ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (4 කොටස)
Posted on August 23rd, 2016

චන්ද්‍රසිරි විජයවික්‍රම

බයිබලයේ අනාගත වාක්‍ය එමටය. මෙසේ අනාගත වාක්‍ය කීම නිසා ප්‍රසිද්ධ වූ කෙනෙක් නම් ප්‍රංශ ජාතික නොස්ට්‍රාඩෑමස් (1503-1566) ය. නිව්‍යෝක් නගරයේ ලෝක වෙළද මධ්‍යස්ථානයේ කුළුණු දෙකට සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය (2001 සැප්තැම්බර් 11) ඔහුගේ අනාවැකියක කියා තිබුණා යයි ප්‍රචලිත විය. යකඩ කුරුල්ලන් කියා ඔහු කීවේ ගුවන් යානා වලටලු.

බයිබලයේ මෙන් නොව බෞද්ධ සාහිත්‍යයේ මෙවැනි අනාවැකි විරලය. බුදු දහම වසර පන්දාහක් පවතිනා බවත්, එය ක්‍රමයෙන් පිරිහී යන බවත්. අන්තිමේදී ඉතිරිවන්නේ අතේ කහපාට නූලක් බැඳගත් සංඝයින් බවත් සාහිත්‍යයේ ඇත. වැලිවිට සංඝරාජ හිමියන්ගේ කාලයේ සිටියේ දරු පවුල් පවා සිටි ගනින්නාන්සේලා ලු. උන්වහන්සේ බුරුමයෙන් හාමුදුරුවරු ගෙන්වා ගෙන උපසම්පදාව යළි දිවයිනේ ඇතිකල සේක. කෙසේ වෙතත් මේ ගනින්නාන්සේලා ත්‍රිපිටකය අපට රැක දුන් බව අමතක නොකල යුතුය.

අප හැම දෙනාම දන්නා ප්‍රසිද්ධ අනාවැකියක් නම් මහා සුපින ජාතකයේ එන කොසොල් රජතුමා දුටු සීනා දාසැය ය. මෙම සිහින දාසැය හරියටම 1971 ජේ වී පී කැරැල්ලේ සිට මේ දක්වා ලංකාවේ සිදුවී ඇති, සිදුවෙමින් පවතින, සමාජය, සමාජයේ සාර ධර්‍ම උඩු යටිකුරුවීම ගැන ලියූ අනාවැකියක් වැනිය. මෙය යමෙකුට උසස් උපාධි පර්යේෂණයකට උචිත මාතෘකාවක් යයි මට සිතේ. ක්‍රිස්තු පූර්‍ව 5 සියවසේ ලියවුන මේ අනාවැකිය, මෙම ජාතක කතාව, යුරෝපීය චින්තනයට ආවඩන කළු සුද්දන්ට, නූතන දේශපාලන විද්‍යාඥයෙකු, සමාජ විද්‍යාඥයෙකු හා පරිසර විද්‍යාඥයෙකු විසින් ගැසූ කම්මුල් පාරක් වැනිය.

මගේ මාතෘකාවට මෙම ජාතක කතාවේ ඇති ඍජු සම්බන්ධය නිසා , මෙම ලිපි පෙලේ හතරවන කොටස වශයෙන් එය  මෙහි කොපිකරන්නට මට සිතුණි. මා එය කෙටිකර, කොපි කරගත්තේ ආචාර්ය විලේගොඩ ආරියදේව හිමියන් ගේ ඉන්ටර්නෙට් වෙබ් අඩවියකිනි (ශ්‍රී විජයරාමය, කළුවඩුමුල්ල අම්බලන්ගොඩ, 2009 සැප්තැම්බර් 24)

මහා සුපින ජාතකය- පසේනදී කොසොල් රජතුමා දුටු සීන දාසැය

සිහිනය හා සිහිනයට දුන් විග්‍රහය

1. ගොන්නු හතර දෙනෙක් සටන් කරනවා වගේ පැමිණ සටන් නොකර ආපසු හැරීයනවා දුටිමි.
අනාගතයේ අධාර්මික පාලකයින් නිසා රටේ දේශගුණයත් කාලගුණයත් වෙනස්වනවා

2. කුඩා පැලවල ගෙඩි හටගන්නව දුටිමි.
අනාගතයේ මිනිසුන්ගේ කාමාශාව වැඩිවනවා. කුඩා ගැහැණු ලමයි ගැබ්බර වනවා.

3. ඉපදී දවසක් වන වසු පැටවුන්ගෙන් මහ වැස්සියන් කිරි බොනවා දුටිමි.
අනාගතයේ දරුවන් දෙමාපියන්ට නොසලකා හරිනවා.

4. බර ඇදීමට නොහැකි ගොණුන් ඉස්සර හට දමා ශක්තිමත් ගොණුන් අගට දැමීම නිසා උන් බිම වැටී සිටිනවා දුටිමි.
අනාගතයේ පාලකයින් බුද්ධිමතුන්ට ඇමතිකම් හා නිල නොදී බාලයින්ට තනතුරු හා වගකීම් දී පාලනය අවුල්කර ගන්නවා.

5. අශ්වයින් කටින් හා පස්ස පැත්තෙන් තණකොල උලාකනවා දුටිමි.
අනාගතයේ අධාර්මික පාලකයින් නිසා නීතිය අනීතිය වනවා. යුක්තිය අයුක්තිය වනවා. නීතිඥයොත්, නඩුකාරයොත් දෙපැත්තෙන්ම අල්ලස් ගන්නවා.

6. ජරපත් හිවලෙකුට ඝනරන් තැලියකට මුත්‍රා කිරීමට ඉඩදී මිනිසුන් බලාසිටිනවා දුටිමි.
සම්භාවනීය වශයෙන් සලකන මිනිස්සු අනාගතයේදී සම්පත්වලින් පිරිහී ගියවිට ඔවුන් තම දූ දරුවන් අයථා අන්දමින් ධනවත්වූ අයට කසාද බන්ඳවා දෙනවා.

7. මිනිසකු ආසනයක සිට සම් පට වලින් ලණුවක් අඹරණ විට, සිවල් ධේනුවක් පුටුව යට සිට එය කනවා දුටිමි.
අනාගතයේ මිනිසුන් අතර කාම ම්ථ්‍යාචාරය බහුල වනවා. හොර අඹු සැමියන් බහුල වනවා.

8. හිස් කළගෙඩි තිබුණත් මිනිසුන් වතුර පිටාර ගලා යන එකම කලයටම වතුර වක්කරනවා දුටිමි.
අනාගතයේ පාලකයින් රට සමෘධිමත් නොකිරීම නිසා වැසියන් අතිශයින්ම දුප්පත් වෙනවා. එවිට පාලකයින් වැසියාට තව තවත් බදු බර පටවනවා. ධනවතුන් තව තවත් තර වෙන අතර දුගීන් තවතවත් දුගී වෙනවා. ඇත්තෝම තරවෙනවා.

9. පොකුණේ මැද වතුර බොරයි. එහෙත් පොකුණ වටේ සතුන් දඟලන තැන්වල වතුර හොඳටම පැහැදිලිව නිල් පාටින් තිබෙනවා දුටිමි.
අනාගත පාලකයෝ ධර්‍මයෙන් රට පාලනය නොකරණ නිසා රට හැම අතින්ම දූෂණයට පත්වෙනවා.  උගත්තු, බුද්ධිමත්තු රට ගැන කලකිරෙනවා. ඔවුන් රට හැර යනවා. නගරය අතහැර ගමට යනවා.

10. එකම සැළියේ පිසෙන බත එක පැත්තක බෙරි වෙලා, තව පැත්තක ඇට්ටකුණා වෙලා, තව තැනක නොපිසිලා, බාගෙට තැම්බිලා තිබෙනවා දුටිමි.
අනාගත පාලකයින්ගේ වැරදි නිසා, අධාර්මික නිසා කලට වැසි ලැබෙන්නේ නැහැ.  හරියට ඍතු අනුව වැසි ලැබෙනවා වෙනුවට කඩින් කඩ තැන තැන වහිනවා. නියඟ හටගන්නවා ඒ අනුව ලැබෙන අස්වැන්නද වෙනස් වෙනවා.

11. ඉතාමත් සුවඳ සඳුන් කොටයක් පිනුල්වූ ගඳ ගහන කුණු මෝරු (කිරි?) කළයකට හුවමාරු කරගන්නවා දුටිමි.
අනාගතයේ බොහෝ භික්‍ෂූන් ලාභ සත්කාර අපේක්‍ෂාවෙන් ධර්‍මය දේශනාකරනවා. පස්කම් ලබාගැනීම සඳහා සිවුරු දරනවා. ධර්‍මය, ලාභයට, මුදලට යටකරනවා.

12. සැහැල්ලු ලබු කබල් දියේ පාවෙනවා වෙනුවට බර වස්තුවක් මෙන් දියයට ගිලෙනවා දුටිමි.
අනාගතයේ සුදුස්සන්ට මැතිැමතිකම් නොදී පහත් ගති ඇත්තන්ට ඇමතිකම් හා නිලතල ලබාදෙන නිසා රාජ සභාව හිස් කතාවලින් පිරීයනවා. විහාර ආරාම පූජනීය ස්ථාන වලත් හිස් දේවල් රජවනවා. රටේ හිස් දේවල් තමයි මිනිසුන්ගේ හිත්වල කා වදින්නේ.

13. මහා විශාල ගල් වතුරේ පාවෙනවා දුටිමි.
අනාගතයේ පාලකයෝත් ප්‍රජාවත් උගතුන්ගේත්, බුද්ධිමතුන්ගේත්, වියත් සිල්වත් හිමිවරුන්ගේත් උසස් කතා අහන්නේ නැත. සලකන්නේ නැත. රාජ්‍ය සභාවේත් රටේ හැමතැනමත් යහපත් අයගේ අදහස් මිනිසුන්ගේ සිත්වල කිඳා නොබැස පාවී යනවා.

14. මීපුප් වගේ පුංචි මැඩියන් සර්‍පයින් පස්සේ පන්නමින් ඇඹුල දඩුසේ මුරු මුරු ශබ්දය නගමින් කනවා දුටිමි.
අනාගතයේ මිනිස්සු අදට වඩා රාගාධික වනවා. වයසට ගිය ඔවුන් අඩු වයසේ ස්ත්‍රීන්ට අසුවෙනවා. දේපලට, ධනයට ආශාවෙන් ඒ ස්ත්‍රීන් වියපත් ඔවුන් සමග විවාහවී ඔවුන්ගේ සම්පත් ලබාගෙන ඔවුන්ට නිග්‍රහ කරමින් තමන්ගේ වසඟයට ගන්නවා.

15. හැම විටම යමක් සොයා ඩැහැ ගැනීමට බලා ඉන්නා කපුටෙකු ස්වර්‍ණ හංසයින් පිරිවරාගෙන ඉන්නවා දුටිමි.
අනාගතයේ පහත් වැඩ කරනා දාමරිකයින්ට, හොරුන්ට පාලකයින් විසින් සම්භාවනීය තත්වයක්දීම නිසා ඔවුන් ඉහළින් වැජඹෙන අතර, උගතුන්ට බුද්ධිමතුන්ට ඔවුන්ට යටත්වීමට සිදුවනවා.

16. එළුවන් විසින් දිවියන් අල්ලාගෙන කනවා දුටිමි.
පහත් ගති ඇති අයට දාමරිකයින්ට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා ඔවුන් පාරම්පරික අයිති ඉඩකඩම් කොල්ල කනවා. අධිකරණයේ පිහිට සෙවීමට ගියවිට මැරවරයන් තාඩන පීඩන කරනවා. අත පය කඩනවා. මේ ජීවිත අන්තරාය නිසා  නුඹලාම ගනිල්ලා කියා මැරයන්ට ඉඩම්දී ඒ ගැන ඇති ආශාව අතහරිනවා. සිල්වත් භික්‍ෂූන්ද එසේම අධාර්මික දුස්සීලයන්ට බලයත් ඉහල තනතුරුත් දැරීමට ඉඩදී නිහඬ වනවා.

චන්ද්‍රසිරි විජයවික්‍රම
අගෝස්තු 23, 2016

One Response to “ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (4 කොටස)”

  1. S.Gonsal Says:

    Not sure who gave the interpretations, some make no sense.

    “3. ඉපදී දවසක් වන වසු පැටවුන්ගෙන් මහ වැස්සියන් කිරි බොනවා දුටිමි.

    අනාගතයේ දරුවන් දෙමාපියන්ට නොසලකා හරිනවා. ? To me it should be translated as ” parents abusing children, not the other way around.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress