ළමා සොල්දාදුවා
Posted on September 20th, 2016

 වෛද් රුවන් එම් ජයතුංග

2004 වසරේදී පමණ මම චිත්‍ර ප්‍රතිකාර කියා වැඩ පොතක් එළි දැක්වූයෙමි. මෙම පොත චිත්තාවේගීය ගැටළු තිබූ ළමුන් සඳහා Expressive Therapy  හෙවත් ප්‍රකාශාත්මක චිකිත්සා සඳහා යොදා ගත හැකිය. මේ පොත මුද්‍රණය කොට බෙදා හරින ලද්දේ කඳානේ ANL ප්‍රකාශකයන් විසිනි. 

චිත්‍ර ප්‍රතිකාර පොත පළවී ස්වල්ප කාලයකට පසු ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරිනියක් මා අමතා මෙම පොත දැනට හමුදාවට භාර වූ හෝ අත් අඩංගුවට පත් වූ එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් සඳහා ප්‍රතිකාරාත්මක මාධ්‍යක් ලෙස සාර්ථකව භාවිතා කරන බව දැන්වීය. එය  එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් සමග මගේ ප්‍රථම සායනික අත්දැකීම විය. 

පසු කාලයක බොහෝ මානසික  ව්‍යාධි තිබූ  එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් මට හමු විය. ඒ අත්දැකීම් මත මම මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සමග පරියේෂණ පත්‍රිකාවක් ලියූවෙමි. එය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කරන ලදි. 

ruwan20916

2011 වසරේදී මට කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී ජෙනරාල් රොමියෝ ඩැලා මුණ ගැසුනේය. ඔහු රුවන්ඩාවේ ජන ඝාතන සිදුවන විට සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරියා විය. රුවන්ඩාවේ ජනඝාතන නවත්වා දැමීම සඳහා ජනාධිපති ක්ලින්ටන් කිසිවක් නොකල බවත් තමා විසින් කල ආයාචනා නොසලකා හැරිය බවත් ජෙනරාල් රොමියෝ ඩැලා මට කීවේය. මේ හේතුවෙන් මානසික පීඩාවට ලක් වූ ජෙනරාල් රොමියෝ කැනේඩියානු යුද හමුදාවෙන් ඉවත් වී ලෝකයේ ළමා සොල්දාදුවන් තුරන් කිරීමේ සද් කාර්‍යට කැප විය.

 මම ශ්‍රී ලංකාවෙන් කියා දැනගත් විට ඔහු ඇසුවේ එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් ගැනය. 2009 යුද්දයෙන් පසු ලංකාවට විත් පුනරුත්තාපනය වන එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් මුණ ගැසීමට ජෙනරාල් රොමියෝ ඩැලාට අවශ්‍ය වූවද බටහිර කුමන්ත්‍රණ වලට බිය වූ අපේ මනප්පුවන් ඊට ඉඩ දුන්නේ නැත. 

ජෙනරාල් රොමියෝ ඩැලා හමුවීමට පෙර 2009 වසරේ පමණ වූ සිදුවීමක් මම කියමි.  වරක්   මම ඩොන් මිල්ස්හි ඉන්ධන මධ්‍යස්ථානයකට ගියේ මගේ මෝටර් රථයට ගෑස් ගැසීම සඳහාය. ඉන් පසු අදාල මුදල් ගෙවීමට මම කවුන්ටරය වෙත ගියෙමි. එම කවුන්ටරයේ  සිටියේ ලාබාල ද්‍රවිඩ තරුණයෙකි. 

මේ කාලය ප්‍රභාකරන් ගේ මරණය සිදුවී තිබූ කාලයයි. ඔහු මා සිංහලයෙකු ලෙස හඳුනා ගත් බව මට වැටහුණි. එම තරුණයා මා දෙස හෙළුවේ වෛරය  මුසු බැල්මකි. මගෙන් මුදල් ගනිද්දී ඔහු මගේ මුහුණ දෙසවත් බැලුවේ නැත. 

ඉන්පසු මම කීප වරක්ම එම ඉන්ධන මධ්‍යස්ථානයට ගිය මුත් ඔහු මා කෙරෙහි දැක්වූයේ විරසක ප්‍රතිචාරයි. 

කිසිදු හේතුවක් රහිත මෙම අඝාත වෛරයට තිත තියනු වස් වරක් මම ඔහුට වනක්කම් කීවෙමි. මගේ ආචාර කිරීමට නිහඞව සිටීමට නොහැකි වූ ඔහු මටද පෙරළා වනක්කම් කීවේය. මෙලෙස මම ක්‍රමක් ක්‍රමයෙන් මම අයිස් බින්දෙමි. ඉන් පසු ඔහු මට ධනාත්මක ප්‍රතිචාර දැක්වීය. 

එක් දිනක්  මම ඉන්ධන මධ්‍යස්ථානයට යන විට ඔහු සිටියේ දුක්මුසු විලාශයෙනි. ඊට හේතුව නම් යාපනයේ සිටින ඔහුගේ පියා රෝගාතුර වී සිටීමය. මම වහාම මහාචාර්‍ය දයා සෝම සුන්දරම් අමතා මහාචාර්‍ය  සෝමසුන් දරම් මගින් යාපනය රෝහලේ හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත ඔහුගේ පියා යොමු කිරීමට  පියවර ගත්තෙමි. ඉන් පසු මෙම තරුණයා මා සමග මිත්‍ර විය. 

ඔහුව මම සාති කියා පාඨකයාට හඳුන්වා දෙමි. සාති ඔහුගේ ජීවිත කතාව මා සමග කීවේය. ඔහුගේ ගම ප්‍රභාකරන් ගේ ගම වූ වෙල්වෙටිතුරේය. ඔහු වයස 12 දී එල්.ටී.ටියට බැඳී ළමා සොල්දාදුවෙකු විය. වසර කීපයක් ළමා සොල්දාදුවෙකු ලෙස සිටි ඔහු නීති විරෝධී ලෙස කැනඩාවට විත් සරණාගත වීසා ඉල්ලා සිටියේය.  වසර කීපයක් තුලදී ඔහුට සරණාගත වීසා ලැබුනේය. ඉන් පසු ඔහු ඉන්ධන ගබඩාවේ රැකියාවක් ලබා ගත්තේය. 

සාති ද්‍රවිඩයෙකි. ඔහු ප්‍රභාකරන් වන්දනා කරන්නෙකි. සිංහලයන් යනු මෘග ජන කොටසක් කියා සිතා සිටි අයෙකි. එහෙත් මා හමුවීමෙන් පසු සිංහලයන් අතරද යහපත් මිනිසුන් සිටින බව ඔහුට තේරුම් ගිය බව සාති කීවේය. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress