චෙකොෆියානු සාහිත්‍යකරුවා සමාජය ඉදිරිපිට තැබූ කැඩපත නොහොත් මානසික රෝගියාගේ පරිකල්පනය”
Posted on October 13th, 2016

 පී එස් ද සිල්වා – බ්‍රිස්බර්න් ඕස්ට්‍රේලියාව 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ   “මානසික රෝගියාගේ පරිකල්පනය” කෘතිය 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සමීක්‍ෂණය කිරීමට තෝරාගත් ග්‍රන්ථ  අතරින් එකකි.  මනෝ භ‍්‍රාන්තීන් අත්විඳින මානසික රෝගියෙකුගේ මනස තුල සිදුවන වියෝජනය සාහිත්‍යමය  ආකාරයට අර්ධ නවකතාවක් ලෙසින්  කතුවරයා ඉදිරිපත් කරයි. මෙය එක්තරා ආකාරයකට රැඩිකල් නවකතාවකි. එම නිසා අපේක්ශිත ලෙසටම සාහිත්‍ය මුතාවාන් ගේ කඩු පහරට   “මානසික රෝගියාගේ පරිකල්පනය”  ලක් විය. නමුත් මෙම කෘතිය පිළිබඳව කතිකාවන් සයිබර් අවකාශයේ ගොඩනැගෙමින් පවතී. එය  යහපත් ප්‍රවණතාවකි. ඉන් පෙනී යන්නේ සාහිත්‍ය ඉන්ස්පැක්ටර්වරුන් ගේ අණසක ඉක්මවමින් සාහිත්‍ය කෙරෙහි ඇල්මක්  ඇති තරුණ පරම්පරාවක් හිස ඔසවන බවයි. සන්නස්ගල කියන අයුරින් ජීවිතය සම්බන්ධ සාහසික කියැවීමක් ඇති ජාතිවාදි  ආගම්වාදී කුලවාදි නොවන  පක්‍ෂ වලට ,අන්තවාදී සංවිධාවන වලට කඩේ යැවිය නොහැකි  බුද්ධිමත් තරුණ පිරිසක් අපගේ සමාජය නම් මඩ ගොහොරුව තුලින් මිදී ඉහලට එසවෙමින් සිටිති.  “මානසික රෝගියාගේ පරිකල්පනය” ආමන්ත්‍රණය කරන්නේ එම කුලකයටය.  

භින්නෝන්මාදයෙන් ((Schizophrenia)  පෙලෙන වින්සන්ට් ලංකාතිලක නම් රෝගියා මිනිසා  හා මානව සමාජය විනිවිද දකියි.  විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරනවා කියන කපටි වෙදුන්ට සිය සේසත පුදන , මාර්ග එල අවබෝධ කරගත් බව කියමින් තමාට වඳින පුදන අනුගාමිකයන් ගේ මරිකම් වලට උපහාසයෙන් සිනාසෙන වියාජ මහණුන් පුදන , ප්‍රදර්ශනය කරන ගව කරුණාවෙන් මංචාඩියක් විපතට පත් මිනිසුන් වෙත නොදක්වන පසුගාමී සමාජයක නිර්ණායකයන් අනුව වින්සන්ට් ලංකාතිලක  යනු මානසික රෝගියෙකි. එහෙත් රෝගී වී සිටින්නේ වින්සන්ට් ලංකාතිලක ද නැතහොත් පසුගාමී සමාජයක සාමජිකයන් ද යන වග මානසික රෝගියා කොරොස් ලෙස ප්‍රශ්න කරයි. ප්‍රවීණ සාහිත්‍ය විචාරක ජයසිරි අලවත්ත පවසන පරිදි සමස්ථ කෘතිය පුරාම දක්නට ලැබෙන විශ්‍ෂත්වය වන්නේ: පවතින සමාජ වටපිටාවේ යථාව නිවැරදිව වටහා ගැනීමේ ශක්තිය එහි ප්‍රවධාන චරිතය වන මානසික රෝගියා සතුව පවතින බවය.  

 වෛද්‍ය  රුවන් එම් ජයතුංග මෙම කෘතිය තුළින් වර්තමානයේ පවතින දැවන්ත සමාජ ඛේදවාචකයන් පාඨකයා ඉදිරියේ චිත්‍රණය කරයි. ඒවායේ ගුණාගුණ මෙන් ම ආදිනව ද හෙළිදරව් කරයි. ඔහු ඒ සඳහා මානසික රෝගියකු උපයෝගි කොට ගන්නේ සමාජයේ වෙසෙන සැබැ මානසික රෝගීන්ගේ මනස් අවදි කරනු පිණිසය. ( ජයසිරි අලවත්ත –  පරිකල්පනය අතික්රමණය කළ ‘‘මානසික ‍රෝගියා‍ගේ පරිකල්පනය’’) 

වෛද්‍ය රුවන් එම් ජයතුංග යනු මනෝ-සමාජ  විද්‍යාව පිලිබඳව ඉතා ගැඹුරින් හැදෑරීම් කරන්නෙකි. ශ්‍රී ලාංකික සමාජය පුරා පැතිර ගිය යුද ආතතිය පිලිබඳව ඔහු තරම් ගැඹුරින් හැදෑරීම් කල වෛද්‍යවරයෙකු නොමැත. නමුත් ඔහුගේ හැදෑරීම් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් මානසිකත්වයෙන් පෙලෙන බොහෝ වෛද්‍යවරුන්ට වැදගත් නොවේ.  මෑතකදී කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ජේම්ස් ඇල්කොක් යටතේ Homelessness පිලිබඳව ඔහු විසින් ලියන ලද පරියේෂන පත්‍රිකාවක් කියවීමට  අපට ඉඩ ලැබුනු අතර යම් කිසි හැදෑරීමක් කොතරම් ගැඹුරින් කරන්නේද යන්න ඉන්  පෙනුනි. යම්කිසි සමාජ ප්‍රශ්නයක් මතුපිටින් අතගාන සහ විසඳුම් දෙන ඊනියා විශේසඥයන්ට රුවන් ගෙන් බොහෝ දේවල් ඉගෙන ගැනීමට තිබේ. 

මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා පෙන්වා දෙන අන්දමට වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෘතීන් වල සමාජ මනෝ විශ්ලේශනාත්මක මුහුණුවර  කැපී පෙනේ. එසේම මහාචාර්ය සෝමරත්න බාලසුරිය  නිර්මාණකරුවෙකු තුල තිබිය යුතු නිරීක්‍ෂණ ගුණය සහ සංයමය  වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ නිර්මාණ තුලින් පෙනෙන බව පවසයි. 

මානසික රෝගියාගේ පරිකල්පනයද  මිනිස් සමාජය ගැන ගැඹුරින් කල හැදෑරීමකි. අනාගත වක්තෘ වින්සන්ට් ලංකාතිලක  නම් මානසික රෝගියා  පුහුදුන් මිනිසාගේ අවබොධයේ සීමාවන් ගැන මෙසේ ප්‍රකාශ කරයි.   ” මගේ තර්කය තේරුම් ගන්න උත්සාහ කරන්න, මම හිතන්නේ, අපි ලෝක දෙකක තනිවෙලා. ගුණදාස කපුගේ ගැන දන්න මිනිහා ජෝජ් බෙන්සන් ගැන දන්නේ නැහැ. ජෝජ් බෙන්සන් ගැන දන්න මිනිහා ගුණදාස කපුගේ ගේ උන්මාද සිතුවම් අහලා නැහැ. මේක එක වෙලාවකට අවුල් ජාලයක් වාගේ. කීර්ති පැස්කුවෙල් අහපු මිනිහා ඉයන් සදලෑන්ඩ්ගේ සිංදු අහලා නැහැ. ඒ නිසා දැනුම රස විඳීම සීමා වෙලා. එතකොට බුද්ධියට සීමා පැනවෙනවා. තමන් දකින දර්ශනය පටුයි. තමන්ගේ විශ්වාස පීරිසියක්, පිඟානක් තරම් කුඩයි. මේ ක්ෂුද්‍ර විශ්වයේ ඉඳගෙන වෛවාරන්න ප‍්‍රශ්න අහනවා. සත්‍ය සමහරක් විට අපිට තේරුම් ගන්න අමාරුයි. දුමාරයෙන් වැහිල. හරියට මුල්කිරිගල චිත‍්‍රය වගේ. සත්‍ය අන්ධකාර වෙනකොට අසත්‍යය දිස්නේ ගහනවා. අසත්‍යය තමයි සත්‍යයේ සළු පොරවගෙන ඉන්නේ.” (මානසික රෝගියාගේ පරිකල්පනය )

මේ වන විට ලාංකික සමාජයේ ආගම් අතර ගැටුම් හිස එසෙවෙමින් පවතී. පරිකල්පනික ශක්තියෙන් හීනවූ පසුගාමී සමාජයක  ආගමික ගැටුම්  ඇවිලීම ඉතා පහසුය. මේ පිලිබඳව විචාරක ජයසිරි අලවත්ත මෙසේ පවසයි.     

රුවන් ජයතුංගගේ මෙම කෘතිය  ලියා ඇත්තේ 2006 වස‍රේ දි වුවත් ඔහු ‍ලේඛකයා සතු දුර දැක්‍‍මේ ශක්ය්තාව මෙහි දී මැනවින් ස්ඵුට කොට ඇත. කෘති‍යේ ‍කොටසක් උපුටා ගනිමින් ම ‍මෙය සාක්ෂාත් කරගනිමු.  

 ‘‘අපට ආගම් ලැබුණේ දෙමාපියන්ගෙන්. පොඩි කාලයේ ඉඳලාම අපට වන්දනා කරන්න උගන්වපු සාත්තුවරයාව එහෙමත් නැත්තං පිළිරුවට අපි වඳිනවා. විශ්වාසය පුදනවා. අපි බොහෝ දෙනෙක් හිතන්නේ අපි අදහන ආගම හරියි කියලා. අන්ධ භක්තිය නිසා හරි,බය නිසා හරි, අපි: අපි අදහන ආගම් පරතන ශ්න නඟන්නේ නැතුව භාර ගන්නවා. තවත් සමහරු ආගම් නිසා ඔළු පලාගන්නවා. මිනී මරාගන්නවා. ඇයි මෙහෙම විකාර කරන්නේ. ඇයි අපට බැරි ළමයින්ට පොදුවේ ආගම් ගැන කියලා දීලා, ළමයින්ගේ විචාර බුද්ධිය මොට නොකර ඒ අය තව ටිකක් මනසින් මෝරපුහාම, ඒ අයට තර්කානුකූලව හිතලා බලලා ආගමක් අදහන්න මාර්ගය පාදලා දෙන්න. එහෙම වුණොත් තමයි අපට හිරු එළිය වගේ සත්ය  දකින්න පුළුවන්.’’  

( මානසික රෝගියාගේ පරිකල්පනය  පිටුව 56 )

ආගම් අදහන්නා‍ගේ ‍මෙන් ම ආගම අබිං යැයි පැවසු දාර්ශනිකයාගේ දර්ශනය ‍මේ ‍පො‍ළොව මත ‍රෝපණය කරන්නට දැරු උත්සාහ‍යේ දී අහිමි වු ජිවිත පිළිබඳව ද සිහි කරන්නට මානසික ‍රෝගියා අමතක ‍නොකරයි.   ‘‘මනුෂ්යකභාවයේ හරය සුන් කිරීමට හොඳම ආයුදය තමයි ආගමේ කොඩි එසවීම. ආගම් භේද නිසා මේ පොළොවේ මිය ගිය ගණන මිලියන කීයද? මාක්ස්ගේ  න්‍යාය ප්‍රායෝගික  භාවිතයට යොදාගැනීමට යාමෙන් , ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදය බලෙන් පටවන් ගිහින් විනාශ කරපු ජීවිත සංඛ්යාොව මිලිනය කීයද?’’

( මානසික රෝගියාගේ පරිකල්පනය  පිටුව 96 )

මංජුල වෙඩිවර්ධන “මානසික රෝගියාගේ පරිකල්පනය” කෘතිය පිලිබඳව බරපතල විවේචන මතු කෙරුවද සමස්ථ කෘතියේ අන්තර්ගතය ගැන දරන්නේ මෙවනි අදහසකි. 

වින්සන්ට් ලංකාතිලක ස්වකීය මරුකියවිල්ල අරඹන්නේ එහෙම කියමින්.  ඔහු තමන්ගෙ කතාව කියන්නේ පරිකල්පිත මනෝ වෛද්‍යවරයකු වෙත.   නවකතාවේ අන්තිමට ඒ කවුද කියල කියවෙනව.  නමුත් ඒක දැන ගන්න අන්තිම වෙනකල් ඉන්න ඕනෙ නෑ.  මේ තමයි, ඒ කියන්නෙ කතාව අහන් ඉන්න වෛද්‍යවරයා තමයි මේ කෘතියේ සහෘදයා.  ඒ කියන්නෙ මම, ඔබ, ඇතුළු අපි.  මේ වින්සන්ට් ලංකාතිලකගෙ මරුකියවිල්ල හරහා කියවන්නගෙ හෘදය සාක්ෂියට රිදවන්න තමයි රචකයට ඕනෙ. සහෘදභාවය ප්‍රශ්න කරන්න.  ‘මං මේ කියන දේට ‍ඔබ එකඟ වන්නේ ද නොවන්නේද? ඒක ආරම්භයේ ම පවසා අවසන්. ඊළඟට,  කෙමෙන් ඔහු තමන්ගෙ මරුකියවිල්ලට සියල්ලන් එකඟකරවා ගන්නව.   කෙමෙන් කතාවේ වෛද්‍යවරයා නොහොත් ඇහුන්කන්දෙන්නා අතික්‍රමණය කරමින් සහෘදයා තුළ පැලපදියම් වන මානසික රෝගියාගේ පරිකල්පනය පාඨකයා හා අනන්‍ය වෙන්නට පටන් ගන්නව.   ඒ තමයි රුවන්,ස්වකීය ප්‍රබන්ධයට හුස්ම පිඹිනු පිණිස ස්ථාපිත කරනා තාක්ෂණවේදය.  ඉන් ගැලවෙනවා නම් බොරු.  පෙනහලු පිරෙන්නට පටන් ගන්නේ සමාජය විවච්ඡේදනයෙන් හට ගැනෙනා හුස්මෙන්.  ඔන්න, සහෘදයාට ස්වකීය නාඩි වැටෙන අයුරු දැනෙන්න පටන් ගන්නව. (ඩොක්ටර්  මානසික රෝගියාගේ පරිකල්පනය නන්නත්තාර කර ගත්තෙ ඇයි? – මංජුල වෙඩිවර්ධන )

 වෛද්‍ය විද්‍යාවත් සාහිත්‍යත් එකිනෙකට සමාන්තරව නොගියද  මංජුල වෙඩිවර්ධනට අනුව රුවන් එම් ජයතුංග නම් වන චෙකොෆියානු සාහිත්‍යකරුවා ස්වකීය  ෆ්‍රොයිඩියානු ‘නවකතාව‘ ස්ථානගත කරන්නේ මනෝව්‍යධීභාවය විජයග්‍රහණය කළ සමාජ  සන්දර්භයකටමය. 

මෙකී ආරම්භයේ සමාරම්භක ඡේදයේදීම ඔහු සිය පරිකල්පනයට දොරගුළු හැරගනු පිණිස ගොනු කරන්නේ නූතන දර්ශනවාදයට පදනම දැමූවෙක් ලෙස සැලකෙන ප්‍රංශ දාර්ශනිකයෙකු හා ගණිතඥයෙකු වූ රනේ දෙකාත්ගේ (René Descartes) « දර්ශනවාදයේ මූලිකාංග » නම් කෘතියේ එන සුප්‍රකට කියමනක්. «මම හිතමි. එනිසාවෙන්  «මම» වෙමි.»  (Je pense, donc je suis). බටහිර දර්ශනවාදයට පාර කැපුණු මේ වගන්තිය නොහොත් සිද්ධාන්තය හරහා බටහිර නාමකරණයක් සහිත වින්සන්ට් නැමැත්තා ලංකාව නම් වන ගෝත්‍රික සන්දර්භයක ස්ථානගත කිරීම රුවන් එම් ජයතුංග විසින් සිදුකෙරෙන සවිඥානික සාහිත්‍යයික මැදිහත්වීම ලෙස මා සලකනව.  පිටු සියයක් ඉක්මවා යමින් දිවෙන කතා ශරීරයේ හැඩතල තීන්දු කෙරෙන්නේ මෙකී මූලිකම වැකියෙන්.   බටහිරදී විජයග්‍රහණය (Vincent) වන නාමකාරණයක් රුවන් එම් ජයතුංග ලංකාව තුළ විජයග්‍රහණයට නතු කරන්නේ මනෝ ව්‍යාධියේ දිග පළල තහවුරු කරන්නට බව දැන් ඉතින් පැහැදිලියි.   (ඩොක්ටර්  මානසික රෝගියාගේ පරිකල්පනය නන්නත්තාර කර ගත්තෙ ඇයි? – මංජුල වෙඩිවර්ධන )

 මනෝ වෛද්‍ය විශේෂඥ මහසෙන් ද සිල්වා   (කැන්සාස් – එක්සත් ජනපදය )  පෙන්වා දෙන පරිදි භින්නෝන්මාදයෙන් පෙලෙන රෝගීන් තුල මනස් ඍෂ්ටි පහළ වේ. වින්සන්ට් ලංකාතිලක තුල මතුවූ මනස් ඍෂ්ටියකි මේ. 

දහසක් ලෙඩුන් මිය ගිය මේ ඇඳ මත මම වැතිරී හිටියා. මගේ ශරීරය කෙට්ටු වෙලා. ඇටකටු ගොඩක් වගෙයි. දුෂ්කර කි‍්‍රයාවේ යෙදුණු සිදුහත් කුමාරයාගේ නැත්තම් බෙල්සන් කඳවුරේ යුදෙව්වෙකුගේ වාගේ. කරාතියෙව්ගේ අවංක හිත, ලෙවින්ගේ වෙහෙසට පත් නොවන දෑත්, මොනාලිසාගේ දෑස්, මික් ජගර්ගේ දෙතොල්, ට්රැවොල්ටාගේ කොණ්ඩය, මේ සියල්ලේම සංකලනය මගේ දෑස් ඉදිරියේ මැවුණා. මොහොතකදී මහා ධාරානිපාත වර්‍ෂාවක් එක්ක විදුලි කෙටුවා. දෑස් නිලංකාර වුණා. අඳුරු අහසේ කඩතොළු ආකාරයේ ඉරි වරින් වර මතුවුණා. මහා වර්‍ෂාව එක්ක විශාල සුනාමියක්. ජල කඳ පොල්ගස් තුන හතරක් උසයි. මහා තාප්පයක් නැත්තම් ප‍්‍රාකාරයක් වාගේ. ගෙවල් දොරවල් යටකරගෙන ජල කඳ ගලාගෙන ගියා. පොළවේ ගලාගෙන ගිය මුහුදු ජලය යළිත් මුහුද කරා ඇදී ගියා. අහස එළිය වුණා. වර්‍ෂාව නැවතුණා. සියල්ල සන්සුන්. යළිත් වරක් සූරියකාන්ත මල් පිපුණ ගොවිපළ මගේ දෑස් ඉදිරියේ. මම දැක්කා පිණි මුවෙක්. මට දුකක් හිතුනා, ඩේව් ඌව වින්චෙස්ටර් රයිෆල් එකෙන් බිම දායිද කියලා. ඩේව් තුල දඩයකරයෙකුත් ඉන්නවා.   ඩේව් රයිෆලයෙන් ඉලක්කය ගත්තා. මම දුටුවේ ඩේව් නොවේ මයිකල් ව්‍රොන්ස්කි.

මනස් ඍෂ්ටිය සමගින් වර්තමාන සමාජයේ යථාභූත පැතිකඩක් මානසික රෝගියා දකියි. 

ජීවිතය මහාමාරිය වගේ ඒක දැක්කේ කැමූ විතරක් නෙවෙයි. මමත් දැක්කා. ගඳ ගහන විෂබීජ පතුරන ජීවිතයක් මේක. අපේ නෛසර්ගික හුදකලා බව විතරක් නොවෙයි ආත්මාර්තකාමීත්වයත් පෙන්නුම් කෙරෙනවා. ඔරාන් නගරයේ වාසීන් වගේම අපි හැමෝම මහාමාරියෙන් යටවෙලා. ඩොක්ට තිස්ස ඔරාන් නගරයේ දොස්තර බර්නා රිය වගේ මහාමාරියට බෙහෙත් කරනවා. ඒත් හැමතැනම මහාමාරිය පැතිරෙනවා. අපගේ අධ්යාගත්මය ක්ෂය වී යනවා. සෑම තැනකම මීයන්. උන් ජීවිතවල කුණු සෑම දිශාවකටම ඇදගෙන යනවා.    ටෙනිසන්ගේ පද්ම භක්ෂබකයෝ කවරහුද? පද්මයත් පුෂ්පයත් නටුවෙන් ගෙන අනුභව කළ හැක්කේ කාටද?ටෙනිසන් ව්යාංකගයෙන් කියන්නේ කවුරුන් ගැනද? මගේ හිත ව්යාකකූල වෙලා. 

. මිනිස්සු අද්භූත දේ වලට කැමතියි. ඒ  කියන්නේ මිස්ටික් දේ වලට ඇල්මක් තියනවා. මිනිස්සු ඇලෙක්සෙන්ඩර් ෆ්ලෙමිං පෙනිසිලින් හොයාගත්තහම පුදුම වුණේ නැහැ අමුතු පරා්නේතිහාර්යක් බලන්න වගේ ඒ පස්සේ දිව්වේ නැහැ. මොකද එතන ගුප්ත බවක් තිබ්බේ නැහැ. පෙනිසිලින් ෆෝමියුලා  එක ඇලෙක්සෙන්ඩර් ෆ්ලෙමිං  පැහැදිලි කළා. ඒත් සායි බබා අළු මවනවා කිව්වහම මිනිස්සුන්ට අද්භූත බවක් තියනවා. එතන අළු මැවීම ගුප්තයි. මිනිස්සු පෝලිං ගැහිල යනවා.  එතන ෆෝමියුලා එකක් නැහැ. ඇත්තේ කඩතුරාවකින් වසාපු ගුප්ත බව විතරයි.   ඩොක්ට මගේ මනසේ නිරවුල් බව ගැන සොයනවා. බලන්න අවට ලෝකය දිහා. මිනිස්සු මුලා වෙලා. මිථ්යාකවට යට වෙලා. මේ නූගත් අට වසරට ඉගෙනගත්ත මිනිස්සු නොවෙයි. විශ්ව විද්යාල උපාධි තියෙන හොඳට රටතොට ගැන දන්න මිනිස්සු. මොලය විසිවන ශතවර්ෂයේ ඒත් හදවත ගල් යුගයේ.  ඕනෑම බොරුවක් තර්ක විතර්ක නැතුව පිළිගන්නවා. මිනිස්සුන්ට විචාර බුද්ධියක් නැහැ. හිතන්නන් වාලේ හිතනවා. කියන්නන් වාලේ කියනවා. අල්ලපු ගෙදර එකා විශ්වාස කරන නිසා මාත් විශ්වාස කළ යුතුයි කියලා හිතනවා. ස්වාධින චින්තනයක් ඇත්තේම නැහැ. ස්වාධීන චින්තනයක් තියෙන්න බැහැනේ. ඉස්කෝලේ බාලාංශ පන්තියේදීම ස්වාධීන කුතුහලය, ගවේෂණය, නිර්මාණශීලි භාවය මොට කරලා දානවා. විශ්ව විද්යායලයෙන් එළියට එන්නේ ගිරා පෝතකයෝ. කටපාඩම් කරගත්ත දේ වමාරනවා. ඒ ගැන තර්කානුකූලව හිතන්නේ නැහැ. මේ මිනිසුන්ගේ මනස නිරවුල් කියලද ඩොක්ට හිතන්නේ?  ( මානසික රෝගියාගේ පරිකල්පනය” )

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පවසන පරිදි මානසික සෞඛ්‍යයෙන් තොර සෞඛ්‍යයක්‌ මෙන්ම මානසික සෞඛ්‍යයෙන් තොර සංවර්ධනයක්‌ද නැත. දත් ගැන අධ්‍යයනය කරන්න පවා අපේ රටේ වෛද්‍ය පීඨයක්‌ තිබේ. එහෙත් මොළය පිළිබඳ අධ්‍යයනය කිරීමට වෛද්‍ය පීඨයක්‌ තබා විද්‍යා පීඨයක්‌වත් නැත. අද රාජ්‍ය මට්‌ටමින් පවා මොළයට දක්‌වන්නේ අඩු සැලකිල්ලකි.  එවැනි සමාජයක මානසික රෝගියාගේ පරිකල්පනය යනු  සමාජය ඉදිරිපිට තැබූ කැඩපතකි.  නමුත් කැඩපත දෙස බැලීමට  අප බිය වෙමු. 

 වින්සන්ට් ලංකාතිලක මානසික රෝගියෙකි. නමුත් ඔහු යථාර්ථයට වඩාත් සමීපය. සමාජ යථාර්ථ‍යේ විවිධ පැතිකඩ වින්සන්ට් ලංකාතිලක දකියි.  සමාජ, ආර්ථික, දේශපාලන සහ ආගමික ව්‍යයසනයන් ‍හේතු‍කොට ‍ගෙන මිනිසා පත්ව ඇති අභාග්‍යම  තත්ත්වය මානසික රෝගියා නිරෝගී මිනිසුන්ට පෙන්වා දෙයි. නමුත් නිරෝගි මිනිසා වින්සන්ට් ලංකාතිලකව ග්‍රහණය නොකරයි. ඔවුන් ගේ නිර්ණායකයන් අනුව වින්සන්ට් ලංකාතිලක වූ කලී බැහැර කල යුතු සත්වයෙකි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress