වයික්කාලේ ජීවක අසපුවක අසිරිය
Posted on September 16th, 2016

ධර්මන් වික්‍රමරත්න

 තැනින් තැන ගලායන දිය සීරාවන්ය. දසත ගස් කොලන්ය. පසෙකින් මාඔය ගලා බසී. ඉන් නැගෙන්නේ අපූරු සිසිලකි. මෙය දේශගුණිය ස්වභාවික තුලනයේ මනා සංකලනයකි. ඒ තුළින් මීගමුව වයික්කාලේ කරුණාකරල ආයුර්වේද ස්පා ඇන්ඩ් රිසෝට් ජීවක අසපුවේ සිරි අසිරිය මතුවේ. එය  ශ්‍රී ලාංකීය ආයුර්වේද වෛද්‍ය සත්කාර ලෝකය පුරා සිටින සංචාරකයන්ට පමණක් නොව දැරියහැකි මිලකට වෙනස් විදියේ නිවාඩුවක් ගතකිරීමට දේශීය ජනයාටද විඳින්නට හැකි ස්ථානයකි. සමන් ප්‍රියංකර එහි හිමිකරුය.

Dharman Wickremaretneධර්මන් වික්‍රමරත්න

සමන් ප්‍රියංකර ප්‍රථමවරට ලියුම්කරුට හමුවූයේ 1990 මුල්භාගයේදී තායිලන්තයේ තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලන සරණාගතයින් සිටි නිවසකදීය. ජවිපෙ 2වැනි කැරැල්ල ඇද වැටීමෙන් පසු 1989 අවසාන භාගයේ සිට 1991 මුල්භාගය දක්වා තායිලන්තයට පසුබැස ගොස් දේශපාලන රැකවරණ රැකවරණය ලබාගත් පිරිස 127කි. ඒ අතර ඉන්දියාවේ සිට පැමිණි ජවිපෙ ඉතිරිවූ එකම දේශපාලන මණ්ඩල සභිකයාවූ  සෝමවංශ අමරසිංහ සහ ඔහුගේ පවුලේ අයද විය. ඔවුහු තායිලන්තියේ නොන්නබූරි ඇතුළු ස්ථාන 7ක සහ වට්ඉන්ද විහාර් පන්සලේ ස්ථානගතවී සිටියහ. බැංකොක් නුවර එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන් වලට නිරතුරුව එහි ගිය ලියුම්කරු එහි ශ්‍රී ලංකා දේශපාලන සරණාගතයෙකුව සිටි විනිවිද සඟරාවේ සංස්කාරකවරයෙකුවූ මානව හිතවාදි භික්ෂු සංවිධානයේ එගොඩබැද්දේ ගුණසිරි හිමියන්ගේ(පසුව උපැවිදිව වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර ජීවත්වන මුණසිංහ) ඇරයුම පරිදි එහි සිටි කිහිප දෙනෙක් එකල හමුවිය. වැලිගම සමන් ප්‍රියංකරද ඒ අතර විය.

dharman17091601සමන් ප්‍රියංකර 2016 වයික්කාලේදී සහ 1990 බැංකොක් නුවරදී(වමේ සිට)

තායිලන්තයේ දේශපාලන රැකවරණ ලැබු සමන් ප්‍රියංකර පසුව 1991 මුල්භාගයේදි ජවිපෙ කැරළිකරුවන් 6 දෙනෙකු සමඟ ජපානයට ගොස් වෙල්ඩර් කෙනෙකු වශයෙන්ද කලක් කටයුතු කළේය. ජවිපෙ ජපන් කමිටුවේ ප්‍රධාන සංවිධායක ලෙස 1992 සිට 2008 මැයි 20 දක්වා ඔහු ක්‍රියාකාරි විය. සයුරු ඉන්ටනැෂනල්  නමින් ප්‍රධාන ව්‍යාපාර 2ක හිමිකරුවූ සමන් දේපල වෙළෙදාම් සහ වාහන අපනයන ක්ෂේත්‍රයන්හි රටවල් 44ක් සමඟ ව්‍යාපාර ගනුදෙනු කරන ජපන් සමාගමක හිමිකරුවකේ බවට පත්විය. ඉකුත් වසරේ ජපානයේ කියතෝ පරිසර වැඩසටහනකට ගිය අවස්ථාවකදී  පැය කිහිපයක් ඔහු සමඟ කථාකිරීමට ලියුම්කරුට හැකිවිය.

මෙයට දශකයට පමණ පෙර සයුරු ප්‍රින්ටස් නමින් මුල් පෙළේ මුද්‍රණාලයක්ද ඔහු විසින් ශ්‍රී ලංකාවේ අරඹන ලදී. එය අදටද සවිමත් අක්මුල් සහිතව විහිදී පැතිරී පවතී. සමන් ප්‍රියංකර ශ්‍රී ලංකාවේ ඇරඹූ නවතම ආයෝජනය වන්නේ වයික්කාලයේ කරුණාකරල ආයුර්වේද ස්පා ඇන්ඩ් රිසෝට්ය. ඉරිදා ලක්බිමේ තිස්ස ප්‍රේමසිරි, ඉරිදා දිවයිනේ බූලිත ප්‍රදීප් කුමාර ඇතුළු මාධ්‍යවේදී කණ්ඩායමක් සමඟ ඉකුත්දා එහි ගිය පිරිසට ලියුම්කරුද එක්විය.

dharman17091602මීගමුව වයික්කාලේ කරුණාකරල ආයුර්වේද ස්පා ඇන්ඩ් රිසෝට් දර්ශනයක්.

ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෙදකම වසර 5000කට වඩා පැරණිය. ආයුර්වේද වෙදකම කොටස් 2කි. ඒ ඉන්දියානු සහ පාරම්පරික ලෙසය. එම දෙකම කරුණාකරල ආයුර්වේද ස්පා ඇන්ඩ් රිසෝට්හි  ඇත.. ඉදිකිරීම සඳහා වසර 2ක් ගතවූ අතර වැයකල මුළු මුදල රුපියල් දශලක්ෂ 200කි. මෙහි යුගල හෝ ද්විත්ව ඇදන් සහිත කොටේජ් 17කි. විදේශීය මෙන්ම දේශීය සංචාරකයින්ටද විවෘත්තය. ආයුර්වේද පංචකර්ම සඳහා තෙදින, පස්දින සහ දෙසතියේ සත්කාර සේවා වැඩසටහන් ක්‍රියාත්මකය. ජපානයේ දැනටමත් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රතිකර්ම ලබාදෙන නිකේතන 21ක් ඇත. එහෙත් අත මිට සරු ජපන් ජාතිකයින් වැඩි කැමැත්තක් දක්වන්නේ ශ්‍රී ලංකාවටම පැමිණ එම ප්‍රතිකර්ම ලබාගැනීමටය.

dharman17091603කාමරයක අභ්‍යන්තරයේ දර්ශනයක්.

මීගමුව වයික්කාලේ මාඔය ගලාගෙන යන නිම්නයේ අක්කර 2කට ආසන්න රමණීය භූමි භාගයක කරුණාකරල රිසෝට් පිහිටා ඇත. එය සමන් ප්‍රියංකර සැබෑ කරගත් තවත් සිහිනයකි. ඔහු ආමඟ සැබවින්ම වේදනාකාරි විය. වෙහෙසකර විය. ඒ දුෂ්කර කටුක මාවතේදී එක් සන්ධිස්ථානයකදී සියල්ල උඩු යටිකුරු විය. එහෙත් සියළු කටුක දුක් විද දරාගෙන එම සිහිනය සැබෑ කරගෙන ලාංකීය සංචාරක ව්‍යාපාරයට මෙමගින් නැවුම් පැතිකඩක් විවර කර ඇත.

dharman17091604ආයුර්වේද ප්‍රතිකාර කරන අයුරු.

වර්තමානයේ  ලෝකයේ ජීවත්වන බොහෝ ජනයා වැඩි කැමැත්තක් දක්වනුයේ හරිත වර්ණ ඇස ගැටෙන පරිසර හිතකාමි අන්දමින් නිර්මාණයවූ නිවාඩු නිකේතනයන්ටය. මනසට සුවය සලසන පරිදි නිර්මාණය කර ඇති කරුණාකර නිකේතනය පරිසර හිතකාමි සංකල්පය මත ස්ථාපිතය. දැනටමත් එය ජපානය ඇතුළු ආයුර්වේද සත්කාර විඳගැනීමට පැමිණෙන සංචාරකයින් අතර ජනප්‍රිය වෙමින් පවති. වෙදගෙදර නමින් ආයුර්වේද රෝහලක්ද මෙහි ඇත. රජය පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන් සහිත කාර්ය මණ්ඩලයකින් ප්‍රතිකාර ලබාදීම සිදුකෙරේ. තැනක පන්සලකි. වටපිටාවේ කොහොඹ, බෙලි, දිවුල්, කාමරංගා, කටු අනෝදා ඇතුළු ආයුර්වේදයට අදාළ විවිධ ශාකයන් 41කි.

dharman17091605නේවාසිකව සිටි ජපන් සංචාරකයින් පිරිසක්.

සෑම කාමරයකම ඇතුළත නිමකර ඇත්තේ කොහොඹ ලෑලි වලිනි. අභ්‍යන්තර නාන කාමර ජපානයේ නිෂ්පාදිත අතිනවීන උපකරණ වලින් සමන්විතය. ආයුර්වේද සත්කාර වලට සරිලන ආහාරද ලබාගැනීමට හැකිවීමද විශේෂත්වයකි. තෝප්පුතොට මුහුදු වෙරළට සහ හැමිල්ටන් ඇලට මෙතැන සිට මීටර් 750කි. මිගමුව නගරයට කිලෝමීටර් 8කි. මුතුරාජවෙල තෙත් බිමට වැඩි දුරක් නැත. ලඟම දුම්රිය ස්ථානය වයික්කාලය. පිහිනුම් තටාකද ඇත. මාඔය සහ ඒ අවට සිරි අසිරිය විදින්නට බෝට්ටු සේවාවක්ද ක්‍රියාත්මකය.සිසිල් සුළං හමයි. සඳ මෝදු වෙමින් පවතී. තරු සිනහසෙන්නාක් මෙනි. වයිකාලයේ ජීවක අසපුවේ සාමාන්‍යධිකාරි හේෂාන් රණවීර ප්‍රමුඛ කාර්ය මණ්ඩලයෙන් අපි සමුගත්තෙමු. වයික්කාලේ කරුණාකරල ආයුර්වේද ස්පා ඇන්ඩ් රිසෝට් පිළිබඳ  විස්තර 0312272750 හෝ www.karunakarala.com වෙඩ් අඩවියට යොමුවීමෙන්ද ලබාගත හැකිය.(The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

dharman17091606යාබඳව පිහිටි මාඔයේ බෝට්ටු සවාරියක්.dharman17091607පිහිනුම් තටාකය දිස්වන අයුරු

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress