චන්ද්‍රිකා නොදන්න දේ ගම්මන්පිල කියාදෙයි.. බෑණා ළග තියාගෙන කියූ බේගලය.. සිංහලයන් අද කොතරම් අසරණද…
Posted on September 22nd, 2016

– අරවින්ද අතුකෝරල

September 20, 2016 at 4:40 pm

පිවිතුරැ හෙල උරැමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ඩෙන්මාර්කයට අපේ ප්‍රණාමය

අපි පසුගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ඩෙන්මාර්ක් ආණ්ඩුව විසින් දෙමළ ඊලම ස්වාධීන රාජ්‍යයක් ලෙස පිලිගෙන ඇති බව ප්‍රථම වරට හෙලිදරව් කළා. පැය 48ක් ඇතුලත ඩෙන්මාර්ක් රටේ අපේ තානාපතිතුමාට කණගාටුව පල කරලා ආණ්ඩුවේ වෙබ් අඩවි වල ස්වාධීන රාජ්‍ය ලැයිස්තුවෙන් දෙමළ ඊලම ඉවත් කිරීමට ඩෙන්මාර්ක් ආණ්ඩුව කටයුතු කළා. ඩෙන්මාර්ක් ආණ්ඩුව ගත් ඒ ක්ෂණික ක්‍රියා මාර්ගයට අපේ ප්‍රණාමය පුද කරනවා. මේ වගේම මීට පෙර ඔස්ට්‍රේලියානු ආණ්ඩුවත් කණගාටුව පල කර දෙමළ ඊලම තම ස්වාධීන රාජ්‍ය ලැයිස්තුවෙන් ඉවත් කරන්න කටයුතු කළා. මෙයින් එකක් පැහැදිලියි. අපේ විදේශ අමාත්‍යාංශය අවදියෙන් ඉන්නවා නම් කාර්යක්ෂම කටයුතු කරනවා නම් දෙමළ ඊලමට පිලිගැනීමක් ලබා ගැනීම අමාරුයි. අපිට උවමනාව තියෙනවනම් කැපවීම තියෙනවනම් දෙමළ ඊලාම් රාජ්‍යයට පිලිගැනීමක් ලබා ගැනීමට transnational government of tamil eelam දරන මේ වෑයම පරාජය කළ හැකි බව පැහැදිලියි.

චන්ද්‍රිකා නොදන්න දේ ගම්මන්පිල කියාදෙයි.. බෑණා ළග තියාගෙන කියූ බේගලය.. සිංහලයන් අද කොතරම් අසරණද…

මේ කාරණයේ දී අපේ විදේශ අමාත්‍යාංශය ඉතාම කාර්යක්ෂමව කටයුතු කරලා තිබෙනවා. අපි කාරණය මාධ්‍ය ඉදිරියේ මතු කළ දවසේම ඩෙන්මාර්ක් ආණ්ඩුවේ අවධානය ඊට යොමු කරවන්න විදේශ අමාත්‍යාංශය කටයුතු කළා. අපි හැමදාම විදේශ ඇමතිතුමාට එරෙහිව කර්කශ විවේචන ඉදිරිපත් කරනවා. එතුමාව අගය කරන්න අවස්ථාවක් ලැබිලා නෑ. එතුමන්ව අගය කරන්න මෙවැනි දුර්ලභ අවස්ථාවක් ලැබුනම අපි කීයටවත් ඊට පැකිලෙන් නෑ. එතුමාට ගෞරවය ලැබිය යුතු තැන එය ලබා නොදෙන්න තරම් අපි කුහක නෑ. ඒ නිසා මංගල පින්සර විදේශ ඇමතිතුමනි ඔබට බොහොම පින්. අපි මාධ්‍ය හරහා මතු කරන්න පෙර මෙවැනි දෑ දැනගෙන ඊට එරෙහි වීමේ ක්‍රම වේදයක් විදේශ අමාත්‍යාංශය සතු විය යුතු බවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

බුදු දහම සහ ඒකීය ව්‍යවස්ථාව පිලිබඳ ආණ්ඩුවේ මතය කුමක්ද?

පසුගිය බදාදා සංහිඳියාව පිලිබඳ සම්මන්ත්‍රණයක් අමතමින් හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිණිය අපූරු කතා කිහිපයක් කිව්වා.

එතුමියගේ උත්සහය ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් වගේම අර්ධ අනාගාමික රාජ්‍යයක් කරන්නලු. මම නම් එහෙම එකක් අහල තිබුනෙ නෑ. ඒ නිසා මම අන්තර් ජාලයෙත් සොයා බැලුවා. නමුත් එහෙම එකක් නම් නෑ. තවමත් ඒක තියෙන්නේ චන්ද්‍රිකා මැතිණියගේ සිතුවිල්ලක් ලෙස විතරයි. ඒ නිසාම ඒක හරිම භයානකයි. ඒ වගේම එතුමිය කියනවා ෆෙඩරල් ව්‍යවස්ථාවට අනාගාමික රාජ්‍යයට විරුද්ධ වෙන්නේ සිංහල
බෞද්ධ අන්තගාමි පිස්සන්ලු.

චන්ද්‍රිකා මැතිණිය නොදන්නවා වුණාට ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දුන්නේ බෞද්ධ අන්තවාදියෙකු නොවේ. අංක එකේ මාක්ස්වාදියෙකු වන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මැතිතුමන්. එතුමන් 1972 ව්‍යවස්ථාව පිළිබද පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමින් බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුත්තේ ඇයි කියන කාරණය ඉතාම දීර්ග ලෙස තාර්කිකව විග්‍රහ කළා.ඒ වගේම අද බුදු දහමට ලැබුණු ප්‍රමුඛස්ථානය රැක ගැනීම සඳහා සටනේ ඉදිරියෙන්ම ඉන්නේ බෞද්ධ අන්තවාදියෙකු නොවේ. ලංකාවේ වගේම ලෝක කතෝලික ප්‍රජාවේත් නායකයෙකු වන මැල්කම් රංජිත් කාදිනල් තුමා. එතුමාටත් මහ නායක පදවියක් ලබා දිය යුතු බවට ව්‍යාපාරයක් ෆේස්බුක් තුල අරඹන්න තරම් බෞද්ධයින් අද අසරණ වෙලා. මාක්ස්වාදීන්ට වගේම කතෝලික නායකයින්ටත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම රැක ගැනීමට ඕනෑ වෙන අතරේ මේක අහෝසි කරන්න කියන්නේ කවුද? උප්පැන්නේ සිංහල බෞද්ධ කියලා තිබෙන රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන උදවිය. කාගේ උවමනාවට ද? දෙමළ අන්තවාදින්ගේ උවමනාවට.

මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ ගෙන යන වැඩ පිළිවෙල නිසා අද දෙමළ බෙදුම් වාදී අන්ත වාදීන්ට දැවැන්ත එලියක් ලැබිලා තියෙනවා. රූපවාහිනි සිංහල වැඩසටහන් දෙකක දී දෙමළ ජාතික සංධානයේ සුමන්දිරන් මන්ත්‍රීතුමා කිව්වා බුදු දහමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය ඉවත් කළ යුතුයි කියලා. එදා උතුරේ දී දෙමලින් කියූ දේ ඊට පස්සේ රහසින් ඉංග්‍රීසියෙන් තානාපති කාර්යාල වල කියූ දේ අද සිංහලෙන් කීමට තරම් දෙමළ බෙදුම්වාදින් අද එඩිතර වෙලා. මෙයින් පෙනෙන්නේ සිංහලයින් අද කෙතරම් අසරණ ද කියන එකයි.

ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පුන පුනා කිව්වේ ඒකීය භාවයට වත් බුදු දහමට වත් අත තබන්නේ නෑ කියා. නමුත් චන්ද්‍රිකා මැතිණිය කියනවා දෙකටම අත තියනවා කියලා. ජනපති, අගමැති සහ චන්ද්‍රිකා මැතිණිය තමයි රට පාලනය කරන ත්‍රිත්වය. ඒ වගේම ජනපති සහ අගමැති යා කරන පාලම. මේ සියල්ලටම වඩා ආණ්ඩුවේ සංහිඳියාව භාරව ඉන්නා නායිකාව. දැන් අපි පිලිගත යුත්තේ ජනපති කියන දේ ද විෂය භාර හිටපු ජනපතිනි කියන දේද?

බෑනා ලග තබාගෙන මාමා ගැන කී බොරුව

ඒ වගේම පෙරේදා යාපනයේ දී අගමැතිතුමා ලඟින් තබා ගෙන මහ ඇමති විග්නේශ්වරන් මහතා බොරුවක් කිව්වා. එතුමා කියනවා ජනපති ජේ ආර් මිය යෑමට පෙර ලබා දුන්නු අවසාන පුවත්පත් සාකච්ඡාවේ දී තමන්ට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලබා දීමට නොහැකි වීම පිලිබඳ පසුතැවිලි වුණාලු. මේක සාතිශය බොරුවක්. ජනපති ජේ ආර් කවදාවත් එහෙම කිව්වේ නෑ. ජනපති ජේ ආර් ගේ බෑනා ලඟ ඉඳලත් නිවැරදි කලේ නැති නිසා ඔන්න අපි නිවැරදි කරනවා. බණ්ඩාරනායක මහත්තයා 1958 දී ෆෙඩරල් ව්‍යවස්ථාවකට දෙමළ සංවිධාන සමග එකගවේවි කියන සැකය ඇති උනාමත් ඊට එරෙහිව කටයුතු කලේ ජයවර්ධන මැතිතුමන්. ඒ වගේම 13 වන ව්‍යවස්ථා සංශෝධනයේදී දකුණතින් දෙන බලය වමතින් ගන්න එතුමන් විධිවිධාන යෙදු බවට දෙමළ නායකයන්ම චෝදනා කරනවා. මම විග්නේශ්වරන් මහ ඇමතිතුමාට අභියෝග කරන්න පුළුවන් නම් ජනපති ජේ ආර් ජයවර්ධන මහතා රට ෆෙඩරල් කරන්න ඕනෑ කියූ ලිපිය පෙන්වන්න. නැතිනම් රටට බොරු කීම පිලිබඳ සමාව ගන්න කියලා.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විපක්ෂයට එන්නේ කවදාද?

මේ ආණ්ඩුව පිලිබඳ පවතින ජන විරෝධයේ රස්නය දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ට දැනිලා. ඒ අය ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට යාවි කියලා ආණ්ඩුවේ නායකයින් බයෙන් ඉන්නේ. ඒ අය අපේ පැත්තට එන එක වලක්වා ගන්න අපේ අය ආණ්ඩුවට යන බවට වරින් වර බොරු පතුරනවා. මේ මාසයේ බොරුව තමයි කුමාර වෙල්ගම මැතිතුමා ආණ්ඩුවට එක් වෙනවා කියන එක. එතුමා දැනටමත් ඒක බොරුවක් කියලා ප්‍රකාශ කලා. එජාප – ශ්‍රිලනිප හවුල් ආණ්ඩුවට ශ්‍රිලනිපයෙන් මුලින්ම විරුද්ධ වුණේ එතුමා. ඒ නිසා බටහිරෙන් ඉර පායන දවසේ තමයි එතුමා එජාප හවුල් ආණ්ඩුවකට යන්නේ. ගිය මාසයේ බොරුව තමයි මහින්දානන්ද මන්ත්‍රිතුමා ආණ්ඩුවට යනවා කියන එක. අන්තිමට මහින්දානන්ද මන්ත්‍රිතුමා ගියේ ආණ්ඩුවට නොවේ හිර ගෙදරට.

මේ බොරුව පටන් ගන්නේ මීට මාස 10ට කලින්. 2015 නොවැම්බර් මාසයේ දී අයවැය ඉදිරිපත් කරපු දවසට පසුව දා මාධ්‍ය හමුවක් පවත්වා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමතිතුමා කියනවා මෙවර අයවැයට ඡන්දය දෙන්න ඒකාබද්ධ විපක්ෂයේ 8ක් ආණ්ඩුවට එනවා කියලා. අයවැයට ඡන්දය විමසලා මාස 10ක් වෙනවා. අටක් නොවේ එකම එක්කෙනෙකුවත් ආණ්ඩුවට ගියේ නෑ.

2016 ජූනි මාසයේ ආචාර්ය සරත් අමුණුගම මැතිතුමා මාධ්‍ය හමුවක දී කියනවා අපිට ඇමතිවරු 100ක් පත් කරන්න පුළුවන් වුණත් පත් කලේ 94යි. මේ තනතුරු හය හිස්ව තියා ගෙන ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හය දෙනෙක් ළඟ දී ම ආණ්ඩුවට එකතු වෙනවා. ඒ කතාව කියලා මාස තුනක් ගියා. හයදෙනෙක් තියා එක් කෙනෙකුවත් ආණ්ඩුවට එකතු වුණා ද? නෑ.

ජූලි මාසයේ දී බස්නාහිර මහ ඇමති කිව්වා ඩලස් අලහප්පෙරුම සහ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එකතු වෙනවා කියලා. අන්තිමට මොකද වුණේ? ඒ දෙන්නාම තමන් දරපු සංවිධායක තනතුරු වලින් පවා අස් වුණා. සිහි කල්පනාව හොඳ කිසිම කෙනෙක් මේ කුණු වෙන ගඳ ගහන ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ. ගිලෙන නැවට ගොඩ වෙන්න තරම් මෝඩ හික් මීයෝ ඒකාබද්ධ විපක්ෂයේ නෑ කියන එක පච ටොන් ගණනක් වපුරලත් පසුගිය වසර පුරාවට අපෙන් එක් කෙනෙකුවත් දිනා ගන්න ආණ්ඩුවට බැරි වීමෙන් පැහැදිලි වෙනවා. මේ ආණ්ඩුව නුදුරු අනාගතයේම අලුත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි. අන්න ඒදාට අපි ඉලක්කම් සහිතව කියන්නම් ආණ්ඩුවෙන් විපක්ෂයට එකතුවෙන මන්ත්‍රීවරුන් ගණන. ඒක නතර ගර ගන්න තමයි වරින් වර මෙවැනි බොරු කියන්නේ. හැබැයි දැන්නම් බොරු අතේ පත්තුවෙලා ඉවරයි.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress