ආණ්ඩුව පොට මාරු කරන ජනප්‍රිය පාසල් ගැටලුව
Posted on September 17th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා විසින් 1945 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගත් ශ්‍රී ලාංකිකයන් එම අධ්‍යාපනයම දේශපාලනීකරනය වීම තුල අද  පීඩනයට පත්වන අයුරු දකින විට මට මතක ඇති කාලයේ ඇසූ දුටු  සිදුවීම් යලි මතකයට නැගේ.

දැන් තරමටම පිස්සුවක් නූනත් තම දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කර ගැනීමේ තරගය 80 දශකයේ මුල භාගයේදී ද තිබිනි. එකල මාතර  සුජාතා බාලිකාවේ ප්‍රාථමික  අංශයේ විදුල්පතිනිය වූයේ අපේ අම්මාය.

ඒ කාලයේ වසරේ අගෝස්තු නිවාඩුව මගේ මතකයේ විශේෂයෙන් ඇත්තේ, නිවාඩු යන නම ලැබුනත් ඒ කාලය තුල අම්මාට කිසිම නිවාඩුවක් නොතිබුන නිසාය. පළමු වසරට ඇතුලුවීම සඳහා ලැබෙන අයැදුම්පත් විශ්ලේෂණය කිරීම සඳහා ඈට සතියකට කිහිප වරක් උදය වරුවේ පාසලට යන්නට සිදුවූ අතර හවසට, තම දරුවා සුජාතාවට ඇතුලත් කිරීමට උදව් කරන්නැයි ඉල්ලමින් නිවසට පැමිනෙන අයගෙන් අඩුවක් නොවේ. මේ බොහෝ අය අම්මා දන්නා හඳුනන අය මාර්ගයෙන් හැඳිනුම්කම් හදාගෙන පැමිනි අතර, ඉටු කල නොහැකි ඉල්ලීම් කරන අයගේ  සිතත්, ඔවුන්ව යොමුකල හිතවතාගේ සිතත් නොරිදවා ආපසු හරවා යැවීමට සිදුවීම තුල ඒ නිවාඩු මාසයේදී කායිකව ලද වෙහෙසට වඩා තමාට හැකි  උපරිම අවංක   භාවයෙන් රාජකාරිය කල

 අම්මා විඳෙව්වේ මානසිකවය.

අපේ අම්මා 1949 දී තම පළමු පත්වීම ලැබුවේ එකල සමාගම් පාසැලක් වූ මාතර කඹුරුපිටිය බාලිකා විදුහලේ ගුරුවරියක  ලෙසය. පසුව එය රජයේ විදුහලක් බවට පත්විය. 1953 දී ඇයට විදුහල්පති තනතුර ලැබිනි. විවාහයෙන් පසුව තාත්තාගේ කාර්ය බහුල රැකියාව නිසා ඔවුහු මාතර නගරයේ පදිංචි වූහ. ඉන්පසු ඈ දිනපතා බස් රියෙන් කඹුරුපිටි ගියාය. 1969 දී තාත්තාට වැළඳුනු හදවත් රෝගයක් නිසා නිතර අසනීප වීමත්, තම කුඩා දරුවන් 6 දෙනාගේ වගකීමත් නිසා 1970 පමන වන විට අම්මාට මාතර නගරයේ පාසලකට මාරුවක් ලබා ගැනීමට අවශ්‍ය විය. කිසිදා දේශපාලනයේ නියැලුනේ නැති නමුදු අම්මාගේ කාර්යාලීය මේසයේ ඇතිරුනු කොලපාට මේස රෙද්ද නිසා අම්මා ‘යූඇන්පී කාරියක’ ලෙස හංවඩු ගැසී තිබිනි. අප දෙමව්පියන් හඳුනන කඹුරුපිටියේ වැසියෙකු ඒ  දිනවල තාත්තා  හමු වන්නට පැමිනියේය. මෙවර සමගි පෙරමුුණු රජය ජයගත්විට අම්මාව මඩකලපුවට මාරු කරන බව පලාතේ  දේශපාලන බලවතෙකු පැවසූ බව ඔහු තාත්තාට පැවසීය. තාත්තා ඒ කතාව සිනාසී බැහැර කලේය. මැතිවරණය අවසන් වී ටික දිනකින් මාතර ශාන්ත තෝමස් බාලිකාවේ ප්‍රාථමික විදුහල්පතිනිය විශ්‍රාම ගන්නා නිසා එම තනතුර හිස් වන බව දැනගත් අම්මා එවකට මාතර මන්ත්‍රීවරයා මෙන්ම නව සමගි පෙරමුණු රජයේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාද වූ බී. වයි. තුඩාවේ මහතා හමු වන්නට ගොස් තම දුෂ්කරතා පවසා එම තනතුරට අදාල සේවා මාරුව ඉල්ලා සිටියාය. ඔහු  අපේ අම්මා ගැනත් ඇයට වැදී තිබුනු ‘යූඇන්පී’ ලේබලය ගැනත් හොඳින්ම දැන සිටියේය. නමුත් ඔහු පවසා තිබුනේ ” මිසිස් ගොඩකන්දෙ ආරච්චි, ඔබ හුඟක් සුදුසු කම් ඇති කෙනෙක්. ඔබට තව මාස තුනක් ඉන්න හැකි නම් සුජාතා බාලිකාවෙ ප්‍රාථමික විදුහල්පති තනතුර හිස් වෙනවා. ඒ තැන ඔබට දෙන්න පුලුවන්” කියාය. එදා පැවසූ පරිදිම ඔහු එම මාරුව අම්මාට ලබා දුන්නේය. ඒ එදා පැවති දේශපාලනයයි.

අපේ පුංචි අම්මා විවාහ කරගෙන සිටි බාප්පා තම ඍජුු  විවේචනශීලී කතාබහ සම්බන්ධව ප්‍රසිද්ධව සිටියේය. ඔහු ඉහල උපාධි හා වෙනත් බොහෝ වෘත්තීය සුදුසුකම් ලද අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීඝර්‍ කාලීන පලපුරුද්දක් තිබුන අයෙකි. 1977 වන විට ඔහු මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන  අධ්‍යක්ෂවරයා ද විය. 1977 එජාප රජය බලයට පැමිනිිවිට ක්‍රියාත්මක වූ දේශපාලන කතුරට හසුු වූ ඔහුුට මාතර සුල්තානාගොඩ කණිශ්ඨ විදුහලේ විදුහල්පති ලෙස සේවා මාරුවක් ලැබිනි. වරක් අගෝස්තු මාසයේ දිනක, ළමයි පාසලට ඇතුලත් කිරීම සම්බන්ධව අපේ අම්මාට තිබෙන කරදරය දුටු ඔහු සිනාසුනේය. ” ඒකට මම ! මම නම් පාරට බැහැල යන එන මිනිස්සුන්ට අත්පුඩි ගහල කතා කරල කියනව, මෙතැනත් ඉස්කෝලයක් තියනව. ළමයිව එවන්නකො කියල” ඒ 1981 දී පමනය. මේ වදන් තුල එදා ඒ සමාජය හසු වෙමින් ගිය පෙරලිය කදිමට කියැවින.

බාප්පාට සුල්තානාගොඩට මාරුව ලබා දෙන්නට ප්‍රථම, නව එජාප රජය පත්වී මාසයක් ඇතුලත ඔහු එතෙක් දැරූ තනතුරට කෙනෙක් පත්කර එවා තිබිනි. නව සහකාර අධ්‍යක්ෂකට තම කාර්යාල කාමරය දෙන්නට සිදු වූ ඔහුට ඉන්පසු නිශ්චිත තනතුරක් තිබුනේ නැත. මඳක් පලල්  වූ කොරිඩෝවේ කුඩා මේසයක් හා පුුටුවක් තබා එතැන සිටින ලෙස බාප්පාට දන්වනු ලැබීය. වඩාත්ම වැදගත් දේ නම් ඔහුට මෙවන් මදි පුුංචිකම් විඳින්නට සිදු වූයේ ඔහු කල දේශපාලනයක් නිසා නොව, වරද දුටු  තැන තරාතිරම නොබලා නොබියව කතා කරන්නට හා නිවැරදි කරන්නට ඉදිරිපත් වූ බැවිනි. නමුත් එය පෙර පැවති රජයට නම් එතරම් ප්‍රශ්නයක් නොවීය. එමෙන්ම තමනට ලැබුන දේ භාරගත් ඔහු වරප්‍රසාද සඳහා කිසිවකු ඉදිරිපිට දෙකට නැමුනේ නැත. ඉන්පසු  වසර  13  ක් ගතවී විශ්‍රාම යන තුරු යලි කිසි දිනක ඔහුට තම සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලැබුනෙ  නැත.

එකල අධ්‍යාපන ඇමති නිශ්ශංක විජේරත්න වූ අතර ලයනල් ජයතිලක නියෝජ්‍ය ඇමති විය. මේ මෑතකදී මා දන්නා හඳුනන කාන්තාවක් ගම්පහ කළගෙඩිහේනේ පදිංචි තම සහෝදරයාගේ දියණිය කොළඹ විශාකාවට ඇතුලත් කිරීම සඳහා ඇමති නිශ්ශංක විජේරත්න  තම අත් අකුරින් ලියා ලබා දුන් නියෝගයක් සම්බන්ධව මහත් ආඩම්බරයෙන් කතා කල විට මට මේ සිද්ධීන් සිහිපත්  විය.

මේ සිද්ධි එක දෙක තුල වුව අධ්‍යාපනය දේශපාලනීකරනය වූ අයුරු පැහැදිලිය.

සැප්තැම්බර් 14 වන දා, තම දරුවන්ගේ පාසල් පිලිබඳ ප්‍රශ්නය පාදක කරගෙන ඉසුරුපායට රැස් වූ වෙෙද්‍යවරුන් සම්බන්ධව මාධ්‍ය හමුවේදී කල කතාවේදී, අධ්‍යාපන ඇමති අකිල විරාජ්ගේ ඍජු ලිපි මගින්  කොළඹ ජනප්‍රිය පාසල් වලට ළමුන් 200 ක් පමන ඇතුලත් කර ඇති තොරතුර ගැන මාධ්‍යවේදීහු ඔහුගෙන් විමසූහ. එම ප්‍රශ්නය ඉතා පහසුවෙන් මග හැරිය ඔහු ඊට පිලිතුරු ලෙස කිසිදු අදාලත්වයක් නැති තොරතුරු වගයක් පවසන්නට  විය. ඒ ප්‍රශ්නය යලි නැගෙන විට ”හොඳයි ඔබතුමන්ලාට බොහොම ස්තුතියි” කියා පවසමින් සාකච්ඡාව අවසන් කලේය. 

වෙෙද්‍යවරුන්ගේ  දරුවන්ට පාසල් ඉල්ලා සිටීම පිලිබඳ ප්‍රශ්නය පුවත්පත්වල පලවූ විට ඒ ගැන රජය විසින් මැවුුවේ අමුතුම චිත්‍රයකි. එනම් වෙෙද්‍යවරු තම දරුවන්ට රාජකීය සහ විශාකා වැනි  පාසල් ඉල්ලන බවයි. මේ ජනප්‍රිය පාසල් කතාවට අධ්‍යාපන ඇමති විසින් ලබා දුන් අර්ථ කතනය තුල ජනතාවගේ දැඩි කෝපය වෙෙද්‍යවරුන් වෙත පමනක් එල්ල වූ හැටි කදිමය.  මේ ඉල්ලීම වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පමනක් ඉදිරිපත්  වූ නිසා මෙය වෙෙද්‍යවරුන්ගේ පමනක් ප්‍රශ්නයක් බවට පත්විය. නමුත් මෙම තත්වය මෙසේ වසර පහකට වරක් ස්ථාන  මාරු ලබන  ශ්‍රී ලංකා පරිපාලන සේවය වැනි වෘත්තිකයන්ටද බලපායි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ක් ඇත. මේ සියලු දිස්ත්‍රික්කවල සේවය කරන වෙෙද්‍යවරුන්ගේ දරු පවුල් කොළඹ පදිංචිව සිටින බවත් ඒ නිසාම ඔවුන්ගේ දරුවන් කොළඹ ජනප්‍රිය පාසල්වලට යන බවත් ඔබ සිතනවාද? වසර  පහකට වරක් ඔවුන්ට මාරුවීම් ලැබෙන අතර විශේෂයෙන් විදෙස් පුහුණුවක් අවසන් කර පැමිනි විට ඔවුන්ට ලැබෙන්නේ දුෂ්කර පත්වීමකි. තම වෘත්තිය අනුව ලැබෙන මාරුවීම්  භාර ගත යුතු වනවානම් ඔවුන් තම දරුවන්ට තමන් සේවය  කරන ප්‍රදේශයේ අැති ජාතික පාසලක් ඉල්ලා සිටීමේ ඇති වරද කුමක්ද?

ශ්‍රී ලංකාවේ  ඇති දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරන මැති අැමතිලා සියල්ලන්ගේම පාහේ දරුවන් යන්නේ කොළඹ රාජකීය, විශාකා හෝ වෙනත් ඉහලම තලයේ පාසලකටය. මේ මැති ඇමතිවරුන්ගේ කුහක කමයි. කිසි විටෙක මොවුන් තමන් චන්දය ඉල්ලන දිස්ත්‍රික්කයේ රැඳී සිටිනවාද? ඔවුන්ට කොළඹ  නිවෙස් ඇති අතර දරුවන් රටේ ඉහලම පාසල්වලට ඇතුලත් කර ගැනීමේ වී අයි පී වරමද හිමිිව තිබේ.ඒ තීරු බදු  රහිත  වාහන, සීමාවක්  නැති දීමනා මෙන්ම ඔවුන් ලබන විශේෂ වරප්‍රසාදයේ කොටසකි. එමෙන්ම  බොහෝ  නලු  නිලියන්, ගායක ගායිකාවන්ගේ දරුවන්ටද මේ වරප්‍රසාදය ලැබේ. නමුත් මේ බොහෝ දෙනෙක් පදිංචිව  සිටින්නේ කොළඹින් පිටත අර්ධ  නාගරික ප්‍ර්‍රදේශවලය. මේ ද  විශේෂ හැඳිනුම් කම් ඔස්සේය. මේ වරම මැති ඇමතිිලාට පමනක් නොව ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලටද හිමිය. එසේම ඕනෑම බලපුලුවන්කාරයෙකුටද මෙය වලංගු  වේ.

සියලු වෘත්තීන් සමාන බවද කිසිවෙකුට වැඩි වරප්‍ර්‍රසාද, වටිනාකම් නැතැයිිද පසුගිය දිනක  තම මුහුණු   පොතේ පිටුවකින් පැවසූූයේ අගමැතිවරයාය. තම ගෝල බාලයින්ගේ කල් ක්‍රියාව හා ඔවුන් භුක්තිි විඳින වරප්‍රසාද   දකින විට තමා මේ කියන්නේ ඇත්තද  කියා නැවත සිතා බලන්නේ නම් යෙහෙකි. 

තවත් වැදගත් කරුණක් ඇත. අප වෘත්තියක් ගැන මනින විට එහි ප්‍රතිස්ථාපන හැකියාවද සොයා බැලිය යුතුය. වෙෙද්‍ය වෘත්තිය යනු  එසේ ප්‍රතිස්ථාපනය කල හැකි වෘත්තියක් නොවේ. දීඝර්‍ කාලීන න්‍යායික සහ ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ඔස්සේ  බිහිවන වෙෙද්‍යවරයෙකු වෙනුවට  අපට සිතන තරම්  පහසුවෙන් වෙනත් අයෙකු ආදේශ කල නොහැක.  

එදා සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා සද්භාවයෙන් අප රටේ   ස්ථාපිත කල නිදහස් අධ්‍යාපනය වඩාත්ම දේශපාලනීකරනය වූයේ  1977 න් පසුවය. වත්මන් අධ්‍යාපන ඇමතිවරයා හැමදාමත් ‘ලඟම පාසල  හොඳම පාසල’ යනුවෙන් සංකල්පයක් ගෙනාවත් එය අද දක්වාම ඒ වචන කිහිපයට පමනක් සීමා වී ඇත. එය  සැබෑවක් කරන්නට උත්සාහයක් හෝ දරනවා නම් එදා පාලිත  තෙවරප්පෙරුම ඇමතිවරයා මීගහතැන්නේදී රඟ දැක් වූ  නාඩගම මෙන්ම අද මේ පැන නැගී තිබෙන වෙෙද්‍යවරුන්ගේ ගැටලුුවද ජනතාවට දක්නට  ලැබෙනු නැත. එය එසේ නම් දේශපාලකයන්ටද අවශ්‍ය වෙලාවට පමනක් කොළඹ පැමින, තම තමන්ගේ බල  ප්‍රදේශවල සිට සේවය  කල හැකි  වනු  ඇත. එදා ජනාධිපතිවරයා විසින් මීගහතැන්න ළමුන් 9  දෙනාට මතුගම සාන්ත මේරි  විද්‍යාලය  ලබා  දීම තුල ඔහු අකිල විරාජ්ගේ  ලඟම  පාසල  සංකල්පයට අතුල් පහරක්  එල්ල කරමින් තම  දරුවන්  ජනප්‍ර්‍රිය පාසල්වලට දමා  ගැනීම සඳහා අලුත් ක්‍ර්‍රමවේදයක්ද හඳුන්වා දුන්නේය.

ඒත් මේ  සිහින   සැබෑ කරගන්නේ කෙසේද? මේ ඇමතිවරුන්ට පසුුගිය රජය චප්ප කරදැමීමේ  වගකීම ප්‍රමුඛතාවක් ලෙස පැවරී  ඇතිකොට තම අමාත්‍යංශ වල වගකීම් ඉටු කරන්නට ඉතිරිව ඇත්තේ සුලු කාලයකි. ඉතින් මෙවන් ප්‍රශ්නයක් පැන නැගුන විට ඒ ඉල්ලීම කල තැනැත්තන් ජනතාව හමුවේ වරදකරුවන් කර තමන් නිදොස් වීම සඳහා ලනු ඇඹරීමට ඒ කාලයත්  වැයවේ. 

ජනතාවවත් මේ ගැට  වලට  හසු නොවී විශ්ලේෂණාත්මකව මේ කරුනු දෙස බලන්නට පුරුදු වනවා නම් මේ අසීරු  මොහොතේ රටට යහපතක් වනු ඇත.

 

One Response to “ආණ්ඩුව පොට මාරු කරන ජනප්‍රිය පාසල් ගැටලුව”

  1. Christie Says:

    සින්හලයන්ගේ ඉගෙනීම වලපල්ලට ඇදදැම්මේ 56 ඊනියා විප්ලවයය. දහනායකයා මැදිවිදුහල් විනාස කලේය. සින්හලයන්ගේ ඉගෙනීම එතනින් ඉවරය.

    ඉන්දියානු පරපෝසිතයන්ට ස්කෝල ප්‍රස්න නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress