ජනපතිට දවසට කෝටි 02යි.. වැය ශීර්ෂය 320%කින් ඉහළට..
Posted on October 12th, 2016

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ ලංකා සී නිවුස්

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2016 වසරට සාපෙක්ෂව 320%කින් ඉහළ දැමූ, අධ්‍යාපන වැය ශීර්ෂය 57.6%කින් කපා දැමූ විසර්ජන පනත් කෙටුම්පතක් 2017 වසර සඳහා ඉදිරිපත්කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

ගැසට්කර ඇති 2017 විසර්ජන පනත් කෙටුම්පත කෙරෙහි මාධ්‍යයේ අවධානය යොමුකරවමින් ඒ මහතා අද(11) එම පක්‍ෂයේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය.

2017 අය – වැයෙන් ජනාධිපතිවරයාට දිනකට රුපියල් කෝටි 02ක මුදලක් වෙන්කර ඇති බැවින් ‘සරල ජනාධිපති’ යන අන්වර්ථ නාමයෙන් තමන්ව හඳුන්වා ගන්නා එතුමා එවැනි මුදලක් වෙන්කර ගැනීම කොතරම් සදාචාරසම්පන්නදැයි මෙහිදී මුසම්මිල් මහතා ප්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.

දෙවන පචවැලත් ඇවිල්ලා.. ජනපතිට දවසට කෝටි 02යි.. වැය ශීර්ෂය 320%කින් ඉහළට..

රාජ්‍ය අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසා තිබුණා ‘පළාත් පාලන ඡන්දය 2017 ජුනි මාසය දක්වා කල් යා හැකියි‘ කියලා. දැනටමත් මේ ඡන්දය කල් දමා මාස 20ක් ගෙවි ගොස් තිබෙනවා. 2017 ජුනි මාසය වන විට එම කාලය මාස 30 දක්වා එනම් වසර දෙකහමාර දක්වා ඉහළ යනවා. පළාත් පාලන ඡන්දය වසර දෙකහමාරකින් කල් දැමීම, මේ ආණ්ඩුව පුනරුච්චාරණය කරන යහපාලනයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන්නේ නැහැ.

‘අද වතුර ටිකක් දෙන්න කෙනෙක් නැහැ‘

පළාත් පාලන ආයතන විසුරුවා හැරලා ඒවා නිලධාරිතන්ත්‍රයක පාලනයකට යටකොට තිබෙනවා. මාස 20ක් තිස්සේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නැහැ. මහජන නියෝජිතයන් නිලධාරිතන්ත්‍රයකට වඩා මහජනයාට සමීපයි. ඒ නිසා මහජනයා සමඟ සමීපව ඔවුන්ගේ බිම් මට්ටමේ අවශ්‍යතා සපුරා දෙන්නේ පළාත් පාලන මන්ත්‍රීවරයා. උදාහරණයක් ලෙස නියඟයක් ඇති වෙලා තිබෙන මේ අවස්ථාවේ පළාත් පාලන ආයතන සක්‍රියව තිබුණා නම් ජනතාවට පානීය ජලය ටිකවත් නිසි ආකාරයට බෙදා දෙන්න තිබුණා. ඒ වගේම ඩෙංගු රෝගය ඉතා තදින් ව්‍යාප්ත වීමටත් මේ තත්වය බලපෑවා. කසල බැහැර කිරිමේ ප්‍රශ්නය අද උග්‍ර වෙමින් ඇත්තේ පළාත් පාලන ආයතන අද අක්‍රීයකර ඇති නිසයි. ඡන්ද කල් දමා, ජනතා පරමාධිපත්‍යය කොල්ලකන්න මේ රටේ කිසිවකුත් යහපාලනයට බලය ලබා දී නැහැ.

‘මැකොලා-කැෆේලා නිහඬයි‘

මහින්ද රාජපක්ෂ පාලන සමයේදි ඉතා සුළු වශයෙන් හෝ මැතිවරණ නීතී උල්ලංඝනයක් සිදු වුණොත් රටටම ඇහෙන්න හඬ තලපු අය හිටියා. එක් කෙනෙක් තමයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්තයා. අනෙක් කෙනා තමයි කැෆේ(CAFE) සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මහත්තයා. මේ අය යහපාලන පුරුෂාර්ථ ගැන මහ ඉහළින් කථා කරපු අය. ඔවුන් අද හාවක් හූවක් නැහැ.

‘සිරිසේනලාට 04 වැනි තැන‘

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයන් පළාත් පාලන මැතිවරණය ඉල්ලනවා. වෙනත් දේශපාලන පක්ෂ ද මේ මැතිවරණය ඉල්ලනවා. නමුත් මේ මැතිවරණය පැවැත්වීම ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න සිරිසේන කල්ලියටයි. දැන් පවත්වනු ලබන සමුපකාර ඡන්ද ප්‍රතිඵලවලින් සිරිසේන කල්ලිය බය වෙලා ඉන්නේ. උදාහරණයක් ලෙස ඇතැම් සමුපකාර ප්‍රාදේශිකවල ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් 80ක් පත්වන විට , එජාප නියෝජිතයන් 10ක් පත්වන විට, සිරිසේන මහත්තයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වී ඇත්තේ නියෝජිතයන් 1යි, නැතිනම් 0යි. ඒ නිසා පවත්වනු ලබන ඉදිරි මැතිවරණයේදි තමන්ට ලැබෙන්නේ 03 වැනි හෝ 04 වැනි තැන බව මේ සිරිසේන කල්ලිය දන්නවා. ඒ නිසයි කොට්ඨාස ක්‍රමයක් ගැන කතාවක් ඉස්සරහට දමලා ෆයිසර් මුස්තාෆා, ඩිලාන් පෙරේරා , ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු සිරිසේන කල්ලිය පළාත් පාලන ඡන්දය දිගින් දිගටම කල් දැමීමට උත්සාහ ගන්නේ.

‘දෙවන පචවැලත් ඇවිල්ලා’

2017 ‘අය-වැය‘ හෙවත් 2017 විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කොට තිබෙනවා. ඊට කලින් 2016 අය-වැය ගැනත් වචනයක් කියන්න ඕනෙ. 2016 අය-වැය වැඩිම වාර ගණනක් සංශෝධනය වූ අය-වැය බවට පත් වූවා. ඒ නිසා අපි මේ අවුරුද්දේදීවත් බලාපොරොත්තු වුණා, ‘ආණ්ඩුව 2017 වසර සඳහා ‘පචවැලක්‘ වෙනුවට අය-වැයක් ඉදිරිපත් කරයි’ කියලා. නමුත් 2017 සදහා ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත දෙස අවධානය යොමු කරද්දී අපට පෙනෙන්නේ මෙවරත් ඉදිරිපත්ව ඇත්තේ පචවැලක් බවයි .

2014දී 5.7%ක්ව පැවැති අය-වැය හිඟය 2015දී 4.4%ක් දක්වා අඩු කරන බව තමයි මේ ආණ්ඩුව ප්‍රකාශ කළේ. නමුත් එය 7.4%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම 2014දී 6%ට ඉහළ අගයක තිබු ආර්ථික වර්ධන වේගය 2016 දෙවැනි කාර්තුව වන විට 2.5%ක් දක්වා පහත වැටී තිබෙනවා. ඒ තමයි මේ ආණ්ඩුවේ ඉන්නවා කියපු ආර්ථික ඔස්තාර්ලාගේ කෙරුවාව.

‘2016 වසර සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%කටත් වඩා වැඩි අගයක් අපි අධ්‍යාපනයට වෙන් කළා‘ කියලා මේ ආණ්ඩුව පම්පෝරි ගැහුවා. පාසල් පද්ධතිය සතු ගොඩනැගිලිවල, ක්‍රීඩාපිටිවල, ඉඩකඩම්වල වටිනාකම් එකතු කරලා මහා වංචාවක් කරලයි මේ අය එදා එහෙම 6%ක් පෙන්නුවේ. එහෙම කරලා අධ්‍යාපනයට 2016 වසර සඳහා බිලියන 185.9 වෙන් කළා කිව්වානේ. නමුත් මේ ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත අනුව ඒ බිලියන 185.9න් 57.6%ක් කපා හැරලා තිබෙනවා. අපට මතකයි මේ ආණ්ඩුව බලයට ගෙන එන්න පාර කපපු, බොරු ගොතපු නිර්මාල් රංජිත් දේවසිරි වැනි මහත්වරු රාජපක්‍ෂ පාලන සමයේ අධ්‍යාපනයට 6%ක් ඉල්ලලා පාගමන් ගියා. අපි අහන්න කැමතියි ‘ ගිය අවුරුද්දේ පෙන්වපු බොරු ගණන්වලිනුත් 57.6%ක් කපා හැරලා 05/2015 චක්‍රලේඛයෙන් පාසල් නඩත්තුව සඳහා සෑම පාසල් ශිෂ්‍යයකුගෙන්ම මුදල් අය කරද්දී ඔය මහත්වරු දැන් නිදිද?‘ කියලා.

‘ජනපතිට දවසට කෝටි 02යි’

මේ ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත දිහා බලපුවාම පෙනෙන තවත් දෙයක් තමයි, සරල ජනාධිපතිවරයාට දිනකට කෝටි 02ක මුදලක් වෙන්කර තිබීම. 2016 වසරට සාපේක්ෂ්ව මෙවර ජනාධිපතිවරයාගේ වියදම් 320%කින් ඉහළ දමා ගෙන තිබෙනවා. වී, තේ, රබර් ගොවීන්ට හිමි පොහොර සහනාධාරය කපා හැරලා, නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන නොදී, පාසල් නිල ඇදුම් කප්පාදු කරලා, සාලාව පිපිරුමෙන් හානි සිදුවූ ජනතාවට වන්දි නොදී ජනාධිපතිගේ වැය ශිර්ෂය ඉහළ දමා ගැනීම මොනතරම් සදාචාරසම්පන්නද? මේවා දිහා බැලීමේදී මේ ඉදිරිපත්කර ඇති අය-වැයත් පචවැලක් බවට පත්වන බව පැහැදිලියි. ජනතාවට ලබා දී ඇති පොරොන්දු බොඳ වූ සිහින බවට පත්වන අය- වැයක් බවට 2017 අය-වැයත් පත්වන බව තමයි අපට පෙනෙන්නේ.”

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress