මෙන්න අසමසම මෙගා ඞීල්.. පාච රණවකගේ සුත‍්‍රයෙන් පාච රණවකම සාධනය කර පෙන්වයි..
Posted on October 18th, 2016

අරවින්ද අතුකෝරල ලංකා සී නිවුස්

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

විගණන පනත අතුරුදහන්

සිරිසේන ආණ්ඩුවේ පළමු දින සීය තුල ඉටු කරනවා කියූ එක පොරොන්දුවක් තමයි ජාතික විගණන කොමිසමක් පිහිටුවීම. දින සීය නොවේ දින පන් සීයක් ගත වෙලාත් තවම ජාතික විගණන කොමිසම අක්‍රියයි. 2015 දෙසැම්බර් මාසයේ ජාතික විගණන කොමිසමට සාමාජිකයින් පත් කළා. ඊට පස්සේ දැන් විගණන කොමිසම සක්‍රියයි කියලා පත්තර වල පිටු ගණනින් දැන්වීම් පල කළා. නමුත් ඇත්ත කතාව මීට වෙනස්.

විගණන කොමිසම පත් කරලා කාර්ය මණ්ඩල පත් කරලා පඩි ගෙවමින් තබා ගෙන සිටියත් ඒ අයට තම රාජකාරිය කිරීමට බලය ලබා දෙන ජාතික විගණන පනත තවම සම්මත කරලා නෑ. ඒ නිසා ස්වාධීන විගණන ක්‍රියාවලිය අඩපණ වෙලා තිබෙනවා.

2016 මාර්තු 24 නීතිපති තම නීරීක්ෂණ අගමැතිට ලබා දුන්නා. විගණන පනත් කෙටුම්පත අධ්‍යනය කරන්න 2016.04.26 දින කැබිනට් අනු කමිටුවක් පත් කළා. සරත් අමුණුගම, රාවුෆ් හකීම්, අනුර යාපා සහ රවි කරුණානායක යන ඇමතිවරු ඒ කමිටුවේ සාමාජිකයින්. ඒ කමිටුව සිය නිරීක්ෂණ බොහොම ඉක්මනින් භාර දුන් බවයි අපට ආරංචි. ඊට පස්සේ ඒ ගැන අධ්‍යනය කිරීමට පසුගිය මැයි මාසයේ දී අගමැති උපදේශක චරිත රත්වත්තේ මහතාට යැව්වා කියලා තමයි අපට ආරංචි. විගණන නිලධාරින් කියන විධියට පනත් කෙටුම්පත අවසන් වරට දැක ඇත්තේ චරිත රත්වත්තේ මහතා අතේ. ඉන් පස්සේ අතුරුදහන්.

මෙන්න අසමසම මෙගා ඞීල්.. පාච රණවකගේ සුත‍්‍රයෙන් පාච රණවකම සාධනය කර පෙන්වයි..

විගණන පනත ක්‍රියාත්මක වුණොත් විගණන කොමිසම වගේම විගණන නිලධාරින්ටත් දඩ බල්ලන් වගේ දූෂිතයින් පසුපස හඹා යන්න පුළුවන්. ආණ්ඩුව කරන දූෂණ අපි දන්නේ නැති වුණාට ආණ්ඩුව දන්නවා. තමන්ගේ දූෂණ හෙලි වේවි කියන බයටයි විගණන පනත යට ගහන්නේ.

අද රටම කතා කරන මහ බැංකු බැඳුම්කර වංචාව ඇත්තටම සිදු වුණා කියලා නිල වශයෙන් කිව්වේ විගණකාධිපති. නමුත් තවම නිසි ක්‍රියා මාර්ගයක් අරගෙන නෑ. හැමෝම බලාපොරොත්තු තබා ගෙන ඉන්නේ කෝප් කමිටු විමර්ශනය දෙස. නමුත් කෝප් කමිටුවට කරන්න පුළුවන් දෙයක් නෑ. කෝප් කමිටුවට බුරන්න පුළුවන් වුණත් හපන්න බෑ. ඒ අයට කාටවත් දඬුවම් නියම කරන්න බෑ. නිර්දේශ විතරයි ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් විගණන පනත ක්‍රියාත්මක නම් ආණ්ඩුවේ නිලධාරින්ගෙන් සිදුවුණු අලාභය අය කරන්න පුළුවන්. එහෙම නම් බැඳුම්කර වංචාවෙන් බෑනාට ලැබුණු රුපියල් බිලියන 10ක අයුතු ලාභය මාමාගෙන් අය කර ගන්න තිබුණා.

අවාසනාවට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට වැට් බද්දට ෆෙඩරල් ව්‍යවස්ථාවට තිබෙන උනන්දුව විගණන පනතට නෑ. ඒ නිසා වහාම හොරු අල්ලන විගණන පනත වහාම ගෙන එන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

ජනපතිගේ ප්‍රකාශය හා එන්ජීඕ කුලප්පුව

ජනාධිපතිතුමා අල්ලස් කොමිසම සහ පොලීසිය දේශපාලන බලපෑම් අනුව කටයුතු කරන බවට කරපු ප්‍රකාශයට රාජ්‍ය නොවන සංවිධාන බරපතල විධියට කුලප්පු වෙලා ස්වාධීන කොමිෂන් සභා වලට බලපෑම් කරන්න ජනාධිපතිට බලයක් නෑ කියලා ප්‍රකාශ කලා. ඒ අය පෙන්නුවේ තමන් මැදිහත් වෙලා ගෙනාපු 19 වන සංශෝධනය පිලිබඳ තමන්ට අවබෝධයක් නෑ කියලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1)(අ) වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි ලෙස ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමත් (ආ) වගන්තිය අනුව ස්වාධීන කොමිෂන් සභාවන්හි නිසි ක්‍රියාකාරිත්වය පහසු කරලීමත් ජනාධිපතිගේ වගකීම්. එහෙම නම් ස්වාධීන කොමිෂන් සභා වන්හි නිසි ක්‍රියාකාරිත්වයට බාධා කරන දේශපාලන බලපෑම් එල්ල වෙනවා නම් ඒ නිසා කොමිෂන් සභා වල ස්වාධීනත්වය නැති වී තිබෙනවා නම් ඒ පිලිබඳ කටයුතු කිරීම ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් පැවරුණු වගකීමක්. එන්ජිඕ නායකයින් ඒක විවේචනය කිරීමෙන් සිදු කලේ ව්‍යවස්ථාව පිලිබඳ තම නොදන්නා කම ප්‍රදර්ශනය කිරීම විතරයි.

ඇත්තටම එන්ජීඕ කරන්න ඕනෑ මොකද්ද? ස්වාධීන කොමිෂන් වල ස්වාධීනත්වය විනාශ කරමින් දේශපාලන බලපෑම් කරන්නේ කවුද කියලා රටට හෙලි කරන්න කියලා ජනාධිපතිට බලපෑම් කිරීමයි. නමුත් ඒ කවුරුත් ඒක කරන්නේ නෑ. තමන්ව නඩත්තු කරන ආණ්ඩුවේ නායකයෝ ඒ අතර ඉඳීවි කියලා මේ අය බයයි. ඒ වෙනුවට තමන්ට ව්‍යවස්ථාවෙන් පැවරුණු වගකීම ඉටු කරපු ජනාධිපති විවේචනය කරන එක වැරදියි.

ජනාධිපතිගේ ප්‍රකාශය හරහා තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට නම් ජනාධිපති තමයි රාජ්‍යයේ නායකයා. ආණ්ඩුවේ නායකයා. විධායකයේ ප්‍රධානියා. ඇමති මණ්ඩලයේ ප්‍රධානියා. ජනතාව රට පාලනය කිරීමේ ජන වරමක් දුන්නෙත් ජනාධිපතිට මිස වෙන කාටවත් නොවේ. එහෙව් ජනාධිපති කියනවා ආණ්ඩුවේ සිදු වන දේ එතුමා දන්නේ නැතිලු. එතුමා දැන ගන්නෙත් පත්තරෙන්ලු. ඒ කියන්නේ දැන් රට පාලනය කරන්නේ ජනතාව රට භාර දුන් කෙනා නොවෙයි වෙන කෙනෙක්. ඔන්න ඔය නිසා තමයි අපි කියන්නේ අද මේ රටේ තිබෙන්නේ ඇමෙරිකානු ඉන්දියානු රූකඩ ආණ්ඩුවක්.

දැන් අධිවේගය හදන්නේ ප්ලැටිනම් වලින් ද?

ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් තමයි මෙගා ඩීල්. ඒ කාලයේ මෙගා ඩීල් ගැන මෙගා බොරු කියලා දැන් මෙගාපොලිස් භාරව ඉන්න පා ච රණවක ඇමතිතුමා කිව්වේ අධිවේගි මාර්ග පිරිවැයෙන් 90%ක්ම කොමිස් කියලා. එතුමාගේ ලොකුම පච වැල වන මෛත්‍රි පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ විසි වන පිටුවේ ඒ ගැන සඳහන් වන්නේ මෙහෙමයි. රටේ සිදු වුණු මෙගා දූෂණය නවතාලීම මගින් පමණක් පසුගිය වසර හය තිස්සේ සිදු වූ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීමට කටයුතු කරන්නෙමි. කතාව හරිනෙ. පිරිවැයෙන් 10%ට ව්‍යාපෘතියක් කරන්න පුළුවන් නම් දස ගුණයක සංවර්ධනය කරන්න මුදල් තිබෙනවානෙ. ඒත් දැන් මොකද වෙලා තිබෙන්නේ ?

අපේ ආණ්ඩුව මධ්‍යම අධිවේගි මාර්ගය හදන්න භාර දුන්නු චීන සමාගමටමයි වත්මන් ආණ්ඩුවත් භාර දීලා තිබෙන්නේ. රාජපක්ෂ ආණ්ඩුව සමග ඒ සමාගම කඩවත – මීරිගම කොටස සැකසීමට ගිවිසුම අත්සන් කලේ රුපියල් බිලියන 146කට. මෙගාඩීල් චක්‍රවර්ති පා ච රණවක ඇමතිතුමා කියූ විධියට සිරිසේන ආණ්ඩුව මේ ගණනෙන් 10%කට ඒ කියන්නේ රුපියල් බිලියන 14.6කට පාර හදන්න ඕනෑ. නමුත් ආණ්ඩුව විසින් සමාගම සමග ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ රුපියල් බිලියන 158කට. ඒ කියන්නේ බිලියන 12ක් වැඩිපුර. මොකක්ද මේකෙන් එන්න පුළුවන් නිගමනය. එකක් තමයි රාජපක්ෂ ආන්ඩුවේ මෙගා ඩීල් ගැන කියා ඇත්තේ මෙගා බොරුය. එසේ නැත්නම් අනික් නිගමනය තමයි මහින්ද රාජපක්ෂ යුගයේ 90% කොමිස්නම් මේ ආණ්ඩුවේ 95%ම කොමිස්ය. ඒ දෙකෙන් කුමක්ද හරි කියා පැහැදිලි කිරීම මේ ආණ්ඩුවේ වගකීමක්. ඒ කොහොම උනත් මේ ආණ්ඩුව එදා කී මෙගා ඩීල් ගැන දැන් වැරදිලිවත් කතාකරන් නෑ. ගරු පා.ච . රණවක ඇමතිතුමන්නම් වැරදිලාවත් රූපවාහිනී විවාදයකටවත් එන් නෑ එතුමන්ගෙන් මේ ටික අහන්න. ඒ වගේම එතුමා තව පොරොන්දු උනා ඉන්ධන මත සියළුම බදු ඉවත් කරණ බවට. නමුත් ඉන්ධනවල කිසිම බද්දක් ඉවත් කරල නෑ.

මෙගා බොරු විශ්වාස කරපු රාජ්‍ය නොවන සංවිධාන රාජපක්ෂ ආණ්ඩුව අත්සන් කර තිබුණු ගිවිසුම අවලංගු කරන්න බල කළා. ආණ්ඩුවත් ඒ ගිවිසුම අවලංගු කළා. ඒ ගිවිසුම අවලංගු නොකලා නම් එක පැත්තකින් ආණ්ඩුවට බිලියන 12ක් ඉතුරු වෙනවා. අනිත් පැත්තෙන් මේ වන විට අධිවේගි මාර්ගයේ ඒ කොටස විවෘත කරන්නත් තිබුණා.

අපේ ආණ්ඩුවක් බලයට පැමිණියාම මේ ගිවිසුම අවලංගු කරලා රටට බිලියන 12ක් පාඩු කළ දේශපාලකයින් එන්ජීඕකාරයින් ඇතුළු සියළුදෙනාට දඬුවම් කරලා ඒ මුදල යලි අය කර දෙනවා කියන ප්‍රතිඥාව ජාතියට ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress