගැරඬින්, ගොළු බෙල්ලන් කෑමට ගැනීම ඉස්ලාම් හෝ හින්දු ආගමේදී මෙන් බෞද්ධයින්ට ගැටළුවක් නොවන්නේ අන්තවාදී ආකල්පයක් බුද්ධාගමේ නැති නිසාය. ඒ ඒ පරිසර හා වටපිටාවට අනුව ජීවත්වන මිනිසුන්ගේ හැසිරීමට අනුව එක්තරා දුරකට නම්‍යවීමක් බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදාව මඟින් ප්‍රතික්‍ෂේප කර නැත. තර්‍කයක් වශයෙන් මේ දෙස බැලුවොත් සතුන් නොමරන බෞද්ධයා බොරු කියනවානම් හෝ හොරකම් කරනවා නම් ඔහු පන්සිල් පද පහම කඩකර නැත. මේ අනුව සිතන විට ලංකා පොලිසියේ ලාංජනය ධර්‍ම චක්‍රය වුනත් ධර්මිෂ්ට අයෙකුට පොලිසිය රක්‍ෂාවට සුදුසු තැනක්ද?

බුදු දහමට අනුව රට පාලනය කරනවා කියන එකත් හරියට පොලිසිය තම යුනිෆෝම් එකේ ධර්‍ම චක්‍රය පෙන්නනවා වගේ ද? අතීත දේශපාලකයින් කලේ එයය. මිනිස්සු හැමෝම පෘතග්ජනයෝය. නිවැරදි කෙනෙක් මෙදියත නැත. එසේ වුවත් කොසොල් රජතුමා දුටු සීන දාසැය දැන් දකින්නට හැකි ලංකාවේ, බුදු දහමට අනුව රට පාලනය කිරීම ආරම්භ කල යුතු කුමණ ඉතා සරල එහෙත් සංකීර්‍ණ පියවරකින්ද? තමන්ට එවැනි අධ්‍යාත්මක ශක්තියක් තිබෙන බව ජනාධිපති සිරිසේන මහතා රටට පෙන්වමින් සිටිනවාද?

චන්ද්‍රසිරි විජයවික්‍රම
අගෝස්තු 21, 2016

One Response to “ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (3 කොටස)”

  1. S.Gonsal Says:

    “තමන්ට එවැනි අධ්‍යාත්මක ශක්තියක් තිබෙන බව ජනාධිපති සිරිසේන මහතා රටට පෙන්වමින් සිටිනවාද? ”

    Is this a joke or sarcasm ?

    This man is the king of the Liars. He worships Tirupathi, not Buddha. He has no courage to do ANYTHING as he knows very well he is a BIG LIAR and Buddhism is NO REFUGE for him. He may have some good qualities previous one did not have, but his habit of public MUDSAVADA makes him a ZERO Buddhist, nothing better.
    To draw “අධ්‍යාත්මක ශක්තියක් ” one should possess the POWER of BALMELESNESS. We can’t see ANYONE in the parliament possessing such power.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress