යහපාලනය නමින් ජනතාවට පුන්නක්කු කැවීම
Posted on November 4th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

ඔක්තෝබර් මස 28 වනදා කෝප් කමිටු වාර්තාවත් එලි දුටුවේය. පාර්ලිමේන්තුව පමනක් නොව මුලු රටම කඩිගුලක් සේ අැවිස්සින. බහුතරයකගේ අදහස වූයේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවය. කෝප් කමිටු වාර්තාව මගින් හෙලිදරව් වූ මහ බැංකු බැඳුම්කර වංචාවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඍජුවම සම්බන්ධ බවත්, ඔහුට බැඳුම්කර නිකුත් කිරීම සඳහා වෙන්දේසි ක්‍රමය යොදා ගැනීමට උපදෙස් දී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ බැවින් මේ පිලිබඳ වගකීම අග්‍රාමාත්‍යවරයාද සමව භාර ගත යුතු බවත් බොහෝ දෙනාගේ අදහස විය. ඔක්. 28 වනදා මේ කතාව පාර්ලිමේන්තුවේ කියැවෙත්දී ඒකාබද්ධ විපක්ෂයේ බාධා කිරීම් මැද අගමැතිවරයා පැවසූ වචන වලින් කිහිපයකි මේ.

”ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ යහපාලන ආණ්ඩුවකට පුලුවන් වුනා මේ කටයුත්ත කරන්න” (මොන කටයුත්තද? බැඳුම්කර වංචාවද? හෙලිදරව්වද? දෙකමද?)

“පාර්ලිමේන්තුව ජය ගත්ත. ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන” (කවුද?)

මෙසේ පැවසූ ඔහු ”අපි හොරුනුත් යහපාලනයට හැරෙව්වා” යි දෙවරක් පැවසීය.

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පැවසුවේ මහින්ද රාජපක්ෂ රජය සමයේ කෝප් කමිටු වාර්තා 30 ක් කුණු බක්කියට විසිකල බවයි. කෝප් කමිටුව ආරම්භ වූයේ 1979 දී බැවින් 2005 ටත් පෙර කමිටු වාර්තා කීයක් කුණු බක්කියට ගොස් ඇතිදැයි අපි හරියටම නොදනිමු.

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමත්, ඒ හා බැඳුනු මූල්‍යමය කරුණුත් සම්බන්ධ න්‍යායික කොටස ආර්ථික විද්‍යා විෂයයට අයත් දෙයකි. මේ සිද්ධිය සිදුවී වසර 1 1/2 ක ට පසුව හෝ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් ඉතා සරළ භාෂාවකින් මේ න්‍යායයන් පිලිබඳ පැහැදිලි කරන කතාවක් රැගත් වීඩියෝවක් මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ සංසරණය වෙයි. එබැවින් මීට සම්බන්ධ පරිබාහිර කරුණු ගැන සොයා බැලීමද වැදගත්ය.

තම රජය විසින් සිදු කරන ඕනෑම දෙයක ප්‍රතිඵල නරක් වූ විට ඒ පිලිබඳ වගකීම පසුගිය රජයට පවරන පුරුද්ද නම්, මේ රජයේ වගකිව යුත්තන් වෙත තවමත් නොඅඩුවම තිබේ. මහින්ද රාජපක්ෂ රජය විසින් කෝප් කමිටු වාර්තා 30 ක් කුණුු බක්කියට විසි කල බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ එහෙයිනි. ”අපි හොරුනුත් යහපාලනයට හැරෙව්වා” යි අගමැතිවරයා පුන පුනා පවසන්නේ එහෙයිනි. අපට අසන්නට ඇති ප්‍රශ්නය නම් අද මේ එක කමිටු වාර්තාවකට එරෙහිව මේ තරම් විශාල ජන මතයක් ගොඩනැගෙන පරිදි වැඩ කරන්නට රජයට එරෙහි විවිධ සමාජ කොටස් වලට හා මාධ්‍යවලට හැකි නම්, වසර 10 ක් තිස්සේ වාර්තා 30 ක් කුණු බක්කියට  විසි කරන තුරු මොවුන්  සිටියේ කොහේද? එය ඔවුන්ගේ උදාසීන බව හෝ දුර්වල බවය. එදා මාධ්‍ය නිදහස නොතිබූ බව ඔවුන් කියනු ඇත. නමුත් අද ද ඔය කියන තරම් මාධ්‍ය නිදහසක් තිබේද? මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලින් ඔවුන්ට පැනවී ඇති සීමාවන් පැහැදිලිව පෙනේ. රාජිත සේනාරත්න වැනි ඇමතිවරුන් මාධ්‍යවේදීන්ට කතා කරන කර්කෂ  ස්වභාවය, අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විසින් මාධ්‍යයට එල්ල කරන අපහාස උපහාස හා තර්ජන තුල මේ මාධ්‍ය  නිදහසේ සැබෑ නිරුවත දෘශ්‍යමාන වේ.

කෝප් කමිටු වාර්තාවෙන්  හෙලි වූ කරුණු පිලිබඳව, සන්ධානයෙන් රජයට එක්ව සිටින ඇමතිවරුන් මුලින් මුලින් සිංහයන් සේ ගර්ජනා කලෝය. ඒත් දැන් දිනෙන් දින ගෙවී යත්ම ඒ හඬවල් හෙමින් වියැකී ගොසිනි. ”මේක ඔය තරම් ලොකුවට කෑ ගහන්නට දෙයක් නොවේ” යැ යි අගමැතිවරයා කිසිදු ලැජ්ජාවක් නැතිව පවසන විට ඔහු විසින් ‘යහපාලනයට හැරවූ හොරු’  ද ටිකෙන් ටික  නිහඬ වෙති. මේ නිහඬතාවය තුල, අගමැතිවරයාගේ නිර්ලජ්ජිත වදන්ද, උපහාසය මුසු යෙදුම්ද ඉවසා සිටීම තුල මේ සන්ධාන ඇමතිවරු ඔප්පු කරන්නට යන්නේ අගමැති සාධාරණයි කියාද?

කෝප් කමිටු වාර්තාව නිකුත්ව ගෙවී ගිය මුල් දින 2,3 තුල මාධ්‍යයට අදහස් පලකල ඇමතිවරු කිහිප දෙනෙක් පැවසුවේ අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති ධූරයට  පත් නොකරන ලෙස  තමන් අගමැතිවරයාට කොතෙකුත් කියූ බවයි. ඔහු ඊට කන් දී නොමැත. බලාගෙන යන විට අගමැතිවරයා කටයුතු කර ඇත්තේද හිතුමතේය. මහින්ද රාජපක්ෂට පමනක්  ඇඟිල්ල දිගු කලත් මේ ක්‍රමය තුල තිබෙන්නේද ඒකාධිපතිවාදයමය. රනිල් වික්‍රමසිංහ අඩු තරමින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේනට වත් මායිම් නොකරයි. ඔහු එවැන්නෙකු බව 2002 දී ත් ඔප්පු කලේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සම්පූර්ණයෙන්ම කපා හැර එල්ටීටීඊ සංවිධානය සමග ඊනියා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙනි.

අර්ජුන් මහේන්ද්‍රන් නැමති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයා මහ බැංකු අධිපති තනතුරට රැගෙන ආවේ රනිල් වික්‍රමසිංහය. අද කතාබහට ලක්ව තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් මහේන්ද්‍රන්ගේ දියණිය වන අංජලී මහේන්ද්‍රන් හා 2012 දී විවාහ වූ අර්ජුන ඇලෝෂියස්ගේය. 2014 දෙසැම්බර් 30 දක්වා මෙවන් ගණුදෙනු සඳහා ඔහු ඉදිරිපත් කල උපරිම ලංසුව රු. මිලියන 250 ක් විය. නමුත් 2015 දී එය රු. මිලියන 300 – 3000 දක්වා ඉහල ගොස් ඇත. රු. මිලියන 27 – 150 දක්වා  පරාසයක වූ ඔහු ලබාගත් ලංසුද රු. මිලියන 50 -3000 දක්වා වැඩිවී තිබේ. එබැවින් මේ අසාමාන්‍ය මිල වැඩිවීම් තුල බැඳුම්කර නිකුතු සම්බන්ධ යම් අවභාවිතයක් සිදුවීද යන සැකය එම සමාගමේ නවතම මූල්‍ය වාර්තාවලින්ම හෙලිවූ බව මේ ප්‍ර්‍රශ්නය ඇරඹුමේදීම ඇතිව තිබිනි. නමුත් 2015 ජනවාරි 26 දින පත් වූ මහ බැංකු අධිපතිවරයා මේ සම්බන්ධව නැගෙන චෝදනා ප්‍රතික්ශේප කල අතර, 2016 ජුනි 30 දා යින් අවසන් වන ඔහුගේ නිල කාලය දිගු කරලීම සඳහා ඔහු හා පෙල ගැසුනේ අගමැති රනිල් වික්‍රමසිංහය. ඔහුු ITN නාලිකාවේ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයාගේ නිර්දෝශී භාවය කියා පෑවේය. එදා ඔහු පැවසුුවේ යමෙකුට චෝදනා කරන්නට ඕනෑම අයෙකුට හැකි වුනත් එම චෝදනා ඔප්පු වන තුරු  ඒ අය වරදකරුවකු කරන්නට කිසිවෙකුට නොහැකි බවයි.  නමුත් මේ න්‍යාය හිටපු ජනාධිපතිවරයාටද අදාල වන බව අමතක කල අග්‍රාමාත්‍යවරයා ඔහු සම්බන්ධව කතා කරන විට පාර්ලිමේන්තුවේදීද, ප්‍රසිද්ධ වේදිකාවේදීද ‘හොරා’ ‘හොරා කෑවා’ වැනි වචන වලින් ඔහුව හෙලා දැකීමට නොපැකිලුනේය. වෙන එකක් තබා ජයග්‍රහණය කර ඇස් පනා පිට නිදහස ලබා දුන් බෙදුම්වාදී යුද්ධය ගැන පවා ‘දුටුගැමුණු’ චරිතයක් ගැන සෝපාහාසීව කියමින් ඉතිහාසයේ ලියැවුනු ශ්‍රේෂ්ඨ රජ කෙනෙකුගේ මෙහෙවර අවතක්සේරුවට ලක් කලේය.

මා දන්නා පරිදි අප රටේ ඉහල තනතුරක සේවය සඳහා විදේශිකයෙකු පත් කරන විට ඔහුට ගෙවන දීමනා ඔහුට ඉල්ලා සිටිය හැක. එමෙන්ම අදාල තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරූ ශ්‍රී ලාංකික පුරවැසියෙකු රටේ නොසිටිය යුතුය. එසේ නැතිව ‘අපි මේ ගණන ගෙවනවා’ කී පලියට මේ වාණජකරනය වූ ලෝකයේ වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයෙකු එම තනතුර භාර ගනීවි යයි සිතිය නොහැක. ඒ අනුව මේ මහබැංකු බැඳුම්කර සිද්ධියේදී සිදු  වූ  පාඩුවට අමතරව මාස 17 ක් තිස්සේ අර්ජුන් මහේන්ද්‍රන් නම් විදේශීය ආර්ථික විශේෂඥයාට ගෙවූ පඩි නඩි හා වෙනත් දීමනා තීරණය වන්නට ඇත්තේ මේ පදනම යටතේය. ඒකාබද්ධ විපක්ෂය විසින් 2016 ජුනි මස 03 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව හෙලිකරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්ජුන් මහේන්ද්‍රන්ට නිකුත්කර තිබූ බැර පතක (Credit Card) වාර්තාවකට අනුව 2015 වසරේදී ඔහුගේ ආහාර (රු. මිලියන 3.6), හෝටල් ගාස්තු (රු. මිලියන 4.7), සංග්‍රහ (රු. මිලියන 1.7), චාරිකාවන් (රු.650,000), විදේශයන්හිදී මිලට ගත් ඇඳුම් (රු. මිලියන 2.1) ක් ද වශයෙන් වැය කල මුදල් සටහන් වන බවට වන ලිඛිත සාක්ෂි සහිතව ඔවුහු ඉදිරිපත් කලහ. මේ අවස්ථාවේදී කලබල වූ රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, මේ රහස්‍ය තොරතුරු පිටතට දුන් පුද්ගලයන් පිලිබඳව පරීක්ෂණයක් අරඹන බව කියා සිටියේය. කෙසේ වුවද දේශපාලකයෙකු හැර කෙතරම් ඉහල තනතුරක් දැරුවත් අප රටේ සාමාන්‍ය පුරවැසියෙකු නඩත්තු කිරීම සඳහා මෙවන් වියදමක් යාවිද කියා අප සිතා බැලිය යුතුය.

2016 ජුලි මස 02 වන දා හිටපු මහ බැංකු අධිපතිවරයා නැවත පත්කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා තුල වූ උනන්දුව හා අවශ්‍යතාව සාධාරණීකරනය කරමින් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල කට ඇරියේය. කෝප් කමිටුවේ සොයා ගැනීම් තුල සඳහන් වන විගණකාධිපතිගේ වාර්තාව ඔහුගේ ”මතයක්” පමනක් බවත්, අර්ජුන මහේන්ද්‍රන් යනු වරදකරුවකු නොවන බවත් පැවසූ ඔහු අර්ජුන් මහේන්ද්‍රන් යනු ඔක්ස්ෆර්ඩ් සහ හාවඩ් සරසවිවල ඉගෙන ගත් අයෙකු බැවින්ද, ඔහුගේ අති සාර්ථක විදේශ සේවා වාර්තාවන් නිසාද ශ්‍රී ලංකාවේ සේවය කිරීම ප්‍රශ්නයක් නොවන බව පැවසීය. අවසානයට ඇමතිවරයා කීවේ අප රටේ පුරවැසියෙකු නොවුනද ඔහු අපට සම්පතක් බවයි. 

ඉතින් මේ සියලු කතාබහ මධ්‍යයේ, විවිධ පාර්ශ්වවලින් එල්ල වූ විරෝධතා හමුවේ, තම මිත්‍රයා යලිත් මහ බැංකු අධිපති තනතුරට රැගෙන ඒම කල නොහැකි වූ තැන ඔහුව ජාත්‍යන්තර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරල් ලෙස පත් කිරීමට අගමැතිවරයා තීරණය කල අතර 2016 ජුලි මස 18,19 දෙදින ඒ සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමට සිංගප්පූරුව බලා ගියේය.  ඒ අතරම තම මිතුරා කෝප් කමිටුව විසින් නිදහස් කරනු ඇතැයි ඔහු උදක්ම බලාපොරාෙත්තු විය. 

2015 මාර්තු මස බැඳුම්කර ප්‍රශ්නය ගැන විභාග  කරන්නට අගමැතිවරයා විසින් පත්කල ත්‍රිපුද්ගල නීතීඥ කොමිසමේ තිදෙනාම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ අයයි. ඒ නිසාද, මෙවන් පරීක්ෂණ සම්බන්ධව ඔවුන් සතු පලපුරුද්ද ගැනද ස්වාධීන පාර්ශ්වයන් අතර ගැටලු පැන නැගී තිබිනි. කෙසේ වුවද එම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත දින එනම් අප්‍රේල් 23 වන දා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

කෝප් කමිටු වාර්තාවට විශේෂ බලපෑමක් එල්ලකල විගණකාධිපතිවරයාගේ වාර්තාවන් සම්බන්ධව ඔහු අග්‍රාමාත්‍යවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ දැඩි විවේචන වලට ලක්විනි. මේ ප්‍රශ්නය ඇවිලුනේ ශ්‍රී ලංකා රජය 2015 වසරේදී අනුමත ණය සීමාව ඉක්වමින් රු. බිලියන 3350 ක් ලබාගෙන ඇති බවට විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඉදිරිපත් කල ආන්දෝලනාත්මක වාර්තාව නිසාය. පාර්ලිමේන්තුවේ අනුමත ණය සීමාව රු. බිලියන 1780 කි. රජය පැවසුයේ තමන් ලබාගත් මුලු ණය මුදල රු. බිලියන 1738 ක් පමනක් බවත්ය. තමන් පෙර ලබාගත් ණය ගෙවීමට රු. බිලියන 1606 ක් වැය කල බව පවසමින් මුදල් ඇමතිගේ වාර්තාවේ, ලබාගත් භාණ්ඩාගාර බිල්පත් සඳහා පෙන්වා ඇත්තේ ඍණ අගයකි(-73) . නමුත් විගණකාධිපති වාර්තාවට අනුව රු. බිලියන 1533 ක් භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගෙන ඇත. මෙවන් ඍණ අගයක් යෙදීම තුල එම බිලියන 1533 ට සිදු වූයේ කුමක්දැයි විගණකාධිපති ප්‍රශ්න කල විට අගමැති හා මුදල් ඇමතිගේ කෝපය ඔහු වෙත යොමුවිය. ඒ තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වග උත්තර බැඳිය යුතු බැවිනි. මෙතැනදී විගණකාධිපතිවරයා නොසැලී තම විෂය දැනුම පිලිබඳ ආත්ම විශ්වාසයෙන් සිටි අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය ඔහුගේ  ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියේය. මෙවන් දෝෂ සහිත වාර්තා නිසා මහජන ධනය සහ සම්පත්  අවභාවිතා වන ආකාරය ඔවුන් විසින් පැහැදිලි කල අතර මේ වාර්තාමය වරද ඉතා දිගු කලක් තිස්සේ  සිදු වෙමින් තිබූ බවත්, ඔවුන් 2014 දී මෙය නිවැරදි කල බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේය. මෙවන් වංචා දූෂණ වැලැක්වීම සඳහා විගණන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමන් 2004 වසරේ සිට උත්සාහ දැරුවත් කිසිදු රජයකට ඒ සඳහා උනන්දුවක් නොවූ අතර වත්මන් රජයේ උත්සාහයද එම වෑයම දියකර හැරීම බවද ඔවුහු චෝදනා කරති.

මේ අල්ල පනල්ලේ ජනතාව පුදුම කරවන අයවැයක් ගෙන එන බව අයවැයට පෙර දළදා වඳින්නට පැමිනි මුදල් ඇමති කියයි. ආර්ථික සමුලුවක් ඇමතීමට අගමැති හොංකොං ගියේය. ජනාධිපති වරදකරුවන්ට දඬුවම් පමුනුවන හැටි පවසද්දී කූල් එකේ තම මගුල් ගෙදර චාරිකාව හමාර කර පැමිනි හිටපු මහ බැංකු අධිපතිවරයා ”වරදක් කරල නැත්නම් කලබල වෙන්නෙ මොටදැ”යි කියයි. 

ජවිපෙ නායකයා මේ වැනි වංචාවන් ජනතාව විසින් ඉවත නොහෙලිය යුතු ඇයිදැ යි පැහැදිලි කරන්නට උදාහරණ ගෙනාවේය. ඇත්තෙන්ම එය කාලෝචිතය. ආපදාවලින් අවතැන් වූ ජනතාවට වන්දි නොලැබෙන රටේ, ගොවියාගේ පොහොර සහනාධාරය කප්පාදු කරන්නට, කෘෂිකර්මය වනසා දමන්නට කටයුතු කරන රටේ මොනවා හෝ ප්‍රශ්නයක් නිසා ජනතාව වීදි බසින රටේ මේ ආර්ථික න්‍යායයන් ජනතාවට බර වැඩිය. ඒත් එම ප්‍රශ්න එසේ වන්නේ ඇයිද කියා වටහා ගන්නට නම් මේ තත්වය ඔවුන්ට අවබෝධ විය යුතුය. මේ කිහිප දෙනෙකු එක්ව ගසා කන්නේ තමන්ගේ උරුමය බව ජනතාව වටහා ගත යුතුමය. 

මේ ප්‍රශ්න යට ගහන්නට ඕනෑ නිසා මොවුන් නොයෙකුත් අතුරු ප්‍රශ්න ගෙනෙති. අාවා කල්ලිය ගැන චෝදනාව ගෝඨාභය රාජපක්ෂ පිට දැමීම හා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කිරීම මෙවන් උපක්‍රම විය හැක. මන්ද ජනතාව නැඹුරුවන දිශාව අවබෝධ වූ විට මේ කතාවන් හා ක්‍රියාවන් ඔවුන්ට රිදෙන නිල ඇල්ලීමක් බඳුය. නොඅනුමානවම ජනතාවගේ අවධානය මේ ඔස්සේ වෙනත් දිශාවකට හැරවූ විට නොවැම්බර් 10 වනදා කලඑලි බසින්නට නියමිත අයවැයත් සමගම තමන්ට මේ ප්‍රශ්නයෙන් ලිස්සා යා හැකි යයි ඔවුන්ගේ අපේක්ෂාව වනු ඇත.

මේ ගැන අවධානයෙන් නොසිටියොත් ඔබේ පතට හෙනහුරා වැටෙනු ඇති අතර අනුන්ට හොරා හොරා කියමින් ටයි කෝට්, කම්බා හොර නඩය රට  සවාරි ගසමින් අන්‍යයන්ට ආර්ථික සංවර්ධනය ගැන දේශනා පවත්වනු ඇත.

3 Responses to “යහපාලනය නමින් ජනතාවට පුන්නක්කු කැවීම”

  1. Ananda-USA Says:

    Sinhala Bauddayo punnakku gillinda patang gatthey Janawari, 2015 ata-vani dawasayi!

    Than nam ugura hondatama hirawela, thawa punnakku gillinnata apita bari-wela thiyenne!

  2. plumblossom Says:

    Yes, Ranil Wickramasinghe must resign immediately. This is the honourable thing to do. The country should be run by a PM who holds the confidence of most people. This is very important. Someone else who holds the confidence of the people should be appointed the PM by President Sirisena. Besides, Arjunan Mahendran did say the PM, meaning Ranil, asked him to do it. Therefore he should resign immediately which is the honourable thing to do and let any investigations take place without any interference. In other countries, this is what happens after this type of incident. So it is not at all unique.

  3. Christie Says:

    ආනන්ද සින්හලයන් ගොනාට ඇඬ්හ්වන්න පටන් ගත්හේ 1951 ඉඳලයි. මාව විස්වාස කරන්නේ නැත්නම් බන්ඩගෙ සිඟිත්තිගෙන් අහල බලන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress