දඬුවම් දීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්‌ පත්කරන්න බැ`දුම්කරය විභාග කළ පළමු කෝප් සභාපතිඩිව් කතා කරයි
Posted on November 5th, 2016

සාකච්ඡා කළේ ශ්‍යාම් නුවන් ගනේවත්ත

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා විසින් පසුගිය පාර්ලිමේන්තුවේදී සිදුකළ බැඳුම්කර වංචාවට අදාළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියත් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එය ඉටුකළ නොහැකි විය. එහෙත් වත්මන් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට නොයෙකුත් බලපෑම් සහ අභියෝග රැසක්‌ මධ්‍යයේ බැඳුම්කර නිකුතූන්වලට අදාළ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි විය. මේ අලුත් කෝප් වාර්තාව ගැනත් පසුගිය කෝප් වාර්තාව සම්බන්ධ අත්දැකීම් ගැනත් අපි හිටපු කෝප් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ඇසූ ප්‍රශ්නවලට ඩිව් ගුණසේකර මහතා ලබාදුන් පිළිතුරුයි.

ප්‍රශ්නය (- ඔබතුමා හිටපු කෝප් සභාපතිතුමා, හත්වැනි පාර්ලිමේන්තුවේ. දැන් අටවැනි පාර්ලිමේන්තුවේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවල අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ කෝප් කාරක සභාවේ වාර්තාව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි නිර්දේශ ගැන ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර (- මම හදපු කෝප් වාර්තාවේ සාක්‌ෂි සටහන් ඒ ආකාරයෙන්ම ඒ අය මේ වාර්තාවට එකතු කරන්න, භාර ගන්න තීරණය කර ඇති බව මට දැනගන්නට ලැබුණා. නැත්නම් ඔක්‌කොම සාක්‌ෂි ගන්න නැවත ඔවුන් කැඳවන්න වෙනවනෙ. 40 ගණනක්‌ ගෙන්වල අපි දිවුරුම් අරන් සාක්‌ෂි ගත්තෙ. මහ බැංකුව ප්‍රාථමික වෙළෙන්දන් සියලු දෙනාම ඒකට ආව. ඒනිසා ඒ සාක්‌ෂි සටහන් එහෙම පිළිගත්තයි කියල මට දැනගන්නට ලැබුණා. මේ කමිටුවට අතිරේක කාරණයක්‌ ඇතුළු වුණේ 2016 මාර්තු මාසෙ දෙවැනි බැඳුම්කර මගඩියෙදී. ඒක අලුතින් ඇතුළු වූ එකක්‌. ඒ නිසා මේ කෝප් වාර්තාවේ නිගමන ගැන මගේ කිසිම ප්‍රශ්නයක්‌ නෑ. නිර්දේශ ගැනත් කියන්න ඕන. දැන් මම දැක්‌කා අර අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කියනව අපරාධ වශයෙන් දාන්නය කියල. ඒව ඉතිං කෝප් එකේ ජොබ් එක නොවෙයි. අපරාධයක්‌ ද නැද්ද කියන එක තීරණය කරන්න ඕන නඩු දාන එක්‌කෙනා. ඒක තීරණය කරන්නෙ පාර්ලිමේන්තුව නොවෙයි. ඒක නිකං තමන්ගෙ වාසියට මහජනයා ඉදිරියේ ගොඩනඟපු දේශපාලන තර්කයක්‌. වාර්තාවේ නිර්දේශ ගැනත් මගේ ප්‍රශ්නයක්‌ නෑ. නිර්දේශවලින් පසු කොහොමද මේක ක්‍රියාත්මක කරන්නෙ කියන එක තමයි මට තියන ගැටලුව.

මේකෙ මුල ඉඳන්ම එක්‌සත් ජාතික පක්‌ෂය හැසිරුණු ආකාරය ගැන කියන්න ඕන. දැන් මුල ඉඳන්ම කියන්නෙ පළමුවැනි එක මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරපු එක. මම ඒක බරපතළ කාරණයක්‌ ලෙස සලකන්නෙ. ඒක මූල්‍ය නීතියට විරුද්ධයි. මහ බැංකුව අගමැති ගත්ත. බැංකු ටික වෙන කෙනකුට දුන්න. දැන් ඇත්තටම රවි කරුණානායක මුදල් ඇමැති නොවෙයි, අයවැය ඇමැති. ඒ නිසා එතනම මහ අර්බුදකාරී, ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති කළා.

දෙවැනි කාරණය මහ බැංකු අධිපතිවරයා පත් කිරීම. දැන් අගමැතිගේ නිර්දේශය අනුව තමයි ජනාධිපතිතුමා අර්ජුන මහේන්ද්‍රන් මහතාව පත් කළේ. ඒක ජනාධිපතිතුමා කැමැත්තෙන් පත් කළ එකක්‌ නොවන බව අපි දන්නව. ආණ්‌ඩුව පිහිටවපු ගමන් නිසා ඔහුගේ නිර්දේශය එදා පිළිගත්ත. නමුත් ඒ පිළිගැනීමත් එක්‌කම විරෝධයකුත් තිබුණා.

දැන් මගේ විමර්ශනයේදී මම ඔවුන්ගෙන් අහපු පළමු ප්‍රශ්නය තමයි ඔබ මේ රටේ පුරවැසියෙක්‌ නොවෙයි නේද කියල. ඔහු ඔව් කිව්ව. කොහේ පුරවැසියෙක්‌ ද ඇහුව. සිංගප්පූරු පුරවැසියෙක්‌ කිව්ව. ඔබ දිවුරුම් දුන්නේ නෑ නේද ඇහුව. ඔව් දිවුරුම් දුන්නේ නෑ කිව්ව. ඔහු තමයි මහ බැංකුවේ දිවුරුම් නොදුන්න එකම අධිපතිවරයා. ලංකාවේ එක්‌කෙනෙක්‌ නම් දිවුරුම් දෙනව. පිට කෙනෙක්‌ නම් දිවුරුම් දෙන්නේ නෑ. මේ දිවුරුම් දෙන එකෙන්ම බැඳීමක්‌ ඇති වෙනවනේ. අනිත් එක මහ බැංකුව කියන්නේ බැංකුවලත් බැංකුව. සල්ලි මුද්‍රණය කරන ආයතනය. මූල්‍ය ක්‍රමය භාරව ඉන්න, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කරන, අන්තර් ජාතික සම්බන්ධතා භාරව ඉන්න, රාජ්‍ය ණය කළමනාකරණය කරන ආයතනය මහ බැංකුවයි. එම නිසා අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමම වැරදියි. වෙන කෙනෙක්‌ පත් කරා නම් ඔය ආකාරයට වෙන්නෙ නෑ. තුන්වැනි කාරණය මෙයා පත් වෙන්න සුමානෙකට පෙර තමයි අරය අරකෙන් අස්‌ වෙන්නෙ. එයා අස්‌වෙන්නෙ මෙයාට ඉඩදීල. ප්‍රශ්නයක්‌ මතුවෙයි කියල හිතල. නමුත් මගේ වාර්තාවෙ සාක්‌ෂිවල තියෙන්නෙ එයා අස්‌වුණාට හෝල්ඩිං කොම්පැනියේ එයා සභාපති.

ප්‍රශ්නය (- අරයා කියල ඔබතුමා සඳහන් කළේ කවුරු ගැනද ?

පිළිතුර (- අධිපතිගෙ බෑණා අර ප්‍රාථමික නියෝජිත සමාගමෙන් තමයි ඉවත් වෙන්නෙ. නමුත් ඒ සමාගමට අයිති සමාගම් ගොඩක්‌ තියෙනවා. ඔහු ඒ මව් සමාගමේ එනම් හෝල්ඩිං කොම්පැනියෙ සභාපති. එතකොට මේවායේ කොටස්‌ අයිතිය ඔහුට තියෙනව. එවිට එතන ලබැඳියාව පිළිබඳව ප්‍රශ්නය (ඤබකෙසජඑ දෙ සබඑeරුsඑ) තියෙනවාමයි. ඒක නැති වෙලා නැහැ.

ඊළඟට 4 වැනි කාරණාව තමයි මේ ක්‍රමවේදයට උපදෙස්‌ දුන්නෙ අගමැතිතුමා. ඒක සාක්‌ෂිවල තියෙනවනෙ. එනම් මට අගමැතිතුමා කිව්වා කියල. සමහර විට මෙයා යෝජනා කරන්න ඇති. අගමැතිතුමා ඔව් කියන්න ඇති. නමුත් සාක්‌ෂි දෙනකොට කියල තියෙන්නෙ අගමැතිතුමාගෙ උපදෙස්‌ අනුව තමයි මේ ක්‍රමවේදයට ගියේ කියලයි. නමුත් රාජ්‍ය මූල්‍ය නීතිය අනුව වගේ ඔවුන්ගේ තියන අත්පොත එහෙම අනුව ක්‍රමවේදය පිළිබඳව හැම විටම තීරණ ගන්නෙ මුදල් මණ්‌ඩලයයි.

දැන් මෙතැන මුදල් මණ්‌ඩලය තීරණයක්‌ අරන් තියෙන්නෙ මේ ක්‍රම දෙකට. එනම් සෘජු ක්‍රමය සහ වෙන්දේසි ක්‍රමය. මේ බැඳුම්කර නිකුතුව දීර්ඝකාලීන එකක්‌. මේ සඳහා මුදල් මණ්‌ඩලයේ ආවරණ අනුමැතියක්‌ තමයි අරන් තියෙන්නේ.

ප්‍රශ්නය (- ඒ කියන්නෙ සියයට 100 ක්‌ වෙන්දේසි ක්‍රමයට යන්න මහ බැංකු මුදල් මණ්‌ඩලයේ නිසි අනුමැතියක්‌ නෑ.

පිළිතුර (- ඔව් නිසි අනුමැතියක්‌ නෑ. පස්‌සෙ ආවරණය ගත්තෙ. ඒ නිසා මේ අධිපතිවරයා ගත්ත පළවැනි තීරණයම වැරදියි. අපි බැලුවනෙ නිවාඩ් කබ්රාල් ඉන්න කාලෙ ගත්ත ඔක්‌කොම මුදල් මණ්‌ඩලයෙන් තීරණය අරන් තිබුණේ. ඒ නිසා හාපුරා කියා ආපු හැටියෙ ගත්ත පළවැනි තීරණයම මහා ඒකාධිපති තීරණයක්‌. ඒ නිසා මුදල් මණ්‌ඩලය අසරණ තත්ත්වයට පත්වුණා.

මීළඟ වැදගත් දේ තමයි අගමැතිතුමා උපදෙස්‌ දුන්නත් මූල්‍ය නීතිය අනුව අගමැතිතුමා කියන දේ නෙවෙයි කරන්න ඕන මුදල් මණ්‌ඩලය කියන දේ. මුදල් මණ්‌ඩලය තමන්ගේ තීරණයක්‌ ගන්න ඕන. ඊළඟට මේ ක්‍රම දෙක පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ආකාරය අධීක්‌ෂණය කිරීමක්‌ අවශ්‍යයි. මගේ වාර්තාව හදන විට දැනගන්නට ලැබුණු විදිහට 80% ක්‌ පමණ කෙටිකාලීන ඒවා අරන් තිබුණේ සෘජු ක්‍රමයට. දිගුකාලීන ඒවා බොහෝ විට වෙන්දේසි ක්‍රමයට. මොන ක්‍රමයට ගත්තත් මුදල් මණ්‌ඩලය ගත්ත තීරණයත් තියෙනව අවම පිsරිවැයට සහ අවම අවදානමට ගන්න ඕන. මේක තමයි මූලිකම කරුණ. අගමැති තියා කවුරු කිව්වත් කරන්න ඕන ඒක. ඒ දෙකම බලන්නෙ නැතුව තමයි මේ තීරණය ගත්තෙ. බිලියන එකක්‌ ඉල්ලපු ඒ වෙලාවෙ ලංකා බැංකුවේ තිබුණ බිලියන 33 ක්‌ සල්ලි. අර්ථසාධක අරමුදල තිබුණ. ඒවට නොගිය නිසා ඉහළ පොලියට ගියා. ඊට වඩා අඩු පොලියට ගන්න තිබුණ. ප්‍රාථමික වෙළෙන්ඳන්ට දැන්වූයේ බිලියන එකක්‌ ගන්නව කියලයි. මේ අධිපති වෙන්දේසි කාමරේටම ගිහින් බිලියන 10 ක්‌ ගන්න උපදෙස්‌ දුන්න. මේ ගැන රාජ්‍ය ණය අධිකාරී දීපා සෙනෙවිරත්නගේ සටහනක්‌ තියෙනව. ඒ නිසා ඇය නිදහස්‌ වුණා. ඒක ටෙන්ඩර් මණ්‌ඩලයේ තීරණයක්‌ නොවෙයි.

ප්‍රශ්නය (- අගමැතිතුමා මුලින් ත්‍රිsපුද්ගල කමිටුවක්‌ දැම්මානෙ මේක පරීක්‌ෂා කරන්න?.

පිළිතුර (- අගමැතිතුමා සිරිකොත ඉන්න නීතිඥයන් තුන්දෙනෙක්‌නෙ දැම්මෙ. ඒක හොඳටම දන්නව බැඳුම්කර විෂය සංකීර්ණ එකක්‌. මේක ගැන තාක්‌ෂණිකව විෂය දන්න අය පත්කරන්න ඕනනෙ. දඩිබිඩිස්‌ ගාලා මේක ඔහුම පත් කළා. ඒ අයගෙ වාර්තාවෙ කාරණා තුනක්‌ තියෙනව. පළමු එක අර්ජුන මහේන්ද්‍රන් මේකට සම්බන්ධයක්‌ නෑ, දෙවැනි එක ගනුදෙනුව වූ ආකාරය සැක සහිතයි, තුන අපට බලයක්‌ නෑ මේක ගැඹුරින් විමර්ශනය කරන්න. ඒ නිසා බලය තියන අධිකාරියකට භාර දෙන්න කියල. මේකෙ පාර්ලිමේන්තු විවාදෙ ගන්නකොට කථානායකතුමා තමයි කිව්වෙ එහෙනම් මේක අපි කෝප් එකට දෙමු කියල. මේක තමයි පාර්ලිමේන්තුවේම තීරණයක්‌ අනුව කෝප් එකට විමර්ශනයක්‌ භාර දුන්න පළමු අවස්‌ථාව.

ප්‍රශ්නය – එහෙත් ඒ වාර්තාව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නිසා ඉදිරිපත් කරන්න බැරි වුණා. නමුත් මෙවර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා?.

පිළිතුර – මගේ නිගමනය නම් ඒ අවස්‌ථාවෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉක්‌මන් වුණේ ඒ අපේ කෝප් වාර්තාව නිසයි. අන්තිමට ඒකෙ ගොදුර වුණේ මමයි. මගේ මන්ත්‍රීකම නැති වුණා. මේකෙන් දඬුවම් විඳපු පුද්ගලයා පරීක්‌ෂණය කරපු පුද්ගලයා කියන එකයි මම තේරුම් ගත්තේ.

මෙවර වාර්තාවෙ අත්තර්ගතය මම මාධ්‍යයෙන් දැක්‌ක ඒ ගැන මගේ ප්‍රශ්නයක්‌ නෑ. වාර්තාව හොඳයි. දැන් කතා කරන්න ඕන ඊළඟ පියවරනෙ. ඒක පාර්ලිමේන්තුවෙන් පරිබාහිර දෙයක්‌. දැන් බලන්න මේ වාර්තාව දඩිබිඩියෙ නීතිපතිට යෑව්වේ කොහොමද? තාම වාර්තාව මුද්‍රණය කරල සභාවටවත් දීල නැහැ. මුද්‍රණය කළායින් පසුවයි එය නිල වාර්තාවක්‌ වෙන්නෙ. ඒ වෙන්න ඉස්‌සෙල්ලා මේක නීතිපතිට දීල.

ප්‍රශ්නය (- හොරාට කලින් වැට පැන්න කියලද ඔබ කියන්නෙ?

පිළිතුර (- මම කියන්නෙ කාරණා දෙකක්‌, එකක්‌ රට තුළ ඇති වූ මතය නිසා ඇති වූ පීඩනය. එක්‌සත් ජාතික පක්‌ෂයට දරාගන්න බැරි වුණා. ඒ නිසයි දෙවැනි කෝප් වාර්තාවක්‌ ඉදිරිපත් කරන්න ඉඳල පසුව පාද සටහන් දාන්න එකඟ වුණේ. මොකද මාධ්‍යයෙන් සහ රටෙන්ම ආපු පීඩනය. එජාප මන්ත්‍රීවරු බහුතරය මේ වාර්තාවට කැමතියි සද්ද නැතිව හිටියට.

අපි මේ ගැන මුල සිටම දරපු මතයක්‌ තමයි මේ ගැන ජනාධිපති කොමිසමක්‌ පත් කිරීම. මේ ජනාධිපති කොමිසමට බය වෙලා වෙන්න පුළුවන් මේක කඩිමුඩියේ නීතිපතිට යෑව්වේ. ඒක ශිතාගාරයට යවන්න වෙන්න පුළුවන්. ඕකෙන් දඬුවම් දෙන ක්‍රියාවලියක්‌ වෙයි කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ. ජනාධිපතිතුමා ජනාධිපති කොමිසමක්‌ දාලා දඬුවම් දෙන්න නිර්දේශ ගන්න පෙර මේක නීතිපතිට යෑව්ව වෙන්න පුළුවන්. නීතිමය පියවර ගත්ත කියල රටට පෙන්වන්න. ඒ නිසා තමයි පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්‌ අපි ඉල්ලන්නෙ. අවශ්‍ය නම් අග විනිසුරුට කියල මේකට දැනට සිටින ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරු පත් කරන්න ජනාධිපතිතුමාට පුළුවන්. වඩා හොඳ එහෙම ඉන්න අයව පත් කිරීමයි. කොමිසමක්‌ දැම්මම දඬුවම් දීම කල් ඇදෙන්නෙ නෑ. සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය ඊට වඩා කල් ඇදෙනව.

One Response to “දඬුවම් දීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්‌ පත්කරන්න බැ`දුම්කරය විභාග කළ පළමු කෝප් සභාපතිඩිව් කතා කරයි”

  1. plumblossom Says:

    Yes, Ranil Wickramasinghe must resign immediately. This is the honourable thing to do. The country should be run by a PM who holds the confidence of most people. This is very important. Someone else who holds the confidence of the people should be appointed the PM by President Sirisena. Besides, Arjunan Mahendran did say the PM, meaning Ranil, asked him to do it. Therefore he should resign immediately which is the honourable thing to do and let any investigations take place without any interference. In other countries, this is what happens after this type of incident. So it is not at all unique.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress