වැට්‌ අතීතයට බලපාන වගන්ති ඇතුළත් කරලා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහා ඒකාබද්ධ විපක්‍ෂය ශේ්‍රෂ්ඨාධිකරණයට යනවා බන්දුල ගුණවර්ධන (එජනිස)
Posted on September 28th, 2016

අනුර බාලසූරිය උපුටා ගැන්ම දිවයින 28/09/2016 

ආණ්‌ඩුව විදේශීය බලවේගවලට අපේ ආර්ථිකය උකස්‌ කරලා-මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌

වැට්‌ සංශෝධන පනත් කෙටුම්පත අතීතයට බලනොපාන බව කිව්වත් එහි අතීතයට බලපාන වගන්ති ඇතුළත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් පෙදෙසේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (27 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය.

නොනිමි වැට්‌ ආරවුල මේ වන විටත් පවතිනවා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක්‌ ලංකාවට පැමිණ සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍යවී තිබෙනවා වැට්‌ පනත ඉක්‌මනින් පාර්ලිමේන්තුවට ගේන්න.

ආණ්‌ඩුව බරපතළ ගෙවුම් ශේෂ අර්බුදයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක්‌ අත්සන් කළා. ඒ ගිවිසුම අනුව ඉදිරි වසර 3 කට වාරික හයකින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක්‌ ණය වශයෙන් ලැබෙනවා.

මෙවැනි අසමතුලිත තාවයකට මූල්‍ය අරමුදල ණය සපයන විට කොන්දේසි මාලාවක්‌ ඉදිරිපත් කරනවා. එය කෝකටත් තෛලය වගේ සෑම රටකටම ඉදිරිපත් කරන වට්‌ටෝරුවක්‌. ඒ වට්‌ටෝරුවේ ප්‍රධාන වශයෙන් කියවෙන්නේ රජයේ ආදායම් හැකියාවක්‌ වර්ධනය කිරීම, රාජ්‍ය වියදම් කපා හැරීම අයවැය පරතරය සියයට 5 අඩුවෙන් සියයට 3 මට්‌ටමකට ගේන ඒම. විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට දීම ආදී කරුණුයි.

ඒ අනුව රජයේ ආදායම් වැඩිකර ගැනීමේ ප්‍රධාන ක්‍රමයක්‌ වැට්‌ බදු. මේ වැට්‌ බද්ද 2002 දී රටට හඳුන්වා දුන්නේ. 2002 වැට්‌වලින් ලැබුණු ආදායම බිලියන 66 යි. අවසානයේ මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් ඇමැති ධුරය දරන විට වැට්‌ බද්ද මගින් ලැබූ ආදායම බිලියන 275 යි. 2002 සිට මහින්ද රාජපක්‍ෂ යුගය අවසන් වන විට වැට්‌ මගින් උපයාගත් ආදායම සියයට 310 කින් වැඩිකර තිබෙනවා. නමුත් ඒ කිසිම අවස්‌ථාවක ලංකාවේ වෙළෙඳ සැල් වැසුවේ නැහැ. රෝහලට බෙහෙත් ගන්න ගිය රෝගීන් ආණ්‌ඩුවට දෙස්‌ දෙවොල් තිබ්බේ නැහැ. ව්‍යාපාරිකයෝ බදුවලට විරෝධය දක්‌වා මුදල් අමාත්‍යාංශය වැටලුවේ නැහැ. හේතුව බදු අය කිරීමේ මූලධර්මයන්ට අනුව ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට බදු අය කිරීම නිසා.

මේ රජය යටතේ 2016 අයවැයෙන් පසු වැට්‌ පිළිබඳ විරෝධයක්‌ පැන නැඟුණේ නෑ. ප්‍රශ්නය හදා ගත්තේ රවි කරුණානායක මුදල් ඇමැතිවරයායි. පාර්ලිමේන්තුවට කැබිනට්‌ මණ්‌ඩලයට නොකියා ඔහු තීරණය කරලා දේශීය ආදායම් කොමසාරිස්‌ ජෙනරාල් තුමියට නියෝග කළා. වැට්‌ බද්ද සියයට 15 දක්‌වා වැඩිකර තිබෙනවා. සිල්ලර තොග වෙළෙ¹මෙන් රෝගීන්ගෙන් බදු අයකිරීමට. මේ ආරවුල හදා ගත්තේ මැයි මස 2 වැනිදා. එදා සිට ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මේ අරවුල පිළිබඳ රටට කිව්වා. බැරිම අවස්‌ථාවේ අපි ශේ්‍රෂ්ඨාධිකරණයට ගියා. ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කළා පනත බලරහිතයි කියලා. ඉන්පසු වැට්‌ අය කිරීම නතර කළා.

ඉන්පසු මෙම මස 9 වැනිදා වැට්‌ සංශෝධනයට අදාළ ගැසට්‌ නිවේදනය නිකුත් කළා. මේ ගැසට්‌ නිවේදනය වන විට කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වන්නේ සැප්තැම්බර් 13. ගැසට්‌ නිවේදනය රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය වන්නේ 9 වැනිදා. 9 වැනිදා මුද්‍රණය වනවිට එහි වරහන් තුළ තියෙනවා 2016.09.13 නිකුත් කරන ලදී කියලා.

වැට්‌ සංශෝධනය කැබිනට්‌ අනුමැතියට එන්න පෙර ගැසට්‌ කර ඊට පසුව 13 වැනිදා කැබිනට්‌ මණ්‌ඩලයෙන් සංශෝධන අනුමත කර ගන්නවා. මෙතෙක්‌ ලංකා ඉතිහාසයේ පැවැති සම්ප්‍රදාය නම් කැබිනට්‌ මණ්‌ඩලයට කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කර සංශෝධන කැබිනට්‌ මණ්‌ඩලයේ සාකච්ඡා කර ඉන්පසු ගැසට්‌කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ. දැන් මේ වෙන්නේ සංශෝධන පනත් කෙටුම්පත ගැසට්‌ කර කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමයි.

වැට්‌ සංශෝධන පනත් කෙටුම්පත 9 වැනිදින ප්‍රථමයෙන් ගැසට්‌ කිරීමෙන් පසු 13 වැනිදින කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත්කර කැබිනට්‌ මණ්‌ඩලය අනුමත කර තිබෙනවා. තාම පාර්ලිමේන්තුවට ආවේ නෑ. අපිත් බලා ඉන්නවා කිමද නාවේ ඇයි නාවේ කියලා.

මේ පනත අතීතයට බලපාන්නේ නෑ කිව්වත් මේ සංශෝධනයේ තියෙනවා. 2016 ජනවාරි 1 වැනිදා සිට ඉන්පසු මැයි මස 02 වැනිදා සිට බදු ගෙවීම් කළ යුතු ආකාරයට වගන්ති? මෙහි ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව මෙය අතීතයට බලපානවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට වැට්‌ බදු පනවා අසරණ රෝගීන්ට පනවන්නේ නෑ කිව්වත් සංශෝධනයෙන් නිදහස්‌ කර තිබෙන්නේ පෞද්ගලික අංශයේ ඉතා සීමිත වෛද්‍ය සේවා ප්‍රමාණයක්‌ පමණයි. පිළිකා හා හෘද සැත්කම් සඳහා වැට්‌ බදු ගෙවන්න වෙනවා. මේ විදියට රෝගීන්ට දෙයාකාරයකට සැලකීම මූලික මිනිස්‌ අයිතීන් උල්ලංඝනය වීමක්‌ නොවේද කියන ප්‍රශ්න මතුවෙනවා.

ඊට අමතරව මෙහි භයානක වගන්තියක්‌ තියෙනවා මැයි 2 වැනිදා සිට අයකරපු වැට්‌ බදු නීත්‍යනුකූල ලෙස අය කළ ඒවා ලෙස සැලකීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර තිබීම.

වැට්‌ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහා ඒකාබද්ධ විපක්‍ෂය පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පතා ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කරනවා.

මුදල් ඇමැතිවරයා හිතනවා ඒකාබද්ධ විපක්‍ෂයේ රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා කියලා. අපි කරන්නේ කඩාකප්පල් කිරීමක්‌ නොවෙයි. මේ බද්ද මහින්ද රාජපක්‍ෂ යුගයේදීත් තිබුණා. ඊට පසුවත් මෙම මැයි මාසය වෙනකන් තිබුණා. මේ පිළිබඳ ආරවුලක්‌ තිබුණේ නෑ. ජනතාව පීඩාවට පත් නොවන ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුව බුල්ඩෝසර්කරණය නොකොට පිළිගත් ක්‍රමවේදයන්ට අනුව මෙය ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා විකල්ප ක්‍රම පෙන්වමින් ඒකාබද්ධ විපක්‍ෂය මෙම සාධාරණ විවේචන ඉදිරිපත් කරනවා.

මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා-

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තමන්ගේ ප්‍රතිපත්ති ගෙඩිය පිටින්ම එක්‌සත් ජාතික පක්‍ෂයට පවරා දීලා. අද මේ රටේ ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය එජාපයේ වලිගයක්‌ බවට පත්වෙලා. ශ්‍රීලනිපය පුද්ගලීකරණය වෙනුවෙන් කිසිදාක පෙනී සිටි පක්‍ෂයක්‌ නොවෙයි.

මේ ආණ්‌ඩුව කියනවා පාඩු ලබන සංස්‌ථා විකුණනවා කියලා. පාඩු ලබන සංස්‌ථා හැටියට හඳුන්වා දෙන්නේ විදුලිබල මණ්‌ඩලය, ඛනිජ තෙල් සංස්‌ථාව, ශ්‍රීලන්කන් ගුවන් සමාගම, වී අලෙවි මණ්‌ඩලය, ලංගම, දුම්රිය, තැපැල්, ජල මණ්‌ඩලය මේ ආයතන ජනතා සේවයක්‌ කරන ආයතන එසේ නම් ලාභ නොලැබීම නම් මේ සම්බන්ධව පාවිච්චි කරන මිණුම් දණ්‌ඩ ලංකා රෝහල හා හිල්ටන් හෝටලය විකුණන්නේ ඇයි. මේවා විශාල ලාභ ලැබූ ආයතන. මේ පුද්ගලීකරණ වැඩපිළිවෙළ ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම පටහැනියි. අප කළ යුත්තේ ලාභ ලැබෙන සංස්‌ථාවලින් ලැබෙන ලාභය මැනවින් කළමනාකරණය කරමින් ජනතාවට සේවය ලබාදෙන ආයතන රැකගෙන ඒ සේවය අඛණ්‌ඩව ලබාදීමයි.

ශ්‍රීලනිප ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොහේවත් පුද්ගලීකරණය සඳහන්ව නෑ. විදේශීය බලවේගවලට මෙන්ම අපේ ආර්ථිකය උකස්‌ කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. එට්‌කා ගිවිසුම මේ වසර අවසන් වීමට පෙර ලහි ලහියේ අත්සන් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ඒ එල්ලවන බාහිර බලපෑම් නිසයි. මින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රන්ත ආර්ථිකයක්‌ බවට පත්වීමයි. මෙතෙක්‌ කරපු දේවල් බැලුවොත් ආණ්‌ඩුව එල්.ඕ.අයි.සී. ඉන්දියන් ආයතනය ශක්‌තිමත් කරන අතර ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව දුර්වල කළා.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව දුර්වල කිරීමට ඛනිජ තෙල් ආනයනය බෙදා හැරීම ඉන්දියානු සමාගමට පවරලා. ත්‍රිකුණාමලයේ තෙල් ගබඩාව ඉන්දියාවේ එල්.ඕ.අයි.සී. එකට පවරාදීම හරහා විශාල හානියක්‌ ඛනිජ තෙල් සංස්‌ථාවට කර තිබෙනවා.

ඉන්දියාව එක්‌ක දැනට තිබෙන තීරුබදු ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට විශාල අසාධාරණයක්‌ වෙලා. මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට පෙර එට්‌කා ගිවිසුම අත්සන් කිරීම කිසිසේත් සුදුසු ක්‍රියාවක්‌ නොවෙයි. එට්‌කා ගිවිසුම හරහා පරිගණක හා ඉංජිනේරු සේවා අවතක්‌සේරු කිරීම විශාල ලෙස සිදුවෙනවා. දැනට මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් 30,000 ක්‌ පමණ සිටිනවා. ඒ තත්ත්වය වඩාත් නරක අතට හැරෙනවා. එට්‌කා ගිවිසුමේ ප්‍රතිඵලයක්‌ ලෙස.

ශ්‍රීලනිපය හැමදාම බදු සම්බන්ධයෙන් පෙනී සිටියේ ජනතා හිතවාදී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ යුතුයි කියන තැන. බදු ගෙවන්න හැකියාවක්‌ තියෙන පුද්ගලයන්ගෙන් බදු අය කළේ. මේ වැට්‌ බද්දෙන් සාමාන්‍ය ජනතාවට විශාල හානියක්‌ වෙනවා. ධනේෂ්වර පන්තියට සහන දීම එජාප ප්‍රතිපත්තිය. වක්‍ර බදුවලින් වුවත් ජනතාව පීඩාවට පත් නොකිරීමයි ශ්‍රීලනිප ප්‍රතිපත්තිය. නමුත් දැන් ඒවා කණපිට පෙරළිලා.

මේ රටේ කෘෂිකර්මය, කර්මාන්ත ආරක්‍ෂා කිරීමේ අරමුණින් අය කෙරෙන සෙස්‌ බද්ද ඉවත් කරන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. දේශීය කර්මාන්තකරුවා රැක ගැනීමටයි සෙස්‌ බද්ද අය කළේ.

ශ්‍රීලනිප ප්‍රතිපත්තියට පටහැනි වැඩපිළිවෙළක්‌ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයෙනුත් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියානු ගිලන් සේවය හරහා රටේ ආරක්‍ෂාවට බලපාන සියලු කරුණු සොයා ගැනීමට ඉඩකඩ සැලසෙනවා.

අද වන විට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට සී.අයි.ඩී. එකට අල්ලස්‌ කොමිසමට රාජ්‍ය සේවකයන් 8000 ක්‌ පමණ ගෙන ගොස්‌ තිබෙනවා. මෙය විශාල පීඩනයක්‌ ඒ අයට. මේ නිසා රාජ්‍ය සේවකයන් තුළ තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශාල බියක්‌ ඇතිවී තිබෙනවා. එය රටේ ආයෝජන කඩා වැටීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබෙනවා. කවුරුත් තීරණ ගන්නේ නෑ. තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නේ නෑ. මොකද ඉදිරියේදී කොමිෂන් සභාවලට, පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසවලට ගෙන යයි කියා බයක්‌ තිබෙන නිසා. ඒනිසා ඒ අය නිහඬව සිටිනවා. ශ්‍රීලනිප ආණ්‌ඩුවේ සිටින මන්ත්‍රීවරු එජාපයේ මෙවලමක්‌ ලෙස පාවිච්චි වෙනවා. මේ පිළිබඳව ඒ මන්ත්‍රීවරු ගැඹුරින් සිතිය යුතුයි.

මේ ආරවුල් එන විට පිටු 6 ක ලිපියක්‌ ජනාධිපතිවරයාට ලියාපදිංචි තැපෑලෙන් යෑව්වා. ආණ්‌ඩුවට අයවැය ලේඛනයක්‌ ඉදිරිපත් කරගන්න බැරි නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කියනවා දෙවන වාරිකය දෙන්නේ නෑ කියලා. මේ ආණ්‌ඩුවට බදු සංශෝධනයක්‌ ඉදිරිපත් කරගන්න බැහැ. ආණ්‌ඩුවේ නොහැකියාව පිළිබඳ පරමාදර්ශයක්‌ දී තිබෙන නිසයි මේ පනත ඉක්‌මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress