UN සමුළුවේදි ජනපති මෛත්‍රී කල සම්පූර්ණ කතාවේ වැදගත් කොටස් කිහිපය කපා ජනාධිපති නිල වෙබ් අඩවියේ පලකරයි..
Posted on September 25th, 2016

September 23, 2016 at 11:20 am

එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සමුළුව අමතමින් ශ්‍රීලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද සම්පූර්ණ දේශනයේ ඉතා වැදගත් කරුණු කිහිපයක්ම ඉවත්කොට සoශොධනය කරන ලද කතාවක් ශ්‍රීලංකා ජනාධිපති නිල වෙබ් අඩවිය තුල පල කර ඇති බැව් දැකගත හැකිය,

විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් සඳහන් කරන ලද ම්ලේච්ඡ ත්‍ර‍ස්තවාදීන්ගේ යුද්ධයකට වසර 30 කට ආසන්න කාලයක් මුහුණ දුන් රටක් විදිහට වෙනුවට වසර 30 කට ආසන්න කාලයක් මිලේච්ඡ යුද්ධයකට මුහුණ දුන් රටක් විදියට ලෙස ත්‍ර‍ස්තවාදීන්ගේ යන කොටස සහ ‘ශ්‍රි ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින්‘ කියන සම්පූර්ණ ඡේදයම ඉන් ඉවත් කර ඇති බවත් ඉන් පැහැදිලිවම දැක ගත හැකිය.

එබැවින් ශ්‍රි ලංකා ජනාධිපති නිල වෙබ් අඩවියේ ඇති වෙනස් කරන ලද කතාවත් ජනාධිපතිවරයා විසින් කරනලද සම්පූර්ණ කතාවත් මෙසේ පලකරමු .

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය

සුබ සන්ධ්‍යාවක්, ඔබ සියලූ දෙනාටම තෙරුවන් සරණයි,

එක්සත් ජාතීන්ගේ 71 වෙනි සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස, සහභාගීවීමට ලැබීම පිලිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ නව පරිවර්තනීය යුගයක් ආරම්භ කරමින් ගෙවී ගිය මාස 20 ක පමණ කාල සීමාව තුළ රටට අවශ්‍ය දේශපාලන, ආර්ථීක ප්‍රතිසංස්කරණ සඳහා අපි මූලිකත්වය ලබා දී තිබෙනවා.

විශේෂයෙන්ම මගේ රජය බලයට පත්වීමට පෙර ශ්‍රී ලංකාව තුළ පැවති, ජනතාව බියෙන් හා සැකෙන් යුතුව ජීවත්වූ පසුබිම ඉවත් කරමින් සතුටින්, නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සියලූදෙනාට ජීවත්වීමට අවශ්‍ය මූලික පදනම සකස් කරමින් එම කටයුතු අපි ශක්තිමත් කර තිබෙනවා.

මගේ රජයේ අරමුණ ශ්‍රී ලංකාව ලෝකයේ ඉතාමත් සතුටින් ජීවත්වන ජනතාවක් සිටින රටවල් අතරින් එක් රටක් බවට පත් කිරීමයි. ඒ සඳහා නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත්, ආර්ථීක සමෘද්ධිය ඇති කිරීමත් තුළ ප්‍රධාන වශයෙන් ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ ජනතාවක් බවට ශ්‍රී ලාංකීය ජනතාව පත්කිරීම මගේ රජයේ ප්‍රධාන අරමුණක් හා අභිප්‍රායක් වෙනවා.

දුගීභාවය අද මුළු ලෝකය පුරාම පවතින බරපතළ අභියෝගයක් බැවින් 2017 වර්ෂය ශ්‍රී ලංකාව දුගී භාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස අප නම් කර තිබෙනවා. ආර්ථීක සංවර්ධනය මුල් කරගත් රටක ජනතාවගේ සියලූ ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සකස් කිරීමේ කාර්යයට ඒ අනුව මා ප්‍රමුඛත්වය දී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම අනෙකුත් සියලූ රාජ්‍යයන් සමග කටයුතු කිරීමේදීත් අප සැමවිටම කැපවී සිටින්නේ තිරසර සංවර්ධනය ප්‍රමුඛතාවයෙහිලා සලකමින් සමාජයට, රටට අවශ්‍ය වෙනස්කම් ඉටු කිරීමටයි. එහිදී මූලික වශයෙන්ම අවශ්‍ය ආර්ථීක ජයග්‍රහණ ලබාගැනීමට ප්‍රමුඛත්වයක් අපි සෑමවිටම ලබාදී තිබෙනවා.

පරිසර සංරක්ෂණය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මැතිතුමා විසින් හඳුන්වාදුන් පැරිස් සමුළුවේදී ඇතිකරගත් ප්‍රඥප්තීන් තුළ කටයුතු කරමින් ප්‍රධාන ලෙසම අපිට අවශ්‍ය මූලික වෙනස්කම් සමඟ රටේ පරිවර්තනීය යුගය තුළ සියලූ අංශවල වෙනස්කම් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.

උගත්, තරුණ පරපුර වෙනුවෙන් දැනුම පාදක කරගත් ආර්ථීක ප්‍රතිපත්තීන් සමඟ නවෝත්පාදන ආර්ථීකය, වගේම හරිත ආර්ථීකය සමග ශ්‍රී ලාංකීය සමාජය තුළ නව සැළසුම් ඉලක්ක කරගත් ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් අප හඳුනාගෙන තිබෙනවා.

ගරු සභාපතිතුමනි, නෝනාවරුනි, මහත්වරුනි, මිත්‍රවරුනි,
අපේ රට දූපත් රාජ්‍යයක් විදියට සාගර සම්පත මුල් කරගත්, සාගර සම්පතින් උපයාගතහැකි සියලූ සම්පත් හා දායාදයන්වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය ආශ්‍රිතව පර්යේෂණ මුල් කරගත් වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමයි මූලික වශයෙන් වර්තමාන නව රජයේ බලාපොරොත්තුව වෙන්නේ.

රටේ නිදහස් සෞඛ්‍ය සේවාව, නිදහස් අධ්‍යාපනය නව දැනුම තුළ කෘෂිකාර්මික සංවර්ධනය, දේශීය කර්මාන්ත සංවර්ධනය හා දේශීය කාර්මීකරණය තුළ මූලික වශයෙන් ජනතාවට වැඩි පහසුකම් ලබදීම සඳහා කටයුතු කිරීම අප රජයේ ප්‍රමුඛ අරමුණක් බවට පත්ව තිබෙනවා.

ගරු සභාපතිතුමනි, අද ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි අන්තර්ජාතික වශයෙන් අපි දකින මුහුණුවර තුළ යුද්ධයේ විවිධ ස්වභාවයන් ඇතැම්විට ඉතාමත් ම්ලේච්ඡ තත්ත්වයන් මෙන්ම අසමඟිය, ද්වේෂය, වෛරය මුහුකුරා ගිය සමාජයන් අපිට දකින්නට තිබෙනවා.

එහිදී මානව සමාජයට අවශ්‍ය ශිෂ්ටත්වය බරපතළ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. සමාජයේ අද ඇතිවී තිබෙන බොහෝ ගැටුම්වලදී ශිෂ්ටත්වය මුල්කරගත් ප්‍රජාවක් බිහි කිරීමේ කාර්යයට සෑම රාජ්‍යයක්ම මූලිකත්වය දිය යුතුයි කියා මා විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් විදියට, ථේරවාදී බෞද්ධ දර්ශනය තුළ පෙන්නුම් කරන දර්ශනයන් ලෝකයේ බොහෝ ප්‍රශ්න විසඳීම සඳහා ඉතා වැදගත් බව මාගේ හැඟීමයි.

ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය වගේම හින්දු ධර්මය ඇතුළු අනෙකුත් ආගම් තුළ ආධ්‍යාත්මික දර්ශනයන් වඩ වඩා පුළුල් කිරීම සහ ඒ සඳහා සියලූ රාජ්‍යයන්හි ආශිර්වාදය අවශ්‍ය යුගයක් ලෙසයි මම දකින්නේ. මේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමේදී ශ්‍රී ලංකාව වගේම ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන බරපතළ ප්‍රශ්න පිලිබඳව ගෞරවනීය එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කිරීමට මම කැමතියි. ඒ තමයි මුළු මහත් මානව සමාජය පාසල් දරුවන් ප්‍රමුඛව දැඩි ව්‍යසනයකට, ඛේදවාචකයකට ලක්වී තිබෙන මත්ද්‍රව්‍ය පිලිබඳ ප්‍රශ්නය.

මේ සමුළුව ඊයේ ආරම්භ කළ අවස්ථාවේ පළමු දේශනය කළ බ්‍රසල්ස් ජනාධිපතිතුමා මේ පිලිබඳ කරුණු පැහැදිළි කළා.

එතුමාගේ අදහස්වලට මගේද එකඟතාවය පළ කරමින් සමාජයීය වශයෙන් පාසල් දරුවන් ප්‍රමුඛ තරුණ පරපුර සහ සියලූ පුරවැසියන් බරපතළ ඛේදවාචකයකට මුහුණ දී තිබෙන මෙම මත්ද්‍රව්‍ය උවදුර ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික වශයෙන් තුරන් කිරීම, මර්දනය සහ පාලනය සඳහා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ අවධානය යොමු කරමින් දැනට වඩා විධිමත්, ශක්තිමත් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතාවය අපි අවධාරණය කරනවා.

ඒ වගේම අපි සැමවිටම අන්තර්ජාතික සහ ජාතික වශයෙන් කටයුතු කිරීමේදී මෙම කරුණු වලට මූලිකත්වය දීම අවශ්‍යයි.

මගේ රජය ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ යහපාලනය මෙන්ම නීතියේ ආධිපත්‍යය සහතික කිරීමට අවශ්‍ය බොහෝ පියවර ගණනාවක සුබවාදී පරිවර්තනයන් තුළින් ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් නැවත මගේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සියලූ පියවර මේ වන විට ගෙන තිබෙන බව ඉතාම සතුටින් පැහැදිළි කිරීමට කැමතියි.

ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේදී වසර 30 කට ආසන්න කාලයක් මිලේච්ඡ යුද්ධයකට මුහුණ දුන් රටක් විදියට ඒ තුළ ලබාගත් අත්දැකීම් ඇසුරෙන් නැවත කිසිදු අවස්ථාවක මගේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමත් රට තුළ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත් සඳහා ප්‍රමුඛත්වය දෙමින් ජාතික සංහිඳියාව තුළ ශක්තිමත් පදනමකින් ජාතීන් අතර සමඟිය ඇති කරමින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත්කිරීමට අපේ රජය මූලිකත්වය ගෙන තිබෙනවා.

එහිදී හඳුන්වා දෙනු ලබන නව දේශපාලන ප්‍රතිසංස්කරණ තුළ මගේ රට වගේම ලෝකයේ සෑම ජාතියකටම අනන්‍යවූ ස්වදේශිකවාදී චින්තනය සහ දැක්ම සමග සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමනක් අප යායුතුයි. එහිදී අදාළ හර පද්ධතීන් ප්‍රමුඛ කරගත් ප්‍රතිසංස්කරණ උදෙසා ජාත්‍යන්තර සහයෝගය සහ මතවාදය අපේ රට ගොඩනැගීමේ කටයුත්තේදී ප්‍රමුඛ සාධකයක් ලෙසින් අප බලාපොරොත්තු වෙනවා.

අවුරුදු 30 කට ආසන්න කාලයක් යුද්ධයකට මුහුණ දුන් අපි සැමවිටම ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් ඉතාමත් ප්‍රඥාවන්ත ලෙස, බුද්ධිමත් ලෙස, සන්සුන්ව ඉවසීමෙන් යුතුව ගමන් කළා. එලෙස ගමන් කළ උතුම් ශ්‍රී ලංකා භූමිය අපේක්ෂා කළ ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබ සියලූ දෙනාගේ සහයෝගය සහ ආශිර්වාදය මා ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.

මූලික වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මුන් මහතා සහ විධායක සභාව ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබා දුන් සහයෝගය මා ඉතාමත් අගය කරනවා.

එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා පසුගිය කාලය තුළ ඉටු කරන ලද අන්තර්ජාතික සේවාව මෙන්ම සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමටත් මුළු මහත් ලෝකයට සහ මානව සමාජයට අවශ්‍ය පුළුල් සංවර්ධන ක්‍රියාදාමයන් ඉෂ්ට කිරීම සඳහාත් කළ සේවය මා ඉතාමත් අගය කරනවා.

අවසාන වශයෙන් මගේ රට එනම් ශ්‍රී ලංකාද්වීපය ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා නව පරපුර නව දැනුමෙන් සන්නද්ධ කිරීමට අප ගෙන යන වැඩපිළිවෙළේදී අපි ලෝකයේ සෑම රටකටම ආදර්ශවත් රටක් විදියට, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගමින් මගේ රජයේ වගකීම සෑමවිටම ඉටු කරන බව ප්‍රකාශ කරමින් ඒ සඳහා ඔබ සියලූදෙනාගේ සහයෝගය සහ ආශිර්වාදය ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

කරන ලද සම්පුර්ණ කතාව

සුභ සන්ධ්‍යාවක් !
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි!
ආයුබෝවන්!
වනක්කම් !
අස්ලාම් අලෙයිකුම්!

එක්සත් ජාතීන්ගේ 71 වැනි සමුළුවට, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විදිහට සහභාගී වීමට ලැබීම මා ඉතාමත්ම සතුටට පත්වෙන අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ නව පරිවර්තනීය යුගයක් ආරම්භ කරමින් ගෙවීගිය මාස විස්සක පමණ කාල සීමාව, අවශ්‍ය දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අපි මූලිකත්වය දී තිබෙනවා.

විශේෂයෙන්ම, මගේ රජය බලයට පත්වීමට පෙර, ශ්‍රී ලංකාව තුළ තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත්වීමේ සමාජ පසුබිම ඉවත් කරමින්, සතුටින්, නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන ජනතාවක් සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කරමින්, ඒ කටයුතු ශක්තිමත් කර තිබෙනවා.

මගේ රජයේ අරමුණ, ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ජනතාව, ලෝකයේ ඉතාමත්ම සතුටින් ජීවත්වන රටවල් අතරින් එක් රටක් බවට පත් කිරීමයි. ඒ නිසා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත්, ආර්ථික සමෘද්ධිය ඇති කිරීමත් තුළ, ප්‍රධාන වශයෙන් ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ ජනතාවක් බවට පත් කිරීම මගේ රජයේ ප්‍රධාන අරමුණක් සහ අභිප්‍රායක්.

ඒ වගේම දුගී භාවය අද මුලු ලෝකය පුරාම තිබෙන බරපතල අභියෝගයක් බැවින් 2017 ලබන වර්ෂය, ශ්‍රී ලංකාවේ දුගීභාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කර තිබෙනවා. ආර්ථික සංවර්ධනය මුල් කරගත් රටක, ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සකස් කිරීමේ කාර්යයට, ඒ අනුව මා ප්‍රමුඛත්වය දී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඒ වගේම, අනෙකුත් සියලු ආයතනික රාජ්‍යයන් විසින් කටයුතු කිරීමේදී, ගරු සභාපතිතුමනි, ඒ වගේම ගෞරවනීය රාජ්‍ය නායකයනි, නෝනාවරුනි, මහත්වරුනි, අප සැමවිටම කැපවී සිටින්නේ, තිරසර සංවර්ධනය ප්‍රමුඛතාවයේ ලා සමාජයට, රටට අවශ්‍ය වෙනස්කම් ඉටු කිරීමටයි. එහිදී, මූලික වශයෙන්ම, අවශ්‍ය ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීමට ප්‍රමුඛත්වයක් සැමවිටම අපි දී තිබෙනවා.

පරිසර සංරක්ෂණය, ඒ වගේම, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් මැතිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ පැරිස් සමුළුව ඇති කරගත් ප්‍රඥප්තීන් තුළ කටයුතු කරමින්, ප්‍රධාන ලෙසම, අපිට අවශ්‍ය මූලික වෙනස්කම් සමග රටේ පරිවර්තනීය යුගය සියලු අංශවල වෙනස්කම් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.

උගත් තරුණ පරපුර වෙනුවෙන්, දැනුම පාදක කරගත් ආර්ථික සංවර්ධන සහ ආර්ථික ප්‍රතිපත්ති සමග නව උත්පාදන ආර්ථිකය, ඒ වගේම හරිත ආර්ථිකය සමග නව සැලසුම් ශ්‍රී ලාංකීය සමාජය තුළ ඉලක්ක කරගත් ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් බවට පත් කිරීමට මා කටයුතු කරනවා.

ගරු සභාපතිතුමනි, ඒ වගේම, නෝනාවරුනි, මහත්වරුනි, මිත්‍රවරුනි, අපේ රට දූපත් රාජ්‍යයක් විදිහට සාගර සම්පත මුල් කරගත්, සාගර සම්පතෙන් අපිට උපයා ගතහැකි සියලු සම්පත් දායාදයන්වලට ප්‍රමුඛතාවය දෙමින්, සංචාරක ව්‍යාපාරය, ධීවර කර්මාන්තය, පර්යේෂණ මුල් කරගත් වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමයි මූලික වශයෙන් වර්තමාන නව රජයේ බලාපොරොත්තුව බවට පත්වී තිබෙන්නේ.

රටේ නිදහස් සෞඛ්‍ය සේවාව, නිදහස් අධ්‍යාපනය, නව දැනුම තුළ, ප්‍රධාන වශයෙන්ම කෘෂිකාර්මික සංවර්ධනය, දේශීය කර්මාන්ත සහ දේශීය කාර්මීකරණය තුළ මූලික වශයෙන්ම ජනතාවට වැඩි පහසුකම් ලබාදීම සඳහා කටයුතු කිරීම අපේ රජයේ අරමුණක් බවට පත්වෙලා තිබෙනවා.

ගරු සභාපතිතුමනි, අද ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි අන්තර්ජාතික වශයෙන් අපි දකින මුහුණුවරයන් තුළ, යුද්ධයේ යුද ස්වභාවයත්, ඇතැම් විට ඉතාමත් ම්ලේච්ඡ තත්ත්වයත්, අසමගිය, ද්වේෂය, වෛරය මුහුකුරා ගිය සමාජයන් අපිට දකින්නට තිබෙනවා.

එහිදී, මානව සමාජයට අවශ්‍ය ශිෂ්ඨත්වය බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවා. සමාජයේ අද ඇතිවී තිබෙන බොහෝ ගැටුම්වලට, ශිෂ්ඨත්වය මුල් කරගත් ප්‍රජාවක් බිහි කිරීමේ කාර්යයට, සෑම රාජ්‍යක්ම මූලිකත්වය දිය යුතුයි කියා මා විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් විදිහට, ථෙරවාදී බෞද්ධ දර්ශනය තුළ පෙන්නුම් කරන දර්ශනයත් ලෝකයේ බොහෝ ප්‍රශ්න විසඳීම සඳහා ඉතා වැදගත් කියා මා විශ්වාස කරනවා.

ඒ වගේම ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය, ඒ වගේම හින්දු ධර්මය සහ අනෙකුත් ආගමික, ආධ්‍යාත්මික දර්ශනයන් වඩ වඩා පුළුල් කිරීම සහ ඒ සඳහා සියලු රාජ්‍යයන්හි ආශිර්වාදය අවශ්‍ය යුගයක් ලෙසයි මා දකින්නේ.
මේ අවශ්‍ය වෙනස්කම් රටවල් තුළ කිරීමේදී, ශ්‍රී ලංකාව වගේම ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන බරපතල ප්‍රශ්නයක් පිළිබඳව ගෞරවනීය එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කිරීමට මා කැමතියි. ඒ තමයි, මුළු මහත් මානව සමාජයේ පාසල් දරුවන් ප්‍රමුඛව දැඩි ව්‍යසනයකට, ඛේදවාචකයකට ලක්වී තිබෙන මත් ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය.‍

මේ සමුළුව ඊයේ ආරම්භ කළ අවස්ථාවේ, පළමු දේශනය කළ බ්‍රසීල ජනාධිපතිතුමා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා.

එතුමාගේ අදහස්වලට මගේද එකඟතාවය පළ කරමින්, සමාජමය වශයෙන්, නව පරපුර, පාසල් දරුවන් ප්‍ර‍මුඛ සියලු මිනිසාගේ බරපතල ඛේදවාචකයකට මුහුණ දී තිබෙන මේ මත්ද්‍ර‍ව්‍ය පිළිබඳ උවදුර, ජාත්‍යන්තර වශයෙන්, ඒ වගේම ජාතික වශයෙන් සෑම රටකම, ඉවත් කිරීම, මර්දනය සහ පාලනය සඳහා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කරමින්, ජාත්‍යන්තර වැඩ පිළිවෙළක දැනට වඩා විධිමත්, ශක්තිමත් භාවයක අවශ්‍යතාවය අපි දකිනවා.

ඒ වගේම, අපි සැමවිටම කටයුතු කිරීමේදී, මේ කරුණුවලට මූලිකත්වය දීම අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය වගේම, ජාතික වශයෙන් කෙරෙන කටයුතු තුළ,

මගේ රජය ශ්‍රී ලංකාවේ තිබෙන තොරතුරු ඔබ දන්නා පිරිසක් නිසා, ප්‍ර‍ජාතන්ත්‍රවාදය, නිදහස සහ යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහතික කිරීමට අවශ්‍ය බොහෝ පියවර ගණනාවක්, ඒ තුළ සුභවාදී අවශ්‍ය පරිවර්තනයක් තුළින් ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින්, යුද්ධයක් නැවත අපේ රටේ, මගේ රටේ, ඇතිවීම වැලැක්වීම සඳහා සියලු පියවර මේ වන විට ගෙන තිබෙන බව ඉතාමත් සතුටින් පැහැදිලි කිරීමට පුළුවන්.

මෙහිදී, මූලික වශයෙන්, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේදී, ම්ලේච්ඡ ත්‍ර‍ස්තවාදීන්ගේ යුද්ධයකට වසර 30 කට ආසන්න කාලයක් මුහුණ දුන් රටක් විදිහට, ඒ තුළ ලබාගත් අත්දැකීම් සමග, නැවත කිසිදු අවස්ථාවක, මගේ රටේ, ශ්‍රී ලංකාවේ, යුද්ධයක් ඇතිවීම වැලැක්වීමත්, රට තුළ නිදහස සහ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කිරීමත්, ජාතික සංහිඳියාව තුළ ශක්තිමත් පදනමකින් ජාතීන් අතර සමගිය ඇති කරමින්, ඉතා ප්‍ර‍බුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමත්, මේ සඳහා මූලිකත්වය දීලා තිබෙනවා.

ඒ සඳහා සැමවිටම, ලෝකයේ සියලු රාජ්‍යයන්හි සහ, අන්තර්ජාතික සංවිධානවල ආශීර්වාදය සහ සහයෝගය මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින්, ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමේදීත් හඳුන්වා දෙන නව දේශපාලන ප්‍ර‍තිසංස්කරණවලදීත්, සැමවිටම අපි, මගේ රට වගේම, ලෝකයේ සෑම රටකටම, ලෝකයේ සෑම ජාතියකටම අනන්‍ය වූ, ඒ රටේ ජනතාවට ප්‍ර‍ධාන වශයෙන්ම අත්‍යවශ්‍ය වූ, ස්වදේශිකවාදී චින්තනයක්, ස්වදේශිකවාදී දැක්මක් තුළින් සමාජ ප්‍ර‍ජාතන්ත්‍රවාදී දේශපාලන ගමනක් සඳහා ඒ අදාල හරයන් ප්‍ර‍මුඛ වූ, අවශ්‍ය ප්‍ර‍තිසංස්කරණ සමග යෑමේදී, ජාත්‍යන්තර සහයෝගය, ජාත්‍යන්තර මතවාදය හා ඒ එක්ව සැමවිටම අන්තර්ජාතික සාමූහිකත්වය, සහයෝගිතාවය තුළ මානව සමාජයේ ප්‍ර‍බුද්ධ සමාජයක් ගොඩ නගන රටක් විදිහට මගේ රට ගොඩනැගීමයි ප්‍ර‍ධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ.

අවුරුදු 30 කට ආසන්න යුද්ධයක පැටලී සිටි අපි, සැමවිටම, ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් එම යන ගමනේදී ඉතාමත් ප්‍ර‍ඥාවන්ත, ප්‍ර‍බුද්ධ, බුද්ධිමත් දේශපාලන ගමනක් ඉවසීමෙන්, සන්සුන්ව යෑම සඳහා, මගේ උතුම් ශ්‍රී ලංකාද්වීපය, මාතෘ භූමිය බලාපොරොත්තු වන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය සහ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා.

මූලික වශයෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මහ ලේකම් බැන් කී-මූන් මැතිතුමා ඇතුළු විධායක සභාව ශ්‍රී ලංකාවට සෑම විටම දෙන සහයෝගය මා ඉතාමත්ම අගය කරනවා.

බැන් කී-මූන් මැතිතුමා මහ ලේකම් තුමා විදිහට පසුගිය කාල සීමාව තුළ ඉටු කරන ලද අන්තර්ජාතික සේවාව, මුළු මහත් මානව ප්‍ර‍ජාවට, ඒ වගේම සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට, මුළු මහත් ලෝකයට අවශ්‍ය, මානව සමාජයට අවශ්‍ය මුළු සංවර්ධන ක්‍රියාදාමයන් ඉෂ්ට කිරීම සඳහා එතුමා කළ සේවය මා ඉතාමත්ම අගය කරනවා.

ඒ නිසා, අවසාන වශයෙන්, මගේ රට, ශ්‍රී ලංකාද්වීපය, ලෝකයේ ප්‍ර‍බුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා නව පරපුරට, නව දැක්මෙන් සන්නද්ධව, සැමවිටම අපි ගෙනයන්නා වූ වැඩපිළිවෙළේදී, අපි ලෝකයේ සෑම රටකම ආදර්ශමත්, නිදහස්, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයක් ගොඩනගමින්, මගේ රජයේ වගකීම සැමවිටම ඉටු කරන බව ප්‍ර‍කාශ කරන අතර, අවසාන වශයෙන් ඔබ සියලු දෙනාගේම සහයෝගය සහ ආශීර්වාදය ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ස්තූතියි.
තෙරුවන් සරණයි!

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress