මානව හිමිකම් සුරකීමේදී බාලා තම්පෝ ගේ භූමිකාව
Posted on September 2nd, 2016

ධර්මන් වික්‍රමරත්න         

 ලංකීය වෘත්තිය සමිති ව්‍යාපාරයේ දැවැන්ත නායකයෙකු වූ බාලා තම්පෝ ජීවිතයෙන් සමුගත්තේ මෙයට හරියටම වසර දෙකකට පෙර එනම් 2014 සැප්තැම්බර් 2වැනිදාය. සිය 92හැවිරිදි දිවිය තුළ ආත්ම ගෞරවය පාවානොදුන් වැඩකරන පන්තියේ නායකයෙකු ලෙස හෙතෙම ප්‍රචලිතය. දශක 7ක් තුළ ඔහු විසින් සටන්පාඨ වලට පමණක් සීමා නොකර පාලකයින්ට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය මෙහෙයවූ බව බොහෝ දෙනා දැනගෙන සිටි බවද නොරහසකි. එහෙත් 70 සිට 90 දක්වා දශක 3 තුළ ලාංකීය මානව හිමිකම් සුරකීමේ ක්ෂේත්‍රය තුළ බාලා තම්පෝ භූමිකාව යනු ජීවිත ආදර්ශයකි. එය ඉතිහාසයේ ධෛර්යය පිරි පරිච්ජේදයකි. අවසන් සුසුම තෙක් පන්ති සටනට පමණක් නොව මානව හිමිකම් සුරකීමටද ඔහු ජීවිතයම කැපකල අයෙකි.

Dharman Wickremaretneධර්මන් වික්‍රමරත්න විසිනි.

පිලිප්ස් බාලේන්‍ද්‍ර තම්පෝ නොහොත් බාලා තම්පෝ 1922 මැයි 23 වැනිදා උපන්නේ මීගමුවේදීය. පදිංචිව සිටියේ රත්මලාන නාමල් මාවතේය. තම්පෝගේ පියා මහේස්ත්‍රාත්වරයෙකුවූ තමෝදරම්පිල්ලේ තම්පෝය. එදා 1927දී ආරම්භ වූ ලංකා වෙළද සේවක සංගමය නමින් හැදින්වූ පසුකාලීනව ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයයේ (සීඑම්යූ) ප්‍රධාන ලේකම් තනතුරට බාලා තම්පෝ 1948 පෙබරවාරි 1වැනිදා පත්වූයේ එහි සමාරම්භක සභාපති ඒ.ඊ ගුණසිංහ 1947 සැප්තැම්බර් මැතිවරණයෙන් තේරී පත්වූ ප්‍රථම එජාප ආණ්ඩුවෙන් ඇමති ධූරයක් භාරගැනීමෙන් පසුවය. එදින සිට තම්පෝ මියයන තෙක්ම සීඑම්යූ ප්‍රධාන ලේකම් තනතුර හෙබවීය. ලංකා විශ්ව විද්‍යාලයට 1939දී ඇතුළත් වී උපාධිය ලබාගැනීමෙන් පසු රජයේ පේරාදෙණිය කෘෂිකර්ම විදුහලේ උද්භිද විද්‍යාව පිළිබඳව කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවයට බැදුණු තම්පෝ 1947 ජුනි 3වැනිදා රජයේ සේවකයින්ගේ  මහා වැඩ වර්ජනයට සහභාගිවීමේ ප්‍රතිඵලයක් ලෙස රැකියාවෙන් පහකරනු ලැබූවෙකි. අධිනීතිඥවරයෙකු ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහු දිවුරුම් දුන්නේ 1953දීය.

තම්පෝට දේශපාලන ‘උණ’ හැදුණේ වයස අවුරුදු 14දී එනම් 1936දීය. එවකට ඔහු රාජකීය විද්‍යාලයේ සිසුවෙකි. දෙවැනි ලෝක යුධ සමයේ ජපනුන් 1942 අප්‍රේල් 5වැනිදා කොළඹට බෝම්බ දමා යළිත් 1942 අප්‍රේල් 9වැනිදා ත්‍රිකුණාමලයට බෝම්බ දැමීමට පෙර සමසමාජ නායකයින් බේරා ගැනීම තම්පෝට පැවරිණි. බ්‍රිතාන්‍ය අණසකට ශ්‍රී ලංකාව යටත්ව තිබූ එකල සමසමාජ නායකයින් පිරිසක් සිටියේ බෝගම්බර හිරගෙදරය. කුරුප්පු නැමති ආරූඨ නමකින් පෙනී සිටි තම්පෝ සිරගෙදර සුළු නිලධාරියෙකුගේ උදව්වක් සහිතව හිරකූඩුවේ යතුර සබන් කෑල්ලක සටහන් කරගෙන යතුරක් හදාගෙන එම අභියෝගය භාර ගත්තේය. එසේ හිරෙන් එලියට ගත් එන්. එම්, කොල්වින්, පිලිප්, එඩ්මන් හිරෙන් එලියට ගෙන ඉන්දියාවට යැවීමට පෙර අනුරාධපුරයේ නිවසක රහසිගතව තැබුවේද තම්පෝය.

dharman03091602ජවිපෙ 71  කැරැල්ල සහ 2වැනි කැරළි සමයේ මානව හිමිකම් වෙනුවෙන් නිර්භයව පෙනී සිටි අධිනිතිඥ බාල තම්පෝගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්.

මාක්ස්වාදයෙන් පෝෂණය වුද 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් ආභාෂය ලැබුවාවූද බාලා තම්පෝ සිය දේශපාලන භාවිතාව ලංකා සමසමාජ පක්ෂයෙන් ආරම්භකල අතර සමසමාජ ව්‍යපාරය 1964දි සභාගවාදී දේශපාලනයට යොමුවීමත් සමඟම සමසමාජයට සමුදෙන ලදි. වරක් ඔහු ලාම්පුව යටතේ මැද කොළඹට ඡන්දයද ඉල්ලුවේය. ඔහු වසර 15ක් සමඟ හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන ක්‍රියාධරයෙකු ලෙසද ජාත්‍යන්තර නායකයින් සමඟම අන්තර්ජාතිකවද කටයුතු කළේය. කලක් 4වැනි ජාත්‍යන්තරයේ ලංකා ශාඛාවවූ විප්ලවීය මාක්ස්වාදී පක්ෂයේ ලේකම්වරයාද විය.

බාලා තම්පෝ විසින් නිර්මිත සටන් පාඨ කිහිපයක් විය. ඒවා අතර අයිතීන් දිනා ගන්න එකතු වි සටන් කළ යුතුය. පංතිය හරියට තෝරා ගන්න – යුක්තිය සඳහා වැඩ කරන්න. වෘත්තිය සමිති යනු එකා සැමටත් සැම එකාටත්ය ඇතුළු සටන් පාඨ ගණනාවක්ම වේ.  ඔහුගේ දිවියේ වැදගත් ලක්ෂණ දෙකක් නිරතුරුව දැකගන්නට හැකිවිය. එකක් ක්ෂණික තීන්දු ගැනීමට ඇති හැකියාවය. අනෙක තමන් වෙතට වෘත්තීය සමිති නායකයෙකු සහ මානව හිමිකම් නිතිඥයෙකු වශයෙන් උපදෙස් පතා එන අය සතුටු කිරීමට යමක් කියා පිටත් නොකර තම්පෝට අවාසිදායක වුවද ඇත්ත ඇති සැටියෙන් දැනෙන භාෂාවෙන් ඔවුනට කියාපෑමය. තම්පෝ ජාත්‍යන්තර කම්කරු උපදේශකයෙකි.

dharman03091603ඡායාරූපයේ ඉහළ වමේ සිට, රෝහණ විජේවීර 71 මහා නඩුවේ සාක්ෂි විභාගයට බන්ධනාගාර නිලධාරින් විසින් ගෙනඑන අවස්ථාව, 71 කැරළිකරුවන් හම්බන්තොට නගරයට ඇතුළුවන පුවරුව විමුක්ති නගරය ලෙස නම් කර තිබූ අයුරු, ජවිපෙ කැරළිකාරියකව සිටි කතරගම ප්‍රේමවතී මනම්පේරිට ආරක්ෂක අංශ මගින් අතවර කොට මරාදැමීමෙන් අනතුරුව එම නිවසට ගොස් පවුලේ අයගෙන් කරුණු විමසන අයුරු සහ ප්‍රේමවතී මනම්පේරි වැළලූ ස්ථානය ගම්වැසියන් සමඟ නිරික්ෂණය කරන අයුරු මෙහි වේ. රතු රවුමකින් දක්වා ඇත්තේ කැරළිකරුවන්ගේ මානව හිමිකම් සහ වින්දිතයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටි අධිනීතිඥ බාලා තම්පෝය. බ්‍රිතාන්‍යයේ එවබරි සාමි සහ අධිනිතිඥ ප්‍රින්ස් ගුණසේකරද මෙහි වේ.

හදිසි නීතියට හා මර්ධනයට එරෙහිව නොබියව හඬ නැගූ තම්පෝ එම අරගලයේ ඉදිරියෙන්ම සිටි අයෙකි. ජවිපෙ විසින් 1971 කැරැල්ල දියත් කිරීමට පෙර රජය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත්කරමින් ආරම්භ කල මහා මර්ධනයට ප්‍රථමයෙන් අවි අමෝරා ගත්තේ ලංකා වෙළඳ සේවක සංගමය විසිනි. එමෙන්ම අසූව දශකයේදි උතුරේ සහ දකුණේ හදිසි නිතිය සහ ත්‍රස්තවාදී මර්ධන පනතතට එරෙහිව එම සංගමය මගින් ඉතිහාසයේ නොමියන ක්‍රියාමාර්ග රැසක් බිහි කරන ලදී. මෙම තීරණාත්මක සමයන්හි දක්ෂිණාංශික දේශපාලනයෙන් සහ ව්‍යාජ වාමාංශික දේශපාලනඥයින්ගෙන් මිදී නිවහල්ව සිතන්නට සහ කටයුතු කරන්නට පෙරට ආ මිනිසුන්ට එය ශක්තියක් විය.  ප්‍රථමයෙන්ම එම ක්‍රියාමාර්ගයට එලැඹියේ 1971 මාර්තු මස 21වැනිදා ශාඛා සමිති 157 දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් 362කගේ සහභාගිත්වයෙන් පැවැත්වූ රැස්වීමකදීය. සමඟි පෙරමුණ රජය හදිසි අවස්ථාව ප්‍රකාශ කළේද 1971 මාර්තු 16වැනිදාය.

ජවිපෙට එරෙහිව සමඟි පෙරමුණ ආණ්ඩුව මගින් 1971 අප්‍රේල් කැරැල්ලට පෙර සහ පසු දරදඬු මර්ධනයට එරෙහිවද 71 කැරැල්ලේ ඇතැම් චුදිතයන් වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටිමින්ද තම්පෝ කටයුතු කළේය. මෙහිදී නොමිලේම පෙනීසිටි අතර එය ආන්දෝලානාත්මක නඩු තීන්දුවක් බවට පත් කළේද ඔහුය. කතරගම ප්‍රේමවතී මනම්පේරි තිරස්චින ලෙස 1971 අප්‍රේල් 17 ඝාතනය කිරීම ඇතුළු සදාකාලිකව වැලළීමට ගිය යුධ අපරාධ කරළියට ආවේ බ්‍රිතාන්‍යයේ එවබරි සාමි, අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර සහ අධිනීතිඥ බාලා තම්පෝගේ සෘජු මැදිහත්වීමෙනි.

dharman03091604කොළඹ 1969 මාර්තු 15 පැවති උද්ඝෝෂණයකදී එය නතර කිරීමට පැමිණි පොලිස් පරික්ෂක අබ්දුල් කාදර් ගෆූර් සමඟ උණුසුම් කථාබහක නිරතවන නිතිඥ තම්පෝ.

සීඑම්යූ සඳහා කොල්ලුපිටියේ පිහිටි විශාල කාර්යාලය විවෘත වූයේ 1975 මැයි 1වැනිදාය. එදින තම්පෝ කියා සිටියේ සූරාකෑමට හා මර්ධනයට එරෙහිව සටනෙහි යෙදී සිටින්නන් හා එම සටනේදී ස්වකීය ජීවිත, නිදහස හෝ ජීවන මාර්ගය අහිමි වූවන් සඳහා එම ගොඩනැගිල්ල කැප කෙරෙන බවය. ජවිපෙ 1971 කැරළි නායක රෝහණ විජේවීර 1977 නොවැම්බර් 2 නිදහස් වීමෙන් පසු සිරගෙදරින් කෙලින්ම ගියේ තම්පෝගේ සී.එම්.යූ කාර්යාලයටය. දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් නඩුවලටද වින්දිතයින්ගේ අයිතීන් වෙනුවෙන්ද තම්පෝ පෙනී සිටියේය. හැත්තෑව දශකයේදී සීඑම්යූ සාමාජිකත්වය 38,831 විය. 

තමාට අයත් 8 ශ්‍රී 9479 ෆොක්ස් වැගන් කාර් රථයෙන් රටපුරා ගිය තම්පෝ 1949 සීඑම්යූ ප්‍රථම වැඩ වර්ජනය, 1957 ටයිම්ස් ඔෆ් සිලෝන් පිටමන් කිරීම, 1956 ලේක්හවුස් වැඩ වර්ජනය,1964 වරායේ මහා වැඩ වර්ජනය, 1966 ගුවන් විදුලි සංස්ථාවේ වැඩ වර්ජනය ඇතුළු වර්ජන සිය ගණනකදී සිය අණසක පතුරුවා ලීමට සමත් විය. වෘත්තිය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව මගින් වසර 1980 ජුලි 15වැනිදා ‘දඩි බිඩි’ ලෙස ඇරඹූ 80  ජූලි වර්ජනයට සහභාගිවී සිය සාමාජිකයන් අමාරුවේ නොදැමූ තම්පෝ එහෙත් වර්ජනයෙන් පාරට වැටුණු 40,356ක් වූ ජුලි වර්ජකයින්ගේ අයිතීන් වෙනුවෙන් අවසානය දක්වාම පෙනී සිටියේය. යාපනයේ දෙමළ ජාතික දෙමාපියන්ට දාව උපන් තම්පෝගේ නායකත්වය පිළිගත් සීඑම්යූ සාමාජිකයන්ගේ සියයට 90ක් පමණ සිංහල ජාතිකයින්ය.

dharman03091605මානව හිමිකම් සුරකීම පිළිබඳව පෙළපාලියකදී සිය අයිතීන් පිළිබඳව පොලිස් නිලධාරියෙකුට පෙළපාලියේ යන අතරතුරදීම කරුණු පැහැදිලි කරදෙන අධිනිතිඥ තම්පෝ.

වසර 1978 සම්මත කරගත් එජාප ආණ්ඩුවේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස මුළින්ම හඬ නැගුවේද තම්පෝය. ජනතාවගේ මූලික සමාජ ආර්ථික අවශ්‍යතාවයන් සංවර්ධනය කිරීමට පමණක් නොව ජනතාවගේ ආරක්ෂාව සහ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවිමට විධායක ජනාධිපති ක්‍රමය බරපතල බාධක ඇති කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මානව අයිතීන් උදුරා ගනිමින් සරසවි සිසුන් නීති විරෝධීව අත්අඩංගුවේ තබාගැනීමට එරෙහිව ඔහු පෙනී සිටියේය. එය දකුණේ පමණක් නොව උතුරේ සරසවි සිසුන් වෙනුවෙන්ද එම හඬ විවර විය. යාපනේ සරසවි සිසු අප්පුතුරෙයි විමලරාජා 1982දීද, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නිහාල් කිත්සිරි 1986 ජනවාරි 28වැනිදාද, මොරටු සරසවියේ චිරත්ත වීරවර්ධන 1986 අගෝස්තු 18වැනිදාද, කැලණි සරසවියේ සහකාර කථිකාචාර්ය පුල්සරා ලියනගේ 1986 නොවැම්බර් 1වැනිදාද අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදි ඔහුගේ මැදිහත්වීම මානව හිමිකම් ක්‍රියාකාරින්ට අස්වැසිල්ලක් විය.

dharman03091606වෘත්තීය සමිති නායකයෙක් ලෙසද ප්‍රබල භූමිකාවක් ඉටුකල බාලා තම්පෝ සිය පැරණිතම සී.එම්.යූ සාමාජිකයින් පිරිසක් සමගින්. බෲක්බොන් ආයතනයේ 1951 ජුලි මස පිහිටවූ ලංකා වෙළෙඳ සේවක සංගමයේ සමාරම්භකයෙකුවූ රොබට් කොයිල්, වර්තමාන ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. පී නාදන් ඇතුළු පිරිසක්ද මෙහි වේ.

හදිසි අවස්ථා රෙගුලාසි වල 13 සහ 40 යන වගන්ති දෙකෙන් ජනතාවගේ මූලික ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් එම රෙගුලාසි අවලංගු කරන ලෙස ඔහුන් නිරතුරුවම රජයට අවධාරණය කලහ. පොලිස්පතිවරයාගේ පැහැදිලි ලිඛිත අවසරයක් නොමැතිව බස්නාහිර පළාත තුළ ප්‍රසිද්ධ පෙළපාලි සහ රැස්වීම් පැවැත්වීම 13වන වගන්තියෙන් තහනම් කර තිබිණි. වැඩවර්ජනය කිරීම සඳහා කම්කරුවන්ට ඇති මූලික අයිතිය සම්බන්ධයෙන් වැඩ කරන ජනතාවට තර්ජනයක් 40 වගන්තියෙන් ඇතිවීය.

පොලිස් හෝ ආරක්ෂක හමුදා අත්අඩංගුවේ සිටියදී ත්‍රස්තවාදි ලේබලය අලවා සැකකරුවන්ට විවිධ හිංසා සහ කෘර ලෙස මරණයට පත්කිරිමට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් සමඟම තම්පෝ කටයුතු කළේය. ජවිපෙ 71 මෙන්ම අසූව දශකයේ අග භාගයේ පැවති ජවිපෙ 2වැනි කැරැල්ලේද තරුණයින් ත්‍රස්තවාදී හංවඩුව ගසා සිරකරගෙන සිටින විට ඔවුන්ගේ ප්‍රජා සහ මානව අයිතීන් සුරකීම සඳහා ඔහු නැගි සිටියේය.

dharman03091607පාරිසරික අයිතීන් වෙනුවෙන් එප්පාවල පොස්පේට් නිධිය රැකගැනීමේ සටන තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකරන තම්පෝ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නායකත්වයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය 1986 මාර්තු 19වැනිදා ආරම්භ කල ඓතිහාසික දින 26ක මහා හෙදි වැඩ වර්ජනයේදී ඇතැම් වෘත්තිය සමිති එය නොදැක්කා සේ සිටියදී තම්පෝ එයට නිර්භයව සහාය දුන්නේය. ශ්‍රී ලංකාවේ ඒ වන විට හෙදියන් 6,909 සිටි අතර ඉන් 6,683ක් රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමයේ සාමාජිකයන්  විය. රජය හෙදි සංගමය 1986 අප්‍රේල් 2වැනිදා තහනම් සංවිධානයක් ලෙස ගැසට් කල අතර අභයාරාමයේ තිබූ සංගමයේ මූලස්ථානයට සීල්ද තබන ලදි. බැංකු ගිණුම්ද තහනම් කරන ලදී. හෙද හෙදියන් ලැගුම් ගත් නේවාසිකාගාර වල විදුලිය සහ ජලය විසන්ධිකර  නේවාසිකාගාරවලින් එලියට ඇද දමන ලදී. රටපුරා ජනතාව සමඟ එක්ව හෙදි සටන දිරිමත් කිරීමට බාලා තම්පෝ එක්වූ අතර සීඑම්යූ මූලස්ථානය සම්බන්ධීකරණ ස්ථානයක් ලෙස යොදා ගැණිනි. හෙදි සටනට ආධාර පතා නන්දා මාලනීගේ පවන සංගීත ප්‍රසංගයද වෙනත් රැස්වීම්ද සීඑම්යූහි පැවතියේ තම්පෝගේ අනුග්‍රහයෙනි. වෘත්තීය සමිති ගැසට් මගින් තහනම් කිරිමට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කළේ ඔහුය. අවසානයේ හෙදි සටන 1986 අප්‍රේල් 17වැනිදා ජයග්‍රාහිව නිමාවිය.

dharman03091608ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය(සීඑම්යූ) වර්තමාන ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි විසින් ලියුම්කරුට අධිනීතිඥ තම්පෝගේ භූමිකාව විස්තර කරමින්.

දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ව්‍යාපාරය(ක්‍රොප්) ශ්‍රී ලංකාවේ 1975දී පමණ ආරම්භ කරන ලද්දේ රාජනිතිඥ නඩේසන්, මහජන එක්සත් පෙරමුණේ හිටපු සභාපති සහ ජවිපෙ හිතවත් නීතිඥයෙකු වූ එම්. බී රත්නායක ඇතුළු කිහිප දෙනෙකුගේ මැදිහත්වීම මතය. එහි ආසන්නම අරමුණ වූයේ ජවිපෙ 71 සිරකරුවන් නිදහස් කර ගැනීමට මැදිහත් වීමය. හදිසි නීතිය 1976දී ඉවත් කිරීමට ක්‍රොප් සංවිධානයේ උද්ඝෝෂණයන්ද බලපෑ අතර හදිසි නීතිය ඉවත් කිරිමත් සමඟම 1976දී ජවිපෙට පනවා තිබූ තහනමද ඉවත් විය. පසු කළෙක ක්‍රොප් සංවිධානයේ මෙහෙය වූයේ මර්ජ් ආයතනයේ සභාපතිවරයා වූ චාල්ස් අබේසේකරය. මතිමතාන්තර නොතකා දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම ක්‍රොප්හි මූලික අරමුණ වේ. එහි ක්‍රියාකාරි කමිටුවට ආණ්ඩු පක්ෂය හැර සෙසු පිළිගත් දේශපාලන පක්ෂවල නියෝජිතයින්ද විය.

වසර 1987 ජුලි 29වැනිදා අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමේ කොන්දේසියක් අනුව උතුරේ බෙදුම්වාදී සංවිධාන සමඟ එක්ව රජය පෙරලීමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා කරමින් නඩු පැවරූ රතු භටයෝ සංවිධානයේ නායක හෙන්රි පෙරේරා, කඳුරට විමුක්ති පෙරමුණේ නායක අබ්දුල් කාදර්, විකල්ප කණ්ඩායමේ 23ක් සහ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ 44ක් රජය මගින් 1988 අප්‍රේල් 22වැනිදා නිදහස් කරන ලදී. ක්‍රොප් සංවිධානය ඉහත බෙදුම්වාදී සංවිධානවලට සම්බන්ධ යැයි චෝදනා කරමින් රජය මගින් නඩු පැවරූ චුදිතයින් වෙනුවෙන් පෙනී සිටියද ජවිපෙ 2වැනි කැරැල්ල ඇරඹූ 1986න් පසු අත්අඩංගුවට ගත් දකුණේ සරසවි සිසුන් ඇතුළු තරුණයින් වෙනුවෙන් මුනිවත රැකීය. එම සංවිධානයේ සමලේකම් නීතිඥ දුෂ්ෂ්‍යන්ත සමරසිංහ ක්‍රොප් සංවිධානයේ ඒකපාර්ෂික ස්ථාවරයට විරෝධය පළකරමින් 1987 නොවැම්බර් 17වැනිදා ඉල්ලා අස්විය.

dharman03091609තම්පෝ සිය පවුලේ සාමාජිකයින් පිරිසක් සමගින්.

එහෙත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි බාල තම්පෝගේ ක්‍රියා කලාපය මෙයට හාත්පසින් වෙනස් විය. ඔහු ඉහත දෙමළ බෙදුම්වාදි සංවිධාන සමඟ එක්ව රජය පෙරලීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන හෙන්රි පෙරේරා ඇතුළු සියළුම දෙනාටද සරසවි සිසුන් ඇතුළු දකුණේ ජවිපෙ තරුණයින් වෙනුවෙන්ද නිර්භයව පෙනි සිටියේය. කිසිදු මුදල් අයකිරීමකින් තොරව තම්පෝ ඔවුන් වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන්හි පෙනී සිටියේය. ජවිපෙ 2වැනි කැරළි සමයේ ඔහු විසින් බේරාගත් තරුණ ජීවිත සංඛ්‍යාව සිය ගණනකි.  දහස් ගණන් කඳවුරුවල රැදවියන්ගේ මානව අයිතීන් හිමිකර දීම සඳහා ජාත්‍යන්තර රතු කුරුසය ඇතුළු මානව හිමිකම් සංවිධාන සමඟ ඔහු අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ගත්තේය. අතුරුදහන්වූ පවුල්වල වින්දියන් වෙනුවෙන් සිය යුතුකම් ඉටු කළේය. වාර්ගික හෝ දේශසීමා රහිත ජගත් පුරවැසියෙකු බව තම්පෝ එහිදී සනිටුවන් කළේය.

වෘත්තිය සමිති අරගල, මානව හිමිකම් ක්‍රියාකාරකම්, දේශපාලන සටන් සහ ක්‍රියාකාරකම් හරහා ඔහු තම පරිණතභාවය සහ සටන්කාමීත්වය කදිමට විදහාපෑවේ සමාජ අසාධාරණයට එරෙහිවය. නීති ක්ෂේත්‍රයේ සහ උසාවියද ඔහු තම සටන් බිමක් බවට පත්කර ගත්තේය. එප්පාවල පොස්පේට් නිධිය රැකගැනීමේ ජන අරගලයේදී වැඩකරන ජනතාව සමඟ ඔහු දුන් නායකත්වය අගනේය. පොස්පේට් අරගලය පරාජයෙන් බේරා ගැනීම පුරෝගාමි මෙහෙවරක් ඉටු කළේය. ගොවිජන ව්‍යාපාරයටද ඔහු ආගන්තුකයෙකු නොවීය. පුවත්පත් ජනසතුව නමින් 1964දී පුවත්පත් රාජ්‍ය ඒකාධිකාරියට යටත්වීමට යෑමේදී එහි අනතුර කලින් දුටු අතලොස්සක් අතර තම්පෝද විය.

dharman03091610සී.එම්.යූ  මැයි පෙළපාලියක දසුනක්.

ලාංකීය අරගල ඉතිහාසයේ මහා පුරුෂයෝ දුලභය. ඔවුන් බිහිවන්නේ ඓතිහාසික සමාජ අවශ්‍යතාවයන්ගේ ගැබෙනි. ඉතිහාසය ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහිකරන අතර ඔවුන් ඉතිහාසයේ ගමන්මඟ හසුරවති. ඉතිහාසය ගමන්මග වෙනස් කිරීමේ තම මෙහෙවරලා දිවිගෙවු ඔවුහු පරාජිතයෝ නොවූහ. ඒ බව ඉතිහාසයේ ලේඛනගත වන්නේ ඔවුන්ගේ ජීවිත කාලයේදී නොව ඉනික්බිතිවය. මානව හිමිකම් සුරකීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටි අධිනීතිඥ බාලා තම්පෝ නම්වූ වෘත්තිය සමිති නායකයාද නික්මගියේ එම ඉතිහාසය වෙත අපරාජිතවය.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

One Response to “මානව හිමිකම් සුරකීමේදී බාලා තම්පෝ ගේ භූමිකාව”

  1. Christie Says:

    තම්පෝද අනෙක් ඉන්දියානු පරපෝසිතයන්ට වඩා වෙනසක් නැත. සින්හලයන් අතර ජීවත්වූ මොහු රට්න් පිටව සිටිනවිට කියුවේ සින්හලයන් ඉන්දියානු පරපෝසිතයන්ට වෙනස්කම් කරන බවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress