ඇහැළේපොල අදිකාරම් තුමා සෙවූ සිංහලේ අ‍‌‌භිමානය සොයාගත් වගයි
Posted on November 7th, 2016

සුදර්ශන රම්බන්ඩාර ගරු ලේකම් සිංහලේ බෞද්ධ ඡන්ද පදනම

එදා බ්‍රිතාන්‍යයයන් විසින් මුරිසි දිවයිනට පිටුවහල් කළ ඇහැළේපොල අදිකාරම් තුමා සිරිත් පරිදි සවස් කාළයේ දෙඅත පිටුපසට බැඳගෙන බිමට නැමුණු හිසින් ඒ මේ අත සක්මන් කරනු දුටු රැකවලට සිටි ප්‍රංශ ජාතික සුද්දා උපහාසයට මෙන් ඇසුවේ ‘ඇයි අදිකාරම් මෙතන වැටී නැතිවූ යමක් සොයනවාද?’ යන්නය. ඊට අදිකාරම්ගේ ක්ෂණික පිළිතුර වූයේ ‘ඔව් මිත්‍රයා මම සොයන්නේ අපට නැතිවුණු සිංහලේ අභිමානයයි’ යන්නය. මේ කථාව අපට දැනගන්නට සැලැස්වූ ප්‍රංස ජාතික රැකවලාට අපි කෘතඤ විය යුතු වෙමු.

කළගුණ නොදත් කපටි සුද්දා විශ්වාස කර උදව් ගැනීමට ගොස් තම දරුපවුලත්, උපන් රටත් අහිමිව අමාරුවේ වැටුණු ඇහැළේපොල අදිකාරම් තුමා සමහරු ජාති ද්‍රෝහියකු ලෙසද  හදුන්වති.

නමුත් සිංහලේ වූ වඩුග රජ පරපුර වෙනුවට නැවත නියම සිංහල බෞද්ධ රජ පරපුරක් බිහිකරගෙන සිංහලේ අභිමානය යථා පරිදි නගා සිටුවීමට ඔහුගේ අභිලාශයක් වූ බව ඔහුගේ ක්‍රියාකලාපයෙන් ද එදා මුරිසි දිවයිනේ සිද්ධියෙන් ද මතු කර ගත හැක. නොඑසේ නම් එතුමාට නැතිවූ අභිමානයක් ගැන පසුතැවිලි වීමට කිසිම වුවමනාවක් නැත.

ඇහැළේපොල අදිකාරම් තුමා පිළිබඳ දැනට වසර 180 කට ඉහතදී සිදුවූ සිද්ධියෙන් එවකට පරාධීන ජාතියක්ව සිටින අපට ඉතා වැදගත් පණිවිඩයක් ලැබුණබව කිවහැක. එනම් අප සැම විසින් සිංහලේ අභිමානය වහා සොයා දරාගතයුතු” බවය. එසේ අප සැම විසින් සිංහලේ අභිමානය සොයා දරාගතහොත් පරගැතිබවින් මිදී එකමුතුව ක්‍රියා කර නැවතත් නිදහස්, නිවහල්, ශ‍්‍රේෂ්ඨ ජාතියක් වශයෙන් ලොව නැගී සිටීමට හැකියාව අපට ඇත. සුද්දාගෙන් නිදහස ලබා 68 වසරක් ගත වු අද දවසේදීවත් අපි එතුමාගේ පණිවිඩයෙන් කියවෙන අභිමානය සොයා දරා ගත්තාදැයි විමසා බලමු.

දේශයක් හෝ ජාතියක් පිළිබඳව අභිමානවත් වීමට හැකිවීම ඵම දේශයේ හෝ ජාතියේ නිවහල් භාවයට, දියුණුවට පමණක් නොව මානව සංහතියේ ද දියුණුවට විශාල පිටුවහලක් වේ. යම් ජාතියක් පිළිබඳව අභිමානයක් ඇතිවීමට එම ජාතියට අගය කළ හැකි ඉතිහාසයක් සහ ජීවමාන සංස්කෘතියක් තිබිය යුතුය. සිංහලයාට එවැනි දීර්ඝ ඉතිහාසයක් සාක්ෂි සහ සාධක සහිතව හිමිව තිබේ. එසේම සජීවී දීර්ඝ බෞද්ධ සංස්කෘතියක්ද හිමිය. අභිමානය ඇතිවීමට නම් මේවා හදාරමින් අගය කරමින් විමසිය යුතුය. එසේ වුයේ නම්  නිදහස් නිවහල් රටක ජීවත්වන සිංහලයා තම ජාතිය පිළිබඳව අභිමානවත් විය යුතුය. නමුත් අද යම් අවුලක් ඇති බව පෙනේ.

අද අපේ අභිමානයේ තරම

සිංහල බෞද්ධ රට වශයෙන් හැදින්විය හැකි, හැදින්විය යුතු මෙරට 80 දශකයේ සිට බහු ජාතික, බහු ආගමික රටක් වශයෙන් පාලකයන් විසින්ම නම්කරන විට බහුතර සිංහලයාට ඊට විරුද්ධ වන්නට නොහැකිවීමෙන්ම සිංහලේ ජනතාවගේ අභිමානයේ පිරිහුණු තරම පෙන්නුම් කරයි.

අපේ පාලකයන්ගේ අභිමානයේ අද දක්වා වූ පිරිහීම ඔවුන් අපේ රණවිරුන්ට දක්වන ප්‍රතිචාර ඔස්සේ දැකගත හැක. අපට උපදෙස් දෙන ඇමරිකාව, බ්‍රිතාන්‍යය ආදී රටවල් පවා තම රණ විරුවන්ට එරෙහිව තම නීතිය ක්‍රියාත්මක නොකරන අවස්ථාවක ඒ රටවල් සැනසීම සදහා ජාතිවාදී, බෙදුම්වාදී ම්ලේඡ්ඡ දෙමළ ත්‍රස්තවාදය ගෙන ගිය තිස් අවුරුදු යුද්ධය දිවිපුදා ජයගෙන රටටම සාමය උදාකළ සිංහලේ රණ විරුවන්ට එරෙහිව නීතිය යොදවන්නට පාලකයෝ පෙළ ගැසී සිටිති. රණ විරුවන්ගේ ඔද තෙද බිඳ ඇත. අනිත් අතට ලෝකයේ නිවහල් රටක් කිසිදා තම ජනතා බහුතරයේ අභිලාෂයන් සහ ඕනෑඑපාකම් අමතක කොට සුළු ජනවර්ගයක හෝ සුළු ආගමික පිරිසකගේ අභිලාෂයන් සහ ඕනෑඑපාකම් ඉටුකිරීමට බැඳී නැති බව ඈත මෙන්ම මෑත අතීතයේ ලෝක සිදුවීම් තුලින් මනාව ඔප්පුවේ. එමෙන්ම නිවහල් රටක් කිසිදා අනෙකුත් රටවල  නීති රීති සහ ඕනෑඑපාකම් වලට යටත් වීමට බැඳී නැති බවද අද බලවත් යයි කියාගන්නා රටවල ක්‍රියාකලාපය ඔස්සේම තේරුම් ගත යුතුය. නමුත් අප රට තුල සිදුවන්නේ ඒ සිදුවිය නොයුතු දේමය.

රට තුල ජීවත්වන අනෙකුත් ජන වාර්ගිකයන්ට අන්‍යාගමිකයන්ට සෙත සලසන ඔවුන්ගේ නායකයින් සිටියත් සිංහල බෞද්ධයන්ට සිටින්නේ පක්ෂ දේශපාලනයෙන් බෙදුණු, බලලෝභය නිසා අසිංහලයින්ට වූ පොරොන්දු ඉටුකරමින්, වරදාන දෙමින් එම අනෙකුත් ජන වර්ගයන්ටම සෙත සලසන නායකයින්ය. සිංහල ජනතාව තම රටට පාලකයින් පත්කරගන්නේ කුමන අරමුණකින්ද, කුමන සෙතක් තම ජාතියට ලබාගැනීමටද යන්නට පිළිතුරක් කිසිවෙකුට දියහැකිද?

සිංහල බෞද්ධයන් විශාල පිරිසකට අද යම් තරමකින් ජාතිය පිළිබද අභිමානයක් තිබුනද අප සිංහල ජාතිය මුහුණපා සිටින අභියෝග ජයගැනීමට එයට හැකියාවක් නැතිබව පැහැදිළිව පෙනේ.

මේ තරමට නිහීන වූ සිංහල ජාතිය නගාසිටුවීමටනම් සිංහල දේශපාලකයන්ටත්, ඔවුන් තම ඡන්දයෙන් පත්කරගන්නා සිංහලේ ජනතාවටත් අපට හිමි අභිමානය ලබාදීම අද නොපමාව කළ යුතු ප්‍රධාන කටයුත්ත සේ සැළකිය යුතුව ඇත. එවිට අභිමානවත්වූ සිංහල ජාතිය සමගිමත් වී ශක්තිමත් වී දියුණුවීමෙන් අන් සුලු ජනවර්ගයන් සමග ඇති සහජීවනය ද රටේ සාමය ද වර්ධනය වනවා ඇත. අපට හිමි අභිමානය නැවත ලබාගතහොත් අපට විසදිය යුතුව ඇති බරපතල ජාතික හෝ ජනවාර්ගික ප්‍රශ්න තිබේ නම් ඒවා මොනවාද යන්න තේරුම් ගැනීමත් ඒවාට දියයුතු විසදුම් මොනවාද යන්නත් සොයා බැලීමටත් අවස්ථාවක් උදාවෙනවා ඇත.

සිංහලේ අභිමානය නැවතත් මතුකර ගැනීම

සිංහලේ අභිමානය නැවත අප තුල මතු කර ගැනීමට අවශ්‍ය පාඩම් අපට අන් කිසිවෙකුගෙන් නොව අපේ ඉතිහාසය තුලින්ම ලැබේ. වැටී සිටින සිංහලයාගේ අභිමානය නගා සිටුවීමට අතීතයේ තරුණ ගැමුණු කුමාරයාද, පසු කලෙක අනගාරික ධර්මපාල තුමාද මෑත කාලයේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ද ආදී අපේ ජාතික වීරයන් ක්‍රියා කළ ප්‍රශංසනීය ආකාරය විමසිය යුතුය.

මෙම කාර්යයේ බැරෑරුම් බව තේරුම් ගැනීමට සිංහලයා එම වීරයන්ට දැක්වූ ප්‍රතිචාරයන්ද විමසීම වටී. ගැමුණු කුමාරයා සිංහලේ රාජ්‍යය ලබාගැනීමට කළ යුද්ධයේදී දිවි පරදුවට තබා පෙරට ආ එඩිතර සිංහලයා පිරිහී ගොස් ධර්මපාල තුමාට මේ දිවයින එපාවන තැනට කටයුතු කළේය. සුද්දා යටතේ ඒ දක්වා පිරිහී ගිය සිංහලයා නිදහසින් පසුව පූජ්‍ය සෝම හිමියන්ගෙන් යම් තරමකට අභිමානවත් වූවේය. උන්වහන්සේට දීර්ඝ ගමනක් යාමට තිබුණි. නමුත් ජාතියේ අවාසනාවටදෝ යම් පිරිසක් උපක්‍රමශීලීව උන්වහන්සේ අපවත් කළේ හරි හැටි පිළිගතහැකි මරණ පරීක්ෂණයක්වත් සිංහලයාගෙන් නොලැබෙන පරිදිය. අද අභිමානවත් සිංහලයාගේ අංක එකේ ආරක්ෂක කටයුත්ත වී ඇත්තේ අභිමානයෙන් තොරවූ පරගැති සිංහලයන්ගෙන්ම ප්‍රවේසම් වීමය.

ඇහැළේපොල අදිකාරම් තුමා ජාතික වීරයෙකු නොවූවත් එතුමාගේ පණිවිඩයෙන් කියන්නේ  අපට අපේ අභිමානය නැවත සොයා දරා ගන්නට යන්නයි. නමුත් අපි ඊට අනුව මේ දක්වාම  බුද්ධිමත්ව ක්‍රියාත්මක නොවු බව නම් ඉතා පැහැදිළිය. දැන් අප මේ ගතකරන්නේ නැවතත් අපේ අභිමානය සොයා දරා ගතයුතු අන්තිම මොහොතේය. නැතිනම් අප සැම සිංහල ජාතියේ මළගමට සුදානම් වීම යෙහෙකි. සිංහල ජාතිය ලෝකයේ වඳවී යන ජාතීන් අතර සයවැනි තැන ගන්නා බවක් පළවේ.  අනෙකුත් සුලුජනවර්ගිකයන්ටත්, විදේශිකයන්ටත් අවනතවීම හැර අපට වෙන කිසිවක් කරකියා ගත නොහැකි දවස ක්‍රමයෙන් ළඟදීම උදාවුවිට සිදුවන්නේ ඇහැළේපොල අදිකාරම් තුමාට මෙන් සිංහල ජාතියේ අභිමානය නැතිවීම ගැන ලත වෙමින් සුසුම්ලෑමට පමණි. ඇහැළේපොල අදිකාරම් තුමාගේ පණිවිඩය අවධාරණය කර දැන්වත් අපි අපේ අභිමානය සොයා ගනිමු.

ජාතියක් වශයෙන් ඉතිහාසය සහ සංස්කෘතිය ඔස්සේ සිංහලයාගේ අභිමානයට සාධක සහ  සාක්‌ෂි රාවණා පුරාණයෙන්ද ඔබ්බට ගමන් කරණවා ඇත. එවැනි අභිමානයක් ලොව තවත් ජාතීන් කීපයකට පමණක් හිමිව ඇත. නමුත් සිංහලයාට තවමත් අයිතිව පවතින සුවිශේෂී වූ අභිමානයක් ද ඇත්තේය. එවැන්නක් අපට ඇත්දැයි කෙනෙකු විමතියට පත්වනු ඇත. මෙම අභිමානය ගැන දැනගැනීමේත්, එය වටහා ගැනීමේත්, එය රැක ගැනීමේත් ඕනෑකම සෑම සිංහලයකු තුලම විය යුතුය.

අපට විශේෂිත වූ අභිමානයත් ඒ නිසාම අපට හිමිවන ප්‍රෞඩත්වයත් පිළිබඳව විමසීමේදී අප ඉතිහාසයේ විශේෂ සිදුවීම් සොයා බැලිය යුතුය. එම සිදුවීම් මතුපිටින් නොව ගැඹුරින්ම  විමසිය යුතුය. අද බොහෝ ගිහි පැවිදි වියතුන් ඉතිහාසය සහ සංස්කෘතිය ඔස්සේ අපේ අභිමානය වෙත ජාතිය යොමු කරවීමට ඉදිරිපත්වීම දැකීම සතුටට කරුණකි.

මහින්දාගමනය – අපට බුදු සසුන ලැබීම

මෙහිදී මුලින්ම අපට සිංහලේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන මහින්දාගමනය ඉතා විශේෂිතය. මිනිසාගේ සිතීමේ නිදහසට, ගුණවත්කමට, නැණවත්කමට මෙන්ම ප්‍රඥාවටද මුල් තැන දෙන බුදු දහම, බුදු සසුන සිංහලේට ලැබුනේ මහින්දාගමනයෙනි.

මිහිඳු හිමියන් ඇසූ අඹ ප්‍රශ්නය, ඥාති ප්‍රශ්නය ලොව වාර්තාවන මුල්ම බුද්ධි පරීක්ෂණය වන බව ප්‍රකට කරුණකි. නමුත් අභිඤ්ඤාලාභී රහත් උතුමකුවන මිහිඳු හිමියන්ට දෙවනපෑතිස් රජුගේ බුද්ධිය සහ හැකියාව මැන බැලීමට මෙවන් ප්‍රශ්න කිරීමක් සැබැවින්ම අවශ්‍යව තිබිය නොහැක. උන්වහන්සේ මහළු මුටසීව රජතුමාගේ ඇවෑමෙන් දෙවනපෑතිස් රජ දවස උදාවනතුරු මෙම ගමනට කල් ගත්තේද ඔහු ගැන හොඳින් දැන සිට සැලසුම් සහිතවමය.

එසේ නම් මෙම ප්‍රශ්න කිරීමේ අරමුණ කවරේද? මෙහිදී සිදුවූයේ තමාගෙන් මෙවැනි බුද්ධිමත්බව පිරික්සන ප්‍රශ්න අසන ආගන්තුක මිහිඳු හිමියන්ගේද එම ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු සපයන තමාගේද බුද්ධිය කොතරම් ඉහල දැයි රජතුමාට මැනවින් අවබෝධ වීමයි.

මේ නිසාම මිහිඳු හිමියන් රැගෙන ආ ප්‍රඥාව උපදවන ශ‍්‍රේෂ්ඨ බුදු දහම අවිවාදයෙන් පිළිගැනීමත් එය රට තුල පැතිරවීමටත් සියලු රාජ්‍ය අනුග්‍රහය දෙමින් ඉදිරිපත්වීමත් සිදුවිය. රජතුමාගේ මෙම තීරණය රට වැසියාගේද තීරණය විය. රාජ්‍ය අනුග්‍රය ලත් බුදු දහම ටික කාළයකදීම ව්‍යාප්ත වී සිංහල භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් ඇතුලු සිව්වනක් පිරිසද, මගඵල ලාභීන්ද බිහිවීමෙන් රජතුමාගේ තීරණය නිවැරදි බවත් ප්‍රඥාවන්ත දහමක් වූ බුදු දහම ලැබීම රටවැසියාගේ බුද්ධි මහිමයත්, පුණ්‍ය මහිමයත් මොනවට විදහා දක්වයි.

ආගම් අතර බුදුදහමේ ශ‍්‍රේෂ්ඨත්ත්වය පිළිබඳ පවතින සත්‍යය කිසිවිට වසාලිය නොහැක. ජිනීවා නගරයේ පිහිටා ඇති අධ්‍යාත්මය සහ ආගම් ප්‍රවර්ධන සංවිධානය (ICARUS) විසින් 2009 වර්ෂයේදී, බුදු දහම ලෝකයේ හොඳම ආගම ලෙස, එම සංවිධානය විසින් පළකරනු ලබන පුවත්පතේ සදහන් කර ඇත. මේ ස්ථානය හිමිවුයේ අද ලෝකයේ තිබෙන ප්‍රධාන ආගම් 37ක් අතුරින් වන අතර, වෙනත් ආගම් නියෝජනය කළ පිරිස් වලද වැඩි චන්දය බුදුදහම වෙනුවෙන් ලබමිනි.

අපට මෙය කිසිසේත්ම පුදුමයට කරුණක් නම් නොවේ. පුදුමය නම් පරදේශින් නිසා බුදුදහම අත්හැරිය සිංහලයන්ටත්, අවුරුදු 250ක පමණ කාලයක සිට බෞද්ධයන් සමඟම ජීවත්වන වෙනත් ආගම අදහන මෙරට සුලුජාතින්ටත්, මුස්ලිම් ආදී අන්‍යාගමිකයන්ටත් නිදහසේ විමසීමට, සිතීමට මෙරටේ මෙතරම් නිදහස තිබියදීත් බුදුදහමේ වටිනාකම තවමත් නොතේරීමයි.

සිංහල ද්වීපයට සුවිශේෂ තැනක්

බුදු දහම යනු ලොව ඇති තතු නොදැනීම නිසා මතුවන බිය හා සැක මැඩීමට ඇතිකරගන්නා කල්පිත මැවුම්කාර විශ්වාසයක් මත පදනම් වූවක් නොව නිවැරදි දැකීම නිසා ඇතිවන අවබෝධය මත පිළිගත හැකි ලොව ඇති තතු සත්‍ය ලෙස පෙන්වාදෙන, එමගින් ප්‍රඥාව මතුකරදෙන දහමකි. එවන් බුදු දහමින් හික්මණු, ගුණවත් හා නැණවත් වූ ධාර්මික ජාතියක් බවට සිංහලේ පත්වූයේ මහින්දාගමනයත් සමඟය. එපමණක් නොව බුදු දහම සුරක්ෂිතව චිරාත් කාළයක් (වසර පන්දහසක් යයිද කියැවේ) පවතින්නේ අප සිංහල ද්වීපයේ බවද අප දැනගන්නේ මිහිඳු හිමියන් ඇතුලු ගරුතර සංඝරත්නයෙනි. ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා තම ධර්ම ප්‍රචාරයේදී සිංහල ද්වීපයට සුවිශේෂ තැනක් ලබාදුන්නේද ඒසා දීර්ඝ කාලයක් බුදුදහම සුරක්ෂිතව පවත්වාගෙන යන්නේ සිංහලේ වැසියන් බැවිනි.

‘සිංහල දීපය’ උතුම් සංඝරත්නය හමුවේ සම්බුද්ධ ශාසනයට නම වතාවක් පූජාකිරීම

මීලඟට අප ඉතිහාසයේ සුවිශේෂී සිද්ධීන් ලෙස සැලකිය යුතු අවස්ථා කීපයක් ඇත. එම අවස්ථාවන් ගණනින් නවයකි. එහිදී සිදුවුයේ බුදු දහම සුරක්ෂිතව පවතින්නේ මෙම දිවයිනේ බව දන්නා අපේ රජවරු කීපදෙනෙක් ඔවුන්ගේ අල්පේඡ්ඡතාව, නිහතමානී බව, සද්ධාවන්ත බව, ත්‍යාගශීලී බව, සහ ශ්‍රේෂ්ඨ පූජා බුද්ධිය විදහා දක්වමින් වරින් වර නම වතාවක්ම මෙම ‘සිංහල දීපය’ උතුම් සංඝරත්නය හමුවේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමය. ඒ සෑම වාරයකදීම ගරුතර සංඝරත්නය මෙම දිවයින සහිත රාජ්‍යය නැවත නැවතත් රජතුමාට භාර කළේ ශාසනය වෙනුවෙන් ආරක්ෂා කරගෙන පාලනය කරගෙන යාමටය. මෙහි විස්තර වංශ කථා වලත්, ධර්ම ග්‍රන්ථ වලත්, ජනප්‍රවාදයේත් සඳහන්වේ.

සෑම සිංහලයෙක්ම රට, ජාතිය, ආගම පමණක් නොව තමාගේත් අනාගත පැවැත්ම උදෙසා මෙම ඓතිහාසික අවස්ථා කීපය හැදෑරීම යෙහෙකි. සිංහලේ නම්වූ අප දේශයේත්, සිංහල ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් අප සැම දෙනාම මෙම අවස්ථාවන් සියල්ල සමස්ථයක් ලෙස ගෙන තරයේම අවධාරණය කළයුතුය. මීට වඩා ආරක්ෂාවක්, පිහිටක්, සරණක් අපට නැත්තේය.

බුදු සුසුනේ පැවැත්ම වෙනුවෙන් රජතුමා රටේ භාරකාරත්වය දැරීම

මෙම පූජා කිරීම් වලට අනතුරුව සිදුවූයේ බුදු සුසුනේ පැවැත්ම සදහා රජතුමා රටේ අයිතියක් වෙනුවට භාරකාරත්වය දැරීම පමණි. රජතුමා සංඝරත්නයේ අවවාද අනුශාසනා ද අනුව රාජ්‍ය විචාරීම කළේ ය. රජු රට රැක්කේම පාලනය කළේම බුද්ධ ශාසනය වෙනුවෙනි. බුද්ධ ශාසනය රැකීමේ වගකීමත් ඒ සඳහාම රට රැකීමේත්, පාලනය කිරීමේත් අයිතිවාසිකම රජුට ලැබෙන්නෙ මේ ආකාරයෙනි. විටින් විට මෙය නව වතාවක්ම මෙසේ සිදුවීමෙන් ඉතා පිරිසිදු ලෙස, ස්ථිරසාර ලෙසම මෙම සමස්ත දිවයිනම බුදු සසුනට පූජා කළ පුණ්‍ය භුමියක් බවට පත්වන්නේය. අප රටට ධර්ම ද්වීපය” යන විරුදාවලිය ලැබීමටත් ගෞතම බුද්ධ රාජ්‍යය” සහ බුදුන්ගේ දේශය” යනුවෙන් හැඳින්වීමටත් සුදුසු වන්නේ එහෙයිනි.

සිංහලේ රජුට රට රැකීමේ මෙම අයිතිවාසිකම ලොව අපටම විශේෂිත වූවක් බව මෙයින් හඳුනාගත යුතුය. සිංහලේ රජු නැති කළ මෙම භාරකාරත්වයේ අයිතිවාසිකම ලැබෙන්නේ මුලු මහත් සිංහල ජාතියටය. මෙම අයිතිවාසිකමට අභියෝග කිරීමට මිහිපිට කිසිවෙකුටත් නොහැකිය. මේ අනුව මෙරට වාසී සියලුම ජනතාව මෙම ඵෛතිහාසික සත්‍යය නොබියව එකහෙලා පිළිගත යුතුය. ඒ ගැන කතාකළ යුතුය. නොදන්නා කෙනෙකුට පැහැදිලිකරදිය යුතුය.  සිංහල ජාතිය සතු මෙම දිවයිනේ භාරකාරත්වයට විරුද්ධ වන්නකු වේ නම් ඒ පරගැතියෙකු හෝ උන්මත්තකයෙකු විය යුතුය. නැත්නම් ආත්ම ගරුත්වය මුදලකට විකුණුනු ජාති බ්‍රෂ්ටයකු වියහැක.

සිංහලයාට ලැබුණු විශේෂ අභිමානය

සම්බුද්ධ ශාසනය රැකීමට ද ඒ වෙනුවෙන් මේ දිවයිනෙහි භාරකාරත්වය දරමින් එය රැක පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතිවාසිකම, වගකීම සහ යුතුකම දැරීමට ද ලැබීම ජාතියක් වශයෙන් සිංහලයාට විශේෂ අභිමානයක්” ගෙනදෙන්නකි. නුතන ව්‍යවස්ථා සම්පාදනයේදී යොදාගන්නා ජනතා පරමාධිපත්‍ය” අවුරුදු දෙදහසකටත් පෙර ඉතා ගෞරවනීය අන්දමින් සිංහලයාට හිමිවන්නේ ඉහතකී අයිතිවාසිකම සහ වගකීම” මහින්දාගමනට අනතුරුව සිට අපට දරන්නට ලැබීමෙනි.  අද රටත්, සිංහල බෞද්ධයාත් මුහුණපා සිටින කෙනහිලි, ගැටළු, ප්‍රශ්න සහ  අභියෝග සියල්ල ජයගැනීමට අප යොදා ගත යුත්තේ මෙම සත්‍යයයි. අප අවබෝධයෙන් යුක්තවම වහා දරාගත යුත්තේ මෙම  විශේෂ අභිමානයයි.

පරමසත්‍යයට, ප්‍රඥාවට මුල්තැන දෙන ලෝක සත්ත්වයාට උතුම් නිවන සාදා දෙන ශ‍්‍රේෂ්ඨ බුද්ධශාසනය වසර පන්දහසක් කල් සුරැකීමට ඇති අයිතිවාසිකම, වගකීම සහ යුතුකම දැරීමෙන් ලැබුණු මෙම විශේෂ අභිමානය නිසා සිංහලයා අන්තවාදී වීමක් හෝ ජාතිවාදීවීමක් හෝ ආගම්වාදීවීමක් හෝ නොවන බව  බුද්ධියෙන් විමසා දතහැක.

ජාතියේ මුරදේවතාවූන් වන ගරුතර සංඝරත්නයේ කාර්ය භාරය

අපේ අභිමානය මෙසේ අවුරුදු 180 ටත් වඩා ගතවී සොයා ගනිද්දී සිංහල බෞද්ධයාගේ අභිමානය දන්නා නමුත් ඉතා නිහඬව, නිහතමානීව එදා මෙන්ම අදත් වගකීමෙන් දරාගෙන තම යුතුකම, වගකීම ඉටු කරමින් ඒ සඳහා සිංහල බෞද්ධයා පොළඹවන ඉතා ශ‍්‍රේෂ්ඨ පිරිසක් මෙම සිංහලේ වැඩ වාසය කරති. අවසර, ඒ අපේ ගරුතර සංඝරත්නයයි.

නම වතාවක්ම බුදුසසුනට පූජා කළ සිංහල දිවීපයේ අයිතිය සසුන වෙනුවෙන් ගරුතර සංඝරත්නය දැරිය යුතු වුවද එදා පිට පිට නව වතාවක්ම නැවත නැවතත් සිංහලේ රජු වෙත රැක පාලනය කිරීමට භාර කළ උන්වහන්සේලා කිසි විටකත් තම යුතුකම හා වගකීම ඉටුකරනු මිස අයිතිවාසිකමක් ගැන කථා නොකළහ. ඒ පිළිබඳ අදටත් කථා නොකරති. තම ජාතිය සතු අභිමානයක් හෝ වැදගත්කමක් ගැන නොදන්නා ජනතාවකට මෙම අයිතිවාසිකම ගැන කෙලින් කථා කළා නම් අප ඊනියා සිංහල බෞද්ධ පිරිස උන්වහන්සේලා උන්මත්තකයින් පිරිසක් යයි හංවඩු ගසනු නොඅනුමානය. කෙසේ වුවද සම්බුදු සසුන වෙනුවෙන් මෙම අයිතිවාසිකම අදටත් දරණුයේ උන්වහන්සේලාමය. මෙම ලිපියේ ඉහත කළ විස්තරය අනුව එය ඉතා පැහැදිලිය යයි සිතමි.

බුදු සසුනට පිදූ මේ පින් බිම විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වූ හැම විටකමත්, රට අරාජික වූ හැම විටකමත් සුදුස්සන් ඉදිරිපත් කොට, උනන්දු කොට නැවත මුදාගෙන රට භාරදී ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තේද නිරතුරු අනුශාසනා කළේද අප ගරුතර සංඝරත්නයයි. උන්වහන්සේගේ මේ කැප කිරීම ඉතිහාසය තුලින්ද වර්තමාන භික්ෂුවගේ අභීත ක්‍රියාකාරිත්වය තුලින්ද විදහා දක්වා ඇත්තාහ. උන්වහන්සේලා අප ජාතියේ මුර දේවතාවන් වහන්සේලා වන්නේ එහෙයිනි.

මෑත අතීතයේදී අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්, පූජ්‍ය සෝම හිමියන් ආදී අපවත්වූ හිමිවරු රට, ජාතිය සහ ආගම වෙනුවෙන් කළ සේවාව සහ නිකුත්කළ ප්‍රකාශන බෙහෙවින් උදාරය.

ජාතික සංඝ සම්මේලනය සංවිධානයකර 2003 මාර්තු 22 දින විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වූ මහා සංඝ සමුලුවේ දී එහි සභාපති ධුරන්දර පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පැවසුවේ නම වාරයක් බුදු රජුන්ට පූජා කළ රට ආරක්ෂා කිරීම සඳහා සංඝරත්නය පෙරමුණ ගත යුතුය යන්නය.” මෙහිදී ජාතික සංඝ සම්මේලනය ඉදිරිපත්කල බෞද්ධ රාජ්‍යයක් උදෙසා වන සංඝ ආඥාවද එහි අඩංගු යෝජනා හතද ඉදිරියේදී එලි දක්වන නව ව්‍යවස්ථාවට ඇතුලු කිරීමට අප ජාතික සංඝ සම්මේලනය කටයුතු කරණු ඇතැයි සිතමු.

එසේම 2016 ජුනි 23 දා ‘යුතුකම සංවාද කවය’ විසින් කොළඔ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ‘පෙඩරල් සංහිඳියාව’ නම්වූ සම්මන්ත්‍රණයේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංහ හිමියන් වැදගත් ප්‍රකාශයක් කළෝය. එනම්, රටේ අයිතිකාරයන් වශයෙන් සිටිය යුතු හාමුදුරුවරු අද බෝඩින්කාරයෝ වෙලා” යනුවෙනි. එහිදීත් උන්වහන්සේ ඉතා නිහතමානීව තමන් රටේ අයිතිකාරයින් වන්නේ කෙසේද යන්න ප්‍රකාශ නොකිරීමට ප්‍රවේසම් වූහ. නමුත් අප බුද්ධිමත් නම් සිංහල බෞද්ධයන් වශයෙන් උන්වහන්සේගේ ප්‍රකාශය තේරුම් ගැනීමට පොහොසත් විය යුතුය. එය එසේ වූවා ද?

පසුගිය සැප්තැම්බර් මස මහනුවරදී පැවති අනගාරික ධර්මපාල තුමාගේ ගුණසමරුවකදී අග්ග මහා පණ්ඩිත පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියන් පැවසුවේ සිංහල ජාතිය අවදි නොවුනහොත් විසදිය නොහැකි බරපතල අර්බුදයක් ඉදිරියේදී මතුවිය හැකි බවය”.  පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පසුගියදා දිවයින පුවත්පතට ලිපියක් ලියමින් සිංහලයිනි සමගි වව්,
ජාතික සමගියට පදනම දමව්” යනුවෙන් විශේෂයෙන්ම පක්ෂ භේදයෙන් බෙදුණු සිංහලයාගේ   සමගියට වැදගත් උපදෙස් පළකළහ.

පූජ්‍ය කැටවල හේමාලෝක හිමියෝ බුදුසසුන රැකීමට නම් සිංහල ජාතිය රැකගත යුතුයයි ද, ඒ සදහා වැඩි වැඩියෙන් දරුවන් හැදියයුතුය” යයිද මෑතදී දේශනාකළහ. එසේම වරින් වර ජාතියට පණ පොවන්නට උත්සාහවන අනෙකුත් සියලුම හිමිවරුන්ට ද ජාතියේ ප්‍රණාමය පිදේ.

මෙසේ වරින් වර සිංහලයා සතු වගකීම, යුතුකම සහ අයිතිවාසිකම සිහිකර දෙන ගරුතර සංඝරත්නය, බොදුබල සේනාව, සිහල රාවය, රාවණා බලය, යුතුකම සංවාද කවය, සිංහලේ ජාතික සංවිධානය ආදී වූ මෙහි නම් සදහන් කළ සහ නොකළ විවිධ සංවිධාන හරහා පෙරමුණ ගනිමින්, ලිපි ලේඛන, මාධ්‍ය රැස්වීම්, සාකච්චා, සම්මන්ත්‍රණ ජනරැලි, විරෝධතා ව්‍යාපාර පමණක් නොව අන්තර්ජාල හා සමාජ වෙබ් අඩවි වැනි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ  තම කැප කිරීම මනාව ඉටුකරණ විටදී එය තේරුම්ගෙන අගය කරනු, අනුමත කරනු මිස උන්වහන්සේලා පිටුපස සිටින්නේ කවුදෑයි පටු දේශපාලන දෘෂ්ටියෙන් විපරම් කිරීම අභිමානවත් සිංහලයෙකුට කිසිසේත්ම නොවටී. අද ජාතිය පත්ව සිටින බරපතල තත්ත්වය හෝ ජාතියේ අභිමානය ගැන   හෝ නොදන්නාවුත් නැතහොත් නොසලකන්නාවුත් අප සමහර බෞද්ධයන් අපට විනකරන සුලුජනවාර්ගික පිරිස්වල පැත්තම ගනිමින් ගරු ස්වාමීන්වහන්සේලාගේ වාග් විලාශයත්, සමහරවිට ශිලයත් විවේචනය කරමින් උන්වහන්සේලාගේ කැපවීම අවතක්සේරු කිරීමත්, තම වගකීමෙන් මඟහැරීමත් යොදාගැනීම කනගාටුවට කරුණකි. තමා අකමැති පණිවිඩය ගෙන ආ පමණින් පණිවිඩකරුවා මැරිය නොයුතුය” යයි කියමනක් ඇත. (Do not kill the messenger)

අප විසින් සොයාබැලිය යුත්තේ උන්වහන්සේලා පෙරටු කරගෙන සිටින උතුම් අභිමතාර්ථයන් දෙසය. එසේම උන්වහන්සේලාගේ අනුශාසනා ඔස්සේ ක්‍රියාත්මක වියයුත්තේ සසුන රැකීමේ වගකීම දරණ සිංහල බෞද්ධ ජනතාව වන ගිහි අපය.

මෙහිදී ගරුතර සංඝයාවහන්සේලාගේ කාර්ය භාරය වන්නේ තමන්වහන්සේලා සතු සිංහලේ අයිතිය පැහැදිළි කර ගැනීම ද, උන්වහන්සේලා වෙනුවෙන් රටේ භාරකාරිත්වය දරමින් රට රැක පාලනය කිරීමේ අයිතිය සහ වගකීම සිංහල ජාතිය සතු බව ජනතාවට පැහැදිළිකර දීම ද, සිංහල ජාතිය වෙනුවෙන් රට භාරගෙන රැක පාලනය කරන පාලකයින් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එය හරි හැටි කරගෙනයාමට අවශ්‍ය අවවාද අනුශාසනා කිරීම ද වේ. සිංහල ජාතියට අද අපේ සංඝයාවහන්සේලාගෙන් මෙම ජාතික මෙහෙවර අවශ්‍යම වෙලාවයි.

සිංහලේ වසන දෙමළ ආදී ජනවර්ගයන් ගේ සහ මුස්ලිම් ආදී අන්‍ය ආගමිකයන් ගේ භූමිකාව

මෙතෙක් අප කථා කළේ සිංහලයාත්, සිංහලයාගේ වගකීම, යුතුකම, අයිතිවාසිකම සහ  අභිමානය පිළිබඳවය. සිංහලයා සමග සහජීවනයෙන් ජීවත් විය යුතු දෙමළ ආදී ජනවර්ගයන් සහ මුස්ලිම් ආදී අන්‍ය ආගමිකයන් ගේ භූමිකාව ද අප අමතක කළ යුතු නොවේ. එමගින් සිංහලයා සතු මේ දිවයිනට ඇති භාරකාරත්වයට අභියෝග කරන ඔවුන්ගේ ඊනියා අභිලාෂයන්, ඉල්ලීම්, ද්වේශ සහගත ප්‍රකාශ, බලපෑම් සහ කෙනෙහිලි කොතරම් සාධාරණ ද, අසාධාරණ ද යන්නත්, අපේ අයිතිවාසිකම් වලට සහ අභිමානයට කොතරම් අනුකූලද නැත්නම් පටහැනිද කියා තේරුම් ගත හැකිය.

සිංහලේ වෙත නොයෙකුත් වකවානු වල පැමිණ අප රට මහා සංස්කෘතියට අනුගතව ජීවත් වන විදේශික ජාතීන් හෝ ජනවර්ගයන් අපි ආදරයෙන් අගය කළ යුතු වෙමු. එපමණක් නොව ඔවුන්ගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ වී සිංහලේ අභිමානය දැරීමද අපට මහත් ධෛර්යයකි, ශක්තියකි. මෙහිදී අපට ටිබෙට් ජාතික පූජ්‍ය එස්. මහින්ද හිමියන් සිහිවේ. මෑත කාලීන පිරිස් අතර මහාචාර්ය නලින් ද සිල්වා මහතාණන් ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙමු.

අනිත් අතට සිංහලේ වෙත සේන්දුවී සිංහලේ මහ ජාතිය ගොඩ නැගූ සංස්කෘතියට අනුගත නොවී එහෙත් ඊට හානියක් හෝ බලපෑමක් නොවනලෙස තම භාෂාව, ආගම හා සංස්කෘතිය පවත්වාගෙන යන්නෙකුට ද කිසිදු අවහිරයක් සිංහලයාගෙන් සිදුවී නැත. එම පිරිස් විසින් මෙම දිවයිනට අදාල ඵෙතිහාසික පසුබිම දැන සිංහලේ අභිමානයට අවනතව ජීවත් වීමට නිදහස තිබේ. මෙවැනි නිදහසක් නොදියුණු යුගයකැයි සමහරු සිතන අතීතයේ සිට අප සිංහලයන් විසින් ඔවුන්ට දී තිබුන ද, දියුණු යයි කියන අද දින බොහෝ රටවල එවැනි නිදහසක් නැත. ඒ බව ඉස්ලාම් වාදී මැද පෙරදිග හා සමහර ආසියාතික රටවල මෙන්ම බටහිර ක්‍රිස්තියානි හා කතෝලික රටවලද තත්වය පරීක්ෂා කිරීමෙන් වටහා ගත යුතුය.

අප සහෝදර දෙමළ සහ මුස්ලිම් දෙපිරිස

ඈත අතීතයේ අප රටට පැමිණි ආක්‍රමණික ඉන්දියානුවන් ද මෑත අතීතයේ ඕලන්ද කාරයන්ගේ දුම්කොල වගාවට ගෙන ආ වෙල්ලාලයන් ද පසුව පාරවල් තැනීම ආදී කුලී වැඩට සුද්දා ගෙන ආ ඉන්දියානුවන් ද පසුව කල්ලතෝනි ද වශයෙන් පැමිණ සිංහලේ පදිංචිව සිටින දෙමළ කථා කරණ ජනවාර්ගිකයන් ගෙන් සුලු පිරිසක් හැර බහුතරය නියෝජනය කරණ දේශපාලකයින් එදා සුද්දාගෙන් 50% ට 50% ඉල්ලූ දා සිට අද දක්වාම සිටින්නේ දෙමළ ඊළමක් මේ සිංහලයෙන් වෙන්කර ගැනීමටය. එපමණක් නොව සුද්දාගේ වතුවල කම්කරු සේවයට ගෙන්වාගත් පිරිසෙන් නැවතුණු ඉන්දියානු දෙමළ යයි හඳුන්වන ජනවර්ගයද රටේ මධ්‍ය ප්‍රදේශයෙන් මලයනාඩුවක් වෙන්කර ගැනීමක් පිළිබඳව රාවයක් කලක සිට පවතී. මෙසේ අපේ දෙමළ සහෝදර පිරිස ක්‍රියාකරන්නේ ජාතිවාදීන් ලෙසය. ලොව කිසිම රටක් තම රටට පැමිණ පදිංචි වූ දමිළයන් පිරිසකගේ ඕනෑ එපා කමකට තම රටෙන් කොටසක් දෙමළ නිජ බිමක්” මෙසේ වෙන්කර දෙන්නට ඉදිරිපත් වන්නේද?

වෙළෙන්දන් ලෙස පැමිණ සිංහල ද්වීපයේ මුහුදුබඩ පදිංචිව සිටිමින් කුලු බඩු වෙළෙදාම කළ මුස්ලිමුන් විනාශකර ඔවුන් සතු එම වෙළෙදාම අත්කර ගන්නට සටන් කළේ පෘතුගීසීන්ය. පෘතුගීසීන් විසින් දිගට හරහට මුස්ලිමුන් මැරීමට පටන් ගන්නා ලදී. මෙහිදී පීඩාවට පත් මුස්ලිමුන් කන්ද උඩරට රජ කළ සෙනරත් රජුගේ ආරක්ෂාව පැතූහ. ඔවුන් කෙරෙහි අනුකම්පා කළ සෙනරත් රජු මොවුන්ට නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි වීමට අවසර දුන්නේ පරම්පරා දෙක තුනකින් බෞද්ධ වී සිංහලේ ජන ජීවිතයට අනුගත විය යුතුය” යන නියෝගය ද සමගය.

අද සිටින දේශපාලකයන් මෙන්ම එදා සෙනරත් රජතුමා ද නොදැන සිටි වැදගත් දෙයක් ඇත. එනම් මුස්ලිමුන් ඔවුන් අදහන කුරාණයට අනුව ලෙහෙසියෙන් වෙනත් සංස්කෘතියකට හෝ ආගමකට අනුගත නොවන පිරිසක් බවයි. රජුගේ අනුකම්පාව ලබා සිංහල බෞද්ධයා තුල තිබෙන කරුණාව, දයාව සහ සහජීවනය යටතේ පදංචි වූ මුසල්මානයා රජුගේ නියෝගය පිළිපැද්දේ නැති බවත් එදා සෙනරත් රජුට වූයේ බොරු පොරොන්දුවක් බවත් අද ඔවුන් කරණ ඉල්ලීම් වලින්ම පැහැදිළිය. ඔවුන් නැගෙනහිර ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන විනාශකරමින් මුස්ලිම් රටක්, පළාතක්, පරිපාලන දිස්ත්‍රික්කයක් ආදී වශයෙන් කරණ ආක්‍රමණශිලි ඉල්ලීම් වලට අනුව මුස්ලිම් නිජ බිමක්” ලෙස කොටසක් බුද්ධසාසනයට පිදූ මේ පින් බිමෙන් වෙන්කර දිය හැකිද? සවුදි අරාබියෙන් අපට පංසලක් හදා ගැනීමට පොඩි ඉඩමක් හෝ අවසරයක් හෝ තබා එවැන්නක් ගැන කථා කිරීමටවත් නිදහසක් තිබේද? ඔවුන් ක්‍රියාකරන්නේ නියම ආගම් වාදීන් ලෙසය.

අප සහෝදර දෙමළ සහ මුස්ලිම් දෙපිරිසම තමන්ට අයිති නැති පංගු ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ පදනම් විරහිත මිත්‍යා ඉතිහාස, මිත්‍යා වංශ, ප්‍රකාශන සහ සම්මුති වලින් කිසිදා අභියෝග කළ නොහැකි ඉතිහාසයක් ඇති, රජවරු පස්දෙනෙකු විසින් නම වාරයක්ම බුදු සසුනට පූජාකළ සිංහලයාගේ නිජ බිම” වූ මේ පුණ්‍ය භූමියෙනි. එබැවින් සිංහලයන් භාරකාරත්වය දරණ මේ දිවයිනේ අයිතිවාසිකමක් දෙමළ සහ මුස්ලිම් දෙපිරිසට නොලැබේ. සිංහල බෞද්ධයන්ගේ අභිමානය මෙන්ම අයිතිවාසිකම ද පිළිගෙන ඔවුන්ගේ අනුග්‍රහයට හා කරුණාවට පාත්‍රව සහජීවනයෙන් මේ දිවයිනේ වාසය කිරීමට හැකියාවක් ඔවුන්ට ඇති බව වසර 200 ට වැඩි මෑත ඉතිහාසය තුලින් ඔවුන් ඉගෙන ගත යුතුව තිබුණි. නැතහොත් ඔවුන්ට මේ ඉතිහාසය ඉගැන්විය යුතුව ඇත.

ඒ සදහා අද අප සමග එකට ජීවත්වන දෙමළ ජනවර්ගයද මුස්ලිම් ආගමිකයන්ද කළ කී දේ තව දුරටත් ඉතිහාසය සහ වර්තමානය තුලින් විමසා හඳුනාගෙන ඔවුන්ගේ ජාතිවාදී සහ ආගම්වාදී ඉල්ලීම්, ප්‍රකාශන සහ හැසිරීම් සිංහලයාගේ අයිතියට පටහැණිවනබව සහ අසාධාරණබව පැහැදිලිව අප විසින් ඔවුන්ට ඉදිරිපත්කල යුතුය. එපමණක් නොව කාටත් ඉතා පැහැදිළිව පෙනෙන ලෙසට අභිමානයකින් තොරව ක්‍රියාකරන පාලකයින් ගෙනයන වර්තමාන රජයට ද මෙම පැහැදිළි කිරීම අදාලය. සිංහලයාගේ ඉතිහාසය හරිහැටි මතක්කර ගැනීම  රටේ සියලුම පාලකයින්ගේ පැවැත්මට ද අදාලය. අද රජය විසින් සිංහලයා වෙත පමණක් පටවන්නට යන සංහිඳියාව සහජීවනය සහ වෙනුවෙන් තම කැපකිරීම හෝ නිශ්ශබ්දවීම කළ යුත්තේ කවුද යන්න හඳුනා ගැනීමටද එය ඉතා උපකාරී වේ.

මහාචාර්ය නලින් ද සිල්වා මහතාණන් හැමදාම අහන ප්‍රශ්නය නම් දෙමළ මිනිසාට දෙමළ වීම නිසා ඇතිවූ ප්‍රශ්නය හෝ අසාධාරණය කුමක් ද?” යන්නය. එස්. එල්. ගුණසේකර මහතා වරක් පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නයම ඇසූ විට ලැබුණා කියන එකම පිලිතුර දුන්නා කියන්නේ කුමාර් පොන්නම්බලම් මහතාය. ඔහු පෙන්වා දී ඇත්තේ රජයේ එක්තරා ආදායම් බදු පෝර්මයක් දෙමළ භාෂාවෙන් මුද්‍රණය කර නොතිබීම මෙම ප්‍රශ්නය සහ අසාධාරණ බවය. ත්‍රස්තවාදයකින් විසඳා ගත යුතු ප්‍රශ්ණයක් තිබුනේම නැති බව නොපෙනේද? එහෙත් නැති ප්‍රශ්නක් නිසා සිංහල තරුණ හමුදා භටයන් දස දහස් ගණනකගේ ජීවිත පුදමින්, ඊටත් වඩා ගණනක් සදාකාලික ආබාධිතයන් කරමින් ඊළාම් ත්‍රස්තවාදීන් ගෙන් මෙම පින් බිම බේරාගන්නට අපට සිදුවීය.

අප සිංහලේ ජාතික අභිමානය දැන්වත් හරිහැටි හඳුනා, දරාගෙන නොපමාව කටයුතු කලොත් ඉදිරියේදී ඊළාම් යුද්ධය වැනි අනවශ්‍ය ප්‍රශ්න නිසා ඇතිවියහැකි තවත් යුද්ධයකදී දිවිදෙන සිංහලේ තරුණයන් දස දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට අපට හැකි වෙනවා ඇත.

සම්බුද්ධ සාසනය රැකීමට ඇති සිංහල අපේ වගකීම ඉටුනොවුවහොත් ප්‍රතිඵලය භයානකය

අපේ අභිමානය දරාගෙන සම්බුද්ධ සාසනය රැකීමට ඇති අපේ වගකීම මෙම අන්තිම මොහොතේ හෝ ඉටුනොවුවහොත් ප්‍රතිඵලය භයානකය. එවිට වන්නේ පෙර අපේ රජ දරුවන් විසින් සම්බුදු සසුනට පිදූ, අති උතුම් පූජනීය වස්තූන් දරණ සහ අති පූජනීය ස්ථාන පිහිටි මේ පුණ්‍ය භූමිය අනාථ කර ලෝකයට ණය කිරීමේ පාප කර්මයට සමස්ථ සිංහල ජාතියම දායක වීමය. මෙය බරපතල පාප කර්මයකි. පාලක දේශපාලකයන් ද ඔවුන් පත්කරගන්නට තම ඡන්ද බලය ලබා දුන්නාවූ ඡන්ද දායකයා ද ධර්ම ද්වීපය” නම්වු උත්තම පුණ්‍ය භූමියක ඉපිද කරන්නට හැකි ඉහලම පාප කර්මය තමා කරගත්තා වනු ඇත. මෙම කරුණ දේශපාලකයන් මෙන්ම ඡන්ද දායකයා ද තේරුම් ගැනීම මෙහිදී ඉතා වැදගත්ය. එවිට තම වරද වහා නිවැරදි කර ගැණිමට හැකිය. නැතහොත් මෙම ධර්ම ද්වීපයට තමා කළ අපරාධය මැරෙන මොහොතේ හෝ සිහිවී විපාක වශයෙන් භයානක අපා දුක් කල්ප ගණනක් ලබා දීමට නියමිතය.‍

බෙදුම්වාදී ත්‍රස්තවාදීන් හා තිස් වසරක් තිස්සේ කළ සටන දිනා ගැනීමේදී අප ජාතිය සතු අභිමානය දැන හෝ නොදැන ඊට නායකත්වය දුන් රාජ්‍ය පාලකයන් ද, ඒ සඳහා ඔවුන් උනන්දු කළ, බලපෑම් කළ සංඝරත්නය හා ජාති හිතෛෂී පිරිස් හා සංවිධාන ද සටන් කළ අභීත ත්‍රිවිධ හමුදා නිලධාරි හා භටපිරිස් ද ඉටු කළේ සැබවින්ම අප ජාතියේ වගකීම, යුතුකම ඉටු කිරීමය. එනම් අප අයිතිවාසිකම රැකීමය. ඒ වෙනුවෙන් රට ආරක්ෂාකර  ගැනීමය. අප දැරිය යුතු අභිමානය හරිහැටි හඳුනා දරාගතහොත් එවැනි යුද්ධමය තත්ත්වයක් නැවත ඇති නොවන ලෙස පරිසරය සකස්කර කරගත හැක.

තම අයිතිය, වගකීම වෙනුවෙන් අද අභිමානයෙන් නැගී සිටිය යුත්තේ සිංහල බෞද්ධයාය.

ඉහත සාකච්ඡා  කළ කරුණු කෙටිකොට දැක්වුවහොත් අද අප ජාතියක් වශයෙන් මුහුණපා  සිටින ප්‍රශ්න රාශියකට සාර්ථක පිළිතුරු සේවීමේදී  කළයුතු මුලික කටයුත්ත නම් සිංහලයාට හිමි අභිමානය සහ එහි ඓතිහාසික පසුබිම තේරුම් කර දී නැවත එම අභිමානය ලබාදීම බව පෙන්වාදිය හැක.

අභිමානවත් සිංහලයා බුද්ධිමත්ව, වගකීමෙන් යුක්තව ක්‍රියා කළ යුත්තේය. දැනට මේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය අනුව යමින් සිංහලයා තමන් සතු රට රැකීමේ, පාලනය කිරීමේ අයිතිය හා වගකීම සුදුසු පාලකයෙකුටම පැවරිය යුත්තේ තම ඡන්ද බලය යොදාගනිමින් රජයක් තෝරා ගැනීමෙනි. එසේ තෝරා ගන්නා රජයේ ප්‍රධානියා මෙන්ම අනෙකුත් නායකයින්ද ජාතියේ අභිමානය දරමින් රට රැකීමටත්, පාලනය කිරීමටත් සමත් උගත්, බුද්ධිමත්, චරිතවත්, අභීත, අවංක සත්පුරුෂ බෞද්ධ නායකයින්ම විය යුතුය. මෙම තෝරාගැනීම කල හැක්කේ සිංහලයා ජාතියක් වශයෙන් එකට එක්වී මිස දැනට පවතින සිංහලයා භේදකරන පක්ෂ දේශපාලනයකින් තොරවය.

එසේම සම්බුද්ධ ශාසනය රැකීමට ද ඒ වෙනුවෙන් මේ දිවයිනෙහි භාරකාරත්වය දරමින් එය රැක පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතිවාසිකම, වගකීම සහ යුතුකම අවුරුදු 2,000 කටත් පෙර සිට දරන්නේ සිංහල බෞද්ධයා බව අප සියලුම රට වාසීන්ටත්, සිංහලේ ගැන උනන්දුවන විදෙශිකයින්ටත් අවධාරණය කිරීමට ද  නොපමාව කළයුතු ඊළඟ කටයුත්තයි.

සිංහලයාගේ ඉවසීම නිවටකමක් ලෙස සලකමින් නැති ප්‍රශ්නවලට පිළිතුරු ඉල්ලන ජාතිවාදී සහ ආගම්වාදී සුලු ජනවාර්ගික පිරිස් වලට ද දිය යුතු එකම පිළිතුර ද සිංහලයාට හිමි අයිතිවාසිකම, වගකීම සහ අභිමානය ගැන මනාව තේරුම් කර දීමමය.

මෙම වැඩපිළිවෙල හරිහැටි ඉටුවුවහොත් මෙම සිංහල ද්වීපය නිදහස්, නිවහල් සහ සාමකාමී රටක් බවට පත්කරගෙන සිංහලයාට හිමි අයිතිවාසිකම සහ වගකීම ඉටුකරගෙන නිවී සැනසිල්ලේ දහමේ දැක්වෙන පරිදි විමුක්ති මාර්ගය සාදාගන්නටත් අනෙකුත් ලෝක වාසීන්ට එම මාර්ගය පහදා දෙන්නටත් අපට මෙන්ම අපේ දරුමුනුපුරන්ටත් හැකිවනු ඇත. මිනිසෙකු ව ඉපදීමේ වාසනාවෙන් ගතහැකි උතුම් ඵලය එය නොවේද?

සම්බුදුසසුන රැකගැණිමට අවශ්‍ය පරිසරය සකස්කර ගැණිම ඇත්තෙන්ම අපට කිසිසේත් කළ නොහැක්කක් නොවේ. බුද්ධශාසනය අවුරුදු පන්දහසක් කල් පවත්නේ උතුම් පූජා වස්තූන් දරන පුණ්‍ය භූමියක්‌වූ මෙම සිංහල ද්වීපයේ බවට බුදුරජානන්වහන්සේගේ ප්‍රාර්ථනාවත්, දේශනාවත්, ඒ සඳහා තුන්වරක් වූ උන්වහන්සේගේ මෙහි වැඩමවීමත් අනුව පෙනෙන්නේ කොපමණ බාධක ආවත් සිංහල බෞද්ධ අපට මෙය ඒකාන්තයෙන්ම කළ හැක්කක් බවයි. නමුත් එය ප්‍රාතිහාර්යකින් ඉටුවන්නේ නැත. ඒ සදහා අපේ වහ වහා ක්‍රියාත්මක වීමයි අවශ්‍යව ඇත්තේ.

මේ සියල්ල සඳහා අපට ඇති වටිනා කාළය වහ වහා ගෙවී යන බව මතක් කරමි. අද සිංහල ද්වීපයට ඇති තම අයිතිය පමණක් නොව සම්බුදුසසුන රැකගැණිමට ඇති වගකීම වෙනුවෙන් අභිමානයෙන් යුතුව නැගී සිටිය යුත්තේ තවමත් නිදා සිටින සිංහල බෞද්ධයාය.

ඔබ සැමට මේ සියල්ල සදහා සියලු ධෛර්යයත්, තෙරුවනේ ආශිර්වාදයත් ලැබේවා.

 

සුදර්ශන රම්බන්ඩාර

ගරු ලේකම්

2016 නොවැම්බර් 05 දින

සිංහලේ

බෞද්ධ ඡන්ද පදනම

(මෙම ලිපියට ඔබේ අදහස් එවන්න – Email: [email protected] )

 

 

 

9 Responses to “ඇහැළේපොල අදිකාරම් තුමා සෙවූ සිංහලේ අ‍‌‌භිමානය සොයාගත් වගයි”

  1. Christie Says:

    මුරුසියේ ප්‍රන්ස ජාතික සුද්දගෙන් පැවතෙන අය අද අපටත් වඩා ඉතාම දුක් ජීවිතයක් ගතකරති. අද මුරිසිය ඉන්දියාවේ කොටසකි. අපටත් එයම වෙමින් පවතියි.

  2. aloy Says:

    I think the writer is correct. That is what happened on 28th November 2016 at Diyawanna. When the correct incorruptible man is in charge no one can stop it; all have to fall in line. I hope the momentum will continue.

  3. Kosala777 Says:

    ඇහැළේපොල රාජද්රෝහියාව වීරයෙක් කරන්න හදන්න එපා. සිංහලේ රජාව හිරබාරයට අරං, සුද්දට මේ රට බන්දේසියක තියලා භාර කලේ (1815) ඔය ඇහලපොලයි.

  4. aloy Says:

    When you are at odds you tend to do things strategically. Sometimes it fails. Just like the case in 1815. But it was better to be under that unknown quantity rather than ending up a colony of South Endians (eg. Fiji, Madagascar ect). I think what happened in the case of 19th amendment is similar; everyone fell in line. It is perhaps the work of a strategist, a simple gamarala, you call him Aiyo Sirisena.

  5. S.Gonsal Says:

    අභිමානවත් සිංහලයා බුද්ධිමත්ව, වගකීමෙන් යුක්තව ක්‍රියා කළ යුත්තේය. දැනට මේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය අනුව යමින් සිංහලයා තමන් සතු රට රැකීමේ, පාලනය කිරීමේ අයිතිය හා වගකීම සුදුසු පාලකයෙකුටම පැවරිය යුත්තේ තම ඡන්ද බලය යොදාගනිමින් රජයක් තෝරා ගැනීමෙනි. එසේ තෝරා ගන්නා රජයේ ප්‍රධානියා මෙන්ම අනෙකුත් නායකයින්ද ජාතියේ අභිමානය දරමින් රට රැකීමටත්, පාලනය කිරීමටත් සමත් උගත්, බුද්ධිමත්, චරිතවත්, අභීත, අවංක සත්පුරුෂ බෞද්ධ නායකයින්ම විය යුතුය. මෙම තෝරාගැනීම කල හැක්කේ සිංහලයා ජාතියක් වශයෙන් එකට එක්වී මිස දැනට පවතින සිංහලයා භේදකරන පක්ෂ දේශපාලනයකින් තොරවය.

    100% approve with tears in my eyes.

    ඇහැළේපොල රාජද්රෝහියා is a real hero, as he saved Sinhalaya from the jaws of Vaduga Raja Tamil LTTE murderous killer who asked the mother to kill a liitle baby by grinding in the Wangediya.

    Those who consider him as a Sinhala Buddhist King are Indian Colonial Parasites, borrowing Kithsiri’s famous term.
    It is better to be under Aiyo Sirisena aka Maru Sira until we see that උගත්, බුද්ධිමත්, චරිතවත්, අභීත, අවංක සත්පුරුෂ බෞද්ධ leader !

  6. Lorenzo Says:

    After reading facts in detail I AGREE the BRITS were a lesser evil than the drunkard and murderous ANDRA PRADESH KING + BRITISH.

    It was a matter of time KANDYAN KINGDOM fell to the British because the king was an INTOXICATED MURDERER WHO WAS NOT EVEN A SINGHALESE OR A BUDDHIST.

    Treason by Alepolla was the LEAST DAMAGING given the bad situation. THINK what would have happened otherwise.

    The BRITS would have OVERRUN the kingdom and we will surrender anyway. BUT ON FAR UNFAVOURABLE TERMS!

    That was avoided by the planned surrender. A king CANNOT go killing women and children, getting drunk all the time and NOT practice Buddhism. This is SL not Endia or Saudi.

    Tell me which great SL king did those things???? No one. Even ELLALAN was better.

  7. Kosala777 Says:

    ශ්‍රී වික්‍රම රාජසිංහව රජ කලේ සිංහලයෝම නේද, ඒ මනුස්සයෝ නියම සිංහල බෞද්ධයෙක් ලෙස රජකම් කළා. මාලිගාවේ පත්තිරිප්පුව පවා තැනුවා. ස්ත්‍රීන්, ළමුන් මැරීම පුරාන රජ කාලේ සැම රජෙක්ම කල දෙයක් (හොඳයි කියනවා නෙවයි). ශ්‍රී වික්‍රම රාජසිංහව අල්ලලා දීලා සුද්දට රට භාර දීම හොඳයි කියන මිනිස්සුන්ගේ මොළ පරික්ෂා කරන්න වෙනවා. ඇත්තෙන්ම මේ අය දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝද? අවුරුදු 150ක් පර සුද්දා අපට කල විනාශය අප තවම අත් විඳිනවා – කළු සුද්දෝ බිහිකිරීම ඉන් එකක්.

  8. Lorenzo Says:

    Kosala,

    He was APPOINTED king after a DISPUTE between 2 sets of ministers. Not by the people or the Sangha or by the complete consensus of the ministers.

    Tell me one other accepted SL king that killed women and children of SINGHELA people?

    In drawings he look more like a South Endian Hindu than a SINGHELA king. IF he continued we would definitely have surrendered to the Brits as he was killing own people and weakening the WARRIORS. Imagine MR killing SF’s family during the war???

  9. Kosala777 Says:

    ‘වෙන්න තිබුනා’ කියන තර්ක පිළිගන්න බැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහ හිටියත් සුද්දා රට අල්ලනවා කියන කතාව පුස්සක්. අවුරුදු 350ක් පමණ යුරෝපියන් අපේ රට අල්ලන්න හැම ධය්ර්යයක්ම දැම්මා. හැමදාම පැරදුනා. ශ්‍රී වික්‍රම රාජසිංහ වරක් තමන්ගේ මාය්මෙන් පිටතට පවා ඇවිත් එලව එලවා පර සුද්දට ගැහුවා. හන්වැල්ලේ කඳවුරු බැඳන් පහුවදා කොළඹට ගිහින් ගහාන් යන ගමන නවත්තුවෙත් ඔය ඇහලපොල දුෂ්ටයාට සම්බන්ධ රදලයෙක් නිසා. බලන සටන මෙහෙයවන්න බ්‍රවුන්රිග් ගෙනාවේ නැපෝලියන්ව පරාජය කල භට සේනාව. ශ්‍රී වික්‍රම රාජසිංහ දුවන්න ගැහුවේ ඔවුන්ට.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress