දේශපාලන කුහකත්වය තුල බිහිවන නව පක්ෂ
Posted on October 15th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතුව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ මහා ජනරැලියක් 2016 ඔක්තෝබර් 8 වන දා රත්නපුරයේදී පවත්වනු ලැබිනි. මේ ලිපිය එම රැස්වීමට පැමිනි ජන ගඟ හෝ එහි අරමුණ විග්‍රහ කිරීමට නොවේ.

මෙම ජනරැලිය දෙස පිටත සිට බලා හුන් රජය පාර්ශ්වයේ දේශපාලකයෝ තම අදහස් තම තමන්ට රිසි පරිදි මාධ්‍ය වෙත කියා පෑහ. බහුතර ජනතාව සහ රජයට සම්බන්ධ දේශපාලකයන් කුතුහලයෙන් යුක්තව බලා සිටින්නේ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්ෂය කෙදින බිහිවනු ඇතිද කියායි. එවැන්නක් මේ රැස්වීමේදී කතා නොවුන නමුදු, බොහෝ දෙනෙකු සිතුවේ මේ නව පක්ෂයක ඇරඹුම කියායි. ඒ අනුමානය ඔස්සේ මේ ජන රැලිය පිලිබඳ අදහස් පලකල රජය පාර්ශ්වයේ දේශපාලකයන්ගේ කතා අතර පහත සඳහන් කතාව කැපී පෙනුනි.

“අද අලුත් දේශපාලන පක්ෂ බිහි වෙනවය කියන කටකතාව අපට ඇහිල තියනව. පැහැදිලිවම මම එක දෙයක් කියන්න ඕන මේ රටේ ජනතාවට. අලුත් පක්ෂ සෑදීමට පෙර මතක තියා ගන්න රාජාලියාට වුන දේ. අද රාජාලියා දේශපාලන කනත්තට සීමා වෙලා තියනව” (අද දෙරණ රාත්‍රී 8.30 ප්‍රවෘත්ති විකාශනය -08/10/2016)

කවුද මේ කතා කරන්නේ? මේ නිවාස ඇමති සජිත් ප්‍රේමදාසයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයාය.

ඔහු පවසන ‘රාජාලියා’ කවුද?

‘රාජාලියා’ යනු ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් දේශපාලකයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වීමෙන්, සැබැවින්ම නෙරපනු ලැබීමෙන් අනතුරුව, 1991 නොවැම්බර් මස 28 වන දා පිහිටුවනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ ලාංඡනයයි.

ලලිත් ඇතුලත්මුදලි නාමය ශ්‍රී ලංකාවේ වෙසෙන වයස 35 ට වැඩි පුද්ගලයින්ට කෙසේවත් නුපුරුදු නොවේ. අද ද මාස් පතා තම මහපොල ශිෂ්‍යත්ව ආධාර මුදල් ලබා ගන්නා, ඊට වඩා තරුණ වයසේ පසුවන විශ්ව විද්‍යාල සිසුන්, මේ මහපොල ශිෂ්‍යත්ව අරමුදල කවුරුන් විසින්, කෙසේ බිහි කලාද කියා සිතන්නේ නම් එහි නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි නාමය ඔවුන්ට සිහිපත් වනු ඇත. මා විශ්ව විද්‍යාල සිසුවියක්ව සිටි අවදියේදී මහපොල ශිෂ්‍යත්ව පදනම මගින් මාසික දීමනාවක් ලබා දීම පමනක් නොව, සරසවි සිසුන් සඳහා කෙටි කාලීන හා ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂා පන්ති ද පැවැත්වින. සති තුනක පමන කාලයක් තුල දැඩි පුහුණුවක් මගින් ඉංග්‍රීසි දැනුම හා කතාව දියුණු කිරීම එමගින් සිදු විය. එම වැඩ සටහන, ලලිත් ඇතුලත්මුදලි මහතා ජාතික ආරක්ෂාව පිලිබඳ ඇමති වශයෙන් සිටියදී (ඒ, රටේ වාර්ගික යුද්ධය තීව්‍ර වෙමින් ආ යුගයයි) උතුරු නැගෙනහිර සඳහා අනුයුක්ත කරන හමුදා සෙබලුන් හට එහි සේවයට යන්නට පෙර දෙමළ භාෂා දැනුම ලබා දීම පිනිස අත්හදා බැලූ සාර්ථක කෙටි කාලීන පාඨමාලාවකට අනුව නිර්මාණය වූවකි. ඔහු නිකන්ම යවන්නන් වාලේ හමුදා භටයින් යුද්ධයට නොයැව්වේය. ඔහු තම ඇමති ධූරයේ කටයුතු කලේ එලෙසිනි. මේ බව  ඔහුගේ චරිතාපදානය වූ ‘නොනිමි මෙහෙවර’ නම් පොතෙහි සඳහන් වී ඇත. ඔහුට ඇමති කමක් ලැබුන විට මුල් සති දෙක ගත කලේ එම විෂයයට අදාල, ව්‍යක්ත වූ පතපොත පරිශීලනය කිරීමෙනි. ඉන්පසු තම අමාත්‍යංශයේ කටයුතු මෙහෙයවන ආකාරය සැලසුම් කලේ තමා දරන වගකීමේ පූර්ණ දැනුම තමා වෙත රඳවා ගනිමින්ය.

නමුත් ඔහු ශිෂ්‍යත්ව ක්‍රමය ඇරඹුවේ තමන්ට අධ්‍යාපන අමාත්‍ය පදවිය ලැබීමට පෙරය. ඊට හේතු පාදක වූ කරුණක් වෙයි. පානදුර ශාන්ත ජෝන් විදුහලින්ද, කොළඹ රාජකීය විදුහලින්ද පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙනි. එහිදී ඔහු ඔක්ස්ෆර්ඩ් මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරයට පත්විය. ඇතුලත්මුදලි මේ තනතුර ලද අවධියේ ශ්‍රී ලංකාවේ අගමැතිව සිටියේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. ඇතුලත්මුදලි යනු 30 දශකයේ ශ්‍රී ලංකාවේ මන්ත්‍රණ සභාවේ නියෝජිතයෙකු වූ ඩී. එම්. ඇතුලත්මුදලි අධිනීතීඥවරයාගේ පුත්‍රයා වුවද, මේ තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා අගමැතිගේ අවධානයට ලක් වන්නේ මෙතැනදීය. ඒ අගමැති බණ්ඩාරනායකද ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ එම තනතුර දැරූ හෙයිනි. මේ වකවානුවේදී ජ්‍යෙශ්ඨ ඇතුලත්මුදලි මියගිය අතර මවට ඔහුගේ ඉගනීම සම්බන්ධ වියදම් දැරීමට අපහසු තත්වයක් ඇතිවීම මත ඔහුගේ ඉගනීම කඩාකප්පල් වන තැනට කරුණු යෙදුනි. නමුත් ඒ අවස්ථාවේදී අගමැතිවරයා විසින් පාර්ලිිමේන්තු අනුුමැතිය සහිතව මේ විශේෂ ශිෂ්‍යයා වෙත ශිෂ්‍යත්වයක් පිරිනැමීය. ඒ තුල ලැබූ පන්නරය මත ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට ලබාගත හැකි වූ ඉහලම තනතුර වන ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර මෙන්ම පුස්ථකාලයාධිපති තනතුරටද පත් වීමට ලලිත් ඇතුලත්මුදලිට හැකි විය. එවන් තනතුරු සියල්ල දැරූ එකම ශ්‍රී ලාංකිකයා ඔහුය.

මහපොල ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවීමේදී ඔහු සිහිපත් කර තිබුනේ එම කතාවය. එදා ඒ දුෂ්කර අවස්ථාවේ තමා ලද ශිෂ්‍යත්වය නිසා තම ඉගනීම සුරක්ෂිත බව දැනුන මොහොතේ, කිසියම් දිනෙක තමා උපන් රටේ විශ්ව විද්‍යාල සිසුන්ට අත්වැලක් වනු පිනිස ශිෂ්‍යත්ව ක්‍රමයක් ස්ථාපිත කරන බවට ඔහු අධිෂ්ඨාන කලේය. වසර 25 ක ට පසු ඔහු යථාවත් කලේ එම අධිෂ්ඨානයයි. එම ප්‍රතිලාභය ලබනවුන් ගැන භේදයක් නොවීය. අද වන විට විශ්ව විද්‍යාල වරම් ලබන සියලුම සිසුන්ට මහපොල ශිෂ්‍යත්වය ලැබේ.

මේ කතා තුල මට පවසන්නට අවශ්‍ය වූයේ ලලිත් ඇතුලත්මුදලි නොහොත් ‘රාජාලියා’ නිර්මාණය කල පුද්ගලයාගේ චරිතයේ තිබූ කැපවීම සහ අධිෂ්ඨානය වැනි ගුණාංගවලින් බිඳකි. අවාසනාවට ඉන්දීය අත පෙවීම් මත කඩාකප්පල් වුවද ඔහු අාරක්ෂක ඇමති වශයෙන් වඩමරච්චි සටන මෙහෙයවූ ආකාරය ගැන මතක ඇති ජනතාවක් අදත් සිටිනු නියතය.

1977 ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල ඇමතිවරයකු වූ ඔහුට 1988 දී ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත නොහැකි වූයේ පක්ෂයේ බිම් මට්ටමේ බලය ආර්. ප්‍රේමදාස අගමැතිවරයා විසින් අල්ලාගෙන තිබූ නිසාය. අාර්. ප්‍රේමදාස ජනාධිපති වීමෙන් අනතුරුව ලලිත් හෝ ගාමණී දිසානායක යන දෙදෙනාගෙන් එක් අයෙකුට අගමැති පදවිය හිමි වේ යැයි ජනතාව පවා සිතූ මුත් කිසිවෙකු නොසිතූ ලෙස ජනාධිතිවරයා විසින් අගමැති තනතුර ඩී. බී. විජේතුංගට පිරිනැමීය. ඊලඟ මාස කිහිපයේ ජනාධිපති ප්‍ර්‍රේමදාසගේ කෙනෙහිලිකම්වලට මුහුණ දීමට ලලිත්, ගාමණී ඇතුලු පිරිසට සිදුවිය. ඔවුන් පක්ෂය තුල දැරූ තනතුරු වලින් පහතට ඇද හෙලමින් තම සමීපතමයකු වූ  සිරිසේන  කුරේ පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පත් කරන්නට කටයුතු කල ජනාධිපතිවරයා ඔවුන් එතෙක් දැරූ වගකිව යුතු කැබිනට් ඇමති පදවි ඔවුන්ගෙන් ඉවත්කර එතරම් කැපී නොපෙනෙන පදවි වලට පත් කරමින් ඔවුන්ව තවත් පහත හෙලීය.

මේ අතර ආර්. ප්‍රේමදාස එල්ටීටීඊ ය සමග සිදුකල ආයුධ ගණුදෙනු, ජවිපෙ කැරැල්ල මර්ධනයේ ලා හැසිරුන පිලිිවෙල ආදිය තුල ජනතාව අතර ඔහුගේ නම කෙමෙන් අප්‍රසාදයට පත්විය.

මේ සියලු දේශපාලන ආතතීන් තුල 1991 වසරේ ඔක්තෝබරයේදී, ජනාධිපති ආර්. ප්‍ර්‍රේමදාසට විරුද්ධව බලය අවභාවිත කිරීම, නීති විරෝධී ගණුදෙනු, කැබිනට් තීරණ නොතකා හැරීම් සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් සම්බන්ධ සිද්ධීන් 24 ක් ඇතුලත් වූ  දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ලලිත්, ගාමණී ඇතුලු කිහිප දෙනෙක් කටයුතු කලහ. දොා්ෂාභියෝගය භාරදුන් වහාම පාර්ලිමේන්තුව මාසයකින් කල් දැමීමට කටයුතු කථානායක කලේ ඊලඟ සභා වාරයේදී දෝෂාභියෝගය නැවත අලුතෙන් ඉදිරිපත් කරන ලෙස ලලිත් ඇතුලු පිරිසට දන්වමින් ඒ වන විට ඉදිරිපත් කර තිබූ මෝසම ප්‍රතික්ෂේප කලේය. මේ හා ඈඳුනු විවිධ කටකතා, මන්තර ගුරුකම්, අති විශාල මුදල් ප්‍රදානයන් පිලිබඳ කටකතා සමාජය තුල රැල්ලක් සේ පැතිර ගොස් ඉන් මුලු ජන සමාජයම සසල විය. එවකට සිටි කථානායක එම්. එච්. මොහොමඩ් විසිින් එම මෝසම භාර ගැනීම ප්‍රතික්ශේප කල නමුදු මෙම සිද්ධිය මගින් ප්‍රේමදාස රජය අන්ත අපහසුතාවයටත්, ජනතාව අතර වඩාත් අප්‍රසාදයටත්  පත්විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලලිත් සහ ගාමණී තමන් දැරූ අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස් වූ අතර, ඔවුන් දෙදෙන එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලදී.

1991 නොවැම්බර් 28 වන දින ලලිත් ඇතුලත්මුදලි සහ ගාමණී දිසානායක දෙපොලගේ නායකත්වයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් නව දේශපාලන පක්ෂය බිහි වූයේය. එහි පක්ෂ ලාංඡනය වනුයේ රාජාලියා ය.

මේ සජිත්  පවසන දේශපාලන රාජාලියා ගේ උපතයි.

වහාම තම පක්ෂයේ දේශපාලන කටයුතු ඇරඹූ ඔවුුන්ගේ ඉලක්කය වූයේ 1993 පැවැත්වීමට නියමිතව තිබූ පලාත් සභා මැතිවරණයයි. මේ පක්ෂ ප්‍රචාරක කටයුතු කරත්දී පවා අවස්ථා 4 ක දී ඔවුන් මැර ප්‍රහාරවලට ලක් වූ අතර, ඊට ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් ඍජුවම සම්බන්ධ බව හෙලි විය. ඒ 1991 දෙසැම්බර් 2 දා පන්නලදී, 1992 අප්‍රේල් 23 දා මඩපාතදී, 1992 අගෝස්තු 7 වන දා කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී සහ 1992 අගෝස්තු 29 වන දා දෙහිවලදී ආදී වශයෙනි. 1993 මාර්තු මස 16 වන දා පලාත් සභා 7 ක් විසුරුවා ලූ රජය, මැයි 17 වන දින මැතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කලේය. බස්නාහිර පලාතේ මහඇමති පදවිය වෙනුවෙන්, තම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ එහි නායක ලලිත් ඇතුලත්මුදලි මහතා නාම යෝජනා භාර දුන්නේය. ඔවුන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුන අතර දිනෙන් දිනම, පවතින රජය ගැන කලකිරීමෙන් පසු වූ ජනතාව ඔවුන් වෙත ආකර්ශනය වන බව උණුසුම් වෙමින් පවතින මැතිවරණ ව්‍යාපාරය තුල ප්‍රත්‍යක්ෂ විය.

1993 අප්‍රේල් 23 වන දා ඇතුලත්මුදලි මහතා බොරැල්ල, අලුත්කඩේ සහ කිරුළපන රැස්වීම් අමතන්නට නියමිතව තිබිනි. අනිත් රැස්වීම් අමතා අවසන්කල ඔහු කිරුළපන සීබල් මාවත අසල රැස්වීම් භූමියට (අද ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනය) පැමිනියේ රාත්‍රී 8 ට පමනය. එවේලේ මඳ වැසි ගතියක්ද පැවති අතර දහසකට වැඩි ජනකායක් එතැන රැස්ව සිට ඇත. හදිසියේම 8.10 ට පමන වේදිකාව අසලට පැමිනි පුද්ගලයෙක් ඇතුලත්මුදලි මහතාට පිස්තෝලයකින් වෙඩි 3 ක් තැබීය. ඔහුගේ කායාරක්ෂකයෙකු පෙරලා වෙඩි තැබූ නමුත් අපරාධකරු ඉන් බේරී දිවගන්නට සමත් විය. වහාම රෝහලට රැගෙන ගිය මුත් රාත්‍රී 8.50 ට ඇතුලත්මුදලි මහතා ජීවිතයෙන් සමු ගත්තේය.

එතැනට පැමිනි පොලිසිය, එම භූමිය හා ඒ අවට දැඩි පරීක්ෂාවට ලක් කල නමුදු කිසිවක් සොයා ගන්නට නොහැකි විය. නමුත් පසුදා උදෑසන ක්‍රීඩාංගනයට යාබදව පිහිටි මුගලන් මාවතේ සමුපකාර වෙළඳ සලක ආලින්දයේ තිබුනු මල සිරුරක් පොලිසිය සොයා ගත්තේය. ඔහු අසල වැටී තිබුන ජාතික හැඳිනුම් පතකින් හෙලිවුනේ මොහු අප්පයියා බාලක්‍රිෂ්ණන් නොහොත් රඝුනාදන් නැමති අයෙකු බවය. ඔහුගේ සිරුරේ පසුපස පහල කොටසේ වෙඩි පහරකින් ලද මාරාන්තික නොවූ තුවාලයක් වූ අතර, මුවේ සයනයිඩ් කැප්සියුලයක වීදුරු කැබලි තිබිනි. මරණ පරීක්ෂණයේ නිගමනය වූයේ සයනයිඩ් ශරීර ගතවීම මරණයට හේතුව බවයි. තමා මෙයට සම්බන්ධ නැතැයි පුන පුනා පැවසූ ජනාධිපති ප්‍රේමදාස අප්‍රේල් 26 වන දා පරීක්ෂණ සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුද දිවයිනට ගෙන්වීය. අවසන සියලු දෙනා එක්ව මේ මිනීමැරුම එල්ටීටීඊ ය ට බැර කලහ.

එහෙත් බහුතර ජනතාව හෝ ඇතුලත්මුදලි පවුලේ අය මේ තීන්දුව පිලි නොගත් අතර ඔවුන්ගේ චෝදනාත්මක ඇඟිල්ල දිගු වුනේ ජනාධිපති ප්‍රමුඛ රජයටයි. අප්‍රේල් 28 වන දා පැවති අවමඟුල් උත්සවයේදී බොරැල්ල කනත්තට එක් රොක් වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට රජය මගින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. එදා එම කඳුලු ගෑස් ප්‍රහාරයෙන් ඇතුලත්මුදලි මහත්මිය සහ දියණිය ද පීඩා විඳි අතර කොළඹ ප්‍රදේශයට ඇඳිරි නීතියද පනවන්නට තරම් රජය දීන තත්වයට ඇද වැටුනේය.

ඒ ඝාතනයත් සමගම ප්‍රඑජා පෙරමුණේ ඡන්ද ව්‍යාපාරය අඩාලව ගිය අතර සන්ධානයේ චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පලාත් මහ ඇමතිනිය ලෙස තේරී පත් වූවාය.

ලලිත්ගේ අභාවයෙන් පසු පක්ෂ නායකත්වය භාර ගත්තේ ගාමණී දිසානායක විසිනි. ඒ අනුව මධ්‍යම පලාත් සභාවට තේරී පත්වුනු ඔහු ටික කලක් පලාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කලේය. ජනාධිපති ප්‍රේමදාසගේ ඝාතනයෙන් මාස කිහිපයකට පසු යලි එජාපයට එකතු වුන ඔහුට ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම ලැබුනි. ඉතා පහසුවෙන් රනිල් වික්‍රමසිංහ අබිභවා විපක්ෂ නායක ධූරයට පැනගත් ඔහුගේ ඊලඟ අපේක්ෂාව වූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමය. මේ සිද්ධි දාමය තුල රාජාලියාට නායකත්වය දෙන්නේ කවුද යන ගැටලුව මතු වූයේය. ඒ අනුව පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත පක්ෂයේ නායකත්වය භාරගත් ලලිත්ගේ බිරිඳ ශ්‍රීමනී ඇතුලත්මුදලි 1994 මැයි මස පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් වූයේ මනාප ඡන්ද 150,000 ක ට වඩා දිනා ගනිමිනි. ශ්‍රීලනිප ය සමග සන්ධාන ගත වූ ඇයට අමාත්‍ය තනතුරක්ද ලැබින.

1994 ජනාධිපති පදවියට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ එක් මැතිවරණ පොරොන්දුවක් වූයේ ඇතුලත්මුදලි ඝාතනය පිලිබඳ විධිමත් පරීක්ෂණයක් ඇරඹීමය. මේ අනුව 1995 දී ඈ විසින් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කරන ලදී. නීතීඥ තිස්ස බණ්ඩාරනායක, නීතීඥ පද්මසිරි ගුණසේකර සහ මහාධිකරණ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග යන පිරිස ඊට ඇතුලත් වූහ. එහිදී මුලින් කල පරීක්ෂණයේ නිගමනය කර තිබූ කරුණුවල අන්තර්ගත වූ පරස්පරයන් බොහොමයක් හෙලිවිය. ප්‍රධානවම සිය දිවි හානි කරගත්තා යැයි කියූ, මිනීමැරුම කල බවට සැලකූ පුද්ගලයා එල්ටීටීඊ ය ට කිසිසේත් සම්බන්ධයක් නැති, පිටරටකට යාමේ අදහසින් පැමින කොළඹ නැවතී සිටි අහිංසක ද්‍රවිඪ තරුණයෙකු බවත්, ඔහුව කිසියම් පිරිසක් විසින් පැහැරගත් බවත්, ඔහුගේ සිරුරේ වූ තුවාලය සිරුර ආසන්නයේම පසුපස සිට තැබූ වෙඩි පහරකින් සිදු වූවක් බවද ප්‍රත්‍යක්ෂ විනි. එවක ප්‍රදේශය භාරව සිටි ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරී රුක්මන් ද සිල්වා විසින් විරුද්ධ පක්ෂ රැස්වීම්වලට පොලිස් ආරක්ෂාව නොදෙන ලෙස තම පහල නිළධාරීන්ට දන්වා තිබූ බවත්, පොලිසිය මගින් සිද්ධිය වූ පසු ප්‍රදේශය පුරාම සැක කටයුතු පුද්ගලයා සෙවූ බව කීවද පසුදින සොයාගත් මලසිරුර තිබී ඇත්තේ වේදිකාවේ සිට මීටර 200 ක් තරම් ආසන්නව වීමත් සැක සහිත විය. මියගිය තරුණයාගේ මුවෙහි තිබුනු වීදුරු කැබලිවල ස්වරූපය අනුව එය ඔහු විසින් හැපුවාට වඩා කිසිවකු බලය යොදා මුව තුල පොඩිකල බවක් පෙනෙන බව කොමිසමේ නිගමනය විනි. මෙම පුද්ගල පැහැරගැනීමට සහ මිනීමැරුම් දෙකටම සම්බන්ධ බවට හෙලිවූ සොත්ති උපාලි ඇතුලු පාතාල නායකයින් පිලිබඳ තොරතුරු මෙන්ම ඔවුන්ට බොරැල්ල පොලිසියෙන් ආරක්ෂාව සැපයූ අයුරුද කොමිසම මගින් හෙලි කරගත් කරුණු වලට අයත් විය. මාස 3 ක් තුල මෙම කොමිසමේ වාර්තාව භාරදිය යුතු වූ නමුදු ඊට වසර 2 ක් ගත වූයේය.

ඒ අතර සන්ධානය තුල ඇති වූ මත ගැටුම් මත ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රීමනී ඇතුලත්මුදලිට අමාත්‍ය තනතුර අහිමි කල අතර ඊලඟ මැතිවරණය තෙක් පසු පෙල මන්ත්‍රීවරියක ලෙස කටයුතු කල ඇය දේශපාලනයෙන් සමු ගත්තාය. 2004 වසරේදී කෙටි කාලීන රෝග තත්වයකින් පසු ඇතුලත්මුදලි මහත්මියද අභාවප්‍රාප්ත වූවාය.

ඒ රාජාලියාගේ අවසානයයි.

ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිලිබඳ සෙවූ ත්‍රිපුද්ගල කොමිසමේ වාර්තාවේ අවසන් ඡේදයේ,මේ එම අපරාධය සැලසුම් කිරීම පිලිබඳ වගකීම ඍජුවම පවරා තිබුනේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසටය. මන්ද අපරාධයට පසුබිම සැකසීමේ සිට එතැන තිබූ සාක්ෂි විකෘති කර පරීක්ෂණ නොමග යවා ඇති බව පැහැදිලිිව පෙනුනි.

රාජාලියා විනාශ කිරීමට නම් පහර දිය යුත්තේ කොතැනටද යන්න, ප්‍රහාරය සැලසුම් කලවුන් පැහැදිලිව දැන සිටි බව මේ ඝාතනයෙන් නොඅනුමානවම ඔප්පු විය.

මේ සියලු මතකයන්ට පසු යලිත් අප එදා ඔක්තෝබර් 8 දා සජිත් ප්‍රේමදාස කල ප්‍රකාශය දෙස හැරී බැලුවොත්? ඔහුගේ මේ ප්‍රකාශය තුල පැහැදිලිවම තර්ජනයක් ගැබ් වෙයි. මන්ද ඒ සිදුවීම් වෙත්දී 25 වන වියේ පසුවූ  ඔහු මේ දේවල් පවසන්නේ කතාවේ මුල අග හොඳ හැටි දැනගෙනය. තාත්තා කල දේ පුතා නොකලොත් ඒ නොට්ටිගෙ පුතා යයි කියමනක් අප සමාජයේ පවතී. ඉතින් අද මේ සජිත් ඔප්පු කරන්නට හදන්නේ තමා තාත්තාගේම පුතා කියාද? අලුත් පක්ෂයක් පිහිටුවනවා නම් එදා රාජාලියා කනත්තට යැවූ පරිදි කවුරු කවුරුන් කනත්තට යවන්නට මොවුන් සිතා සිටිනවාද? ඇතුලත්මුදලි ඝාතනය රඝුනාදන් පිට, එනම් ‘එල්ටීටීඊ’ ය පිට දමන විට ඊට හේතුව වශයෙන් ඉදිරිපත් කර තිබුනේ වඩමාරච්චි සටනේ වූ සාර්ථක බවයි. එසේ බලන කල  මෙවර නම් හේතුවක් සොයා ගැනීමට තවත් පහසු යැයි ඔවුන් සිතුවාවත්ද? මේ දේශපාලන අලු යට රැදී ඇති ගිනි පුපුරු ගැන දන්නේ දෙවියන්ම පමනි.

අදාල අවශ්‍යතා සපුරනවා නම් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට, ඕනෑම අයෙකුට පිලිවන. දැනටමත් ලියාපදිංචි පක්ෂ 60 ක ට වඩා ඇති ශ්‍රී ලංකාවේ තවත් එක පක්ෂයක් බිහි වනවාට දක්වන මේ බිය තුලම ගත යුතු කතාවක් තිබේ. එදා ඔහුගේ පියා ප්‍රඑජා පෙරමුණ බිහිවීම පිලිබඳව දැක් වූ බියත්, ඊට හේතු පාදක වූ කරුණුත්, එම බියේ ප්‍රතිඵලයත්, අද සජිත් පවසන කතාව තුලද රැඳී ඇති බව පැහැදිලිය.

ඇතුලත්මුදලි ඝාතනයට ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපති වගකිව යුතු බවට නිගමනය කල ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම පත්කල, එවකට සිටි ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංගට අද ඒවා අමතක වී සජිත්ලා සමග එකම වේදිකා මස්තකයේ සංදර්ශන පැවැත්වූව ද පැත්තක සිට මේ ලැජ්ජා නැති දේශපාලන නාටක දෙස ඇස් කන් ඇරගෙන බලා සිටින, මේවා මතකයෙන් නොමැකුන ජනතාවකුත් ශ්‍රී ලංකාවේ සිටිති. ඒ පක්ෂ පාට කුමක් වුවත්, තමන්ගේ මල්ල පුරවා ගැනීමේ කෑදර කමින් තොරවූ, රටක අනාගතය ගැන වගකීම භාරදිය හැකි බුද්ධිමත් මිනිසුන් විනාශ කිරීම ඔවුන් නොඉවසන හෙයිනිි.

එබැවින් මෙවන් කතා සිහි බුද්ධියෙන් අසා ගැනීම ජනතාව සතු වගකීමයි.

One Response to “දේශපාලන කුහකත්වය තුල බිහිවන නව පක්ෂ”

  1. Christie Says:

    තේජා ඔබට තුති. සින්හලය ඉන්දියානු අදිරදයේ යටත් විජිතයක් බව දැනසිටි කෙනෙකි ඇතුලත් මුදලි. වදමාරච්චි සටනට පෙර ඔහු ලොවපුරා ගොස් ලොව දැනුවත්කලේය. එම ගමනකදී බටහිර රටක ජීවත්වූ මම ඔහුට උපකාර කෙලෙමි. ඔහුව ඉන්දියානු අදිරදයට මරාදමීමට ඕනෑකල පුද්ගලයෙකි. පේමදාසත් ඇතුලත් මුදලිත් මරාදැමුවේ ඉන්දියානු ජඩයන්ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress