සෙංකොට්ටං – ග්‍රාමීය රෝහලකදී
Posted on November 12th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

මිනිපේ ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිටියදී විවිධ අත්දැකීම් මම ලැබුවෙමි. මෙම රෝහලේ පිරිමි සහ ගැහැණු ලෙස නේවාසික වාට්ටු දෙකක් තිබූ අතර අතිරේක මාතෘ වාට්ටුවක් ද විය. එම නිසා දළ වශයෙන් රෝගීන් 20 – 30 අතර ප්‍රමාණයක් මෙකී රෝහලේ දෛනිකව නේවාසිකව ප්‍රතිකාර ලැබූහ. 
මම මේ රෝහලට පැමිණ මාස හයක් ගතවූ කල රෝහලේ රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව කල හසලක ප්‍රදේශයේ පුද්ගලයා සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ගෙවන මුදල මදියි කියමින් කොන්ත්‍රාත්තුව අවසන් කරන ලදි. ඔහු කරන ලද්දේ   මහ නුවර දෙයියන්නේ වෙළ ප්‍රදේශයේ රෝහල් රෙදි සෝදන මිනිසුන්ට අපගේ රෝහලේ රෙදි යවා සෝදා ගෙන්වීමයි. ඒ නයින් ඔහු අතරමැදියෙකු විය. 
 
මේ නිසා අප මුහුණ දුන්නේ බරපතල ගැටළුවකටය. රෝහලේ රෙදි නොසේදීම නිසා කිළිටි රෙදි ගොඩ ගැසෙන්නට විය. මෙම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකවරයා වූ පිළපිටිය මහතා 1995 වසරේ දිනෙක අපගේ ග්‍රාමීය රෝහල වෙත ආවේය. 
 
පිළපිටිය මහතා  කාරුණික පුද්ගලයෙකි. එසේම ප්‍රායෝගිකව ගැටළු විසඳීමේ දක්‍ෂයෙකි. රෝහලට පැමිණි පිළපිටිය මහතා ” ඩොක්ටර් රෙදි හෝදගන්න මේ ගමෙන් කවුරුවත් හොයා ගන්න බැරිද? කියා මගෙන් ඇසීය. රෝහලේ රෙදි සේදීමට ගමෙන් සොයා ගත හැකි පුද්ගලයා කවරෙකුද කියා මම රෝහල් කාර්‍ය මණ්ඩලයෙන් ඇසූ විට රෝහල් කම්කරු විජේරත්න බණ්ඩා සිමං නයිදේ වැනි නමක් තිබූ පුද්ගලයෙකු ගැන කීවේය. ඔහු මීට වසර දහයකට පමණ උඩදී ලොන්ඩරියක්ද දමා තිබුනි. මේ නිසා මා විජේරත්න බණ්ඩා අමතා වහාම  සිමං නයිදේ රෝහලට කැඳවාගෙන එන ලෙස කීවෙමි. හිතවතෙකුගේ බයිසිකලයක් ඉල්ලාගත් විජේරත්න බණ්ඩා පියාඹා ගියේය. 
 
පැය භාගයකට පමණ පසු විජේරත්න බණ්ඩා සිමං නයිදේ සමග මගේ කාර්‍යාලය ඉදිරිපිට පෙනී සිටියේය. මම සිමං නයිදේ දෙස බලා මෙසේ කීවෙමි. ” මේ අපේ අධ්‍යක්‍ෂකතුමා , මේ සර් හෝදන කෑල්ලකට දෙන ගාන රුපියල් දෙකකින් වැඩිකරන්න අනුමැතිය දුන්නා , සර් කියන්නෙ වෙන කාටවත් කොන්ත්‍රාත්තුව නොදී ගමේ කෙනෙක්ට දෙන්න කියලා. ඒකයි මම ඔයාට කතා කලේ , ඔයා ගමේ කෙනෙක් නිසා” 
 
මා මෙසේ කීවද අමුත්තා කිසිවක් නොකියා මා දෙසත් පිළපිටිය මහතා දෙසත් බලන්නට විය. මොහුට මා කී දෙය නොතේරුනු බව සිතා මම යලිත් ඔහුට ඒ දෙයම කීවෙමි. එහෙත් ඔහු ගල් ගිල්ලාක් මෙන් සිටියි. මේ නිසා නොසන්සුන් වූ මා ” මොකද කියන්නේ රෙදි හෝදන කොන්ත්‍රාත් එක භාර ගන්න කැමතිද ? කියා ඇසුවෙමි. 
 
” මොන රෙදිද සර් මම රෙදි හෝදන්නේ නෑ ” කියා ඔහු කීවේය. කොතන හෝ වැරැද්දක් වී ඇති බව සිතුනු මා ” ඔයා සිමං නයිදේ නේද ? කියා ඇසුවෙමි. 
 
“නෑ මම ලෙව්කෙ බණ්ඩාර “කියා අමුත්තා කීවේය. මම ඔහුව පිටත් කරවා විජේරත්න බණ්ඩාට ඩෝස් එකක් දීමට යත්ම ” සර් ඔය සිමං නයිදේ තමයි දැන් නම වෙනස් කරගෙන “කියා විජේරත්න බණ්ඩා කීවේය. 
 
දැන් කුමක් කරම් ද ? මම ගමේ පුද්ගලයෙකු මේ සඳහා සොයා ගැනීමට උත්සහ කරන බව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකවරයාට කීවෙමි. මොහොතකට පෙර සිදුවූ අලකලංචිය සහ සුද්දෙන් තේරුම් ගත් පිළපිටිය මහතා මඳ සිනාවක් පා යන්නට ගියේය. 
 
දින දෙකකට පසුව විජේරත්න බණ්ඩා අහිංසක පහේ පුද්ගලයෙකු කැඳවාගෙන ආවේය. මම නම් ගම ඇසීමට ප්‍රථම ඔහු  රෝහලේ රෙදි සේදීමට කැමැත්ත ප්‍රකාශ කලේය. එම නිසා මම ඔහුට රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව දුන්නෙමි. 
 
මොහු සිමං නයිදේ ගේ ඤාතියෙකි. මේ පුද්ගලයා රෝහලේ රෙදි සේදීමට ගත් විගස එය නවතා දමන්න කියා සිමං නයිදේ ගෙන් බලපෑම් එන බව මට ආරංචි විය. එහෙත් මේ දුගී පුද්ගලයා බැණුම් අසමින් රෝහලේ සැරව ලේ වැකුණු රෙදි පොට්ටනි කරෙන් ගෙනියමින් සෝදාගෙන ආවේය. 
 
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේ ලිපිකරුවන්ට මේ දුප්පත් මිනිසුන් ගේ බඩගින්න නොතේරෙති. එම නිසා සමහර විට මේ පුද්ගලයාට නියමිත චෙක්පත ප්‍රමාද කරති. එවිට ඔහු මම වාහනයට නගින විට යාප්පුවෙන් පැමිණ කරේ තිබෙන ලේන්සුව අතට ගෙන හිස නවා ” සර් මගේ සල්ලි මේ මාසේ ආවේ නෑ ” කියයි. මම ඔහුගේ දෙනෙත් වලින් දුප්පත්කම , නිවට බව , යටහත්   පහත් බව , අසරණකම දකිමි. මගේ සිත මොහු ගැන අනුකම්පාවෙන් පිරී ගියද හිත තදැති හමුදා නිලධාරියෙකු සේ මම මුහුනින් කිසිවක් නොපෙන්වා  ඒ විගසම මැලේරියා එකේ මිල්ලපතනව කැඳවා පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකට මේ ගැන දන්වා ලිපියක් සකස් සකස් කරන ලෙස කියමි. 
 
මම දිවා ආහාරය ගෙන රෝහලට එන විට මිල්ලපතන ලිපිය ටයිප් ගසා මගේ මේසය මත තබා ඇත. මම එය අත්සන්කර එදිනම තැපැල් කිරීමට ලයනල්ට දෙමි. එහෙත් යලි මාස දෙක තුනකින් සෙංකොට්ටං අසරණයා පැමින ඔහුගේ ගෙවීම් ප්‍රමාද බව කියයි. එවිට මා යලිත් මිල්ලපතන අමතමි. 
 
මම මේ රෝහලෙන් මාරුවී එන කාලය පුරා මේ පුද්ගලයා රෝහලේ කුණු රෙදි සේදීය. ඔහුට ගම්මු සහ රෝහල් කාර්‍යමණ්ඩලය ගරුත්වයකින් සලකනවා මම නොදුටුවෙමි. එහෙත් මාරස්සන ප්‍රදේශයේ පිරිහුණු උඩරට පරම්පරාවකට අයත් වූ සෝමාවතී නම් උපස්ථායකවරිය මේ පුද්ගලයාට කරුණාවෙන් කතා කරනවා වරක් මම දුටුවෙමි. 
 
තවමත් ග්‍රාමීය රෝහල් වල සෙංකොට්ටංලා රෙදි සෝදති. ඔවුන් රෝගී සුවයේ ඉතා වැදගත් රාජකාරියක් කලද සමාජය ඔවුන් ව කොන් කරති.  අපගේ සමාජය වැඩවසම් ය. මේ තත්වය කවදා වෙනස්වේද කියා මම නොදනිමි. 
 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress