ෆීල්ඩ් මාර්ෂල්ගේ පොත ලිවීමට පලමුව…..
Posted on September 30th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ නම් කෘතිය පිලිබඳව මේ දිනවල විවිධාකාරයේ මත පල වෙමින් පවතී. එහි ප්‍රකාශකයන් වූ විජිත යාපා ප්‍රකාශන ආයතනයට අනුව එම පොතෙහි අලෙවිය නව වාර්තා පිහිටුවන්නට සමත්ව තිබේ. එම ග්‍රන්ථයෙහි කතෘ මේජර් ජෙනරල් කමල් ගුණරත්න සමග විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය බොහෝ ගණනක් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවන් අපට අසන්නට දකින්නට ලැබිනි. ඒ සෑම විටෙකම වඩාත් කැපී පෙනුනේ කතුවරයා සතුව තිබූ ඍජු ප්‍රතිපත්තිමය ස්වභාවය සහ තම ජ්‍යෙශ්ඨයන් වෙත පලකල ගෞරවයයි. එවන් සාකච්ඡා බොහෝ ගණනකට සවන් දුන් මට නම් සිතුනේ කාලීන අවශ්‍යතාවක් මේ පොත නිසා

සපිරුන බවය. ශ්‍රී ලංකාවේ හමුදාවනට යුධ අපරාධ පිලිබඳ චෝදනා එල්ලවන මේ මොහොතේ, දරුණු ප්‍රහාර මගින් රටේ නිරායුධ සිවිල් ජනතාවද, දේශපාලකයින්ද ඝාතනය කරන්නට දායක වූ ත්‍රස්තවාදීන්, දේශපාලන සිරකරුවන් ලෙස ලේබල් කර නිදහස්  කරන්නට කැසකවන මේ මොහොතේ, දශක තුනක විනාශකාරී යුද්ධය සමග ක්‍රියාකාරීව සම්බන්ධ වී එහි අවසානය පිලිබඳ සාක්ෂිමය සනිටුහන් කිරීමකට ප්‍රමුඛවම දායක වූ අයෙකු අතින් යුද්ධය සිදු කෙරුන ආකාරය පිලිබඳ ලියැවුන මේ පොතෙහි වන නිර්ව්‍යාජ බව බහුතර ජනතාව පිලිගත් ආකාරය මේ වාර්තාගත අලෙවිය තුලින් පිලිබිඹු විනි. පොත මිල දී ගැනීමෙන් නොනැවතී කතුවරයාගේ අත්සන ලබා ගනු රිසින්, ඔහු සමග වදනක් දොඩනු රිසින්, පෙල ගැසුුන ජනතාව ඊට සාක්ෂි දැරුවෝය.

මෙය ජනතාව තුල යුද මානසිකත්වය ඉස්මතු කරලීමක් ලෙසද, ජාතිවාදී දේශපාලන වුවමනාවක් සපුරාලීමක් ලෙසද සමහරු චෝදනා කල අතර ප්‍රධානම ප්‍රහාරකයා වූයේ හිටපු හමුදාපති  වන වත්මන් පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූරයක් දරන සරත් ෆොන්සේකාය. ඔහුට රාජපක්ෂ යන නමම ඇලජික් බව කවුරුත් දනිති. ඔහුට ලොකුම  හිතේ  අමාරුව වී  තිබුනේ මේ පොත දොරට වැඩිය  දා ප්‍රධාන ආරාධිත අමුුත්තන් අතරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන දෙපල එක්ව සිටීමය. මේ මෑතකදී, ප්‍රභාකරන් මරා දැමූ 8 කණ්ඩායමේ ප්‍රධානී කර්නල් රවිප්‍රියට තමා ඍජුවම උපදෙස් ලබා දුන් බව ඔහු පැවසීය. ඔහුට අනුව මෙය සිදුවුනේ ‘පොත ලියූ එක්කෙනා’ ගේ සම්බන්ධයක් නැතිවය. ප්‍රශ්නය නම් මේ බව හෙලි කරන්නට ඔහු මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්නය. මන්ද මේ කතාව එකල පුවත්පත්වල ඕනෑ තරම් පල වී තිබිනි.එමෙන්ම මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විනය පරීක්ෂණයක් තිබියදීද එය නොසලකා ඔහුව ඉදිරියට ගෙන ඇත්තේ සරත් ෆොන්සේකාය. එසේ නම් එම පොතේ සඳහන් කරුණුද සලකා බැලූ කල්හි ඉන් අදහස් 2 ක් ගම්‍ය වෙයි. එක්කෝ වෙලාවේ හැටියට කෝන්තර නොබලා ඉදිරියට යවන්නට තරම් ඔහු දක්ෂයෙකු විය යුතුය. නැතිනම් හමුදාපති සිතාමතාම තමන්ට අවශ්‍ය අය ඉදිරියට යැවීම පිනිස කරුණු යට ගසන්නෙකු විය යුතුය.

2009 මැයි 18 වන දිනය අවසන් වන විට අවසන් බිම් අඟලත් යුද හමුදාව විසින් අත් කරගත් බව යුද හමුදාපතිවරයාට දැන්වූ මොහොතේ, ප්‍රභාකරන්ගේ මලසිරුර දකින තුරු යුද්ධය අවසන් වනු නැතැයි ඔහු පැවසූ බව කතුවරයා තම කෘතියේ මෙන්ම සියලු සාකච්ඡාවලදී ද නිහතමානීව පැවසීය. ඔහුට අනුව 2009 මැයි 19 වන අඟහරුවාදා උදෑසන තවත් ත්‍රස්තවාදීන් පිරිසක් කඩොලාන කැලෑව තුල ඉතිරිව සිටින බව (එවකට) කර්නල් රවිප්‍රිය දැනුම් දී ඇත්තේ බ්‍රිගේඩියර් කමල් ගුණරත්නට මිස යුද හමුදාපතිවරයාට නොවේ. අද ද සරත් ෆොන්සේකා සතු උද්දච්ච හා පුහු මානයෙන් පිරුන ගති පැවතුම් දකින විට ඔහු සේනාංක භාර ඉහල නිලයක අයෙකුට මිස ඊට වඩා අඩු මට්ටමේ කෙනෙකු සමග ඍජුව ගණුදෙනු කරනු ඇතැයි සිතිය නොහැකිය. අනික මේ සේනාංක සහ හමුදා අනුඛණ්ඩ පාලනය වන ආකාරය ගැන, ගෞරවණීය හමුදා නිළධාරියෙකුව සිටි කතුවරයාට, ලිඛිත ප්‍රකාශයක අවදානම දැන දැන බොරු කියන්නට අවශ්‍ය නොවනු ඇත. කෙසේ හෝ ප්‍රභාකරන්ගේ මලසිරුර හමුවී, එය කලපු ඉවුරට ඇදගෙන ආ විට, මේ ආරංචිය යුද හමුදාපතිට දැන් වූ කල්හි සිදු වූ දුරකථන සංවාදයේ මුල් පේලි දෙක එම පොතේ මෙසේ සටහන් වී ඇති බව කියවේ.

  ”සර් ! මහ එකාගෙ බොඩිි එක හම්බ වුනා”

   ”What?”

කුඩා කාලයේ සිට ඕනෑම වර්ගයක පුවත්පත්, පොත්, සඟරා කියැවීමට ඇබ්බැහි වී සිටි පොත් කාවෙකු වැනි වූ මට මේවායේ තිබූ බොහෝ දේවල් මතක තිබේ. විශේෂයෙන් මේ යුද සමයේ පලවූ පුවත් කියවීමට මම උනන්දු වීමි. ඒ අතර යුද්ධය නිම වීමට සති කිහිපයකට පෙර ඉරණමඩු වැව් බැම්ම පිපිරවීමට එල්ටීටීඊ ය විසින් යෙදවූ මුහුදුකොටි බලකායේ තරුණයන්  දෙදෙනා පිලිබඳව ඉරිදා ඔබ්සර්වර් පත්‍රයේ පලවූ ලිපිය මට අදටත් හොඳින් මතකය. ඉන් එක් අයෙකු ධීවර පවුලක වැඩිමහල් පුතාය. අනෙක් තරුණයා රජයේ සේවකයෙකුගේ පුතෙකු වූ ගණකාධිකරනය හදාරන ශිෂ්‍යයෙකි. තම පවුල් වෙතින් පැහැරගනු ලැබූ මේ දෙදෙනා ඔවුන්ගේ දක්ෂතාවය නිසා මුහුදුකොටි බලකායට බඳවා ගැනීමත්, ඔවුන් පුහුණුව අවසන්කර, තනතුරු ලබන දිනයේ එල්ටීටීඊ නායකයා සහ පවුලේ අය සමග භෝජන සංග්‍රහයකට එක් වන්නටත්, එම දරුවන් හා කතාබහ කරන්නටත් අවස්ථාව ලැබුන හැටිත්  පුවත්පතට පවසා තිබිනි. එය දිග කතාවකි. තමන් ඉරණමඩු වැව පිපිරවීම පසෙක තබා හමුදාවට භාර වන්නට තීරණය කලේ ඇයිද යන කතාව ඉතාම සංවේදීය. ජාතික ලේඛණාගාරයේ 2009 මාර්තු, අප්‍රේල් මාසවල ඉරිදා ඔබ්සර්වර් පුවත්පත් නිරීක්ෂණය කල හැකි නම් ඔබට පිටුවක් පුරා ලියැවුන මේ ලිපිය හමුවනු ඇත. මේ ආකාරයෙන්ම මගේ සිතට තදින්ම වැදුන තවත් ලිපියක් වූයේ 2009 මැයි 24 වන ඉරිදා ලංකාදීප පුවත්පතේ 4 වන හෝ 6 වන පිටුවේ පලවූ යුද්ධයේ නිමාව ගැන විස්තර කෙරුන ලිපියකි. එතැනදී එම මාධ්‍යවේදියා (එවකට) බ්‍රිගේඩියර් කමල් ගුණරත්න සමග කතා කල මොහොතේද ප්‍රභාකරන්ගේ මලසිරුර හමුවූ පසු, ඔහුත්, හමුදාපතිත් අතර අැති වූ දුරකථන සංවාදයේ එම මුල් දෙපේලිය මෙසේ සිංහලෙන් සටහන්ව තිබිනි.

”සර් ! මහ එකාගෙ බොඩි එක හම්බ වුනා”

” මොන මහ එකාගෙද?”

හමුදාපති, පෙරලා සේනාංකයේ අධිපතිගෙන් ඇසූ ප්‍රශ්නය ගැන එම පුවත්පතේ සඳහන් වූයේ එසේය.

එදා එය කියවූ මට මේ ප්‍රශ්නය හා පිලිතුර අදටත් මතක තිබෙන්නේ ඒ ගැන දැඩි කුතුහලයක් ඇතිවූ නිසාමය. මන්ද එවෙලේ මුලු රටේ ජනතාව, කොටසක් ඕනෑකමින්ද, තවත් කොටසක් බිය මුසු ශෝකයෙන්ද බලා සිටියේ එකම එක ‘මහඑකෙකු’ගේ මලසිරුර දකින්නටය. ”මොන මහ එකාගෙද?” එහි අදහස, එදා හිටපු හමුදාපතිවරයාට ඉවර කරන්නට අවශ්‍ය වූ තවත් මහ එකෙක් හෝ කිහිප දෙනෙක් සිටි බවද? තම පොත ලියත්දී මේජර් ජෙනරල් කමල් ගුණරත්න මේ ප්‍රශ්නයේ බර අඩුවන අයුරින් ලියා තැබීම තුල ඔහුගේ මහත්මා ගතිය පිලිබිඹු වෙයි. ‘මේ ආරංචිය වෙන කාටවත් කියන්න එපා’ යැයි හමුදාපති තමාට කියූ බවද මේ පොතෙහි සටහන් වෙයි. ඒ කියන ‘කිසිවෙකු’ යනු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විය යුතුය. අතීතයේ ඒ දිනය සිහිවන  විට ඊටද සැබෑ හේතුව ඕනෑම අයෙකුට පැහැදිලිය. එදා 2009 මැයි 19 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සිට ජාතිය අමතන විට ඔහු ප්‍රභාකරන් මියගොස් ඇති බව දැන නොසිටියේය. ජනාධිපති තම කතාව නිමකල පසු රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ යුුද හමුදාපතිවරයා, ප්‍රභාකරන්ගේ මලසිරුර හමුවීම සහ ඒ අනුව යුද්ධයේ නිමාව සනිටුහන් වන බව ජනතාවට දැනුම් දුන්නේය. පිලිගත් රීතියට අනුව මේ ප්‍රකාශය සිදුවිය යුතුව තිබුනේ රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයා අතිනි. ඉතින් ප්‍රභාකරන්ගේ මලසිරුර හමුවූ මොහොතේ එය ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන්නා නම් අනිවාර්යයෙන්ම ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දී, ඒ ඔස්සේ මහජනතාවට දැන ගන්නට ලැබෙනු ඇත. එබැවින් මේ කතා පුවත් ඔස්සේ එදා හමුදාපතිවරයා තම ප්‍රතිරූපය ඉස්මතු වන ලෙස ක්‍රියාකල ආකාරය, ඉන් මතු ඉදිරි මාස 7 තුල තමා පැලඳ සිටි වෙස් මුහුණ ගලවා කරලියට අා අන්දම ගැන දකිත්දී අපූූරු පෙර නිමිත්තක් වූයේය.

එතැනින් නොනැවතුන මොහු එවක නාවුක හමුදාපති වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩට ප්‍රසිද්ධියේ පහර ගසන්නට විය. ඔහු හැසිරුනේ හරියට තමා පමනක් යුද්ධ කලාක් මෙනි. ඒ ආසන්න දිනයකදී ඔහු ඉගෙනගත් පාසලක් වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල මගින් ඔහුට උපහාර පිනිස උත්සවය පැවැත් වූ දා ගාලු පාර ඔස්සේ එම විදුහල පසුකර ගමන් කරන්නට ගිය ඇමතිවරුන්ට පවා විකල්ප මාර්ග සොයා ගැන්මට සිදුවන තැනට ඔහුගේ ආරක්ෂකයින් ලවා කටයුතු කර තිබිනි. තම බලය සම්බන්ධව ඔහු තක්සේරු කලේ එසේය. ඊ ලඟ මාස කිහිපය තුල ඊට උඩගෙඩි දෙමින් ඔහුව පුම්බා ලූ එජාපය ඔහුව දේශපාලනයට ඇදගෙන, රාජපක්ෂවරුන්ගේ තේරීම ඔස්සේ ගොඩ නගාගත් නම විනාශකර දැමූහ. බලය පිලිබඳ උමතුවෙන් අන්ධව ගිය ඔහුගේ මනැසට මින් පෙර මේ පුද්ගලයින්ම තමන් හෙලා දුටු අන්දම අමතකව ගියේය. කිසිවෙකුට ජයගත නොහැකි යයි ලොවම  තක්සේරු කර තිබූ ඒ සා භයංකර යුද්ධයක් අවසන් කරන්නට දායක වූ ප්‍රධානතම චරිතයක් ලෙස ගෞරවනීය අන්දමින් ගෙවන්නට තිබූ විශ්‍රාමික ජීවිතය, දේශපාලන නරාවලකට ඇද හෙලමින් එජාපය විසින් ඔහුට සිදුකල අපරාධය, රාජපක්ෂලා ඔහුව වසර 2 ක් හිරේ දැමුවාට වඩා දහස් ගුනයක් අන්තය. ඔහුට සිරබත් කැවීමට හේතු සැපයුවේද ඔහුගේ උද්දච්ච බව හා කට මැත දෙඩවීමය. අද  එජාපය විසින් ඔහුට ලබා දී ඇති ඇමතිකම, ඉතිහාසගතව තිබිය යුතු වූ රණශූරයෙකු අරභයා සිදු කල මේ අපරාධය නිවැරදි කරන්නට ප්‍රමානවත් වේද? අද සිදුව තිබෙන්නේ කිසි විටෙක පාලනය කරගත නොහැකි තම චරිත ලක්ෂණ නිසාම ඔහු තව තවත් සමාජයේ   නින්දා උපහාසයන්ට බඳුන් වීමයි. එජාපය විසින් තමන්ව ඉතා ලාභ සහ නින්දිත ආකාරයට පාවිච්චි කල බව මේ පුද්ගලයාට කෙදින වැටහෙනු අැතිද? 

2010 ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර චන්ද වලින් 65% ට වඩා ලැබුනේ සරත් ෆොන්සේකාට නොහොත් හංසයාටය. එය එසේ සිතූ විට වටහා ගැනීම පහසුය. මේ පලාත්වල ජනතාව යුද හමුදා කඳවුරු ඉවත් කරන මෙන් ඉල්ලමින් අදත් පෙලපාලි (ගෙන)යති. නමුත් යුද්ධයේ රස්නය නිවෙන්නටත් පෙර, යුද්ධයට තමන් තනිවම නායකත්වය දුන්නායැ’ යි පුරාජේරු පැවසූ තැනැත්තාටම උතුරු නැගෙනහිර ජනතාව රොද බැඳගෙන ගොස් කතිරය ගැසුවෝය. නමුත් ඒ කතිරය හංසයාට මිස තමන්ට නොවන බවද, ඒ ජනතාව තමන්ව එජාපයේ බළල් අතක් ලෙස කල් තබාම දැක තිබුනු බවද ෆොන්සේකාට නොවැටහිනි. ඔහු සිතන්නට ඇත්තේ ඒ චන්ද ලක්ෂ තිස් හත හමාරම තමන්ට කියායි. ඔහු ඊලඟ චන්දයේදී තනිවම පක්ෂයක් හදාගෙන ඉල්ලූ විට මුලු දිවයිනෙන්ම ලැබුනෙ චන්ද 28,000 ක පමන ප්‍රමානයකි. ඊලඟට ඔහුගේ එජාප මිත්‍රයෝ ඔහුව ඇමති තනතුරක් දී පාර්ලිමේන්තුවට රැගෙන ආහ. එතැනදීද යම් අවස්ථාවල අගමැතිවරයා ඔහුව උපහාසයට ලක් වන අන්දමට හැසිරුන ආකාරය පැහැදිලිය. 

හංසයාට කිරෙන් වතුර වෙන්කර ගැනීමේ හැකියාව ඇතැයි කියමනක් ඇත. එහෙත් හංසයා ලකුනෙන් දේශපාලන පිටියට පැමිනෙත්දී වත් ෆොන්සේකාට හරි වැරැද්ද වෙන්කර ගැනීමේ හැකියාවක් නොතිබිනි. අද ද ඔහු රණමග ඔස්සේ නන්දිකඩාල් පොත ලිවීම සම්බන්ධව එහි කතුවරයාට අනිවාරතේ දොස් නගන්නේ එම නොහැකියාව තවමත් තමා තුල පවතින බව සනාථ කරමිනි.

දේශපාලනයක් සඳහා වැරැද්ද නිවැරැද්ද වටහා ගැනීම යනු වචන දෙකක වෙනස නොව ඉතාම පුලුල් පරාසයක පැතිර ඇති විෂය පථයක් තුල අවබෝධ කරගැන්මක් බව ෆොන්සේකා වටහා ගත යුතුය. ගඟේ ගැඹුර ගැන සිතන්නට තිබුනේ ගඟට බසින්නට කලිනි. දැන්වත් අන් අය දියේ ගිල්වා නසන්නට තැත් නොකර, හරි සිහිය ඇතුව දියේ ගමන නොකලොත් දියේ ගිලෙන්නට වන්නේ තමන්ටම බව අප හිටපු හමුදාපතිවරයා වටහා ගන්නේ නම් මැනවි.

අනිත් අතට ඇමති කමේ වරප්‍රසාද ද, හමුදාවේ ඉහලම තනතුරේ වරප්‍රසාද ද තිබේ නම්, ආත්ම ගෞරවයයත් පිට කොන්දත් ඒ උගසට සින්න වී ඇත්නම් මහත්මා දේශපාලනයක් ඕනෑ කාටද?

යතාර්ථය එයයි.

 

2 Responses to “ෆීල්ඩ් මාර්ෂල්ගේ පොත ලිවීමට පලමුව…..”

  1. Hiranthe Says:

    Gonseka’s book will make wonders. I am waiting for that day. It will be a great contribution to the Sinhala literature. It will definitely add a heaps of new words to day to day vocabulary such as “kalawedda” “balla” “booruwa” to address human beings.

  2. NAK Says:

    Fonseka should write a book,not about the war,but about the 2010 presidential election. There he can explain how he came to be the common candidate,who chose him and who sponsored him, how much money was given and by whom. How much of it was pilfered and much more that we sure would like to know!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress